නලින් ද සිල්වාගේ දේශපාලනය

Image result for දේවානි ජයතිලක

දේවානි ජයතිලක නමැති වන ජීවී නිලධාරිනියක් මේ දිනවල දක්ෂිනාන්ශිකයින්ගේ, වම්මුන්ගේ මෙන්ම සියලු පරිසරවාදීන්ගේද වීරවරිය බවට පත්ව ඇත. පහත උපුටනය නලින් ද සිල්වා විසින් දේවනි ජයතිලක ගැන ලියපු ලිපියෙනි.

//අපට නොයෙක් කටයුතු සඳහා ගස් කැපීමට සිදු වෙනවා. එහෙත් ගතික සමතුලිතතාව රැකීමට අපට පැල හිටවන්න පුළුවන්. කැපෙන ගස්වලට සරිලන පැල ප්‍රමාණයක් හිටවන්න අප කටයුතු කළ යුතුයි. ඔක්සිජන් ලැබෙන්නේ මහා වනාන්තරවලින් පමණක් නො වෙයි. පරිසරය රැකීම යනු ඔක්සිජන් ප්‍රමාණය එක් මට්ටමක පවත්වාගෙන යෑම පමණක් නො වෙයි. පොළොවේ උෂ්ණත්වය ආදිය ද සත්වයන්ට හිතකර මට්ටමක පවත්වාගෙන යෑමක්. මිනිසුන්ට තම පැවැත්ම සඳහාවත් තම අවශ්‍යතා සීමා කරන්න වෙනවා. බටහිර සමාජයේ එය කෙරෙන්නේ නැහැ. මෙහි යම් සමතුලිතතාවක් තියෙන්න ඕන.//

ඉහත ප්‍රකාශනයේ ගම්‍යමානය වනාහි ‘බටහිර දැනුම’ වෙනුවට තවත් ‘විකල්ප දැනුමක්’ ස්ථාපිත කල යුතුය යන්නයි. ඒ සමගම බටහිර විද්‍යාවේ එන සංකල්පද එම ‘දැනුම’ සමග මුසු කල යුතු බවක් කියවේ. ඒ ඔසිජන්, උෂ්ණත්වය සත්වයින්ට හිතකර මට්ටමක පවත්වා ගැනීම, ගස් වැවීම වැනි ‘දැනුමකින්’ ‘මිනිසා’ පරිසරය වෙනුවෙන් කල යුතු දේවල් පිලිබඳවය. ඒ එක්කම ‘දැනුමකින්’ මිනිස් අවශ්‍යතා සීමා කිරීම වැනි කතාද කියවේ (ඉහත කතා සියල්ලෙහි ඇත්තේ අධිකාරීත්වයේ පැවැත්ම පිළිගැනීමය).

ඒ අනුව එම කියමන් බොහෝ දුරට සමාන වන්නේ ‘භෞතික විද්‍යාවේ තාවෝවාදය’ කෘතිය (‘Tao of Physics’) ලියූ Fritjof Capra ගේ පරිසරවාදී දැක්මටය. එය ඇත්තටම පශ්චාත් නූතනවාදීය. කප්රා අදහන ලංකාවේ සිටින තවත් ‘හරිත සමාජවාදියෙකු’ වන්නේ චම්පික රණවකය. සපුමල් සේනානායක නමින් “මීසොනයක නැගී නිවන සොයා” යනුවෙන් 90 දශකයේ මුල් භාගයේ දිවයින පුවත්පතට කප්රා ගැන ලියුවේ ඔහුය. එසේම ඔහු එම අර්ථයම ඇති අයින්ස්ටයින් ගැන ලිපි පෙළක් විදුසර පුවත්පතට ලිවීය. වසර ගනනක් පල වූ ඉන් එක් ලිපි පෙළක මාතෘකාව වූයේ “විශ්ව විද්වතාගේ කතාව” යන්නයි (ඒ පිළිබඳවම වෙනත් නමකින් ඒ හා සමාන තවත් ලිපි පෙළක් පලවිය).

දැන් බලන කල අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට මුලට කෑල්ලක් එකතුකොට ගනිමින් “නිර්මානාත්මක සාපේක්ෂතාවාදය” යන ප්‍රවාදය නිර්මාණය කල නලින් ද සිල්වා සහ චම්පික රණවක අතර කිසිඳු වෙනසක් නැත. නමුත් නලින් රාජපක්ෂලාට කැමති වුවද පරිසරවාදී චම්පිකට කොහෙත්ම කැමති නැත. එසේම නලින් රනිල්ට මාරාන්තික ලෙස විරුද්ධ ඔහු ජේ.ආර්. ජයවර්ධනගේ නියම අනුප්‍රාප්තිකයා බැවිනි. නමුත් නලින් ද සිල්වාම වරක් ලියා තිබුනේ ජේ.ආර්. විසින් ෆ්රිට්ජෝෆ් කප්රා සතියක කාලයකට තම පුද්ගලික මුදල් වියදම් කොට ශ්‍රීලංකාවට ගෙන්වාගෙන ඔහුගේ නිවසේ කප්රා සමග කාලය ගත කල බවය. ඇත්තටම ඒ ජේ.ආර්. ක්ප්රාට කැමති බැවිනි. නමුත් ක්ප්රාට සමාන අදහස් ඉදිරිපත් කරනා නලින් ජේ.ආර්.ට, ඔහුගේ අනුප්‍රාප්තික රනිල්ට මෙන්ම චම්පික රණවකටද අකමැතිය.

අදාළ ලිපියේ ඊළඟ කොටසින් නලින් මෙසේ කියයි….

// පරිසරය රැකීම යනු මේ ගතික සමතුලිතාව රැකීමයි. එය සුළු වශයෙන්වත් වෙනස් නොවිය යුතු බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. ඒ වෙනස්වීම අපට (මිනිසුන්ට සතුන්ට ගහ කොළවලට) ඔරොත්තු දෙන ආකාරයකට සිදු විය යුතුයි. මේ සම්බන්ධයෙන් ලියා ඇති ලිපි කවදා කිනම් පත්තරවල තියෙනවා ද කියා මට මතක නැහැ. එහෙත් ඒ පිළිබඳ ලිපි රාශියක් ලියූ බව නම් මට මතකයි//

‘ගතික සමතුලිතතාවය’ රැකුනොත් පරිසරය රැකෙන බව නලින් දන්නේ බටහිර විද්‍යාවෙනි (වෙන කෙසේද ?). ඒ අනුව නලින් පවසන්නේ “ඒ පරිසර වෙනස්වීම අපට (මිනිසුන්ට සතුන්ට ගහ කොළවලට) ඔරොත්තු දෙන ආකාරයකට සිදු විය යුතුයි” යන්නයි. ඒ අනුව ප්‍රධානම ප්‍රශ්නය ඇත්තේ එතනය. පරිසර වෙනස් වීමේ මාත්‍රාව, එනම් මිනිසුන්ට සතුන්ට ගහ කොළ වලට ඔරොත්තු දෙන මාත්‍රාව ‘මිනිසාට දැනගත’ හැකිද යන්නයි. වෙනත් අකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් එකී මාත්‍රාව පිළිබඳව ‘පරම දැනුම’ ‘නූතන විද්‍යාවෙන්’ (නලින්ට අනුව ‘බටහිර විද්‍යාවෙන්’) හෝ එම ‘නූතන විද්‍යාව’ එකතු කරගනිමින් නිර්මාණය කරනා “අපේ දැනුමක්”(නලින් පවසන මෙම “අපේ දැනුම” සහ සහ ‘නූතන විද්‍යාව’ ඒවායේ ක්‍රියාකාරිත්වය ගුණයෙන් අසමාන නොවේ) තුල තිබිය හැක්කේ කෙසේද යන්නයි. කෙටියෙන් පවසන්නේ නම් නලින් විසින් මේ කියමින් ඉන්නේ ‘මිනිසාට’ පරිසරය පිළිබඳව ‘වාස්තවික සත්‍ය’ අවබෝධ කොටගෙන එම ‘වාස්තවික සත්‍ය’ ට අනුව අදාළ සංවර්ධන කටයුතු සිදුකල හැකිය යන්නයි.

මින් පැහැදිලි වන්නේ නලින් ද සිල්වා යනුද දේවානි ජයතිලක, අමාත්‍ය සනත් නිශාන්ත හෝ වෙනත් ඕනෑම ලිබරල් හෝ වාමාංශික දේශපාලනඥයෙකු, පරිසර විද්යාඥයෙකු, පරිසරවාදියෙකු හෝ මෙකි නොකී මෙදියත වසන ‘දියුණුව’, ‘සංවර්ධනය’ පිළිගන්න ඕනෑම අයෙකුට වඩා වෙනසක් නොමැති දෘෂ්ටිවාදයේම තවතවත් එක් ප්‍රකාශනයක් පමණක් බවය.

නලින් පෝල් ෆොයරබන්ඩ් ගැන ලියා ඇත. එසේම ඔහුගේ අභාෂය ලැබුන බවද පවසා ඇත. නමුත් ඒ බවක් නම් නලින්ගේ ඉහත අවබෝධය තුලින් පෙන්නුම් කරන්නේ නැත. එසේම ෆොයරබන්ඩ්ගේ ප්‍රශ්නය වූයේ විද්‍යාව හුදු දෘෂ්ටිවාදයක් බවට පමණක් සැලකෙන පරිදි කරුණු දැක්වීමය (ෆොයරබන්ඩ්ගේ කාර්ය පිළිබඳව කිසිඳු අවතක්සේරු කිරීමක් නොවේ). ඔහු එහිදී අමතක කල කාරණය වූයේ නූතන විද්‍යාවට ඍජු ගනුදෙනුව ඇත්තේ යථ (THE REAL) සමග බවය. එය පෙන්වා දුන්නේ ලකාන් විසිනි (‘නූතන විද්‍යාව පිළිබඳව ලකානියානු අදහස'(අපගේ අදහස) ඉදිරි ලිපියකින් පැහැදිලි කෙරේ).

නලින් ද සිල්වාගේ දාර්ශනික පදනම වන්නේ ඔහු විසින් නිර්මාණය කළා යයි පවසන ‘නිර්මානාත්මක සාපෙක්ෂතාවාදයයි’. එහි ‘දැනුම නිර්මාණය’ සහ ‘අවශෝෂණය’ යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් ඇති බව කියයි. ඉහත සඳහන් කල පරිසරය පිළිබඳව ඔහුගේ අදහස් එලියට පැමිණෙන්නේ එම ‘නිර්මානාත්මක සාපේක්ෂතාවාදී’ පදනම මත පිහිටා විය යුතුය. ඔහු පවසන “බටහිර දැනුම”, අපේ සංස්කෘතිය වෙත “අවශෝෂණය” කරගැනීම යන්න සඳහා හොඳ උදාහරණයක් වන්නේ ඉහත ඔහුගේ අදහස්ය.

නලින්ගේ ‘නිර්මානාත්මක සාපේක්ෂතාවාදය’ තුල සාකච්චා කරන ‘දැනුමේ සාපේක්‍ෂත්වය’ පිළිබඳව වන අදහස පැමිණෙන්නේ අයින්ස්ටයින්ගේ ‘සාපේක්ෂතාවාදය’ හරහාය. සෝවියට් ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් ප්‍රකාශිත කෘතීන්හි සහ ලෙනින් විසින් අයින්ස්ටයින් සහ ‘සාපේක්ෂතාවාදය’ හඳුන්වා ඇත්තේ, “දැනුමේ සාපේක්ෂතාවය පිලිබඳ කියවෙන අඥෙයවාදයකි” යනුවෙනි. ඒ අනුව එංගල්ස් මෙන්ම ලෙනින් ඇතුළු සෝවියට් මාක්ස්වාදීන්ද මනසින් සහ පංචෙන්ද්‍රියරියන්ගෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය පිළිගන්නා ලදී. එනම් දැනුමේ ‘නිරෙපේක්ෂත්වය’ පිළිගන්නා ලදී. ඔවුන් විසින් ‘සාපේක්ෂතාවාදය’ ප්‍රතික්ෂේප කලේ එබැවිනි.

නලින් ද සිල්වා විසින් කරමින් සිටිනුයේ ‘දැනුමේ නිරපේක්ශ්‍යත්වය’ පිලිබඳ න්‍යායේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂයක් ගොඩනැගීමය. එනම් තවත් දෘෂ්ටිවාදයක් කරා පියනැගීමය (අපගේ කාර්ය නම් දෘෂ්ටිවාදය විචාරය මිස පවතින දෘෂ්ටිවාදයට එරෙහිව නව දෘෂ්ටිවාදයක් ගොඩනැගීම නොවේ ).

‘දැනුම’ ‘නිරපේක්ෂ’ ද ‘සාපේක්ෂ’ ද යන්න අදාලම නැත.

‘දැනුම’ පිළිබඳව ලකාන් විසින් ඉදිරිපත්කොට ඇති අදහස් (අප විසින් ඉදිරිපත්කොට ඇති අදහස් ) කිසිවෙකුත් කිසි දිනක අභියෝහයට ලක්කොට නොමැත. මෙහි ඒ පිළිබඳව දීර්ග විග්‍රහයක් කල නොහැකි බැවින් කෙටියෙන් මෙසේ පෙන්වා දිය හැකිය.

ලකාන් ප්‍රකාශ කොට සිටින්නේ විද්‍යාව ගුණාංගීකරණය වන්නේ ‘සංකේත දැනුම’ ට(‘Symbolic Knowledge’) ඇති සුවිශේෂී සම්බන්ධයක් මගින්යන්නයි. ඒ තුල එම විද්‍යාව පදනම් වන්නේ ප්‍රතිභානය (intuition) වෙතට ඇති සම්බන්ධය මගින් ‘දැනුම’ ට ඇති වෙනත් ඕනෑම ප්‍රවේශයක් බැහැර කිරීම මත සහ එසේ ‘දැනුම’ සඳහා වන සියලු ගවේෂණයන් වෙත බළකොට සිටින්නේ ‘තර්ක බුද්ධියේ’ (reason) මාවත පමණක් අනුගමනය කරන ලෙසය යන පදනම මතය.

‘නූතන ආත්මය’ යනු ‘විද්‍යාවේ ආත්මය’යි යන අර්ථයෙන් ‘දැනුම’ සඳහා වූ මෙම තනිකරම ‘තර්ක-බුද්ධිමය’ මාර්ගය දැන් පොදු පූර්ව නිගමනයකි. ‘නූතන ආත්මය’ ‘විද්‍යාවේ ආත්මය’ වන්නේ ‘දැනුම’ වෙතට ඇති මෙම සුවිශේෂීමය තාර්කික බුද්ධිමය ගමන් මාර්ගය පිලිබඳ අර්ථයෙනි. මනෝ විශ්ලේෂණය ක්‍රියාත්මක වන්නේ ‘විද්‍යාවේ ආත්මය’ තුල පමණක් බව ප්‍රකාශ කිරීමේදී ලකාන් කරුණු ගෙනහැර දක්වනුයේ මනොවිශ්ලේෂණය පදනම් වී ඇත්තේ කිව නොහැකි අත්දැකීමක් හෝ ප්‍රතිභානයේ සැණෙළියක් (A flash) සඳහා වන ඕනෑම ආයාචනයක් මත නොව, එය ක්‍රියාත්මක වන්නේ ‘තර්ක බුද්ධිය’ එහි සීමාව උමතුව තුල අභිමුඛ වන විට පවා තර්ක බුද්ධිමය සංවාදයක් මතම බවය.

ලකාන් විසින් නූතන ‘තර්ක මූල විද්‍යාව’ ප්‍රතික්ෂේප කරමින් ‘විතර්ක මූල විද්‍යාවන්’ පිළිබඳව විශ්වාසය තැබුවේ එබැවිනි. මාක්ස්ගේ ‘වාර්ගික සත්තාව’ අත්කොට ගැනීම සමග ලකානියානු අර්ථයන් සමපාත වන්නේ මෙබැවිනි. නලින්ද සිල්වා පවසන ‘නිරීක්ෂකයා’ සිටීද නැද්ද වැනි විචාරක කාරනා මේ තත්වයට අදාළ නැත. එසේම ‘වාස්තවිකත්වය’, ‘යථාර්තය’ වැනි දෑ ඉන් පසු පවතින්නේද නැත.

ඒ අනුව ‘දැනුමේ’ සාපේක්ෂත්වය හෝ නිරපේක්ෂත්වය පිළිබඳව පටලැවිලි අපට අදාලම නැත. නලින් ද සිල්වා විසින් “නිරීක්ෂකයා පලවාහැරීම” ලෙස හඳුන්වන්නේ අප ඉහත සඳහන් කොට ඇති තර්ක බුද්ධිය ප්‍රතික්ෂේප කිරීමද යන්න පැහැදිලි නැත.

නලින්ද සිල්වාගේ “විද්‍යාලංකාර විවරණය”ට බටහිර ක්වොන්ටම් භෞතිකය අදාළ කරගන්නේ බටහිර විද්‍යාව සහ සිංහල බෞද්ධ සම්ප්‍රදාය එක් කිරීමේ (බටහිර දැනුම අපේ සංස්කෘතියට “අවශෝෂණය” කරගැනීම) අරමුනින්දැයි නොවැටහේ. නලින් ද සිල්වා විසින්ම පිළිගත්, තෝමස් කූන්ගේ න්‍යායක් වන ‘අසම්මේයත්වය’ (‘incommensurable’) සම්බන්ධයෙන් ගත්තද ඔහු විසින් සිදු කරණ පටලැවිල්ල ඊට පටහැනිය.

ඒ අනුව නලින් ද සිල්වාගේ දේශපාලන සිතීම සංයුක්ත නොවන බව හොඳින්ම පැහැදිලිය. පෙරටද වඩා ඔහු වඩාත්ම අවුල් වී ඇත්තේ රාජපක්ෂ පාලනය ආරක්ෂා කිරීමට යාම තුලය.

නලින් ද සිල්වාට සංයුක්ත දේශපාලන අවබෝධයක් නොමැත.

Image result for නලින් ද සිල්වා

මෛත්‍රීපාල සිරිසේන විසින් වැලි, පස්, ගල්, ලී, මැටි, බොරළු, සඳහා දැඩි නීති සීමා පැනවීය. එසේ වීමෙන් ‘සංවර්ධනය’ ට සිදුවන බාදා ඔහුට එතරම් අදාළ නොවීය. එසේම ගංගා, ඇල දොළ දෙපස ආරක්‍ෂිත ප්‍රදේශ ගැසට් කරන ලදී. වන සංරක්ෂණයට අදාළ බොහෝ කටයුතු සිදු කරන ලදී. ඔහුට ජනාධිපති දූරය අහිමි වීමට පෙර අවසාන වශයෙන් කල කාර්ය වූයේ භූමි ප්‍රදේශ 64ක් රක්ෂිත ලෙස එකවර ගැසට් කිරීමය. ඔහු පැමිණි වහාම ඇස්බැස්ටස් තහනම් කිරීමට පියවර ගත්තද රනිල් හරහා සිදු කෙරුණ කුමන්ත්‍රණයකින් එය වැලකී ගියේය. පොලිතීන්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය පිළිස්සීමට අදාලව උපරිම දඬුවම වසර 2ක දක්වා වන නීති සම්පාදනය කෙරුණි (නමුත් රනිල් සතුව තිබූ පොලීසිය මෙම නීති ක්‍රියාත්මක නොකළේය). පොලිතීන් සීමා කිරීමට උත්සාහ දැරීය. නමුත් පොලිතීන් නිෂ්පාදකයින් සහ අදාළ ස්ථාන වල රැකියා කරනා විශාල පිරිසකට රැකියා අහිමි වනවාය යන ප්‍රශ්නය මත, රාජපක්ෂලා විසින් ඔවුන් උසිගන්වා උද්ගෝෂණ සංවිධානය කොට පොලීතීන් තහනම පොලිතීන් සීමා කිරීමක් දක්වා පසුබැස්සුවද එයද ක්‍රියාත්මක නොවුනි. චේන් කියත් සියල්ල ලියාපදිංචි කල යුතු බවට නීතියක් පැනෙව්වේය. සියලු ලී මඩු වසා දැමිය යුතුය යන්න මෛත්‍රී විසින් කියා සිටිද්දී ඔහුට මුලින්ම උසුළු විසුළු කරන ලද්දේ වාමාංශිකයින්ය. ඇත්තෙන්ම කල යුතුම දෙයක් වූයේ සියලු ලී මඩු වසා දැමීමය. එසේ කල පසු දැනට බොහෝ කලකට පෙර මෙන් ගෙදර ඉඩමේ තමන්ට ලී බඩු වලට අදාළ ගස් වවාගෙන ඒවා කපා ලී බඩු සාදාගැනීමට මිනිසුන්ට සිදු වනු ඇත.

Image result for maithripala sirisena

වස විස නැති ගොවි තැන වැනි සාර්ථක කොටගත නොහැකි ව්‍යපෘති සඳහා මෛත්‍රී දායකත්වය දැක් වූයේ ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිව සහ තමන් පොර වීම සඳහා යන අතුරලියේ රතන හිමි සමග එකතුවය. එය අසාර්ථක වුවද දේශපාලන අරමුණක් ලෙස ගත් කල පවතින තත්වය භාර නොගනීමකි. එසේම ග්ලයිපොසේට්, ග්‍රැමොක්සෝන් ඇතුළු කෘෂි රසායන ගණනාවක් තහනම් කරමින් පොහොර සහනාදාරය වෙනුවට මුදල් ලබා දීමට ක්‍රියා කරන ලදී. ඒ සෑම අවස්ථාවකම නූතන විද්‍යාවේ අංගයක් වන කෘෂි විද්‍යා උගතුන් එම කටයුතු වලට ඉතා දැඩිව එරෙහි විය. එසේම වාමන්ශිකයින්ද දැඩිව ඒවාට එරෙහි වූයේ ඔහු විද්‍යාවට පිටුපා මිත්‍යාව වැළඳගන්නා, ප්‍රගතිශීලීත්වය පිටුදකිනා වැඩවසම් මෝඩයෙකු ලෙස දකිමින්ය. පොහොර සහ කෘෂි රසායන සමාගම් විවිධ ආකාරයෙන් ඊට එරෙහිව කල හැකි සියලු දෑ කලෝය.

කොටින්ම කියන්නේ නම් ඉහත සඳහන් කල දෑ  හැරුණු කොට මෛත්‍රී විසින් ධනවාදය වෙනුවෙන් කල අන් කිසිවක් නොමැත. මොරගහ කන්ද ජලාශය තැනීම ගත්කල එය වර්තමාන සංවර්ධන අර්ථයන්ට එතරම් අදාළ කටයුත්තක් නොවේ.

වර්තමාන රාජපක්ෂ පාලනය පැමිණි වාහම සිදු කරන ලද්දේ මෛත්‍රී විසින් සිදු කල බොහෝ දෑ ක්ෂණිකව කණපිට හැරවීමය. මේ වන විට මහා පරිමාණයෙන් සියලු ප්‍රදේශවල වැලි, පස්, ගල්, ලී, මැටි, බොරළු, ව්‍යාපාර ජයටම කෙරී යන්නේ පොහොට්ටු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේය. එසේම පොහොර සහනාදාර, කෘෂි රසායන ගෙන්වීම ආදී සියල්ල නැවත ක්‍රියාත්මකය. අවුරුදු පහක් පුල පුලා බලා සිටි පොහොට්ටු හිතවතුන්ට දිවයිනේ සෑම ප්‍රදේශයකම රක්ෂිත වනාන්තර අක්කර දහස් ගණනින් එලි කිරීමට ලබා දෙමින් තිබේ. කොටින්ම පිදුරුතලාගල පවා අක්කර 400ක් ලබා දුනි.

රාජපක්ෂ ආණ්ඩුව තුනෙන් දෙකක බලය සඳහා සූදානම් වෙමින් තිබේ. ඔවුන් තුනෙන් දෙක ඉල්ලා සිටින්නේ නව ලිබරල් ධනවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය ලබා ගැනීම සඳහාය. ඊට අදාළ යටිතල පහසුකම් සහ නිෂ්පාදන, වෙළඳ ව්‍යාපාර පිහිටුවීමේදී ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නූතන පරිසර විද්‍යාවට අදාළ පාරිසරික සීමා පිලිබඳ ප්‍රශ්නයයි. එසේම ඉඩම්, වාරි මාර්ග, ප්‍රදේශ වලින් පදිංචි කරුවන් ඉවත් කිරීමට සිදු වීම වැනි දේවල් වල සිට අඩු තරමින් අවුරුදු 10කට හෝ අදාලව බලය තහවරු කොට ගැනීම අත්‍යවශ්‍යම කාරනයකි. එසේ අවුරුදු 10කට හෝ බලය තහවරු නොකොට ගෙන කිසිඳු ආයෝජකයෙකුගේ එකඟතාවය ලබාගත නොහැකිය. චීනය විසින් සිදු කරනු ලබන කොළඹ වරාය නගරය ඉදිකිරීම් වැනි කටයුතු සඳහා චීනයම හෝ තවත් රටවල් එකඟ කරගැනීමට නම් අතවශ්‍යම දෙය වන්නේ අවම වශයෙන් අවුරුදු 10කට හෝ වගකිව හැකියයි සහතික කල හැකි ඕනෑම තීරණයක් ගත හැකි රෙජීමයක පැවැත්මය. එවැනි තත්වයක් යටතේ MCC හෝ වෙන යම් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කිසිඳු බාධාවක් ඇති නොවේ.

පොහොට්ටුව පමණක් නොව UNPය ද පලාපොරොත්තු වූයේ එවැනි බලයක් ගොඩනගා ගැනීමටය (1977 ජේ.ආර් ආණ්ඩුව වැනි). විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වන අකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් අකාරයක් නොමැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා රනිල් දැඩි විරෝධයක් දක්වන්නේද එබැවිනි. රනිල් 2014දී මෛත්‍රී ඇතුළු SLFPයෙන් පැමිණි පිරිස ඇතුළු බලවේග එකතුකොට ගනිමින් පැවති රාජපක්ෂ ආන්ඩුව පෙරලා දැමීමට කටයුතු කලේ මෛත්‍රී සමග ආණ්ඩු කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඔහු ක්‍රමානුකූලව SLFPය දියකර හරින්නේ එබැවිනි. ඔහු ඒ සඳහා පාවිච්චි කලේ රාජපක්ෂලාය. රාජපක්ෂලා සමග ඩීල් දමමින් බැසිල් හරහා පොහොට්ටුව නිර්මාණය කිරීමට උදව් උපකාර කලේ රනිල් විසිනි. ඉන් ඔහු බලාපොරොත්තු වූයේ එක්කෝ තනි UNP ආණ්ඩුවක් බිහිකොට ගැනීම හෝ යලි ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙත බලය හුවමාරු වීම වැළැක්වීමය. ඒ අනුව රනිල් අකමැතිම දේ වන්නේ මෛත්‍රී වැනි නායකයෙකු යටතේ SLFPය බලය තහවරු කොට ගැනීම බව පැහැදිලිය.

Image result for ranil wickramasinghe sunglass

2018 වසරේදී මෛත්‍රී විසින් යලි මහින්ද වෙතම අගමැති කම ලබා දෙන්නේ ඉවසාගත නොහැකි තැනය. කෙසේ නමුත් අවුරුදු පහ අවසානයේ UNPයට අන්ත පරාජයක් අත්වන බව පෙනි පෙනීත් සජිත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා රනිල්ට කිසිඳු වුවමනාවක් ඇති නොවූයේ නැවතත් UNPය ජේ.ආර්. ප්‍රතිපත්තීන්ගෙන් (ලිබරල්) පිට පනින බැවිනි. රනිල්ට කෙසේ හෝ පක්ෂයේ ජයග්‍රහණය අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු බලාපොරොත්තු වන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුද්ගලයින් සහිත පක්ෂ යාන්ත්‍රනය සහ බලය ස්ථාපිත කොට ගැනීමය. එසේ නොහැකි නම් තමන් බලාපොරොත්තු වන වැඩපිළිවෙලට ආසන්න හෝ එම වැඩ පිලිවෙලම හෝ ඉදිරියට ගෙනයන වෙනත් කෙනෙකු හෝ කණ්ඩායමක් පෙනේ නම් ඔවුනට බලය යන ආකාරයට කටයුතු කොට පක්ෂයේ ලිබරල් ගුණය රැකගෙන සිටීම ඔහුගේ දැඩි ප්‍රතිපත්තියයි. ඔහු මේ මොහොතේ සටන් වදින්නේ එම ලිබරල් ගුණය රැකගැනීම වෙනුවෙන් මිස ගොඨාභයගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා නොවේ. පවතින තත්වය යටතේ ගෝඨාභය හට රනිල් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි වැඩපිළිවෙල තමනටත් වඩා හොඳින් සිදු කල හැකි බව ඔහු දනී (සාර්ථක වීම හෝ අසාර්ථක පිළිබඳව ප්‍රශ්නය වෙනකකි). ඒ අනුව ඔහු ගෝඨාභයට පූර්ණ සහාය දෙනු ඇත්තේ 2009 වසරින් පසු මහින්ද විසින් ක්‍රියාත්මක කල සංවර්ධන ව්‍යාපෘති කිසිඳු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සැලස්සුවා මෙනි.

ගොඨාභයගේ අරමුණ වී ඇත්තේ මහින්දලා, නාමල්ලා කපා දමා බැසිල් සමග ගමනක් යාමය. මහා මැතිවරණයෙන් පසු එය සිදුවීමට නියමිතය. එසේ නොමැතිව ගෝඨාභය බලාපොරොත්තුවන ගමන යාමට අපහසුය. ඉන් පසුව MCC අත්සන් කිරීම සිදුවනු ඇත. MCC අත්සන් කිරීමේදී ඇමරිකන් හමුදාව උතුරට ගෙන ඒම එක කොන්දේසියකි. එයට දෙමල ජාතික සන්ධානය උඩින්ම කැමතිය බවද කියවේ. ඒ සමගම වික්රමභාහු කරුණාරත්න වැනි රනිල්වාදීන්ද සිදුවන දෙය වටහාගෙන තිබේ. ඔවුන්ද එයට කැමැත්තක් දක්වයි. සිදුවෙමින් පවතින දේවල් සම්බන්ධයෙන් රනිල්ට කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවේ.

අවශ්ය නම් ප්රේමදාස දිනවීම සඳහා රනිල්ට හොඳටම ඉඩකඩ තිබුණි. රනිල් ඉවත් වී නායකතත්වය ප්රේමදාසට ලබාදුන්නේ නම් සිරිසේන ප්රමුඛ SLFP ය ප්රේමදාස සමග එකතු වීමට නියමිත විය. ප්රේමදාස පරාජයකොට ගොඨාභය දිනවීම රනිල්ගේ අරමුණ විය. ඒ රනිල්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට වන බැවිනි. එනම් රනිල්ට හෝ රනිල්ගේ ලිබරල් අනුප්රප්තිකයින්ට බලය ලබා ගන්නට බැරි තත්වයක් යටතේ ප්‍රේමදාසලට ලිබරල් ප්රතිපත්ති අවුල් කිරීම සඳහා රනිල් ඉඩතියන්නේ නැත. එබැවින් තමන්හට බලය ලබාගැනීමට නොහැකි තත්වයක් යටතේ තමන්ගේ ප්‍රතිපත්ති හොඳින්ම ක්‍රියාත්මක කල හැකි කෙනාට ඉඩ ලබාදුනි. දැන් රනිල්ගේ කාර්ය ප්රේමදාසගෙන් සහ ඔහුගේ කල්ලියෙන් ලිබරල් කණ්ඩායම ආරක්ෂා කරගෙන ඉදිරියේදී හැකි දවසක බලය ලබා ගැනීමය. රනිල් සිරිසේනට වල කැපුවේද එබැවිනි. සිරිසේනගේ ප්රතිපත්ති වලට රනිල් කැමති නැත. සිරිසේන ප්රමුඛ SLFPය විනාශ කොට රාජපක්ෂලා ඉතුරු කරගත්තේ එබැවිනි.

ඒ අර්ථයෙන් බලන් කල 2010න් පසුව රටේ ක්‍රියාත්මක වන්නේ රනිල්ගේ අභිලාශයන්ය. නලින් ද සිල්වා ඇතුළු සිංහල බෞද්ධ චින්තන නඩය මෙන්ම අනෙකුත් ජාතික චින්තන නඩයන්ද උදව් කරමින් සිටිනුයේ රනිල්ටය.

UNPයෙන් රනිල් එළවීම පහසු කාර්යක් නොවේ. ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල් වෙනුවෙන් පෙනී සිටින බැවිනි. UNP කෘත්‍යාධිකාරී මණ්ඩලය යනු ඍජු හෝ වක්‍ර ලෙස ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ය. මේ තත්වය යටතේ කල යුත්තේ කුමක්ද යන්න ඔවුන්ට පැහැදිලි කොට දීමට සහ ඒ සඳහා ඔවුනගේ එකඟතාවය ලබාගැනීමට රනිල් සමත්ව තිබේ. ඒ අනුව දෙවන රාජපක්ෂ රජු බලයට පැමිණෙන්නේ ඒ සහයෝගයෙනි.

ඉහත තත්වය එසේ තිබියදී නලින් ද සිල්වා ඇතුළු ඔහුගේ ගෝලබාලයින් මෛත්‍රී පාර්ශවය නොගත්තේ සත්තකින්ම නලින්ට ගැලපෙන සංකේතය ‘මැදමුලන වලව්ව’ නිසා විය යුතුය.

නලින් ද සිල්වාට දෘෂ්ටිවාදය ගැන අවබෝධයක් නොමැත. ඔහු හිතනුයේ මේ පැතිර පවතින්නේ “සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය”(නලින් ද සිල්වාට අනුව සිංහල බෞද්ධ යනු සිංහල බෞද්ධ සම්ප්‍රදායයි. නමුත් මේ පැතිර පවතින්නේ නලින් ද සිල්වා පරිකල්පනය කරනා එම සම්ප්‍රදාය නොවේ) බවය. සැබවින්ම වම්මුන්ද සිතන්නේ එසේය. වම්මුන්ට අනුව ජයගත යුතු ප්‍රධාන සාධකය “සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය” පරාජය කිරීමයි. වම්මු මෙතරම්ම රනිල් වික්‍රමසිංහට කැමති වන්නේද එබැවිනි. වම්මු සහ නලින් ද සිල්වා සමාන වන්නේ මෙම ස්ථානයේදීය. එනම් දෙකොට්ටාශයටම අනුව මේ පවතින්නේ “සිංහල බෞද්ධ ජාතිකත්වයි”. වම්මු නලින් ද සිල්වාගෙන් වෙනස් වන එකම ස්ථානය වන්නේ එම තත්වයට තවත් විශේෂණයක් වන ‘වැඩවසම්’ නමැති කොටසද යොදමින් හැඳින්වීම නිසා පමණි. ඒ අනුව වම්මු සහ නලින් පාර්ශවය පරම සතුරන් වන්නේ, නලින් පවතින සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් එය රැකගෙන වර්ධනය කිරීම සඳහා පෙනී සිටින විට වම්මු ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටීමයි. ඇත්තටම එසේ “සිංහල බෞද්ධ සම්ප්‍රදාය” මැජික් බලයකින් හෝ ස්ථාපිත වන්නේ නම් අපගේද යම් කැමැත්තක් ඇත (අප කුඩා කල තිබුන තත්වය හරි). නමුත් එය එසේ සිදු වීමට කෙසේවත් ඉඩක් නොමැත. අවධාරණයෙන් කිව හැක්කේ නැවත කිසි දිනක නලින් ද සිල්වා පරිකල්පනය කරනා අතීතයේ තිබුන තත්වය ඇතිවන්නේ නැත යන්නයි. එසේ ඇතිවිය යුතුයයි (සමාජීය වශයෙන්) අප සිතන්නේද නැත. නලින් ඇතුළු නඩය මෙන්ම වාමන්ශිකයින්ද පොදුවේ අනුමෝදම් කරගන්නේ ජාතික රාජ්‍යයේ මෙම තත්වයයි. වාමාංශිකයින්ට සහ පශ්චාත් මාක්ස්වාදීන්ට අනුව වර්තමාන ලංකාව අත්මිදිය යුතු වන්නේ “සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙනි”(මෙය අපගේ හැඳින්වීමක් නොවේ).

බොහෝ දෙනෙකු දෘෂ්ටිවාදය යන්න අවබෝධයකින් තොරව යොදනු පෙනේ. එසේම ‘කතිකා විශ්ලේෂණය’ (discourse analysis) සහ දෘෂ්ටිවාදය අතර වෙනස ද ඔවුනට අදාළ නැත.

දෘෂ්ටිවාදය යන්න සරලව මෙසේ පැහැදිලි කල හැකිය. බොහෝ අය ‘දෘෂ්ටිවාදය’ යන වචනය ඇසූ විට, ඔවුන් සිතන්නේ සාමාන්‍යයෙන් “ism” වලින් අවසන් වන සමාජ-දේශපාලන විශ්වාසයන් විශාල ප්‍රමාණයක් ගැනය; ‘කොමියුනිස්ට්වාදය’, ‘ලිබරල්වාදය’, ‘ගතානුගතිකවාදය’ යනාදිය ලෙස ඒවා දැක්විය හැකිය. නමුත් අපිට අදාලව ‘දෘෂ්ටිවාදය’ යන යෙදුම භාවිතා කරන විට අප එය භාවිතා කරනුයේ මාක්ස්වාදී අර්ථයකින් ය. කාල් මාක්ස් සම්බන්ධයෙන් ගත් කල, ‘දෘෂ්ටිවාදය’ යනු මිනිසුන් කෙරෙහි ව්‍යාජ අදහස් ඉදිරිපත් කරන කතිකාවන් මාලාවකි. මාක්ස්ගේ අර්ථයෙන් එය ‘ව්‍යාජ විඥානය’යි. එනම් මිනිසුන් එම ව්‍යාජ අදහස් භාරගන්නා විට, ඔවුන් ලෝකය, එය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඔවුන්ගේ ස්ථානය පිළිබඳව ‘ව්‍යාජ විඥානයයක්’ වර්ධනය කරයි. උදාහරණයක් ලෙස, මධ්‍යකාලීන යුරෝපයේ, ආගම සමාජ ව්‍යුහයට සහාය දැක්වීම සඳහා ‘දෘෂ්ටිවාදයක්’ ලෙස ක්‍රියාත්මක උනි. එකල සර්ෆ්වරුන්ට පවසා ඇත්තේ ඔවුන් භාරව සිටින අයව දෙවියන් විසින් පත් කරන ලද බවත්, ලෝකය වැඩ කරන ආකාරය යනු එය ක්‍රියාත්මක කළ හැකි දිව්‍යමය වශයෙන් නියම කළ එකම ක්‍රමය බවත්ය. ඒ අනුව වහලුන් වූ මිනිසුන් නැගී නොසිටීම පුදුමයක් නොවේ. ඔවුන්ට මූලික වශයෙන් සැබෑවටම දෙවියන් වහන්සේ අවශ්‍ය බව ඔවුන්ට පවසා තිබුණි. මාක්ස් පවසන පරිදි ධනවාදය හෝ ලිබරල්වාදය වැනි වෙනත් දෘෂ්ටිවාද ඉහත ආගම ක්‍රියා කල අකාරයෙන්ම ක්‍රියාත්මක වේ. ඒවා නිර්මාණය වී ඇති අතර, ඊට අදාළ විශේෂිත සමාජ ව්‍යුහයක් පවත්වා ගැනීමට උපකාරී වන අතර නව දෘෂ්ටිවාදයක් බලයට පත්වන විට අවසානයේදී එය අනුග්‍රහය නොලබයි. මෙය සිදු වූ විට, එනම් නව දෘෂ්ටිවාදයක් හිඩැස පුරවන විට සමාජයේ සමස්ත ව්‍යුහය කඩිමුඩියේ වෙනස් විය හැකිය.

‘කතිකා විශ්ලේෂණය’ සහ ‘දෘෂ්ටිවාදය විචාරය’ අතර වෙනස පිළිබඳව අවබෝධයක් නොමැති වාමන්ශිකයින් සහ පශ්චාත් මාක්ස්වාදීන් එකට එකතුව සිටගන්නා ස්ථානය වන්නේ ‘කතිකා විශ්ලේශනයයි’.

අප එරෙහි වන්නෙම ‘කතිකා විශ්ලේෂණය’ ට(‘discourse analysis’) සහ ‘සමාජ නිර්මාණාත්මකවාදය’ට ම ය(‘social constructivism’). න්‍යායික වශයෙන් පශ්චාත් මාක්ස්වාදීන් සහ එසේ න්‍යායික ස්ථාවරයක නොමැති පොදු වාමාංශිකයින් මෙන්ම නලින් ද සිල්වා ද සමාජ නිර්මානාත්මකවාදීන්ය.

‘කතිකා විශ්ලේෂණය’ අපට අදාලම නැත. අපගේ ස්ථාවරය ‘නිර්ධනයා’ ය (‘Proletariat’). ‘කතිකා විශ්ලේෂණයේ’ ගිලී සිටින්නේ අනන්‍යතා සහිත ‘ජන සමූහයන්’ ( ‘multitude’ ) සංවිධානය කරනා ‘අනන්‍යතා දේශපාලනය’ පිළිබඳව විශ්වාසයකින් පසු වන පශ්චාත් මාක්ස්වාදීන් සහ න්‍යායිකව පශ්චාත් මාක්ස්වාදී නොවූවද ව්‍යවහාරිකව එම ස්ථාවරයේ පිහිටා සිටිනා අනෙකුත් වාම පක්ෂ, කොටස්, කණ්ඩායම් සහ පුද්ගලයින්ය. ‘කතිකා විශ්ලේෂණය’ ගොඩනැගී ඇත්තේම ලකාන්ගේ සිතීම ඩෙරීඩා, ඩිලුස් සහ ෆූකෝ සමග එකතු කොට ආකෘති ගත කිරීමෙනි. ‘පශ්චාත් ව්‍යුහවාදයේ’ පදනම එයයි. ස්ලාවෝ ශිෂැක්ගේ ආරම්භයට පදනම වැටෙන්නේද ඒ හරහා වුවද පසුව ඔහු ඉතා රැඩිකල් ලෙස එම පදනමින් ඉවත් වේ. සත්තකින්ම ‘කතිකා විශ්ලේෂණය’ විසින් සංවර්ධනය කොට ඇත්තේ රැඩිකල් අනුභූතිවාදයකි.

‘කතිකා විශ්ලේෂණය’ ප්‍රතික්ෂේප කරනා අප හිටගන්නේ ‘දෘෂ්ටිවාදය විචාරයේය’ (‘ideology critique’).

‘දෘෂ්ටිවාදය විචාරයේ’ පර්යාලෝකනය ‘කතිකා විශ්ලේෂණයක්’ වෙතින් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ ‘දෘෂ්ටිවාදය විචාරය’ ට අනුව සමාජ යථාර්තය යනු තරඟකාරී කතිකාවන්ගේ සංකීර්ණ ක්‍රීඩාවක් නොවන බැවිනි. නමුත් ඊට ප්‍රතිපක්ෂව ‘දෘෂ්ටිවාදය විචාරය’ යන්න එක් පුළුල් රාමුවක් මත පදනම් වූවකි. සත්තකින්ම විකල්ප සහ තරඟකාරී පර්යාලෝකනයන් පවතින්නේ මහා වැදගත් සෙයියාවන්ගෙනි (සුමිත් චාමින්දලා කකුල් පිට කකුල් දමාගෙන අත් කරකවමින් මහා බැරෑරුම් ලෙස පෙන්වා දීමට උත්සාහ කරන්නේ ‘කතිකා විශ්ලේෂණය’ තුල විකල්ප සහ සමාජය වෙනස් කිරීම සඳහා අවශ්‍ය පර්යාලෝකනයයි )… නමුත් ‘දෘෂ්ටිවාදය විචාරය’ තුල සමස්ත වශයෙන් ව්‍යුහාත්මක පර්යාලෝකන අවධාරණය පවතින්නේ එකක් මත පමණි. ඒ අනුව ‘දෘෂ්ටිවාදය විචාරය’ තුල විකල්ප හෝ එකිනෙකින් තරඟකාරී පර්යාලෝකනයන් ඉදිරිපත්වන්නේ නැත.

නමුත් සමාජය තුල අනන්‍යතා නඩත්තු කිරීම සඳහා වන තත්වයක් වී ඇති වත්මන් වාම දේශපාලනයේ නියැලෙන්නන්ට හොඳින්ම ගැලපෙන්නේ විකල්ප සහ පර්යාලෝකනයන් ඉදිරිපත් කල හැකි ‘කතිකා විශ්ලේෂණය’ පදනම් කොට ගත් අනන්‍යතා දේශපාලනයයි’ (identity politics). මේ සඳහා න්‍යායික ප්‍රවේශය ‘ලබාගෙන ඇති ප්‍රමුඛයින් වන්නේ පශ්චාත් මාක්ස්වාදීන්ය. නමුත් ලකානියානු මනොවිශ්ලේෂණය ගැන කතා කරනා “කටු සටහන්” කාරයින්ද සිටගෙන සිටිනුයේ මෙම ‘කතිකා විශ්ලේෂණය’ තුලම වීම ලකානියානු සිතීම පිළිබඳව ඔවුනගේ අවබෝධය පෙන්නුම් කරයි. ඉන් පසුව මෙම පුද්ගල අනන්‍යතා නඩත්තු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ‘සමපේක්ෂි යථාවාදය'(‘Speculative realism’) පිළිබඳව පොල්මක්කාරීත්වය දරන වංගීස සුමනසේකර සහ ඔහු වටා රොක් වී ඇති පිරිසයි.

මේ දේශපාලන සහ දාර්ශනික ස්තාවරයන්හි පොල්මක්කාරි අයිතිය දරන්නන්ගේ ප්‍රමුඛයින් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල කථිකාචාර්වරුන් සහ එසේ වීමට වලි කන අයයි. ඔවුන් වටා සිටින අයද, එසේම විශ්ව විද්‍යාල කථිකාචාර්ය, සිනමා, නාට්‍ය, නවකතා, කවි හෝ කලා විචාර ක්ෂේස්ත්‍ර වල සැරිසරන්නන්ය. එවැනි ක්ෂේස්ත්‍ර තුල තම අනන්‍යතා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන දෙය වන්නේ ජනමාධ්‍ය තුල පෙනිසිටීමය. පවතින තත්වය තුල (ධනවාදය තුල) තරඟකාරී ලෙස විකල්ප සහ පර්යාලෝකනයන් ඉදිරිපත් නොකරන්නන් හට ජනමාධ්‍ය තුල කිසිඳු ඉඩක් නොලැබේ. එනම් පවතින ප්‍රධාන දේශපාලන ධාරාවට අදාලව (UNP, SLPP, SLFP, JVP) සහ එම දේශපාලන ධාරාව අයත් වන සමාජ යථාර්ථයේ අර්බුධ වලට විසඳුම් දිය හැකි පර්යාලෝකනයන් නොමැති අයට ජනමාධ්‍ය වල ඉඩ කඩ විවරවන්නේ නැත. උදාහරණ අවශ්‍ය නම් සුමිත් චාමින්ද, විදර්ශන කන්නගර, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, ප්‍රභා මනුරත්න, වංගීස සුමනසේකර, නිර්මාල් දේවසිරි, දීප්ති කුමාර, සුරේන් රාගවන් (ග්‍රාම්ස්චි පාවිච්චි කිරීමෙන් ආණ්ඩුකාරවරයෙකු වූයේ සුරේන් රාගවන්ය) වැනි අය සේම ඍජු දේශපාලන අනන්‍යතාවයක් නොමැති අයද මෙසේ අදහස් ප්‍රකාශ කරනු දැකිය හැකිය. සුමිත් චාමින්ද බොහෝ සෙයින් ග්‍රාම්ස්චිට කැමති වන්නේ ග්රාම්ස්චි හරහා පවතින සමාජ යථාර්ථයේ අර්බුධ සඳහා විකල්ප යෝජනා කල හැකි බැවිනි. එසේම නිව්ටන් ගුණසිංහ, එස්. බී. ඩී. ද සිල්වා වැනි අය පිළිබඳව බොහෝ සෙයින් කතා කරන්නේද, තමන් ඒ අය සමග අනන්‍යකරණය කර ගිනිමින් ජනමාධ්‍ය තුල රඟ දැක්විය හැකි බැවිනි.

එපමණක් නොව ජනමාධ්‍ය හරහා සාදාගන්නා සංඛේත බලය තුල මේ අය රාජ්‍යය උපදේශකත්වය සඳහාද ප්‍රසිද්ධියේ හෝ හොරෙන් කැඳවනු ලබයි. එසේම මේ සියලු දේ මේ අයගේ රැකියාවල් හෝ ආර්ථික අධෝ ව්‍යුහය සමග මෙන්ම අශ්ලීල ප්‍රමෝදය සමගද බැඳී පවතී (ඒවා ගැන කතා කල යුතු නැත). කෙටියෙන් කියන්නේ නම් වර්තමාන වාම දේශපාලනය යන්න පවතින්නේ එසේය.

ශිෂැක්ගේ නව මාක්ස්වාදී සංකල්පයට අනුව, ‘දෘෂ්ටිවාදය’ සමන්විත වන්නේ දේශපාලන ප්‍රජාව තුල ආත්මයන්ගේ අවිඥානික ‘ලිබිඩිනල්’ ආයෝජනයන් වෙත කොන්දේසි පනවනා ප්‍රජා ව්‍යවහාරයන්ගේ මධ්‍යක් සමග එකතුව සමාජ ආත්මීයත්වය සංස්ථාපනය කරනා නියෝජනයන්ගේ අන්නෝන්‍යය තරලතාවයකිනි. මෙම ‘ලිබිඩිනල්’ ආයෝජනයන් ව්‍යුහගතව ඇත්තේ අවිඥානික සමාජ ෆැන්ටසිය සහ ආත්මයේ දේශපාලන පක්ෂපාතීත්වය බරකොට තබන දේශපාලන ප්‍රජාවගේ ආයතනික චාරිත්‍ර වෙතට අනොන්න්‍ය වශයෙන් ස්ථිර වූ ප්‍රමෝදයේ මදයක් සමගය.

1977 සිට 1994 දක්වා UNPය විසින් නඩත්තු කල ලී, ගල්, වැලි, පස්, කසිප්පු, කුඩු සහ වෙනත්, මත්ද්‍රව්‍ය, සහ තවත් බොහෝ එවැනි වෙළඳ ව්‍යාපාරිකයින් මෙන්ම “සාධාර්මික” ඉහල පෙලේ වෙළඳාම් සහ ව්‍යාපාර ලෙස සැලකෙන ව්‍යාපාරිකයින්ද 2010න් පසුව නඩත්තු වන්නේ රාජපක්ෂ දේශපාලනය හරහාය. ඔවුන්ගේ හයිය එයයි. ඒ අනුව UNP 1977 සිට 1994 දක්වා සහ ඉන් පසුවත්, UNPය විසින් නියෝජනය කරන ලද ප්‍රජාව 2010න් පසුව නියෝජනය වන්නේ රාජපක්ෂ දේශපාලනය විසිනි… ‘ජාතිකවාදය’ යනු ඉහත කී තත්වය සඳහා වෙස් මුහුණක් පමණි. මෙය අවබෝධකොට ගැනීමට නොහැකි තකතීරු වම්මුන් ජාතිවාදී විකාරයක් ගැන කතා කරමින් සිටී. තම ‘ප්‍රමෝදය’ සොරා ගන්න ‘සුළු ජාතිකයා’ පිළිබඳව බිය බොහෝ දුරට නඩත්තු කරනුයේ මධ්‍යම පාන්තිකයා විසිනි. ඊට හේතුව නම් මධ්‍යම පාන්තිකයාට අවශ්‍ය ‘බිය’ (තම දරුවන් ගැන ‘ප්‍රමෝදය’) පවත්වාගැනීම වෙනුවෙන් කියන කථාය. නමුත් එම මධ්‍යම පාන්තිකයාගේ එම තත්වයද පවත්වාගන්නේ ඉහත සඳහන් කල ව්‍යාපාර තුලින් සහ ඒවාට අදාළ ඍජු සහ වක්‍ර රැකියා තුලින් තම ජීවිකාව සකසා ගන්නා ගම් සහ නගර වල ක්‍රියාකාරී ප්‍රජාවගේ රැල්ල විසිනි. එකල UNPයේ තත්වය මෙකල රාජපක්ෂ දේශපාලනය විසින් අත්පත් කොටගෙන තිබේ. මහා වන විනාශ සිදු කරමින්, රක්ෂිත එලි පෙහෙළි කරමින්, වෙරල සහ ගංගාදාර සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින්, භූ විද්‍යා සහ පතල් කැනීම් නීති උල්ලංඝනය කරමින්, වන අලි ඝාතනය සඳහා තුවක්කු ලබා දෙමින් සහ මෙකි නොකී සියලු සීමාවල් අභිබවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොහොට්ටු පාක්ෂිකයින් (නලින් ද සිල්වාගේ “සිංහල බෞද්ධ ජන ප්‍රජාව” ) තෘප්තිමත් කරමින් සිටිනුයේ එබැවිනි.

දැන් සියලු දෙනාට අමතක වුවද වාමාංශිකන් වහරන වර්තමාන “සිංහල බෞද්ධ ජාතිකවාදය”(සැබවින්ම පවතින්නේ ජඩ ව්‍යාපාරික සහ මජර පාරිභෝගික භාණ්ඩ අර්චනකාමයයි. නලින් ද සිල්වා පදනම් වන ජන ප්‍රජාවේ ක්‍රියාකාරීත්වය එයයි.) නැවත කරලියට දක්කාගෙන ආවේ ජේ. ආර්. ජයවර්ධන විසිනි. ඒ ඔහුගේ ‘ධර්මිෂ්ට සමාජය’ නමැති ව්‍යාජය හරහාය. ඔහු එම ව්‍යාජය එසේ පවත්වා ගන්නා ගමන් රූපවාහිනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් නව ලිබරල්වාදයට අදාළ දෘෂ්ටිවාදී මෙහෙයුම දියත් කරන ලදී. වර්තමානයේ පවතින යථාර්තය අලුතින් නිර්මාණය වීම ආරම්භ වූයේ ඒ සමගය. රූපවාහින්යෙන් පසු ලාංකීය සමාජය යනු ඊට පෙර ලාංකීය සමාජය නොවේ. පසුව එම තත්වය ක්‍රමයෙන් දයලෙක්තිකව ධනවාදී අධෝ ව්‍යුහය සමගින් විශාල විවිධත්වයන් තුල ගොඩනැගෙනුයේ අදාළ යථාර්ථයේ හිඩැස් වසන දෘෂ්ටිවාදයේ හැඟවුම්කාරක සුසන්ධීකරණය තුල ඒ නව “සිංහල බෞද්ධ” අංගයන් ඇතුලත් කර ගනිමිනි. එනම් 1980ට පමණ පෙර පැවතී තත්වයට වඩා 1980න් පසුව ගොඩනැගුන තත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. යථාර්තය විප්ලවීය වෙනස් අයුරකින් නැවත ගොඩනැගීම ආරම්භ වන්නේ 1980 පමණය. වර්තමානයේ පවතින්නේ 1980ට පමණ පෙර පැවති දෘෂ්ටිවාදයේ ක්‍රමික වර්ධනීය තත්වයක් ලෙස දැකීම දෘෂ්ටිවාදය පිළිබඳව වන අවබෝධයේ සිට දෘෂ්ටිවාදය විචාරයේදී මෙන්ම දේශපාලනිකවද වැරදි ප්‍රවේශයකි.

රාජපක්ෂලා කෙතරම් මුස්ලිම් දෙමල මන්ත්‍රීවරුන් තම පාර්ශවයට ගත්තද, “සුළු ජාතීන්ගේ ඉල්ලීම්” ලබා දුන්නද, රටෙහි ඉඩම් විකිනුවද, හොරකම් කලද, ඥාතිසංග්‍රහ කල, දුමින්ද සිල්වා නිදහස් කලද, තව ඕනෑම දෙයක් කලද… කොටින්ම UNPය සහ JVP මර බෑඟිරි ගසන ‘වැරදි’ කලද අති මහත් සිංහල මිනිසුන්ට ඒවා අදාළ නැත්තේ ඇයි ? එනම් පවතින යථාර්තය තුල නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාවලිය තුල සම්බන්ධතා නඩත්තු වීම සැබෑව වන විට සිංහල බෞද්ධ කතිකාව යනු ව්‍යාජ වෙස් මුහුණක් පමණි.

මාක්ස්ට අනුව දෘෂ්ටිවාදය සවිඥානික ව්‍යායාමයක් වන විට ලකානියානු මනොවිශ්ලේෂණය සමඟ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස සම්මිශ්‍රණය කලේ අල්තුෂර්ය. ඉන් පසුව ඊට නව අර්ථකතනයක් ලබා දෙමින් ඉදිරියට ගෙනයන්නේ ශිෂැක් විසිනි.

ලැකාන්ට අනුව, අපි ලෝකය සමඟ එය එය තිබෙන අකාරයෙන් අන්තර් ක්‍රියා නොකරන මුත් අනෙක් අතට අපි එය භාෂාව තුළින් නියෝජනය කරන්නෙමු. මෙම විසන්ධි වීම නිසා දෘෂ්ටිවාදය යනු, සරල අර්ථයෙන් අපි ලෝකය දෙස බලන අකාරය ලෝකය පවතින ආකාරය බවට පත්වේ.

‘දෘෂ්ටිවාදය’ ‘සැබෑ ලෝකය’ ‘පරාවර්තනය’ නොකරන මුත් පුද්ගලන්ගේ ‘සැබෑ ලෝකය’ ට ඇති පරිකල්පනීය සම්බන්ධතාවය නියෝජනය කරයි. අප සැමවිටම ‘දෘෂ්ටිවාදය’ තුළ පවතින්නේ අපගේ ‘යථාර්ථය’ සංස්ථාපනය කිරීම සඳහා වන භාෂාව මත වන විශ්වාසය නිසා ය; වෙනස් දෘෂ්ටිවාද යනු අපගේ සමාජ හා පරිකල්පනීය ‘යථාර්ථයේ’ වෙනස් නිරූපණයන්ය.

මෙම අවබෝධයත් සමඟ පෙනී යා යුත්තේ මාක්ස්ගේ අවබෝධයට එහා ගොස් ‘දෘෂ්ටිවාදය’ නව කාර්යභාරයක් ඉටු කරන බවය. එය තවදුරටත් හුදෙක් මිනිසුන්ගෙන් ලෝකය ක්‍රියා කරන ආකාරය සඟවා තබන්නේ නැත, නමුත් ඔවුන් ඒ දෙස බලන ආකාරය හා කථා කරන ආකාරය හැඩගස්වා ගැනීමට උපකාරී වේ.

‘දෘෂ්ටිවාදය’ පිළිබඳව දීර්ගව මෙහි සටහන් කල නොහැක්කේ ලිපියේ අරමුණ එය නොවන බැවිනි. අපගේ ස්ථාවරය පිළිබඳව අවබෝධය සඳහා ඉහත පැහැදිලි කිරීම ප්‍රමාණවත් වනු ඇත. ඒ අනුව අපගේ ස්ථාවරය කතිකා විශ්ලේෂණය නොව ‘දෘෂ්ටිවාදය විචාරය’ යි.

තමන් එරෙහි වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ට බව ප්‍රථම වරට නලින් ද සිල්වා විසින් පසුගිය දිනක ලියා තිබුණි. ඉන් පෙර කොතැනක හෝ එසේ සඳහන් කොට නොතිබුණි. අපද ප්‍රධාන වශයෙන්ම එරෙහි වන්නේ ‘ප්‍රජාතන්ත්රවාදය’ට ය. නමුත් ඒ සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය පාලනය තුල ද්වි පක්ෂ යාන්ත්‍රණයේ එක්  පාර්ශවයක් තෝරාගන්නේ නැත. නලින්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නේ රනිල් වනවිට රාජපක්ෂ රෙජීමය යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමකි. ඔහු මෙසේ කියන්නේ සුදු වෑන් වැනි රාජපක්ෂලාගේ ක්‍රියාකාරීත්වයන් නිසාද එසේත් නොමැති නම් සංවර්ධන ක්‍රියාදාමයේදී රාජපක්ෂලා විසින් තීන්දු ගන්නා ආකාරය නිසාද යන්න නොවැටහේ.

Image may contain: 1 person, closeup

වම්මුන් මේ දිනවල ඉතා නිහඩය. තකතීරු මෙන්ම මෝඩ වම්මුන්ද එසේය. තකතීරු වම්ම්න්ගේ ජවය සිඳීයාමට ප්‍රධාන හේතුවක් වූයේ රනිල් ප්‍රමුඛ UNPයේ පසු බෑමත්, UNPය තුල සජිත්ගේ නැග ඒමත්ය. ආන්දෝලනාත්මක රන්ජන් රාමනයාක හඬ පට පිළිබඳව මතුව ඇති තත්වය පිළිබඳවද වම්මුන් මීක් කියන හඬක් නැත. ඊට හේතු කිහිපයක් තිබේ.

1. රන්ජන් රාමනායකගේ ක්‍රියාව විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය හෙළිදරව් වීම නිසා රන්ජන් පිළිබඳව වම්මුන් තුල පිළිකුලක් ඇති වීම. එනම් තමන්ගේ අරගල ක්ෂේස්ත්‍රය වන “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දිනා ගැනීම” යන්න වැඩකට නැති දෙයක් බවට පත්වීම.

2. අධ්‍යතන වාම අරගල ක්ෂේස්ත්‍රය වන “ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල විශ්වාසය රන්ජන්ගේ හඬ පට හේතුවෙන් බිඳවැටීම.

3.රන්ජන්ගේ හඬ පටවල ඇති ධනවාදයේ “අශ්ලීල ප්‍රමෝදයට” අදාළ සංවාදයන්.

4. වම්මුන්ට අනුව රන්ජන් යනු වමට අදාළ විධග්ධතත්වයට ගැලපෙන “උගතෙකු” නොවීම සහ රන්ජන් යනු වමට ගැලපෙන නිර්නායකයන් නියෝජනය නොකිරීම.

ඉහත කාරණා සියල්ල වම්මුන්ට සේම ප්‍රධාන පක්ෂ සියල්ලටම අදාලය. පොහොට්ටුව සමග එකතුව UNP, SLFP මෙන්ම ජවිපෙ ද රන්ජන්ට එරෙහිව අවි අමොරගන්නේ එබැවිනි.

එසේම එම සියලු පක්ෂ වලට අනුව “දියණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල” එය ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර මෙය ලංකාව වැනි රටවල තත්වයකි. ජවිපෙ පමණක් ඊට අමතරව තවත් ප්‍රකාශයක්ද සිදු කරයි. එනම් අධිකරණය කෙතරම් දූෂිත වුවද එය ලෝකයට හෙළිදරව් කිරීමෙන් රට ලෝකයා ඉදිරියේ බාල්දු වන බවත්, එය ගානිය බැරිස්ටර් සිද්ධියටද බලපෑ හැකි බවත්, අනවශ්‍ය ජාත්‍යන්තර බලපෑම් වැඩිවිය හැකි බවත්ය. ඒ අනුව ප්‍රධාන දක්ෂිනාංශික පක්ෂ වලට වඩා වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් බවට පත්ව ඇත්තේ ජවිපෙය.

ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ බරපතල ලෙස නිමග්නව සිටි NSSP, Praxis ඇතුළු තකතීරු වාමාංශික ප්‍රජාව සහ දැනට සිවිල් සංවිධාන වල සිටින හිටපු තකතීරු වාමාංශික ප්‍රජාව සහ සිවිල් පොරවල්ද රන්ජන් සම්බන්ධයෙන් නිහඬය. ඔවුන්ට ඒ සඳහා ඉතිරිව ඇති කතාව වන්නේ “දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක” නම් රන්ජන් හඬ පට වලින් එළිදරව් වූ කරුණු වැනි දෑ තිබය හැකි හෝ සිදුවිය නොහැකි බවය. නමුත් එය සැබෑවක් නොවේ.

ඉහත සියලු පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගල චරිත වලට අදාළ මහා පොදු සාධකය වන්නේ ඔවුන් සියල්ල අවිච්ඡින්න සමාජ සංවර්ධනය අවිඥානක වීමත්, ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉඳීමත්ය.

රාජපක්ෂ පාලනය සීග්‍ර “සංවර්ධනයක්” කරා යාමට අවශ්‍ය තුනෙන් දෙකක බලය ඉල්ලා සිටී. වම්මුන්ට අදාලව රාජපක්ෂ පාලනයේ ප්‍රශ්නය වන්නේ එහි ඇති වැඩවසම් සහ සිංහල බෞද්ධ ජාතිකවාදය මිස “දියුණුව” සහ “සංවර්ධනය” පිළිබඳව ප්‍රශ්නයක් නොවේ. ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව ලිබරල්වාදීන්ට මෙන්ම වම්මුන්ට ඇති පොදු ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔවුන් ඒ හඳුනාගන්නා සිංහල බෞද්ධ ජාතිකවාදය සහ වැඩවසම් ලක්ෂණ නඩත්තු කිරීමය. තකතීරු වම්මුන් කොන්දේසි විරහිතව රනිල් සමග ඉදිරිපත් වන්නේ අන්න ඒ තත්වය නොමැති ලිබරල ආණ්ඩුවක් තනා ගැනීම වෙනුවෙනි( එවැනි න්‍යායික ස්ථාවරයක පසුවෙමින් වැඩවසම් සිංහල බෞද්ධ ජාතිකවාදය පරාජය කොට රනිල් ප්‍රමුඛ ලිබරල් UNP ආණ්ඩුවක් සාදා ගැනීම වෙනුවෙන් ඕනෑම ක්‍රියාවක් කලාට කම් නැතැයි  සිතමින් දිවිදුන් පුද්ගලයා වූයේ ප්‍රගීත් එක්නලිගොඩය).

ඉහත සඳහන් කල වාම සහ ලිබරල් ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් වෙනුවෙන් න්‍යායික සංවාදයක් ගෙනයමින් රාජපක්ෂලා තුලින් එය ගොඩනැගිය හැකියයි  ප්‍රකාශකරන න්‍යායවේදියා වන්නේ නලින් ද සිල්වාය(එසේම ඔහුගේ අනුගාමිකයින්ද එසේ සිතයි ).

පසුගිය ජනවාරි 22වෙනිදා නලින් ද සිල්වා විසින් ලියා ඇති ලිපියේ ඔහු මීට පෙර සඳහන් නොකරන “ප්‍රජාතන්ත්‍රවාදය” නම් වචනය සඳහන් කරමින් ඔහු ඍජුවම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියෙකු බව පවසා ඇත. එය නලින් විසින් අප වෙත දැක වූ ප්‍රතිචාරයකි. අපගේ සටහනකින් පැහැදිලි කරන ලද්දේ, නලින් සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය කරා යා යුතුය යන්න යෝජනාකොට සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට “විකල්පයක්” ලෙස බවය. ඒ අනුව ප්‍රතිචාරයෙන් පෙනීයන්නේ ඔහු අපගේ ප්‍රකාශය පිළිගෙන ඇති බවය.  නලින් ලිබරල්වාදීන්ගෙන් සහ වම්ම්මුන්ගෙන් වෙනස්ව රන්ජන් නිසා සිදු වූ දෙය සාධනීය ලෙස භාර ගනී. ඒ ඔහුට අනුව “ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය දූෂිත” බැවිනි.

නලින් ද සිල්වා මීට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කොට නොමැත. එනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට “විකල්පය” ලෙස සිංහල බෞද්ධ රාජ්‍යය ඔහු විසින් යෝජනා කොට නොමැත. පහතින් දක්වා ඇත්තේ ඔහු පවසා ඇති දෙයයි.

//මේ දුෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සඟ ගණ ක්‍රියාකරන අන්දම අනුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට අපි හීන් සීරුවෙ නිවි හැනහිල්ලෙ කටයුතු කරනවා. එය සන්තතික වෙනස්වීමක ප්‍රතිඵලයක්. අපට ඕන නිිවි හැනහිල්ලෙ ජීවත්වෙන්න මිසක් ඊනියා ඓතිහාසික ද්‍රව්‍යවාදී ආකෘතියෙ විප්ලව කරන්න නො වෙයි.

නලීන් ද සිල්වා (Monday, 20 January 2020)//

ඔහු මෙහිදී පැහැදිලිව සඳහන් කොට ඇත්තේ ” සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට අපි හීන් සීරුවෙ නිවි හැනහිල්ලෙ කටයුතු කරනවා” යන්නය. එනම් අතීතයේ පැවති තත්වයක් ඔහු විසින් පරිකල්පනය කරයි. මෙහි ප්‍රශ්නය ඇත්තේ “සඟ ගණ ක්‍රියාකරන අන්දම අනුව” සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට පියවර ගන්න බව පැවසීම තුලය. එනම් ඔහු මේ ප්‍රකාශ කරමින් සිටිනුයේ එකල පැවති සමාජීය තත්වය අදාළ දූරාවලීන් සමගින් ඒ අකාරයෙන්ම නැවත ස්ථාපිත කල යුතු බවය. එවිට එම සමාජයේ දෘෂ්ටිවාදය නඩත්තු කරනා අධිකාරීත්වය සඟ සමාජය සතු වූ බව නලින් පරිකල්පනය කරයි. නමුත් සැබෑ තත්වය ඊට වෙනස් වන්නේ රජු ප්‍රමුඛ දූරාවලියක් සහිත රාජ්‍යක් පැවතීම සහ පන්සල ඊට අනුබද්ධව ක්‍රියාත්මක වීමය. ඒ කෙසේ වෙතත් රාජ්‍යයේ ඍජු බලපෑම රහිත සමාජ තත්වයන් ලංකාව පුරා පැවත තිබූ  බවට සාක්ෂි ඇත.

ඒ අනුව නුලින් ද සිල්වා විසින් මේ ප්‍රකාශ කරමින් සිටිනුයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් සංගය නමැති තත්වයක් විසින් ඇති කරනා සදාචාර-අචාරධාර්මික සමාජයකි. එනම් එම සිංහල බෞද්ධ සමාජය සමාජය තුලම අධිවසනා සුවිශේෂී මිනිස් කොට්ටාශයක් විසින් නිර්මාණය කරනා සදාචාර රාමුවක් තුල ඊට අදාළ අචාර ධර්ම පැනවීම් කරනා සමාජයකි.

මෙවැනි සමාජ ලෝකය පුරා පැවතුනි. උදාහරණක් ලෙස දෙවන ලෝක යුද්ධය මගහරිමින් පැන ආ ඔස්ට්‍රියානු ජාතිකයින් දෙදෙනෙකු ටිබෙටයේ රැඳී සිටීම හේතුවෙන්, එය බටහිර ජුන්ටාවකින් පාලනය වන බව පවසමින් චීනය විසින් විනාශ කල ටිබෙටය එවැනි තත්වයකි. “Seven years in Tibet” කෘතිය කියවීමෙන්(එනමින්ම චිත්‍රපටයක් ද ඇත) මේ බව අවොබෝධ කොට ගත හැකිය. එකල ටිබෙට් සමාජය ලාමා සංගය කේන්ද්‍ර වූ යම් ආකාරයක සුසංවාදී සමාජයකි. ධනවාදයට අදාළ තත්වයන් එහි කොහෙත්ම නොපැවතුනි(නමුත් 13වන දලයි ලාමා විසින් බ්‍රිතාන්‍ය සහාය ලබාගනිමින් ටිබෙට් හමුදාව ස්ථාපිත කිරීම වැනි තත්වයන්ට යට වීම ධනවාදයේ බලපෑම් ලෙස සැලකිය හැකිය ). එසේ නමුත් බටහිර සමාජ අර්ථකථනයට අනුව රදල පැලැන්තියක්, ප්‍රවේනිදාස ක්‍රමයක් සහ සම්භාව්‍ය අර්ථයෙන් වහලුන් ලෙස නොසැලකිය හැකි වුවද, යාචකයින්ද නොවන සමාජ කොට්ටාශයක් සුළු වශයෙන් පැවති බව කියවේ. සමහර විශ්ලේෂණයන්ට අනුව ඒවා ඒ අකාරයෙන්ම වැඩවසම් ලෙස සැලකිය නොහැක්කේ සමස්ත සමාජයම එකම ජීවන මට්ටමක පැවතුන බැවිනි. 1959 ට පෙර ටිබෙටයේ ප්‍රධාන සමාජ කණ්ඩායම් තුනක් සිටි බව කියවේ. එනම් සාමාන්‍ය ගිහියන්, ගිහි වංශවතුන් සහ භික්ෂූන්ය. සුවිශේෂිත්වය වූයේ සාමාන්‍ය මිනිසුන් තවදුරටත් ගොවි ගොවියෙකු (ෂින්ග්-පා) හෝ සංචාරක දේවගැති (ට්‍රොක්පා) ලෙස වර්ග කළ හැකි වීමයි. ඒ කෙසේ නමුත් ඒ සමාජ කොටස් තුන අතර සමාජීය-ආර්ථිකමය වශයෙන් පැහැදිලිව පෙනෙන ලොකු වෙනසක් නොවීය. 

ටිබෙට් සමාජය අවුරුදු දහස් ගණනක් එසේ පැවත ආ සමාජයකි. එවැනි සමාජ මෙන්ම මාක්ස් විසින් පෙන්වා දුන් කොම්යුනිස්ට් සමාජ ආකෘතියේ සමාජද ලොව පැවතුනි. මාක්ස් විසින් පෙන්වා දෙන පරිදි ලංකාවේද ප්‍රදේශයන්හි රාජ්‍යය බලපෑම රහිත කොම්යුනිස්ට් තත්වයන් පැවත ඇත. එසේම මෑත ඉතිහාසයට අදාලව ඉන්දියාවේ ප්‍රදේශ සහ රුසියාවේ ප්‍රදේශ පිළිබඳවද මාක්ස් විසින් පෙන්වා දේ. කොම්යුනිස්ට් සමාජය යන්නෙහිද අධිකාරීත්වය සහ දෘෂ්ටිවාදය පැවතී බව අවශ්‍ය නම් කෙනෙකුට පෙන්වා දිය හැකිය. එනම් සමාජයක් ලෙස කටයුතු කිරීමේදී ඊට අදාළ කටයුතු සඳහා පත් කරගන්නා නියෝජිතයින් සහ පුද්ගලයින් මෙන්ම කණ්ඩායම් පැවතීම සහ දේවල් සහ සිද්ධීන්ට අදාළ කතන්දර සහ ඒව තුලින් වන විශ්වාසයන් පැවතීමයි. ප්‍රශ්නය වන්නේ එම තත්වය අධිකාරීත්වය සහ දෘෂ්ටිවාදය ලෙස හැඳින්වීම වර්තමාන තත්වයට අදාළ දෘෂ්ටිවාදය සහ අධිකාරීත්වය පිළිබඳව අර්ථකතනයන් සහ විශ්ලේෂණයන් සමග සැසඳේද යන්න සහ එම පැවති තත්වයන් සැබෑ ලෙසම වර්තමාන අධිකාරීත්වයන් සහ දෘෂ්ටිවාදී සමාජය වැනිද යන්නයි.

එසේ නම් නලින් ද සිල්වා විසින් මේ කියමින් සිටිනුයේ නැවතත් සමාජීය වශයෙන් ලංකාවේ පැවති පන්සල සමග පැවති වැඩවසම් සමාජය නැවත ස්ථාපිත කොට බටහිර විද්‍යාව “අපේ චින්තනයට අවශෝෂණය” කරගත යුතු බවද ? එසේ නොමැති නම් සිංහල බෞද්ධ ආත්මයෙන් සිංහල මව් බාශාව වන මිනිසාට කිසි සේත්ම ගැලවී ගත නොහැකි බැවින් සිංහලයාට අත්කොට ගත හැකි ඕනෑම තත්වයක්( කොම්යුනිස්ට් හෝ වෙනත් විකල්ප සමාජයක් ) යනු නිම නොවූ සිංහල බෞද්ධ යථාර්තයක් යන්නද ?

නලින් ද සිල්වා විසින් වරින් වර විවිධ ලේඛන තුලින් ඉහත ප්‍රධාන කාරණා දෙකම පිළිබඳව සාකච්චා කොට ඇත. අපට අනුව ඔහු සිංහල බෞද්ධ සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වන්නේ සිංහල බෞද්ධ ආත්මයයි. නමුත් ඔහුගේ දේශපාලන ස්ථාවරය ප්‍රකාශ කරනා විට සහ රාජපක්ෂ ආණ්ඩුවක් තුලින් සිංහල බෞද්ධ සමාජය නැවත ස්ථාපිත කොට ගත යුතුය කියනා විට ඔහු පිහිටන්නේ පන්සල සමග අනුබද්ධිත වූ වැඩවසම් සමාජය යලි පිහිටුවීම වෙනුවෙනි. ප්‍රශ්නය වන්නේ ඔය කාරනා දෙකම හෝ ඉන් එකක් හෝ සාක්ශාත් කොටගැනීම රාජපක්ෂ ආණ්ඩුවක් තුලින් සිදුකරගත හැක්කේ කෙසේද යන්න ඔහු විසින් පැහැදිලි නොකිරීමය.

1 thought on “නලින් ද සිල්වාගේ දේශපාලනය

Leave a Reply to Admin Cancel reply