ප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන

මේ දිනවල රටේ සියලු දෙනාගේම පාහේ අවධානය IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) වෙතට යොමුව ඇත. IMF නියෝජිතයිනට කරන ගරු කිරීමක් ලෙස ඔවුන් රටට පැමිණි දිනයේ සිට ඔවුන් පිටව යන තෙක් රට පුරා විදුලිය කපා හැරීම පවා අත්හිටුවා ඇත. IMF වෙත යොමු විය යුතු බව ගෝල්ෆේස් උද්ඝෝෂකයින් ඇතුළු රටේ බහුතරය පිළිගෙන ඇති බවක් ද පෙනේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය ධනේශ්වර අන්තර්ගතයෙන් සහ ධනවාදයේ ස්වරූපය ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයෙන් කොන්දේසිගතව ඇත. ඒ අනුව ධනවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිවා සේම ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ධනවාදයක්ද නොමැත. ධනවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් ධනේශ්වර අන්තර්ගතය ඉදිරිපත් වන්නේ අවශ්‍යතා, ආශාවන් සහ අවසානයේ එකිනෙකා පරයා නැගී සිටින එකිනෙකා අතර තරඟකාරීත්වය තුළය. සියලුම සමකාලීන දේශපාලනවිවාද තුළ ධනේශ්වර ස්වරූපයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතය ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වල ප්‍රායෝගික අර්ථකථනයෙන් සහ එම ධනේශ්වර ප්‍රයෝගිකත්වය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නොපවතිනා බැවිනි (උදාහරණයක් ලෙස නිදහස යනු තම ශ්‍රමය විකිණීමට කම්කරුවාට ඇති නිදහස ලෙස). ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ධනවාදයේ මෙම අන්‍යෝන්‍ය හා ඓතිහාසික වශයෙන් නිශ්චිත අධිෂ්ඨානය (අන්තර්ගතය සහ ස්වරූපය) දැන් පවතින්නේ එසේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක්ද යන්න හැඟවීමේ උත්සාහය අසාර්ථක වන්නේ ධනවාදය තුල අර්බුධ විසින් එහි තාක්ෂණික පද්ධතීන්ට පරිබාහිරව විකල්ප හැකියාවන් හෝ ගැන සිතිය නොහැකි (සමාජවාදය, නාසි වාදය වැනි ලෙස හෝ) ස්වයංක්‍රීය සවිඥානිකත්වයන් නිපදවන බැවිනි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුල අධිකාරීත්වයක් පැවතීම යන්න වැසී පවතී.

ප්‍රජාතන්ත්‍රවාදය ‘ස්වාමි හැඟවුම්කාරකයක්’ (‘master signifier’) ලෙස එහි වඩාත්ම මූලිකම හැඟවුම්කාරකය වන තේරීම‘ (තෝරා ගැනීමට ඇති ඉඩ, නිදහස, සහ ඒ සඳහා ඇති අවස්තාව) වෙතට දැඩිව අකමැති හැඟවුම්කාරකයන්ගේ ක්ෂේත්‍රයක් සුසන්ධීකරණය කල නොහැක. එසේ වන්නේ ඇත්ත වශයෙන්ම එම හැඟවුම්කාරකයන්ගේ ක්ෂේත්‍රය තුල ප්‍රජාතන්ත්‍රවාදය සලකුණු කරන අර්ථයෙන් තෝරාගැනීමට නිදහසක් නොමැති බැවිනි (නමුත් තමන්ගේ ජීවිතය සහ තෝරාගැනීම් යන්න ඉරණම සහගත ලෙස ධනවාදයේ කොන්දේසීන් තුල තීරණය වී ඇති බව කිසිවෙකුටත් එතරම් අදාළ නැත).

ඉහත සඳහන පැහැදිලි කොට ගැනීම සඳහා උදාහරණ සපයන්නේ නැවතත් ගෝල්ෆේස් අරගලය විසිනි. නිදහසින් පසු ලංකාවේ අරගල පිළිබඳව සැලකූ විට ගෝල්ෆේස් අරගලය සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ඊට පෙර තිබූ 1953 හර්තාලය, 1971 සහ 1987-1990 අරගලවලින් වෙනස්ව එය ඍජුවම පුද්ගල නිදහස පිළිබඳවඑනම්, තෝරා ගැනීමට ඇති ඉඩ, නිදහස, සහ ඒ සඳහා ඇති අවස්තාව අහිමි වීම වෙනුවෙන් සිදු වූ අරගලයක් බවට පත්ව තිබීම සහ ඒ වෙනුවෙන් ලිබරල්වාදී මැදිහත්කරුවන් (නායකයින්) රැසක් ඉදිරිපත්ව සිටීමයි (මේ පිළිබඳව ලිපි මාලාවේ 2 කොටස තුල විස්තීර්ණව කරුණු දක්වා ඇත). ඉන් පෙනී යන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව රට තුල හොඳින් තහවුරු වී ඇති බවය [එසේ එය තහවුරු කිරීම සඳහා ඇප කැප වී ක්‍රියා කලේ වාමාංශිකයින්ය. ඒ අනුව වාමාංශිකන් යනු ස්වාමි කතිකාව (‘the discourse of the master’) භාරගන්නා, එය තුල සංස්ථාපිතව ඉල්ලීම් සහ ඓතිවාසිකම් ඉල්ලා සිටිනා හිස්ටීරික කතිකාවේ (‘the discourse of the hysteric’) මිඩංගු වන්නන්ය]. ධනවාදය තුල අතිශය සංකීරණ පුද්ගල අනන්‍යතා (ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය තුලින්, ව්‍යාපාරිකයින් ලෙස, වැනි), පාරිභෝජනවාදය සහ විනෝදාස්වාදය තුල ගොඩනැගී ඇති අතිශය සංකීර්ණ ජාලය තුල සහ ඉතාම සංකීර්ණ විපරීතභාවයන් ලෙස ක්‍රියාත්මක වේ. ගෝල්ෆේස් අරගල කරුවන් විසින් ඉල්ලා සිටියේ එම සංකීර්ණතත්වය තුල තෝරා ගැනීමට ඇති ඉඩ, නිදහස, සහ ඒ සඳහා ඇති අවස්තාව තහවුරු කරන ලෙසත් ඒවා තව තවත් බහුගුන වී ප්‍රවර්ධනය වීමේ සමාජ-ආර්ථික කොන්දේසීන් සපුරාලන දේශපාලන අධිකාරීත්වයක් සංස්ථාපනය කරන ලෙසත්ය. ඒ අනුව ‘තේරීම‘ (choice) වෙතට දැඩිව අකමැති හැඟවුම්කාරකයන්ගේ ක්ෂේත්‍රයක් යනු ඉහත කී තත්වයට එරෙහි (පන්ති සමාජයට සහ විපරීත විවිධත්වයට එරෙහි) කතිකාවකි. ඒ අනුව ඇත්ත වශයෙන්ම එම හැඟවුම්කාරකයන්ගේ ක්ෂේත්‍රය තුල ප්‍රජාතන්ත්‍රවාදය සලකුණු කරන අර්ථයෙන් තෝරාගැනීමට නිදහසක් නොමැත. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය විසින් එම කතිකාව දෙස අවඥාවෙන් බැලීම පුදුමයක්ද? එනම් අතිශය බහුතරයකට අනුව අපගේ මෙම විශ්ලේෂනීය කතිකාව විහිළුවකි. සුළුතර වාමාංශිකයින්ට පවා එය විහිළුවක් බවට පත්ව ඇත්තේ අප විසින් ලෝක දැක්මක්හෝ “සුභාරංචියක්” රැගෙන එන්නේ නැති බැවිනි. 

ස්වාමි හැඟවුම්කාරකය යටතේ අනෙකුත් සියලුම හැඟවුම්කාරක ඒකාබද්ධ කරන (සුසන්ධීකරණය) බාහිර මූලාරම්භයේ ස්ථානය අල්ලා ගැනීමට උත්සාහ කරයි.

අනෙකුත් සියලු හැඟවුම්කාරකයන් ආවරණය කරන, කල හැකි යයි සිතන ඒකාබද්ධ සමස්තයක් පිළිබඳ සංකල්පය ෆැන්ටසියක් වන බැවින්, ස්වාමි-හැඟවුම්කාරකය විසින් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය සංකේතවත් කිරීමේ ක්‍රියාවෙන් ඉතිරි වූ හිස්බව ආවරණය කරයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු මූලධර්මයන්ට අදාළ සියලු දේ තුල සුසංවාදයක් ඇති සමාජයක් ලොව කොතනකවත් නොපවතින අතර එසේ වීමට හැකියාව පිළිබඳව ෆැන්ටසියක් විසින් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය දරා සිටීම එහි ස්වභාවයයි. ඒ අනුව ආදේශ කිරීමෙහි එහි සාපේක්ෂ සාර්ථකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු විශ්ව විද්‍යාල කතිකාවේ (the discourse of the university), එනම් විද්‍යා-තාක්ෂණික සාර්ථකත්වය තුල හැඟවුම්කාරක ක්ෂේත්‍රය සමග ධනවාදයේ අසාර්ථකත්වය විසින් සාර්ථකව හවුල් කරගන්නා සමගි වීමේ ක්‍රියාකාරීත්වයක් තුලය. වෙනත් වචන වලින් පවසන්නේ නම්, විශ්ව විද්‍යාල කතිකාවෙහි ක්‍රමානුගත කිරීම, වැඩි ඵලදායිතාවක් හරහා අතිරික්ත වටිනාකමක් නිපදවීමට ප්‍රාග්ධනයේ ධාවක අන්තර් සම්බන්ධය සහ තාක්ෂණික පද්ධති හරහා එවැනි කාර්යක්ෂමතාවයක් පිළිබඳ පොරොන්දුව මගින් එයට අනුබල දෙනු ලැබේ (ධනවාදී කතිකාව‘ (‘capitalist discourse’) යනු විශ්ව විද්‍යාල කතිකාව‘ ‘ස්වාමි කතිකාවසමග වන විපරීත සම්භෝගයේ ප්‍රතිඵලයයි).

ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ඉල්ලා සිටියේ ද වර්තමානයෙහි රනිල් වික්‍රමසිංහ විසින් උත්සාහ දරනුයේද එකී තත්වය සාක්ශාත්කොට ගැනීමටය.

ඒ අනුව මේ මොහොතේ ධනවතුන් (ව්‍යාපාරිකයින්) වෙතින් බදු අය කර ගැනීමට ගියහොත් ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කිරීමට නොහැකි වනු ඇත යන්න රනිල්ගේ අදහසයි.  රනිල් සැමදා සිටි ස්ථාවරය වූයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ගොඩනගා ගැනීම තුලින් ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රයක් රටේ ගොඩනැගෙන්නට ඉඩ හැරිය යුතුය යන්නයි (ලෝක ධනවාදයේ ස්වභාවය). එවිට එම ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රය විසින් මෙහෙයවන මහා ව්‍යාපාර සහ ඉන් පසුව ඒවා යටතේ ගොඩනැගෙන ඊළඟ ව්‍යාපාරික පන්තියක් බිහි කොට ගැනීම සියලු ප්‍රශ්න වලට විසඳුම ලෙස රනිල් දකී (අද දවසේ ලෝක ධනවාදය ක්‍රියාත්මක වීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය). ඒ අනුව අනෙකුත් සියලු දෙනා රැකියාවල් කරන (රෑ දවල් වැඩ කරන) පුරවැසියන් බවට පත්විය යුතුය (කිසිවෙකුටත් වැඩ නොකර ඉන්න දෙන්නේ නැහැ යනුවෙන් රනිල් පවසන්නේ එබැවිනි). එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ලංකාවේ විශාල පිරිසක් තවමත් යැපුම් කෘෂිකර්මාන්තයේ සහ ආර්ථිකමය කෘෂි කර්මාන්තයේ නියැලී සිටීමයි. එබැවින් ධනවාදයට සියලු දෙනා ක්‍රමානුකූලව උරා ගැනීමට නම් රනිල්ගේ සැලසුමේ දෙවෙනි පියවර වන්නේ යැපුම් සහ ආර්ථිකමය කෘෂිකර්මාන්තය තුලින් එම ප්‍රජාවන් ගලවා ගැනීමය. ඒ සඳහා ක්‍රමානුකූලව මහා පරිමාන කෘෂි සමාගම් සඳහා මහා පරිමාණයෙන් ඉඩම් ලබා දිය යුතුව ඇත. එවිට යැපුම් සහ ආර්ථිකමය කෘෂිකර්මාන්තය අහෝසි වී එවැනි සමාගම් වලට අදාළ රැකියා වලට පිරිස් අවශෝෂණය කොට ගැනීම සිදු වනු ඇත.

රනිල්ගේ සැලසුම වන්නේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයකටමත් අදාලව එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටය. ඔහුට අනුව එය ධනවාදය ඉතාමත්ම විධිමත් කිරීමකි. පහලම කම්කරුවාගේ සිට කම්කරු ශ්‍රේනීන්ගේ ඉහල තලයන් දක්වා සියලු දෙනා හට රජය මගින් ප්‍රමිති සහතික නිකුත් කිරීම ඇරඹෙනු ඇත (මෙය 2015 ආණ්ඩු සමයේදී රනිල් විසින් හොර රහසේම සම්මත කොටගෙන ඇති පනතකි).

ඒ සියල්ල සාර්ථක වීමට නම් විද්‍යා-තාක්ෂණික දැනුම සහ දියුණුව මෙන්ම අදාළ සියලු ක්ෂේත්‍රයන්ට අදාළ අධ්‍යාපනය විධිමත් විය යුතුය.

විශ්ව විද්‍යාල කතිකාවේක්ෂේත්‍රයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉවතට ඇද දමා ඇත. එහෙත් ‘විශ්ව විද්‍යාල කතිකාවේක්ෂේත්‍රයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉවත් කොට තිබීම, එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම එම කතිකාවට අදාළ නොවීම කිසිවෙකුත් ප්‍රශ්න නොකරන තත්වයකි. සැවොම සතුටින් පිළිගෙන ඇත්තේ එම කතිකාව යනු වාස්තවික සත්‍යයේ‘(‘objective truth’) ප්‍රකාශමාන වීම බවයි. ඒ අනුව පරම සත්‍ය හෝ පරම සත්‍යට ලඟා වීමට අදාළ කතිකාව ලෙස විශ්ව විද්‍යාල කතිකාව සතුව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර සියලු දෙනා වෙත බලපෑම් සහගත වීමේ පරම අධිකාරීත්ව හැකියාවක් එය විසින් අත්කොට ගෙන ඇත.

වර්තමාන ගෝලීය ධනවාදය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය (ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ නිශ්චිත සමුද්දේශ රාමුවක් තුල වන අතර එම සමුද්දේශ රාමුවට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයක පැවැත්මක් අනීවාර්ය වේ) නැමති ධනවාදී ක්‍රියාවලිය තුල ඊට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය සමඟ ඒකාබද්ධ කළ නොහැක. ඉහත දැක් වූ විශ්ව විද්‍යාල කතිකාවට අදාළ ආයතන පද්ධතිය සහ ක්‍රියාකාරීත්වයට අමතරව පෙන්වා දිය හැකි වෙනත් උදාහරණ වන්නේ IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ WTO හෙවත් ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන වල ක්‍රියාකාරීත්වයයි (ඒවායේ ක්‍රියාකාරීත්වය පවතින්නේ ද විශ්ව විද්‍යාල කතිකාවතුලය). ඒවායේ සියලු ප්‍රධාන ආර්ථික තීරණ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකින් නීත්‍යානුකූල නොවන අතර එම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය නොමැති වීම ව්‍යුහාත්මක මිස ආනුභවික (empirical) නොවේ. ව්‍යුහාත්මක වීම යනුම ඒවායේ සම්බන්ධය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍යම සාධකය වන ප්‍රභූ තන්ත්‍රයේ පැවැත්ම සමග ඇති සම්බන්ධතා සංකීර්ණය සමගය යන්නයි. ඒ අනුව ආණ්ඩු සමග සම්බන්ධතාවයේදී  IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ WTO වැනි ආයතන විසින් සලකන ප්‍රධාන සාධකය වන්නේ ජනතා ඡන්දයෙන් ප්‍රභූතන්ත්‍රය සුජාතකරණය වී ඇත්ද යන්නයි. එනම් පාලන බලය හිමි කරගන්නා ආණ්ඩුව වෙත ජනතා විශ්වාසය උපරිමයෙන් සලකුණු වී ඇත්ද යන්නයි. ඒ එවැනි ආයතන බලාපොරොත්තු වන, ඔවුන් විසින් පටවන, නියෝග කරන ක්‍රියාපටිපාටිය අකුරට ඉටු කර ගත හැක්කේ එවැනි ජනතා කැමැත්තක් ඇත්නම් පමණි යන පදනම මතය. එනම් එම ආයතන වල ක්‍රියාවන් හට අදාළ රාජ්‍යයේ බහුතර ජනමතය ඇතැයි  යන්න එහි පදනමයි. ඊට අමතරව ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එසේ නොමැති වුවහොත් උද්ඝෝෂණ, කැරලි-කෝලහාල, සහ ඒවා තුලින් ආණ්ඩු මාරුවීම් හෝ එවැනි ආයතන වල ප්‍රතිපත්තීන් නොඉවසන ආණ්ඩු බලයට පත් වීමට ඉඩ ඇති වීමයි. එසේම එවැනි උද්ඝෝෂණ, කැරලි-කෝලහාල වැනි දේ මර්ධනය කිරීම IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ WTO වැනි ආයතන විසින් සහතික කරන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට සපුරා පටහැනි වීම නිසාය (ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අවශ්‍යව ඇත්තේ ආශාව පිළිබඳව ප්‍රශ්නයට සීමා නොපැනවීම සඳහාය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි). එවිට ධනවාදය හරියාකාරව ක්‍රියාත්මක වීමට නම්, එනම් නිෂ්පාදනය, වෙළඳපොල සහ පාරිභෝජනය උපරිමයෙන් ක්‍රියාත්මක වීමට, තව තවත් වර්ධනය වීමට නම් නිසි ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍ය තත්වයක් පැවතීම අනීවාර්ය තත්වයක් බව එකී ආයතන වල මූලික පිළිගැනීමයි.

අද දවසේ ලංකාවට අදාළ තත්වය සැලකුවහොත් මේ වන විට IMF ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කල හැකි බවට සහතිකයක් ඇති, ඒ සඳහා වන දැක්මක් ඇති සහ ඔවුන්ගේ විශ්වාසය දිනූ නායකයා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවට පත්ව ඇත. IMF ණය මුදල අනුමත වන්නේ ඒ අනුවය (නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුලින් බහුතර ජනතා කැමැත්ත යන IMF මූලධර්මයන්ට පටහැනිව වුවද IMF නිලධාරීන් විසින් ණය මුදල අනුමත කොට ඔවුන්ගේ අනුග්‍රහය ලබා දීමට එකඟ වී ඇත්තේ රනිල් ඔවුන්ට අදාළ නියෝජිතයා වන බැවිනි).

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන රටවලට IMF වැනි ආයතන ආදාර, උපකාර, නොකරන බවට ඇති සම්මතය හුදු ව්‍යාජයකි. ඔවුන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වීම යනු නිෂ්පාදනය, නිදහස් වෙළඳපොල සහ පාරිභෝජනයට ඇති නිදහස සහ ඒ තුල ඕනෑම අයෙකුට තම ආශාව හඹා යාම සහ ඒ සඳහා වන ධාවනය (drive) සඳහා ඇති නිදහස තහවුරු වී තිබීමය. ඒ සඳහා මූලික වශයෙන්ම අධ්‍යාපනය සඳහා සියලු දෙනාගේ අයිතිය සහ නිදහස තහවුරු වීම, නිෂ්පාදන ඇතුළු වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යාම, තමන් කැමති රැකියාවක් කිරීම සහ තෝරාගැනීමේ නිදහස, යන මූලධර්ම ප්‍රධාන වේ. නමුත් ආශාව සහ කැමැත්ත තීරණය වීම සේම එසේ තීරණය වූ ආශාව සහ කැමැත්ත අනුව තෝරාගැනීමේ නිදහස යනුම හුදු ව්‍යාජයකි. එම තේරීම් පවතින්නේ යම් සමුද්දේශ රාමුවක් තුල වන අතර එහිදී සිදු වන්නේ එම රාමුව තුල ඇති නිදහස තුල තම ඉරණම තීන්දු වීමය. එය නිදහසක් ලෙස පෙනීම දෘෂ්ටිවාදයයි. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ, රැස්වීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස, දේපළ අයිතිවාසිකම්, ආගමික හා භාෂණයේ නිදහස, ඇතුළත්භාවය සහ සමානාත්මතාවය, පුරවැසිභාවය, පාලිතයන්ගේ කැමැත්ත, ඡන්ද අයිතිය, ජීවත්වීමට සහ නිදහසට ඇති අයිතිය, අනිසි ලෙස රජය විසින් අහිමි කල නොහැකි නිදහස සහ සුළුතර අයිතිවාසිකම් ඇතුළත් වේ (ඒ සියල්ල පවතින්නේ ධනවාදයේ ප්‍රතිමූර්තීන් ලෙසය).

රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව විසින් උද්ඝෝෂණ මැඩපවත්වන්නේ සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහාය. ඒ උද්ඝෝෂකයින් ඇතුළු පොදු මහා ජනතාව ඉල්ලා සිටින සියල්ල ලබා දීම සඳහා පාලක ප්‍රභූ තන්ත්‍රය විසින් විශ්වාසය තබා ඇති මාවතේ ගමන් කිරීම වෙනුවෙනි. IMF අනුග්‍රහය ලබා ගැනීමට නම් උද්ඝෝෂණ නොමැති ව්‍යාපාර සඳහා නිදහස ඇති, එම නිදහස සැලකිය යුතු කාලයකට තහවුරු වන තත්වයක් රට තුල සංස්ථාපිත වීම අනීවර්යයකි. එසේ යම් පමණකට ස්ථාවර වීමට රනිල් ඇතුළු ආණ්ඩුව සමත් වූ සැනින් IMF ආයතනය වහා ශ්‍රී ලංකාවට පැමිණ ණය ආදාරයක් ලබා දීමට යුහුසුළු විය. නමුත් එසේ සිදු කොට ජනතා පරමාධිපත්‍යයේ වැදගත් කම ගැන ප්‍රකාශයක් ද නිකුත් කොට ඇත්තේ එම ආයතනයේ තත්වය ආරක්ෂා කොට ගැනීම සඳහාය.

ඒ අනුව අරගල, උද්ඝෝෂණ මැඩපැවැත්වීමේදී සිදු වන ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වීම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන නිවේදන වලින් සතුටු වන්නන්ට අනුව එම සංවිධානය ඉදිරියේ රනිල්ට ඉදිරියේදී වගඋත්තර බැඳීමට සිදු වනු ඇත. රාජපක්ෂලාට ද එසේ කිරීමට සිදු වනු ඇති බව වාමාංශිකන් ඇතුළු ලිබරල්වාදීන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය.

එ.ස.ස. යනු ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් ඇති උතුම්ම වූ සංවිධානය ලෙස සැලකේ. කිසියම් රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වනවාද නැද්ද යන්න පිළිබඳව විමසා බලන ප්‍රධානතම ආයතනය එයයි. තවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සඳහා මැදිහත් වන සංවිධාන ඇත. එවැනි ආයතන වල විමසා බැලීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවසාන වශයෙන් ඇති දේවස්ථානය වන්නේද එ.ස.සංවිධානයයි. නමුත් එම පැමිණිලි ඉදිරිපත් කල හැකි වූ පමණින් කිසිවක් සිදු වන්නේ නැත. එ.ස.සංවිධානය එහිදී විමසා බලන ප්‍රධාන කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වූ අතීතය කෙසේ වෙතත් එය උල්ලංඝනය වීමෙන් අනතුරුව වර්තමානයේ තත්වය පිලිබඳවය. ඒ සඳහා හොඳම උදාහරණය LTTE සංවිධානය මර්ධනය කිරීමයි. යුධ අපරාද චෝදනා, මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පැමිණිලි කල ද ඉන් සිදු වූ දෙයක් නොමැත. ඊට හේතුව වූයේ ඒ වන විට ඇති වී තිබූ තත්වය තුල (අල්කයිඩා වැනි සංවිධාන තුලින්) ඇමරිකාව, යුරෝපා රටවල් මෙන්ම ඉන්දියාව ද LTTE සංවිධානය මර්ධනය සඳහා සහාය ලබා දීමයි. එසේම LTTE මර්ධනයෙන් අනතුරුව ලංකාව තුල විශාල සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කොට, වෙළඳපොල නිදහස්ව පවත්වාගෙන යාම වැනි ක්‍රියාවන්ය.

එ.ස.ස. තීරණාත්මකව මැදිහත් වන්නේ රටක නිෂ්පාදනය, වෙළඳපොල, සහ නිදහස් පාරිභෝජනය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායකයන්, එනම් ධනවාදය නිසි ආකාරව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය තත්වය ක්‍රියාත්මක නොවේ නම් හෝ යම් රටකින් එසේ ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය තත්වයට, අනෙකුත් රටවල් වෙත බලපෑම් සහගත වන්නේ නම්ය. එවිට එ.ස.ස. හෝ එහි නොනිල අනුග්‍රහය යටතේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් විසින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් එවැනි රාජ්‍යයන් වෙත මැදිහත් වී ඒවා තුල ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට කටයුතු කරයි. එහිදී එවැනි රාජ්‍යයන්ට ජනතා ප්‍රසාදය තිබේද නැද්ද යන්න අදාළ නොවන අතර නිදහස් මැතිවරණ වැනි දෑ නොමැති කම වැනි නිර්ණාකයන් දඩ මීමා කර ගනිමින් එය සිදු කරයි. එසේ මැදිහත් වන එ.ස.ස. හමුදාවේ සංයුතිය වන්නේ රාජ්‍යයන් වලින් ඒ සඳහා සේවයේ යොදවන හමුදාවන් සහ යුධ ශක්තියයි. අදාළ කටයුත්තේදී සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ යුධ අපරාධ වැනි කාරනා එහිදී නොසලකා හැරේ.

එවිට ප්‍රශ්නය වන්නේ එවැනි මැදිහත් වීම් සිදු කරන එ.ස.ස. තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ කෙසේද යන්නයි. එහි සංයුතිය සහ ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම (ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පිළිබඳව මෙම ලිපි මාලාවේ 1 කොටසේ සහ 2 කොටසේ කරුණු දක්වා ඇත) වලට පටහැනි බව හොඳින් පෙනෙන්නට තිබියදී එය නොපෙනෙන්නේ ඇයි ?

එ.ස.ස. සතුව මහා බලවතුන් පස් දෙනෙකු සිටී. ඕනෑම යෝජනාවක් නිෂ්ප්‍රභා කිරීම සඳහා ඔවුනට නිශේධ බලය පාවිච්චි කල හැකිය. එවැනි බලයක් ඔවුනට හිමිව තිබීමට ප්‍රධානතම සාධකය වී ඇත්තේ ඔවුන් සතු යුධ ශක්තියයි (මෙම යුධ ශක්තිය තීරණය වූයේ දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයෙනි. එම ජයග්‍රහණය සිදු වීමේදී අක්ෂ බලවතුන් වෙතින් සිදු වූ ම්ලේච්ඡ ක්‍රියාවන් හා සමානම ම්ලේච්ඡ ක්‍රියාවන් ජයග්‍රාහි මිත්‍ර පාර්ශවයෙන් ද සිදු වුව ද සියලු ජනමාධ්‍ය වෙතින්, සිනමාව වෙතින් සහ වාර්තා වෙතින් ඒවා එලි දැක්වෙන්නේ නැත. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සිදු කල ක්‍රියාවන් හේතු වෙනි (එම පංච මහා බලවතුන් විසින් න්‍යෂ්ටික යුධ ශක්තිය ද අත්පත් කොටගෙන ඇත). අනෙකුත් කාරණා වන්නේ එම රාජ්‍යයන් සතු ප්‍රජාතාන්ත්‍රික සංස්ථාපිතය, ආර්ථික ශක්තිය, “දියුණු රටක්” වීම, වැනි කාරණාය. තවත් පැත්තකින් බැලූ කල එවැනි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වීම සඳහා හේතු වී ඇති කාරණා කිසිදු රාජ්‍යයකට අදාළ වී නැත (පංච මහා බලවතුන් සියල්ල ප්‍රධාන වශයෙන්ම අප්‍රිකානු කලාපය සහ මැදපෙරදිග වැනි කලාප මත ආධිපත්‍යධාරී වීම සහ එම කලාප මිහිපිට අපායන් බවට පත්කිරීම වැනි කාරනා). ඒ අනුව එසේ බලය, ශක්තිය, දියුණුව ගොඩනගා ගත් රාජ්‍යයන් යුක්තියේ තීරකයින් බවට පත්ව ඇත (සත්තකින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ක්‍රියාකාරීත්වයේ පදනම එයයි). එනම් යුක්තිය යනු ඔවුන්ගේ තීරණයයි (ශක්තිය යුක්තිය වේ, යුක්තිය ශක්තිය ලෙස වන දයලෙක්තික ක්‍රියාකාරීත්වය) ඒ අනුව එ.ස.ස. ඡන්දය හිමි අනෙකුත් රටවල් යනු දියුණුව-සංවර්ධනය පිළිබඳව අනුක්‍රමිකත්වය තුල, එනම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳව ධූරාවලිගත ලෙස එම ඉහල රටවල දැනුම-බලය සහ ශක්තිය-යුක්තිය මත පරායත්ත රටවල් බවට පත්ව ඇත. එබැවින් එහි සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය පත්වීම ඇතුළු අනෙකුත් සියලු කාරණා තීරණය වන්නේ එම ඉහල-පහල ධූරාවලිය අනුවය. (එදා මෙදා තුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා බවට පත්ව ඇත්තේ ලිබරල්වාදී ඇමරිකානුවාදියෙකි. ඇමරිකානු විරෝධියෙකුට එහි සභාපතිවරයා බවට පත්වීමට කිසිදා නොහැකිව ඇත. සමාජවාදී කඳවුර බලවත්ව සහ සෝවියට් දේශය තීරණාත්මක සාධකයක් ව පැවතී සමයේදී පවා එය එසේය). නමුත් උත්සාහය තිබේ නම්, දක්ෂතාවය තිබේ නම්, ඕනෑම අයෙකුට එහි සභාපති විය හැකිය යන හිස් තැන සැමදා විවෘතය (දෘෂ්ටිවාදය).

නමුත් අද දවසේ වාමාංශිකයින් ඇතුළු සියලු දෙනා ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදයයි. උද්ඝෝෂණයකට බාදා කල විට ඔවුන් විමසා සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදය කොහිද යන්නයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය දැයි ඔවුන් විමසා සිටී. එසේ අසන ඔවුනට අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම වෙනුවෙන් පැමිණිලි කිරීමට ඇති දේවස්ථානය වන්නේ එ.ස.සං.යයි. නමුත් කිසිදා එම දේවස්ථානයේ වැඩ වසන ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවියන් ඔවුන්ගේ පිහිටට පැමිණ තිබේද ?

එසේ නම් මෙවැනි ආයතන ප්‍රජාතන්ත්‍රවාදය යන්න තුල අර්ථවත් වන්නේ කෙසේද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ්‍යක්ෂ මණ්ඩලය පත්කොට ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත ඡන්දයක් ගැන යමෙකුට සිතාගත හැකිදඅඩු තරමින් ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලයන් හෝ පත්වන්නේ ඒවා සමග එකතු වී ඇති රාජ්‍යයන්ගේ නියෝජිතයින්ගේ හෝ ඡන්දයකින් නොවේ. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධිමත්ය යන්න සහ එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම වලට අනුකූල වේ යන්න පවා සාමාන්‍ය ව්‍යාජයක් වන විට IMF වැනි ආයතන වල (IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ WTO වැනි…) එවැනි ආකෘතියක් පවා නොමැත. එනම් එවැනි සංවිධානවල සියලු ධූරයන් තීරණය වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල නොවේ. නමුත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වන ආණ්ඩු ගනු දෙනු කල යුතුව ඇත්තේ එවැනි ව්‍යුහයක් හෝ නැති ආයතනයක් සමගය. එනම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යන්න ද හුදු විගඩම් සහගත ව්‍යාජයක්ව ඇති තත්වයක් තුල එම විගඩම් සහගතත්වය ඇති රාජ්‍යයන් වෙත තීරණාත්මක මැදිහත් වීම කරන, එනම් එම රාජ්‍යයන් ඔවුනට අවශ්‍ය ආකාරයට හැසිරවීමට නතු කර ගැනීම සිදු කරන IMF වැනි සංවිධාන සතුව පවතින්නේ දැඩි සහ ඍජු අධිකාරීත්ව ව්‍යුහයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ අනීවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අදාළ බහිෂ්කරණයක් පවත්වා ගැනීමයි. එය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි, එම මූලධර්මයන් උල්ලංඝනය කල හැකි, එම මූලධර්මයන් අදාළ නොවන ව්‍යතිරේකී අධිකාරීත්ව ව්‍යුහයකි.

තත්වය එසේ තිබියදී අද දවසේ ලොව පුරා නිදහස උදෙසා ව්‍යාපාර වල සහ බොහෝ අරගල ධාවනය වන සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ (ප්‍රාදේශීය, කලාපීය සහ ගෝලීය මට්ටම් වලදී) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති ආශාවයි. මනෝරාජික සිහිනයක් (සමාජවාදය, පරිසරවාදී රාජ්‍යය, ජාතිකවාදය වැනි ලෙස) වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය යනු “අපේ දවසේ කරදරකාරී ප්‍රශ්නවලට ඇති එකම පිළිතුරය. අපගේ සදාකාලික ගැටුම් සහ යුද්ධයෙන් මිදීමට ඇති එකම මාර්ගය බවට එය පත්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වර්තමාන “ප්‍රතීඝතා” තුළට අභිලේඛිතව ඇත්තේ ඔවුන්ගේ විසඳුම් වල අන්තරස්ථ අවසාන අරමුණක් ලෙසය. එපමණක් නොවඊටත් වඩා අද දවසේ, ධනවාදයේ හදවතේ ඇති ජන සමූහයන්ගේ නැගීම “පළමු වතාවට ප්‍රජාතන්ත්‍රවාදය සම්භාව්‍යතාවයක් බවට විශ්වාසයක් ඇති කරයි”.

මෙතෙක්, ප්‍රජාතන්ත්‍රවාදය තුල පාලනය බල කෙරී ඇත්තේ ස්වෛරී රාජ්‍ය බලයේ ඒකීය ස්වරූපයෙනි. “නිරපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය” (“සියල්ලන් විසින්ම සියල්ලන් පාලනය කිරීම, පාලනය සඳහා සුදුස්සන් නොමැති, එනම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන සමුද්දේශ රාමුවට පිටතින් සිටිනා ප්‍රභූ තන්ත්‍රයක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳව ෆැන්ටසිය සාක්ෂාත් කොට ගත හැකි වන්නේ “ජනතාවට අවසානයේ තමන්ම පාලනය කිරීමට හැකි වූ විටය.” ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කිසිදා සඵල නොවන සිහිනය එයයි.

මතු සම්බන්ධයි…

Leave a Comment

%d bloggers like this: