ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණ….
උදාහරණ 1

බෝම්බ වලින් පාසල් ආරක්ෂා කිරීම සඳහා අක්මීමන පාසලකට යොදවා තිබූ  යුධ හමුදා නිලධාරියෙකු විසින් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට තිබේ. එසේ වෙඩි තැබීමට පෙර අදාළ හමුදා නිලධාරියා සහ එම පුද්ගලයා අතර බහින් බස් වීමක් සහ පොරයක්ද ඇති වී තිබේ. අදාළ පුද්ගලයා පාසලට පැමිණ ඇත්තේ තම දියණිය රෝගාතුර වී ඇති බව දැනගැනීමත් සමගය. නමුත් හමුදා නිලධාරියාගේ රාජකාරිය වන්නේ අවසරයකින් තොරව පාසල තුලට එන අය වැළැක්වීමයි.

අක්මීමන පාසල් ගේට්ටුව මුර කිරීම සඳහා T56 සහිත රොබෝ කෙනෙකු සිටියේ නම් සහ එම රොබෝ වෙත මෙවැනි පුද්ගලයෙකු මේ වේලාවේ පාසලට ඇතුළු වීමට පැමිණෙන බවට program කර නොතිබුනේ නම් රොබෝ විසින් පාසලට ඇතුල් වන පුද්ගලයා වෙත අනීවාර්යෙන් වෙඩි තබනු ඇත.
ඒ රොබෝ තාර්කික වන්නේ ඊට අදාළ නිශ්චිත ප්‍රතිචාරයන්ට පමණක් බැවිනි( artificial intelligence ). එනම් “හැඟීම්”( emotions ) මත තීරණ ගැනීම රොබෝගේ කාර්ය නොවේ ( මේ පුද්ගලයා තම දරුවා රෝගාතුර වීම නිසා පැමිණෙයි යන්න ). රොබෝ ක්‍රියාත්මක වන්නේ හැඟීම් ( emotions ) විරහිත නිශ්චිත තර්කනයකට අදාලවය. ඒ අනුව අක්මීමන පාසලේ රොබෝ කෙනෙකු සිටියේ නම් එම රොබෝ විසින් සිද්ධියට අදාල පියා වෙත අනීවාර්යෙන් වෙඩි තබනු ඇත. සැබවින්ම නීතියේ සැබෑ ක්‍රියාකාරීත්වය එයයි. අධිකරණය හැඟීම් නොමැති ස්ථානයක් වන්නේම ඒ අර්ථයෙනි. නීතිය ඉල්ලා සිටිනා, නීතිය පිළිගන්නා, නීතියේ ස්වාධිපත්‍ය වෙනුවෙන් හඬනගනා කිසිවෙකුටත් ඉහත සඳහන් කල රොබෝ ක්‍රියාකාරීත්වයට එරෙහිවිය නොහැකිය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිනා, ඒ වෙනුවෙන් පෙනී ස්ටිනා සියලු දෙනා රොබෝ වැනි “මිනිසුන්ද”( ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ එහි සැබෑ මිනිසා( ව්‍යුක්ත මිනිසා ) ) පිළිගත යුතුය. අක්මීමන වෙඩි තැබූ හමුදා නිලධාරීයා ක්‍රියාකොට ඇත්තේ හැඟීම් විරහිත නියම ප්‍රජාතන්ත්‍රවාදී ( අනුපාතික ( ratio ) ) ආරක්ෂකයෙකු ලෙසය. ඒ අනුව කිසිඳු ප්‍රජාතන්ත්රවාදියෙකුට ඔහුට එරෙහි විය නොහැකිය.

උදාහරණ 2
පහතින් දක්වා ඇත්තේ ධම්මික පෙරේරාගේ විඩියෝවකි.

දැනුම-බුද්ධිය පැත්තක තියලා, හැගීම්වලට වහල්වෙලා බෑ..!

දැනුම-බුද්ධිය පැත්තක තියලා, හැගීම්වලට වහල්වෙලා බෑ..!#DhammikaPerera #LK

Gepostet von Dhammika Perera am Mittwoch, 26. Juni 2019

එහි ඔහු විසින් ප්‍රකාශ කරමින් ඉන්නේ “හැඟීම්” වෙනුවට අවශ්‍ය වන්නේ “දැනුම” සහ ”බුද්ධිය” බවය. ධනවාදයේ වර්ධනයට හැඟීම් වල ඇති බාධාව ඔහු පැහැදිලිව වටහාගෙන ඇත. හතරමං හන්දියක් උදාහරණයට ගනිමින්, එම හතරමන් හන්දිය තුල වාහන ධාවන ධාරිතාවය දයලෙක්තිකව ධනවාදය තුල වර්ධනය වන්නේ කෙසේද යන්න සහ ඊට ඇති බාධාව පිළිබඳව ඔහු කතා කරයි. පාරේ වට රවුම කඩා නොදමන්නේ emotional part එක නිසා යයි කියන කතාව හැරුණු කොට ( වට රවුම් කඩා දැමීම පිළිබඳව හැඟීම් බලපානවා යයි සිතිය නොහැකිය. ඒවා කඩා නොදමන්නේ ඒවායින් යම් ප්‍රයෝජනයක් ඇති බව සිතන බැවිනි ) ඔහු වෙතින් පැහැදිලිව ප්‍රකාශ වන්නේ හැඟීම් වලට ඉඩ නොතබා දැනුම බුද්ධිය මත පමණක් තීරණ ගත යුතු සමාජයක් ගොඩනැගිය යුතු බවය ( නියම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ). එනම් හැඟීම් නොමැති දැනුම බුද්ධිය පමණක් ඇති සමාජයකි ( ප්‍රජාතත්රවාදී යුතෝපියානු සමාජය ).

තවද බොරැල්ලේ ඇති විශාල නුග ගසක් ගැන සඳහන් කරමින් ඔහු කියා සිටින්නේ එම ගස නිසා ඇති වන බාධාව හේතුවෙන් ඇති වන පරිසර දූෂණය වැලකීම සඳහා තව ගස් 50000ක් සිටෙව්වද මදිය යන්නයි. ඒ අනුව ඔහු යෝජනා කොට සිටින්නේ එම සුවිසල් ගස පිළිබඳව ඇති හැඟීම අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ තාර්කිකත්වය බවත්ය. emotion වෙනුවට ratio යනු ගස පිළිබඳව හැඟීම වෙනුවට එක ගසක් නිසා ගස් 50000ක් සිටුවීමට සිදු වීම වලක්වාගත යුතු බවය (ratio). අවශ්‍ය නම් මෙය මිනිසුන්ටද යෙදිය හැකිය. එනම් එක් මිනිසෙකු නිසා බොහෝ මිනිසුන්ට පීඩා ඇති වීමට ඉඩ දිය නොහැකි හෝ මිනිසුන් කණ්ඩායමක් නිසා රටකටම පීඩා ඇතිවීමට ඉඩ දිය නොහැකිය යන්නයි ( ධම්මික පෙරේරා රතු පස්වලදී ක්‍රියා කලේ මේ අකාරයටය ).

තවද තමන්ගේ ආසන්න අනෙකා ( බිරිඳ, දරුවා, යහළුවන්, දෙමාපියන් ආදී….) සමග සම්බන්ධතා පැවැත්වීමේදී හැඟීම් හැර දමා තාර්කික වීමට සිදු වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස නොදකින පිරිස වන්නේ වාමාංශික තකතීරු මෝඩයින්ය. ඔවුන් ප්‍රජාතන්ත්රවාදය යයි සිතා සිටින්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජ සැකැස්මේ අභ්‍යන්තරික තත්වයන් සහ ව්‍යුහයන්ට අදාළ වර්තමාන ක්‍රියාකාරීත්වයයි.
රනිල්ගේ හිත දිනාගත් ව්‍යාපාරික ධම්මික පෙරේරා වැනි අයගේ බලාපොරොත්තුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය යනු පැහැදිලිවම, ශුද්ධ ලෙසම “තාර්කික මනුෂ්‍යත්වයක්” පමණක් පැවතිය යුතු යන්න සහ එමගින් සියලු ප්‍රශ්න විසඳෙනවා යන්නය (ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ක්‍රියාත්මක වීමට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයයෙන් බහිශ්කාරක, ඒ ව්‍යුහයට අදාළ ප්‍රජාතන්ත්රවාදය උල්ලංඝනය කල හැකි ව්‍යුක්ත අධිකාරීත්වයක් “පැවතීම” අනීවාර්ය තත්වයකි). එවිට ප්‍රශ්නය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ගමන්ම රටකට පීඩා කරනවා යයි කිව හැකි කැරලි කරුවන් වැනි අය සම්බන්ධයෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඉහත න්‍යායට අනුව ක්‍රියා කරනා විට වාමාංශිකයින් සහ එවැනි අය ඊට එරෙහි වීමේ විරුද්ධාභාශයයි.

ඊළඟ කාරණය වන්නේ වායු දූෂණය සඳහා විසඳුම ගස් සිටුවීම බව ඔහු “දැනගෙන” සිටීමය ( දැනුම ). පරිසර විද්‍යාව විසින් ගෙනනා විසඳුම වන ප්‍රති-වායුකරණය, එනම් වායු දූෂණයට අදාළ අනුපාතයට ගස් සිටුවීමෙන් එය පිටු දැකිය හැකි බවට වන “දැනුම” සහ එම “දැනුම” පිළිබඳව ඔහුට කිසිඳු සැකයක්ද නැති වීමය ( එනම් ගස් කොලන් සම්බන්ධයෙන් පවතින හැඟීම් අනවශ්‍යය යන්නයි ). ඔහු පවසන ආකාරයට කෙතරම් පොසිල ඉන්ධන දහනය කලද එම දහන ප්‍රමාණයට අනුපාතික ගස් සංක්‍යාවක් සිටුවීමෙන් ප්‍රශ්නය විසඳේ ( ratio ). හැඟීම් බුද්ධියට බාධාවක් වීම ඉවත් කිරීම ධනවාදයේ යහ පැවැත්මට හේතු වේ යන්න එහි ආප්තයයි.
හැඟීම් පිළිබඳව කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නම් artificial intelligence පැමිණිය යුතු බවත් එවිට හැඟීම් වලින් සිදු වන බාධාව ඉවත් වන බවත් ඔහු පවසයි. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ artificial intelligence සිනමා පටයේ සාකච්චා කෙරෙන මාතෘකාවද මෙයයි ( හැඟීම් සහ තාර්කිකත්වය අතර ප්‍රශ්නය ).

අපගේ වර්තමානය යනු ඓතිහාසිකව ගොඩනැගී තිබූ මිනිස් සම්බඳතා වලට අදාළ හැඟීම් විනාශ කරමින් පෙරට වඩා වැඩි වේගයකින් තර්ක බුද්ධිය ( reason ) ස්ථාපිත කරනා වකවානුවකි. මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් නූතන විද්‍යාව සහ ඒ හරහා පැමිණි පරිනාමවාදය “දැනුමක්” බවට පත්වීමට පෙර සම්ප්‍රදායිකත්වය තුල දරුවෙකුට තම මව පිළිබඳව පැවති විශ්වාසයන් සහ හැඟීම් මේ වන විට විද්‍යාව ඇතුළු පරිනාමවාදය විසින් බොහෝ දුරට බිඳ දමා අවසන්ය. එනම් දරුවෙකුට තම මව යනු තම වර්ගයාගේ පැවැත්ම ඉදිරියට ගෙන යන ගැහැණු සතාය. එය සොබාදහම විසින් ඇයට පවරා ඇති කාර්යයි. ඇය දරුවාට “ලේ කිරි කොට පෙව්වා”නොව සවස්ථන ග්‍රන්ථි තුලින් එන හෝමෝන දරුවාගේ අනීවාර්ය අවශ්‍යතාවයක් අනුව බීමට සැලැස්සුවාය ( නමුත් මේ යුගයේ මවු කිරි දීමේ පාඨමාලා ආරම්භ කිරීමට සිදුව ඇත්තේ නැවතත් හැඟීම් පිළිබඳව ප්‍රශ්නය නිසාය. එනම් දරුවා පිළිබඳව සහ අවශේෂ හේතූන් මත ස්ත්‍රීන් මහත් ව්‍යාකූලත්වයට පත්ව තිබීම නිසාය ). මෙහිදී කිරි, ලේ වලට ඇති සමාජීය අර්ථයන් සහ හැඟීම් දෘෂ්ටිවාදයක් විසින් මකා දමා ඇත ( සහරාන්ලා බිහි වන යථාර්තය ). ෆ්‍රොයිඩ් අනුව යමින් ලකාන් විසින් ඉදිරිපත් කරනා ළමයෙකු සංකේතනයට පැමිණීම යන්නේදී සිදුවන ශෝකාන්තය මෙයයි ( මනොවිශ්ලේෂණ ඔස්තාර්ල සහ පකීර්ලා මෙය දැකීමෙන් කිචි කැවීමට ලක්වීමට නියමිත වන්නේ ඔවුන්ගේ ලකාන් මේවා කියා නැති නිසාය ). මෙය තවමත් වටහාගෙන නොමැති අය දරුවන්ට “හොඳම දෙය” දෙමින් ( හොඳම දේවල් යනු ධනවාදයේ නිෂ්පාදනයන් සහ දැනුම සහ එහි හැඟීම් විහීන වටිනාකම්ය ) මේ තම දරුවන් යයි සිතමින් ධනවායේ වටිනාකම් ප්‍රමාණයක් නඩත්තු කරමින් ඒ හා බැඳීම් ඇති කරගනිමින් තව තවත් ඒවා පුළුල් කිරීමට කටයුතු කරමින් සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉහත උදාහරණ දෙකෙහිම මහා පොදු සාධකය වන්නේ හැඟීම් වලින් අපිරිසිදු නොවූ සුපිරිසිදු තාර්කිකත්වය නියම ප්‍රජාතන්ත්‍රවාදය බවය. ධම්මික පෙරේරාට අවශ්‍යව ඇත්තේ එයයි.

ඇමෙරිකාවේ පර්යේෂණ මට්ටමේ පසු වන දැනට ක්‍රියාත්මක සැලසුම වන්නේ මිනිස් මනස ඍජුවම “නිර්මාපිත අභ්‍යන්තරත්වයකට” සම්බන්ධ කිරීමය. ඉන් අපගේ මිනිස් සත්තාවේ සාවධානභාවය වෙනස් වීමට නියමිතය. ස්ලාවය් ශිෂෙක් මහත් බියකින් පෙලෙනුයේ එවැනි අනාගත තාක්ෂණයක් විසින් වරප්‍රසාදිත මිනිසුන් කණ්ඩායමකට ඔවුන්ගේ අනන්‍යතාවය සහ නිදහස් අපේක්ෂාවන් දිගටම පවත්වා ගැනීමට හැකි වන බව පවසමිනි ( වර්තමානයේද ප්‍රජාතන්ත්‍රවාදය තුල ඊට වඩා අඩු මට්ටමකින් සිදු වන්නේද එයයි ). එනම් සාමාන්‍ය මිනිසුන් සහ ඔවුන්ගේ සාවධානත්වය සම්බන්ධිත වන්නේ “ඩිජිටල් අවකාශය” සමගය. එවිට ප්‍රශ්නය වන්නේ එය පාලනය කරන්නේ කවුද යන්නයි. එනම් ඒ සඳහා වරප්‍රසධිත මිනිසුන් කණ්ඩායමක් සිටීම අනීවර්යයකි.

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය යනු අධිකාරීත්වයේ තවත් ස්වරූපයකි. දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ අධිකාරීත්වයක් ඇති විට පමණි. අප දන්නා මිනිස් ඉතිහාසයේ විවිධාකාරයෙන් අධිකාරීත්වයන් ක්‍රියාත්මක විය, වහල්, වැඩවසම්, ධනවාදී ලෙස මාක්ස්වාදී සාහිත්‍යයේ කියවෙන්නේ ඒ අවස්ථාය. නමුත් ඒවා සමාජ ප්‍රගමන විකාරයකට දමා ඓතිහාසික භෞතිකවාදයක් නිර්මාණය කොටගෙන තිබීම වෙනත් ප්‍රශ්නයකි.

මේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඩිජිටල් අවකාශයකට මිනිසුන් සම්බන්ධ කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය එහි සුපිරිසිදුම ස්වභාවයෙන් පවත්වාගෙන යාමට උත්සාහ දැරීමකි. එහිදී සිදුවීමට නියමිත වන්නේ දැනට ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය තුල එහි ආයතන, සංස්ථා තුල සහ සමාජීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන, ඒවාට අදාළ ව්‍යුහාත්මක අධිකාරීත්ව සම්බන්ධතා තුල ඒ ඒ ව්‍යුහයන්ට අදාළ ප්‍රජාතාන්ත්‍රික රාමුවට අදාළ නොවන රූපකායක් බහිශ්කරණය කිරීමකි ( එම රූපකායට අදාළ ව්‍යුහයේ ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑම විටක උල්ලංඝනය කල හැකිය ). එනම් එම බහිශ්කාරක රූපකාය සඳහා එම ව්‍යුහයේ ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නොවේ. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී ඒ ඒ ව්‍යුහයන්ට ඉහලින් තවත් පොදු ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් පවතින අතර ඒ සියල්ලට ඉහලින්ම පවතින ව්‍යුහයන්ද ඇත. නමුත් ඉදිරි විද්‍යා-තාක්ෂණ වර්ධනය තුල සිදු කිරීමට යන්නේ මෙම ව්‍යුහ අහෝසි වන පොදු අධිකාරීත්වයක් යටතට සමාජයක් ගෙන ඒම සහ සම්පූර්ණ “ශුද්ධ තාර්කික මනුෂ්‍යයෙකු” සංස්ථාපනය කිරීමය ( එනම් හැඟීම් මත නොව ratio තුල තීන්දු තීරණ ගන්නා ). ඒ අනුව බලන කල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගනා වම්මුන්ට මේවාට විරුද්ධ විය නොහැකිය.

නිර්මාපිත බුද්ධිය ( artificial intelligence ) යනු අධිකාරීත්වයේ ඊළඟ පියවර ලෙස දකිනා ශිෂෙක්ට ඇති පළමු ප්‍රශ්නය වන මෙම “ඩිජිටල් අවකාශය” monitor කරන්නේ කවුද යන්න පැනනගින්නේ එබැවිනි. ඔහු පවසන පරිදි මහා දේශපාලන ප්‍රශ්නය මෙයයි. තවද ශිෂෙක් පවසන්නේ, ඇමරිකානු විද්යාඥයින් කියන පරිදි අනාගතයේදී සියලු දෙනා සාමුහික මස්තිෂ්ක එකමුතුවක කොටසක් බවට පත්වනවා යන්න තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බවය ( “we will all become part of the collective cerebral unity” ). නමුත් තවදුරටත් ශිෂෙක් පවසන්නේ තමන්ට පිළිතුරක් නොමැති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපගේම සංජානනය වෙත එවැනි තාක්ෂණයක බලපෑම කෙබඳුද යන්නයි. එනම් මේ දක්වා පවතින ප්‍රජාතන්ත්‍රවාදය ( අධිකාරිත්වයන් පැවතියද ) තුලද අප තවමත් ප්‍රත්‍යක්ෂ කෙරෙනුයේ නිදහස් “ජීවන සත්තාවන්” ලෙස හෝ අපව ඩිජිටල් යාන්ත්‍රනය මගින් හැසිරෙවෙන තත්වයක් බවය ( ඩිජිටල් යාන්ත්‍රනය මගින් දැනට අපව හැසිරවීම සහ ඩිජිටල් අවකාශය අතර විශාල වෙනසක් පවතී ). නමුත් දැන් පැමිණෙ තිබෙන සිතීම පිළිබඳව වැදගත් කරුණ වන්නේ-අපිව පාලනය කරනවා යන්න අපිවත් නොදන්නවා යන තත්වයට පත්වීමය ( අනාගතයේදී සිදුවීමට නියමිත දෙය ).
ඒ අනුව එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පියවර ලෙස වම්මුන්ට සැලකිය නොහැක්කේ අයි ?

1 thought on “ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි නියමුවෝ…

Leave a Comment