මැතිවරණ සහ මනොවිශ්ලේෂණය

අප පල කරන අදහස් වලට සමාන්තර අදහස් සේ හැඟී යා හැකි අදහස් ඉදිරිපත් කරන්නේ D.K. ගුණරත්න විසිනි. එය බොහෝ සෙයින් එසේ වන්නේ සමාන වචන සහ ෆ්‍රොයිඩ්, ලකාන්, ෂිෂැක් වැනි නම් අප දෙපිරිසම සභාග කොට ගන්න බැවිනි. නමුත් ඔවුන්ගේ දේශපාලන දැක්මෙන් අපගේ දේශපාලන දැක්ම සපුරා වෙනස්ය. එය එසේ බව අප විසින් තහවරු කොට බොහෝ කල් වුවද D.K. ගුණරත්න වෙතින් වෙන්ව තනියම අදහස් පල කරන මහේෂ් හපුගොඩ තමන් හට D.K. ගුණරත්නගේ දැක්මෙන් වෙනස් දැක්මක් ඇති බව ප්‍රකාශ කරමින් අදහස් පල කරයි. නමුත් අපිට අනුව දෙදෙනාගේ කිසිම වෙනසක් නොමැත.

මහේෂ් මෙසේ පවසයි…

//මිනිසා කරන මුලික වරදක් තමයි යථාව මඟ හරින එක. අපි ගොඩක් කැමතියි යථාව මඟ හැරලා ඉන්න. වැසිකිලි කියන්නේ යථාවක්. කාබනික යථාර්තයේ කොටසක්. අපි ඉක්මනට අපේ වැඩේ කරගෙන එතනින් ඉවත් වෙන්න බලන්නේ. නමුත් දියුණු ලෝකය ඇතුලේ කරන්නේ ඒ යථාව ට මුහුණ දීලා ඒවා හොඳින් සුද්ධ පවිත්‍ර කර ගන්න එක. ඒකයි දියුණු රටවල වැසිකිලි ගොඩක් පිරිසිදු. යථාවට මුහුණ දෙන්න ඒ අය දන්නවා. යථාව යථාවක් හැටියට පිලිගන්නවා. එතකොට තමයි ඒක තරණය කරන්න පුළුවන්. ස්ටැන්ලි කුබ්රික්ගේ Full Metal Jacket එකේ දෙන ගේම් එක බලන්නකෝ එයාල වැසිකිලි ශුද්ධ කර ගන්න. ජිජැක් ඉඳ ගන්නෙත් ඒ වැසිකිලි පෝච්චියක් උඩ//

මහේෂ් හපුගොඩගේ සටහනේ සබැඳියාව පහතින්

 

මෙතැනදී මහේෂ් කියන්නේ දියුණු ලෝකයේ වැසිකිලි පිරිසිදු ඔවුන් යථාවට මුහුණ දෙන නිසා බවය. මේවා මෙසේ කියන්නේ කොහොමද ? ලක්ෂ 50, 60 වටිනා වැසිකිලි කට්ටල හදාගෙන ඉන්නේ ඔය කියන “දියුණු” රටවලය. ඒවා මෙහාටද දෙන්නේ ඒ රටවල්ය. මහේෂ් පවසන “යථාවට මුහුණ දීම” සහ “යථාව මග හැරීම” යන්න ඔහු වෙන් කරන්නේ “දියුණු” සහ “නොදියුණු” යන නිර්නායකයන් තුලය. එනම් මිලියන ගණන් වටිනා වැසිකිලි ඔහුට අනුව දියුණුය. එසේම ඒ යථට මුහුණ දෙන “දියුණු” ආකාරයයි. මේ මොන කුනුහරුපද ?

ඉහත මහේෂ්ගේ කතා යථ පිළිබඳව ලකානියානු පැහැදිලි කිරීමට එය කොහෙත්ම අදාළ නැත. ශිෂෙක් පවසන්නේ පෘතුවියේ වසන සත්තුන්ගෙන් අසූචි පිළිබඳව ලොකුම ප්‍රශ්නය ඇත්තේ මිනිසුන්ට බවය. ඔහු එම ප්‍රශ්නය ඇසුරෙන් දෘෂ්ටිවාදය පිළිබඳව පැහැදිලි කිරීමක්ද කරයි.

මහේෂ් මේ කියමින් ඉන්නේ යථට මුහුණ දී ඇති මිනිසුන් ( විද්‍යාව භාරගත් “දියුණු ලෝකය ) මෙවැනි වැසිකිලි ( අදාළ වැසිකිලි පිළිබඳව video පහතින් දක්වා ඇත ) නිපදවා යථ ජයගනිමින් සිටියදී “නොදියුණු” රටවල් යථ  මගහරිමින් සිටින බවය. අපට අනුව නම් යථ මගහැරීමට උත්සාහ ගන්නේ මෙවැනි කෝටි ගණන් වල වැසිකිලි තනනන්ය.

ධනවාදී කතිකාව (discourse of capitalist) පිළිබඳව විස්තර විභාග දක්වන ලකාන් පවසන්නේ ධනවාදී සමාජයේ ආත්මය ( subject ) සඳහා ධාවක වස්තූන් ( drive objects) ස්ථාන ගතවී ඇත්තේ නියෝජිතත්වයේ ස්ථානයේ බවය. එනම් වර්තමානයේ අප අත්විඳිනුයේ වද්‍යාවේ, තාක්ෂණයේ සහ සෞන්දර්යකරණය වූ වේගයෙන් ක්ෂය වන සේ වස්තූන් නිෂ්පාදනයකි. එවිට සිදුවන්නේ එම වස්තූන් ආශා කරනා ආත්මය සඳහා වන නියෝජිතත්වයේ ස්ථානය තුල පැවතීමය. අද සියලු පාරිභෝගික භාණ්ඩ වසරින් වසර අලුත් වන්නේ සුළු තාක්ෂණික ප්‍රයෝග ( මේ වසරේට වඩා යම් අලුත් දෙයක් ඊළඟ වසරේ මොඩලය තුල අඩංගුය ) සහ සෞන්දර්යකරණය තුලය ( සත්තකින්ම නැවතත් එම තාක්ෂණික ප්‍රයෝග අවශ්‍ය වන්නේද සෞන්දර්ය වෙනුවෙන්ය ). ඒ අනුව මෙම තාවකාලික වස්තූන් ( අත්වින්දීමේදී මේවා සැමවිටම ආත්මයට අදාළ වන්නේ තාවකාලිකවය ) සේවය කරනුයේ ආශාවේ වස්තු හේතුව ( object petit a ) සඳහා, ඒ වෙනුවෙන් නැගී සිට ඇති ලෙසය. ෆොරොයිඩ්ට අනුව ධාවක වස්තූන් වූයේ පියයුරු, ගූ බෙටි, පැල්ලසය….වැනි මදජනක කලාප වෙතට සම්බන්ධිත විවිධ ශාරීරික වස්තූන්ය. නමුත් ලකාන් විසින් පළමුවරට කරන ලද ධාවක වස්තූන් සම්බන්ධයෙන් වන නවීකරණය වූයේ gaze ( බද්ධ දෘෂ්ටිය ) සහ voice ( කට හඬ ) වස්තූන් ලෙස පිළිවෙලින් visual drive( දෘශ්‍ය ධාවකය ) සහ auditory drive( ශ්‍රව්‍ය ධාවකය ) ලෙස දැක්වීමය. ඉන් පසුව “ධනවාදී කතිකාවට” අදාලව ලකාන් විසින් මෙය තව දුරටත් වර්ධනය කරන්නේ ධනවාදය තුල ගීත, චිත්‍රපට, රූප හෝ වස්තූන් වැනි තවත් බොහෝ නිෂ්පාදිත භාණ්ඩ වලට අදාලවය. මේවා ස්වභාවික ශරීර වස්තූන්ගේ විස්තාරණයන් ලෙස මිනිසුන්ගේ කටයුතු තුල, සහ ඒවා සමග ඔවුන්ගේ සම්බන්ධකම් තුල ක්‍රියාත්මක වේ. නිදසුනක් වශයෙන්, ආහාර සහ “මුඛ වස්තුව”(oral object) හා සම්බන්ධ විවිධ ගැටළු, අහාර අරුචිය, කෙසඟ බව සිට තරබාරුකම දක්වා ගන්න; මෙය ධනවාදය තුල විසඳා ගැනීම අදාලව පවතින්නේ සායනික කටයුතු තුලය. නමුත් දැන් රූපවාහිනී වැඩසටහන්, වෙළඳ දැන්වීම් වැනි දෑ පවා ලකාන්ගේ කාලයේට ද වඩා මේ වන විට ගුද වස්තුවෙහි( anal object ) දිගුවකි; තවද, ඒවායේ සියලු සංකල්ප රූප සහ බලපෑම අප සතුව පවතින්නේ, ඒවා අතර pornography හෝ ඒවා සංකේතවත් කරන( pornography බලන අය ට අර්ථවත් වන ) දෑ සම්බන්ධිත වන්නේ scopic object එසේ නොමැති නම් visual object ( දෘශ්‍ය වස්තුව ) වෙතටය. එනම් රූමත් ලෙස සැලකෙන ස්ත්‍රිය සමග ලිංගික සම්බන්ධය එක්තරා වැසිකිලි නිෂ්පාදනයකට අදාළ විය හැකිය. එවිට එම වැසිකිලිය මිලදී ගැනීම පැලික ප්‍රමෝදයට අදාළ කාරණයකි. ඒ අනුව වැසිකිලි වලට අදාළ “දියුණුව” සම්බන්ධිත වන්නේ ඒ සමගය. මෙය මේ කියන තරම් සරල කාරණයක් නොවන්නේ මේවා සමග විද්‍යාත්මක ( වැසිකිලි සම්බන්ධයෙන් නම් ප්‍රධාන වශයෙන් වෛද්‍ය විද්‍යාත්මක, සෞක්‍ය විද්‍යාත්මක ) කාරනා සම්බන්ධිතව පැවතීමයි. ඒ අනුව මහේෂ් විසින් යථට මුහුණ දීමක් ලෙස අදහස් කරන්නේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වීමයි. අප හුස්ම ගන්නා වාතය, අපගේ අහාර සහ ජලය යන්න සියල්ල දැන් දෘෂ්ටිවාදීය. ඒ අනුව අප හුස්මගත යුතු අයුරු, ලබාගත යුතු අහාර ප්‍රමාණය, ජලය වැනි කාරනාද තීරණය වන්නේ දෘෂ්ටිවාදය තුලය. 

සැම විටම ඊගොවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ තම ශරීර කැලම්බුම් අඩුවක් වසා ගැනීමට මැදිහත් වීමය. නමුත් ධනවාදය තුල දැන් ශරීර වස්තූන් නිෂ්පාදන වස්තූන් සහ සේවා බවට විස්තාරණය වී ඇත. ඒ අනුව එම විස්තාරික වස්තූන්ට අදාළ කැළඹීම් අඩු පාඩු යනුද ඊගොවට අදාළ කලම්බුම් අඩුය. එවිට තමන් පරමාදර්ශයක් ලෙස වන්නේත්, තමන්ට පරමාදර්ශ වන්නේත් එවැනි තවත් පුද්ගලයින්ය. ධනවාදය තුල( දෘෂ්ටිවාදය ක්‍රියාත්මක අධිකාරික සමාජය තුල ) කිසිවෙකුටත් මින් ගැලවිය නොහැකිය. ඒවා ප්‍රමෝදයට අදාලව සංවිධානය වන්නේ අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂනය, ජන මාධ්‍යය, අන්තර්ජාලය, රූපවාහිනිය, සිනමාව, සාහිත්‍ය, නාට්‍ය සහ රංග කළා, වැනි ක්ෂේස්ත්රයන් තුලින් සිදුවන හැඟවුම්කාරක සන්ධානකරණය ( articulation ) තුලය.

ඇල්පිටියේ අතුරු මැතිවරණයෙන් පොහොට්ටුවට 70%ක පමණ සිංහල බෞද්ධ ඡන්ද ( ඒ ප්‍රදේශයේ සිටිනා මුස්ලිම් සහ දෙමල ජන ප්‍රතිශතය අනුව මෙය 70%ටද වැඩිය ) ප්‍රතිශතයක් හිමිකොට ගන්නේ අධිවේගී මාර්ග, මොනෝ රේල් දුම්රිය, ගුවන්තොටුපොළවල්, තනා හැකි තාක් භාණ්ඩ සහ සේවා පාරිභෝජන අවස්ථා වැඩිකොට, පරිසරවාදී ලෙස ( ගොඨාගේ නගර අලංකරණය, පරිසර පොලීසිය පිහිටවීම වැනි ක්‍රියා ) රට “දියුණු” කිරීමට හැකි ශක්තිය ඇත්තේ රාජපක්ෂවරුන්ට බව තහවරු වී ඇති බැවිනි. අදාළ “දියුණුවේ” බුක්තිය සුළු ජාතීන්ගෙන් බේරාගෙන සිංහල බෞද්ධයා හට තහවරු කොට දිය හැක්කේද ඔවුන්ට බව මේ වන විට තහවරු වී ඇත. දුප්පතාගේ හිතවතා සජිත් ජනාධිපති අපේක්ෂකයා කිරීම නිසා UNPය තවදුරටත් පසුබෑවේ එබැවිනි.

දිළිඳු කම යන්න මේ වන විට ලංකාවේ මැතිවරණ සඳහා අදාළ කාරණයක් නොවේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණිය පසුව අත්‍යවශ්‍ය ආහාර, ගෑස්, ඉන්නධන මිල ඉතා සැලකිය යුතු මට්ටමකින් පහල හෙලීය. මේ වන විට අවුරුදු 5ක් ගත වී තිබියදීත් රාජපක්ෂ යුගයට වඩා ඒවායෙහි මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුය. නමුත් සිංහල බෞද්ධ ඡන්ද දායකයාට ඒ පිළිබඳව හැඟීමක් නොමැත. ඔවුන් සමග කතා කිරීමේදී පෙනී යන්නේ එසේ මිල අඩු වූ බවක් ඔවුනට අදාළ නැති බවය. ඔවුන් පවසන්නේ ජීවත් වීමට අමාරු බවකි. එනම් රාජපක්ෂලා පැමිණියේ නම් මෙසේ අමාරු නොවන බවය. එසේනම් රාජපක්ෂ යුගයට වඩා බොහෝ සෙයින් එසේ ජීවත් වීමට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩුව තිබියදී, ජීවත් වීමට අපහසු බවත්, එබැවින් රාජපක්ෂලා දිනවිය යුතු බවත්, මොවුන් කියා සිටින්නේ ඇයි ? එය එසේ නම් පවතින්නේ ආහාර, පාන, අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව ප්‍රශ්නයක නොවේ. තවදුරටත් ජීවන වියදම යනු අහාර, පාන සඳහා යන වියදම් නොවේ. මිනිසුන් පසු වන්නේ නව නිවාස, ( පරණ නිවස වෙනස් කොට සැදීම ), වාහන, දරුවන්ගේ අධ්‍යාපනය, ගෙවතු අලංකාරනය, ඇඳුම් පැළඳුම්, නිවසට අදාළ පාරිභෝගික භාණ්ඩ, රූපවාහිනී ස්මාර්ට් ෆෝන්, ටැබ්, පරිඝනක, අන්තර්ජාල පහසුකම්, මගුල් උත්සව, විදේශ හනිමූන්, වැනි අර්චන වස්තූන් පිලිබඳ ප්‍රශ්නයකය ( කෙළවරක් නැති ). සියලු දේ සෞන්දර්යකරණය වී ඇත.

2015න් පසු වසර කීපය යනු වාහන ( විශේෂයෙන්ම කාර් ) මිලදී ගැනීම  සීග්‍ර ලෙස වර්ධනය වූ වසර කිහිපයයි. වැඩියෙන්ම අලවි වී ඇත්තේ වැගන් ආර් රථයයි. වාහන වෙළන්ඳන් එම කාලය හැඳින්වූයේ වැගන් ආර් වසන්තය ලෙසය. මෙසේ කාර් මිලදී ගත් බොහෝ දෙනෙකු රජයේ සේවකයින්ය. ඒ ඔවුනට වත්මන් ආණ්ඩුව එකවර රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම හේතුවෙනි. එය සිදු වූයේ මෙසේය. අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෑස්  සහ ඉන්ධන මිල පහල යාම තුල මෝටර් සයිකල් පාවිච්චි කල රජයේ සේවකයාට තමන් එතෙක් ගත කල ජීවිතයේදී වියදම් වූ ප්‍රමාණය වියදම් නොවී මාසික වැටුපෙන් ඉතිරි වන්නට වීමත්, එකවර 10000ක් වැටුප වැඩි වීමත් නිසා ලීසිං කර වාහනයක් ගැනීමේ හැකියාව උදා විය. නමුත් ප්‍රශ්නය වන්නේ එසේ තිබියදීත් රජයේ සේවකයින්ගේ ඡන්ද හෝ UNPයට නොලැබෙන්නේ ඇයිද යන්නයි. රාජපක්ෂලා දියුණු කල මාර්ග පද්ධතිය සහ ඔවුන් තැනූ අධිවේගී මාර්ග වල ආඩම්බරයෙන් ගමන් කිරීමට තමන්ගේම කියා වාහනයක් නොතිබූ පහල මධ්‍යම පාන්තිකයාට තමන් හට ලැබුන වාහනය දැනෙනේද රාජපක්ස්ලා නිසා ලැබුන දෙයක් බවය. රාජපක්ෂලා බලයේ සිටියේ නම් තමන් නිතර පාවිච්චි නොකරන එම වාහන දිනපතා පාවිච්චි කිරීමේ හැකියාව මෙන්ම තව තවත් අධිවේගී මාර්ග ලැබී තව තවත් පහසු කම් අත්වේය යන්න ඔවුන්ගේ අදහසය.

පහල සමාජ කොටස් ලෙස සැලකෙන කුලී වැඩ කරුවන්, මේසන්, වඩු, පයිප්ප, විදුලි, වාහන අලුත් වැඩියා, පින්තාරු කරුවන් වැනි ක්ෂේස්ත්‍ර තුල නිරත අයගේ දිනක අදායම 2000 සිට 3500 ඉක්මවයි ( ඔවුන් කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන්නේ නම් ඊටත් වඩා වැඩිය ). මෙවැනි වුර්තිකයින් රඳා පවතින්නේ ඊට ඉහල පන්ති සතු ක්‍රය ශක්තිය මතය. ඉහත සඳහන් රැකියා කරන සියලු දෙනාට දැන් මෝටර් සයිකලයක්, එසේ නොමැතිනම් මෝටර් සයිකලයක් සමග ත්‍රී රෝද රථයක් හෝ බට්ටෙක් තිබීම සාමාන්‍ය තත්වයක් වී ඇත. ඔවුන් දිනකට වැය වන සිගරැට් සහ අරක්කු වලට යන වියදම්ද දරා ගනිමින් සාමාන්‍ය නිවාස, රූපවාහිනී, ශීතකරණ වැනි භාණ්ඩ මිලදී ගැනීමටද සමත් වී ඇත. එසේම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහාද ඔවුන් ඉතා උනන්දුය.

රාජපක්ස්ලා සමග තරඟයට UNPය කෙතරම් අධිවේගී මාර්ග ඉදිකලද ඔවුන් සිතනුයේ රාජපක්ෂලා සිටියේ නම් මීටත් වඩා ඉදිකරන බවය. ඒ අනුව ජාතික රාජ්‍යය තුල මේ සියලු වස්තූන් අතර හිදැස් පුරවන දෘෂ්ටිවාදය නියෝජනය කිරීමට රාජපක්ෂවරුන් සමත් වී ඇත. එම දෘෂ්ටිවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය අධෝව්‍යුහික සංවිධාන යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීමටද ඔවුන් සමත්ව ඇත. ඒ රටේ ප්‍රධාන වෙළඳ ව්‍යාපාරිකයින් හැරුණු කොට ගම් මට්ටමින් සිටින ලී, පස්, වැලි, ගල්, හොර අරක්කු, කුඩු, ගංජා, කසිප්පු වැනි ජල් තර ව්‍යාපාර වල නිරත වන්නට පොලීසි හරහා ආරක්ෂාව සැපයීම ඇතුළු අනුග්‍රාහක ක්‍රියා තුලින් ඔවුන් හරහා ග්‍රාමීය පහල පන්තික ජනතාව මෙහෙය වීම තුලිනි. එසේ සාමාන්‍ය ජනතාව ඔවුනට නතුකොට ගැනීම තුල දයලේක්තිකව ග්‍රාමීය මධ්‍යම පන්තිය ඇතුළු අනෙක් පන්තීන් රැල්ල ඇති දිශාවේ පවත්වා ගැනීම එක්  අතකින් සිදු වේ.

ඉහත සඳහන් කල තත්වය 2005ට පෙර පැවතියේ UNPය සතුවය. නමුත් එය මේ වන විට රාජපක්ෂලා වෙත මාරු වී තිබේ.

ලෝකයේ පවතින ඕනෑම ප්‍රබල වෙළඳ ව්‍යාපාරිකයෙක් හෝ ව්‍යාපාරයක් එම තත්වය පත්ව ඇත්තේ පවතින නීති උල්ලංඝනය කරමිනි. ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නේද එසේය. එසේ නමැති කිසිම ව්‍යාපාරයක් ලොව නොමැත ( අවශ්‍ය කෙනෙකුට එය එසේ නොවේ යයි පෙන්වා දිය හැකිය ). ඒ අනුව ලංකාව තුලද එසේය. නමුත් තකතීරු වාමන්ශිකයින් සහ ලිබරල් බුද්ධිමතුන් සිතනුයේ ඒවා එසේ නොවන බවය. ඒ අනුව ඔවුන් උත්සාහ ගන්නේ නීතිය සහ පිළිවෙල ඉතා හොඳින් ක්‍රියාත්මක වන ලිබරල් රාජ්‍යයක් ගොඩනැගීම සඳහාය. එවැනි රාජ්‍යන් කිසිවක් ලොව නොමැත( ස්කැන්ඩිනේවියානු ව්‍යතිරේකය තුල පවා ). ඒ අනුව රාජපක්ෂලා පැරදවීමට නම් UNPය කල යුතුව තිබුනේ රාජපක්ෂලා ඕනෑම අකාරයකින් විනාශ කිරීමය. එසේ නොකොට ඔවුනට රාජපක්ෂලා නියෝජනය කරනා දෘෂ්ටිවාදය හෝ එහි අධෝව්‍යුහය නැවත අත්පත් කොට ගැනීම පහසුවෙන් කල නොහැකිය. UNPය එසේ කලේ නම් නැවතත් තකතීරු සහ මෝඩ වම්මුන්ට ලිබරල්වාදී බුධිමතුන් සමග එක්කව තව සෑහෙන කලකින් නාමල් රාජපක්ෂ වැනි අයෙකු මූලික කොටගෙන නැවතත් ආණ්ඩුවක් පිහිටවිය හැකිය.

Leave a Comment