Covid-19 the REAL

නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස

වෛරස, බැක්ටීරියා සහ විද්‍යාව

—————————————————————————————————————————————————

පහතින් දක්වා ඇත්තේ මීට තිස් හය වසරකට පෙර Jacques Lacan විසින් ලබා දුන් සම්මුඛ සාකච්චාවකින් කොටසකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ලැකාන්, ආගම නැවත පැමිණීම පිළිබඳව සහ විද්‍යාවාදයේ( scientism ) අන්තරායන් ගැන අනාවැකිමය ලෙස අනතුරු ඇඟවීය. ඔහුට අනුව, මනෝ විශ්ලේෂණය යනු සමකාලීන කාංසාවට එරෙහිව සිතිය හැකි එකම ආරක්ෂාකාරී බලකොටුවයි. තිස් හය වසරකට පෙර ලකාන් විසින් දක්වා ඇති මේ අදහස් පුදුම සහගත ලෙස අද දවසට අදාල වී ඇත.

ලකාන් මෙසේ කියයි: මනෝ විශ්ලේෂණය සාර්ථක වන්නේ එය භූමිය පිරිසිදු කරන විට, රෝග ලක්ෂණ ඉක්මවා යන විට සහ යථෙන්(THE REAL) ඔබ්බට යන විටය. එනම්, එය සත්‍යය ස්පර්ශ කරන විට ය.

ප්‍රශ්නය: ඔබට එම සංකල්පයම සරල ලැකානියානු වචන වලින් ඉදිරිපත් කළ හැකිද?

යථ(The REAL ) වෙතින් පැමිණෙන සියල්ල මා හඳුන්වන්නේ රෝග ලක්ෂණක් ( “symptom” ) ලෙසය. එසේම යථ යනු හරියට නැති, හරියට ක්‍රියා නොකරන, සියල්ල සේම මිනිසාගේ ජීවිතයට සහ ඔහුගේ පෞරුෂත්වය සමඟ සම්බන්ධයට හරස් වූ සියල්ලය. යථ සෑම විටම නැවත පැමිණෙන්නේ එකම ස්ථානයටය. එසේම එය ඔබ සැම විටම එතනදී සොයාගන්නේ සමාන ආයිත්තම් තුලය. යථ තුල, අශක්‍යය(impossible) කිසිවක් නොමැත(කළ නොහැකි දෙයක් නැත) යනුවෙන් ප්‍රකාශ කරනා විද්‍යාඥයින් සිටිති – එසේම එවැනි දේවල් කීමට ඒ අයට යම් ධෛර්යක් අවශ්‍ය වේ, එසේ නැතහොත්, එය මා සැක කරන පරිදි, යමෙකු කරන්නේ කුමක්ද සහ කියන්නේ කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ මුග්ධත්වයයි. යථ සහ අශක්‍යය(impossible) යනු පරස්පර විරෝධී සහ එකට යා නොහැකි දෙකකි. විශ්ලේෂණය විසින් ආත්මය(subject) තල්ලු කරනු ලබන්නේ අශක්‍යය කරාය, එවිට විශ්ලේශිතයාට යෝජනා කොට සිටින්නේ ලෝකය සත්‍ය ලෙසම එලෙස බව(පවතින අකාරයෙන්ම බව) සැලකිය යුතුම බවය. එසේ සලකන එය අර්ථයක් රහිත පරිකල්පනීය ලෝකයකි. යථ යනු මජර මුහුදු ලිහිනියෙකු වැනි වුවද, කා දමන්නේ අර්ථවත් දේවල් සේම යම් අර්ථයක් ඇති ක්‍රියාකාරකම් පමණි.

සෑම කෙනෙකුගේම සිතුවිලි, අභිලාෂයන්, ලිංගික ( මෙහි “ලිංගික” යන වචනය යොදා ඇත්තේ ඉංග්‍රීසියෙන් sex යන වචනය සඳහාය. sex යනු ලිංගිකත්වය( sexuality ) නොවේ. නමුත් ලකානියානු අදහස් පිළිබඳව කතා කරන බොහෝ දෙනෙකු ඉතා වැරදි සහගත ලෙස sex සහ sexuality යන වචන දෙක එකම අර්ථය තුල භාවිතා කරයි. ), සහ ජීවිතය වැනි දේවල් වෙතට අප අර්ථ දිය යුතු බව බොහෝ විට අපට අසන්නට ලැබේ. නමුත් අපි ජීවිතය ගැන පරම වශයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. විශේෂඥයින් එය අපට පැහැදිලි කිරීමට උත්සාහ කරමින් ඔවුනගේ හුස්ම හිර වී ඇත. මගේ බිය නම්, ඔවුන්ගේ අසාර්ථකත්වයන් තුළින් යථ – එනම් නොපවතින මෙම බිහිසුණු දෙය – ජයග්‍රහණයෙන් අවසන් වීමයි. විද්‍යාව එය විසින්ම ආගම වෙනුවට ආදේශ කෙරෙනවා සේම සියල්ල බවට පත් වී ඇති විද්‍යාව වඩාත් අත්තනෝමතික, මොට්ට, සහ ප්‍රගති විරෝධී(obscurantist) වේ. පරමාණු-දෙවියා, අභ්‍යවකාශ-දෙවියා, යනාදි වශයෙන් විද්‍යාව සතුව දෙවි වරුන් ඇත. විද්‍යාව හෝ ආගම ජය ගන්නේ නම් මනොවිශ්ලේෂණය අවසන් වනු ඇත.

ප්‍රශ්නය: විද්‍යාව සහ මනෝ විශ්ලේෂණය අතර අද ඇති සම්බන්ධය කුමක්ද?

මට අනුව එකම සත්‍ය, අනුගමනය කිරීමට වටිනා, බැරෑරුම් විද්‍යාව වන්නේ විද්‍යා ප්‍රභන්ධයන්ය. අනෙක නම්, කිසිඳු සතුටුදායක මාධ්‍යක් වෙත ලඟා නොවෙමින් විද්‍යාගාර තුල විද්‍යාවේ ප්‍රගතිශීලී මාවත “සොයන්නට” වෑයම් කරනා එහි පූජාසනයන් සමග වන නිල විද්‍යාවය. එය තමන්ගේ සෙවණැල්ලට පවා බිය වීමට පටන් ගෙන තිබේ.

විශේෂඥයින් ඉතා ඉක්මනින් කාංසා තත්වයට පත්වන අවස්ථාවන්ට මුහුණ දෙන බව පෙනේ. විෂ බීජ රහිත පරීක්ෂණාගාර තුල ඔවුනගේ කොලර ඍජුව ඇති ඝනකම් කමීස හැඳ පැළඳ, සත්තකින්ම මේ වැඩිහිටි කුඩා සිඟිත්තන්, වෙන කවරදාටත් වඩා සංකීර්ණ උපාංග සාදමින්, වෙන කවරදාටත් වඩා අපැහැදිලි සූත්‍ර නිර්මාණය කරමින්, නොදන්නා දේවල් සමඟ සෙල්ලම් කරමින්, සදාකල්හි මෙම නොපුරුදු පර්යේෂණ ව්‍යාපෘති මගින් දරාගත හැකි දේ කුමක්ද යන්න සහ හෙට කුමක් සිදුවේදැයි තමන්ගෙන්ම විමසීමට පටන් ගෙන තිබේ. ඇති, මම කියනවා! එසේම එය දැන් හොඳටම ප්‍රමාද නම් මොකක්ද වෙන්නේ ? ජීව විද්යාඥයයින් සහ භෞතික විද්යාඥයයින් සහ රසායන විද්යාඥයයින් දැන් තමන්ගෙන්ම අසයි. මම හිතන්නේ උන්ට පිස්සු. ඔවුන් දැනටමත් විශ්වයේ මුහුණුවර වෙනස් කරමින් සිටී සහ සමහර විට භයානක විය හැකි එය දැන් ඔවුනටම සිදුවෙන්නට පටන්ගෙන තිබේ. එසේම සෑම දෙයක්ම ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට පුපුරා ගියහොත්? ඔවුන්ගේ කීර්තිමත් දිලිසෙන පර්යේෂණාගාර තුල ඉතා ආදරයෙන් හදාවඩා ගන්නා බැක්ටීරියා අපගේ මරණීය සතුරන් බවට රූපාන්තරණය( transform ) වුවහොත් ? මෙම රසායනාගාර විශේඥයයියන්ගෙන් පටන් ගෙන මෙම බැක්ටීරියා සමූහ ලෝකයේ මෙන්ම එහි වෙසෙන සියලු ජීවීන්ද ඉක්මවා ගියහොත්?

ආණ්ඩුකරණය(governing), අධ්‍යාපනය(education), සහ මනොවිශ්ලේෂණය(psychoanalysis) යන ෆ්‍රොයිඩ්ගේ අශක්‍යතා( impossible ) තුනට( ඒවා ෆ්‍රොයිඩ් විසින් නොපවතිය යුතු තත්වයන් ලෙස හඳුන්වා ඇත) අමතරව මා විසින් හතර වැනක් එකතු කරමි. ඒ විද්‍යාවයි(science). නමුත් විශේඥයයියන් ප්‍රමාණවත් ලෙස විශේඥ නොවන්නේ ඔවුන්ගේ ස්ථානය අස්ථිර බව දැනගැනීම සඳහාය. 

ප්‍රශ්නය: ඔබ ශර්ව අශුභාවාදියෙක්ද ? 

නැත, එය සම්පූර්ණයෙන්ම වෙනත් දෙයකි. මම අශුභවාදීයෙකු නොවේ. කිසිවක් සිදුවන්නට යන්නේ නැත. ඒ මිනිසා කිසි කමකට නැති, තමාම විනාශ කිරීමට පවා හැකියාවක් නැති, සරල හේතුව නිසාය. පුද්ගලිකව, මිනිසා විසින් නිපදවන ලද සර්වබලධාරී වසංගතයක්( an all-encompassing plague ) පිළිබඳ අදහස මට පෙනේවි. අනෙක් අතට ගතහොත් එය පුදුමාකාර. එය සාක්ෂිය වනු ඇත්තේ, දිව්‍යමය හෝ ස්වාභාවික මැදිහත්වීමකින් තොරව මිනිසා තමාගේම දෑතින් සහ ඔලුවෙන් යමක් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා තිබූ බවටය.

  මෙම සියලු බැක්ටීරියා අධික ලෙස ආහාරයට ගත්තේ ප්‍රමෝදනය පිළිබඳව කාරණය වෙනුවෙන් වූ අතර බයිබලයෙහි සඳහන් පළඟැටියන් මෙන් ලොව පුරා ව්‍යාප්ත වීම මිනිස් සංහතියේ ජයග්‍රහණය ලෙස සනිටුහන් කරනු ඇත. නමුත් එය එසේ සිද්ධ නොවනු ඇත. විද්‍යාව එහි වගකීම් අර්බුදය හරහා සතුටින් ඉදිරියට රෝන්ද ගසනු ඇත. එනම් ඔවුන් කියන පරිදි සියලු දේ නැවතත් එහි ස්වභාවික ස්ථානයට පැමිණෙනු ඇත. නමුත් එසේම මම කියූ ලෙස, සැම විටම මෙන් යථ (The REAL) ජයග්‍රහණය කරනු ඇත. එසේම සැම දා වූ ලෙස අපට හිකවෙනු ඇත.

බොහෝ ගිජු තවත් භයානක දේවල් තිබේ. ඒ හඳට යන රොකට්ටු, මුහුදු පතුලේ සිදු කරනා පරීක්ෂණ, වැනි දේවල්ය. එසේම මිනිසුන් පරිභෝජනය කරන සියලු ආකාරයේ දේවල්. නමුත් ඒවා කිරීමෙන් මහා ප්‍රථිපලක් අත්වන බවක් නැත. මම හොඳින්ම විශ්වාස කරනුයේ, අපට ඇති තරම් රොකට්(rockets), රූපවාහිනී, සහ මේ කාලකන්නි, ඉතා අවාසනාවන්ත “සොයාගැනීම්”(විද්‍යාවේ “සොයාගැනීම්”) යන සියල්ල හිස්කම(void) බවට පත්වන විට, අපටම කාර්ය බුහුල වීමට වෙනත් දෙයක් අප සොයා ගනු ඇත යන්නය. එය ආගමේ පුනරාවර්තනයකි. එසේ නොවේ ද? එවිට ආගමට වඩා විචක්ෂණශීලී රාක්ෂයා කවුද? අප දැනටමත් දැක ඇති පරිදි එය ශතවර්ෂ ගණනාවක් තිස්සේ භුක්ති විඳින අඛණ්ඩ මංගල්‍යයකි.”

වූහාන් වයිරසය ගැන විවිධ මත පලවෙමින් තිබේ. ඒවා පහත පරිදි වර්ග කල හැකිය.

1. චීනයේ වෙසෙන වවුලන් විශේෂයකින් වයිරසය නාගයින් හට ඇතුල් වී ඇති බවත්, එම නාගයින් අනුභව කිරීම නිසා එය චීන ජාතිකයින්ට වැළඳී ඇත යන්නයි.

2. චීනයේ ඇති අති විශේෂ පරීක්ෂනාගාරයක් තුලින් මෙම වයිරසය එලියට පැනගොස් ඇති බව.

3. ජීව සහ රසායන අවි නිපදවීමේ කාර්යේ අතුරු පලයක් විය හැකි බව.

4. චීනය සමග ඇමරිකාවට ඇති ආර්ථික යුද්ධය හේතුවෙන් චීන ආර්ථිකය අඩාළ කිරීම සඳහා ඇමරිකාව විසින් මුදා හැර ඇති වයිරසයක් බව.

5. 5G තාක්ෂණයේ ප්‍රතිඵලයක් සහ 5G තාක්ෂනය ව්‍යාප්තිය සඳහා අවශ්‍ය පසු බිම සකස් කිරීමට “උචිතයින්” ඉතුරු කරමින් ජනගනය පාලනය කිරීමේ සැලැස්මකට අදාලව Covid 19 වෛරසය එන්නත් කොට ඇති බව.

6. එන්නත් නිපදවීමේදී සහ අත්හදා බැලීමේදී සිදු වී ඇති දෙයක් බව.

ඉහත කාරනා හයෙන් වඩාත් ජනප්‍රිය සහ බහුතරයක් පිළිගැනීමට කැමති සහ නිල වශයෙන් පිළිගන්නා කාරණය වන්නේ(නිල අධ්‍යයනයන් විසින් වත්, නිල වශයෙන් වත්, එවැන්නක් තහවරු කොට නොමැත ) නාගයින් අනුභව කිරීම නිසා ඇති වූ ප්‍රතිපලයක් බවට ඇති මතයයි. එනම් ප්‍රචලිත වී ඇති එම මතයට සහාය දක්වන්නන්ගේ අදහස වී ඇත්තේ චීන ජාතිකයින්ගේ මෙම “නරක ආහාර පුරුදු” හේතුවෙන් ඇති වී ඇති මෙම තත්වයට නිශ්චිත විසඳුමක් ඇත්තේ නූතන විද්‍යාව සතුව බවය. එසේම ඊට අදාලව අප රටේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුල මස් මාංශ අනුභවයේ ඇති පාපකාරිත්වය බුද්ධාගම ඇසුරෙන් පැහැදිලි කරමින් සිටී. වසංගත රෝග ඒකකයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුද වන මහාචාර්ය තිස්ස විතාරණගේද මතය වූයේ එම අදහසය.

නමුත් මේ මතය පිළිගන්න සියලු දෙනා අමතක කරන ප්‍රධාන දෙය වන්නේ චීනුන් අවුරුදු දහස් ගණනක් මේ අහාර රටාව පවත්වා ගෙන ගොස් ඇති බවය. එසේ වේ නම් ඒ අකාරයෙන් ආහාර තුලින් රෝග ඇති වීම යනු ඉතා භයානක තත්වයක් සේම ඕනෑම ආහාරයකින් ද එසේ විය හැකිය. එනම් මූලික වශයෙන්ම මිනිසුන් සහ අනෙක් සතුන් ගන්නා ආහාර යනු පරම්පාරාවෙන් පරම්පරාව අධ්‍යාහාර වූ පුරුද්දක් තුල සිදුවන්නක් මිස කිසියම් දැනුමක් තුල සිදුවන දෙයක් නොවේ. අප කන ජාති සහ නොකන ජාති ලෙස දෙවර්ගයක් ඇත්තේ සහ අප කන ජාති එසේ අපගේ අහාර බවට පත් වූයේ කෙසේද යන්න කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කල නොහැකිය. ඒ සම්බන්ධයෙන් ඇති සියලු කතන්දර ගොතන ලද ඒවාය. ඒ එකක්වත් පිළිගත නොහැකිය. නමුත් නිල අධ්‍යාපනය තුල පිළිගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇති විද්‍යා කතන්දර සැබෑ බවය. එවැනි විද්‍යා කතන්දර සැබෑ නම් පිටසක්වලින් පැමිණි මහා අධිබලැති ජීවියෙකු හෝ පිරිසක්(දෙවියෝ) මේ සියලු දේ මවා ආහාරයට ගන්නා දේවල් සහ නොගන්නා දේවල් මොනවාද යන්න වර්ගකොට පෙන්වා දී ඇති බවක්ද පැවසිය හැකිය(“දැනුම” ). ඒ කතන්දර දෙකම( විද්‍යා කතාන්දරය සහ දේව කතාන්දරය ) ගුණයෙන් එක සමාන වන අතර ඉන් එකකින්වත් අප දැනට ගන්න අහාර අප ලබා ගැනීමට දැනගත්තේ සහ පුරුදු වූයේ කෙසේද යන්න කිව නොහැකිය. ඒ පිළිබඳව ඇති කතන්දර සියල්ලම ඒ ගුණය දරාගත් ඒවා පමණි.

කෙසේ නමුත් මේ වන විට අප ගන්නා ආහාර දෘෂ්ටිවාදී ආහාර බවට පත්ව ඇති අතර ක්‍රමයෙන් ඒ තත්වය වැඩි දියුණු වෙමින් පවතී. අහාර සඳහා පමණක් නොව වාතය සහ ජලය සඳහාද ඒ තත්වය එසේය.

ඒ අනුව කිව හැක්කේ මෙසේ අහාර විස වීමක්(විද්‍යාවේ වයිරස සහ බැක්ටීරියා අර්ථකතන අවශ්‍ය නොවේ) ඇතිවන්නේ නම් ඒවා අවුරුදු දස දහස් ගණනක් තිබූ අකාරයෙන් වෙනස් වීම් වලට ලක්වීම හෝ යම් කිසි බලපෑමට ලක්වී ඇති බවය. පරිසරය, ආහාර වෙනස්වීම යන්න සැලකිය හැක්කේ එක්කෝ මිනිස් මැදිහත්වීමෙන් තොර තත්වයක් ලෙස(ස්වභාවික) හෝ මිනිස් මැදිහත්වීම නිසා ඇති වූ තත්වයක් ලෙසය. එසේම වෙනස් වීම් යන්න සැලකිය හැක්කේ යම් ආගන්තුක ද්‍රව්‍ය ( මිනිසුන්, සතුන් සහ ශාක ඇතුළු සියලු දේට බලපෑම් කල හැකි ) පරිසරයට එකතුවීම නිසා ඇති වී ඇති බලපෑමක් ලෙසය( නැවතත් කෙටියෙන් පවසන්නේ නම් අපට භාරගැනුමට ඇත්තේ මේ තත්වයට අදාළ ප්‍රධාන කාරණා දෙකටම හේතු වී ඇත්තේ එක්කො මිනිස් බලපෑම් හෝ එසේ නොමැති නම් මිනිස් බලපෑම් අදාළ නොවේ යන්න සැලකීමය ). ආගන්තුක ද්‍රව්‍ය යනු ඉහත සඳහන් කල මිනිසුන් දන්නා(සංකේත දැනුම තුල), මිනිසුන්ට හුරු පුරුදු ආහාරයට ගන්නා දේවල් සහ ආහාරයට නොගන්නා දේවල් නොව නූතන විද්‍යාවේ ආනුභාවයෙන් නිපදවා ඇති දේවල්ය. එක්කෝ ඒවා මහා පරිමාන කැනීම් සිදු කොට ලබා ගන්නා ආගන්තුක(මිනිසුන්ට, සතුන්ට සහ ගහ කොළට හුරු පුරුදු සීමාවෙන් එපිට ) දේවල්ය. නැති නම් එම කැනීම් කොට ලබා ගන්නා දේවල් වලම තවත් ඉදිරි පියවරයන්ය( නිෂ්පාදනයන් ). එවැනි දෑ පොලවට, ජලයට සහ වා තලයට මහා පරිමාණයෙන් මුසු වීමට පටන්ගෙන වසර හැටක්වත් නැත. උපරිමයෙන් සියවසක් වනු ඇත. එසේත් නොමැති නම් ජාන තාක්ෂනය, බැක්ටීරියා සහ වයිරස් වැනි දේවල් අත්හදා බැලීම හෝ ජීව රසායන අවි නිපදවීම වැනි තවත් බොහෝ කාරනා හේතු විය යුතුය. මේ වන විට ආගන්තුක දෑ අප වෙත පැමිණෙන තවත් අකාරයක් ඇති බව කියවේ. ඒ මෙතෙක් කල් හිමෙන් වැසී තිබූ ප්‍රදේශ වල මහා පරිමාණයෙන් හිම දිය වී යාම ආරම්භ වීමත් සමගය.

 ඉහත සඳහන් කාරණය න්‍යායගත කොට ගන්නා අකාරය අනුව ඒ ඒ පාර්ශවයන්ගේ දේශපාලන ආස්ථානය තීරණය වේ. එනම් ඒවා පහත පරිදි වර්ග කල හැකිය.

1. අහාර, ජලය, වාතය වැනි පාරිසරික වෙනස් වීම් ස්වභාවික බැවින් සහ මිනිසාට පාලනය කල නොහැකි බැවින්, ඒ පිළිබඳව සිත යොමු කිරීම හෝ නොකළ යුත්තකි. එය ආන්තික කාරණයකි. ජීවිතය ඔහේ ගලාගෙන යන අතර සොබාදහම තමා ගැනම බලා ගනීවි; ඒ අනුව ඒ පිළිබඳව අදාළ විකල්ප(විද්‍යාත්මක හෝ ඕනෑම ආකාරයක) සොයා ගැනීම එකම විසඳුම වන අතර බලපෑම් යන්න නොසකා හැරිය යුතු කාරණයකි. 

2. විශාල පද්ධතිමය පියවර වෙනුවට පුද්ගලික වගකීම මත අධි පීඩනය. එනම් සෑම කෙනෙකුම ඔහුට / ඇයට කළ හැකි දේ කළ යුතුය – ප්‍රතිචක්‍රීකරණය, අඩු පරිභෝජනය යනාදිය ඒ සඳහා වන උදාහරණයි.

3. වෙනස් වීම සහ බලපෑම මිනිස් මැදිහත් වීම් වල ප්‍රථිපල ලෙස භාරගන්නා අතර, එබැවින් කල යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කිරීමෙන් වෙනස් වීම් සහ බලපෑම් අවම කර ගැනීම හෝ අදාළ වෙනස් වීම සහ බලපෑම් භාරගනිමින් විද්‍යාත්මක විකල්ප කරා පියමැනීමය. විද්‍යාවට හා තාක්ෂණයට අපව ගලවා ගත හැකිය.

4. වෙනස් වීම සහ බලපෑම් යනුම මිනිසුන්ට, සතා සිව්පාවට, ගහකොළට පුරුදු විය හැකි සීමාවෙන් එහා වන මිනිස් මැදිහත්වීම් වල ප්‍රතිපලයන් වන අතර අදාළ වෙනස් වීම සහ මැදිහත්වීම් අප මත පටවන්නේ අපගේ කැමැත්ත මත නොවන බව සහ ඒවා අප මත පටවන්නේ අධිකාරීත්ව දූරවලියක් තුල බව අවබෝධ කොට ගැනීම.

විද්‍යාවේ ආත්මය(subject of science) අවිඥානයයේ ආත්මය(subject of unconscious) වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල විසඳුම් ලෙස පිළිගැනෙන්නේ සහ ක්‍රියාත්මක වන්නේ ඉහත සඳහන් කල 1 සහ 2 යන මූලික න්‍යායගත කරගැනීම් දෙකට අදාලවය. නමුත් යම් වශයෙන් තුන්වන න්‍යායගත කිරීම සඳහාද පිවිසේ. ඒවා මාරුවෙන් මාරුවට අදාළ තත්වයන්ගේ සංකීර්ණතාවයන් තුල ඉදිරපත් වේ. එසේම ධනවාදයටම විකල්පයක් ලෙස පැමිණි වාමාංශික අදහස් සම්පූර්ණයෙන්ම තුන්වන න්‍යායගත කිරීම මත පදනම් වේ(සෝවියට් රුසියාවේ බුද්ධි ප්‍රබෝධි බෝඩ් ලෑල්ල යටතේ ක්‍රියාත්මක වූයේ එයයි ). නමුත් ඉහත හතරවන අදහස ලිබරල් සහ වාමාංශික යන ස්ථාවරයන් දෙකෙන්ම වෙනස්ය.

නැවතත් ලකාන් විසින් ඉහත සම්මුඛ සාකච්චාව තුල ප්‍රකාශ කරනා ප්‍රධාන කාරනා කිහිපය තුල ඔහු විසින් අවධාරණය කිරීමට උත්සාහගෙන ඇත්තේ යථ තුල, අශක්‍යය(impossible) කිසිවක් නොමැත(කළ නොහැකි දෙයක් නැත) යන අතිශය බහුතර විද්‍යාත්මක ප්‍රජාවගේ සිතීම සහ විද්‍යාව දෘෂ්ටිවාදයක් ලෙස ස්ථාපිත වී ඇති තත්වය තුල යථ සමග විද්‍යාව මේ සිදුකරනා ගනුදෙනුව අති මහත් ව්‍යසනයන් තුලින් අවසන්විය හැකි බවය(“යථ යනු මජර මුහුදු ලිහිනියෙකු වැනි වුවද, කා දමන්නේ අර්ථවත් දේවල් සේම යම් අර්ථයක් ඇති ක්‍රියාකාරකම් පමණි.”)

තවදුරටත් ලකාන් විසින් ප්‍රකාශ කොට සිටින්නේ එකම සත්‍ය සහ අනුගමනය කිරීමට වටිනා, බැරෑරුම් විද්‍යාව වන්නේ විද්‍යා ප්‍රභන්ධයන්ය යනුවෙනි. එය මෙසේ පැහැදිලි කල හැකිය. විද්‍යා ප්‍රබන්ධ යනු  නොපවතින විශ්වයන්, පිටසක්වල ජීවීන් වැනි, වයිරස, රොබෝ වැනි පවතින යථාර්ථයේම පරිකල්පනීය දිගුවක් සමඟ සාමාන්‍යයෙන් කටයුතු කරන සමපේක්ෂන ප්‍රබන්ධයන්ය. යථට(the REAL) එරෙහි වෙමින් යථාර්තය සංස්ථාපනය වනුයේ සංකේතනය(symbolic) සහ පරිකල්පනය(imaginary) යන දෙකේ සුසංයෝගයෙනි. එනම් යථාර්තය යථට විරුද්ධ වේ. තවත් අකාරයකින් පවසන්නේ නම් යථ යනු පවතින බවට පරිකල්පනය කරනා භාෂාව මගින් නියෝජනය වන දේ වලට ඔබ්බෙන් පවතින දෙයයි. එදිනෙදා සාමාන්‍ය යථාර්ථයේ ස්ථායිතාව තුල විශ්වාසය ගොඩනැගෙන්නේ එසේය. එම යථාර්ථයේ හිදැස් වසා දමන්නේ දෘෂ්ටිවාදය විසිනි. ඒ අනුව යථාර්තය යනු ප්‍රභන්ධයකි. එම ප්‍රභන්ධය දරා සිටිනුයේ ෆැන්ටසිය මගිනි.

ඒ අනුව ඒ තුලින් ලකාන් අවධාරණය කිරීමට උත්සාහ දරනුයේ විද්‍යාම යනු ප්‍රභන්ධයකට වඩා දෙයක් නොවන බවය….. 

ලකාන් මෙසේ පවසයි.

“මම පෙන්වා දෙන්නට කැමතියි තර්ක බුද්ධියට ගත හැකි දෙය යනු ෆැන්ටසියක් කියලා…එය මුළුමනින්ම විද්‍යාමාන වන්නේ විද්‍යාවේ ආරම්භයේදීය. යුක්ලීඩියානු ජ්‍යාමිතිය සතුව ෆැන්ටසියේ සියලු නෛසර්ගික ලක්ෂණ පවතී. ෆැන්ටසියක් යනු සිහිනයක් නොවේ. එය අපේක්ෂාවකි…..”

ලකාන් විසින් ඉහත සම්මුඛ සාකච්චාවේදී ඉදිරිපත් කරන කරුණු තව දුරටත් මෙසේ පැහැදිලි කල හැකිය:

විද්‍යාත්මක අඛණ්ඩතාව සහ පර්යේෂණ විෂමාචාරය පිළිබඳ ලැකාන්ගේ අදහස් ආමන්ත්‍රණය කිරීමට පෙර, මුලින්ම විද්‍යාව පිළිබඳ ඔහුගේ අදහස් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය. ලැකාන් සඳහා, විද්‍යාව යනු
මූලික වශයෙන් සංකේතකරණ( symbolization ) ක්‍රියාවලියක් වන අතර එය උපකරණ සහ ගැජට්ස් ( gadgets ) හරහා ඉදිරියට යයි. විශාල පරිමාණයෙන් කතිකාමය “විමෝචන” උත්පාදනය කරයි. නූතන විද්‍යාව විසින් සරලමතික ජීවන ලෝක අත්දැකීම් වෙතින්(සියලු අව්‍යවහිත අත්දැකීම්, ක්‍රියාකාරකම් සහ පුද්ගල හෝ සාමුහික ජීවිතය සකස් කරනා සම්බන්ධකම්) අප දන්නා ලෝකය තුරල් කරයි(වියෝජනය කරයි). එය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ විශ්වයක් මගින් ප්‍රතිස්ථාපනය කරන්නේ, සංකල්පයන්(අණු, ඉලෙක්ට්‍රෝන, ක්වාර්ක් ආදිය) වෙතට අදාළ සංකේත(හැඟවුම්කාරක) ඇමුණුමක් වන අතර මානව පරිකල්පනය වෙතට අභියෝගයක් වන ගුප්ත අස්ථිත්වයන්ගේ සත්භාවාත්මක තත්වයක් නියෝජනය කරයි. ඒ අනුව විද්‍යාවේ ප්‍රගතිය(වර්ධනය) යනු එම සංඛේත රටාවේ ප්‍රගතියයි( නමුත් එය අධිකාරීත්වයක් විසින් පටවනා සංකේත රටාවකි. සමාජීයව වර්ධනය වන්නක් නොවේ). ඇරිස්ටෝටල් සඳහන් කල පරිදි, සිදුවන්නේ ස්වභාව ධර්මය පරිභෝජනය කිරීම, සංස්ථාගත කිරීම, පරිවර්තනය කිරීම සහ මකා දැමීමය(සොබාදහම යන්න මතුවන්නේ, ඉදිරියට එන්නේ, එහිම අනුකූලතා මත, එහිම වෙනස්වීම් වල ආවේනික මූලධර්මයන් තිබීම යන කාරනා මතය. ඒවා අපගේ මැදිහත්වීමකින් තොරව තිබේ. පෘතුවිය පිළිබඳව අඛණ්ඩව සංකේතීයකරණය(අධිකාරීත්ව-ආයතනික) හෝ මානවවාදිකරණය ඉදිරියට යාමේ ක්‍රියා පටිපාටිය තුල සිදුවන්නේ සොබාදහම මකා දමනු ලැබීම සහ දියකර හැරීමයි). නමුත් ඇත්තටම වර්තමානයේ මෙය ඇරිස්ටෝටල් විසින් සඳහන් කල තත්වය නොවේ. ඇරිස්ටෝටල් විසින් එහිදී කියා සිටි කාරණය නූතන විද්‍යාවට අදාළ කාරණයක් ලෙස වැරදියට වැටහී යා හැකිය. ඔහු එහිදී කියා සිටින්නේ සංකේතකරණය ට අදාළ කතාවක් මිස මේ නූතන විද්‍යාව ගැන නොවේ.

විද්‍යාව සැලකිය යුතු අකාරයෙන් ජීවිතයේ ප්‍රපංචයන් සංකේතීයකරණයක් අධ්‍යාහාර කරයි. ජීවිතය එලෙස අවබෝධ කර ගැනීම වෙනුවට,(උදාහරණ ලෙස) ඔරලෝසු, අන්වීක්ෂ, එක්ස් කිරණ-විවර්තනය(මේ වන විට ඒවාටත් වඩා ඉදිරියට ගොස් ඇති දෑ) වැනි උපකරණ සහ උපක්‍රමවල ආධාරයෙන් විශේෂී ජෛව අණුක ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීම විද්‍යාවේ අරමුණයි. විවිධ වර්ගවල සංකේත (අකුරු, සංඛ්‍යා, සූත්‍ර, ග්‍රැෆික්, ආදිය) තුල ප්‍රථිපලය යනු ජීවමාන ස්වභාවය අපට දැකීමට ඉඩ නොදෙන(ජීවමාන ස්වභාවය හෝ ඒවා කෙසේ සිදුවනවාද යන්න විද්යාඥයන්ට හැර වෙන අයට අදාලත්වයක් නොමැත), නමුත් එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් පාලනය කිරීම සහ හැසිරවීම අරමුණු කරගත් තේරුම් ගැනීමේ ආකාරයකි. විද්‍යාත්මක පැහැදිලි කිරීම රඳා පවතින්නේ “විද්‍යාත්මක අත්දැකීම්” ව්‍යුහගත වන හැඟවුම්කාරක(පහසුවෙන් වෙනස් කළ හැකි විචාරාත්මක අංග, විශේෂයෙන් පරිගණක තිරයක් ඉදිරිපිට වාඩි වී සිටින විට) වල භාවිතාව මතය. මේ අනුව, සංකේතකරණය යනු “නිරවද්‍ය(යථා-තත්‍ය) තාක්‍ෂණයේ” භාෂාව වන අතර එය දැනුම පිළිබඳව තාක්ෂණයන් මත විශ්වාසය තබයි(මිනුම්, ගණිතකරණය, ප්‍රමාණකරණය, “නිරවද්‍ය උපකරණ” ආදිය).  

ලැකාන් විසින් විද්‍යාත්මක පර්යේෂණ වල තාක්‍ෂණය අවධාරණය කරයි. ලැකාන් පවසන ලෙස විද්යාඥයින් සිතන්නේ ඔවුන්ගේ මොළ සමගින් නොව(සමස්තය තුල දේවල් වල සම්බන්ධය සහ ආනුෂංගික ප්‍රථිපල ඔවුනට අදාළ නැති වීම), ජාල, පරිගණක සහ යන්ත්‍ර හරහා ඉපිලෙන හැඟවුම්කාරක සමග ය. විද්‍යාව විසින් දැඩි ශ්‍රමයක් අධ්‍යාහාර කරන අතර එහි ප්‍රථිපල යනු සොබාදහම දැඩි ලෙස වෙනස් කිරීම, වගා කිරීම(සොබා දහම යනු විද්‍යාවේ නිර්මාණයකි ) හා රූපාන්තරණය වීම තුල ආනිසංස ඇති වේ. නූතන විද්‍යාව තුල තර්කබුද්ධියේ (එනම් සංයෝජන හා පරිගණකමය වීජ ගණිතයේ) ප්‍රචන්ඩතාවය පිළිබඳව නොයෙක් විට ලකාන් අවධාරණය කරයි.

ලකාන් මෙසේ පවසයි….

“එය සංකේත කෙඳි මත ගොඩනැඟෙමින් මිනිසුන් හරහා ලෝකය දැඩි ලෙස පරිවර්තනය කරයි. තවදුරටත්, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව “තොරතුරු සංකල්පය” මගින් විද්‍යාව “මත් වී” ඇත. සංකේතකරන ක්‍රියාවලියේ අවසාන අදියර ලෙස පවතින්නේ තොරතුරුකරණය පිළිබඳව ඩිජිටල් තර්කනයයි(0s සහ 1s භාෂාව)” 

මෙම ක්‍රියාවලියේ පටිපාටිය තුල ස්වාභාවික දේ මකා දමනු ලැබේ. දේවල් ලෙස අපට පෙනෙනුයේ හැඩයන් සහ වර්ණයන්ය. ආරම්භක වශයෙන්, “ජීවන ලෝකය”(සියලු අව්‍යවහිත අත්දැකීම්, ක්‍රියාකාරකම් සහ පුද්ගල හෝ සාමුහික ජීවිතය සකස් කරනා සම්බන්ධකම්) තුළ, සෑම ස්වාභාවික අස්තිත්වයක්ම අපට පෙනීයන්නේ සංයුක්ත හැඩයක්(Gestalt) ලෙස ය(නිදසුනක් ලෙස ගසක්). කෙසේ වෙතත්, විද්‍යාවේදී මෙම ගස අවබෝධ කර ගැනීම සඳහා විද්‍යාව විසින් වස්තුව සංකේතීයකරණ ක්‍රියා පටිපාටියකට නිරාවරණය කරයි, එවිට නාභිගත වීම ප්‍රපංචමය ගසෙන් (එනම් දෙය ලෙස එය අපට පෙන්නුම්කරන කරන) නිශ්ප්‍රපංච ගස වෙත මාරු වන අතර සංකේත වල උපකාරයෙන් ගස සෑදී ඇති මූලික සංරචක ඉදිරිපත් කල හැකිය(හෝඩියේ අකුරු වල සිට, අංක ආදිය දක්වා). උදාහරණ ලෙස, CO2, H2O, C6H10O5 යනාදි ලෙසය. වෙනත් වචන වලින් කිවහොත්, විද්‍යාත්මක පර්යේෂණ විසින් අපව දෘශ්‍ය ගෙස්ටෝල්ට්ය(Gestalt) ලෙස වන ගසෙන් ඉවතට ගෙන යන අතර ගස සෙලියුලෝස්(cellulose) ලෙස දැකීමට අපව පොළඹවයි.

විද්‍යාව විසින් ගෙන එන මෙම සංකේතකරණ ක්‍රියාවලිය අපව පරිකල්පනීය ක්ෂේත්‍රයෙන් (රූප ලෝකය, දෘශ්‍ය හැඩයන් ආදිය) සංකේතාත්මක ක්ෂේත්‍රයට ගෙන යයි (මිනුම්, සංඛ්‍යා, රසායනික සූත්‍ර, ගණිතමය මෙහෙයුම්, ක්‍රමෝපායික ප්‍රමිතීන්, සදාචාරාත්මක අවශ්‍යතා, h-factors, ආදිය). වර්තමානයේ මෙය කෙනෙකු අධ්‍යාපන ක්‍රියාවලිය තුලට ඇතුල් වීම තුල පමණක් සිදුවන්නක් ලෙස නොසිතිය යුතුය. එනම් “විශ්වවිද්‍යාල කතිකාව”( discourse of university ) යනු විශ්ව විද්‍යාලය නම් ආයතනයට හෝ ඊට පහළ අනෙකුත් අධ්‍යාපන ආයතන තුල සීමාවට පමණක් අදාළ වූවක් නොවේ(ලකාන්ගේ කතිකා හතරට අනුව සමාජය ප්‍රධාන කතිකාවන් හතරක පිහිටන අතර ඉන් එකක් වන්නේ විශ්ව විද්‍යාල කතිකාවය).—-

මෙම ක්‍රියාවලිය තුලදී දෘශ්‍ය රූප වියුක්ත අදහස් මගින් ප්‍රතිස්ථාපනය වේ. නමුත් එය හේගලියානු දයලෙක්තිකයට අනුකූල වේ. මෙයින් සිදුවන්නේ මූලික වශයෙන්, මිනිසුන් සංසිද්ධි ලෝකයක සිරගත කරනු ලැබීමය. එනම් අපගේ සංවේදී ඉන්ද්‍රියයන් හරහා අපට අභිමුඛ වන පාරිසරික ලෝකය(Umwelt ) (මිනිසා විසින් ජීවියෙකු ලෙස අත්විඳින ලෝකය) එය( සංසිද්ධි ලෝකය ) බවට පත්වේ. නූතන විද්‍යාව අපගේ ඥාන විභාගාත්මක සංරෝධනයන් වෙතින් අපව නිදහස් කරයි. විවිධ ඇස්වලින් ලෝකය දැකීමට අපට ඉඩ සලසයි. ඒ වචනාර්ථයෙන්: තාක්ෂණික උපක්‍රම(දුරේක්ෂ, අන්වීක්ෂ, බැරෝමීටර, හයිග්‍රොමීටර ආදිය) ආධාරයෙන්, විශ්ලේශය හෝ පරිමාණය විශාල ලෙස ඉහල දැමීම, “නිරවද්‍යතාව” එකතු කිරීම, ආදිය ලෙසය. ඒ අනුව මෙම ක්‍රියාවලියේ පටිපාටිය තුල, “ජීවන ලෝකය” තුල අප හොඳින් දන්නා, හුරුපුරුදු ස්වාභාවික අස්තිත්වය අහෝසි කිරීම හෝ නිශේධනය කිරීම සිදු වේ. විද්‍යාවේ මූලික විරුද්ධාභාසය මෙයයි. “දැන ගැනීම” ට ඇති විද්‍යාත්මක කැමැත්ත(දැන ගැනීමට ඇති ආශාව) අරමුණු කරන්නේ ස්වාභාවික දේ පිළිබඳ අපගේ තේරුම්ගැනීම හෑරීමටයි(ගැඹුරු කිරීමයි). නමුත් මෙය නිසි පිලිවෙලින් සාක්ෂාත් කර ගැනීම සඳහා, එය තාක්‍ෂණික විද්‍යාත්මක වස්තුවක්(techno-scientific object), රසායනාගාර මානව ආකෘතික වස්තුවක්(විද්‍යාත්මක පරීක්ෂණයක් හෝ පරීක්ෂණයකදී නිරීක්ෂණය කරන ලද දෙයක් වන එය ස්වාභාවිකවම නොපවතී. නමුත් එය සූදානම් වීමේ හෝ විමර්ශන ක්‍රියා පටිපාටියේ ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසිකව පවතී). බවට රූපාන්තරණය වේ. ආරම්භක දෙය නිශේධ කරනු ලැබේ. ඒ අනුව සිදුවන්නේ “ස්වාභාවික දෙය” සහ තාක්‍ෂණික-විද්‍යාත්මකව නිපදවන ලද අයිතමය(item) අතර ආතතියක් හෝ විසම්බන්ධයක් දක්වා ක්‍රමයෙන් වැඩි වීමක් වශයෙන් පැවතීමය. එනම් සිදුවන්නේ ආරම්භක මාංසමය(fleshy) දෙය වචනාර්ථයෙන් “මකාදැමීම” වේ(විද්‍යාව විසින් යොදනු ලබන අකුරු හා ඒ හා සමාන සංකේත මගින් එය ආදේශ කර ඇත). වස්තුව “විශ්ලේෂණය” කර ඇත(වස්තුවට අදාළව තිබූ සංස්ලෙෂණයන් මගහැරේ). එනම් මූලික සංරචක(ජාන, අණු, ප්‍රෝටීන ආදිය) දක්වා ඌනනය වේ. රූපානුදර්ශය ප්‍රවේණිගත කිරීම(ප්‍රවේනිදර්ශය) දක්වා ඌනනය වේ. මෙය විද්‍යාවේ මූලික විරුද්ධාභාශයයි. විද්‍යාත්මක පර්යේෂණයන්හි ආවේනික නිශේධනාත්මක බව මෙයයි. එනම් සංකේතකරණ ක්‍රියාවලියේ පටිපාටිය තුල මුල් වස්තුව(original object) වන ස්වාභාවික අස්තිත්වය(natural entity) නැති වී යයි. එසේම සමාජය තුල එම වස්තුවට තිබූ සම්බන්ධයද(යම් කිසි සමාජයක සියලු සමාජ සම්බන්ධතා ජාලය තුල වූ වස්තුව ) නැතිව යයි( හැඟවුම්කාරකය පවතින්නේම ඊට අදාළ සංකේත නීතියද සමගිනි. නමුත්, ඒ අනුව වර්තමානයේ හැඟවුම්කාරකය යනු අදාළ සංකේත නීතිය අහිමිකොටගත් තත්වයකි ). නමුත් මෙය විද්‍යාව තුල අත්‍යවශ්‍ය අත්දැකීමකි. ඒ “ලස්සන ආත්මයේ” ස්ථානය වෙතට පැවත එන ස්වාභාවික අස්තිත්වයන් සමග වන වඩා කාව්‍යමය අන්තර් ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීම විසින් මෙම ගතිකයන් වෙතට ඇලීමට වීම ප්‍රතික්ෂේප කිරීම සඳහාය.

මෙහිදී ලකානියානු අර්ථයෙන් අවධාරණය කල යුතු ප්‍රධාන දෙය වන්නේ සමාජීයව පැවති සංකේතීය දැනුම(symbolic knowledge) යටපත් කරමින් අධිකරීත්වයකින් යුතු ආයතනික ක්‍රියාවලියක් තුලින් පැමිණෙන දැනුම පැටවීම යන කාරණයයි.

මෙම ලේඛනයේ ආරම්භයේ ඇති ලකාන් සමග සම්මුඛ සාකච්චාවේදී ලකාන් විසින් විද්‍යාව පිළිබඳව සහ විශේෂයෙන්ම බැක්ටීරියාව පිළිබඳව ඉදිරිපත් කරනා කාරණා කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකි කාරනා නොවේ. ලකානියානු ඉදිරිපත් කිරීම පිළිබඳව මෙම ව්‍යාකූලත්වය ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. බොහෝ ලකානියානු අනුගාමිකයින්ට ලකාන් කියනා දෙය පැහැදිලිව අවබෝධ වී නොමැත. ඒ අනුව මෙය ලිපියේ පළමු කොටස වන අතර මෙය කොටස් වශයෙන් පලවන දීර්ග පැහැදිලි කිරීමක් ලෙස ඉදිරියට යනු ඇත. එහිදී ලකාන්ගේ දේශන ගෙනහැර දක්වමින් ඉහත සම්මුඛ සාකච්චාව තුල ලකාන් විසින් සංක්ෂිප්ත කොට ප්‍රකාශ කරනා කාරනා ලකාන්ගේ පැහැදිලි කිරීම් තුලින්ම ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ස්ලවෝය් ශිෂැක්ගේ පැහැදිලි කිරීම්ද ඊට එකතු කරනුයේ ශිෂැක්ගේ න්‍යායික ආස්ථානය පිළිබඳව ගොඩනැගී ඇති විකාර සහගත සම්භාෂණය ව්‍යර්ථ කිරීම සඳහාය. 

     මතු සම්බන්ධයි…..

1 thought on “නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස (1) කොටස

Leave a Comment

%d bloggers like this: