පරිසරවාදී අබිං කෑම….

නව ලිබරල් ධනවාදය තුළ ලෝකය අර්බුදයට යන්නේ ආර්ථික වශයෙන් නො ව පාරිසරික ප්‍රතීඝතා (antagonisms) හේතුවෙනි. ඒ බව ලිබරල්වාදීන් තේරුම් ගෙන ඇතත් වාමාංශිකයන් එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
2017 අය වැය නම් කොට තිබුනේ “නීල හරිත අය වැය” නමිනි. ඒ පරිසරවාදී ලිබරල් රටවල් අනුව යමින් මංගල සමරවීර විසින් කළ කාර්යකි. එම අය වැය සකස් කෙරුනේ විදේශ රටවල ඉගෙන ගත් තරුණයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් බවද කියවේ.

පාරිසරික ප්‍රතීඝතා වසා දැමීම සඳහා සිදුකරන කළමනාකරණ හැඳින්විය හැක්කේ පරිසරවාදය, එසේ නොමැති නම් පරිසර විද්‍යාව ලෙස ය. එවැනි කළමනාකරණවල ප්‍රතිඵලය වන්නේ සැබෑ අර්බුද තාවකාලික ව සමනය කරමින් පාරිසරික අර්බුද හැකි තාක් වසා දමමින් අර්බුදය කල්දැමීම ය (ඒ තුළින් ධනවාදය ඉදිරියට ගලා යාම සිදු වේ. ධනවාදය සැම විට ම පවතින්නේ අර්බුදවලට ලක් වෙමින් වන අතර එහි සාර්ථකත්වය පවතින්නේ ම ඒ අර්බුදවලට “දැනුම” මගින් ගෙන එන විසඳුම් වෙළඳපොළ තුළින් බෙදා හැරීම මත ය ). අර්බුදය කල් දැමීමේ ප්‍රතිපලය වන්නේ එය ඉදිරියේදී නැවතත් සමනය කළ නො හැකි මට්ටමේ ගුණාකාරයකින්, එනම් යථෙහි (Real) ඉතා ම භයානක යක්ෂමය ස්වභාවයකින් ඉස්මතු වී පැමිණීම ය. අපට දැනට කිව හැක්කේ ඉදිරියේ දී කළමනාකරණයේ සීමාව මුණගැසීමට නියමිත බව ය. ඒ අනුව ඒ වන විට ඒවා කළමනාකරණය කිරීම සඳහා ඉදිරිපත් වන පරිසරවාදීන් වෙනුවට සිදුවන්නේ ඇති හැකි අය (ධන කුවේරයන්) බේරීමට හැකි යයි ඔවුන් සිතනා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹීම සහ ඒවා කිරීමට නො හැකි අය ක්‍රමයෙන් විනාශ වී යාමත් සමග ලෝක විනාශයක් මුණ ගැසීම ය. ඒ වන විට නූතන විද්‍යාවට සහ තාක්ෂණයට කළ හැකි දෙයක් ඉතුරු නො වනු ඇත.

මංගල සමරවීරගේ “හරිත අයවැය” තුළින් පාරිසරික අර්බුදය සඳහා ලබා දී ඇති ප්‍රධාන විසඳුම් වන්නේ….
* පොසිල ඉන්ධන භාවිත කරන වාහන ක්‍රමයෙන් ඉවත් කොට දමා ඒ වෙනුවට ආරෝපිත බැටරි මගින් ධාවනය වන මෝටර් රථ හඳුන්වා දීම.
* එම වාහනවලට අදාළ බල ශක්ති විසඳුම ලෙස සූර්ය බල ශක්තිය යොදා ගැනීම.
* ඒ සඳහා සූර්ය බල ශක්ති උද්‍යාන පිහිටුවීම සහ සෑම නිවසක් ම සූර්ය බල නිවසක් බවට පත් කිරීම.
* 2040 වන විට රටෙහි ධාවනය වන වාහන සියල්ල ම ආරෝපිත බැටරි මගින් ධාවනය වන වාහන පමණක් බවට පත් කිරීම වැනි කාරණාය. 

බලශක්තිය සහ ප්‍රවාහනයට අදාළ ව ඉදිරිපත් කළ යෝජනා හැරුණු විට “හරිත අයවැය” තුළ අඩංගු වූ වෙනත් සැලකිය යුතු තරම් “පරිසර හිතකාමී”යෝජනා නො තිබුණි.
ඒ අනුව පාරිසරික අර්බුදය “මැඩපැවැත්වීම” සඳහා ගත යුතු පළමු පියවර ලෙස ඔවුන් සලකන්නේ මේවා විය යුතු ය.

පරිසරවේදීන් සතුටු වන්නේ ඉදිරි අනාගතයේදී පොසිල ඉන්ධන තුරන් වී පරිසර හිතකාමී සූර්ය බල ශක්තිය සහ විදුලි මෝටර් රථ පැමිණෙන බැවිනි. විද්‍යාත්මක සහ තාක්‍ෂණික දියුණුවේ ප්‍රතිඵල මගින් ප්‍රධානතම පරිසර අර්බුදයකට විසඳුමක් ලැබෙන බව ඔවුනගේ දැඩි විශ්වාසය යි. ඒ අනුව සමාජ සංවර්ධනයේ අනිවාර්යයෙන් පසු කළ යුතු පොසිල ඉන්ධන යුගයක් පසු කොට අවසන් වී වඩා යහපත් තත්වයක් උදා වන බවට වන දෘෂ්ටිවාදී ෆැන්ටසියක බොහෝ දෙනෙකු පසු වන්නේ ය. මෙහි දී සැලකිය යුතු ප්‍රධානතම කාරණයක් වන්නේ සාමාන්‍ය මිනිසුන්, වාමාංශිකයන්, පශ්චාත් මාක්ස්වාදීන්, සහ අනෙකුත් විවිධ දර්ශනවාදීන් සහ ලිබරල්වාදීන් යන සියලු දෙනා ම “වඩා යහපත්” යන්න පිළිගැනීම තුළ සමාජ සංවර්ධනය අනිවාර්යතාවයක් ලෙස පිළිගැනීම ය.

පොසිල ඉන්ධන වෙනුවට බැටරි අරෝපනය කොට හෝ ජලය මගින් ක්‍රියාත්මක වන මෝටර් රථ (ජලය මගින් ක්‍රියාත්මක වනවා යැයි කියනා මෝටර් රථ පිළිබඳ ව කථා කිරීමේ මේ මොහොතේ අදාළත්වයක් නොමැත. නමුත් ජලය මගින් ධාවනය වන මෝටර් රථවලින් ඇති වන තත්වය වර්තමානයට වඩා අයහපත් වනු ඇති බවට දැනටමත් පුරෝකථනයන් පවතී) විසඳුමක් ලෙස දකිනා මුග්ධයින් හට අවබෝධ නො වන කාරනාව වන්නේ එම මෝටර් රථ සඳහා පොසිල ඉන්ධන වෙනුවට යොදන බැටරිවලින් ඇති වන අර්බුදය ඊට වඩා භයානක වනු ඇති බව ය (ධනවාදය තුළ විද්‍යාව සහ තාක්‍ෂණය මගින් ගෙන එන විසඳුම්වලින් මෙතෙක් සිදු ව ඇත්තේ අර්බුදය තව තවත් උග්‍ර කිරීමය).

පොසිල ඉන්ධන භාවිතයේ දී ඇති ක්ෂණික ප්‍රධාන ප්‍රශ්නය වන්නේ වාතයට විමෝචනය වන nitrogen oxide, sulfur dioxide, volatile organic compounds and heavy metals වැනි තවත් බොහෝ ද්‍රව්‍ය බව නූතන විද්‍යාව ම ප්‍රකාශ කර යි. ඒ කෙසේ වෙතත්, යථෙහි ප්‍රතීඝතා තුළ (ලකාන් අනුව යමින්) එය වටහා ගන්නේ නම් අපට හොඳින් පෙනී යන කාරණය වන්නේ මිනිසුන්, ගහ කොළ, ගොඩබිම වසන ජීවීන් මෙන්ම ජලජ ජීවීන්ද මෙම තත්වය තුළින් අර්බුදයට යන බව ය (අපගේ තේරුම් ගැනීම එයයි). විදුලි මෝටර් රථ භාවිතයෙන් මේ ප්‍රශ්නවලට විසඳුම ලැබෙන බව ‘අවිඥානයේ ආත්මය නූතන විද්‍යාවේ ආත්මය’ වී ඇති විද්‍යාඥ ප්‍රජාව වහරන විට සමාජය විසින්ද එය එක හෙළා පිළිගනු ලබන්නේ ජාතික රාජ්‍යයන් ලෙස ගොඩනැගී ඇති සමාජයන්හි ‘ආත්මය ද විද්‍යාවේ ආත්මය’ බැවිනි. නමුත් ඔවුන් නො දකිනා කාරනා වන්නේ මේවා ය.

* විදුලි මෝටර් රථවල බැටරි ආරෝපණය සඳහා අති විශාල විදුලි පිරිවැයක් අවශ්‍ය ය. එය සුළු පටු විදුලි නිෂ්පාදනයක් නො වනු ඇත. ඒ අනුව පොසිල ඉන්ධන දහනය කරන මෝටර් රථවලට වඩා පාරිසරික අර්බුදයක් මේවායින් ඇති වීමට නියමිත වන්නේ විදුලි නිෂ්පාදනය තුළින් සිදුවන අර්බුද සහ ලිතියම් අයන් බැටරිවල බලපෑම යන දෙකෙහිම ඓක්‍යයෙනි. විශාල ලිතියම් අයන් බැටරි භාවිතයේදී බැටරියකින් පරිසරයට මුක්තවන දෑ පොසිල ඉන්ධනවලින් නිකුත් වන දෑට වඩා අහිතකර ය. නමුත් එයින් පොසිල ඉන්ධනවලින් ධාවනය වන වාහනයේ දුම් බටයෙන් නිකුත් වන දෑ මෙන් ක්ෂණික බලපෑමක් නැති හෙයින් මේ තත්වය හැඳින්විය හැක්කේ ඉහතින් සඳහන් කොට ඇති භයානකත්වය සඳහා වන ආවරණයක් යන්න සඳහා උදාහරණයක් ලෙස ය.
* උදාහරණයකට ඇමෙරිකා එක්සත් ජනපදය ගතහොත් එහි ජනගහනය ලෝක ජනගහනයෙන් 5%කටත් වඩා අඩු වුවද එම රටෙහි පොසිල ඉන්ධන භාවිතය ලෝක පොසිල ඉන්ධන භාවිතයෙන් 25%ක ප්‍රමාණයකි. එවැනි ප්‍රමාණයකට ලිතියම් අයන් බැටරි නිෂ්පාදන කිරීම සඳහා කෙතරම් ලිතියම් අයන් ප්‍රමාණයක් සහ ඊට අදාළ අනෙකුත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කළ යුතු ද? ඒවා නිෂ්පාදනය පොසිල ඉන්ධන නිෂ්පාදනය තරම් පහසු කාර්යක් නො වේ. එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පරිසරයට මුක්ත වන ආගන්තුක ද්‍රව්‍යවල (මේවා අහිතකර බව නැවතත් නූතන විද්‍යාවේ දැනුම මගින් ම කියවෙ යි. යන්ත්‍ර සූත්‍ර භාවිත කොට කැණීම් කොට නිස්සාරණය කොට දැනුමකින් නිෂ්පාදනය කෙරෙන මේ බොහෝ ද්‍රව්‍ය මිනිසුන්ට, සතුන්ට, ගහ කොළට ආගන්තුක ය. ඒවා අහිතකර වන්නේ මේ ආගන්තුක බව නිසා ය. බටහිර විද්‍යාවේ දැනුමට මේ ආගන්තුක බව විෂය නො වේ.) ප්‍රමාණය සහ ගුණය පොසිල ඉන්ධන නිෂ්පාදනයේ දී මුක්ත වන ප්‍රමාණයට වඩා බෙහෙවින් ඉහළ බව පැවසේ.
* මෙම බැටරි නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ලිතියම් අයන් සහ අනෙකුත් අමුද්‍රව්‍ය ඉතා දුර්ලභ ඝනයේ ඒවාය (විශේෂයෙන් ම ප්‍රධාන දෙය වන ලිතියම්). ලිතියම් කුඩා ප්‍රමාණයක් නිස්සාරණය කොට ගැනීම සඳහා අති විශාල භූමි ප්‍රමාණයක් හාරා විනාශ කළ යුතු ය; කඳු නම් කඩා දැමිය යුතු ය. නිෂ්පාදනය ඉහළ යන විට ඒවා සොයාගැනීම සඳහා කෙතරම් පතල් හෝ කඳු ප්‍රමාණයක් හෑරීමට සිදුවනු ඇත්ද? එවැනි අති විශාල භූමි කැනීම් සඳහා අවශ්‍ය තාක්‍ෂණය, දැනුම, උපකරණ, යටිතල පහසුකම්, යන දෑ නිෂ්පාදනයේ දී සහ නඩත්තුවේ දී සිදුවන පාරිසරික බලපෑම පොසිල ඉන්ධන නිෂ්පාදනයේදී මෙන් නො වන බව දැනට තහවරු වී ඇත. දුර්ලභ බැර ලෝහ පවතින්නේ ඉතා කුඩා ප්‍රමාණවලිනි. එසේ ම ඒවා සොයා ගැනීම ඉතා අපහසු ය. ඒ අනුව කුඩා ප්‍රමාණයක් සොයා ගැනීම සඳහා විශාල භූමි ප්‍රමාණයක කැණීම් කළ යුතු ය. එහි විනාශය කොතරම් ද කියතොත් එම කැනීම්වලින් හාරාගන්නා ප්‍රමාණයෙන් ලිතියම් අයන් 0.2%ක් නිස්සරනයකොට ගැනීම සඳහා 99.98ක අනෙකුත් කොටස් ඉවත දැමීමට සිදු වනු ඇත. එම අනෙකුත් ඉවතලන ද්‍රව්‍යය 99.98 ඉතාම විෂ ද්‍රව්‍යවලින් (විෂ ද්‍රව්‍ය යනු අප ජීවත් වන පරි සරයට ආගන්තුක ද්‍රව්‍ය යි) සමන්විත වන අතර ඒවා පරිසරයට එකතු වීම සිදු වේ. මෙම ක්‍රියාකාරකම් නිසා ඇති වන විපර්යාසවල බලපෑම කෙතරම් ද කියතොත් මෝඩ “උගතුන්ට” පවා සිතාගැනීමට හෝ නො හැක්කේ මේවා කළමනාකරණය කරණුයේ කෙස් ද යන්න යි. මේවායෙහි බලපෑම හා සැසඳීමේ දී පොසිල ඉන්ධන නිෂ්පාදනයේ පාරිසරික බලපෑම නො ගිණිය හැකි තරම් කුඩා ය. එසේ ම පතල් කැනීමේ සෑම පියවරකදී ම පවතින සැඟවුන විෂ දූලක විමෝචනය පොසිල ඉන්ධන දහනයට වඩා බරපතල අකාරයකි. පතල් කැනීමටත් වඩා වියදම් අධික කාර්යක් වන්නේ කඳු ඇඹරීමෙන් මෙම අමුද්‍රව්‍යන් සොයාගැනීම ය. එවැනි අකාරයේ ක්‍රියාවලියක වියදම පවා අභ්‍යවකාශ ව්‍යාපෘතියක වියදමට සමාන බව කියවෙන අතර එසේ ම විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ද පරිසරයට මුදා හැරේ. ඒ අනුව බලන කල වර්තමානයේ පවතින වාහනයක් නිෂ්පාදනය කිරීමේදී මුදාහැරෙන කාබන් ප්‍රමාණයට වඩා අධික කාබන් ප්‍රමාණයක් සහ විෂ දූලක ප්‍රමාණයක් විදුලි වාහනයක් නිෂ්පාදනයේදී මුදා හැරෙන බව නූතන විද්‍යාව ම පෙන්වා දේ.

* ඊළඟ ප්‍රශ්නය වන්නේ බිලියන ගණන් වන විශාල බැටරි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ආකාරයයි.
“පරිසරය” යනුවෙන් දෙයක් පවතින්නේ ම පරිසර විනාශය පවතින නිසා ය. ඒ ධනවාදය තුළ “පරිසරය” “ආරක්ෂා කෙරෙන” සුවිශේෂී අකාරය යි. පරිසර විනාශය පවත්වා නො ගනිමින් “පරිසරය” ආරක්ෂා කළ නො හැකි ය. ධනවාදය තුළ විද්‍යාව සහ තාක්‍ෂණය මගින් සැම විට ම සිදු කරනුයේ පරිසර විනාශය තැනකින් තැනකට මාරු කිරීම හෝ වසා දැමීම ය. මේ තැනින් තැනට මාරු කෙරෙන හෝ තාවකාලික ව වසා දැමෙන ක්‍රියාවලිය නිළ උගතුන්, ආයතන, සහ “පරිසරවේදීන්” විසින් පරිසරවාදී, එසේ නොමැතිනම් පරිසර හිතකාමී ලෙස අර්ථකථනය කෙරෙන අතර ඒ අර්ථකතන සමාජය මත තහවුරු කරනු ලැබේ. එහෙත් සැබවින් ම සිදුවන්නේ අර්බුදය වඩ වඩා උග්‍රවීම ය.
නමුත් ධනවාදයේ ස්වභාවයම වන්නේ අර්බුදය පැවතීම සහ එම අර්බුදය උග්‍රවීම තුළ විද්‍යාව සහ තාක්‍ෂණය මගින් ලැබෙන පිළිතුරු තුළ නැවත නැවතත් වෙළඳපොල පුළුල් වීම ය. එනම් ධනවාදය වර්ධනය වනවා යනු සහ “ලෝකය දියුණු වනවා” යනු ධනවාදයේ ස්වභාවය ම වන අර්බුදයක පැවතීම තුලින් වෙළඳ පොළ පුළුල් වීම ය (ධනවාදයේ ස්වභාවය ම වන්නේ නිරන්තර අර්බුදයය යි). ඒ අනුව ධනවාදය තුළ දී අර්බුදය මෝරනවා යනු තව තවත් නිෂ්පාදනය, වෙළඳ පොළ සහ පාරිභෝජනය පුළුල් වීම සහ ඊට අදාළ ක්‍රය ශක්තිය වෙනුවෙන් අවිවේකී ව වැඩ කරනා හුදකලා මිනිසුන් නිර්මාණය වීම ය. වෙනත් අකාරයකින් “මානව යුගය” (Anthropocene) ලෙස හැඳින්විය හැක්කේ මෙය යි. මෙය අපගේ පෘථිවියේ පෙර නො වූ විරූ තත්වයකි. එම තත්වය තුළ මිනිසුන් හට තව දුරටත් ඔවුනගේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වයන්හි ප්‍රතිවිපාක අවශෝෂණය කරගැනීමට සූදානම් ජලාශයක් ලෙස පෘතුවිය මත විශ්වාසය තැබිය නො හැකි ය.
ගෝලීය උෂ්ණත්වය පිළිබඳ මෑතක දී පවතින අවිනිශ්චිතතා සියල්ල එතරම් බරපතල ලෙස ඉදිරිපත් නො වෙතත් අප සිතනාවාට වඩා ඒවා ව්‍යාකූල වන අතර ස්වාභාවික හා සමාජීය සාධක එකිනෙකට වෙන් කළ නො හැකි ලෙස බැඳී ඇත.
එවිට මෙම තර්ජනයට එරෙහි ව ධනවාදය ම භාවිත කළ හැකි ද (මෙහි දී ධනවාදය ම පාවිච්චි කරනවා යනු පවතිනා යථාර්ථය තුළම විසඳුම් සෙවීම යි)? ඒ කෙසේ වුවත් ධනවාදයට කළ හැකි දෙයක් තිබේ. ඊට ඉතා පහසුවෙන් හැකිවන්නේ පරිසරවේදය (ecology) ධනේශ්වර ආයෝජන හා තරඟකාරීත්වයේ නව ක්‍ෂේත්‍රයක් තුළට විවර්තනය කිරීම ය. එනම් අවදානම නිරාවරණය කෙරෙනුයේ වෙළඳපොළ විසඳුමක් වෙතට ය (ඒ අනුව ක්‍රියාත්මක කළ හැකි හෝ නො කළ හැකි වුව ද මංගල සමරවීරගේ අයවැය යනු ඒ තත්වය හොඳින් අවබෝධ කොට ගත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අයවැයකි). එසේ වන්නේ ධනවාදය ක්‍රියාත්මක වන්නේ නිශ්චිත තත්වයන් තුළ බැවිනි. එනම් වෙළඳපොළෙහි “අදෘශ්‍යමාන හස්තයේ” වාස්තවීකරණය වූ යාන්ත්‍රනය සම්බන්ධයෙන් වන විශ්වාසය එය විසින් හඟවනු ලබයි. එය විසින් එක්තරා ආකාරයක “තර්ක බුද්ධියේ කපටිකමක්” (Cunning of Reason ) ලෙස සහතික කරනු ලබනුයේ පොදු යහපත සඳහා වන පුද්ගලික මමායන (egotism) ක්‍රියාවන් ය. පොදු යහපත සඳහා වන පුද්ගල වගකීම අවධාරණය කිරීම පරිසරවාදයේ ප්‍රධානතම අංගය යි. එනම් පරිසරවාදයේ ආත්මය වන්නේ කාටිසියානු ආත්මයයි (‘මම සිතමි එනිසා මම වෙමි’). “අධ්‍යාපනය” තුළින් අවධාරණය කරන්නේ එයයි.

බටහිර “දියුණු’ රටක හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරන්නෙකු ගරු කළ යුතු පුද්ගලයෙකු (ඇත්තට ම එය අනන්‍යතාවකි) ලෙස සැලකෙන්නේ එනිසා ය. අවශ්‍ය නම් පොසිල ඉන්ධන වාහනයක් පාවිච්චි කළ හැකි ව තිබිය දී හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරන්නෙකු වීම පරිසරය ආරක්ෂා කොට ගැනීම සඳහා වන තම පුද්ගල තීරණයකි (ඊගොයික). පොසිල ඉන්ධන වෙනුවට ලිතියම් අයන් බැටරි සහිත වාහන පැමිණීමේ ක්‍රියාවලියේ ද පවතින්නේ එම දෘෂ්ටිවාදය ම ය. මංගලගේ අයවැයේ සෙලුලර් දුරකථන කුළුණු සම්බන්ධ අයවැය යෝජනාව ද, එසේ ම අයවැය යෝජනාවල අඩංගු අනෙකුත් සියලු විසඳුම්ද පැමිණෙන්නේ ‘තර්ක බුද්ධිමය’ විසඳුම් ලෙස ය. එනම් පොසිල ඉන්ධන හේතුවෙන් පරිසරයට සහ මිනිසුන්ට ඇති විනාශය හා හානි නූතන විද්‍යාව විසින් අර්ථකථනය කොට තිබේ. පොසිල ඉන්ධන උදාහරණ වශයෙන් ගෙන පැහැදිලි කරන්නේ නම් එම අර්ථකතනයන්ට අනුව පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් අසවල් අසවල් දේවල් ඇති වෙන බවත් අසවල් අසවල් දේවල්වලට ඒවා හේතු වෙන බවත් බටහිර විද්‍යාව පවසයි (ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා කාරක ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 වන්නේ ඩීසල් දුමය….වැනි කාරනා ). ඒ අනුව ඊට අදාළ හේතු ඉවත් කිරීමෙන් ඒවායින් මිදිය හැකි බව කියවේ (විද්‍යාත්මක විසඳුම්). එම හේතු ඉවත් කිරීම සඳහා ඊට ආදේශක පැමිණෙන්නේ ඒ අනුව ය. විදුලි මෝටර් රථ යනු එවැන්නකි. නමුත් “දැනුමේ” සීමාව තුළ ඇතිවී ඇති අර්බුදවලට නැවතත් “දැනුමකින්”ගෙන එන විසඳුම් මගින් අර්බුදය උග්‍ර කෙරනු ඇත. මේ දක්වා සිදු වී ඇත්තේ එයයි. පොසිල ඉන්ධන භාවිතයට පැමිණියේ ද විසඳුමක් වශයෙන් වන අතර එය විසඳුමක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද විද්‍යාත්මක දැනුමක් මගිනි. එහි ප්‍රතිවිපාක නැවත විද්‍යාත්මක දැනුමක් මගින් අර්ථකථනය කෙරෙන අතර ඊට විසඳුම් ලෙස තවත් විකල්පයක් දැනුම මගින් ඉදිරිපත් වෙයි.
මංගල සමරවීර යනු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ය. එහෙත් රනිල්ගේ සිතීම සහ මංගලගේ සිතීම එක සමාන නො වේ. රනිල්ට අනුව පාරිසරික ප්‍රශ්න යනුවෙන් දෙයක් නො පවතී. රනිල්ට අවශ්‍යය සියලු දේ වෙළඳපොළකරණයට ලක්කිරීම ය. එසේ වුවත් මෙම යුගයේ ලෝක ලිබරල් චින්තනය සකස් වන්නේ පරිසරවාදය පෙරදැරි කොට ගනිමිනි. ඒ අනුව ගතහොත් රනිල් යනු පැරණි ආකාරයට සිතන ලිබරල්වාදියෙකු වන විට මංගල යනු අධ්‍යතන ලෝක නැඹුරුතා අනුව යන ලිබරල්වාදියෙකි. රනිල්ට අනුව සියලු දේ වෙළඳපොළට අනුව තීරණය වීමට ඉඩදිය යුතු අතර මංගලගේ ක්‍රමයට අනුව එය එසේ නො වේ. එසේ බැලීමේදී අද්‍යතන ලෝක ලිබරල්වාදී නැඹුරුතාවට සමීප පුද්ගලයා මංගල සමරවීර ය.

ඒ කෙසේ නමුත් මේ වන විට ලෝකය පසුවන්නේ රැඩිකල් වෙනසක මධ්‍යයේ ය. අද දවසේ ක්‍ෂිතිජය මත කුමක් පෙන්නුම කරනවාද යන්න ආත්මීය මැදිහත්වීමක් විසින් ක්‍රියා ආරම්භ කරන (trigger) පාරිසරික මහා විනාශයක්, මාරක ජෛව ජනක විකෘතියක්, න්‍යෂ්ටික හෝ ඊට සමාන හමුදාමය-සමාජමය මහත් නස්පැත්තියක් වැනි දේවල වියහැකියාවේ අසමසම හැකියාවක් වනු ඇත. ඒ අනුව මිනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමාජ-දේශපාලන නියෝජිත එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවකට බලපෑම් සහගත ලෙස ලෝකය විවර්තනය කිරීමට හැකි වී ඇත. එසේ ම එය ගෝලීය ඓතිහාසික සහ ස්වභාවික ක්‍රියාවලිය පවා කඩා බිඳ දැමිය හැකි මැදිහත්වීමකි. එවැනි තත්වයක් මීට පෙර කිසිඳු ශිෂ්ටාචාරයක තිබුනේ නැත. මෙය සුවුශේෂී තත්වයකි.

සියලු නිශ්චිත සත්තාවන් සම්බන්ධිත වේ. දේවල් යනු එම දේවල් අනෙකත්වයට ඇති සම්බන්ධය තුළ දේවල් පමණක් වන අතර දේවල්හි දැඩි අනන්‍යතාවය තුළට අභිලේඛිත වන පර්යාලෝකී විකෘතිය යි. ළඟාවිය නො හැකි (inaccessible) අනුභූතිඋත්තර නො දන්නා යම් දෙය අපගේ නිරූපනයන් මගින් කවදා කිසි විටකවත් ප්‍රාප්ත නො වන අතර එය යථ (The REAL) ලෙස පවතිනුයේ ඉන් එළියේ නො වේ. මෙහි යථ යන්න පවතින්නේ අපගේ නිරූපනයන් සදොස් කරන සහ අසංගත කරන බාධාව හෝ අශක්‍යතාවය ලෙස ය. ඒ අනුව යථ යනු එහි ම ස්වභාවය නො වන මුත් එහි ම ස්වභාවය වෙත අපගේ පිවිසුම විකෘති කරන දැඩි බාධාව වන අතර මෙම විරුද්ධාභාෂය “පරම දැනගැනීම” (“Absolute Knowing”) යන හේගලියානු අදහස සඳහා වන යතුර සපයා දේ.

“පරම දැනගැනීම” යනු අපගේ ආත්මීයත්වයේ චක්‍රයේ පරම සීමාව සහ එහි පිටතට පිය මැනීමේ අශක්‍යතාවයේ පිළිගැන්ම සඳහා වන නමක් වේ. මෙම පිළිගැනීම කිසිදු අකාරයකින් ආත්මීය ස්වතන්ත්‍ර මාත්‍රවාදයක කිසියම් ආකාරයක් (පුද්ගලික හෝ සාමුහික) වෙතට එකතු නො වේ. අප කළ යුතු ම වන්නේ අර්චන “පිටත” (ආත්මීය මැදිහත්වීම සම්බන්ධයෙන්) වෙතින් එහි ම වූ ස්වභාවය යන්න ආත්මීයත්වය සහ වාස්තවිකත්වය අතර දැඩි පරතරය වෙතට විතැන් කිරීමය (අප සඳහා ස්වභාවය සහ එහි ම ස්වභාවය අතර, දෘශ්‍යමානයන් හා දේවල්වල එහි ම ස්වභාවය). අපගේ දැනගැනීම වනාහි අනූනනීය වශයෙන් “ආත්මීය” වන්නේ යථාර්ථය එහි ම ස්වභාවය වෙතින් අප සදහට ම වෙන් කෙරී ඇති නිසා නො වන මුත් නිශ්චිත ව ම අප මෙම යථාර්ථයේ කොටසක් බැවින් වන්නේ අපට ඉන් පිටතට පියවර තැබිය නො හැකි නිසා සහ එය වාස්තවිකව නිරීක්ෂණය කළ නො හැකි නිසා ය. අප යථාර්ථය වෙතින් වෙන්කිරීම වෙනුවට, අපගේ දැනගැනීම මත වන දැඩි සීමාව (නො වැළක්විය හැකි ලෙස විකෘති වන ලද වීම, අසංගත ලක්ෂණය) වන්නේ යථාර්ථය තුළ අන්තර්ගතය වෙතට සිටිනා සාක්ෂිකරුවන් පමණක් ලෙස ය.

එනම් රනිල් යල්පැන ගිය ලිබරල්වාදියෙකු (ලිබරල්වාදීන්ගේම හැඳින්වීමට අනුව) වීම සහ මංගල අද්‍යතන ලිබරල් ධාරාව සමග අනුගත වීම තුළ පවතින්නේ “දැනුම” පිළිබඳ ප්‍රශ්නයකි. රනිල් අදහන ලිබරල් චින්තනයට අනුව (ප්‍රැන්සිස් ෆුකුයාමා පවා මේ වනවිට තම අදහස් විවර්තනය කොටගෙන ඇත) පරිසර ප්‍රශ්නය යනුවෙන් යමක් නොමැති වූවද රනිල් අදහන ලිබරල් චින්තනය ක්‍රියාත්මක කළ රටවල් එවැනි තත්වයකට මුහුණ දීම හේතුවෙන් මේ වන විට පරිසරවාදය වැළඳගෙන තිබේ. එහෙත් රනිල් එවැනි පරිසරවාදී ලිබරල් අවබෝධයක නොමැත. ඒ අර්ථයෙන් ඔහු එක්තරා කන්සර්වටිව්වාදියෙකි. එය එසේ වුවද එහි විද්‍යාමාන වීම සිදුවන්නේ යල්පැනගිය “දැනුම”සහ නවීන “දැනුම” අතර පරතරය ලෙස ය. වාමාංශිකයන්ට අනුව සිදුවිය යුත්තේ “වඩා නව දැනුම”වෙත අනුගත වීම ය. ලිබරල්වාදීන්ට අනුව ද එය එසේ ය. එහෙත් ඉහත න්‍යායික ස්ථාවරයට අනුව “දැනුම”යනු එවැනි පරමයක් කරා පියමනින ගමනක අවස්ථා නො වේ. එය එසේ නමුත් “දැනුම” යන්න පිළිබඳව සංස්ථාපිතය වන්නේ පැරණි ක්‍රියාකාරකම් සහ තීරණ වනාහි අනිවාර්ය ලෙස ම කිසි යම් ”පරම දැනගැනීමක්” දක්වා වන ගමනේ වන පසු කිරීම් ලෙස ය (පරිනාමවාදය දෘෂ්ටිවාදය වී ඇති තත්වය තුළ). මංගල සමරවීර හට අයවැය සකස් කිරීම සඳහා විදේශ රටවල ඉගෙන ගෙන පැමිණි පොෂ් තරුණයින් අවශ්‍ය වන්නේද “දැනුම” පිළිබඳ ව ඇති එම දෘෂ්ටිවාදය නිසා ය (වාමාංශිකයන් විසින් උත්කෘෂ්ටභාවයට නංවනු ලබන ඊනියා ශිෂ්‍ය අරගලවල විවිධ ආකාරයෙන් නැගෙන එක ම අඳෝනාව වන්නේ “දියණු” රටවල නිපදවෙන මෙම ගතික “දැනුම” පවතින ආණ්ඩුව ( කලින් කලට ) විසින් ඔවුන් හට නිසි ආකාරයට ලබා නොදේ යන්න සහ ඒ සඳහා දිළින්දන්ට නැති අවස්ථා ඇති හැකි යට ඇති බවය).

ඒ අනුව ධනවාදයේ අර්බුදය කල්දැමිය හැකි කළමණාකාරීත්වය අඩංගු සිතන්නා රනිල් නො ව මංගල ය. ලිබරල් වාමාංශිකයා සහ සංස්කෘතික වාමාංශිකයා මංගලට කැමති අවිඤ්ඤාණය පවතින්නේ එතන ය. ලිබරල් වාමාංශිකයන්, පශ්චාත් මාක්ස්වාදීන්, වාම සම්ප්‍රදායන්ගෙන් පැවත එන කලාකරුවන්, මාධ්‍යයවේදීන්, ස්ත්‍රීවාදීන්, සමකාමීන් සහ රැඩිකල් යයි කියනා අනන්‍යතා නඩත්තු කරන්නන්ගෙන් අතිශය බහුතරය මංගල වෙත විශාල කැමැත්තක් දැක්වීමේ සංදර්භය සැකසෙන්නේ ඉහතින් පැහැදිලි කල “දැනුම” පිළිබඳව දැඩි විශ්වාසය තුළ ය.

අපගේ ආත්මීයත්වයේ චක්‍රයේ පරම සීමාව සහ එහි පිටතට පිය මැනීමේ අශක්‍යතාවයේ නො පිළිගන්නා නූතන විද්‍යාව විසින් පාරිසරික අර්බුද වෙත ගෙන එන සියලු විසඳුම් ඛේදවාචකයන් ලෙස අසාර්ථක වෙමින් පැවතිය ද සියලු දෙනා තව දුරටත් විශ්වාසය තබන්නේ ඒ මත ම ය. ලංකාව වැනි රටවල් එම විසඳුම් අනුගමනය කරනුයේ බටහිර සහ යුරෝපා රටවල් අනුව යමින් මෙන්ම ධනවාදී අර්බුද කළමනාකරණයේ ඒජන්සි ලෙස කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංගමය වැනි සංවිධානවල උපදෙස් පරිදි මිස ඉන් ස්වායත්ත සිතීමක් තුළ නො වේ. දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ එලෙසිනි.

ප්ලාස්ටික් සහ පොලිතීන්වලට විසඳුම ලෙස ඒවා අනුභව කරන දළඹුවෙකු නිර්මාණය කොට ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් නොබෝ දා ප්‍රකාශ කොට තිබුණි. නමුත් ඉතිහාසය තුළ සිදු වූවාක් මෙන් ම මෙවැනි විසඳුම් විසින් කලින් පැවතියාට වැඩියෙන් තත්වය උග්‍ර කරනුයේ අපගේ “දැනගැනීම” පිළිබඳ ව වන ආත්මීය සීමාව හේතුවෙනි. එනම් අපගේ දැනගැනීම වනාහි අනූනනීය වශයෙන් “ආත්මීය” වේ. නිශ්චිත ව ම අප මෙම යථාර්ථයේ කොටසක් බැවින් අපට ඉන් පිටතට පියවර තැබිය නො හැකි ය. එසේ ම එය වාස්තවිකව නිරීක්ෂණය කළ නො හැකි ය. යථාර්ථය වෙතින් වෙන් නො වූ අපගේ දේවල් පිළිබඳ ව “දැනුම”, එනම් දේවල් ලෙස අප විද්‍යාත්මක ව කරන හඳුනාගැනීම, අනිවාර්ය ලෙස ම විකෘති වන ලද සහ ඒවායෙහි අසංගත වන ලද දෙයකි. ඒ අනුව අප යථාර්තය තුළ අන්තර්ගතය වෙතට සිටින සාක්ෂිකරුවන් පමණක් වේ. ඕනෑ ම අර්බුදයක් සම්බන්ධයෙන් “දැනුමකින්”ගෙන එන විසඳුම් ඛේදවාචකයන් ලෙස අසාර්ථක වන්නේ එබැවිනි.

Leave a Comment