නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට “ජාතික චින්තනය: ඉතිහාසය සහ දේශපාලනික වැදගත්කම” නමින් පර්යේෂණ ලිපියක් ලියන නිර්මාල් රන්ජිත් දේවසිරි එහි සමාලෝචනයේ දී මෙසේ ප්‍රකාශ කරයි.
“ජාතික චින්තනය කතිකාව ආරම්භ වූයේ පවත්නා ධනවාදී සමාජ ආර්ථික ක්‍රමයට විකල්පයක් කෙරෙහි වන මාක්ස්වාදී ගමන් මගට විකල්පයක් පොරොන්දු වෙමින් වුවත්, එය එයින් අපගමනය වූ අතර ඒ වෙනුවට දෙමළ වාර්ගික-ජාතිකවාදී දේශපාලන ඉල්ලීම්වල වර්ධනය වෙමින් පැවති ශක්තියටත්, ඒ ඉල්ලීම්වලට සහය දුන් බුද්ධිමය කතිකාවටත් ප්‍රති බලයක් යෙදීම සඳහා 1990 ගණන්වල අග භාගයේ පැන නැගෙමින් තිබූ නව සිංහල-බෞද්ධ වාර්ගික-ජාතිකවාදයට බුද්ධිමය නායකත්වයක් සැපයී ය. […] රාජපක්ෂ රෙජීමය අධිපති ආර්ථික සංවර්ධන මොඩලයට දැඩි ලෙස ගැලී සිටිය දී පවා ජාතික චින්තනය එයට සහය දුන්නේ ය. සිංහල බෞද්ධ ජනයා වෙත ඇමතීමට ජාතික චින්තනයට ඇති හැකියාව මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දුන් දේශපාලන සංධානය සමග යළි හැරවිය නො හැකි ලෙස බැඳී තිබූ හෙයින් ජාතික චින්තනයට රාජපක්ෂ කෙරෙහි වන සහය නැවත්වීම දුෂ්කර විය. […] කෙසේ වෙතත්, ජාතික චින්තනය මුහුණ දෙන අභියෝගය වන්නේ විකල්ප සමාජ-ආර්ථික ක්‍රමයක් පිළිබඳ දැක්මක් සඳහා වූ එහි සමාරම්භක පොරොන්දුව සහ සමාජ-ආර්ථික සංස්ථාපිතය නඩත්තු කිරීමට කැපවී සිටින දේශපාලන බලවේග සමග එහි දැනට පවතින පයිරුපාසනය අතර එන්ට එන්ට ම පළල් වන පරතරය පිළිබඳ ප්‍රශ්නය යි.”
මේ ලිපිය ප්‍රකාශයට පත් කර තිබුනේ පසුගිය හතර වන දා ය. ඊට පසු දින කාලය වෙබ් අඩවියෙහි පළ කෙරුණු ලිපියක නලින් ද සිල්වා ( http://www1.kalaya.org/2018/10/blog-post_5.html ) මෙසේ පවසයි.
“එක් පඬියකු කියලා තිබුණ පත්තරේ නිකුත් වීමට යෑම නලින් ද සිල්වාගෙ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය කියලා. ඔහු නොදැනීම ඇත්තක් කියල තිබුණ. මේ රටේ මගේ නො වන මගේ ම දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මේ පඬියන්ටත් චතුස්කෝටික ප්‍රකාශ කරන්න වෙලා. මා සමාජයෙන් පිටස්තර ව ඉන්න එක්ක ඇත්ත. එහෙත් සමාජයට මගෙන් යම් බලපෑමක් වෙනවා.”

ඔහු මේ ප්‍රකාශය කරන්නේ දිලිත් ජයවීර විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අරුණ පුවත් පත එලි දැක්වීමේ අවස්ථාවට ඔහු සහභාගී වූ ඡායාරුප මුහුණු පොතෙහි සංසරණය වීම සහ ඒ සම්බන්ධයෙන් දක්වා තිබූ ප්‍රතිචාරවලට ප්‍රති-ප්‍රතිචාරයක් ලෙස යි.
දැන් අපට විවෘත ප්‍රශ්නයක් නැගිය හැකි ය. නිර්මාල් කියන්නේත් නලින් කියන්නෙත් එකක් ම ද ? නැත්නම් ඒ දෙක දෙකක් ද? මේ ප්‍රශ්නයට අප යෝජනා කරන පිළිතුර නම් නිර්මාල් නිශේධනීය අර්ථයකින් ලියන දෙය ම නලින් සාධනීය අර්ථයකින් ලියා ඇති බව යි. වෙනත් ලෙසකින් කිව හොත් මේ දෙදෙනා ම චතුස්කෝටිකයට අනුව ලියා ඇත්තේ නලින් ද සිල්වාගේ නො වන නලින් ද සිල්වාගේ ම දේශපාලනය ගැන ය. එහෙත් අප විසින් මග නො හැරිය යුතු වැදගත් කරුණක් තිබේ. එනම්, නිර්මාල් අහිමිවීම සලකුණු කරන අතර නලින් හිමි වීම සලකුණු කරන බව යි. මේ ලිපියට කලින් ආසන්න මාස කිහිපයේ දී නලින් ද සිල්වා කාලයට ලියූ ලිපි කියවන විට යෙමෙකුට හමුවන්නේ මේ දැන් ඔහු කියන දෙයෙහි ප්‍රතිපක්ෂය යි. ඔහු නිතර කනස්සලු සහගත ලෙස මැසිවිලි නැගුවේ තමා ලියන දේ වැඩකට නැති බවත් කිසිවෙකුත් ඒවා පිළිනොගන්නා බවත් කියමිනි. මේ කනස්සලු සහගත ලිවීමෙහි උපරිමයට පැමිණි එක අවස්ථාවක ඔහු තමා ලිවීම නවතා දමන බව ද නිවේදනය කළේ ය. එනම්, නිර්මාල් සලකුණු කළ අහිමිවීම නලින් විසින් ම සලකුණු කරණු ලැබ තිබේ. එහෙත් දැන් ඔහු කියන්නේ තමා බලපෑම් සහගත පුද්ගලයෙකු බව යි. පහත ප්‍රකාශ ඊට නිදසුන් ය.
“ඔවුන් කැමතියි සමාජයට මගෙන් ඇති බලපෑම නවත්වන්න. ඔවුන් හිතනවා ඒ නැවතිලා කියා. එහෙත් අරුණෙන් ලැබුණු ආරාධනයෙන් ඔවුන්ට තම හිතළුව වැරදි බව තේරිලා.”
“මේ රටට මගේ බලපෑම ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒක මගේ වැඩක් නො වෙයි”
“මා සමාජයෙන් පිටස්තර ව ඉන්න එක්ක ඇත්ත. එහෙත් සමාජයට මගෙන් යම් බලපෑමක් වෙනවා.”
මේ ප්‍රකාශවලින් හෙළි කෙරෙන ආකාරයේ බලපෑමක් ලංකා සමාජයට සිදු නො කළ දේශපාලන ව්‍යාපෘතිය කුමක් ද? ඒ අර්ථයෙන් ගත් විට ලංකා සම සමාජ පක්ෂය ඇතුළු වාමාංශික ව්‍යාපාරය ලංකා සමාජයට කර ඇති බලපෑම නලින්ගේ බලපෑම මෙන් සිය ගුණයක් නො වන්නේ ද? තමන්ගේ බලපෑමෙහි තරම පෙන්වනු සඳහා නලින් ඉදිරිපත් කරන එක් කරුණක් වන්නේ “මේ පඬියන්ටත් චතුස්කෝටික ප්‍රකාශ කරන්න” සිදු වී තිබීම යි. මෙ වන් ප්‍රකාශ මගින් ඇත්ත වශයෙන් ම හෙළිවන්නේ නලින්ගේ අදහස්වල සර්වව්‍යාපී ( omnipresent ) බව ද?
පැරණි X කණ්ඩායමෙහි බිඳී විසීරී යාම පිළිබඳ ජනප්‍රිය අදහස වන්නේ එය අභ්‍යන්තරික පුපුරා යාමක් බව යි. නමුත් ඒ ජනප්‍රිය අදහසට වෙනස් ව එය විසින් ඉදිරිපත් කළ අදහස් සහ විවේචන ශිඝ්‍රයෙන් සමාජගත වීම නිසා ම එහි පැවැත්මේ කොන්දේසි අහෝසි කෙරුණු බව යමෙකුට තර්ක කළ හැකි ය. මාධ්‍ය, විශ්වවිද්‍යාල, සංස්කෘතික හා කලා ව්‍යාපාර විසින් ඒ අදහස් හා විවේචන අවශෝෂණය කරගත් වේගය නිසා ම එය සර්වව්‍යාපී ලෙස පෙනී සිටියේ ය. එහෙත් සැබවින් ම ඒ සර්වව්‍යාපී බව විසින් උත්ප්‍රාසාත්මක ලෙස එහි බෙලහීනතාව ද සලකුණු කෙරිණ. දැන් නලින් ද සිල්වා ද තමන්ගේ අදහස්වල සර්වව්‍යාපී බව පෙන්වන විට අනෙක් අතට සලකුණු වන්නේ ඔහුගේ බෙලහීනතාව, එනම් තව දුරටත් පැවැත්මේ කොන්දේසි අහිමි කෙරුණු තත්වයක් ද? “අරුණෙන් ලැබුණු ආරාධනය” පිළිබඳ සඳහන හුදෙක් පුද්ගලයෙකු වශයෙන් නලින් ද සිල්වා පත් ව ඇති ඛේදජනක තත්ත්වය ගැන ( ඔහු වරෙක මෙය සිය සිසුන්ගේ සුහඳ ආරාධනයක් නිසා සහභාගී වූවක් බව ඉඟි කරන නමුත් මේ ප්‍රකාශයෙන් හෙළි වන්නේ ඊට සපුරා වෙනස් දෙයකි) ප්‍රකාශමාන වීමක් පමණක් නො ව මේ බෙලහීනතාව පිළිබඳ ප්‍රකාශමාන වීමක් ද වෙයි. පාඨලී චම්පික රණවක (නලින් මේ නම ලියන්නේත් විමල් වීරවංස එය උච්ඡාරණය කරන්නේත් චම්පක ලෙස ය. නාකියා කීම අපහාසයක් ලෙස දකින නලින් පුද්ගල නාමයකට අශ්ලිලාර්ථ ගැන්වීම අපහාසයක් ලෙස දකින්නේ නැත. එසේ ම මේ ලිපියේ දී මත් ඔහු “පඬි පෝතකයා” යනුවෙන් යොදන්නේ අපහාසාත්මක ව ය. අනෙක් අයගේ විශ්ලේෂණාත්මක හැකියාව ප්‍රශ්න කරන නලින්ට නාකියා/පෝතකයා බයිනරියෙහි එක් පැත්තක් අපහාසාත්මක වන විට එහි අනෙක් පැත්ත ද එසේ වන බව වැටහෙන්නේ නැත.) ද ඇතුළු නලින්ගේ දේශපාලනයේ නලින්ගේ නො වන ස්වරූප විසින් නලින්ගේ දේශපාලනයෙහි බෙලහීනතාව සලකුණු කරණු ලැබ තිබේ. එහි අවසන් ස්වරූපය දිලිත් ජයවීරගේ ස්වරූපය වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ ඔහු විසින් එය විකුණා දැමිය හැකි නම් විකුණා දැමීමට නියමිත නිසා ය.
ඊ ළඟට වැදගත් වන්නේ මාධ්‍ය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ නලින් ද සිල්වාගේ දේශපාලන අවබෝධයෙහි පටු බව මෙයින් මොනවට හෙළිදරව් වීම යි. එපමණක් නො ව නලින්ගේ නො වන නලින්ගේ ආශාව ද මෙහි දී එළියට එන්නේ පෑන ලිස්සා යන තැන්වලිනි. එසේ පෑන ලිස්සා ගිය තැන් කිහිපයකි මේ. ලිපියෙහි පෑන ලිස්සා ගිය තැන්වලින් මේ අවිඥානය එළියට පනියි.

“එහෙත් අරුණෙන් ලැබුණු ආරාධනයෙන් ඔවුන්ට තම හිතළුව වැරදි බව තේරිලා.”
“දිලිත් හා මාධව මට අරුණෙ තියා දෙරණෙවත් ඉඩක් දෙන්නෙ නැහැ.”
“ඒ වුණත් දිලිත් මට අරුණ පත්තරේට ලියන්න ආරාධනා කරන එකක් නැහැ.”
“මේ රටට මගේ බලපෑම ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒක මගේ වැඩක් නො වෙයි. දවසක අරුණ පත්තෙරේ ඒ ගැන කියාවි.”
“මගේ නොවන මගේ ම දේශපාලනයක් මෙරට ක්‍රියාත්මක වෙනවා. දිලිත්ට පමණක් නොව පඬියන්ටත් ඉන් ගැලවෙන්න බැහැ.”
නලින් ද සිල්වාගේ දීර්ඝ කාලීන කනස්සලක් වන්නේ මාධ්‍ය මගින් ඔහුට ඉඩ ලබා නො දෙන බව යි (මේ ප්‍රකාශ කරන තැන්වල ඔහු විශේෂයෙන් දෙරණ ගැන ද සඳහන් කරයි.). එසේ ඉඩ ලබා දුන්නා නම් තමාට තම අදහස් විශාල ලෙස සමාජගත කිරීමට හැකි ව තිබූ බව ඔහු විශ්වාස කරන බවක් ඔහුගේ ප්‍රකාශවලින් ගම්‍ය වෙයි. දිලිත් විසින් තමා සහ තම අදහස් වැදගත් කොට සලකනු ලබන්නේය යන හැඟීම විසින් ඔහු තමාට ම වටිනාකමක් එක් කර ගනී. “අරුණෙන් ලැබුණු ආරාධනයෙන් ඔවුන්ට තම හිතළුව වැරදි බව තේරිලා.” යනුවෙන් ඔහුට ලියවෙන්නේ එහෙයිනි. ඇත්තට ම ගත් විට දෙරණෙන් ලැබුණු ආරාධනය විසින් “මගේ අදහස්වල බලපෑමක් නැහැ” යන “හිතළුව” වැරදි බව සිතා ගන්නට අවස්ථාවක් ලැබී ඇත්තේ නලින්ට ම ය. ඒ නිසා දැන් “දිලිත් හා මාධව මට අරුණෙ තියා දෙරණෙවත් ඉඩක් දෙන්නෙ නැහැ.” වෙනුවට ලිය විය යුත්තේ “දැන් නම් දිලිත් සහ මාධව මට අරුණේ මෙන් ම දෙරණේ ද ඉඩ දෙනු ඇත” කියා ය. “ඒ වුණත් දිලිත් මට අරුණ පත්තරේට ලියන්න ආරාධනා කරන එකක් නැහැ.” ලෙස ලියවී ඇත්තේ “දැන්නම් දිලිත් මට අරුණ පතරේට ලියන්න ආරාධනා කරාවි” යන්න ය. අවසන් වශයෙන් ඔහු සිය දේශපාලන වයපෘතියෙහි අනාගත ඉරණම භාරදෙන්නේ තමළු මලිත්ත පියදිගමට නො ව මාධ්‍ය අවකාශයට ය. “දවසක අරුණ පත්තෙරේ ඒ ගැන කියාවි.” යයි ඔහු ඔහුට ලියවෙන්නේ එබැවිනි. “මගේ නො වන මගේ ම දේශපාලනයක් මෙරට ක්‍රියාත්මක වෙනවා. දිලිත්ට පමණක් නොව පඬියන්ටත් ඉන් ගැලවෙන්න බැහැ.” යනු එහි ප්‍රකාශමාන තලයෙහි පෙනෙන උද්ධච්චභාවයට වෙනස් ව බෙලහීනතාවෙහි පූර්ණ ප්‍රකාශනයකි. දැන් ඇත්තට ම සිදු වී ඇත්තේ දිලිත්ලාගේ මාධ්‍ය-වෙළඳ අවකාශයෙන් නලින්ට වත් ගැලවී සිටීමට නො හැකි වීම ය.
මාධ්‍ය පිළිබඳ විවේචනය හොඳ-නරක පිළිබඳ සදාචාරවාදයක් නො වන බව වත් නලින් ද සිල්වාට නො තේරෙයි. ඉතින් ඔහුට අන්තර්-මුහුණත ( Interface ) හෝ අන්තර්-අකර්මන්‍යතාව ( Interpassivity ) වැටහෙන්නට කිසිදු ඉඩක් ඇත්තේ නැත.

Leave a Comment