ප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය

ලොව සෑම රටකම ඇති ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ප්‍රශ්නයයි. එය ඒරට වල විවිධ ස්වරූපයන්ගෙන් පවතින අතර සුවිශේෂී කාල වලදී පොදු ස්වභාවයක් ගනී (අරගලකැරලි වැනි තත්වයන් යටතේ). ලංකාව තුළ ගත්ත ද නිදහස ලැබීමෙන් පසුව ඇති ප්‍රධානම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ලෙස තහවුරුව ඇත. ලෝක පරිමාණයෙන් සැලකුව දලංකාව තුළ සැලකුව දඑම ගැටලුවේ විවිධ ස්වරූපයන් ඇත. එහි එක් අන්තයකදීඑනම් ප්‍රජාතන්ත්‍රවාදය එහි මූලධර්ම වලට අනුකූලවඒවායේ ශුද්ධ වූ අර්ථයන් තුලසාපේක්ෂව උපරිමයෙන් ක්‍රියාත්මක වීමේදී ඇති වන ප්‍රශ්නය වන්නේප්‍රජාතන්ත්‍රවාදය තුල මිනිස් ආශාව‘ සීමා නොකළ යුතුය යන ලිබටේරියානු පදනම තුලින් පැන නගින ගැටලූන්ය. ඒවා නැවත වටයකින් ව්‍යවස්ථාමය-නීතිමය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජනප්‍රිය අර්ථයෙන් (නිදහසසමානාත්මතාවයසහයෝගිතාවය වැනි…) ඉල්ලීම්අරගල ලෙස පැන නගී. 
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල්වාදී දාර්ශනික සම්ප්‍රදායෙහි මූලයන් සමග බැඳී පවතී. ඒ අනුව එය ආණ්ඩුකරණයෙහි සුවිශේෂ රූපාකාරයක් සහ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්වල සංකීර්ණයකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පදනම් වන ආණ්ඩුකරණය පහත දැක්වෙන අංග ලක්ෂණවලින් සමන්විත වන බව සැලකේ:
§  පුද්ගලයන් අතර විස්තාරිත සහ නිරන්තර තරඟකාරීත්වය (නිදහස් මැතිවරණවල රූපාකාරයෙන්)
§  දේශපාලන ආස්ථාන සඳහා වන දේශපාලන පක්ෂ සහ සංවිධාන 
§  කිසිදු සමාජ කණ්ඩායමක් (වැඩිහිටි) හෝ බැහැර නොකරනසියලු දෙනාගේ සහභාගිත්වයට ඉඩ සලසන අන්තර්කරණීය තලයක්
§  භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස (ජන මාධ්‍ය නිදහස වැනි)
§  සංවිධාන ගොඩ නැඟීමේ දී ඒවාට සම්බන්ධවීමේ දේශපාලන සහ සිවිල් නිදහස පිළිබඳ තලයක්
වැනි දෑ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අඩංගු විය යුතු බව කියවේ.

 

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යනු එහි මූලධර්ම වලින් ප්‍රකාශ වන සියලු දේ, ඒවා තුලම පුද්ගල ක්‍රියාකාරීත්වය විසින් පුද්ගලයින්ට අදාලව අහිමි කොට ගෙන සහ වඩ වඩාත් අහිමි කර ගනිමින් ඇති සමාජයකි. නමුත් මෙය මෙසේ කී පමණින් කිසිවෙකුත් එය පිලිනොගනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සංස්ථාපනය වීම ඓතිහාසික ජයග්‍රහණයක්නූතන ශිෂ්ටාචාරය ඉතා කෙටි එකක්, දේශපාලන මනුෂ්යයා වැඩි කාලයක් ජීවත් වී ඇත්තේ රාජ්‍යත්වය හෝ ඊට සමාන අධිකාරී ව්‍යුහ යටතේය, වැනි ස්ථාවර සහ ඊට පදනම් වන දෙවියන්වහන්සේ වැනි විශ්වවේදීමය (cosmological) ව්‍යුහ ඊටත් වඩා පැරණිය, වැනි ස්ථාවරයන් යනු යථාර්තයේම ෆැන්ටසිකරණය වූ ප්‍රතිරූපයකි (“fantasized” image of reality). නමුත් සිදුවිය යුත්තේ, අනෙක් අතට, එනම්, ඊට ප්‍රතිවිරුද්ධව සමාජ යථාර්තයම ඇතුලත ෆැන්ටසිය ක්‍රියාත්මක වන ආකාරය නිශ්චිතව හෙළිදරව් කිරීමයි.  
සියලු දෙනා හට හොඳින්ම පෙනෙන කාරණය වන්නේ, ලොව කිසිම රටක පවතින ප්‍රජාතන්ත්‍රවාදයන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන්නේ, මහජන ඡන්දයෙන් තේරී පත් වී අත්පත්කොට ගන්නා රාජ්‍ය බලය යනු ප්‍රාග්ධනය වෙතින් වන බලය බැවින්ය. නමුත් එම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය පිළිබඳව නිශ්චිත විශ්වාසයක් සහ අර්චනීය සුරැකියාව මගින් දැනටමත් අධිනිශ්චය වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය (ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට අනුව) කරා වන සැබෑ මග පෙන්වීම නොවේ.
උදාහරණයක් ලෙස දශක කිහිපයක් තිස්සේ ‘නේටෝව’, සහරාවේ සිට ඇෆ්ගනිස්තානය දක්වා මරණය සහ මූසලත්වය වැපිරුවේ ඉහත කී “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් නොවේදතර්ජනය දැන් යුරෝපය පුරා එල්ලෙමින් තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී අධිකාරීත්වය මිනිසාට අදාළ සෑම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක වේ.
පහතින් දක්වා ඇත්තේ සිරස රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකි.

එහිදී සංවාදයට බඳුන් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එහිම අංගයක් වන මානව හිමිකම් පිලිබඳවය. එයට අධිකරණයට සහභාගී වන ඇඳුමින්ම පැමිණි නීතිඥයින් දෙපලක්, නිවසේ සිට සූම් ඔස්සේ සහභාගී වූ නීතිඥ සංගමයේ සභාපතිවරයා (ඔහු නිවසේ සිට සහභාගී වූයේ ද අධිකරණයට සහභාගී වන අයුරිනි. අඩුවකට තිබුනේ කෝට් එක ඇඳ නොසිටීම පමණි), මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු සහ මහාචාර්යවරියක් සහභාගී විය. ඒ සංවාදය සඳහා පැමිණසිටි දේශපාලනඥයා වූයේ සුනිල් හඳුන්නෙත්තිය (හඳුන්නෙත්ති එක දිගට සිරසේ මෙවැනි වැඩසටහන් රාශියකට සහභාගී වෙමින් සිටී).
පසු ගිය ලිපි තුනෙහි ලියා ඇති කාරණා පැහැදිලි කර ගැනීම සඳහා මෙම රූපවාහිනී සංවාදය උපයෝගී කොට ගත හැකිය.
මෙම වැඩසටහනෙහි සිටිනා නීතිඥ සංගමයේ උප සභාපති වරයා මුලින් ප්‍රකාශ කරන ලද්දේ “අන්තරේ තිදෙනා” රැඳවුම් නියෝග මත තබා ගැනීම අමු අමුවේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමක් බවය. නමුත් වැඩසටහන මෙහෙවන කෙනා විසින් පොලිස් මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහු ඉන් ලිස්සා යනු දැක ගත හැකිය. එනම් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට අනුව අත්අඩංගුවට ගත හැකි සහ රඳවා තබා ගත හැකි වැරදි ක්‍රියා සිදු වී ඇති බවට පොලීසිය ඉදිරිපත් කරන කරුණු නීතියට අනුව නඩුව විමසා බැලීමකින් තොරව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි බැවිනි. නමුත් අදාළ නඩුව අධිකරණයේ විමසා බැලීම තුල එකී පුද්ගලයින් තිදෙනා නිශ්චිත වශයෙන්ම එකී ක්‍රියාවන් වෙත සම්බන්ධ වී නොමැති බව සාක්ෂි මත පදනම්ව තාර්කිකව ඔප්පු කල හැකි වුවහොත් ඔවුන් නිදහස් වනු ඇත (එය ඉන් පසුව නීතිය ක්‍රියාත්මක වීමේ සැමට සාධාරණත්වය ලෙස සියලු දෙනා විසින් උදම් ඇනීමට ලක්වන අතර ආණ්ඩුව සහ දූෂිත පොලීසිය එක්ව කරන ලද පහත් ක්‍රියාවක් ලෙසට පමණක් සලකා එය ගර්හාවට ලක් කල හැකිය. ඉන් පසුව එය ඊළඟ ආණ්ඩුව බලයට පත් කිරීමේ ගිණුම සඳහා එකතු වන තවත් එක් පවතින ආණ්ඩුවට අදාළ චෝදනාවක් පමණක් වනු ඇත). නමුත් මෙවැනි තත්වයකදී ආණ්ඩුවකට වැදගත් වන්නේ අධිකරණයක් මගින් මෙවැනි අය නිශ්චිත දඬුවමකට ලක් කිරීම නොව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම යන නීතියෙන් දඬුවමක් ලෙස නොසැලකෙන දඬුවමට ලක් කිරීමයි (එසේ කිරීමේ හැකියාව ඕනෑම රාජ්‍යයක් සතුය). ඒ අනුව මෙවැනි අරගල සහ උද්ඝෝෂණ මර්ධනය කිරීම සඳහා එය භාවිතා කල හැකිය. ඊළඟ මර්ධන ක්‍රියාදාමයන්ට පියවර නැගීමට සිදුවන්නේ එයද ප්‍රමාණවත් නොවන්නේ නම්ය.
ඉන් පසුව අදහස් ප්‍රකාශ කල මනෝජ් ගමගේ නමැති නීතීඥයා ප්‍රකාශ කොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා වීමට නම් රට තුල නීතියේ ආධිපත්‍ය ආරක්ෂා විය යුතු බවය. එසේම ඔහු විසින් තව දුරටත් ප්‍රකාශ කොට සිටියේ “අපි යනවා නම් යන්න ඕන ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, වගේ රටවල් වල තත්වයට…” බවය. එසේම ඔහු ප්‍රකාශ කොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත බවය. එය සත්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය සැම විටම ක්‍රියාත්මක වන්නේ බහුතරයේ කැමැත්ත නමැති පාර්ලිමේන්තුවාදී ආකෘතිය තුලය. නමුත් බහුතරයේ කැමැත්ත සැමවිටම දෙකට බෙදෙනුයේ ද ප්‍රජාතන්ත්‍රවාදයම සංස්ථාපනය කිරීම වෙනුවෙනි.

මෙම සංවාදයේ අදහස් දක්වන සියලු දෙනා පිළිගන්නා ප්‍රධාන කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් වල පරිනාමයයි. ඒ සම්බන්ධයෙන් මොවුන් පදනම් වන්නේ ඉතිහාසය මතය (ඉතිහාසය සහ අතීත සිද්ධි, දේවල්, සාක්ෂි සහ කරුණු අතර පැහැදිලි වෙනසක් ඇත). ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වලට අදාළ ඉතිහාසයට අනුව එය ආරම්භ වන්නේ “මැග්න කාටා” ගිවිසුමෙන් බව එම නීතිඥයා පවසයි. එහෙත් එය එසේ සැලකිය නොහැකිය. නමුත් ‘පරිණාමවාදී’ ස්ථාවරයේ සිට එවැනි ආඛ්‍යානයක් ගොඩනැගිය හැකිවා සේම එම ආඛ්‍යානය පදනම් කොට ගනිමින් ඉතිහාසය ඇතුලත සිටම ඒ පිළිබඳව සුළු, සුළු, වෙනස්කම් සහිත මත ප්‍රකාශ කරමින් ඇකඩමික නිබන්ධන, පොත්, ලිපි, අදහස් දැක්වීම්, වාද විවාද ආදිය කොතෙකුත් සිදු කල හැකිය.
විමුක්ති දේශපාලනයේ දිශානතිය ඉතිහාසය මත කිසිදු විටක පදනම් විය යුතු නොවේ. කල යුත්තේ එසේ පදනම් වීම ප්‍රතික්ෂේප කිරීම සහ එවැනි පදනම් වීම් වලට එරෙහි වීමයි. විමුක්ති දේශපාලනය පදනම් විය යුත්තේ ඉතිහාසය මත හෝ එම ඉතිහාසය පදනම් කොට ගනිමින් පරිකල්පනය කරන අනාගතයක් මතද නොව වර්තමානය මතය. ඉතිහාසය මත පදනම් වන දේශපාලනය “බුද්ධිමය දේශපාලනයයි”. බුද්ධිමය සංවාදය, බුද්ධිමය මැදිහත් වීම, අවශ්‍ය වන්නේ ඉතිහාසය මත පදනම් වීම තුළ සහ මෙන්න මේ සංවාදයේ සිටිනා අය බලාපොරොත්තු වන දේශපාලනය තුළ පදනම් වීම නිසාය. බුද්ධිමය මැදිහත් වීමේ ස්ථානය එතනයි. එනම් ඉතිහාසය පිළිබඳව වාස්තවික දැනුමමත පදනම් වී “මිනිස් සමාජය” පිළිබඳව වාස්තවික සත්‍යයක්‌ගොඩනැගීමත්, එම වාස්තවික සත්‍යය ඇකඩමිකව තහවුරු වී ඇති පොදු සත්‍යය  බවට පෙන්වීම සහ පත්වීමත්, ඒ අනුව එම වාස්තවික සත්‍යයමත පදනම්ව වර්තමානයේ අර්බුධ වලට විසඳුම් ගෙනෙන අනාගත සමාජය ගොඩනංවන බුද්ධිමය ප්‍රක්ෂේපන සිදු කිරීමත්ය. එවිට එය යථාර්තයේම ෆැන්ටසිකරණය වූ ප්‍රතිරූපයකි (“fantasized” image of reality). නමුත් සිදුවිය යුත්තේ යථාර්තයේම ෆැන්ටසිකරණයට එරෙහිව සමාජ යථාර්තයම ඇතුලත ෆැන්ටසිය ක්‍රියාත්මක වන ආකාරය නිශ්චිතව හෙළිදරව් කිරීමයි. මෙන්න මේ ලිබරල් සහ වාමාංශික බුද්ධිමය ප්‍රක්ෂිප්තයන් ලිබරල් ගමන් මගින් නොවෙනස් වන්නේ අදාළ කතිකාවන් දෙකෙහිම පොදු පදනම ඉහත සඳහන් කල ඇකඩමික ගොඩනැංවීම් බැවිනි. ඒ අනුව එම කතිකාවන් දෙකටම ඉතිහාසයෙන් ගැලවුමක් නොමැත (“සෝවියට් පාලන තන්ත්‍රය විශ්වවිද්‍යාල කථිකාවේ පරම පාලනයයි” යනුවෙන් ලකාන් විසින් ප්‍රකාශ කළේය).
විමුක්ති දේශපාලනය ඉතිහාසය අදාළ කොට නොගත යුතු අතර එහි පදනම විය යුත්තේ වර්තමානයයි. වර්තමාන ප්‍රශ්න, අසහනයන්, ගැටුම් වෙත ප්‍රතිචාර දැක්වීමේදී විසිරුණු ස්වභාවයකින් පවතින (අසන්තතික) අතීත සිද්ධි, දේවල් හා කරුණු, ගෙන හැර දැක්වීම මෙහිදී ප්‍රතික්ෂේප නොවේ. 
ඉහත සඳහන් කල නීතිඥයා මෙහිදී සඳහන් කරන තවත් ප්‍රධාන කාරණයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයට අනුව මිනිසුන්ගේ ම්ලේච්ඡ කෘරත්වය ඉතිහාසය පුරාම තිබී ඇති අතර මානව හිමිකම් පිළිබඳව සම්මුතිය එනම් විශ්ව ප්‍රකාශනය පැමිණෙන්නේ එය වැලැක්වීම සඳහාය යන්නයි. එනම් මිනිසා ස්වභාවයෙන්ම කෘෘර වන අතර ඉතිහාසය මත පදනම්ව එය වැලැක්වීම බුද්ධිමතුන්ගේ කාර්යයයි. නීතිඥයාට අනුව එම මානව හිමිකම් ප්‍රඥප්තිය නොවන්නට මිනිසුන් ඇනකොටා ගනිමින් ගහ මරාගෙන මිය යනු ඇත. එනම්, “මිනිස් කමට නිගා දුන් මිනිසුන්ගේ ගහ මරා ගැනීම් ඉතිහාසයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් නමැති උත්තරීතරත්වය පිහිටුවනුයේ මිනිසුන් අතරින් සුවිශේෂී කොට්ඨාශයක් වන උගතුන්, බුද්ධිමතුන්, විසිනි”. ඒ අනුව බුද්ධිමය මැදිහත් වීම නොවන්නට අද මෙලොව අපායකි. නිරන්තරයෙන් ගහ මරා ගන්නා සමාජයකි. ඒ සමගම ඔහු විසින් තහවුරු කොට සිටින්නේ එංගලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මර්ධනය සඳහා ඇති ප්‍රතිපාදන පිලිබඳවය. සත්තකින්ම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඍජු ප්‍රතිපත්තිමය සහ නෛතික කරුණු දැක්වීම කරන ලද්දේ ඔහු විසිනි.
නීතිඥ සංගමයේ උප සභාපති සහ මානව හිමිකම් වෛද්‍යවරයා විසින් සිදු කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරයට අදාළ ආචාරධාර්මික සීමාවන් පෙන්වා දීමය. නමුත් ආචාරධාර්මිකත්වය හෝ පවතින සදාචාරය නීතිමය කටයුතු වලදී ඒ ආකාරයෙන්ම අදාළ නොවේ. එබැවින් ඔවුන්ගේ කරුණු දැක්වීම් වලින් ද තහවුරුවනුයේ නීතියේ ස්වභාවයයි. ඔවුන් විසින්ද කරනුයේ එය ආරක්ෂා කිරීම සඳහා කරුණු දැක්වීමය. මන්ද නීතියේ ඇති ප්‍රතිපාදන වෙතින් සිදු කරන ක්‍රියා එවැනි සදාචාරයක් තුල සහ ආචාරධාර්මික සීමාවන්ට අදාලව නීතිය තුලම වලකා දැමීමට නොහැකි බැවිනි.
ඔහු විසින් කරුණු දක්වන පරිදි අප එකිනෙකා රැකෙනුයේ මානව හිමිකම් නිසාය. මානව හිමිකම් නොමැති නම් සිදු වන්නේ මහා විනාශයකි. එබැවින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ තව තවත් ප්‍රවර්ධනය කල යුතුය.
ධනවාදය තුල මෙම කෙළවරක් නොමැති ප්‍රවර්ධනයේ කෙළවරක් දැකිය හැකි වන්නේ මහා විනාශයක් තුල පමණි. මිනිස් විපරීතත්වයේ විවිධාන්ගීකරණය තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තව තවත් බහුගුණ වේ. සමකාලීන ප්‍රජාතන්ත්‍රවාදී බටහිර රාජ්‍යයන් යනු නිරෝසික (neurosis) පුරවැසියාගේ ඉහල යාමයි.

https://twitter.com/i/status/1559457411647389698

ආණ්ඩු විසින් වැඩි වැඩියෙන් ප්‍රතිචාර දක්වමින් සිටිනුයේ හිස්ටීරික ඉල්ලීම් වලට පමණක් නොවේ. එසේම සයිකෝසිකයින්ට (psychosis) ද ප්‍රතිචාර දක්වයි. මෙහි ප්‍රතිවිපාක සිතනවාට වඩා අසුබ විය හැක.
එම නීතිඥයාගේ කරුණු දැක්වීම හමුවේ අනෙක් සියලු දෙනාට ඔහුගේ අදහස් වලට එකඟ වීමට සිදු වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව බවත්, මිනිසාට පැමිණිය හැකි උපරිමය ප්‍රජාතන්ත්‍රවාදය බවත් අවසාන වශයෙන් ලඟා කොට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේම උපරිමය බවත් ඔහු දිගින් දිගටම පවසා සිටියේය. එම ප්‍රකාශයන් එහි සිටින කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි වූ අතර ඔවුන් සියලු දෙනා ඊට එකඟතාවය පළ කළේය.
අද්‍යතන මාක්ස්වාදීන් ෆුකුයාමගේ දැක්ම පිළිබඳව අවඥා සහගත වූව ද අද දවසේ බහුතරය ෆුකුයාමාවාදීන්ය. සියලු දෙනා විසින්ම ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය පිළිගෙන ඇත්තේ ඉතා හොඳ, සම්භාව්‍ය, සමාජයේ අවසාන වශයෙන් සොයාගත් නියමය ලෙසය. සෑම දෙනාටම කළ හැකිව ඇත්තේ එය තවදුරටත් ගෙනහැර දැක්වීම, ඉවසීම, යනාදියයි. අද දවසේ එකම සත්‍ය ප්‍රශ්නය වන්නේ, ධනවාදයේ මෙම ස්වභාවිකකරණය අප විසින් අනුමත කරනවා ද යන්න, නැතහොත් අද දවසේ ගෝලීය ධනවාදය විසින් අඩංගු කරගන්නා ප්‍රබල සහ ප්‍රමාණවත් ප්‍රතීඝතා (antagonisms) විසින් එහි ප්‍රතිනිෂ්පාදනය සඳහා බාධා පමුණුවනවා ද යන්න යි.

මනෝජ් ගමගේ නමැති නීතිඥයාගේ ප්‍රකාශයෙන් පසුව මානව හිමිකම් කොමසාරිස් ද ඊට එකඟ වෙමින් පවසන්නේ අපට මානව හිමිකම් සම්බන්ධයෙන් පුරුද්දක් නොමැති බවය. ඔහු විසින් මෙසේ පවසයි… “එකඟ නොවන කාරණා වලට එකඟ නොවී සිටීමට අපට පුරුද්දක් නැහැ. agree to disagree… ඔබ දරන අදහසට මම එකඟ නැතත් එය ඔබට දැරීමේ ශුද්ධ වූ අයිතිය පිළිගත යුතුයි”… ප්‍රජාතන්ත්‍රවාදය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යන්නෙහි ශුද්ධ වූ අර්ථය එයයි. එනම් අනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය යන්නයි. සියලු දෙනාම පාහේ මෙම අදහසට එරෙහි නොවේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටමන් විය නොහැකි, එනම් ධනවාදයේ පැවැත්ම මූලික වශයෙන්ම තහවුරු කරනුයේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසිය විසිනි. දැන් කෙනෙකුට විමසිය හැක්කේ එවැනි නිදහසක් නොවේ නම් අපටද මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැතිව යනු ඇතිය යන්නයි (මාක්ස්ගේ ප්‍රාග්ධනය රුසියාවේ මුද්‍රණය කිරීමට අවසර දෙන්නේ එය කිසිවෙකුටත් නොතේරෙන බැව් පාලන තන්ත්‍රය විසින් තීරණය කරනා බැවිනි). එසේ අසන අයට නොවැටහෙන කාරණය වන්නේ එවැනි නිදහසක් නොවන තැනක අදහස් ප්‍රකාශ කරමින් කල් නොමරා අවශ්‍ය සටන සිදු වනු ඇතැයි යන්නයි. එනම් මින් මිදීමට නොහැකි උගුලම ඇත්තේ මේ ලිබරල් නිදහස තුළය.
ඕනෑම අයෙකුට ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනද එම අයිතියේ ක්ෂමතාවය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න එම අයිතිය යන්නට අදාල නැත. එනම් ඕනෑම අයෙකුගේ අදහස් මේ සමාජයේ තීරණාත්මක අදහස් බවට පත්වන්නේ නැත. තීරණාත්මක අදහස් බවට පත්වන්නේ ස්වාමි කතිකාව‘(discourse of the master) විසින් අනුමත වන විශ්ව ‘විද්‍යාල කතිකාවේ’ (discourse of the university) අදහස් සහ දැනුමයි. ‘ධනවාදී කතිකාව‘ (capitalist discourse) යනු ‘විශ්ව විද්‍යාල කතිකාව‘ ‘ස්වාමි කතිකාවසමග වන විපරීත සම්භෝගයේ ප්‍රතිඵලයයි. ඒ අනුව ඊට එරෙහි අයගේ හෝ අයෙකුගේ අදහස් හෝ දැනුම ඉන් යටපත් කරේ. සාම්ප්‍රදායික සමාජයේ තිබූ දැනුමට සිදු වී ඇති දෙය විමසා බැලීමෙන් මේ තත්වය වටහා ගත හැකිය. ඒ අනුව දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ එම තීරණාත්මක ගොඩනැංවීම් තුළ වන අතර දයලෙක්තිකව පුරවැසියන් එම දෘෂ්ටිවාදයට ඇතුල් වේ. එබැවින් භාෂණයේ නිදහස අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය යනු විගඩම් සහගත සම්භාෂණයක් පමණි. අවසානයේ සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරනුයේ පාර්ලිමේන්තුවාදය තුළය. ඒ පාර්ලිමේන්තුවේ පක්ෂ සහ විපක්ෂ ලෙස බෙදීම තුළ, විරුද්ධ මත දැරීමේ අයිතිය සැම විටම විපක්ෂය ලෙස තීරණය වේ. පාර්ලිමේන්තු නියෝජනය යනු ජනතා කැමැත්ත බැවින් පාර්ලිමේන්තුවේ කරනා සියලු කටයුතු බහුතරයේ කැමැත්ත යන්න මතින් සුජාතකරණයට ලක් වේ. විරුද්ධ අදහස් යන්න විපක්ෂ කණ්ඩායම් වෙත ඡන්දය භාවිතා කල ජනතාවගෙන් නියෝජනය වේ. නමුත් පාර්ලිමේන්තුව තුළ මේ දෙපාර්ශවයම පක්ෂ සහ විරුද්ධ වන්නේ එකම ධනවාදය ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි.
මෙම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඉතාම බොළඳ, රැවටිලි සහගත, ව්‍යාජ ව්‍යුහයක් බව කිසිවෙකුටත් නොපෙනෙන තත්වය  දෘෂ්ටිවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, එය රාජාණ්ඩු සහ එවැනි අධිකාරීත්වයන්ට එරෙහි ඓතිහාසික ජයග්‍රහණයක් බව සැලකීම, යනු එම දෘෂ්ටිවාදය තහවුරු කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජාන්ඩුකරණයේම නව ස්වරූපයකි. එම අධිකාරීත්වයේම කතිකාමය විතැන් වීමක් පමණි. කාර්මික ධනවාදයේ නැගී සිටීමත්, විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග වන ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තවදුරටත් කළමනාකරණය කිරීම සඳහා රාජාන්ඩුකරණය අපොහොසත් වීම මෙම කතිකාමය විතැන්වීමට හේතු විය. ඒ අනුව එතෙක් අධිකාරීත්වය, එනම්, ස්වාමිත්වය දරා සිටි ‘රාජ පෙළපත’ වෙතින් එය විශ්ව විද්‍යාල කතිකාවේක්ෂේත්‍රය විසින් නියෝජනය කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අධිකාරීත්වය වෙත විතැන් වී එයම එන්න එන්නම වර්ධනය වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ විසින් 19 වන දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කොට සතියක් පුරාවට ජාතික කොඩිය අඩ කුඹු කොට තබන ලෙස නියෝග කොට ඇත. ඔහු රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට තීරණය කරන ලද්දේ ඇය මියගිය දිනමය. රනිල්ගේ මෙම ගැතිකම යනු ප්‍රජාතන්ත්‍රවාදී ශිටත්වය මේ රටට උරුම කරදුන් රජ පවුලට ඇති ගැතිකමයි.

වර්තමාන අර්බුධ සඳහා පිළියම ලෙස දකින ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟ පියවර පිළිබඳව මෙම සබැඳියාවේ තුලින් කියවන්න.

ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජය

ලිබරල්-මානවවාදී අදහස් ප්‍රථම වරට අභියෝගයට ලක්වන්නේ තරුණ කාල් මාක්ස් වෙතින්ය. විමුක්තිය පිළිබඳ “මානව අයිතීන්” මූර්තිමත් වන එම ලිබරල්-මානවවාදී දේශපාලන ව්‍යාපෘතිය ඔහු විසින් අභියෝගයට ලක් කරන ලදී (මාක්ස්ගේ ආරම්භයම අයිතීන්ට එරෙහි වීම වුවද අද දවසේ “මාක්ස්වාදීන්ගේ” ප්‍රධානතම කාර්ය වී ඇත්තේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් “පෙනී සිටීමය”). ලිබරල් මානවවාදය මගින් මූර්තිමත් වන්නේ පුද්ගලභාවය අහෝසිවීමට එරෙහිවීමක් බව මාක්ස් සිතයි. මාක්ස් මේ පිළිබඳව සඳහන් කළ ආකාරයට, ධනවාදය යටතේ ආත්මාර්ථකාමී තනි පුද්ගලයෝ නිරන්තරයෙන් එකිනෙකා සමග ගැටුමක වෙති. එම නිසා අයිතීන් හෝ නීතීන් අවශ්‍යය වන්නේ මොවුන් එකිනෙකාගෙන් ආරක්ෂා කිරීම සඳහාය. එම නිසා මාක්ස්ට අනුව නියම මානව විමුක්තිය ලඟා කරගත හැකි වන්නේ කොම්යුනිස්ට් සමාජයක් කරා ගමන් කිරීමෙනි. එනම් පුද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමෙනි. මාක්ස්ට අනුව මනුෂ්‍යත්වයයනු යථාමය නොවන (සැබවින් නො පවතින) වියුක්තනයකි (දෙවියන් මෙන්). මාක්ස් තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ, සවිඥානකත්වය විසින් ජීවිතය නීර්ණය නොකරන මුත්, වඩා වැඩියෙන් ජීවිතය විසින් සවිඥානකත්වය නීර්ණය කරන බවය. එනම් යතාර්ථය නිර්මාණය වනුයේ ව්‍යවහාරය තුළය යන්නයි.
අද වන විට මාක්ස් ජීවත්ව සිටි සමයට වඩා බොහෝ දුරට මානව හිමිකම් පිළිබඳව තත්වය වර්ධනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී උගතුන්-බුද්ධිමතුන් සේම වාමාංශික පිරිස් ද එම තත්වය සලකනුයේ සමාජය ධනාත්මක දිශාවට ගමන් කිරීමක් ලෙසය. එනම් එන්න එන්නම මානව අයිතිවාසිකම් තව තවත් පුළුල් වන අතර ඒවායේ ක්ෂේත්‍ර බහු ගුණ විය යුතු බවය. එසේ බහු ගුණ වීම සිදුවන්නේ පුද්ගලික දේපල වලට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් ඇති වී වර්ධනය වී ඇති බැවිනි (උදාහරණයකට දැනුමේක්ෂේත්‍රය).
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මානව අයිතිවාසිකම්යන යෙදුම තුළම එහි අර්ථය ඇත. එනම් මානවයාට ඇති අයිතිවාසිකම් යන්නයි. ඒ අනුව එම අයිතිවාසිකම් මානවයාට හිමි ස්වභාවික නෛසර්ගිකයන් බවය. එවිටමානවවාදයේ’ කේන්ද්‍රය වන්නේ “මිනිස් ස්වභාවය” යනුවෙන් සාරයක් මත පදනම්වීම වන අතර එය “මනුෂ්‍යත්වය”සහ “මනුෂ්‍ය වර්ගයා” පිළිබඳ වියුක්තනයකි. මෙනයින් මානවවාදය යනු ද දේවවාදයේම තවත් ස්වරූපයක් ලෙස සැලකිය හැකිය. එනම් දෙවියන් වෙනුවට එවැනිම තවත් ආකෘතියක් තෝරා ගැනීමකි. එවිට පාලන බලය හෙබවීම සඳහා අයිතිය තිබූ, දෙවියන්ගේ වරම් ලැබූ “රාජ වංශය” වෙනුවට “මිනිස් ස්වභාවය”(මිනිස් ස්වභාවය යන ‘වාස්තවික සත්‍යය’ තහවරු කරනුයේ ‘විශ්වවිද්‍යාල කතිකාව’ විසිනි) යන්නෙහි වරම ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආදේශ වී ඇත. වඩාත් සාමාන්‍ය මට්ටමේදී ප්‍රශ්න කළ යුතු වන්නේ සෑම මිනිස් සත්තාවකටම “එසේම” අයත් වන විශ්වීය (පූර්ව දේශපාලනික) මානව හිමිකම් සහ විශේෂීත දේශපාලන ප්‍රජාවක සාමාජිකයෙකු ලෙස පුරවැසියෙකුගේ විශේෂී දේශපාලන අයිතිවාසිකම් අතර ඇති දැඩි ප්‍රතිපක්ෂයයි. අනුවමිනිසා’ සහ පුරවැසියාඅතර ඓතිහාසික සහ න්‍යායාත්මක සම්බන්ධය නැවත වෙනස් කල යුතුය. ඒ ‘මිනිසා’ නිර්මාණය වන්නේ ‘පුරවැසිභාවයෙන්’ මිස ‘පුරවැසිභාවය’ යන්න ‘මිනිසා’ විසින් නිර්මාණය කර නොමැත යන්න පැහැදිලි කිරීමයි.
නිශ්චිත වශයෙන් කෙනෙකුගේ පුරවැසිභාවය සඳහා හේතු වන විශේෂිත සමාජ-දේශපාලනික අනන්‍යතාවය අහිමි වූ මිනිසෙකු වූ විට එම කෙනා එකවරම සහ එම මොහොතේම තවදුරටත් මනුෂ්‍යයෙකු ලෙස හඳුනා ගන්නේ හෝ සලකන්නේ නැත. කෙටියෙන් පවසන්නේ නම් විරුද්ධාභාශය වන්නේ ඵලදායි ලෙස, කෙනෙකුගේ සමාජ යථාර්ථය තුළ, පුරවැසිභාවය, වෘත්තිය ආදිය නොමැතිව “සාමාන්‍යයෙන්” මිනිසෙකු බවට ඌනනය වූ විටනිශ්චිතවම එම කෙනාගේ මානව හිමිකම් අහිමි වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුව ඵලදායී ලෙස “විශ්වීය මානව හිමිකම්” පරමාදර්ශීව දරන්නා බවට පත් වන්නේ කෙනෙකුගේ වෘත්තිය, ලිංගිකත්වය, පුරවැසිභාවය, ආගම, ජනවාර්ගික අනන්‍යතාවය වැනි දේවල් වලින් “ස්වාධීනව” ඔහුට විශ්වීය මානව හිමිකම්” අයිතිව ඇති විටය. නමුත් මානව හිමිකම් සත්තකින්ම ක්‍රියාත්මක වීමේදී ඒවා සැබැවින්ම හිමි වන්නේ වෘත්තිය, ලිංගිකත්වය, පුරවැසිභාවය, ආගම, ජනවාර්ගික අනන්‍යතාවය වැනි දේවල් වලින් “ස්වාධීනව”නොවේ.
මානව හිමිකම් දරන්නා වන “මිනිසා” ජනනය වන්නේ පුරවැසිභාවය ක්‍රියාවට නංවන දේශපාලන භාවිතයන් සමූහයක් මගිනි.
මානව හිමිකම්වල විශ්වීයත්වය සහ පුරවැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම් අතර පරතරය මිනිසාගේ විශ්වීයත්වය සහ නිශ්චිත දේශපාලන ක්ෂේත්‍රයක් අතර පරතරයක් නොවේ. එය, ඒ වෙනුවට, “සමස්ථ ප්‍රජාවම” එය වෙතින්ම වෙන් කරයි.
සිරස රූපවාහිනියේ සංවාදයේ ඉතුරු අදහස් දැක්වීම් තුලද සියලු දෙනා සංවාදයට ලක්කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් තහවුරු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳවය.
ඊළඟට අදහස් දැක් වූ නීතිඥයා විසින්ද ප්‍රකාශ කොට සිටියේ භාෂණයේ නිදහස තහවුරු කල යුතු බවත්, එහෙත් ඒ තුළ අනෙකාට අපහාස වන අනෙකාගේ හිත රිදෙන දේවල් ප්‍රකාශ කල නොහැකි බවත්ය. එනම් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය තුළ අදහස් ප්‍රකාශ කිරීම යනුම ධනවාදයට අදාළ සීමාව තුල, එම සමුද්දේශ රාමුව ඇතුලත නිදහසකි. එම තත්වයට යම් අභියෝගයක් වන්නේ නම් හෝ දෘෂ්ටිවාදී මිනිසාගේ සිත රිදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇත්තේ එසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ නොලැබෙන ආකෘතියකි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ක්‍රියාත්මක වීමට නම් ජනතාවගේ ආකල්ප සකස් විය යුතු බව එම සංවාදයේ සිටි සියලු දෙනාම පිළිගත් ප්‍රධානතම කාරණයයි (අප විසින් මෙම ලිපි මාලාවේ දෙවන කොටසේ සඳහන් කලේ ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්ම සඳහා “බුද්ධිමය සංවාදය” අත්‍යවශ්‍ය බවය). ආකල්ප සකස් කිරීම යනු වෙන යමක් නොව යථාර්ථයේ හිඩැස් වසනා දෘෂ්ටිවාදය හොඳින් සංස්ථාපනය කිරීමයි. දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරයට අදාලව ගතහොත් ඔවුන් විසින් සඳහන් කරන නිවැරදිම කාරණය වන්නේ නීතියේ ආධිපත්‍ය ගොඩනගන ආකාරයයි. එනම් නීතියේ ආධිපත්‍ය ගොඩනැගීමට නම් කුඩා කල සිටම පුරවැසියෙකු වීම සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය තහවුරු කල යුතු බවය. එසේ නොමැතිව කෙතරම් උත්සාහ කලද නීතියේ ආධිපත්‍ය තහවුරු කළ නොහැකි බවය. විසංවාදය පැවතිය යුත්තේ “බුද්ධිමය සංවාදය” තුල බව එහි සිටි සියලු දෙනා අවධාරණය කල සහ පිළිගත් අනෙක් ප්‍රධාන කාරණයයි. එනම් සුසංවාදී ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයක් සඳහා විසංවාදී බුද්ධිමය සංවාදයේ පැවැත්මයි.
සංවාදයට සහභාගී වූ සියලු දෙනා අනුමත කොට සිටියේ නීතිය අභියසට යාම සඳහා ඇති අවස්ථා හැකි තාක් පුළුල් කල යුතු බවය. එහි සිටි නීතිඥයන් පවසන්නේ රට පුරා තවත් අධිකරණ බිහිකොට මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නඩු ඇසීමට ඇති අවස්ථා පුළුල් කල යුතු බවය. එනම් ඉන් අදහස් වන්නේ මානව හිමිකම් රැකීමට නම් මානව හිමිකම් උල්ලංඝනය වීම පවත්වා ගත යුතු බවය. තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම්, නීතිය රැක ගැනීමට අවශ්‍ය වන්නේ නීතිය උල්ලංඝනය වන බැවිනි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට අවශ්‍ය වන්නේද එය උල්ලංඝනය වන බැවිනි. එබැවින් මෙම උල්ලංඝනය වීම සහ රැක ගැනීම යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂමය ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මයි.
නැවත නැවතත් සංවාදය තුළ අවධාරණය කෙරුණු මුඛ්‍ය කාරණය වූයේ අප මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙත පැමිණ ඇත්තේ අශිෂ්ටත්වය පසු කොට බවත්, ඒ අනුව නැවතත් මේ ශිෂ්ටත්වයෙන් අශිටත්වයට යා නොහැකි බවත්ය. ඒ අනුව ඔවුන් සියලු දෙනා පවසන්නේ හොඳ ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා ජනතාවගේ ඔලුව සකස් විය යුතු බවය. ඔවුන් එසේ කියන විට ඉන් හැඟවෙන්නේ එම සංවාදයේ සිටිනා අයගේ ඔලු හොඳ බවය. එනම් ඔවුන් නිසි ආණ්ඩුවක් තෝරාගැනීමට දන්නා උගතුන්ය. දැන් අවශ්‍ය වන්නේ එවැනි උගතුන් විසින් මග පෙන්වනා ජනතාවක්සාදා ගැනීමයි. ඔවුනට අනුව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රට වල ජනයා ලංකාවේ ජනයා මෙන් නොවන අතර ඔවුන් දියුණු මිනිසුන්ය. ඒ අනුව එවැනි මිනිසුන් ලංකාව තුළද නිර්මාණය කොට ගත යුතු බව සියලු දෙනාගේ ස්ථාවරය විය. ඔවුනට අනුව ලොකුම ප්‍රශ්නය හොඳ දැනුවත් පුරවැසියා නොමැති කමය (කෙසේ නමුත් අවසානයේ මහාචාර්යවරියට සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හිඩැස පිරවීම වෙනුවෙන් ආගම වෙතට ආයාචනා කිරීමටයි).  
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේම පරිකල්පිත පුද්ගලයෙක් වෙනුවෙනි. මේ පරිකල්පිත පුද්ගලයා යනු ස්වයං-සවිඥානිකඑනම් තමන් කියනකරනසියලු දේ දැනුවත්ව කරන (ස්වයං-සවිඥානික)පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙක් මෙදියත නොපවතින අතර එය හුදු ව්‍යුක්තනයක් පමණි. එනම් ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියා සත්තකින්ම පරිපූර්ණ වශයෙන් මිහි පිට නොමැති පරිකල්පනීය ව්‍යුක්ත පුද්ගලයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හිමි වන්නේමේ වියුක්තපරිකල්පිතස්වයං-සවිඥානිකපුද්ගලයාටය. පුරවැසියා (citizen) යනු මෙන්න මේ වියුක්ත පුද්ගලයාය.
මානව හිමිකම් හිමිවන්නේ එම පුරවැසියාටය. පුරවැසියා යනු එය සංස්ථාපිත දේශපාලන ක්‍රියාදාමයට අදාළ නිශ්චිත ගොඩනැංවීමකි. මිනිසෙකු ඉපදුන පසුව ඔහු පුරවැසියෙකු බවට පත්වීමේ පළමු කොන්දේසිය වන්නේ උපත ලියා පදිංචි කල යුතු වීමයි (උප්පැන්න සහතිකය). එතැන් පටන් ඔහුගේ මිනිස් ජීවිතය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව රාජ්‍ය ආයතන ව්‍යුහයක් තුලින් නතු කරගන්නා නීතිමය කොන්දේසීන් වලට යටත් මනුෂ්‍යත්වයකි. ඔහුට සියදිවි නසා ගත නොහැකි අතර රාජ්‍යයට අවශ්‍ය නම් ඔහුගේ දිවි තොර කල හැකිය. ඒ අනුව උපතේ සිට මරණය දක්වා යම් පුද්ගලයෙකු රාජ්‍ය සමග ඇති සම්බන්ධය තුළ උප්පැන්න, විවාහ සහ මරණ යනුවෙන් අනීවාර්ය සහතික තුනක් අවශ්‍ය වන්නේ රාජ්‍යය ව්‍යුහය තුළ තම ජීවිතය ගත කිරීම, අධ්‍යාපනය, රැකියාවක් කිරීම, වැනි කාරණා ඇතුළුව විශේෂයෙන්ම පුද්ගලික දේපළ අයිතිය, ඒවාට අදාළ සම්බන්ධතා හා අවශ්‍යතා ඉටු කර ගැනීම ඇතුළු එම පුද්ගලික දේපල තම උරුමක්කරුවන් වෙත පවරා දීම හෝ උරුම වීමට ඉඩ හැරීම සඳහාය.
එකිනෙකා පරයා තම ආශාවන් හඹා යාමේදී තරඟකාරීත්වය තුළ කෙනෙකුගෙන් අනෙකාට සිදුවිය හැකි (සිදු වන) පීඩාවන්, හෝ උපරිම වශයෙන් නම් මරා දැමීමට ලක් වීම වැලැක්වීම, රාජ්‍ය නිලධාරීන් වෙතින් සිදු වන පීඩාවන් හෝ මරා දැමීමට ලක්වීම (පොලීසිය, හමුදා හෝ වෙනත් අයුරකින්) වැලැක්වීම සඳහා මානව හිමිකම් අවශ්‍ය වේ. ඒ අනුව එක් හෝ තවත් ජාතියකට අයිති වීම මත ඒවා අහිමි කල නොහැකිය. එබැවින් මානව හිමිකම් අදාළ වන්නේ විශ්වීය පොදු මනුෂ්‍යත්වයක් සඳහාය. එවිට එම විශ්වීය මනුෂ්‍යත්වය යනු ස්වභාවික,මිනිස් සාරය”, යනුවෙන් අර්ථකථනය වී ඇති ලොවටම පොදු තත්වයක් ලෙස සැලකේ. නමුත් ඒවා හිමි වන කෙනා පුරවැසියාය. එනම් පුරවැසියාට අදාළ කොන්දේසි සපුරා නැති අයෙකුට ඒවා හිමි නොවේ. ගෝත්‍රිකයින් සහ ආධිවාසීන් ලෙස නූතන විද්‍යාවේ කතිකාව තුළ අර්ථකතනය කොට ඇති කාන්ඩ වලට මානව හිමිකම් හිමි නොවන අතර එවැනි ගෝත්‍ර යනු ලඟා නොවිය යුතු, බාධා නොකළ යුතු හෝ වෙන් කොට තබා පාලනය කල යුතු කණ්ඩායම් ලෙස සැලකේ. නමුත් අවශ්‍ය නම් ඒ අයටද පුරවැසියන් දක්වා පරිණාමය වීමේ අයිතිය පිළිගනී. ඒ අනුව එවැනි ප්‍රජාවන්ගේ මනුෂ්‍යත්වයටමානව හිමි කම් අදාළ නැත. එනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මිනිසා නිර්මාණය වන්නේ පුරවැසිභාවය තුලය.
 
1977 වර්ෂයේ ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන විට ඔහුට අභිමුඛ වූ ධනවාදයේ වර්ධනය සඳහා තිබූ ප්‍රධාන බාධාව වූයේ ලාංකීය පුරවැසියා නිසි ආකාරව සංස්ථාපිත වී නොතිබීමය. ඒ අනුව උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා දීම විධිමත් කිරීම සහ එතෙක් නීත්‍යානුකූලව විවාහ නොවී පවුල් ජීවිත ගත කරමින් සිටි සියලු දෙනා නීත්‍යානුකූලව ලියාපදිංචි කරවීම සඳහා පියවර ගන්නා ලදී. එවැනි පවුල් ජීවිත ගත කල අයට තම විවාහ ලියාපදිංචි කොට ගැනීම දිරිමත් කිරීම සඳහා “ජාතික විවාහ මංගලෝත්සවයක්” සංවිධානය කොට ඒ සඳහා ජේ.ආර්. සහ ප්‍රේමදාස දෙදෙනාම ද සහභාගී වී, පූර්වාදර්ශිමය ලෙස වයසක යුවලක් නීත්‍යානුකූලව විවාහ කොට මංගල පෝරුවෙන් බස්සවා ඇත්තේ ද ජේ.ආර්. විසින්මය. එකල රූපවාහිනී නොතිබූ අතර පුවත් පත් සහ ගුවන්විදුලිය ඔස්සේ ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින්, ගුවන් විදුලිය ඔස්සේ “ජාතික විවාහ මංගල උත්සවය” සජීවීව විකාශය කොට ඇත. එම අවස්ථාවට සමගාමීව උප දිසාපති කොට්ඨාශ මට්ටමින් ද උත්සව පවත්වා ඇත. එදින නීත්‍යානුකූලව විවාහ වූ දරුමල්ලන් සාදා අවසන් කොට තිබූ යුවලවල් පවා හැසිරී ඇත්තේ තරුණ අලුත් යුවලවල් මෙනි. සමහරුන් අත් පටලවාගෙන පාරේ සතුටින් ගමන් කොට ඇත (එනම් තමන් හට ප්‍රේමය හැඟී ගොස් ඇත්තේ නීත්‍යනුකූල විවාහ ලියාපදිංචිය තුළය. ඉහත සඳහන් කල “මිනිසා නිර්මාණය වන්නේ පුරවැසිභාවය තුලය” යන්න ඒ තුළම ඇත). එසේ විවාහ වූ අයගේ දරුවන් හට උප්පැන්න හිමි වීම ද ඉන් පසුව සිදු විය. අනතුරුව ඔවුන් මිය ගිය පසුව මරණ සහතිකයක් ද හිමි වන අතර ඉපදීම, විවාහය සහ මරණය ව්‍යවස්ථානුකූල වීම ලංකාව තුල විධිමත්භාවයට පත් විය. 
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ සමානාත්මතාවය හිමි වන්නේ එම නීත්‍යානුකූල පුරවැසියාටය‘. නමුත් පුරවැසිභාවය යනු උප්පත්තියේ සිට මරණය දක්වා ව්‍යවස්ථානුකූල තත්වයට පත්ව ඇති “මනුෂ්‍ය නොවන” සංස්ථාපිතයකි. එවිට විරුද්ධාභාශය වන්නේ මානව හිමිකම් හිමි වන්නේ එම ව්‍යුක්ත, මනුෂ්‍ය නොවන, පුරවැසියාට වීමයි.
නිශ්චිත වශයෙන් කෙනෙකුගේ පුරවැසිභාවයසඳහා හේතු වන විශේෂිත සමාජ-දේශපාලනික අනන්‍යතාවය අහිමි වූ මිනිසෙකු වූ විට එම කෙනා එකවරම සහ එම මොහොතේම තවදුරටත් මනුෂ්‍යයෙකු ලෙස හඳුනා ගන්නේ හෝ සලකන්නේ නැත. කෙටියෙන් පවසන්නේ නම් විරුද්ධාභාශය වන්නේ ඵලදායි ලෙස, කෙනෙකුගේ සමාජ යථාර්ථය තුළ, ‘පුරවැසිභාවය‘, වෘත්තිය, ආදිය නොමැතිව “සාමාන්‍යයෙන්” මිනිසෙකුබවට ඌනනය වූ විටනිශ්චිතවම එම කෙනාගේ මානව හිමිකම් අහිමි වීමයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් වලට අනුව කෙනෙකු ඵලදායී ලෙස “විශ්වීය මානව හිමිකම්” පරමාදර්ශීව දරන්නෙකු බවට පත් වන්නේ ඔහුගේ වෘත්තිය, ලිංගිකත්වය, පුරවැසිභාවය, ආගම, ජනවාර්ගික අනන්‍යතාවය වැනි දේ වලින් “ස්වාධීනව” ඔහුට මානව හිමිකම් අයිතිව ඇති විටය. නමුත් සත්තකින්ම පුරවැසියා යනු ඔවුන් තවමත් මිනිසුන් බව හැර අන් සියල්ල පුරවැසිභාවය යන්නට ඇතුලත් වන කොන්දේසියකි. ඒ අර්ථයෙන් හරියටම පුරවැසියෙකු වන්නේ මනුෂ්‍යයෙකුට ඔහුගේ විශේෂිත සමාජය අහිමි වූ විටය. ඔහුගේ අධිෂ්ඨානශීලී පුරවැසිභාවය සඳහා හේතු වන දේශපාලන අනන්‍යතාවය, ඔහු එක විට හා එකම පියවරකදී, තවදුරටත් මනුෂ්‍යයෙකු ලෙස හඳුනා නොගැනීම සහ (හෝ) මනුෂ්‍යයෙකු ලෙස නොසලකයි.
එනම් යම් මනුෂ්‍යයෙකු අයත් සුවිශේෂී සමාජය තුල සංස්කෘතිය, සිරිත් විරිත්, චාරිත්‍ර විධි, දේශගුණය, භෞමිකත්වය, ආහාර-පාන ඇතුළු සියලු පදනම් අදාළ කරනොගන්නා සහ ධනවාදය තුල පවතින පන්ති පරතරයන් (ආර්ථික සහ දැනුමට අදාළයන දෙයාකාරයෙන්ම) අදාළ කරනොගන්නා, එනම් සමානාත්මතාවයපදනම ලෙස සලකනා පුරවැසිභාවය යනු ඉහත කී පදනම් සහිත, එනම් එම යථාර්තය තුල සංයුක්ත මිනිසා නොවේ. ඒ අනුව ඒ මිනිසාගේ මිනිස් හැඟීම් වලට අදාළ ආචාරධාර්මික සීමාවන් පුරවැසිභාවය තුලින් තාර්කිකව පාලනය කෙරේ.
ලංකාව තුල පුරවැසියා සංස්ථාපනය වීම ආරම්භ වන්නේ කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ හරහාය (ඉහත සඳහන් කල ජේ.ආර්. විසින් සංවිධානය කල ජාතික මහා විවාහ මංගලෝත්සවය ද එහිම දිගුවකි). ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වී මානවහිමිකම් සංස්ථාපනය ඇරඹෙන්නේ ඉන් පසුවය. ඒ අනුව ව්‍යවස්ථාවෙන් හිමි වන පුරවැසිභාවයට ඔහු අයත් සමාජය තුල සංයුක්ත මනුෂ්‍යා යන්න අදාළ නොවේ. එනම් නීතිය ක්‍රියාත්මක වීමේදී, මානව හිමිකම් හිමි වීමේදී, රැකියාවකට තෝරා ගැනීමේදී, අදාළ වන්නේ අදාළ සමාජ සංයුක්තතාවය තුළ “සැබෑ මනුෂ්‍යයා” නොව පුරවැසියාය‘. උදාහරණ කිහිපයක් හරහා මෙය පැහැදිලි කල හැකිය.

1. ලෙනාඩ් වුල්ෆ්ගේ “බැද්දේගම” නව කතාවේ සිළිඳුගේ පවුල යනු ලංකාව තුළ නැගී ආ ධනේශ්වර වෙළඳපොළ තුළ ගොදුරු බවට පත් වූ පවුලකි. එම සමාජ සන්ධර්භය තුල ගොඩනැගී තිබූ ගැමි ප්‍රභූත්වයට අදාළ ප්‍රශ්නයක් මුල්කොට ගනිමින් ව්‍යාජ සොරකමක් නිර්මාණය කරමින් සිළිඳුට සහ ඔහුගේ බෑණා බබුන් හට සොරකමකට අදාලව නඩු පවරයි. ඉන් බබුන් වැරදිකරු වී හිරදඬුවම් විඳීමට සිදුවන අතර ඔහු සිරගෙදරදී මිය යයි. බබුන් සහ සිළිඳු සොරකම සිදුකොට නොමැති බව විනිසුරුවරයා ඇතුළු සියලු දෙනාට පැහැදිලි කාරණයකි. තීන්දුව ලබා දෙමින් “මට උඹ ගැන කණගාටුයි” යනුවෙන් විනිසුරු විසින් ප්‍රකාශ කරනුයේ එබැවිනි. නමුත් අධිකරණයේදී විමසා බැලෙනුයේ අදාළ මනුෂ්‍යයාගේ සංයුක්තතාවය තුළ එම පුද්ගලයා මුහුණ දෙන ගැටළුකාරී තත්වයන් හෝ හැඟීම් පිළිබඳව කාරණා නොවේ. අධිකරණය යනු සංයුක්ත මනුෂ්‍යයා අදාළ නැති, හැඟීම් විහීන ස්ථානයකි. නමුත් අධිකරණ ක්‍රියාවලිය තුළ සහභාගී වන සියලු දෙනා, එනම්, විනිසුරුවරුනීතීඥයින්, නිලධාරීන් සහ නඩු වලට අදාළ පුද්ගලයින් යනු ඉන් පිටතදී සංයුක්ත මිනිසුන් වන අතර ඔවුන් අයත් වන සමාජ-සංයුක්තතාවය අධිකරණය තුල අදාළ නොවේ. 
නීතිමය කතිකාවේදී පුද්ගලයා යනු ස්වයං සවිඥානික පුද්ගලයෙකි. එසේම එය සැම විටම වෙනත් කෙනෙකුගේ බලයට යටත්ව සිටින පුද්ගලයෙකු (උදා: පරමාධිපත්‍යයට යටත් පුද්ගලයෙකු) දක්වයි.
ලකාන් මෙසේ ප්‍රකාශ කරයි: “ආත්මය (subject) ආත්මයක් වන්නේ අනෙකාගේ (Other) ක්ෂේත්‍රය වෙතට ඔහුගේ යටත්වීමේ ගුණාංගය මගින් පමණි.”
ඒ අනුව ආත්මය ඔහුගේ (තමන්ගේ) ක්‍රියාවන්ට වගකිව යුතුය. තමන්ගේ ස්වාමියා තමන්මය. නමුත් පුද්ගල සවිඥානිකත්වය තීරණය වන්නේ සංකේත රටාව (symbolic order) මගිනි. වෙනත් ආකාරයකින් එයම ප්‍රකාශ කරන්නේ නම් සෑම සවිඥානික ක්‍රියාවක්ම පිටුපස ඇත්තේ අවිඥාණයයි. එසේ නමුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නීතිය එය නොපිළිගනී. නැවතත් මෙය “බැද්දේගම” සිද්ධියේ අධිකරණ ක්‍රියාවලියට යෙදුවහොත් ලංකාව තුළ ධනවාදය තහවුරු වෙමින් තිබූ සන්ධර්භය තුල, සිළිඳු ඔහුගේ දියණියන් දෙදෙනා සහ බබුන් මුහුණ දුන් සංයුක්ත සිදුවීම් මාලාව තුල පුරවැසිභාවය, නීතිය හෝ අධිකරණය, පිළිබඳව කිසිඳු හැඟීමක් නොමැති “සැබෑ මිනිසා” (සිළිඳු සහ බබුන්) නීතියට හෝ අධිකරණයට අදාළ නැත. සැබෑවටම සිදු වී ඇත්තේ කුමක් ද යන්න පැහැදිලිව පෙනෙන තත්වයක් යටතේ වුවද, ඒ අනුව නීතිය තුළ තීරණ ගත යුතුව ඇත්තේ තර්ක බුද්ධියේසීමාව තුළ පමණි.  
2. වාහනයක් පාරෙන් ඉවතට පැන පදිකයෙකු ඊට යට වී මියගියහොත් එහි සම්පූර්ණ වරද රිය පදවන්නාගේය. නමුත් එම රිය පදවන්නා අතින් එය එසේ සිදු වීමට බලපෑ හේතු සංකීර්ණයක් තිබිය හැකිය. එනම් ඔහු බරපතල ප්‍රශ්නයකින් පීඩා විඳිමින්, එවැනි ප්‍රශ්නයක් සඳහා මුදල් උපයා ගැනීම සඳහා නිදි වරමින් වෙහෙසෙමින් සිට, රිය පදවමින් සිටියා විය හැකිය. නමුත් නීතියට එකී තත්වයන් විමසීම හෝ ඒවායේ අක් මුල් සෙවීම අදාළ නොවේ. එසේම නීතියට අනුව යම් වරදක් සිදු කොට සිරගත වන පුද්ගලයෙකු නිසා එම පුද්ගලයා වෙතින් නඩත්තු වූ දරුපවුලක් අනාථ වීම වැනි කාරණා ද නීතියට අදාළ නැත. 
3. මෙය 1947 වසරේ, එනම් ලංකාවට නිදහස ලැබීමට වසරකට පෙර ඉපදුන පිරිමියෙකුට ඇති වූ ප්‍රශ්නයකි. ඔහුගේ නම පුෂ්පා පතිරණ ලෙස උප්පැන්නය ලියාපදිංචි කළ රෙජිස්ටාර්වරයා විසින් අදාළ ෆෝරමයේ ඔහුගේ ස්ත්‍රී පුරුෂභාවය විමසන ස්ථානයේ ‘පුරුෂ’ යන්න වෙනුවට ‘ස්ත්‍රී’ යන්න යොදා තිබී ඇත (එකල හැටියට ‘පිරිමියා’ හෝ ‘ගැහැණිය’ ලෙස යෙදිය යුතුය). පාසැල් වලට, අධ්‍යාපන ආයතන වලට ඇතුලත්වීමේදී අදාළ කාරණාව ප්‍රශ්නයක් වී නොතිබිණි (එකල ඒවා ක්‍රියාත්මක වූ ආකාරය අනුව). නමුත් රැකියාවක් ලබා ගැනීමට යෑමේදී එම පුද්ගලයාගේ පුරවැසිභාවය ‘ස්ත්‍රී’ වූ බැවින් රැකියාවල් සඳහා භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් කලකිරීමට පත් ඔහුගේ දෙමාපියන් විසින් දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත්තේ පුරවැසිභාවයේ ස්ත්‍රීතත්වය පුරුෂ ලෙස වෙනස් කොට ගැනීම සඳහාය. නමුත් නඩුව විභාග කොට අවසානයේ විනිසුරු විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ ගැහැණියෙක් මිනිහෙක් කිරීමට තමන්ට නොහැකි බවය. ඉන් පසුව කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඉච්ඡාභංගත්වයට පත්ව සිටි අදාළ පුද්ගලයා හට ඥාතියෙකු වූ එම ගමේ වෙල්විදානේ විසින් උපදෙසක් ලබා දී තිබුණි. ඒ “උඹ ඔය උප්පැන්නය විසි කරලා අම්මටයි තාත්තටයි විරුද්ධව නඩු දාපන් උප්පැන්නයක් දුන්නේ නැහැ කියල” යනුවෙනි. ඒ ආකාරයට නඩුවක් පැවරූ පසුව ඉහත තීන්දුව ලබා දුන් විනිසුරුවරයාම දෙමාපියන් වරදකරුවන් කරමින් දඩයක් ද ගසා ඔවුනට නියෝග කොට තිබුනේ තම දරුවාට උප්පැන්නය ලබා දෙන ලෙසය. එම සිද්ධියේදී ස්ත්‍රී හෝ පුරුෂ යන්න ව්‍යවස්ථානුකූල තත්වයක් මිස සැබෑවට එය එසේද නැද්ද යන්න නොවේ.  
මේ තත්වය තුළ ක්‍රමක්‍රමයෙන් සීග්‍රයෙන් සමාජය තුළ තහවුරු වූයේ අනෙකා පිළිබඳව හැඟීමෙන් ක්‍රියා කිරීම වෙනුවට අනෙකා සමග තාර්කික වීමය. එනම් අනතුරකට ලක්ව වැටී සිටින අයෙකු දුටු විට ඔහුට උපකාර කිරීම තමන්ට දඬුවම් විඳිය හැකි වරදක් විය හැකි වනු ඇත. එබැවින් එම අනතුරට ලක් වූ පුද්ගලයා මිය යද්දී එතනින් ඉවත් වීමට සිදු වේ.  ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු වනවා යනු තම සමීපතමයන් සමග සම්බන්ධයේදී පවා තාර්කිකව ක්‍රියා කළ යුතු වන නෛතික සීමාවන් සලකුණු විය යුතු වීමය. එනම් අතිශය උද්වේගතර හැඟීමක් වන සැමියා සහ බිරිඳ අතර ලිංගික සම්බන්ධතා වලදී පවා තාර්කිකව ක්‍රියා කළ යුතුය යන්න වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තත්වය බවට පත්ව ඇත. දෙදෙනා කැමැත්තෙන් ලිංගිකව එකතු වෙමින් සිටියදී, ශුක්‍රානු පහවීමට තත්පර ගණනකට පෙර ස්ත්‍රිය විසින් පුරුෂයා හට “දැන් නවත්වන්න” යයි පවසා සිටියදී එසේ නොනවත්වා ශුක්‍රානු පහ කිරීම වැනි සිද්ධීන් පිළිබඳව නඩු ද දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල විභාග වේ.
ඉහත උදාහරණ තුලින් පැහැදිලිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලයන් වන සමානාත්මතාවය, මානව හිමිකම්, නීතිය ක්‍රියාත්මක වීම වැනි කාරණා සඳහා “සාමාන්‍ය මිනිසා” යන්න අදාළ නොවන බවය.
මානව හිමිකම් දරන්නා වන “මිනිසා” ජනනය වන්නේ පුරවැසිභාවය ක්‍රියාවට නංවන දේශපාලන භාවිතයන් සමූහයක් මගිනි. මානව හිමිකම් (“එවැනි මිනිසාට” අයත්) සහ පුරවැසියන් දේශපාලනීකරණය කිරීම අතර ඇත්තේ විරුද්ධාභාශයකි.

මතු සම්බන්ධයි…

1 thought on “ප්‍රජාතන්ත්‍රවාදය: (4 කොටස) හැඟීම් වලට එරෙහිව තර්ක බුද්ධිය

Leave a Comment

%d bloggers like this: