ජාතිකවාදී මුග්ධයෝ

පරිසර නීති ඉවත් කල යුතු බව ගෝඨාභය පවසයි. “නීති රීති නිසා ගඟෙන් වැලි කූඩයක් ගොඩ දා ගන්න, වෙළෙන් මැටි ටිකක් අරගෙන ගඩොලක් පුච්චගන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියනවා. මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් කල යුතයි” යනුවෙන් ගෝඨාභය විසින් පවසා ඇත. ඔහුට ඡන්දය දුන් අති මහත් බහුතරයකගේ මෙන්ම ඡන්දය නොදුන් අති මහත් බහුතරයද එම යෝජනා වලට ඉතා කැමැත්තක් දක්වයි. එසේ නීති ඉවත් කිරීම සඳහා සූදානම් වීම හේතුවෙන් නලින් ද සිල්වා ප්‍රමුඛ ජාතිකවාදීන් උත්කර්ෂයට පත්ව ඇත. ඒ ගෝඨාභය විසින් කරමින් සිටිනුයේ තමන් න්‍යායිකව(පරිකල්පනීයව) ගොඩනගන ලද සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය කරා ගමන් කිරීමය යනුවෙන් සිතාය. එසේම එයට ‘සංවර්ධිත’, ‘දියුණු’ සිංහල බෞද්ධ ජාතික රාජ්‍යක් අපේක්ෂා කරනා ජාතිකවාදීන්ද කැමැත්තක් දක්වයි. නමුත් දෙපාර්ශවය න්‍යායිකව සමපාත නොවේ.

පවතින අකාරයේ නීති රීති සම්පාදනය අවශ්‍ය වූයේ කූඩ වලින්, උදැල්ලෙන් වැලි, මැටි ගොඩ දමා ගෙයක් සාදා ගන්න මිනිසුන් සිටින කාලයේ නොවේ. එකල නීති රීති අවශ්‍ය නොවීය. එසේ වැලි, මැටි, පස්, ගල් හෝ ගස් කැපීම එකල ප්‍රශ්නයක් නොවීය. දැන් වැලි, පස්, මැටි හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් කරනුයේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙනි. ඒ මහා පරිමාන සංවර්ධන ව්‍යපෘති මෙන්ම පුරවැසියන් සියලු දෙනාගේම බලාපොරොත්තුව හොඳ විශාල නිවසක් ඉදිකොට ගැනීම සහ අලංකාරවත් ගෙවත්තක් නිර්මාණය කොට ගැනීම බැවිනි. එසේම වාණිජ වටිනාකමකින් යුතු භූමි ගොඩ කිරීම සඳහා විශාල වශයෙන් පස්, ගල් වැලි වැනි දෑ අවශ්‍ය වේ.

අධ්‍යතන ධනවාදය ගමන් කිරීම සිදුවන්නේ සෞන්දර්යකරණය තුලින්ය. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සඳහා හැරුන විට පස්, වැලි, ගල්, ගස් කැපීම, වැනි දෑ ප්‍රධාන වශයෙන්ම අදාළව ඇත්තේ එවැනි සෞන්දර්යකරණයන් සඳහාය(ලෝක පරිමාණයෙන් සිදු වන කනිජ ද්‍රව්‍ය නිස්සරණය වැනි දෑ ලංකාවට එතරම් අදාළ නැත). ගෝඨභයගේ පරිසරවාදයේ මූලික අංගයක් වන්නේ නගර අලංකරණය සඳහා ගස් වැවීම සහ ඒ නගර කුණු රොඩු නොමැතිව පිරිසිදුව තබාගැනීමයි.

පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් ලෙස, පස් කඳු කැපීම, කැනීම හෝ පස් ඉවතට ගෙනයාම ගතහොත් පස් කඳු කැපීමේදී හෝ පස් කැනීම් කටයුතු වලදී ‘භූ විද්‍යා, කැනීම්, සාමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැනීම් බලපත්‍රයක් අනීවාර්යයෙන්ම ලබාගත යුතුය. ඊට අදාළ නීති රීති මෙසේය.

* කැනීම් භූමිය තුල අඩි 8ට වඩා උස් කන්දක් නිර්මාණය වන්නේ නම් මීටර් පහක ආරක්‍ෂිත සීමාවක් සහ ඉන් පසුව අංශක 45ක බෑවුමක් තැබිය යුතුය.

*අඩි අටෙන් අටට අඩි තුනක සමතලා තිරස් තීරුවක් ඉතිරි කල යුතුය( එනම් අඩි 16ක් උස නම් ඊළඟ අඩි අටේ සීමාවා තුල ). එම සමතලා තිරස් තීරුව කොන්ක්‍රීට් කල යුතු අතර වතුර බැස යාම සඳහා කාණුවක් දැමිය යුතුය.

* ඉහත සඳහන් කල සීමාවල් තැබීම සඳහා හේතු පාදක වී ඇත්තේ, ස්වභාවිකව කඳු නිර්මාණය වී ඇත්තේ අංශක 45 බෑවුම් සිටින පරිදි වන අතර එම අංශක 45 අකාරය වෙනස් කළහොත් දිගින් දිගටම කන්ද කඩාවැටීම හෝ නාය යාම නොවැලැක්විය හැකි නිසා සහ යාබද ඉඩමේ ආංශික අදාරකය ඉවත් වන බැවිනි. ඒ අනුව යාබද ඉඩමේ ආංශික ආදරකය සඳහා මීටර් 5ක සීමාවක් මෙන්ම අංශක 45ක ආනතියක්ද අනීවාර්යෙන් පවත්වාගත යුතු මෙන්ම අඩි 16ට වඩා වැඩි වන්නේ නම් තවත් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගත යුතුය.

* එසේම අදාළ පනතට අනුව නීති සකස් වී ඇත්තේ තිරිසන් සතෙකු හෝ අඩි අටකට වඩා පහලට කෙලින්ම වැටීම සිදු වන පරිදි මිනිසුන් විසින් කඳු නිර්මාණය නොකළ යුතුය යන පදනම මතය.

* භූ විද්‍යා, කැනීම්, සාමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ කැනීම් බලපත්‍රයට අමතරව අදාළ කාර්ය සිදු කිරීම සඳහා ‘ජාතික ගොඩනැගිලි පර්යේශන සංවිධානයේ’ නිර්දේශද ලබා ගත යුතුය. ඉහත නීති කෙසේ වෙතත් නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල කෙසේවත් එවැනි ක්‍රියා කල නොහැකිය.

ඉහත නීති සම්පාදනය වී ඇත්තේ කඳු කැපීම නිසා ඇති වන තත්වයන් නැවත ලේසියෙන් සංස්කරණය කල නොහැකි මිනිස් ක්‍රියා බැවිනි. ඒ අනුව පස් කැපීම, ගල් කැඩීම, වැලි ගොඩ දෑම, පතල් හැරීම, වැනි කටයුතු වලදී ඉහත සඳහන් කල ක්‍රියා පටිපාටිය අනුගමනය කල යුතුය.

වන රක්ෂිත, කඩොලාන, වෙරල සංරක්ෂණය සහ එහි සීමා, ගංගා, ඇල දොළ වලට අදාළ සංරක්ෂිත සීමා, ව්‍යාපාර කටයුතු කිරීමේදී ලබා ගත යුතු පරිසර බලපත්‍ර වැනි මෙකී නොකී සියලු දෑ රටේ මිනිසුන්ට කරදරකාරී දේවල්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පුරවැසියන් තම ස්වයං අනන්‍යතාවය සොයනුයේ ජාතිය, රට, නිදහස, නිදහස් වෙළඳපොල, සංවර්ධනය, දියුණුව, උගත් කම, තෝරා ගැනීමේ නිදහස, නගර වල ජීවත්වීම, ‘යහපත් පුරවැසියා’ හෝ තම දුවා දරුවන් ‘යහපත් පුරවැසියන්’ බවට පත් කිරීම යන තවත් බොහෝ දෘෂ්ටිවාදාත්මක පෙළගැස්වීමේ ස්ථාන ලෙස සේවය කරනා ස්වාමි හැඟවුම්කාරක(master signifiers) තුලය. එහි ‘ප්‍රමෝදය’ සංවිධානය කිරීමට අදාළ කටයුතු සඳහා දැන් ක්‍රමයෙන් ත්‍රිවිද හමුදාව යෙදවෙන්නේ ජාතික රාජ්‍යය සුභසාදනය සඳහා වන එහි අන්තයේ දී, “ඔබ වෙනුවෙන් මිය යාමට පවා සූදානම් පිරිස” ලෙස වන ‘ස්වාමි හැඟවුම්කාරකයක්’ ස්ථාපිත කරමිනි. ඒ අනුව ‘බෙදුණු ආත්මය’ තම අනන්‍යතාවය ආයෝජනය කරන්නේ ඕනෑම දෙයක් ‘ස්වාමි හැඟවුම්කාරකයක්’ වන හෝ තදින් එකට වෙලුනු ‘ස්වාමි හැඟවුම්කාරක’ ජාලයක් තුලය. ඒ අනුව මෙහි ඕනෑම ප්‍රධාන ක්‍රියාවක් සඳහා වන පුරවැසියෙකුගේ තර්කය එම පුරවැසියාගේ අනන්‍යතාවය සමඟ එම පුරවැසියාට අදාළ ‘ස්වාමි හැඟවුම්කාරකයන්ට’ සම්බන්ධිත වේ.

ඉහත විස්තර කල තත්වය පැහැදිලි කිරීම සඳහා නැවතත් උදාහරණයක් ලෙස පස් කැපීම ගතහොත්, ඒ අනුව, ඉහත සඳහන් කල නීති රීති එසේ යැයි යාබද ඉඩමේ පස් කැපීම නිසා අවධානමට ලක්ව ඇති ඉඩම් හිමියා හෝ විශ්වාස නොකරනවා සේම එම නීති වල සීමාවල් වැඩි යයි ඔහුම සිතයි. ඒ මීටර් 5ක සීමාවක් තබා අංශක 45ක බෑවුම සිටින සේ කන්දක් කපන විට විශාල භූමි ප්‍රමාණයක් අපතේ යනවා යයි ඔවුන් සිතන බැවිනි. එම සිතීම සකස් වී ඇත්තේ ඉඩම් සඳහා වන වාණිජ වටිනාකම තුලය. එනම් පර්චස් 50ක ඉඩමක් ගතහොත් පර්චස් 25ක සීමාවේ පස් ඉවත් කිරීමට අවශ්‍ය නම් කන්දේ උස ප්‍රමාණය අනුව, ආරක්‍ෂිත සීමාව තැබූ පසු, භාවිතයට ගත හැකි හැකි සීමාව ඉඩමේ ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රමාණයක් විය හැකිය.

මහා පොලව, ගහකොළ සතා සිව්පාව පිලිබඳ තත්වය වර්තමානයේ දෘෂ්ටිවාදිය. ඒ අනුව බොහෝ දෙනෙකුට ඉහත නීති රීති වැඩකට නැති අනවශ්‍ය ඒවාය. එම නීති ඉවත් කිරීමෙන් අති මහත් බහුතර මිනිසුන් සතුටට පත් වනු ඇත. දියුණු යැයි සම්මත සහ දිවුණු වෙමින් පවතිනවායයි කියනා ලෝකය පුරා සිදුවන්නේ එයයි. ගෝඨාභය කරමින් සිටිනුයේ එම ලෝක පටිපාටිගත වීමට ලංකාව යොමු කිරීමයි. නමුත් දේශපාලන මුග්ධයින් වන ජාත්කවාදීන් සිතනුයේ ගෝඨාභය අතින් සිදු වන්නේ ‘විජාතික බලපෑමෙන්’ ‘රට’ නිදහස් වීමය යන්නයි.

සංවර්ධන ගියරයේ ගමන් කිරීමේදී ප්‍රධානතම බාධාවල් වන්නේ ඉහත සඳහන් කල අකාරයේ නීති රීතිය. පොහොට්ටුවට සහාය දක්වන ලද අතිමහත් බහුතර මෙන්ම එසේ නොකළ අතිමත් බහුතරයද ඉහත අකාරයේ නීති රීති අවශ්‍ය නොවන බව පවසන අයයි.

තවත් උදාහරණයක් ගන්නේ නම්, වාහන සර්විස් ස්ටේෂන්ස් පවත්වා ගෙන යාමේදී පරිසර නිලධාරීන්ට අල්ලස් දීමට සිදු වී ඇත්තේ ඒවාට අදාළ දැඩි නීති රීති නිසා බව එවැනි ආයතන වල හිමි කරුවෝ පවසති. එසේම ඒ ආයතන වලින් සේවය ලබා ගන්න වාහන හිමියන් මෙන්ම අනාගතයේදී වාහන හිමියන් වීමට බලාපොරොත්තු වන අයගේ මෙන්ම වාහනයක් ගැනීම තම දරුවන් සඳහා කල් දමා ඇති අයගේද මතය එයයි. අවශ්‍ය නම් තවත් බොහෝ උදාහරණ දිය හැකිය.

ගෝඨාභය බලාපොරොත්තු වන්නේ ඉක්මන් සංවර්ධනයකි. එය චීනය පන්නයේ එකක් ලෙස පෙනේ. මේ නීති ඉවත් කල යුතු බව පවසන්නේ එබැවිනි. නීති රීති, පරිසරවාදය හෝ පරිසර විද්‍යාව මගින් පරිසරය ආරක්ෂා කිරීමට සිදුවන්නෙම පරිසර විනාශය පවත්වා ගන්නා බැවිනි. ඒ අනුව නීති රීති සහ පරිසර විද්‍යාව තිබෙනතාක් දුරට පරිසරය විනාශ වනු ඇත ( වැඩි දුර විස්තර සඳහා “පරිසරවාදී අබිං කෑම” ලිපිය කියවන්න). නමුත් ගෝඨාභය නීති රීති ඉවත් කිරීමට උත්සාහ කරන්නේ වැඩි වැඩියෙන් පරිසර විනාශය කරගෙන යාම සඳහාය. ඒ පරිසර විද්‍යාව යටතේය. එනම් ගෝඨාභයගේ සිතීම සකස් වී ඇත්තේ ‘විශ්ව විද්‍යාල කතිකාව’ ට (university discourse) අනුකූලවය.

දැන් ගෝඨාභයට ගිනි පිඹින නලින් ද සිල්වා පාර්ශවය ගෝඨාභයගේ මේ නීති ඉවත් කිරීම යහපත් බව පවසන්නේ ගෝඨාභය යටතේ රට ක්‍රමයෙන් විජාතික අධිකාරීත්වයකින් තොර සමාජයක තත්වයට ගමන් කරමින් තිබෙනු ඇතැයි සිතා විය යුතුය. ඔවුන් එතරම්ම දේශපාලන මුග්ධයින්ය. ජාතිකවාදී දේශපාලන මුග්ධයින් කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ නලින් ද සිල්වාගේ ‘සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය’ කරා ගමන් කල යුතුය කියන පිරිස සහ සංවර්ධනයේ සහ දියුණුවේ උපරිමයට යන ජාතික රාජ්‍යක් ගොඩනැගිය යුතුය කියන ප්‍රධාන පිරිස් දෙකයි. මින් සුළුතරය වන්නේ නලින්ද සිල්වාගේ ගොඩය. නමුත් ජාතිකවාදී එකමුතුවේදී සුළුතරයේ සහ බහුතරයේ මතවාදී විභේධනය දෙපාර්ශවයටම එතරම් අදාලත්වයක් නොමැත. රාජ්‍යය පාලනයේදී ඍජුව අදාළ වන්නේ නලින්ද සිල්වාගේ පාර්ශවය නොවේ. එහිදී නලින් ද සිල්වාලා සැලකෙන්නේ පිස්සන් ලෙසය(බැසිල් රාජපක්ෂ එසේ කියා තිබුණි). ඒ අනුව ඔවුන් නොසලකා හැරේ. රාජපක්ෂ පාලනයට ඔවුන් අවශ්‍යව ඇත්තේ යම් සැරසිල්ලක් අකාරයටය.

1 thought on “ජාතිකවාදී මුග්ධයෝ

Leave a Comment