දෘෂ්ටිවාදය යන්න සරලව මෙසේ පැහැදිලි කල හැකිය. බොහෝ අය ‘දෘෂ්ටිවාදය’ යන වචනය ඇසූ විට, ඔවුන් සිතන්නේ සාමාන්‍යයෙන් “ism” වලින් අවසන් වන සමාජ-දේශපාලන විශ්වාසයන් විශාල ප්‍රමාණයක් ගැනය; ‘කොමියුනිස්ට්වාදය’, ‘ලිබරල්වාදය’, ‘ගතානුගතිකවාදය’ යනාදිය ලෙස ඒවා දැක්විය හැකිය. නමුත් අපිට අදාලව ‘දෘෂ්ටිවාදය’ යන යෙදුම භාවිතා කරන විට අප එය භාවිතා කරනුයේ මාක්ස්වාදී අර්ථයකින් ය. කාල් මාක්ස් සම්බන්ධයෙන් ගත් කල, ‘දෘෂ්ටිවාදය’ යනු මිනිසුන් කෙරෙහි ව්‍යාජ අදහස් ඉදිරිපත් කරන කතිකාවන් මාලාවකි. මාක්ස්ගේ අර්ථයෙන් එය ‘ව්‍යාජ විඥානය’යි. එනම් මිනිසුන් එම ව්‍යාජ අදහස් භාරගන්නා විට, ඔවුන් ලෝකය, එය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඔවුන්ගේ ස්ථානය පිළිබඳව ‘ව්‍යාජ විඥානයයක්’ වර්ධනය කරයි. උදාහරණයක් ලෙස, මධ්‍යකාලීන යුරෝපයේ, ආගම සමාජ ව්‍යුහයට සහාය දැක්වීම සඳහා ‘දෘෂ්ටිවාදයක්’ ලෙස ක්‍රියාත්මක උනි. එකල සර්ෆ්වරුන්ට පවසා ඇත්තේ ඔවුන් භාරව සිටින අයව දෙවියන් විසින් පත් කරන ලද බවත්, ලෝකය වැඩ කරන ආකාරය යනු එය ක්‍රියාත්මක කළ හැකි දිව්‍යමය වශයෙන් නියම කළ එකම ක්‍රමය බවත්ය. ඒ අනුව වහලුන් වූ මිනිසුන් නැගී නොසිටීම පුදුමයක් නොවේ. ඔවුන්ට මූලික වශයෙන් සැබෑවටම දෙවියන් වහන්සේ අවශ්‍ය බව ඔවුන්ට පවසා තිබුණි. මාක්ස් පවසන පරිදි ධනවාදය හෝ ලිබරල්වාදය වැනි වෙනත් දෘෂ්ටිවාද ඉහත ආගම ක්‍රියා කල අකාරයෙන්ම ක්‍රියාත්මක වේ. ඒවා නිර්මාණය වී ඇති අතර, ඊට අදාළ විශේෂිත සමාජ ව්‍යුහයක් පවත්වා ගැනීමට උපකාරී වන අතර නව දෘෂ්ටිවාදයක් බලයට පත්වන විට අවසානයේදී එය අනුග්‍රහය නොලබයි. මෙය සිදු වූ විට, එනම් නව දෘෂ්ටිවාදයක් හිඩැස පුරවන විට සමාජයේ සමස්ත ව්‍යුහය කඩිමුඩියේ වෙනස් විය හැකිය.
‘කතිකා විශ්ලේෂණය’ සහ ‘දෘෂ්ටිවාදය විචාරය’ අතර වෙනස පිළිබඳව අවබෝධයක් නොමැති වාමන්ශිකයින් සහ පශ්චාත් මාක්ස්වාදීන් එකට එකතුව සිටගන්නා ස්ථානය වන්නේ ‘කතිකා විශ්ලේශනයයි’.
අප එරෙහි වන්නෙම ‘කතිකා විශ්ලේෂණය’ ට(‘discourse analysis’) සහ ‘සමාජ නිර්මාණාත්මකවාදය’ට ම ය(‘social constructivism’). න්‍යායික වශයෙන් පශ්චාත් මාක්ස්වාදීන් සහ එසේ න්‍යායික ස්ථාවරයක නොමැති පොදු වාමාංශිකයින් මෙන්ම නලින් ද සිල්වා ද සමාජ නිර්මානාත්මකවාදීන්ය.
‘කතිකා විශ්ලේෂණය’ අපට අදාලම නැත. අපගේ ස්ථාවරය ‘නිර්ධනයා’ ය (‘Proletariat’). ‘කතිකා විශ්ලේෂණයේ’ ගිලී සිටින්නේ අනන්‍යතා සහිත ‘ජන සමූහයන්’ ( ‘multitude’ ) සංවිධානය කරනා ‘අනන්‍යතා දේශපාලනය’ පිළිබඳව විශ්වාසයකින් පසු වන පශ්චාත් මාක්ස්වාදීන් සහ න්‍යායිකව පශ්චාත් මාක්ස්වාදී නොවූවද ව්‍යවහාරිකව එම ස්ථාවරයේ පිහිටා සිටිනා අනෙකුත් වාම පක්ෂ, කොටස්, කණ්ඩායම් සහ පුද්ගලයින්ය. ‘කතිකා විශ්ලේෂණය’ ගොඩනැගී ඇත්තේම ලකාන්ගේ සිතීම ඩෙරීඩා, ඩිලුස් සහ ෆූකෝ සමග එකතු කොට ආකෘති ගත කිරීමෙනි. ‘පශ්චාත් ව්‍යුහවාදයේ’ පදනම එයයි. ස්ලාවෝ ශිෂැක්ගේ ආරම්භයට පදනම වැටෙන්නේද ඒ හරහා වුවද පසුව ඔහු ඉතා රැඩිකල් ලෙස එම පදනමින් ඉවත් වේ. සත්තකින්ම ‘කතිකා විශ්ලේෂණය’ විසින් සංවර්ධනය කොට ඇත්තේ රැඩිකල් අනුභූතිවාදයකි.
‘කතිකා විශ්ලේෂණය’ ප්‍රතික්ෂේප කරනා අප හිටගන්නේ ‘දෘෂ්ටිවාදය විචාරයේය’ (‘ideology critique’).
‘දෘෂ්ටිවාදය විචාරයේ’ පර්යාලෝකනය ‘කතිකා විශ්ලේෂණයක්’ වෙතින් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ ‘දෘෂ්ටිවාදය විචාරය’ ට අනුව සමාජ යථාර්තය යනු තරඟකාරී කතිකාවන්ගේ සංකීර්ණ ක්‍රීඩාවක් නොවන බැවිනි. නමුත් ඊට ප්‍රතිපක්ෂව ‘දෘෂ්ටිවාදය විචාරය’ යන්න එක් පුළුල් රාමුවක් මත පදනම් වූවකි. සත්තකින්ම විකල්ප සහ තරඟකාරී පර්යාලෝකනයන් පවතින්නේ මහා වැදගත් සෙයියාවන්ගෙනි (සුමිත් චාමින්දලා කකුල් පිට කකුල් දමාගෙන අත් කරකවමින් මහා බැරෑරුම් ලෙස පෙන්වා දීමට උත්සාහ කරන්නේ ‘කතිකා විශ්ලේෂණය’ තුල විකල්ප සහ සමාජය වෙනස් කිරීම සඳහා අවශ්‍ය පර්යාලෝකනයයි )… නමුත් ‘දෘෂ්ටිවාදය විචාරය’ තුල සමස්ත වශයෙන් ව්‍යුහාත්මක පර්යාලෝකන අවධාරණය පවතින්නේ එකක් මත පමණි. ඒ අනුව ‘දෘෂ්ටිවාදය විචාරය’ තුල විකල්ප හෝ එකිනෙකින් තරඟකාරී පර්යාලෝකනයන් ඉදිරිපත්වන්නේ නැත.
නමුත් සමාජය තුල අනන්‍යතා නඩත්තු කිරීම සඳහා වන තත්වයක් වී ඇති වත්මන් වාම දේශපාලනයේ නියැලෙන්නන්ට හොඳින්ම ගැලපෙන්නේ විකල්ප සහ පර්යාලෝකනයන් ඉදිරිපත් කල හැකි ‘කතිකා විශ්ලේෂණය’ පදනම් කොට ගත් අනන්‍යතා දේශපාලනයයි’ (identity politics). මේ සඳහා න්‍යායික ප්‍රවේශය ‘ලබාගෙන ඇති ප්‍රමුඛයින් වන්නේ පශ්චාත් මාක්ස්වාදීන්ය. නමුත් ලකානියානු මනොවිශ්ලේෂණය ගැන කතා කරනා “කටු සටහන්” කාරයින්ද සිටගෙන සිටිනුයේ මෙම ‘කතිකා විශ්ලේෂණය’ තුලම වීම ලකානියානු සිතීම පිළිබඳව ඔවුනගේ අවබෝධය පෙන්නුම් කරයි. ඉන් පසුව මෙම පුද්ගල අනන්‍යතා නඩත්තු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ‘සමපේක්ෂි යථාවාදය'(‘Speculative realism’) පිළිබඳව පොල්මක්කාරීත්වය දරන වංගීස සුමනසේකර සහ ඔහු වටා රොක් වී ඇති පිරිසයි.
මේ දේශපාලන සහ දාර්ශනික ස්තාවරයන්හි පොල්මක්කාරි අයිතිය දරන්නන්ගේ ප්‍රමුඛයින් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල කථිකාචාර්වරුන් සහ එසේ වීමට වලි කන අයයි. ඔවුන් වටා සිටින අයද, එසේම විශ්ව විද්‍යාල කථිකාචාර්ය, සිනමා, නාට්‍ය, නවකතා, කවි හෝ කලා විචාර ක්ෂේස්ත්‍ර වල සැරිසරන්නන්ය. එවැනි ක්ෂේස්ත්‍ර තුල තම අනන්‍යතා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන දෙය වන්නේ ජනමාධ්‍ය තුල පෙනිසිටීමය. පවතින තත්වය තුල (ධනවාදය තුල) තරඟකාරී ලෙස විකල්ප සහ පර්යාලෝකනයන් ඉදිරිපත් නොකරන්නන් හට ජනමාධ්‍ය තුල කිසිඳු ඉඩක් නොලැබේ. එනම් පවතින ප්‍රධාන දේශපාලන ධාරාවට අදාලව (UNP, SLPP, SLFP, JVP) සහ එම දේශපාලන ධාරාව අයත් වන සමාජ යථාර්ථයේ අර්බුධ වලට විසඳුම් දිය හැකි පර්යාලෝකනයන් නොමැති අයට ජනමාධ්‍ය වල ඉඩ කඩ විවරවන්නේ නැත. උදාහරණ අවශ්‍ය නම් සුමිත් චාමින්ද, විදර්ශන කන්නගර, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, ප්‍රභා මනුරත්න, වංගීස සුමනසේකර, නිර්මාල් දේවසිරි, දීප්ති කුමාර, සුරේන් රාගවන් (ග්‍රාම්ස්චි පාවිච්චි කිරීමෙන් ආණ්ඩුකාරවරයෙකු වූයේ සුරේන් රාගවන්ය) වැනි අය සේම ඍජු දේශපාලන අනන්‍යතාවයක් නොමැති අයද මෙසේ අදහස් ප්‍රකාශ කරනු දැකිය හැකිය. සුමිත් චාමින්ද බොහෝ සෙයින් ග්‍රාම්ස්චිට කැමති වන්නේ ග්රාම්ස්චි හරහා පවතින සමාජ යථාර්ථයේ අර්බුධ සඳහා විකල්ප යෝජනා කල හැකි බැවිනි. එසේම නිව්ටන් ගුණසිංහ, එස්. බී. ඩී. ද සිල්වා වැනි අය පිළිබඳව බොහෝ සෙයින් කතා කරන්නේද, තමන් ඒ අය සමග අනන්‍යකරණය කර ගිනිමින් ජනමාධ්‍ය තුල රඟ දැක්විය හැකි බැවිනි.
එපමණක් නොව ජනමාධ්‍ය හරහා සාදාගන්නා සංඛේත බලය තුල මේ අය රාජ්‍යය උපදේශකත්වය සඳහාද ප්‍රසිද්ධියේ හෝ හොරෙන් කැඳවනු ලබයි. එසේම මේ සියලු දේ මේ අයගේ රැකියාවල් හෝ ආර්ථික අධෝ ව්‍යුහය සමග මෙන්ම අශ්ලීල ප්‍රමෝදය සමගද බැඳී පවතී (ඒවා ගැන කතා කල යුතු නැත). කෙටියෙන් කියන්නේ නම් වර්තමාන වාම දේශපාලනය යන්න පවතින්නේ එසේය.
ශිෂැක්ගේ නව මාක්ස්වාදී සංකල්පයට අනුව, ‘දෘෂ්ටිවාදය’ සමන්විත වන්නේ දේශපාලන ප්‍රජාව තුල ආත්මයන්ගේ අවිඥානික ‘ලිබිඩිනල්’ ආයෝජනයන් වෙත කොන්දේසි පනවනා ප්‍රජා ව්‍යවහාරයන්ගේ මධ්‍යක් සමග එකතුව සමාජ ආත්මීයත්වය සංස්ථාපනය කරනා නියෝජනයන්ගේ අන්නෝන්‍යය තරලතාවයකිනි. මෙම ‘ලිබිඩිනල්’ ආයෝජනයන් ව්‍යුහගතව ඇත්තේ අවිඥානික සමාජ ෆැන්ටසිය සහ ආත්මයේ දේශපාලන පක්ෂපාතීත්වය බරකොට තබන දේශපාලන ප්‍රජාවගේ ආයතනික චාරිත්‍ර වෙතට අනොන්න්‍ය වශයෙන් ස්ථිර වූ ප්‍රමෝදයේ මදයක් සමගය.
1977 සිට 1994 දක්වා UNPය විසින් නඩත්තු කල ලී, ගල්, වැලි, පස්, කසිප්පු, කුඩු සහ වෙනත්, මත්ද්‍රව්‍ය, සහ තවත් බොහෝ එවැනි වෙළඳ ව්‍යාපාරිකයින් මෙන්ම “සාධාර්මික” ඉහල පෙලේ වෙළඳාම් සහ ව්‍යාපාර ලෙස සැලකෙන ව්‍යාපාරිකයින්ද 2010න් පසුව නඩත්තු වන්නේ රාජපක්ෂ දේශපාලනය හරහාය. ඔවුන්ගේ හයිය එයයි. ඒ අනුව UNP 1977 සිට 1994 දක්වා සහ ඉන් පසුවත්, UNPය විසින් නියෝජනය කරන ලද ප්‍රජාව 2010න් පසුව නියෝජනය වන්නේ රාජපක්ෂ දේශපාලනය විසිනි… ‘ජාතිකවාදය’ යනු ඉහත කී තත්වය සඳහා වෙස් මුහුණක් පමණි. මෙය අවබෝධකොට ගැනීමට නොහැකි තකතීරු වම්මුන් ජාතිවාදී විකාරයක් ගැන කතා කරමින් සිටී. තම ‘ප්‍රමෝදය’ සොරා ගන්න ‘සුළු ජාතිකයා’ පිළිබඳව බිය බොහෝ දුරට නඩත්තු කරනුයේ මධ්‍යම පාන්තිකයා විසිනි. ඊට හේතුව නම් මධ්‍යම පාන්තිකයාට අවශ්‍ය ‘බිය’ (තම දරුවන් ගැන ‘ප්‍රමෝදය’) පවත්වාගැනීම වෙනුවෙන් කියන කථාය. නමුත් එම මධ්‍යම පාන්තිකයාගේ එම තත්වයද පවත්වාගන්නේ ඉහත සඳහන් කල ව්‍යාපාර තුලින් සහ ඒවාට අදාළ ඍජු සහ වක්‍ර රැකියා තුලින් තම ජීවිකාව සකසා ගන්නා ගම් සහ නගර වල ක්‍රියාකාරී ප්‍රජාවගේ රැල්ල විසිනි. එකල UNPයේ තත්වය මෙකල රාජපක්ෂ දේශපාලනය විසින් අත්පත් කොටගෙන තිබේ. මහා වන විනාශ සිදු කරමින්, රක්ෂිත එලි පෙහෙළි කරමින්, වෙරල සහ ගංගාදාර සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින්, භූ විද්‍යා සහ පතල් කැනීම් නීති උල්ලංඝනය කරමින්, වන අලි ඝාතනය සඳහා තුවක්කු ලබා දෙමින් සහ මෙකි නොකී සියලු සීමාවල් අභිබවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොහොට්ටු පාක්ෂිකයින් (නලින් ද සිල්වාගේ “සිංහල බෞද්ධ ජන ප්‍රජාව” ) තෘප්තිමත් කරමින් සිටිනුයේ එබැවිනි.
දැන් සියලු දෙනාට අමතක වුවද වාමාංශිකන් වහරන වර්තමාන “සිංහල බෞද්ධ ජාතිකවාදය”(සැබවින්ම පවතින්නේ ජඩ ව්‍යාපාරික සහ මජර පාරිභෝගික භාණ්ඩ අර්චනකාමයයි. නලින් ද සිල්වා පදනම් වන ජන ප්‍රජාවේ ක්‍රියාකාරීත්වය එයයි.) නැවත කරලියට දක්කාගෙන ආවේ ජේ. ආර්. ජයවර්ධන විසිනි. ඒ ඔහුගේ ‘ධර්මිෂ්ට සමාජය’ නමැති ව්‍යාජය හරහාය. ඔහු එම ව්‍යාජය එසේ පවත්වා ගන්නා ගමන් රූපවාහිනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් නව ලිබරල්වාදයට අදාළ දෘෂ්ටිවාදී මෙහෙයුම දියත් කරන ලදී. වර්තමානයේ පවතින යථාර්තය අලුතින් නිර්මාණය වීම ආරම්භ වූයේ ඒ සමගය. රූපවාහින්යෙන් පසු ලාංකීය සමාජය යනු ඊට පෙර ලාංකීය සමාජය නොවේ. පසුව එම තත්වය ක්‍රමයෙන් දයලෙක්තිකව ධනවාදී අධෝ ව්‍යුහය සමගින් විශාල විවිධත්වයන් තුල ගොඩනැගෙනුයේ අදාළ යථාර්ථයේ හිඩැස් වසන දෘෂ්ටිවාදයේ හැඟවුම්කාරක සුසන්ධීකරණය තුල ඒ නව “සිංහල බෞද්ධ” අංගයන් ඇතුලත් කර ගනිමිනි. එනම් 1980ට පමණ පෙර පැවතී තත්වයට වඩා 1980න් පසුව ගොඩනැගුන තත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. යථාර්තය විප්ලවීය වෙනස් අයුරකින් නැවත ගොඩනැගීම ආරම්භ වන්නේ 1980 පමණය. වර්තමානයේ පවතින්නේ 1980ට පමණ පෙර පැවති දෘෂ්ටිවාදයේ ක්‍රමික වර්ධනීය තත්වයක් ලෙස දැකීම දෘෂ්ටිවාදය පිළිබඳව වන අවබෝධයේ සිට දෘෂ්ටිවාදය විචාරයේදී මෙන්ම දේශපාලනිකවද වැරදි ප්‍රවේශයකි.
රාජපක්ෂලා කෙතරම් මුස්ලිම් දෙමල මන්ත්‍රීවරුන් තම පාර්ශවයට ගත්තද, “සුළු ජාතීන්ගේ ඉල්ලීම්” ලබා දුන්නද, රටෙහි ඉඩම් විකිනුවද, හොරකම් කලද, ඥාතිසංග්‍රහ කල, දුමින්ද සිල්වා නිදහස් කලද, තව ඕනෑම දෙයක් කලද… කොටින්ම UNPය සහ JVP මර බෑඟිරි ගසන ‘වැරදි’ කලද අති මහත් සිංහල මිනිසුන්ට ඒවා අදාළ නැත්තේ ඇයි ? එනම් පවතින යථාර්තය තුල නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලිය තුල සම්බන්ධතා නඩත්තු වීම සැබෑව වන විට සිංහල බෞද්ධ කතිකාව යනු ව්‍යාජ වෙස් මුහුණක් පමණි.
මාක්ස්ට අනුව දෘෂ්ටිවාදය සවිඥානික ව්‍යායාමයක් වන විට ලකානියානු මනොවිශ්ලේෂණය සමඟ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස සම්මිශ්‍රණය කලේ අල්තුෂර්ය. ඉන් පසුව ඊට නව අර්ථකතනයක් ලබා දෙමින් ඉදිරියට ගෙනයන්නේ ශිෂැක් විසිනි.
ලැකාන්ට අනුව, අපි ලෝකය සමඟ එය එය තිබෙන අකාරයෙන් අන්තර් ක්‍රියා නොකරන මුත් අනෙක් අතට අපි එය භාෂාව තුළින් නියෝජනය කරන්නෙමු. මෙම විසන්ධි වීම නිසා දෘෂ්ටිවාදය යනු, සරල අර්ථයෙන් අපි ලෝකය දෙස බලන අකාරය ලෝකය පවතින ආකාරය බවට පත්වේ.
‘දෘෂ්ටිවාදය’ ‘සැබෑ ලෝකය’ ‘පරාවර්තනය’ නොකරන මුත් පුද්ගලන්ගේ ‘සැබෑ ලෝකය’ ට ඇති පරිකල්පනීය සම්බන්ධතාවය නියෝජනය කරයි. අප සැමවිටම ‘දෘෂ්ටිවාදය’ තුළ පවතින්නේ අපගේ ‘යථාර්ථය’ සංස්ථාපනය කිරීම සඳහා වන භාෂාව මත වන විශ්වාසය නිසා ය; වෙනස් දෘෂ්ටිවාද යනු අපගේ සමාජ හා පරිකල්පනීය ‘යථාර්ථයේ’ වෙනස් නිරූපණයන්ය.
මෙම අවබෝධයත් සමඟ පෙනී යා යුත්තේ මාක්ස්ගේ අවබෝධයට එහා ගොස් ‘දෘෂ්ටිවාදය’ නව කාර්යභාරයක් ඉටු කරන බවය. එය තවදුරටත් හුදෙක් මිනිසුන්ගෙන් ලෝකය ක්‍රියා කරන ආකාරය සඟවා තබන්නේ නැත, නමුත් ඔවුන් ඒ දෙස බලන ආකාරය හා කථා කරන ආකාරය හැඩගස්වා ගැනීමට උපකාරී වේ.
‘දෘෂ්ටිවාදය’ පිළිබඳව දීර්ගව මෙහි සටහන් කල නොහැක්කේ ලිපියේ අරමුණ එය නොවන බැවිනි. අපගේ ස්ථාවරය පිළිබඳව අවබෝධය සඳහා ඉහත පැහැදිලි කිරීම ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව අපගේ ස්ථාවරය කතිකා විශ්ලේෂණය නොව ‘දෘෂ්ටිවාදය විචාරය’ යි.
තමන් එරෙහි වන්නේ ‘ප්රජාතන්ත්රවාදය’ ට බව ප්‍රථම වරට නලින් ද සිල්වා විසින් පසුගිය දිනක ලියා තිබුණි. ඉන් පෙර කොතැනක හෝ එසේ සඳහන් කොට නොතිබුණි. අපද ප්‍රධාන වශයෙන්ම එරෙහි වන්නේ ‘ප්රජාතන්ත්රවාදය’ට ය. නමුත් ඒ සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය පාලනය තුල ද්වි පක්ෂ යාන්ත්‍රණයේ එක් පාර්ශවයක් තෝරාගන්නේ නැත. නලින්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නේ රනිල් වනවිට රාජපක්ෂ රෙජීමය යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමකි. ඔහු මෙසේ කියන්නේ සුදු වෑන් වැනි රාජපක්ෂලාගේ ක්‍රියාකාරීත්වයන් නිසාද එසේත් නොමැති නම් සංවර්ධන ක්‍රියාදාමයේදී රාජපක්ෂලා විසින් තීන්දු ගන්නා ආකාරය නිසාද යන්න නොවැටහේ.

වම්මුන් මේ දිනවල ඉතා නිහඩය. තකතීරු මෙන්ම මෝඩ වම්මුන්ද එසේය. තකතීරු වම්ම්න්ගේ ජවය සිඳීයාමට ප්‍රධාන හේතුවක් වූයේ රනිල් ප්‍රමුඛ UNPයේ පසු බෑමත්, UNPය තුල සජිත්ගේ නැග ඒමත්ය. ආන්දෝලනාත්මක රන්ජන් රාමනයාක හඬ පට පිළිබඳව මතුව ඇති තත්වය පිළිබඳවද වම්මුන් මීක් කියන හඬක් නැත. ඊට හේතු කිහිපයක් තිබේ.
1. රන්ජන් රාමනායකගේ ක්‍රියාව විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය හෙළිදරව් වීම නිසා රන්ජන් පිළිබඳව වම්මුන් තුල පිළිකුලක් ඇති වීම. එනම් තමන්ගේ අරගල ක්ෂේස්ත්‍රය වන “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දිනා ගැනීම” යන්න වැඩකට නැති දෙයක් බවට පත්වීම.
2. අධ්‍යතන වාම අරගල ක්ෂේස්ත්‍රය වන “ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල විශ්වාසය රන්ජන්ගේ හඬ පට හේතුවෙන් බිඳවැටීම.
3.රන්ජන්ගේ හඬ පටවල ඇති ධනවාදයේ “අශ්ලීල ප්‍රමෝදයට” අදාළ සංවාදයන්.
4. වම්මුන්ට අනුව රන්ජන් යනු වමට අදාළ විධග්ධතත්වයට ගැලපෙන “උගතෙකු” නොවීම සහ රන්ජන් යනු වමට ගැලපෙන නිර්නායකයන් නියෝජනය නොකිරීම.
ඉහත කාරණා සියල්ල වම්මුන්ට සේම ප්‍රධාන පක්ෂ සියල්ලටම අදාලය. පොහොට්ටුව සමග එකතුව UNP, SLFP මෙන්ම ජවිපෙ ද රන්ජන්ට එරෙහිව අවි අමොරගන්නේ එබැවිනි.
එසේම එම සියලු පක්ෂ වලට අනුව “දියණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල” එය ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර මෙය ලංකාව වැනි රටවල තත්වයකි. ජවිපෙ පමණක් ඊට අමතරව තවත් ප්‍රකාශයක්ද සිදු කරයි. එනම් අධිකරණය කෙතරම් දූෂිත වුවද එය ලෝකයට හෙළිදරව් කිරීමෙන් රට ලෝකයා ඉදිරියේ බාල්දු වන බවත්, එය ගානිය බැරිස්ටර් සිද්ධියටද බලපෑ හැකි බවත්, අනවශ්‍ය ජාත්‍යන්තර බලපෑම් වැඩිවිය හැකි බවත්ය. ඒ අනුව ප්‍රධාන දක්ෂිනාංශික පක්ෂ වලට වඩා වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් බවට පත්ව ඇත්තේ ජවිපෙය.
ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ බරපතල ලෙස නිමග්නව සිටි NSSP, Praxis ඇතුළු තකතීරු වාමාංශික ප්‍රජාව සහ දැනට සිවිල් සංවිධාන වල සිටින හිටපු තකතීරු වාමාංශික ප්‍රජාව සහ සිවිල් පොරවල්ද රන්ජන් සම්බන්ධයෙන් නිහඬය. ඔවුන්ට ඒ සඳහා ඉතිරිව ඇති කතාව වන්නේ “දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක” නම් රන්ජන් හඬ පට වලින් එළිදරව් වූ කරුණු වැනි දෑ තිබය හැකි හෝ සිදුවිය නොහැකි බවය. නමුත් එය සැබෑවක් නොවේ.
ඉහත සියලු පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගල චරිත වලට අදාළ මහා පොදු සාධකය වන්නේ ඔවුන් සියල්ල අවිච්ඡින්න සමාජ සංවර්ධනය අවිඥානක වීමත්, ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉඳීමත්ය.
රාජපක්ෂ පාලනය සීග්‍ර “සංවර්ධනයක්” කරා යාමට අවශ්‍ය තුනෙන් දෙකක බලය ඉල්ලා සිටී. වම්මුන්ට අදාලව රාජපක්ෂ පාලනයේ ප්‍රශ්නය වන්නේ එහි ඇති වැඩවසම් සහ සිංහල බෞද්ධ ජාතිකවාදය මිස “දියුණුව” සහ “සංවර්ධනය” පිළිබඳව ප්‍රශ්නයක් නොවේ. ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව ලිබරල්වාදීන්ට මෙන්ම වම්මුන්ට ඇති පොදු ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔවුන් ඒ හඳුනාගන්නා සිංහල බෞද්ධ ජාතිකවාදය සහ වැඩවසම් ලක්ෂණ නඩත්තු කිරීමය. තකතීරු වම්මුන් කොන්දේසි විරහිතව රනිල් සමග ඉදිරිපත් වන්නේ අන්න ඒ තත්වය නොමැති ලිබරල ආණ්ඩුවක් තනා ගැනීම වෙනුවෙනි( එවැනි න්‍යායික ස්ථාවරයක පසුවෙමින් වැඩවසම් සිංහල බෞද්ධ ජාතිකවාදය පරාජය කොට රනිල් ප්‍රමුඛ ලිබරල් UNP ආණ්ඩුවක් සාදා ගැනීම වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කලාට කම් නැතැයි සිතමින් දිවිදුන් පුද්ගලයා වූයේ ප්‍රගීත් එක්නලිගොඩය).
ඉහත සඳහන් කල වාම සහ ලිබරල් ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් වෙනුවෙන් න්‍යායික සංවාදයක් ගෙනයමින් රාජපක්ෂලා තුලින් එය ගොඩනැගිය හැකියයි ප්‍රකාශකරන න්‍යායවේදියා වන්නේ නලින් ද සිල්වාය(එසේම ඔහුගේ අනුගාමිකයින්ද එසේ සිතයි ).
පසුගිය ජනවාරි 22වෙනිදා නලින් ද සිල්වා විසින් ලියා ඇති ලිපියේ ඔහු මීට පෙර සඳහන් නොකරන “ප්‍රජාතන්ත්‍රවාදය” නම් වචනය සඳහන් කරමින් ඔහු ඍජුවම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියෙකු බව පවසා ඇත. එය නලින් විසින් අප වෙත දැක වූ ප්‍රතිචාරයකි. අපගේ සටහනකින් පැහැදිලි කරන ලද්දේ, නලින් සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය කරා යා යුතුය යන්න යෝජනාකොට සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට “විකල්පයක්” ලෙස බවය. ඒ අනුව ප්‍රතිචාරයෙන් පෙනීයන්නේ ඔහු අපගේ ප්‍රකාශය පිළිගෙන ඇති බවය. නලින් ලිබරල්වාදීන්ගෙන් සහ වම්ම්මුන්ගෙන් වෙනස්ව රන්ජන් නිසා සිදු වූ දෙය සාධනීය ලෙස භාර ගනී. ඒ ඔහුට අනුව “ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය දූෂිත” බැවිනි.
නලින් ද සිල්වා මීට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කොට නොමැත. එනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට “විකල්පය” ලෙස සිංහල බෞද්ධ රාජ්‍යය ඔහු විසින් යෝජනා කොට නොමැත. පහතින් දක්වා ඇත්තේ ඔහු පවසා ඇති දෙයයි.
//මේ දුෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සඟ ගණ ක්‍රියාකරන අන්දම අනුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට අපි හීන් සීරුවෙ නිවි හැනහිල්ලෙ කටයුතු කරනවා. එය සන්තතික වෙනස්වීමක ප්‍රතිඵලයක්. අපට ඕන නිිවි හැනහිල්ලෙ ජීවත්වෙන්න මිසක් ඊනියා ඓතිහාසික ද්‍රව්‍යවාදී ආකෘතියෙ විප්ලව කරන්න නො වෙයි.
නලීන් ද සිල්වා (Monday, 20 January 2020)//
ඔහු මෙහිදී පැහැදිලිව සඳහන් කොට ඇත්තේ ” සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට අපි හීන් සීරුවෙ නිවි හැනහිල්ලෙ කටයුතු කරනවා” යන්නය. එනම් අතීතයේ පැවති තත්වයක් ඔහු විසින් පරිකල්පනය කරයි. මෙහි ප්‍රශ්නය ඇත්තේ “සඟ ගණ ක්‍රියාකරන අන්දම අනුව” සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට පියවර ගන්න බව පැවසීම තුලය. එනම් ඔහු මේ ප්‍රකාශ කරමින් සිටිනුයේ එකල පැවති සමාජීය තත්වය අදාළ දූරාවලීන් සමගින් ඒ අකාරයෙන්ම නැවත ස්ථාපිත කල යුතු බවය. එවිට එම සමාජයේ දෘෂ්ටිවාදය නඩත්තු කරනා අධිකාරීත්වය සඟ සමාජය සතු වූ බව නලින් පරිකල්පනය කරයි. නමුත් සැබෑ තත්වය ඊට වෙනස් වන්නේ රජු ප්‍රමුඛ දූරාවලියක් සහිත රාජ්‍යක් පැවතීම සහ පන්සල ඊට අනුබද්ධව ක්‍රියාත්මක වීමය. ඒ කෙසේ වෙතත් රාජ්‍යයේ ඍජු බලපෑම රහිත සමාජ තත්වයන් ලංකාව පුරා පැවත තිබූ බවට සාක්ෂි ඇත.
ඒ අනුව නුලින් ද සිල්වා විසින් මේ ප්‍රකාශ කරමින් සිටිනුයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් සංගය නමැති තත්වයක් විසින් ඇති කරනා සදාචාර-අචාරධාර්මික සමාජයකි. එනම් එම සිංහල බෞද්ධ සමාජය සමාජය තුලම අධිවසනා සුවිශේෂී මිනිස් කොට්ටාශයක් විසින් නිර්මාණය කරනා සදාචාර රාමුවක් තුල ඊට අදාළ අචාර ධර්ම පැනවීම් කරනා සමාජයකි.
මෙවැනි සමාජ ලෝකය පුරා පැවතුනි. උදාහරණක් ලෙස දෙවන ලෝක යුද්ධය මගහරිමින් පැන ආ ඔස්ට්‍රියානු ජාතිකයින් දෙදෙනෙකු ටිබෙටයේ රැඳී සිටීම හේතුවෙන්, එය බටහිර ජුන්ටාවකින් පාලනය වන බව පවසමින් චීනය විසින් විනාශ කල ටිබෙටය එවැනි තත්වයකි. “Seven years in Tibet” කෘතිය කියවීමෙන්(එනමින්ම චිත්‍රපටයක් ද ඇත) මේ බව අවොබෝධ කොට ගත හැකිය. එකල ටිබෙට් සමාජය ලාමා සංගය කේන්ද්‍ර වූ යම් ආකාරයක සුසංවාදී සමාජයකි. ධනවාදයට අදාළ තත්වයන් එහි කොහෙත්ම නොපැවතුනි(නමුත් 13වන දලයි ලාමා විසින් බ්‍රිතාන්‍ය සහාය ලබාගනිමින් ටිබෙට් හමුදාව ස්ථාපිත කිරීම වැනි තත්වයන්ට යට වීම ධනවාදයේ බලපෑම් ලෙස සැලකිය හැකිය ). එසේ නමුත් බටහිර සමාජ අර්ථකථනයට අනුව රදල පැලැන්තියක්, ප්‍රවේනිදාස ක්‍රමයක් සහ සම්භාව්‍ය අර්ථයෙන් වහලුන් ලෙස නොසැලකිය හැකි වුවද, යාචකයින්ද නොවන සමාජ කොට්ටාශයක් සුළු වශයෙන් පැවති බව කියවේ. සමහර විශ්ලේෂණයන්ට අනුව ඒවා ඒ අකාරයෙන්ම වැඩවසම් ලෙස සැලකිය නොහැක්කේ සමස්ත සමාජයම එකම ජීවන මට්ටමක පැවතුන බැවිනි. 1959 ට පෙර ටිබෙටයේ ප්‍රධාන සමාජ කණ්ඩායම් තුනක් සිටි බව කියවේ. එනම් සාමාන්‍ය ගිහියන්, ගිහි වංශවතුන් සහ භික්ෂූන්ය. සුවිශේෂිත්වය වූයේ සාමාන්‍ය මිනිසුන් තවදුරටත් ගොවි ගොවියෙකු (ෂින්ග්-පා) හෝ සංචාරක දේවගැති (ට්‍රොක්පා) ලෙස වර්ග කළ හැකි වීමයි. ඒ කෙසේ නමුත් ඒ සමාජ කොටස් තුන අතර සමාජීය-ආර්ථිකමය වශයෙන් පැහැදිලිව පෙනෙන ලොකු වෙනසක් නොවීය.
ටිබෙට් සමාජය අවුරුදු දහස් ගණනක් එසේ පැවත ආ සමාජයකි. එවැනි සමාජ මෙන්ම මාක්ස් විසින් පෙන්වා දුන් කොම්යුනිස්ට් සමාජ ආකෘතියේ සමාජද ලොව පැවතුනි. මාක්ස් විසින් පෙන්වා දෙන පරිදි ලංකාවේද ප්‍රදේශයන්හි රාජ්‍යය බලපෑම රහිත කොම්යුනිස්ට් තත්වයන් පැවත ඇත. එසේම මෑත ඉතිහාසයට අදාලව ඉන්දියාවේ ප්‍රදේශ සහ රුසියාවේ ප්‍රදේශ පිළිබඳවද මාක්ස් විසින් පෙන්වා දේ. කොම්යුනිස්ට් සමාජය යන්නෙහිද අධිකාරීත්වය සහ දෘෂ්ටිවාදය පැවතී බව අවශ්‍ය නම් කෙනෙකුට පෙන්වා දිය හැකිය. එනම් සමාජයක් ලෙස කටයුතු කිරීමේදී ඊට අදාළ කටයුතු සඳහා පත් කරගන්නා නියෝජිතයින් සහ පුද්ගලයින් මෙන්ම කණ්ඩායම් පැවතීම සහ දේවල් සහ සිද්ධීන්ට අදාළ කතන්දර සහ ඒව තුලින් වන විශ්වාසයන් පැවතීමයි. ප්‍රශ්නය වන්නේ එම තත්වය අධිකාරීත්වය සහ දෘෂ්ටිවාදය ලෙස හැඳින්වීම වර්තමාන තත්වයට අදාළ දෘෂ්ටිවාදය සහ අධිකාරීත්වය පිළිබඳව අර්ථකතනයන් සහ විශ්ලේෂණයන් සමග සැසඳේද යන්න සහ එම පැවති තත්වයන් සැබෑ ලෙසම වර්තමාන අධිකාරීත්වයන් සහ දෘෂ්ටිවාදී සමාජය වැනිද යන්නයි.
එසේ නම් නලින් ද සිල්වා විසින් මේ කියමින් සිටිනුයේ නැවතත් සමාජීය වශයෙන් ලංකාවේ පැවති පන්සල සමග පැවති වැඩවසම් සමාජය නැවත ස්ථාපිත කොට බටහිර විද්‍යාව “අපේ චින්තනයට අවශෝෂණය” කරගත යුතු බවද ? එසේ නොමැති නම් සිංහල බෞද්ධ ආත්මයෙන් සිංහල මව් බාශාව වන මිනිසාට කිසි සේත්ම ගැලවී ගත නොහැකි බැවින් සිංහලයාට අත්කොට ගත හැකි ඕනෑම තත්වයක්( කොම්යුනිස්ට් හෝ වෙනත් විකල්ප සමාජයක් ) යනු නිම නොවූ සිංහල බෞද්ධ යථාර්තයක් යන්නද ?
නලින් ද සිල්වා විසින් වරින් වර විවිධ ලේඛන තුලින් ඉහත ප්‍රධාන කාරණා දෙකම පිළිබඳව සාකච්චා කොට ඇත. අපට අනුව ඔහු සිංහල බෞද්ධ සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වන්නේ සිංහල බෞද්ධ ආත්මයයි. නමුත් ඔහුගේ දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරනා විට සහ රාජපක්ෂ ආණ්ඩුවක් තුලින් සිංහල බෞද්ධ සමාජය නැවත ස්ථාපිත කොට ගත යුතුය කියනා විට ඔහු පිහිටන්නේ පන්සල සමග අනුබද්ධිත වූ වැඩවසම් සමාජය යලි පිහිටුවීම වෙනුවෙනි. ප්‍රශ්නය වන්නේ ඔය කාරනා දෙකම හෝ ඉන් එකක් හෝ සාක්ශාත් කොටගැනීම රාජපක්ෂ ආණ්ඩුවක් තුලින් සිදුකරගත හැක්කේ කෙසේද යන්න ඔහු විසින් පැහැදිලි නොකිරීමය.
ප්‍රතිචාර සහ සංවාදයට අදාළ සම්බැඳියාවන්…
https://www.facebook.com/madawa.rp/posts/1534547773361344?comment_id=1534906749992113&reply_comment_id=1534976503318471¬if_id=1581742384943999¬if_t=feed_comment
https://www.facebook.com/shares/view?id=1534547773361344&overlay=1¬if_id=1581736103357630¬if_t=story_reshare
https://www.facebook.com/spartacus.lipi.739/posts/150343033095296?comment_id=150359253093674¬if_id=1581703276950579¬if_t=feed_comment