ඇමරිකන් ඩොලරයේ මැජික් බලය

ඇමරිකන් ඩොලරයේ මැජික් බලය

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙනා තත්වය හේතුවෙන් හෝ ඇමරිකානු ඩොලරය අවප්‍රමාණ නොවන්නේ ඇයිද යන්න පිළිබඳව සංවාදයක් මතුව ඇත. ඒ 2008 දෙසැම්බර් සිට 2014 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජාතියේ මහ බැංකුව විසින් මුදල් සැපයුමට ඩොලර් ට්‍රිලියන 4 ක් අලුතින් එකතු කොට ඇති තත්වයක්ද යටතේය ( සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 166,666 පමණ වේ…).

2014 වසරින් පසුව මෙය වසරකට ඩොලර් මිලියන 700ක පමණ ප්‍රමාණයක් පමණ බව කියවේ… නමුත් මේවා මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකිය.

ඒ පිළිබඳව අදහස් පල කල ආර්ථික විද්‍යා, ගිණුම් කරනය, කළමනාකරණය වැනි ක්ෂේස්ත්‍ර වල වියතුන් තමන්ට අදාළ විෂය ක්ෂේස්ත්‍රය තුල ඒ පිළිබඳව කෙතරම් පැහැදිලි කිරීම් කලද ඩොලරය සතු එම විශ්මිත බලය සම්බන්ධයෙන් සාර්ථක ඍජු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අසමත්ව ඇත.

විද්‍යාව යන වචනයෙන් කෙළවර වෙන ඕනෑම විෂයක් ගොඩනැගී ඇත්තේ සහ අවශ්‍ය වන්නේ අර්බුධ සඳහා විසඳුම් වෙනුවෙනි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව යනාදී ලෙස ඕනෑම විද්‍යාවක් එසේය. ඒ අනුව ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වන්නේද පවතින ධනවාදී ආර්ථික සංකීර්ණතාවයන් තුල අර්බුධ සඳහා විසඳුම් වෙනුවෙනි. ඒ අනුව ඩොලරය පිළිබඳව එවැනි උගතුන්ගේ පැහැදිලි කිරීම් ඉතාම යථාර්තවාදීය. නමුත් අප යථාර්තයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනා බැවින් අපට එවැනි කිසිඳු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අදාළ නැත.

මුදල් පිළිබඳව සංකේත රටාව ගතහොත්, ඇරිස්ටෝටලියානු අභාෂය තුල වටිනාකම යන්න කෙලින්ම අදාළ වූයේ කාසියේ ද්‍රව්‍යමය වටිනාකමටය. එනම් ඒවා තැනී  ඇති රන්, රිදී, ලෝකඩ වැනි ලොහයන් වලට අදාලවය. ඒ තත්වය ලකාන් විසින් හඳුන්වන්නේ හැඟවුම්කාරකය හැඟවුම තුලට කඩා වැටීම ලෙසය. නමුත් මුදල් නෝට්ටුවක්, බිලක්, ඇමරිකන් ඩොලරය වැනි දේ ක්‍රියාත්මක වූයේ සැබෑ වටිනාකමක ප්‍රමාණයකට අදාලව පවතින සහ යම් සැබෑ වටිනාකමක ප්‍රමාණයක් විසින් පරම වශයෙන් සහතික කරන ලද පොරොන්දු පත්‍රයක් ලෙසයි. එනම් පෙර සඳහන් කරන ලද රත්රන්, ප්ලැටිනම්, රිදී ලෝකඩ වැනි වටිනා ලෝහයකට අදාළ ප්‍රමාණයක් ලෙසය…  මෙම අවස්ථාවේ දී, ලෝහය යනු අනුභූති-උත්තර හඟවුමක් වන අතර බැංකු නෝට්ටු සංසරණයෙන් පිටත පිහිටා ඇති වටිනාකම පිළිබඳව යම් නිශ්චිත ප්‍රමාණයක්( රන් ප්‍රමිතිය ) සහ මේ හේතුව නිසා ඒවායේ වැදගත්කමේ හෝ වටිනාකමෙහි වගකීම මෙන්ම එහි අවසාන භූමියද එය විසින් අයත් කර ගනී.

කෙසේ වෙතත්, විසිවන සියවසේ මැද භාගයේ සිට, මූල්‍ය ප්‍රතිපත්තිය මෙම “රන් ප්‍රමිතියෙන්” ඉවත් වීමට පටන් ගත් අතර, අවසානයේ දී තාර්කික වශයෙන් ව්‍යුහාත්මකවාදී ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි දෙය ස්ථාපිත කරන ලදී(ඩොලරයට අදාලව 1970දී පමණ උපරිමයට පැමිණි මෙය දශක තුනක් පසු කරමින් පැමිණ 2008 වසරේදී පමණ අර්බුධකාරීත්වයකට ගමන් කරයි). ඒ අනුව වර්තමානයේ එක් ඇමරිකන් ඩොලරයක වටිනාකම ඇත්ත වශයෙන්ම පවතින යම් බැංකු තැන්පතුවක ඇති සැබෑ රත්‍රන් ප්‍රමාණයකින් සහතික කළ දෙයක් නොවේ. ඇමරිකන් ඩොලරයේ වැදගත්කම තීරණය වන්නේ වෙනස්කම් වල පද්ධතියක් මගින් වෙනුවට, විශේෂයෙන් එය සම කරනුයේ හෝ විකුනනුයේ අනෙකුත් ව්‍යවහාර මුදල් වන යුරෝ, යෙන් වැනි ඒවාට එරෙහිවය. නමුත් ඒවාද සමාන අකාරයේ හැඟවුම්කාරක(signifier) වලට වඩා දෙයක් නොවේ. එනම් යූරෝ, යෙන් හෝ වෙනත් ඕනෑම මූල්‍ය ඒකකයක් යනුද ඇමරිකන් ඩොලරය හා සමාන හැඟවුම්කාරකයන්ය(මේ කියනා කරණයට අදාළ මුදල් ඒකක භාවිතා කරනා රටහි නිෂ්පාදනය හෝ වෙන යම් ආර්ථික සාධක කිසිසේත්ම අදාළ නැත). නමුත් එම සංකේත රටාව(එම මූල්‍ය ඒකකමය) තුල සවාමි- හැඟවුම්කාරකය( master-signifier ) වන්නේ, එනම් එම මුදල් වල වටිනාකම පිළිබඳව ස්ථානයේදී කෙනෙකුට මුදල් නෝට්ටුවක සැබෑ වටිනාකම හඳුනාගත හැකි වීම යන්න පෙනෙන ලෙස නම් සලකුණු වන්නේ හිස් සහ පුනරුක්ත්‍යාත්මක ඉඟියක් මගිනි. එනම් එය කියා සිටින්නේ ඇත්ත වශයෙන්ම “ඩොලරයක වටිනාකම එක් ඩොලරයක්” බවය. තවත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් එක් ඇමරිකානු ඩොලරයක වටිනාකම ඩොලරයක්ම බව ඩොලරය විසින්ම සහතික කොට පිළිගන්වා ඇත. ඩොලරය පිළිබඳව කතා කිරීමේදී ඕනෑම අයෙකුට මගහැරෙනා කාරණය මෙයයි.

රීත්‍යානුකූලව මුදල් සඳහා – හෝ වෙනත් සමාජ මුදල් වර්ගයක් සඳහා – අර්ථයක් තිබීමට සහ වෙනස්කම් පද්ධතියක් තුල කෙළවරක් නොමැතිව කඩා වැටීම වැලැක්වීම සඳහා එහි ස්ථානයක් තිබිය යුතුය. එම ස්ථානය ලකාන් විසින් හඳුන්වන්නේ “point de caption”( nodal point ) ලෙසය. එතැනදී මෙය පෙනෙන ලෙසට හැඟවුම්කාරක වල නිදහස් පාවෙන විසරණය නතර කිරන්නේ තාවකාලිකව පමණක් නම්ය.

මෙහිදී අවධාරණය කල යුතු පළමු කාරණය වන්නේ, සවාමි- හැඟවුම්කාරකය( මෙහිදී එය ඩොලරය බවට පත්වීම) යන්න අත්තනෝමතිකය ( arbitrary) යන්නයි. ඒ එයද අනෙක් ඕනෑම හැඟවුම්කාරකයක් වෙතින් ඉඳුරාම වෙනස් නොවන බැවිනි( එයද තවත් හැඟවුම්කාරකයක් පමණි ). එනම් සවාමි- හැඟවුම්කාරකය ලෙස එහි පිහිටීම ආපාතික හා අත්තනෝමතික තීරණයක නිෂ්පාදනයක් පමණි. තීරණාත්මක පැනවීමක් විසින් පිහිටුවනා මෙය එකක් ලෙස, එකක් වටේට අන් සියල්ල ඒකාබද්ධ කෙරෙනවා මෙන්ම අර්ථාන්විතභාවයටද පත්වේ. මෙය ඇමරිකානු ඩොලරයට අදාලව ප්‍රකාශ කරන්නේ නම්: අනෙක් මුදල් ඒකක වල වටිනාකම තීරණය වන්නේ ඩොලරය මතිනි(ඩොලරයක වටිනාකම ඩොලරයක් ලෙස වුවද අනෙක් මුදල් ඒකක තීරණය වන්නේ ඩොලරයෙනි).

ස්වාමි-හැඟවුම්කාරකය යනු කුමක්දැයි අවබෝධකොට ගැනීම සඳහා  තවත් හොඳ උදාහරණයක් වන්නේ, නාසි දෘෂ්ටිවාදය තුල “යුදෙව්” යන පදය ක්‍රියාත්මක වූ ආකාරය නැවත සලකා බැලීමයි.

ශිෂැක් මෙසේ පවසයි.

“1920 ගණන්වල යුදෙව් විරෝධය ගැන සිතන්න. ජර්මනිය: ඒ මිනිසුන් විසින්ම අත්විඳින ලද, නුසුදුසු මිලිටරි පරාජයකට ඇද දැමූ, ඔවුන්ගේ ජීවිත රැකගනීම් ඛාදනය කළ ආර්ථික අර්බුදයක්, දේශපාලන අකාර්යක්ෂමතාවක්, සදාචාරාත්මක පරිහානියක් වැනි දේ තුල නාසීන් විසින් ඒ සියල්ලටම වගකිව යුතු තනි නියෝජිතයෙකු සැපයීය. එනම් යුදෙව්වාය. ඒ යුදෙව් කුමන්ත්‍රණය ලෙසය. ඒ අනුව එම යුදෙව් කුමන්ත්‍රණ වකවානුව තුල දිගහැරෙන්නේ ස්වාමියාගේ විජාවන්ය.”

යුදෙව්-විරෝධී කතිකාවේදී, “යුදෙව්වා” යන්න ප්‍රධානය වූයේ තත්වය ඵලදායි ලෙස පැහැදිලි කරන සහ ඒ තුල අන් සියල්ලටම හේතු වන අවසාන වචනය ලෙසය. මෙය සිදුවන්නේ කිසියම් ප්‍රතිජානක( positive ) අන්තර්ගතයක්(thing in itself) හෝ එය අනිවාර්යයෙන්ම මෙම සුවිශේෂිත වචනයට අයිති කරගන්නා හෝ උපචය වන “අර්ථයේ පොහොසත්කම” නිසා නොවේ. ඒ වෙනුවට එය එසේ සිදු වන්නේ වචනය වචනයක් ලෙස හැඟවුම්කාරකයේම මට්ටමේදී, දී ඇති ක්ෂේත්‍රයක් ඒකාබද්ධ කරනවා වීම සහ එහි අනන්‍යතාවය සහතික කරනවා වීම හේතුවෙනි.

දෙවැන්න වන්නේ, එය අත්තනෝමතික බැවින් මෙම මෙහෙයුම සිදුවිය හැක්කේ “අගාධමය, පදනම් විරහිත, ආරම්භක ප්‍රචණ්ඩ ක්‍රියාවක්” මගිනි. එනම් යමෙකු හෝ යම් දෙයක් විසින් එක් විශේෂිත හැඟවුම්කාරකයක් අනෙක් සියල්ල මත සහ අනෙක් සියල්ලන්ටම එරෙහිව සමස්ත ක්ෂේත්‍රයම එකතු කරන විශ්වීය එකක් ලෙස බලය තහවරු කොට ගැනීමය(ඇමරිකානු ඩොලරය ස්වාමි-හැඟවුම්කාරකයක් ලෙස තහවරු වූයේ එසේය).

මෙය හිතාමතාම බලය ක්‍රියාත්මක කිරීමක් වන අතර ඒ අකාරයේ සමාජ-දේශපාලන බලය හඳුන්වනු ලබන්නේ “හෙජමොනිය”( “hegemony” ) යනුවෙනි. ආනුෂංගික වශයෙන්, ස්වාමි හැඟවුම්කාරකය අවසානයේ භූමිගත වනුයේ ප්‍රචණ්ඩකාරී පැනවීමක් තුලය… එය හේතු මත තවදුරටත් පදනම් කර ගත නොහැක.

එම ස්ථානයේදී කෙනෙකුට කිව හැක්කේ “ඩොලරය මෙහි නතර වේ” යන්නයි. එනම් ස්ථානයකදී නිමක් නැති පිරිහීම නැවැත්වීම සඳහා කවුරුන් හෝ විසින් කිව යුත්තේ “එය එසේ යැයි මා පවසන නිසා එය එසේ ය!(ඩොලරය පිළිබඳව) යනුවෙනි. ඒ අනුව සෑම ස්වාමි හැඟවුම්කාරකයක්ම බිහි වන්නේ සංකේත රටාව ඇතුලතින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් තුලන් සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් මගිනි. අප සාමාන්‍යයෙන් මෙම ප්‍රචණ්ඩත්වය එසේ බව ප්‍රත්‍යක්ෂ නොකරන්නේ නම්, එයට හේතුව මෙම “සංස්ථාපිත නොවන ආරම්භක ප්‍රචණ්ඩත්වය”(“non founded founding violence”) අවසානයේදී සැඟවුන, ස්වාභාවිකකරණය වූ සහ අවශ්‍ය යැයි අභ්‍යපගත වීමයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ තත්වය තුල ඇමරිකානු ඩොලරය මෙම තත්වයට පත් විය. එහි ප්‍රධාන සාධකය වූයේ යුධමය ආධිපත්‍යයි. ඇමරිකාව විසින් ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් තහවරු කොටගත් බලය නොනවතින මාරක ආයුධ නිෂ්පාදනය තුලින් පවත්වාගෙන යයි. එපමණක් නොව ආධිපත්‍යට අදාල තවත් සාධක තිබේ. නාසා ආයතනය, CDC, Microsoft, ලොව ප්‍රමුඛතත්වයට ඔසවා ඇති හොලිවුඩ් සිනමාව ඇතුළු ඔවුනගේ කලා කරුවන්, වැනි දේ මෙන්ම ලෝකයටම අන්තර්ජාල සම්බන්ධතා සපයන යටිතල පහසුකම් සියල්ල ඇමරිකාවේය.

1960 දශකය අවසන් වන විට එක්සත් ජනපද ආර්ථිකයට යුරෝපයට හා ආසියාවට එහි අතිරික්තය ප්‍රතිචක්‍රීකරණය කිරීම තවදුරටත් කරගෙන යාමට නොහැකි විය. ඒ එහි අතිරික්තය හිඟයක් බවට පත්ව තිබූ බැවිනි. 1971 දී එක්සත් ජනපද රජය මෙම පරිහානියට ප්‍රතිචාර දැක්වූයේ සාහසික උපායමාර්ගික පියවරකිනි. එනම් ජාතික රාජ්‍ය තුල වේගයෙන් වර්ධනය වන හිඟයන් පියවීම වෙනුවට, හිඟයන් ඉහළ නැංවීම සඳහා ප්‍රතිවිරුද්ධ දේ කිරීමට තීරණය කිරීම තුලිනි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් මුදල් ගෙවන්නේ කවුද? ඒ සෙසු ලෝකයයි. කෙසේද? ඇමරිකාවේ හිඟයන් පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සැපයීමට මහා සාගර දෙක හරහා වේගයෙන් ප්‍රාග්ධනයේ ස්ථිර මාරු කිරීමක් මගිනි.

මෙම වර්ධනය වන රිණාත්මක වෙළඳ ශේෂයෙන් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය ඵලදායී නොවන විලෝපිකයෙකු බවට පත්ව ඇති බවයි. පසුගිය දශක කිහිපය තුළ, එහි පරිභෝජනය සඳහා මිල දී ගැනීම සඳහා වෙනත් ජාතීන්ගෙන් දිනකට ඩොලර් බිලියන එකක ගලා ඒමක් ලබා ගැනීමට සිදු වූ අතර, ලෝක ආර්ථිකය පවත්වා ගෙන යන විශ්වීය කේන්සියානු පාරිභෝගිකයා ද වේ( කෙන්සියානු ආර්ථික විරෝධී දෘෂ්ටිවාදය පෙන්නුම්කරනා අද දවසේ ප්‍රමුඛ්තාවයට එය ප්‍රමාණවත් විය ).

පුරාණ කාලයේ රෝමයට ගෙවන ලද දසයෙන් කොටස හෝ පුරාණ ග්‍රීකයන් විසින් මිනෝටෝරයට පූජා කරන ලද තෑගි වැනි ලෙස ඵලදායී මෙම ගලා ඒම රඳා පවතින්නේ සංකීර්ණ ආර්ථික යාන්ත්‍රණයක් මත ය. එනම් එක්සත් ජනපදය ආරක්ෂිත හා ස්ථාවර මධ්‍යස්ථානයක් ලෙස විශ්වාස කරන අතර තෙල් නිපදවන අරාබි රටවල සිට බටහිර යුරෝපය සහ ජපානය දක්වා – දැන් චීනය පවා සිය අතිරික්ත ලාභය එක්සත් ජනපදයේ ආයෝජනය කරයි. මෙම විශ්වාසය මූලික වශයෙන් දෘෂ්ටිවාදාත්මක හා මිලිටරිමය බැවින් සහ ආර්ථික නොවන බැවින් එක්සත් ජනපදයට ඇති ගැටලුව වන්නේ එහි අධිරාජ්‍ය භූමිකාව සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්නයි. එයට ස්ථිර යුද්ධ තර්ජනයක් අවශ්‍ය වන අතර අනෙක් සියලුම “සාමාන්‍ය” (එනම් “රළු” නොවන ) රාජ්‍යන්ගේ විශ්වීය ආරක්ෂකයා ලෙස පෙනී සිටී.

කෙසේවෙතත්, 2008 සිට මේ ලෝක ක්‍රමය බිඳ වැටෙමින් තිබේ. ඔබාමාගේ කාලය තුළ ෆෙඩරල් සංචිතයේ සභාපති පෝල් බර්නාන්කේ මෙම ක්‍රමයට තවත් ජීව හුස්මක් ලබා දුන්නේය. එක්සත් ජනපද ඩොලරය ගෝලීය මුදල බව යන කාරණය නිර්දය ලෙස ගසාකන ඔහු වේගයෙන් මුදල් මුද්‍රණය කරමින් ආනයන සඳහා මුදල් යෙදවීය.

නමුත් ට්‍රම්ප් මේ වනවිට වෙනත් ආකාරයකින් ගැටලුවට එළඹීමට තීරණය කර ඇත. එනම් ගෝලීය ක්‍රමයේ සියුම් සමබරතාවය නොසලකා හරිමින් ඔහු එක්සත් ජනපදයට “අයුක්තියක්” ලෙස ඉදිරිපත් කළ හැකි අංග කෙරෙහි අවධානය යොමු කර ඇත. උදාහරණයක් ලෙස ගෘහස්ථ රැකියා අඩු කරන, දැවැන්ත ආනයන අඩු කරන ප්‍රතිපත්තියක් කරා ඔහු ගමන් කළේය. එහෙත් ට්‍රම්ප් “අයුක්තිය” ලෙස තීරණය කරන්නේ හුදෙක් එක්සත් ජනපදයට ලාභ ලබා දී ඇති පද්ධතියක කොටසකි; එක්සත් ජනපදය භාණ්ඩ ඵලදායි ලෙස දේවල් ආනයනය කිරීමෙන් සහ ඒ සඳහා ණය වලින් ගෙවීමෙන් හා මුදල් මුද්‍රණය කිරීමෙන් ලෝකයෙන් සොරකම් කරමින් සිටියේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ට්‍රම්ප් සිය වෙළඳ යුද්ධවලදී වංචා කරයි. එනම් එක්සත් ජනපදය දිගටම ගෝලීය බලවතෙකු ලෙස සිටීම ඔහුට අවශ්‍ය නමුත් ඒ සඳහා නාමික මිල පවා ගෙවීම ප්‍රතික්ෂේප කරයි. ඔහු ගෝලීය බලවතෙකු ලෙස ක්‍රියා කරන අතරම එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට නිර්දය ලෙස වරප්‍රසාද ලබා දෙමින් ඔහුගේ “ඇමරිකා පළමු” මූලධර්මය අනුගමනය කරයි. ට්‍රම්ප්ගේ නවතම ව්‍යායාමය වන්නේ සඳට ගොස් කැනීම් කටයුතු කොට කනිජ ද්‍රව්‍ය ගෙන ඒමය. ඒ සඳහා ඒකාධිකාරී බලය සහ අයිතිය ඇත්තේ ඇමරිකාවට පමණක් බව කියා සිටී.

මේ වන විට ඩොලරයේ තත්වය එසේය.

අවසාන වශයෙන් සහ මේ හේතුව නිසා, ස්වාමි-හැඟවුම්කාරකය යනු විශේෂයෙන් අරගලයේ හා දෘෂ්ටිවාදාත්මක අභිමුඛනයේ භූමියයි. එසේ වුවත්, දෘෂ්ටිවාදය පිළිබඳව ඕනෑම විශ්ලේශනයක පරමාර්ථය යනුවෙන් දෙයක් නොමැති අතර සත්‍ය වශයෙන්ම ඒවා කෙසේද යන්න පෙන්විය නොහැකි සේම විශ්ලේෂණය සැමවිටම නිල ස්වාමි කතිකාව( discourse of the master ) තුළ පවසා ඇති දෙයට එදිරිව හෝ නැතහොත් නියෝජනය වන ලද දෙයට එරෙහිව වේ.

“වියමනට පිටින් කිසිවක්” නොමැති බැවින්, දෘෂ්ටිවාදය සහ එහි විචාරය පොරබදිය යුතුම වන්නේ සහ පිහිටිය යුතුම වන්නේ හැඟවුම්කාරකයේ මාධ්‍යය තුලය. ආනුෂංගික වශයෙන්, “දෘෂ්ටිවාදාත්මක ප්‍රාසාදයක් විශ්ලේෂණය කිරීමේ තීරණාත්මක පියවර වන්නේ, එය එකට තබා ගන්නා මූලඅවයවයන්හි විශ්මය ජනක තේජස පිටුපසින්, මෙම ස්වයං-ප්‍රඥාපානීය, පුනරුක්ත්‍යාත්මක, සම්පාදක මෙහෙයුම” මගින් සුවිශේෂී ස්වාමි-හැඟවුම්කාරකයක් විසින් මායිම් නියම කිරීමට වීම සහ සමස්ත ක්ෂේස්ත්‍රයම පාලනය කරන්නට පැමිණේ යන්න මෙසේ අල්ලාගැනීමය.

 
 
 
 
 
 
 
 
 
 
 

1 thought on “ඇමරිකන් ඩොලරයේ මැජික් බලය

Leave a Comment