සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)

ලෝකවාසි සියලු දෙනා ඔවුන්ගේ වර්තමාන ජීවන මූලධර්මයන් වෙත සරලමය ලෙස විරුද්ධ විය නොයුතුය යන්න පිළිගෙන ඇතුවා මෙන්ම එසේ කල යුතු බවට හැඟීමක් හෝ ඔවුනට නොමැත. එනම් ජීවිතයේ ඔවුනට පැවරී ඇති කාර්යභාරයන් සහ ඒ තුල ‘විඳවන’ කුඩා සංතෘෂ්ටීන් දිවි හිමියෙන් පවත්වාගෙන යා යුතුය යන්න ඔවුන්ගේ දැනුවත්භාවයයි. ජීවිතය යනු එය බව දැන් ධනවාදී ක්‍රියාවලිය තුල කැමැත්තෙන් සියලු දෙනා පිළිගෙන ඇත. එය ප්‍රශ්න කරමින් සිටිනුයේ නොගෙනිය හැකි තරම් කුඩා සුළු පිරිසකි.

චමීර දෙද්දුවගේ යනු ඉහත සඳහන් කල අතිමහත් බහුතරයේ ස්ථාවරය නියෝජනය කරමින් අප සමග සංවාදයට පිවිසි පුද්ගලයාය.

අද දවසේ ධනවාදය තුල, අපට එක් අතකින්, ලාභ ඉපයීම කරා අපව තල්ලු කරන ප්‍රාග්ධන සංසරණයේ ඉල්ලීම් තිබෙන අතර නිෂ්පාදනයේ සහ වෙළඳපොලෙහි ප්‍රසාරණය ඇතුළු සේවා, සොබාදහම සූරාකෑම හා විනාශ කිරීම සහ අනෙක් අතට පාරිසරික ඉල්ලීම් තිබේ. සරල ලෙස කිවහොත් එවැනි ලිබරල් පාරිසරික ඉල්ලීම් වල හරය වී ඇත්තේ “අපි අපේ අනාගත පරම්පරාවන් ගැනත්, අපේම පැවැත්ම ගැනත් සිතමු, අපි ස්වභාවධර්මය ගැන සැලකිලිමත් වෙමු” වැනි පවතින ධනවාදී සදාචාරය තුල ආචාරධාර්මික සීමාවන් සලකුණු කරන ඉල්ලීම්ය.

ධනවාදී ප්‍රසාරණයේ ක්‍රෑර හඹායාම සහ පාරිසරික සාවදාන වීම, එසේ නොමැති නම් පාරිසරික දැනුවත්භාවය පිළිබඳව සියලු දෙනාට පැවරී ඇති කාර්යභාරය අතර ප්‍රතිවිරෝධය පැහැදිලි ලෙසම, ඇත්තෙන්ම, සියලු දෙනා හට පැවරුණු අමුතු විකෘති කාර්යභාරයකි. එසේ පැවරී ඇති එම ප්‍රතිවිරුද්ධ කාර්යභාරයන් දෙකම පවතින්නේ ධනවාදයේ පර්ශවයේය.

එසේම දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට, උපත, ඇතිදැඩි කිරීම, පාසල් යැවීම, රැකියා කිරීම, විවාහ වීම ඇතුළු ජීවත්වීමේ සියලු දේට සහ සියලු කොන්දේසීන් වලට අදාළ සියලු විඳවීම් වලට විසඳුම් පවතින්නේ දියුණුව සහ සංවර්ධනය තුල බව සියලු දෙනාගේ විශ්වාසයයි. ඒ නිසා ලංකාව තුල නම් දැන් ප්‍රශ්නය වී ඇත්තේ එය හරියාකාරව ඉටු කල හැකි දේශපාලන කණ්ඩායම කුමක්ද යන්නයි.

මේ වන විට උත්ගත වී ඇති තත්වය තුල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් තමන් වෙනස් බව පවසමින් ඒ සඳහා ඉදිරිපත් වී ඇති කණ්ඩායම් දෙක වන්නේ “ජාතික ජනබලවේගය” සහ “43 සේනාංකයයි”. ඔවුන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් වෙනස් වන ස්ථානය වන්නේ “නූගත් දේශපාලනඥයා” වෙනුවට “උගත් සහ බුද්ධිමත් දේශපාලනඥයා” ආදේශ වීමයි. එනම් ඉහත සඳහන් කල මිනිස් ජීවිත වල විඳවීම් සඳහා නිසි පිළිතුරු ලබා දිය හැක්කේ එම උගත් කම තුලය යන්න එම ව්‍යාපාර දෙකෙහිම අවධාරණයයි. නමුත් දේශපාලනඥයා පාසල් නොගිය අයෙකු වුවද මෙතෙක් කටයුතු සිද්ධ වූයේ ද උගතුන්ට අවශ්‍ය විධියටය. ලංකාවේ උගතුන් වැඩ කරන්නේ දියුණු රටවල් ආදර්ශයට ගනිමින් සහ ඔවුන්ගෙන් උපදෙස් ගනිමින්ය. එසේම උගත් කම යන්න ලෝකයටම අදාළ මහා පොදු සාධකයයි.

ලංකාවේ ප්‍රශ්නය නූගත් දේශපාලනඥයා නම් ලෝකයේ දියුණුම රටවල ප්‍රශ්න සහ විඳවීම් අවසන් වී තිබිය යුතුය. නමුත් එය එසේ නොවේ.

සාම්ප්‍රදායික ආගම් වලින් වෙනස්ව ධනවාදයට ඇත්තේ අමුතු ආගමික ව්‍යුහයකි.ඉහත සඳහන් කල සීමා රහිත ඉල්ලුම මගින් එය ධාවනය කරනු ලැබේ. ප්‍රාග්ධනයට පැවතිය හැකි අකාරය වන්නේ නිරන්තර සංසරණය වීම, එයම ප්‍රතිනිෂ්පාදනය වීම, ප්‍රසාරණය වීම, එයම ගුණාකාර වීම යන ක්‍රියාවලිය තුලය. මෙම ඉලක්කය සඳහා, අපගේ ජීවිතය, ස්වභාවධර්මය ඇතුළු ඕනෑම දෙයක් බිලි දිය හැකිය.මෙහිදී අපට අමුතුම කොන්දේසි විරහිත නියෝගයක් තිබේ. එනම් උදාහරණයක් ලෙස තම දරුවා අකමැති වුවද, රෝගාතුර වුවද, කෙතරම් විඳවීමට ලක්වුවද, (උදාහරණයකට මෝටර් සයිකල් ගමනාගමනය තුල වැනි හදිසි අනතුරු සිදුවිය හැකි බව දැන දැන ම වුවද) මාරාන්තික රෝගයක් පැතිරෙන තත්වයක් යටතේ වුවද තම දරුවා මොන්ටිසෝරි හෝ පාසල් යැවීමට දෙමාපියන් මැලි නොවන්නේ එබැවිනි.

ධනවාදයේ ඇති එම අමුතුම ආගමික ව්‍යුහයට අනෙක් සියලුම ආගම් ද අවශෝෂණය කොට ගෙන ඇත. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ ද එකී ව්‍යුහය තුලය.

සැබෑ ධනවාදියා යනු මේ විකෘති කාර්යභාරය (රාජකාරිය) වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් කාලකණ්ණියෙකි.

1 thought on “සැබෑ කාලකන්නියා (චමීර දෙද්දුවගේ සහ “ස්පාටකස් ලිපි” අතර සංවාදය)

Leave a Comment

%d bloggers like this: