වම, දකුණ, වම…. (1) කොටස

ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද්වි පක්ෂ යාන්ත්‍රණයයි. පක්ෂ දෙකක් අතර කාල ප්‍රාන්තරයන් ඔස්සේ සිදු වන බලය හුවමාරුව, ඒ සඳහා වන ක්‍රියාවලිය, එම ක්‍රියාවලිය තුළ ඊට අදාළ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍රවල ව්‍යුහගතවීම් සහ ඒවා ක්‍රියාත්මක වන තත්වයන් “ප්‍රජාතන්ත්‍රවාදය” නම් තත්වය අර්ථවත් වීමේ ප්‍රධානතම මාදිලිය වේ.
“ප්‍රජාතන්ත්‍රවාදය” මූලික වශයෙන් ලංකාවට දායාද වන්නේ 1948න් පසු ව ය. ඊට පෙර ලංකාව තුළ වර්තමාන අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනේ නැත. ඉංග්‍රීසීන්ගේ පැමිණීමෙන් පසු ව දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මූලික වෙනස් කම් සිදු වූ අතර බටහිර ජාතීන්ගේ පැමිණීමට පෙර නම් කිසිසේත් ම එවැනි අර්ථයක් ලංකාව තුළ තිබුනේ ම නැත.
ලංකාව තුළ “ප්‍රජාතන්ත්‍රවාදී ද්වි පක්ෂ යාන්ත්‍රනය” ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දෙකට බෙදී ඇති එක ම නිරුක්තියක් සහිත මුත් යම් සුවිශේෂතා සහිත පක්ෂ දෙකක් ලෙස ය. එම සුවිශේෂතා පසුවට සාකච්චා කෙරේ. සෙසු වාමවාදී සහ සුළු ජන පදනම් සහිත පක්ෂ වනාහි මේ පක්ෂ දෙක සමග ඍජු සහ වක්‍ර ඩීල් සහ සන්ධාන දේශපාලනයේ නියුතු ඒවා ය. මෙය දෙමළ ජාතික සන්ධානයට මේන් ම ජනතා විමුක්ති පෙරමුණට ද අදාළ සත්‍යයකි.
1994 වර්ෂයේ SLFPය පාලනය භාර ගැනීමට පෙර එය සහ UNPය අතර ඉතාම පැහැදිලි වෙනසක් තිබුණි. 1977 ජේ. ආර්. බලයට පැමිණ සිදු කළ විශාල වෙනසින් පසු ව SLFPය සහ UNPය අතර තිබූ එම පැහැදිලි වෙනස මැකී ගියේය. චන්ද්‍රිකා බලයට පත් වන්නේ ”විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක්” යන තේමාව පෙරදැරි කොට ගනිමිනි. එකල බොහෝ වාමාංශිකයෝ එම තේමාවට විරුද්ධ ව උපහාසාත්මක ව අදහස් දැක්වූහ.
2001 වසරේ රනිල් අගමැති වන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට වැලේ වැල් නැති තත්වයක් යටතේ ය. ඔහු විසින් “Regaining Sri Lanka” යනුවෙන් වැඩපිළිවෙලක් ආරම්භ කරනා ලදී. ඊට සමගාමී ව යුද්ධය ද නවතා දැමී ය. රනිල් විසින් කපටි කමින් උත්සාහ දරනු ලැබූයේ යුද්ධය නවතා දමා ඒ අතරතුර ප්‍රාග්ධනය උතුරට පොම්ප කොට උතුරෙහි ව්‍යාපාර අරඹා දෙමළ ජාතිකයින් ප්‍රාග්ධන තර්කනයේ ගොදුරක් කොට ගැනීමට ය. ඒ දෙමළ ජාතික රාජ්‍යයක් වෙනුවෙන් වූ අරගලය දියකොට ශ්‍රී ලාංකීය ජාතික රාජ්‍යය තුළට දෙමල ජාතිය ද උරා ගැනීම සඳහා ය. නමුත් මෙය තේරුම් ගත් ඊලාම්වාදී ප්‍රභාකරන් විසින් කියා සිටියේ එවැනි ව්‍යාපාරිකයින්ට උතුරු නැගෙනහිර ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ නො දෙන බව ය. ඒ එසේ ඉඩ දුන හොත් දෙමළ ජාතික රාජ්‍යයක් සඳහා වන සිය සිහිනය බොඳ වී යන බව ඔහු මැනවින් තේරුම් ගත් නිසා ය.
“යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙල යටතේ චන්ද්‍රිකා ආණ්ඩුව විසින් එතෙක් කරගෙන ආ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය (“පර්ක්”) රනිල් යටතේ වඩාත් තීව්‍ර කිරීමට නියමිත විය. කොටින් ම කියනවා නම් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව පවා පුද්ගලීකරණයට රනිල් විසින් කෙටුම්පත් සකස්කොට තිබුණි. එය වැළකී ගියේ මහින්ද බලයට පැමිණීම නිසා ය.
රනිල්ගේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය නිකන් ම නිකන් ආර්ථික ව්‍යාපෘතියක් නො වේ. එය පැහැදිලි සංස්කෘතික වෙනසක් කරා ඉලක්ක ගත වූවකි. රනිල් බලයට පැමිණි පසු ව එක දිගට දිවයින පුරා අමාත්‍යංශවල අනුග්‍රහයෙන් නොයෙකුත් ප්‍රදර්ශන සහිත කානිවල් සහ සංගීත සංදර්ශන පවත් වනු ලැබි ය. අඩු තරමින් දිනකට ලංකාවේ කොතැනක හෝ එක් අමාත්‍යංශ කානිවල් එකක් හෝ සංගීත සංදර්ශනයක් සංවිධානය කෙරිණ. ඒ පිළිබඳ ව විපක්ෂයෙන් ප්‍රශ්න කොට සිටි විට UNPයේ පිළිතුර වූයේ සාමාන්‍ය මිනිසුන් හට නයිට් ක්ලබ් යා නො හැකි බැවින් සාමාන්‍ය මිනිසුන් සඳහා ද විනෝදය අවශ්‍යය බව ය. ඇත්තෙන්ම UNPයට අවශ්‍ය වූයේ රාත්‍රිය සඳහා මිනිසුන් හුරු කිරීමට ය. ඒ ඔවුන්ගේ night economy එකක් ඇති කිරීමේ ප්‍රතිපත්තිය උදෙසා ය. පිරිමින් පමණක් නො ව ගැහුනුන් ද රාත්‍රිය සඳහා හුරු කිරීම එම කානිවල්වල අරමුණ විය.
රනිල් 2001 අගමැති වූ පසු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත් කරනු ලැබූයේ ඉමිතීයාස් බාකිර් මාකර් ය. එසේ පත් කරමින් ඉමිතියාස් වෙත මිනිසුන්ගේ ඔලු සැදීම සඳහා (ඇත්තටම ඔලු සේදීම සඳහා) විශාල කාර්යභාරයක් පැවරෙන බව ප්‍රකාශ කළේ ය. ඉමිතියාස් විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි රූපවාහිනීයේ සහ ගුවන්විදුලියේ ලොක්කා ලෙස නිමල් ලක්ෂපතිආරච්චි පත් කරන ලදී. ලක්ෂපතිආරච්චි යනු සිරස තුළින් porn movies සහ විවිධ ලිංගිකත්වයන් ගැන සංවාදයක් (night time TV) ආරම්භ කොට ඉදිරියට ගෙන යාමට වලි කෑ පුද්ගලයා ය. නිමල් එතෙක් පැවති ජාතික රූපවාහිනිය (ප්‍රේමදාස යුගයේ වූ වෙනස) පැහැදිලි වෙනසකට ලක් කළේය. එසේ ම පැය 24 පුරාම රූපවාහිනී විකාශයන් ආරම්භ කරන ලදී. රාත්‍රී කාලයේ වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට රූපවාහිනිය ඔස්සේ පෙන්වීය. රූපවාහිනිය ආරම්භ කළා වූ ජේ ආර් ජයවර්ධන සමයෙන් පසු ව ප්‍රේමදාස සමයේ දී අත්හිටුවූ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නැවත රූපවාහිනියේ විකාශනය වූයේ 2001 සිට 2004 සමයේදී ය (රනිල්ගේ මාමා වූ ජේ. ආර්.ගේ කාලයේ දී මුවට මුව තබා දෙතොල් සිප ගන්නා දර්ශන ඇතුළත් ඇමරිකානු ටෙලි නාට්‍ය රාත්‍රී 7ට ජාතික රූපවාහිනියේ විකාශනය විය). එසේ ම දිවා කාලයේදී fun time, tea break වැනි අතිශය සරල බෝල උඩ විසි කරන ඝනයේ වැඩ සටහන් ජාතික රූපවාහිනය වෙත හඳුන්වා දුන්නේ ද එම කාලයේ දී ය. එනම් සංකීරණ සිතීමක් වෙනුවට එදිනෙදා වැඩ කොට මහන්සි වී සිටිනා මිනිසුන් ගැහැනුන් හට සරල විනෝදයක් ලබා දීම ඒවායෙහි අරමුණ විය.
2005 UNPය පරාජය වීමෙන් පසු ව ඉමිතීයාස් ප්‍රකාශ කොට සිටියේ තමන් දේශපාලනයෙන් ඉවත් වන බවත් එසේ ඉවත් වන්නේ තම දේශපාලන අරමුණු ඉටු නො වූ නිසා බවත් ය. ඉමිතීයාස් යනු කෙසේ හෝ ඇමතිකමක් ලබා ගෙන වැජඹීමට අවශ්‍ය වූ පුදගලයෙකු නො වී ය. ඔහුට අවශ්‍ය නම් කළුතර දිස්ත්‍රික්කයෙන් පහසුවෙන් ම ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු පැමිණීමේ හැකියාව තිබුණි. නමුත් ඉමිතීයාස්ට අවශ්‍ය වී තිබුනේ තම ලිබරල් දේශපාලන දැක්මට අදාළ සමාජයක් ගොඩ නැගීමට ය.

රෝයල් stag night වැනි ප්‍රවණතා විශාල ප්‍රමාණයක් මතු වූයේ ද රනිල්ගේ 2001-2005 පාලන කාලය තුළ දී ය. ඒවා අහඹු සිදුවීම් නො වේ. ඒවා පැවතියේ රනිල්ගේ නිරුවත් මුහුදු තීර, red light area සහ night economy වැනි සංකල්පවලට සහ සමලිංගිකත්වය සහ ගනිකා වෘත්තිය වැනි දෑ නීති ගත කළ යුතු ය යන සංවාදයට අදාළ ආනුෂංගික ක්‍රියාවන් ලෙස ය ( 2015 රනිල් අගමැති වීමෙන් පසු ව ද මෙවැනි ම ප්‍රවණතා නැවත කරළියට පැමිණ තිබේ. ඒවා 2001-2005 කාලයේ දී මෙන් පූර්ණ විකසිත නො වන්නේ සිරිසේන සාධකය විසින් ඊට එරෙහි ව ඇති කෙරන තෙරපුම නිසා ය).
ලංකාව සඳහා වන රනිල්ගේ ලිබරල් න්‍යායික ප්‍රවේශය ගැන ගනිකා වෘත්තිය නීති ගත කිරීමේ ඔහුගේ උත්සාහය තුළින් පැහැදිලි කළ හැකි ය. විශේෂයෙන් ම ඇමරිකාව ඇතුළු බටහිර රටවලත්, ජපානය, කොරියාව වැනි රටවලත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ගනිකා වෘත්තියේ යෙදෙනුයේ උසස් අධ්‍යාපනය සඳහා අදාළ ඔවුනගේ පිරිවැය සොයා ගැනීම සඳහා ය. එසේ ම ඔවුන් night club නාටිකාංගනාවන්, call girls, porn movie නිළියන් වැනි විවිධ රැකියා සඳහා යොමුවන්නේ ද ඒ සඳහා ය (සුප්‍රකට Playboy සඟරාව සඳහා නිරුවත් ෆොටෝ ශුට් කළ අය අතර පසුකාලීන ව විද්‍යාඥවරියන්, වෛද්‍යවරියන්, ඉංජිනේරුවරියන් ලෙස ප්‍රකට වූ බොහෝ දෙනෙක් සිටිති). නිරුවත් මුහුදු තීර, සම්බාහන ආයතන, සංචාරක හෝටල්, කැසිනෝ සංකීරණ ආදියෙහි විවිධ සේවාවන් සැපයීමට ද එවැනි අය යොමු වෙති.
ලංකාවේ රාත්‍රී ආර්ථිකයක් සහ ඒ හා සබැඳි ඉහත සඳහන් ආකාරයේ සේවාවන් ඇති කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති බාධා ඉවත් කළ යුතු ය. ඒ සඳහා පැහැදිලි සංස්කෘතික සහ දෘෂ්ටිවාදීමය වෙනසකට පිය නැගිය යුතු ය. එනම් ස්ත්‍රීන් සහ පුරුෂයන් සමාන ලෙස සලකන තත්වයක් මෙන්ම ලිංගිකත්වය අනුව වෙනස් කම් නොමැති තත්වයක් ඇති කළ යුතු ය. කොටින් ම කියනවා නම් දැනට පිරිමි කරන සියලු දේවල් ගැහනියට ද අයිති විය යුතු ය යන ස්ථාවරය තහවුරු කළ යුතු ය. මෙය හරියට ම ස්ත්‍රීවාදීන්ගේ ද ස්ථාවරය යි. උදාහරණයක් ලෙස, ලංකාවේ ස්ත්‍රීන් ඉතා කෙටි කලකින් මෝටර් සයිකල් පැදීම සඳහා හුරු විය. ඒ සඳහා මග පෙන්වනු ලැබූයේ වෙළඳ දැන්වීම් සහ ස්ත්‍රීවාදයයි (දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වීමේදී ඊට අදාළ යම් සුවිශේෂයන්ගේ ඍජු පෙනී සිටීම අදාළ නො වේ. අපට අවශ්‍ය නම් ඒවා ස්ත්‍රීවාදී වෙළඳ දැන්වීම් ලෙස නම් කළ හැකි ය). එහි ප්‍රථිපලය වී ඇත්තේ වඩා හොඳින් ධනවාදය වෙත කාර්යක්ෂම ව ස්ත්‍රිය උරා ගැනීම ය. නමුත් ස්ත්‍රිය ඉහත සඳහන් කළ අකාරයේ රාත්‍රී ආර්ථිකයකට උරා ගැනීම මෝටර් සයිකල් පැදවීම තරම් පහසු නො වේ. මෙය කියවන කෙනෙකු සිතිය හැක්කේ එම ආර්ථිකයට අදාළ ව පවතින්නේ ඉහතින් සඳහන් කළ ක්ෂේත්‍ර පමණක් බව ය. නැත. නව ලිබරල් ධනවාදය ක්‍රියාත්මක වීමේ රනිල්ගේ මොඩලයේ දී විදේශ ආයෝජකයින් පැමිණීම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ඇතුළු සියලු ආර්ථික ක්ෂේත්‍ර මෙන් ම අධ්‍යාපනය සහ තාක්ෂණික දියුණුව ද ඉහත සඳහන් කරන ලද කාරනා සමග ගැට ගැසී ඇත.
මෙහිදී රනිල් වික්‍රමසිංහගේ න්‍යායික ප්‍රවේශය වන්නේ අපගේ භාෂාවෙන් මේ කියනා ධනාවාදයට ස්ත්‍රිය උරා ගැනීම නමැති කාරනාව නො වේ. ඔහුට අදාළ ව එය දක්ෂයාට නිසි තැන හිමි වන සමාජයක් ගොඩනැගීම ය. එහි දී ඕනෑ ම අයෙකුට ඇති සංස්කෘතික බාධා ඉවත් කළ යුතු ය යන්න ඔහුගේ න්‍යායික ප්‍රවේශය යි.
රනිල් වික්‍රමසිංහ වෙත ලිබරල් වාමාංශිකයන්, ස්ත්‍රීවාදීන්, පශ්චාත් නූතනවාදීන්, LGBTIQ+ වාදීන්, වැනි ඊනියා රැඩිකල් කොටස්වල ඇති ආකර්ෂණය සලකුණු වන්නේ ඔහුගේ මෙම න්‍යායික ප්‍රවේශය මත ය.
2001 වසරේ රනිල් අගමැති වූ පසු ව UNPය විසින් මැයි දිනයක් නො පවත්වන ලද අතර ඒ වෙනුවට සංවිධානය කරන ලද්දේ කානිවල් එකක් සහ වෙළඳපොළකි. දෙසැම්බර් මාසයේ ජාතික රූපවාහිනය ඇතුළු ජනමාධ්‍යය මගින් පුළුල් ප්‍රචාරයක් රැගෙන යමින් ප්‍රවර්ධනය කෙරුණු අදහස නම් නත්තල සහ අලුත් අවුරුදු සමය (ජනවාරි 1) තුළ කොළඹ ආලෝකවත් කරමු යන්න යි. ලංකාවට අදාළ සංස්කෘතික පසුබිම තුළ කොළඹ හැරුණු කොට නත්තල ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසකට පමණි. නමුත් රනිල් හට අවශ්‍ය ව තිබුනේ එම කාලය සැණකෙළි සමයක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත කිරිමට ය.
ලංකාවේ සංස්කෘතිය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු යයි සිතන රනිල් කෘෂි-වාරි සංස්කෘතියේ ප්‍රධානතම අංගය වන වී වගාව නවතා දමා ඒ වෙනුවට වෙනත් ලාභදායි වගාවන් ස්ථාපිත කළ යුතු ය යන ස්ථාවරයේ සිටී. ඔහු කුඹුරු ගොවි තැනට එරෙහිවන්නේ නිකන් නො වේ. හුදෙක් එය ලංකාවේ සංස්කෘතිය හා බැඳුනු ප්‍රධානතම කාරණාව නිසා ම පමණකුත් නො වේ. රනිල්ට අවශ්‍ය වන්නේ යැපුම් කෘෂි කර්මය සහ අනෙකුත් යැපුම් ආර්ථිකයන් විනාශ කොට දැමීම ය. කුඹුරක් වවා ගැනීම සඳහා එතරම් කාලයක් වැය කළ යුතු නො වේ. ඉන් ලැබෙන අස්වැන්නෙන් පවුලකට හෝ පුද්ගලයෙකුට පහසුවෙන් ජීවත් විය හැක්කේ තම ගෙවත්තේ වවා ගන්නා අනෙකුත් බෝග ජාති සහ කොස් දෙල් අල බතල වැනි දෑ ද ගම්වල පවතින බැවිනි. මේ වන විට මෙවැනි වගාවන්ගෙන් බොහෝ මිනිසුන් ඈත් වී ඇත්තේ ධනවාදය විසින් නිර්මාණය කොට ඇති රැකියාවලට සේන්දු වීම නිසා ය. ඒ වගා කොට අහාර සපයා ගැනීමට වඩා වෙළඳ පොළ පාරිභෝජනය සඳහා අවශ්‍යය ක්‍රය ශක්තිය වෙනුවෙනි. ලංකාවේ පැරණි වම විප්ලවය අතහැර දැමූයේ “කුඹුරු, කොස්, දෙල්, අල, බතල, මයියොකු, පලා, වැනි දෑ තියනකම් ලංකාවේ විප්ලවය කළ නො හැකි ය” යන්න පවසමිනි. එහි අර්ථය වූයේ ලංකාවේ බහුතර මිනිසුන්ගේ ජීවිත ඊනියා මාක්ස්වාදී ප්‍රගතිශීලි න්‍යාය සමග නො ගැළපෙන බව ය. එනම් කන්න බොන්න ඉන්න හිටින්න තිබුනා නම් ඔවුනට ප්‍රමාණවත් බව ය. ඒ අනුව ලාංකිකයාට පාරිභෝජනය යන්න හුරු පුරුදු කළ යුතු එකක් විය. එම කාර්යයේ ප්‍රමුඛ වූත් ප්‍රධාන වූත් භූමිකාව සිදු කරන ලද්දේ UNPය විසිනි.
ඉංග්‍රීසීන් විනින් බිහි කරන ලද දේශීය ධනපති පංතිය නියෝජනය කරන ලද පක්ෂය UNPය යි. 1959දී බණ්ඩාරනායක ඝාතනයට හේතුවන්නේ ද දේශීය ධනපති පන්තියේ ව්‍යාපාරික බලාපොරොත්තුවලට බණ්ඩාරනායක නො ගැළපෙන බව ඔවුන් සිතූ බැවිනි.
ඇත්තට ම වර්තමාන තත්වයට ලාංකීය ජාතික රාජ්‍යය ගොඩනැගීම සඳහා SLFPය කළ දෙයක් නොමැත. ඉංග්‍රීසීන් UNPය වෙත රට භාරදී ගිය පසු ව වර්තමාන තත්වය කරා රට ගෙන ඒමේ කාර්යයේ කතෘත්වය හිමිවන්නේ UNPයට ය. එහි තීරණාත්මකම අවස්ථාව වන්නේ 1977 ජේ. අර්. බලයට පැමිණීම ය. ජේ. අර්.ගේ ප්‍රවේශය පැහැදිලි ව ම ලිබරල් න්‍යායික ප්‍රවේශයකි. පසු කලක සරත් අමුණුගම ඒ පිළිබඳ ව කියා සිටියේ ග්‍රාමීය ප්‍රජාවගේ යැපුම් කෘෂි ආර්ථිකය විනාශ කොට ඔවුන් නගර වෙත සංකේන්ද්‍රණය කිරීමේ ස්ථාවරයක ජේ. අර්. පසු වූ බව ය (එය ඔහුට නිසි ආකාරයට කරගත නො හැකි වූයේ LTTE සහ ජවිපෙ ක්‍රියාකාරකම් නිසා ය). එනම් පැරණි වමට විප්ලවය සඳහා ජය ගත යුතු වූ ප්‍රශ්නය ම ජේ. අර්. හට ද ලිබරල් රටක් ගොඩනැගීම සඳහා ජය ගත යුතු විය. එනම් කුඹුරක් කොටා ගෙන, එළවලු ටිකක් වවාගෙන, කෝස්, දෙල්, අල, බතල කා සිටිනා මිනිසුන් (ලිබරල්වාදීන්ට අනුව අලස නො දියුණු මිනිසුන්) එතනින් එලියට ගෙන නිෂ්පාදාන ආර්ථිකයට දායක කොට ගැනීමට නම් ඔවුන් සිටිනා තත්වයෙන් ඔවුන් “ගළවා” ගත යුතු ය (ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබලයෙකු වූ රනිල් වික්‍රමසිංහගේ පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ ඔහුගේ මස්සිනා වූ ජේ. ආර්. වෙත එන්. එම්. පෙරේරා විසින් යවන ලද්දේ උපක්‍රමශීලි ව බව කියවේ. නමුත් එස්මන්ඩ් ජේ. ආර්. ළඟ නවතිනුයේ ලංකා සම සමාජයට ද විප්ලවය සඳහා ප්‍රශ්නය වී තිබූ “වාස්තවිකත්වයන්” ජය ගැනීමේ මාවතට ජේ. ආර්. පිවිසුන බැවින් විය යුතුය). ඒ සඳහා ජේ. ආර්. ආකාර කිහිපයකින් ක්‍රියා කළේය. මේ ලිපියේ ඉහතින් සඳහන් කොට ඇති පරිදි රූපවාහිනය ඇතුළු ජනමාධ්‍ය හැසිරවීම තුළින් පාරිභෝජන අවශ්‍යතා ඇති කිරීම, එම පාරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා වෙළඳ ව්‍යාපාර, ඊට අදාළ නිෂ්පාදනයන්, නිදහස් අපනයනය, ඒවායෙහි රැකියාවන් සඳහා කොළඹ ඇතුළු නගර වෙත ග්‍රාමීය ප්‍රජාවන් සංකේන්ද්‍රණය කරවීම සිදු කරන ලද අතර එමගින් නැවතත් දයලෙක්තික ව එම පාරිභෝජනයන් අභිබවමින් නව පාරිභෝජන අවශ්‍යතා සහ ඊට අදාළ ෆැන්ටසීන් නිර්මාණය වීම තුළින් ඇති වන නව ජීවන රටාවන් සහ විලාශයන්ද, නැවතත් ඒවා සහ වෙළඳ ව්‍යාපාර, ඊට අදාළ නිෂ්පාදනයන්, නිදහස් ආනයනය, අතර දයලෙක්තිකය තුළින් කළින් ස්ථාපිත වූ ජීවන ශෛලීන් අභිබවා යාම් සහ අධ්‍යාපන අවශයතා පුළුල් වීම, ප්‍රවාහනය, ඇඳුම් පැළඳුම්, මත් ද්‍රව්‍ය, සංචාරක කර්මාන්තයේ විශාල වෙනසක් සිදුවීම, අපනයන භෝග ආර්ථිකය අභිබවමින් මැදපෙරදිග සේවා ආර්ථිකය ප්‍රධාන විදේශ විනිමය බවට පත්වීම, විදේශ රටවල සේවයට යන පිරිස් වැඩි වීම වැනි අනවරත ක්‍රියාවලියකට මේ අනුව ශ්‍රී ලංකාව 1977 දී නතු කරන ලදී. ඉංග්‍රීසීන් පැමිණ ලංකාවේ එතෙක් පැවතී ජීවන රටාව වෙනස් කිරීමෙන් පසු ව ඉංග්‍රීසීන් විසින් ඇති කළ විප්ලවීය වෙනස හා සමාන විප්ලවීය වෙනසක් ලෙස මෙය හඳුනා ගත හැකි ය.
ඉංග්‍රීසීන් පැමිණීමෙන් පසු ව (විශේෂයෙන් කෝල්බෘක්-කැමරන් ප්‍රතිසංස්කරණ සමග) ලාංකික පුරවැසියා තුළ ඇති වූ වෙනස ඉතා හොඳින් පෙන්නුම්කරනුයේ තිලක් ජයරත්න විසින් රචිත කඩුල්ල ටෙලි නාට්‍යයේ ය. එහි ජුන්ඩයියා නම් චරිතය ඉංග්‍රීසීන් විසින් ස්ථාපිතකොට ඇති ජීවන ශෛලිය භාරගැනීමට අකමැති චරිතයකි. “අපි තුන් වේල කාල, කළු ගඟෙන් නාල කිතුල් රා ටිකක් බීල ඉඳපු මිනිස්සු….අපි දැන් මේ දේවල්වලට බැඳලා දාලා….අපිට නිදහසක් නැහැ…” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනුයේ එබැවිනි. ඉංග්‍රීසීන්ගෙන් පසුව පිම්මක් ලෙස විප්ලවීය අයුරින් සමාජයට බලපෑම් සහගත වෙනසක් සිදු වන්නේ 1977න් පසු ව ය. ජේ.ආර්ගේ ජන්ම දින සැමරුමක් අමතමින් රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ ව වරක් මෙසේ ප්‍රකාශ කළේය.
“මහාචාර්යතුමාගේ කථාවේ දී 1977 ජුලි 23 දා ජයවර්ධන මහතා මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම ගැන කථා කළා. ඒ දිනය ඉතා වැදගත් දිනයක්. ආසියාවේ ආර්ථික විප්ලවය පටන් ගත්තේ එදායි. එම විප්ලවය ආරම්භ කළේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා යි. එහි වැදගත්කම දෙවිදිහකට තිබෙනවා. ජුලි 22 දා ජන්ද ප්‍රතිඵල අනුව ජේ.ආර්.ජයවර්ධන මහතා අගමැති වන බව දැනගැනීනිමට ලැබුණා. එදිනම බීබීසී ආයතනයෙන් වාර්තා කළා චීනයේ නියෝජ්‍ය අගමැතිධුරයට යළිත් දොන් ෂා පිනූ මහතා පත් වු බව‍. විප්ලවය පටන් ගත්තේ එතැනින්. යුරෝපයේ යටත් විජිතවාදය නිසා ආසියාවේ චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල්වලට තිබු ආර්ථික බලගතු කම නැති වුණා. කර්මාන්ත විප්ලවයේ දී ජපානයේ කර්මාන්ත ආර්ථිකය දියුණු වුණා. ඉන්පසුව අමෙරිකන් ආධාර සමග යළිත් ජපානය ආර්ථික විප්ලවයට සහභාගි වි 20 වැනි ශත වර්ෂය මැද භාගයේදි අලුත් ආර්ථික රාජ්‍යය වශයෙන් ජර්මනිය සමග ඉදිරියට පැමිණියා‍.60 දශකයේ දී දකුණු කොරියාව, සිංගප්පුරුව සහ මැලේසියාව ද මේ මාර්ගය අනුගමනය කළා. ජපානය ලෝක බලවතකු බවට පත් වුණා. සිංගප්පුරුව වැනි රටවලට නැ‍ඟෙනහිර ආසියාවේ පුටින් බව හැඳන්වුණා. ඒත් ලෝකයේ ආර්ථික බලය පැවතියේ යුරෝපය මුල් කරගෙනයි. 77 ආරම්භ වු විප්ලවයෙන්. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ඒ දේ වෙනස් කළා. මේ රටේ පළමු මුදල් ඇමති ලෙස විවෘත ආර්ථිකයට පදනම යෙදුවා. එදා ඉන්දියාවේදි සමාජවාදි ආර්ථිකයට යන ගමනට වඩා හාත්පසින්ම වෙනස් ගමනක ශ්‍රි ලංකාව ගමන් කළා. වෙළෙඳ ආර්ථිකයක් පදනම් කරගෙන ආර්ථික රටාවක් මෙරටට හඳුන්වා දුන්නා.[i]”
මෙහි දී රනිල් විසින් ප්‍රකාශ කොට සිටින්නේ “යුරෝපයේ යටත් විජිතවාදය නිසා ආසියාවේ චීනය , ඉන්දියාව සහ අනෙක් රටවල්වලට තිබු ආර්ථික බලගතුකම නැති වුණා.” යනුවෙන් සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු ව ජපානය “දියුණු” වූ බව යි. ඊට අමතර ව ඔහු දකුණු කොරියාව මැලේසියාව සහ සිංගපූරුව පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කරයි. එනම් ඔහුට ද අවශ්‍ය වී ඇත්තේ ලංකාව මේ වර්ගයේ රටක් බවට පත් කිරිමට ය.
මෙම ලිපියේ පෙර සඳහන් කළ පරිදි ම ජාතික රාජ්‍යය ගොඩනැගීමේ පැහැදිලි න්‍යායික සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සතු වන්නේ UNPයට පමණි (අපගේ අර්ථයෙන් එය විනාශය කරා යන වැඩපිළිවෙලකි). කිසිදු න්‍යායික හෝ ප්‍රයෝගික වැඩපිළිවෙලක් නොමැති, ඇමතිකමක් හෝ මන්ත්‍රීකමක් දරා සිටීම සඳහා පමණක් ම අවශ්‍යතාවය ඇති පිරිසකගේ එකතුවක් වන SLFPය විසින් 1970 දක්වා ම සිදු කරන ලද්දේ ඉංග්‍රීසින්ගෙන් පසු ව UNPයේ සැලසුමට අනුව ගොඩනැගුන ජාතික රාජ්‍යය ඔහේ පවත්වාගෙන යාම පමණකි. SLFPය විසින් තමන්ගේ සැලසුමකට අනුව ආරම්භ කරන ලද එක ම ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස සැලකිය හැක්කේ වසර 30කින් අවසන් වන ලෙස සැලසුම් කරන ලද මහවැලි ව්‍යාපෘතිය යි. ඒ මෛත්‍රීපාල සේනානායක විසිනි. SLFP මහවැලි ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වුයේ වූයේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම යි. නමුත් 1977 බලයට පැමිණි UNPය විසින් කඩිනම් මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 6කින් නිම කරනා ලද්දේ කලින් පැවති SLFP ව්‍යාපෘතියට වෙනස් ප්‍රධාන අරමුණක් සපුරා ගැනීම සඳහා ය. ඒ විදුලි බල ජනනය යි. කෘෂි කර්මාන්තයට සහාය දීම එහි අතුරු ප්‍රථිපලයක් පමණක් විය. පසු කලෙක ලී ක්වාන් යූ විසින් ජේ. ආර්. විසින් සිදු කරන ලද ප්‍රධානතම වරද ලෙස පෙන්වා දුන්නේ ද මහවැලි ව්‍යාපෘතිය තුළින් සහ අනෙකුත් යම් යම් ජනපදකරන ව්‍යාපෘති තුළින් ගොවි ජනපද බිහි කිරීම ය. ලී ක්වාන් යූට අනුව නො කළ යුතු ම දෙය එය විය. ලී ක්වාන් යූ විසින් එය හඳුනා ගන්නා ලද්දේ ජේ. ආර්. නිකරුනේ දේශීයත්වයට යට වී තම අරමුණට එරෙහි ව යාමක් ලෙස ය.
1977 බලයට පැමිණෙන ජේ. ආර්. යනු ඩී. එස්. සේනානායක අගමැති සමයේ ප්‍රථම මුදල් ඇමති වරයා ය. 1950 දී “කොළඹ ක්‍රමය” (1950 වසරේ ජනවාරියේ දී පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විදේශ ඇමැති මහසමුළුව කොළඹ දී පැවැත්විණි. සමුළුවේ මුලසුන එවක ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වූ ඩී. එස්. සේනානායක ය. එහි දී මෙරට මුදල් අමාත්‍යවරයා වූ ජේ. ආර්. ජයවර්ධන විසින් කොළඹ ක්‍රමයේ මුල් අඩිතාලම් යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී. සමස්ථ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයද දායක වූ බව පැවසෙන අතර, ජයවර්ධන විසින් ඉදිරිපත් කළ එම යෝජනාව ඕස්ට්‍රේලියාව විසින් ස්ථීර කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන සහ නො වන නො දියුණු ආසියාතික රටවල ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම, එම රටවල කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂේත්‍රයන් වර්ධනය කිරීම, ඊට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා නිළධාරීන් පත් කිරීම, සැළසුම් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අරමුදල්, තාක්ෂණය, යන්ත්‍රසූත්‍ර සහ නිෂ්පාදන වෙනුවෙන් දායකත්වය සැපයීම යන ප්‍රධාන කරුණු අන්තර්ගත වූ මෙම අවසන් යෝජනාව, 1950 ජනවාරි මස 12 දින සමුළුවේ දී ඒකමතික ඡන්දයෙන් සම්මත විණි.) ආරම්භ කරන ලද්දේ ද ඔහු විසිනි. එසේම ඩඩ්ලි සේනානායක යුගයේ දී ප්‍රබලතම අමාත්‍යය ධුරය වූ රාජ්‍ය අමාත්‍යය ධුරය හෙබවූ ජේ. ආර්. විසින් හෝටල් සහ සංචාරක කර්මාන්තයට අදාළ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කරන ලදී. එසේ ම ජේ ආර් විසින් කළ ඒ හා සමාන අනෙකුත් ප්‍රධානතම කාර්යක් වන්නේ 1977 බලයට පැමිණ මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීම ය. ඉන් පසු එතෙක් පැවති කම්කරු නීතිරීති ව්‍යාපාරිකයින්ට හිතකර ලෙස සංශෝධනය කොට කටුනායක සහ බියගම වෙළෙඳ කලාප ආරම්භ කෙරුණි.
1948 සිට 1989 දක්වාම ජාතික රාජ්‍යය ගොඩනැගීමේ කාර්යයේ ප්‍රධාන න්‍යායධරයා සහ සැලසුම්කරුවා වූයේ ජේ. ආර් ය ( ජේ. ආර්. ඩී. එස්. සේනානායකට හෝ ඩඩ්ලි සේනානායකට අවනත පුද්ගලයෙකු නොවී ය). නිදහසින් පසු ලංකාවේ UNPය සතු ව තිබූ දේශීය ධනපති පන්තියේ නියෝජනය ගිලිහී යන්නේ JVPයේ සහයෙන් ප්‍රේමදාස ජානාධිපති අපේක්ෂකයා වීමෙනි. ප්‍රේමදාසට අපේක්ෂක කම ලබා දෙන්නේ ජේ. ආර්. හට වෙන කර කියා ගත හැකි දෙයක් වූ නැති වූ තැන මිස කැමැත්තකින් නම් නො වේ. සිංහල බෞද්ධ සාමාන්‍ය ජනයා රැවටීම සඳහා ජේ. ආර්. විසින් ම අටවන ලද ප්‍රේමදාස ඔප්පරවට්ටිය ඔහුගේ ම හරහට හිටිනා ලදී. JVP සහ LTTE කැරලි නොවන්නට ජේ. ආර් විසින් ලංකාව පිළිබඳ ව ඔහුගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට නියමිත විය. ඒ සඳහා ඔහු විසින් අනුප්‍රාප්තිකයින් තිදෙනෙකු බිහිකොට තිබුණි. ජේ. ආර්ගේ පුත්‍රයා දේශපාලනයට ඒමට අකමැති තත්වයක් යටතේ සහ ඔහුගේ ළඟ නෑ කෙනෙකු හෝ තෝරාගැනීමට බැරි තත්වයක් යටතේ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන දෙදෙනා ආසන්න අනුප්‍රාප්තිකයින් ලෙස ද ඔවුන්ගෙන් පසුව තම සොහොයුරිකගේ පුතෙකු වන රනිල් වික්‍රමසිංහ තම අනුප්‍රාප්තිකයින් ලෙස අභිෂේක කොට තිබුණි. ජේ ආර් විසින් පාර්ලිමේන්තුව පිළිබඳ ව විශ්වාසයක් නොතැබූ අතර ඔහුගේ විශ්වාසය වූයේ විධායක පාලකයෙකු කෙරෙහි ය. ඒ අනුව ඔහු විසින් සියලු බලතල විධායක ජනාධිපතිවරයා සතුකොට ගන්නා ලදී. නමුත් ඔහුගේ අවාසනාවකට ඔහු විසින් නිර්මාණය කරන ලද ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක යන දෙදෙනා LTTEය විසින් ඝාතනය කිරීමෙන් පසුව ඉතිරි වන්නේ රනිල් පමණි.
ජේ. ආර්.ගේ නියම ම අනුප්‍රාප්තිකයා ලෙස රනිල් UNPය තුළ බලය තහවරු කරගන්නේ ප්‍රේමදාසගේ සියලු සගයින් පක්ෂයෙන් නෙරපා දැමීමෙන් පසු ව ය. 1995 පමණ කාලය වන විට පක්ෂය තුළ රනිල් ව හැඳින්වූයේ පුංචි ජේ. ආර්. ලෙසය. 2001 වසරේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙල 2015 දී ඔහුට ක්‍රියාත්මක කරගත නො හැකි බාධාව වන්නේ SLFPය සමග ඇති හවුළ ය.
සැබවින්ම SLFP පාලන සමයන් යනු UNPය මෙන් න්‍යායික ප්‍රවේශයක් රහිත ව UNPය විසින් ( සැබවින් ම ජේ. ආර්. විසින් ) ගොඩ නගන ලද ජාතික රාජ්‍යය තුළ ඇමතිකම් දරාගෙන වැජඹීම පමණි. 1977ට පෙර ඔවුන් හට සිදු කිරීමට හැකි වූ දේවල් වූයේ UNPය විසින් ගොඩ නගන ලද ජාතික රාජ්‍යය ඔහේ පවත්වාගෙන යාම පමණි. 1994ට පසු ඔවුන් විසින් සිදු කරන ලද්දේ UNPය කළ දේවල් වැඩපිළිවෙලක්, නිශ්චිත ඉලක්කයක් හෝ න්‍යායික ප්‍රවේශයක් රහිත ව උසස් රාජ්‍යය නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ කරගෙන යාම ය. උසස් රාජ්‍ය නිලධාරීන් යනු කලකට වරක් පිටරටවලට යවා ඒවායෙහි වැඩ කෙරෙන ආකාරය අධ්‍යයනය කොට පැමිණ කිසිදූ සිතීමකින් තොර ව මෙහි ද ඒවා ක්‍රියාත්මක කිරීමට පත්කොට ඇති පිරිසකි. එ කල ඒ සඳහා පත්කොට තිබූ ලොකු ම රාජ්‍ය නිලධාරියා වූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී. බී. ජයසුන්දර ය. ජයසුන්දර යනු 1988 සිට ම 2001-2004 රනිල් පාලන සමයේදී හැර 2015 දක්වා ම එම තනතුර දරා සිටි පුද්ගලයා ය. ඒ අනුව ජේ. ආර්.ගේ හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයෙකුගේ සිතීම නැති වකවානුවේ සියලු ආර්ථික සැලසුම් සකස් කෙරුනේ ඔහුගේ සැලසුම්වලට අනුව ය. ඇත්තට ම ජයසුන්දර යනු ද නියම UNP කාරයෙකි. ඔහු ම මහින්ද පාලන සමයේ දී වරක් ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස තමාට ලැබෙනුයේ රුපියල් හතලිස්දාස් ගණනක වැටුපක් බවත් (දීමනා රහිත ව), අවශ්‍ය නම් තමා හට IMFහි රුපියල් ලක්ෂ 5ක වැටුපට සේවය කළ හැකි බවත්, ඕනෑ ම මොහොතක තමන් හට එම රැකියාවට යාමට පුළුවන් බවත් ය. නමුත් ඒ පිළිබඳව දන්නා අය පවසන්නේ ජයසුන්දර හට IMF විසින් එම වැටුප කොහොමත් ලබා දෙන බව ය.
2005 මහින්ද ජනාධිපති වීමෙන් පසු ව පර්ක් ආයතනය විසින් එතෙක් කරගෙන ආ රාජ්‍යය ව්‍යවසායන් පුද්ගලීකරණය නවතා දමන ලදී. ඒ අනුව පාඩු ලබන රාජ්‍ය දෙපාර්තුමේන්තු, සංස්ථා සඳහා මහා භාණ්ඩාගාරයෙන් විශාල පිරිවැයක් වෙන් කිරීමට සිදු විය. ඒ යුද්ධය ද කරගෙන යන අතරතුර ය. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නො කොට හෝ විදේශ සමාගම්වලට විකුණා නො දමා ආර්ථිකය ඉදිරියට ගෙන යා නො හැකි බව ජයසුන්දර විසින් මහින්ද වෙත සැල කරනා විට මහින්දගේ උපදෙස වී ඇත්තේ ඒවා පුදගලිකරණය නො කොට කොහෙන් හෝ ඉඩම් පුද්ගලික අංශයට ලබා දී මුදල් සොයා ගන්නා ලෙස ය. ඒ අනුව ඩෝල් වැනි සමාගම් වෙත විශාල ඉඩම් ප්‍රමාන ලබා දීම සහ චීනය වෙත ඉඩම් විකිණීම, සියලු කොන්ත්‍රාත් චීනය වෙත ලබා දීම වැනි දෑ සිදු විය. ඒවා සිදු වූයේ කිසිදූ දේශපාලන සැලසුමකින් තොර ව ය.
මහින්ද සිදු කළ බව කියන මහා සංවර්ධනය යනු මහින්දගේ සැලසුම් නො වේ. චීනය වෙත ලබා දුන් වරාය නගරය සහ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මොරගහකන්ද (මොරගහකන්දේ ද ප්‍රධාන අරමුණ විදුලුබල ජනනය යි) හැර අනෙකුත් සියල්ල UNPය සමයේ සැලසුම් සහ එම UNP සැලසුම් චන්ද්‍රිකා සමයේදී ක්‍රියාත්මක කොට අතරමැද තිබූ හෝ ක්‍රියාත්මක නො වූ ඒවා ය.
මේ ඉන් කිහිහිපයකි. කොළඹ-මාතර අධිවේගී මාර්ගය යනු 87-89 සමය අරබයා පත්කොට තිබූ තරුණ අසහන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව UNPය විසින් ගත් දේශපාලන තීරණයකි. ඒ කතරගම දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ගය යි. දකුණු පළාත, විශේෂයෙන් හම්බන්තොට ආයෝජකයින්ගේ පාරාදීසයක් බවට පත් කිරීම ඉලක්ක කොට ගෙන එම සැලසුම සකස්විය. නමුත් ඒ සඳහා මුලපිරුවේ චන්ද්‍රිකා ය. ඒ 1995 දී ය. මහින්ද ජනාධිපති වන විට අධිවේගී මාර්ගයේ 3/4ක වැඩ අවසන් වී තිබුණි. නෙලුම් පොකුණ, උමා ඔය, කුකුලේ ගඟ වැනි ව්‍යාපෘති චන්ද්‍රිකා සමයේ ජවිපෙ සැලසුම්ය (ඉන් සමහරක් UNPය සමයේ ප්‍රධාන සැලසුම සකස් කොට තිබූ ඒවා ය). හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපළ යනු ජේ. ආර්. සමයේ ඔහුගේ උපදෙස් පරිදි රොනීද මැල් විසින් සැලසුම් කරන ලද ඒවා ය.
ඇත්තට ම මහින්ද විසින් සිදුකරන ලද්දේ චීනයට වරාය නගරය ලබා දීම සහ රට පුරා පාරවල් කාපට් කිරීම පමණි. එතෙක් පාරවල් සෑදීමෙන් කප් ගසා සිටි UNPය මහින්දට පරාජය වූයේ මග නැගුම ව්‍යාපෘතිය නිසා ය.
ඉහත සඳහන් කරුණු මතින් පෙන්වා දීමට උත්සාහ කෙරෙන්නේ සත්තකින් ම එදා මෙදා තුර පැවතියේ එක දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වය බව ය (ඇත්තට ම නම් එක පුද්ගලයෙකුගේ; ඔහු ජේ. ආර්. ජයවර්ධන ය). ද්විපක්ෂ යාන්ත්‍රනය ක්‍රියාත්මක වීමේදී බොහෝ දුරට ලෝකය පුරාම තත්වය මෙය යි. එක පුද්ගලයෙකුගේ බලාධිකාරය සමාජයක් මත කොතරම් බලපෑම සහගත ද යන්න, එනම් අධිකාරීත්වය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මෙය හොඳ උදාහරණයකි.
ඒ අනුව මහින්දගේ යුගයේ දේශපාලන තීරණ රහිත අවුල් ජාලය නැවතත් ජේ. ආර්.ගේ අනුප්‍රාප්තික රනිල් විසින් පිළිවෙලකට සකස් කොට ඉදිරියට ගෙන යනු ඇත (ඔහු ජනාධිපති වුවහොත් ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් පන්නයේ ම ප්‍රජාතන්ත්‍රවාදයක් දැක ගත හැකි වනු ඇත. ඒ පිළිබඳ ව නොදන්නා මැට්ටන් ඒ ගැන සොයා බලන්න). රනිල් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කොහෙත් ම අකැමති හේතුව මීට වසර 15කට පමණ පෙර ඔහු විසින් ප්‍රකාශ කොට තිබුණි. ඒ තම මාමා එය සකස් කරන ලද්දේ සෑහෙන දුර දිග බලා බවත්, එම තත්වය නොමැති ව රට ඉදිරියට ගෙන යා නො හැකි බවත් ය. ඇත්තෙන් ම 1994 සිට අද දක්වා වසර 24ක කාලයක් රනිල් UNPයේ නායකයාව සිටින්නේ UNPයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහු සමග සිටින නිසා ය. UNP කෘත්‍යාධිකාරී මණ්ඩලය යනු ලාංකේය ධනපති පන්තියේ සහ ලිබරල් මතවාදීන්ගේ ශුද්ධ එකතුව යි. UNPය මෙහෙයවන ධනපති නියෝජිතයින් පැහැදිලි තීන්දුවකට පැමිණ ඇත්තේ කෙසේ හෝ බලය ලබාගන්නා වැඩපිළිවෙලකින් පලක් නො වන බවට ය. විශේෂයෙන් ප්‍රේමදාස පන්නයේ බලවේගවලට UNPය තුළ යළි ඉඩක් නො තැබීමට අධිෂ්ඨාන කොටගෙන ඇති බවක් පෙනේ. ඒ අනුව රනිල්ගෙන් පසු අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ බෑනා වන රුවන් විජයවර්ධන යෝජනා වී තිබුන ද ඔහු එය දරා ගැනීමට තරම් දක්ෂයෙකු නො වේ. අඛිල විරාජ්, නවීන් දිසානායක වැනි අය අරනිල් විසින් මේ වන විට ඉදිරියට ගෙන ඇත්තේ එබැවිනි.
ඒ අනුව ඉදිරි මැතිවරණයක දී “ප්‍රජාතන්ත්‍රවාදී” තෝරා ගැනීම සඳහා ලංකාවේ ඡන්ද දායකයාට ඉදිරිපත් වන ද්වි-පක්ෂ විකල්ප දෙක වන්නේ ජේ. ආර්. ගේ සැලසුම් ඉදිරියට ගෙන යාමේ SLFP ක්‍රමය සහ UNP ක්‍රමය යි. මහින්ද එය අවුල් සහගත ලෙස ඉදිරියට ගෙන යනු ඇති අතර රනිල් එය පිළිවෙලකට ඉදිරියට ගෙන යනු ඇත. රනිල් විසින් පැහැදිලි ව ම ලංකාවේ යැපුම් කෘෂිකර්මය විනාශ කොට නගර වෙත මිනිසුන් සංකේන්ද්‍රණය කරවා නිෂ්පාදන ආර්ථිකයක් වෙත රට ගෙන යනු ඇත. පොලීසිය, හමුදාව අධිකරණ සහ සිවිල් පරිපාලනය හැර අනෙක් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කොට යටිතල පහසුකම් අධීක්ෂණය සඳහා පමණක් වන රාජ්‍ය ආයතන පවත්වා ගනු ඇත. උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් ආයෝජකයින් හට ඕනෑ තරම් ව්‍යාපාර පහසුකම් ලබා දී ඒවා පරිසර දූෂණයකින් තොර ව කරගෙන යන්නේ දැයි අධීක්ෂණය කිරීමට සහ නීති ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය පවත්වාගෙන යාම වැනි කටයුතු ය.
මතු සම්බන්ධයි…..

 ජේ.ආර් ජයවර්ධන අපේක්ෂා කළ දියුණුව ඇති කරනවා. දිනමිණ. http://www.dinamina.lk/2016/09/21/22675

Leave a Comment

%d bloggers like this: