මේ මද්‍යපානේ තියන ජොලිය

මීගමුවේ පාසලක ලෝක ළමා දිනය නිමෙත්තෙන් තිබූ උත්සවයක දී “මේ මද්‍යපානේ බීමේ ජොලිය” ගීතයට අදාළ සිදු කල නර්තනයක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. එම ගීතය පමණක් නොව මෙතෙක් කිසි දිනක පාසල් වල වාදනය නොවූ එවැනිම ගීත සහ නැටුම් ආකෘති මෙවර ලෝක ළමා දිනයේදී සන්දර්ශනීය ලෙස රඟ දැක්වුණි.

 

ගීතිය සහ නර්තනය සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පළාත් අධ්‍යාපන කාර්යාලය තීරණය කල ද එය ව්‍යර්ථ වී ඇත්තේ මේ වන විට සියලු ගුරු සංගම් අදාළ විනයානුකූල ක්‍රියාමාර්ගයට එරෙහිව එකට එක් වීම තුල සහ සමාජ මාධ්‍ය වෙතින් නර්තනයට පක්ෂපාතව අදහස් ප්‍රකාශ වීම තුලය. මෙය විප්ලවීය වෙනසකි.

 

ලංකාවේ පාලන බලය හිමි පක්ෂ වලට අනුව ධනවාදය ඉදිරියට ක්‍රියාත්මක වීමට නම් ලංකාව මේ වන විට කඩුල්ලක් පැනිය යුතු සන්ධිස්ථානයකට පැමිණ ඇත. ලාංකීය ධනවාදය ඉදිරියට ගමන් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය වී ඇත. රාත්‍රී ආර්ථිකයක් ගොඩනැගීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම වැනි ප්‍රමුඛතාවන්ට සාපේක්ෂව සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ස්ත්‍රීත්වයට නව අර්ථකතනයක් සහිත විප්ලවීය වෙනසක් අවශ්‍යව ඇත.

 

2016 වර්ෂය වන විට ලංකාවේ ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තික කාන්තා ප්‍රතිශතය ආසන්න වශයෙන් 34%ක් පමණ වේ. රැකියා වල නිරත විය හැකි වයසේ පසුවන තවත් 65%ක පමණ කාන්තා ප්‍රතිශතයක් ඉතිරිව ඇත.
2020 වර්ෂය වන විට ලංකාවේ පුරුෂ රැකියා වියුක්තිය 27%ක පමණ මට්ටමේය (එය 2016 වසරේදී 75.1කි). එනම් ඉන් පෙනී යන්නේ රැකියා වියුක්තිය මෙසේ සීග්‍ර ලෙස පහල වැටුනේ 2009 වසරින් පසුව බවය (මේ වන විට ඇති වී ඇති ආර්ථික කඩා වැටීම හමුවේ නැවතත් රැකියා වියුක්තිය ඉහල ගොස් ඇත).
ඒ අනුව ධනවාදයේ ඉදිරි පියවර තැබීමට නම් 65%ක් වන (මේ වන විට වැඩි විය හැකිය) කාන්තාවන් උරා ගත හැකි රැකියා ක්ෂේත්‍ර ඇති කල යුතුව ඇත. එසේම මේ වන විට නැවතත් ඉහල ගොස් ඇති පුරුෂ රැකියා වියුක්තිය තුල ඒ සඳහා වන නව රැකියා අවස්ථා ද ඇති කල යුතුව ඇත. නමුත් ප්‍රධාන වශයෙන් ශ්‍රම වෙළඳ පොලට උරාගත යුතුව ඇත්තේ කාන්තාවන්ය. නමුත් කාන්තාවන්ට අදාලව ලංකාව තුල නිර්මාණය කල හැකි රැකියා ක්ෂේත්‍ර මොනවාද යන්න තීරණය කිරීමේදී විශාල සංස්කෘතික වෙනසක් ඇති කල යුතුව ඇති බවක් ලිබරල් ආර්ථිකවේදීන්ට පෙනී යයි.
මේ වන විට ලෝක ආර්ථික අවපාතයක් හටගෙන ඇත. එවැනි තත්වයක් යටතේ පහසුවෙන් ආයෝජකයින් නොපැමිණෙනු ඇත. එසේ පැමිණෙනවා නම් පැමිණෙනුයේ ඉතාම ලාභ ශ්‍රමය, බදු සහන, පාරිසරික බදු සහන සහ පාරිසරික ප්‍රතිපත්ති ලිහිල් කිරීම වැනි තත්වයන් යටතේය. එසේම සේවා වැඩමුර පැය ගණන ඉතා ඉහල දැමිය යුතුව ඇත (අඩු තරමින් පැය 14ක කාලයක් දක්වා හෝ). නමුත් ප්‍රමුඛ සහ ප්‍රධානතම කාරණය වන්නේ ලංකාව යනු ඒ සඳහා සූදානමක් ඇති රටක් බව පෙන්වීම සහ ඊට අදාළ සංස්කෘතික වෙනසට අදාළ නීති රීති සම්පාදනය සිදු කිරීම කල යුතු වීමය.

කෙසේ වෙතත් ආයෝජකයින් නොපැමිණීමේ අවධානම ඉහල ගොස් ඇත. නමුත් යම් උද්දීපනයක් ඇති කිරීම සඳහා කාන්තාවන් බහුතරය ශ්‍රම වෙළඳපොළට උරා ගත හැකි වන්නේ ගණිකා වෘත්තිය, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, හෝටල් සේවය, (හෝටල් වල සේවය කරන පිරිමි බහුතරය වෙනත් නිෂ්පාදන රැකියා සඳහා යොමු කල හැකිය) වැනි කටයුතු තුලය.

ලාංකීය වාමාන්ශිකයින් රනිල්ට එරෙහි වුවද ඔවුන් තුලින් ක්‍රියාත්මක වන්නේ ඇත්තටම රනිල්ට පක්ෂපාත මෙහෙයුමකි (ට්‍රොස්කිවාදීන් විසින් ඍජුවම ප්‍රකාශ කරනුයේ ලංකාවේ සංස්ථාපනය විය යුත්තේ රනිල් වික්‍රමසිංහගේ පාලනයක් බවය). රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි සෑම අවස්ථාවකදීම උත්සාහ දරනුයේ සුඛපරමවාදය හැකි උපරිමයට වර්ධනය කොට ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය වෙත ඉඩ සැලසීමටය. 

ඒ අනුව 2002 වසරේ සිට පැනගත නොහැකි වූ කඩුල්ලක් පැනගැනීමට මෙවර රනිල් උත්සාහ දරමින් සිටී. එනම් රාජපක්ෂ පාලනයන් විසින් ධනවාදයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන, අවශ්‍ය අධෝව්‍යුහයන් ස්ථාපිත කොට ඇතත්, ඊට අදාළ නෛතික-සංස්කෘතික සීමාවන්ට, අදාළ ප්‍රශ්නය තවමත් ජයගත නොහැකිව තිබීමයි. රනිල් විසි වසරක් තිස්සේ ලතවෙමින් සිටිනුයේ එය සඵල කර ගත නොහැකිවය.

2002 වසරේ මෙන් නොව මේ වන විට අදාළ තත්වය ඉල්ලා සිටින සමාජයක් සංස්ථාපිතව ඇත. ඊට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ලාංකීය රූපවාහිනී සහ විදේශ රූපවාහිනී චැනලයන් ප්‍රමුඛ අනෙකුත් ජන මාධ්‍ය සහ අන්තර්ජාල භාවිතයේ පුළුල් ව්‍යාප්තියයි. ගෝල්ෆේස් ආතල්ගම තුලින් සංකේතවත් වූයේ එය ඉල්ලා සිටින්නන්ගේ කූටප්‍රාප්තික මර්මස්ථානයයි.

 

ලෝක ළමා දිනයට පාසල් වල ගුරුවරුන් විසින් නැටුම් ඉදිරිපත් කිරීම මේ වන විට ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම නැටුම් වල අන්තර්ගතය සහ සහභාගීත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ සිදු වී ඇති වෙනසයි. මීට වසර 40ත් 30ත් අතර කාලය ඇතුලත පාසල් ගිය අයගේ අත්දැකීම් වලට අනුව බැලුව හොත් මේ තත්වය විප්ලවීය වෙනසකි. තකතීරු වම්මුන්ට, සංස්කෘතික වම්මුන්ට සහ ලිබරල්වාදීන්ට අනුව මේ තත්වය ධනාත්මකය. ඔවුනට අනුව කල යුතුව ඇත්තේ එම තත්වයට සහාය දක්වා තව තවත් ප්‍රවර්ධනය කිරීමයි.

හිජාබය, බුරුකාව ඇතුළු මුසොල්මානු සංස්කෘතික ලක්ෂණ නොදියුණු ලෙස සලකා ඒවාට දැඩි විරෝධයක් දක්වන වාමාංශිකන් සහ ලිබරල්වාදීන් බටහිර කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා දියුණු සංස්කෘතික ලක්ෂණයන් ලෙස සලකයි. දෑස ඇති ස්ථාන වලට පවා කළු දැලක් දමා ආවරණය කොට ඇති මුසොල්මානු කාන්තා ඇඳුම ඉතාම පීඩාකාරී ඇඳුමක් වන බව ඉතාම ප්‍රත්‍යක්ෂ කරුණකි. නමුත් ඊට ප්‍රතිපක්ෂව කාමෝද්දීපනය ඇතිකරන බටහිර ඇඳුම් විලාසිතා වල පාර්ශවය ගැනීම යනුම එකම කාසියේ දෙපැත්තයි. උදාහරණයකට වික්ටෝරියානු දිග ඇඳුම වෙනුවට ඇමරිකානු කොට ඇඳුමේ පාර්ශවය ගැනීම තුල ඇඳුමේ කොට ප්‍රමාණය පිළිබඳව මාත්‍රාව සලකුණු වන්නේ කොතනින්ද? දිග පිළිබඳව මාත්‍රාව එහි උපරිමය තුල සලකුණු වී ඇති අතර කොටට අදාළ මාත්‍රාව සලකුණු කල හැකි එකම ස්ථානය වන්නේ හෙලුවට අදාළ නූල් පොටක් තුල පමණි. ඒ අනුව දිගට ඇඳීමට එරෙහිව කොටට ඇඳීමේ පාර්ශවය ගන්නා අයගේ ඊට අදාළ අවසන් ස්ථානය වන්නේ එයයි. සංස්කෘතික දේශපාලනයේ නිරතවන්නන් හට සිදු වනුයේ එක්කෝ ඔවුනට අදාළ නව සදාචාරයක් බිහි කොට කොටට ඇඳීම පිළිබඳව ඊට අදාළ ආචාරධාර්මික සීමාවන් නිර්ණය කිරීම හෝ එසේ නොමැති නම් එම ප්‍රශ්නය කුහක ලෙස මගහැර සුපුරුදු සංස්කෘතික දේශපාලනයේ නිරත වීමයි. එබැවින් අවධාරණය කල යුතු කරුණ නම් සංස්කෘතික දේශපාලනය යනු දේශපාලනයේ ව්‍යාජ, කුහක, ධනවාදය වෙනුවෙන්ම ඇති ස්වරූපය බවය. එය උපරිමයෙන් සේවය කරනුයේ ප්‍රාග්ධන තර්කනයට පමණි. කල යුත්තේ ඉන් අත්මිදීමයි.

ලංකාවේ පාසල් පද්ධතිය තුල මේ ඇතිවෙමින් තිබෙන වෙනස යනු ධනවාදයේ ඉදිරි ගමනට අවශ්‍ය වෙනසයි. පැරණි ආචීර්ණකල්පිකත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී “නිදහස” පාදක කොට ගනිමින් මෙම සංස්කෘතික විප්ලවයට පක්ෂ වීම යනුම ධනවාදයේ ඉදිරි පැවැත්ම සාක්ෂාත් කිරීම සඳහා කටයුතු කිරීමයි.

ඒ අනුව කල යුත්තේ මේවායේ එක් පාර්ශවයක් නියෝජනය කරමින් දේශපාලනය කිරීම නොවේ. පදනම විය යුත්තේ ඒවා සියල්ල නොසලකා හරින දේශපාලන ස්ථාවරයයි. සංස්කෘතික දේශපාලනයට එරෙහි විය යුත්තේ සහ එය ප්‍රතික්ෂේප කල යුත්තේ එබැවිනි. සංස්කෘතික දේශපාලනය සැමවිටම සේවය කරනුයේ ධනවාදයට අවශ්‍ය සංස්කෘතික වෙනස වෙනුවෙනි. එහි කෙළවරක් හෝ මාත්‍රාවක් සලකුණු කල නොහැකිය.

මෙතෙක් පැවතී රාජපක්ෂ පාලන තන්ත්‍රයට වෙනස්ව වැඩ කිරීමට රනිල් තීරණය කොට ඇත. එයට රාජපක්ෂ පාර්ශවයේ විරෝධයක් නොමැත. රාජපක්ෂ පාර්ශවයේ අවශ්‍යතාවය වන්නේ නාමල්ගේ අනාගතය සුරැකීමයි. මෙතෙක් මහින්ද රාජපක්ෂගේ ප්‍රමුඛතාවයෙන් ගෙනගිය දෘෂ්ටිවාදය නාමල් සඳහා නොගැලපෙන බව ඔවුන් තේරුම් ගනිමින් සිටී. ඔවුන්ගේ අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ ලවා අවශ්‍ය විප්ලවීය වෙනස සිදුකොටගෙන 2030නාමල් වෙනුවෙන් සූදානම් වීමයි.

රනිල් බලයට පත් වූ සෑම අවස්ථාවකම “මධ්‍යපානේ තියන ජොලිය” වැනි ආන්දෝලනාත්මක සිද්ධීන් ඇති විය. 2003 වසරේ “රෝයල් Stag Night” කාම සංදර්ශනය ඊට හොඳම උදාහරණයකි. වැදගත් වන්නේ එය එකල ද (රනිල් බලයට පැමිණි කාලය වන විට) එවැනි පාසල් වලට අලුත් යමක් නොවූව ද එය මුළු මහත් සමාජය සිසාරා ප්‍රචාරය වීම යන්න දේශපාලනික වීමයි. සමලිංගික සංවාදය උපරිමයෙන් කරලියට පැමිණෙන්නේ ද 2002 රනිල් බලයට පැමිණි සමයේය. නැවතත් 2015 රනිල් අගමැති වූ පසුව සමලිංගික පමණක් නොව ඊට LGBTIQ+ ද ඇතුලත්ව කරලියට පැමිණි අතර මේ වසරේ එය තදින් උත්සන්නව තිබුණි. 2015 රනිල් අගමැති සමයේ එවකට අධ්‍යාපන ඇමති අඛිල විරාජ් විසින් ගුරුවරුන් සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරමින් ගර්භණී ගුරුවරියන්ට ගවුම හැඳ පාසල් පැමිණීමට අවසර දීම තුල ද ඇත්තේ අමාරුවෙන් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමට දරන උත්සහයක් සඳහා ප්‍රවේශයකි. එසේම නීතිඥවරියන්ගේ සාරිය ගලවා දැමීමට ද රනිල් පාලනය සමත් විය. මෙවර ආර්ථික අර්බුධය හමුවේ රජයේ සේවකයින් හට තමන් කැමති ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට ඉඩ දීම තුල ස්ත්‍රී සාරිය ගලවා දැමීමේ අරමුණ ක්‍රියාත්මකය (මේ වන විට රජයේ ස්ත්‍රී සේවකයින් ඩෙනිම් ජීන්ස් සහ ටී ෂර්ට් හැඳ සේවයට යනු පෙනේ). 

දැන් කෙනෙකු විමසිය හැක්කේ ගර්භනියන් හට අපහසු ඇඳුමක් හැඳ (සාරිය) සේවයට පැමිණීමට සිදු වීම වෙනුවට පහසු ඇඳුමකට මාරු වීමට ඉඩ සැලසීමට විරුද්ධ ද යන්නයි. එසේම ස්ත්‍රීන් කලිසම් කමීස හැඳ සේවයට පැමිණීමට එරෙහි වන්නේ ද, ගුරුවරියන් කලිසම් හැඳ පැමිණීම ඔවුන්ගේ ක්‍රියාකාරී බව වැඩි කරන්නක් නොවේ ද, වැනි ප්‍රශ්නයි. ප්‍රශ්නය එතනින් අල්ලා ගැනීම අපගේ ස්ථාවරය නොවේ. කෙටියෙන් පවසන්නේ නම් ගර්භනීන් අපහසුවෙන් රැකියා නොකළ යුතු අතර දරුවන් සිටින මවුවරුන් හට ඔවුන්ට කිරි දීමට, රැකබලා ගැනීමට හෝ නොහැකිව රැකියාවල් කිරීමට සිදු වී තිබීමම පුනරාවර්තනීය ප්‍රශ්න ජාලයක් සහ “ශිටාචාරයේ අසහනය” ගුණනය කිරීමට බලපා ඇත.

මෙවර රනිල් වෙත ඇති ප්‍රධානතම වාසිය වන්නේ පොහොට්ටු පාර්ශවය සහ පොහොට්ටු විරෝධී සියලු දෙනා මෙවැනි වෙනස්කම් වලට එරෙහි නොවීම සහ පක්ෂව වැඩ කිරීමයි.  

ඉදිරි මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී රාජපක්ෂ පාර්ශවය විසින් පැහැදිලි පාපොච්ඡාරණයක් කරමින් වත්මන් ආර්ථික අර්බුධයට හේතුව කෝවිඩ්-19 වසංගතය සහ කාබනික කෘෂිකර්මාන්තය සහ ලෝක ආර්ථික අවපාතය බවත්, අර්බුධය තිබියදී පළපුරුදු නායකයෙකු නොවූ ගෝඨාභය රටේ නායකයා බවට පත්වීම මේ සියලු අර්බුධ තීර්ව කල බවත් ප්‍රකාශ කරනු ඇත. එම ප්‍රකාශයන් ගෝල්ෆේස් අරගලයේ මුඛ්‍ය සටන් පාඨ සමග හොඳින් අනුනාද වනු ඇත. රාජපක්ෂවරුන් සමග සමගාමී ප්‍රකාශනයක ගමන් කිරීමට නියමිත UNPය විසින් ද ඉස්මතු කරනු ඇත්තේ එකී කාරණයන්මය.

ඒ අනුව එම කාරණයන් පැහැදිලිව සමපාත වනුයේ ආර්ථික කඩා වැටීම පිළිබඳව ඉදිරිපත්ව වන විදග්ධ කතිකාවටය. ආර්ථික අර්බුධය පිළිබඳව විශේෂඥ උගතුන්ගේ ඉදිරිපත් කිරීම් අනුව එයට ප්‍රධානතම හේතුව කාබනික කෘෂි කර්මාන්තයයි. එම කතිකාව ප්‍රභලව ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකාව වන්නේ සිරස රූපවාහිනියයි. ඒ සඳහා ප්‍රභල දායකත්වයක් සපයනුයේ ජ.වි.පෙ. විසිනි. ඒ අර්ථයෙන් බැලූ කල සිරස යනු දැන් ජ.වි.පෙ. නිල නාලිකාව වැනිය. එසේම ඒ සඳහා පෙ.ස.ප. සහය ද සිරස විසින් මැනවින් ලබා ගනිමින් සිටී (කාබනික කෘෂි කර්මාන්තය ආරම්භ වූ සමයේ සිටම සිරස නාලිකාව විසින් කාබනික කෘෂි කර්මාන්තයට එරෙහිව දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගිය අතර ඒ සඳහා උගතුන් මැනවින් දායක විය).

සිරසට කාබනික කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් මෙතරම් විරෝධයක් ඇත්තේ මහාරාජා යනු කෘෂි රසායන ආනයනයේ ප්‍රමුඛ ආයතනයක් බැවිනි. ඔවුන් විසින් ආනයනය කල ප්‍රධානතම කෘෂි රසායනය වූයේ උග්‍ර පාරිසරික හානියක් ඇති කරන ග්ලයිෆොසේට්ය. මෛත්‍රීපාල යුගයේදී තහනමට ලක් වූ එය දැන් නැවතත් ගෙන්වීම සඳහා රනිල් පාලනය වෙතින් අවසර ලබා දෙන ලදී. සිරස පමණක් නොව අනෙකුත් සියලුම රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා ඇතුළු පුවත්පත් මේ මොහොතේ සිටිනුයේ රසායනික කෘෂිකර්මාන්තය පාර්ශවයේය (අප කාබනික කෘෂිකර්මාන්තයට පක්ෂපාත බවක් මින් අදහස් නොකරන බව සලකන්න. කාබනික කෘෂි කර්මාන්තය යනු නැවතත් විද්‍යාත්මක කෘෂිකර්ම මාදිලියකි. නමුත් රසායනික කෘෂිකර්මාන්තයෙන් අත්මිදීම යහපතකි). එසේම ගෝල්ෆේස් අරගලය විසින් මතු කල ප්‍රධානතම කතිකාවක් වූයේ රසායනික කෘෂිකර්මාන්තය අවශ්‍ය බවය. ඒ අනුව පොහොට්ටු පාර්ශවයට මෙන්ම UNP පාර්ශවයට ද කීමට ඇත්තේ පොදු කතාවකි. එම කතාව දැනටමත් තහවුරු වී ඇති කතාවයි. එය තහවුරු කිරීමේ ප්‍රමුඛයින් වන්නේ ජ.වි.පෙ. සහ පෙ.ස.ප.යි. නමුත් ජ.වි.පෙ. සහ පෙ.ස.ප. ඊට අමතරව ගෙනෙන ප්‍රධාන තර්කය වන්නේ වංචා, දූෂණ, සොරකම්, පිළිබඳ සංවාදයයි. නමුත් ඉදිරියේදී එය පැහැදිලිවම දුර්වල වී යාමට නියමිතය.

ඉහත ප්‍රස්තාරය අනුව යුද්ධය අවසන් වීමෙන් පසුව රැකියා වියුක්තිය පහල යන අකාරය දැක ගත හැකිය.

2000 වසරේ සිට…

එම ප්‍රස්තාර වලට අනුව පෙනී යන්නේ රැකියා වියුක්තිය සීග්‍ර ලෙස පහල යනු ලබන්නේ රාජපක්ෂ පාලනය තුල බවය.

පහත ප්‍රස්ථාරයේ දැක්වෙනුයේ 2010 වසරේ සිට කාන්තා රැකියා වියුක්තිය පිලිබඳවය.

පහත ප්‍රස්තාරය ගෘහ ආදායම ඉහල යාම පිලිබඳවය.

මේ ප්‍රස්තාරයෙන් දැක්වෙනුයේ ඒක පුද්ගල ගෘහ ආදායම ඉහල යන ආකාරයයි.

ඉහත ප්‍රස්තාර දෙස බැලූ කල ඊට අදාළ සංඛ්‍යාන දත්ත වාර්තා තුලින් පෙනී යන්නේ ජවිපෙ සහ පෙසප විසින් ගොඩනගන වංචා, දූෂණ, සොරකම්, අක්‍රමිකතා කතාන්දරය වැඩකට නැති වීමට නියමිත බවය. එනම් ලාංකීය ජනයා රාජපක්ෂ පාලනය තුල එතෙක් නොතිබූ පාරිභෝජනයක් අත්විඳිමින් සීග්‍ර සංවර්ධනයකට ගමන් කල බවය. එය රාජපක්ෂ පාලනයට පෙර තිබූ තත්වය සමග සැසඳීමේදී ඝාතීය වර්ධනයකි (මීට අදාලව අපගේ වෙබ් අඩවියේ ඇති “උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?” යන ලිපියේ ඇති ප්‍රස්තාර සහ සංඛ්‍යාන වාර්තා බලන්න).

ජ.වි.පෙ. විසින් ගොඩනගන සංවාදය තුල ප්‍රධානව දැකිය හැකි කාරණා විසින් තහවුරු කරනුයේ මෙතෙක් බලයේ සිටි ද්විපක්ෂ යාන්ත්‍රණයේ ස්ථාවරයමය. එම කාරණා වලින් කිහිපයක් නම්, තමන් බලයට පැමිණියහොත් ලංකාවේ සියලු ණය ගෙවීම සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය ප්‍රමාණවත් බවත්, මන්නාරම් ද්‍රෝණියේ විශාල තෙල් සහ ගෑස් නිධි ඇති බවත්, ඒවා ගවේෂණය සඳහා බාරදුන් ඉන්දීය සමාගම කොන්ක්‍රීට් යොදා ඒවා වසා දමා ඇති බවත්, තමන් බලයට පැමිණි වහාම ඉතාම ලාභ මිලට උතුරන්න තෙල් සහ ගෑස් ජනතාවට ලබා දෙන බවත්, ඒ අනුව ඉතාම පහසු මිලට සියලු දෙනා හට තෙල් ලැබීම තුල සියලු දෙනාගේ වාහන සිහිනය සැබෑ වන බවත්, එසේම ඉතාම පහසු මිලට ගෑස් ලබාදිය හැකිය වැනි කතාන්දරය. රටේ සකල විද ප්‍රශ්න සඳහා විද්‍යාත්මක විසඳුම් ලබා දෙන ආකාරයන් ඔවුන් විස්තර කරයි. නමුත් ඔවුන් ඒ සියල්ල එසේ ප්‍රකාශ කල පසුව බලය ලබා ගැනීමේ සම්භාවිතාව ඇති ප්‍රභූ බලවේගයන් සඳහා කල යුතුව ඇත්තේ සුළු වැඩ කොටසකි. එනම්, මැතිවරණය කිට්ටු වන විට ජ.වි.පෙ. කියන ආකාරයට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ණය ගෙවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කොට, ඊට අදාළ උගතුන් ලවා ඒ පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කොට ජ.වි.පෙ. විසින් ප්‍රකාශ කරන ආකාරයට එය කල නොහැකි බව පෙන්වා දී ඊට අදාළ ක්‍රමවේදයක් පෙන්වා දීම හෝ එය කොහෙත්ම කල නොහැකි බව පෙන්වා දීමය. එය සිදු කල හැකි නම් ඒ ආකාරයෙන් එය ඉටු කරන බවට පොරොන්දු වී ගිවිසුම් වලට පවා එළැඹුනු බව ප්‍රචාරය කිරීම අවශ්‍ය නම් කල හැකිය. ජ.වි.පෙ. විසින් ගෙන එන අනෙකුත් සියලු කාරණා සම්බන්ධයෙන්ද සිදුවන්නේ එයයි. ඔවුනට තවදුරටත් පෙන්වා දිය හැක්කේ ජ.වි.පෙ. වැනි පක්ෂයකට මෙවැනි භාරදූර කාර්යයන් ඉටු කල නොහැකි බවය. ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔවුනට ජාත්‍යන්තර සබඳතා නොමැති වීම, ජාත්‍යන්තරය විසින් ඔවුන් පිළිනොගැනීම වැනි කාරණා පෙන්වා දිය හැකිය.

ඒ කෙසේ වෙතත් ජ.වි.පෙ., පෙ.ස.ප. ඇතුළු වාමාංශිකයින් විසින් ගොඩනගන කතිකාව ව්‍යර්ථ වන්නේ ඉහත සඳහන් සංඛ්‍යාන දත්ත වාර්තා තුලය. 

ඉදිරි අවුරුදු 10 ඇතුලත බලයට පැමිණෙන කිසිවෙකුටත් 2009 වසරින් පසුව රාජපක්ෂ පාලනය විසින් සිදු කල මහා සංවර්ධනය හෝ ජනයාට අත්කර දුන් මහා පාරිභෝජනය සාක්ෂාත් කොට දිය නොහැකි වනු ඇත. අඩු තරමින් එහි ආසන්නයට හෝ පැමිණිය නොහැකි වනු ඇත. එබැවින් තම පන්ති ස්වභාවය අනුව එම පාරිභෝජනය විවිධ මට්ටම් වලින් බුක්ති විඳි ජනයා සහ තම පන්තිය අභිබවනය කිරීමට සිහින දුටු එම ජනයා ඉදිරියේදී ඉක්මනින් ඉච්ඡාභංගත්වයට පත්වීමට නියමිතය. එසේම ඉදිරියේදී එකතු වන නව තරුණ ඡන්ද වෙත පෙන්විය හැකි දේවල් වන්නේ රාජපක්ෂ සංවර්ධනය තුල සිදු කොට ඇති දේවල්ය (අධිවේගී මාර්ග, මහා මාර්ග, ග්‍රාමීය මාර්ග, මහා සන්දර්ශනීය ඉදිකිරීම් ඇතුළු ගොඩනැගිලි, රාජපක්ෂ පාසල්, මහින්ද්‍යෝදය විද්‍යාගාර, ක්‍රීඩා පිටි සහ ගොඩනැගිලි වැනි තවත් රාශියක් රට තුල ඇත. දකින දකින අත රාජපක්ෂ සලකුණය.).

ඒ අනුච රාජපක්ෂලාට 2030 හෝ 2035 වසරේදී කල යුතුව ඇත්තේ ඊට පෙර අතීතයේ නොතිබුන තමන් විසින් ඉටු කල මහා සංවර්ධනය පෙන්වා, ජනතාව එකල ඇතුළු වී සිටි මහා පාරිභෝජනවාදය පෙන්වා සිටීම පමණි. 2030-2035 වන විට බලයට පැමිණෙන කිසිවෙකුට එම තත්වය අභිබවනය කල නොහැකි වනු ඇති බැවින් (වැරදිලාවත් ජවිපෙ පැමිණිය ද) රාජපක්ෂ ප්‍රකාශනය තහවුරු කිරීම ඉතාම පහසු වනු ඇත.

ඇති වූ අර්බුධය තුල ලාංකීය සමාජයේ දිශානතිය වෙනස් කිරීමට පැහැදිලි ප්‍රවේශයක් ගත හැකිව තිබුණි. නමුත් ඊට අදාළ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගී නොතිබුණි. එම තත්වය තුල තහවරු වූයේ පවතින ධනේශ්වර කතිකාවමය. අරගල සහ උද්ඝෝෂණ යනු එයම තහවරු වීමකි. එහි ප්‍රමුඛයින් වූයේ වාමන්ශිකයින්ය. එසේම එවැනි සමාජ ව්‍යාපාරයක් බිහි වීම සඳහා ඇති ප්‍රධානතම බාදාව ජ.වි.පෙ., පෙ.ස.ප. ඇතුළු අනෙකුත් වාමාංශික කතිකාවන්ය.

ඇති වූ අර්බුධය ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂලාගේ සහ ඊට පෙර පාලනයන්ගේ සොරකම්, දූෂණ, වංචා, වැරදි ආර්ථික කළමනාකරණය, කාබනික කෘෂිකර්මාන්තය, රටේ සම්පත් විදේශ වලට විකිණීම වැනි කාරණා වලට ලඝු කිරීම තුල නැවතත් එම පාලනයන්ම (ද්වි පක්ෂ යාන්ත්‍රනය) තහවුරු වීම සිදුවන බවක් ඒවා තහවුරු කරන අයට නොපෙනේ.

3 thoughts on “මේ මද්‍යපානේ තියන ජොලිය

  1. උඹේ ලිපිය හරියට උපුල් ශාන්ත සන්නස්ගල එජාපයෙන් චන්දෙ ඉල්ලීම ගැන කියපු කතාව වගේ.

    උඹට සිංහල බෞද්ධ මොකක්ද එකට පහරක් ගහන්නනත් ඕනේ.
    ධනවාදයට විරුද්ධ වෙන්නත් ඕනේ.
    මුස්ලිම් අන්තවාදයට කඩේ යන්නත් බෑ.
    ස්ත්‍රිවාදී වෙන්නත් ඕනේ.
    ඉතින් උඹ හිරවෙනවා

  2. රාජපක්ෂ පාලනය තුල රැකියා වියුක්තිය අඩු වීම. රජයේ රැකියා ප්‍රමානය ලක්ෂ 7 සිට ලක්ෂ 15 ඉක්මවා වැඩි කිරීම නිසා සිදු වූවකි. එයින් රජයේ ආදායම සම්පූර්නයෙන්ම වැටුප් ගෙවීමට වෙන් කිරීමට සිදුවිය. අද අර්බුධයේ එක් හේතුවක් එයය. පාරිභෝජනය ඉහල යාම ආර්ථික ප්‍රසාරනය විශාල පරිමාණයෙන් ගත් නය නිසා සිදු වූවකි. ඒක බබල් එකක් වගේ. ණය ලැබෙන එක නැවතුනාම බබල් එක පිපුරුවා.

Leave a Comment