ක්‍රමයේ ඛණ්ඩාංක තුළ ක්‍රියාත්මක දේශපාලනය පිටුදැකිය යුතුය

ක්‍රමයේ ඛණ්ඩාංක තුළ ක්‍රියාත්මක දේශපාලනය පිටුදැකිය යුතුය

මං මේ ඇමරිකාවේ ඉන්න ප්‍රදේශයෙන් හැතැක්ම 20ක් ගියාට පස්සෙ මහා විශිෂ්ට  බුද්ධිමතුන් හම්බවෙන්න පුළුවන්. මෙතන තියෙනව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියලා එකක්. ඒකට ගියාම අතිදක්ෂ බුද්ධිමතුන් ඉන්නවා. මම ඒ අහලකවත් නැහැ. අපිට ඒ අහලකටවත් එන්න බෑ. ඒක මගේ වැරැද්දක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. අපි හැදිල තියෙන්නෙ එහෙම. මගේ සහ තවත් මිනිහෙකුගේ මෝඩකම අතර තියෙන වෙනස සුළුයි. නමුත් ඇමරිකාවේ මහා විශිෂ්ට බුද්ධිමතෙක් හා අන්තිම ගණයේ මෝඩයෙක් අතර වෙනස බුද්ධිමය වශයෙන් ගතහොත් මහා විශාලයි. මේ කතන්දරය මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් හරි මිනිස්සු වැරදියට වටහා ගන්නවා නම්, ඒකෙ තේරුම තේරුමත් අපේ මොකක් හරි සංස්කෘතික ප්‍රශ්නයක් තමයි.

මිනිස්සු අතර අසමානකම් තියෙනවා. අසමානකම් නැතිකරන්න බෑ මෙලෝ ජාතියකට. මාක්ස් නෙවෙයි කාටවත් නැති කරන්න බෑ. මාක්ස් මහ බොරුකාරයෙක්. මාක්ස් කිව්ව කිසි දෙයක් ලෝකේ හරි ගිහින් නෑ. මම කලින් කිව්වා වගේ අසමානකම් අවම කරන්න විතරයි පුළුවන්. මං අවුරුදු 30-35ක් තිස්සේ යම් දෙයක් කෙරුවා නම් කෙරුවේ මේ අසමානකම් අවම කිරීමේ සහ අනිත් මිනිස්සුන්ට සැලකීමට කටයුතු කිරීමට.

ලෝකයේ අපි ජීවත් වෙන අනිත් මිනිස්සුත් එක්ක, ගහකොළත් එක්ක.

ඒක තමයි සිංහල බෞද්ධකම කියන්නේ.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියන්නේ ඒකයි.”

 

නලින් ද සිල්වා මේ පවසනුයේ මාක්ස් පවසන “පන්තිය” යන්න අහෝසි වූ පමණින් අසමානතා අවම නොවන බවය. අප ද අවධාරණය කරන කාරණය එයයි. නමුත් අමතක නොකළ යුතු කාරණය වන්නේ අසමානතා අවම කිරීමේ දේශපාලනය ආරම්භ වන්නේ මාක්ස්ගෙන් බවය. නලින් හට ද එය උරුම වන්නේ මාක්ස් වෙතින් මිස වෙනයම් ආකාරයකින් නොවේ. නමුත් ඔහු අනුදත් මාක්ස් යනු සමසමාජ සහ නව සම සමාජ මාක්ස්ය (වික්‍රමභාහුගේ මාක්ස්). මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් තුල ප්‍රතිවිරෝධතා සහ විද්‍යාව කරා අපගමනය වීම් තිබුන ද වාමන්ශිකයින් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අවබෝධ කරගෙන නොමැත.

 

ආර්ථිකමය වශයෙන් පන්තීන් සමාන කල ද (සෝවියට් දේශයේ සිදු කලාක් මෙන්), දැනුම් ධූරාවලියක් පැවතීම සහ ඒ තුලින් වන අධිකාරීත්ව ධූරාවලියක් නඩත්තු වීම අහෝසි නොවේ. නලින්ට මෙන්ම ලකාන්ට ද අදාළ වූ ප්‍රධාන කාරණය මෙයයි. එබැවින් ආත්මීය අසමානතාවය දිගටම නඩත්තු වේ. ආර්ථික සමානාත්මතාවය ඇති කල පමණින් සංකේතීය සමානාත්මතාවය ඇති නොවේ. එනම්, භෞතිකමය වශයෙන් පංතිය යන්න සමාන කළ ද (සෝවියට් අත්හදා බැලීම උත්සාහ කළ පරිදි), සංකේතීය රටාව – භාෂාවේ රටාව, නීතිය, දැනුම සහ ආශාව – මිනිසුන් ආස්ථානයන් තුලට සංවිධානය කිරීම නොනවතින බව ලැකාන් අවධාරණය කරයි.

 

මෙයින් අදහස් කරනුයේ “දන්නේ කවුද” සහ “තීරණය කරන්නේ කවුද” යන ධූරාවලීන් නොවෙනස්ව පවතින බවයි. මෙය ලකානියානු ප්‍රවාදයේ ඇති මූලික සංකල්පයයි. ලැකාන්ගේ කතිකාවන් හතර පිළිබඳ ප්‍රවාදයේ (ස්වාමි, විශ්ව විද්‍යාලය, හිස්ටීරික සහ විශ්ලේෂකයාගේ කතිකාව), ස්වාමි හැඟවුම්කාරකය (master signifier – S1) යනු අර්ථයේ නිමක් නැති රූටා යාම නවත්වන, පෙනෙන පරිදි, මූලික ස්වයං-ප්‍රත්‍යක්ෂ (self-evident) හැඟවුම්කාරකයකි. එය අවිවාදිත නිශ්චිත ලක්ශ්‍යයකි. උදාහරණ ලෙස “දෙවියන් වහන්සේ”, “නිදහස”, “ජාතිය”, “විද්‍යාව”, “විප්ලවය”, හෝ “රජු” හෝ “ප්‍රධාන විධායක නිලධාරියා” වැනි පුද්ගලයෙකු පවා විය හැකිය. මෙම හැඟවුම්කාරකය අනෙකුත් සියලුම දැනුම (S2) එහි අධිකාරිය යටතේ සංවිධානය කිරීමට උත්සාහ කරයි. එය ශක්තිමත් පදනමක මායාවක් නිර්මාණය කරයි. නිදසුනක් වශයෙන්, දේශපාලන දෘෂ්ටිවාදයක් වන ලිබරල්වාදයේ “නිදහස” (“Liberty”) එහි ස්වාමි හැඟවුම්කාරකය ලෙස ගෙන ඉන් තාර්කිකව ගලා එන බව පවසන නීති සහ දැනුමේ සම්පූර්ණ පද්ධතියක් (S2) ගොඩනගා ගත හැකිය. ලැකාන්ගේ ව්‍යාපෘතිය වූයේ මෙම අත්තිවාරම සැමවිටම ප්‍රබන්ධයක් බව පෙන්වීමයි. ස්වාමි හැඟවුම්කාරකය අවසානයේදී හිස්ය (අවසාන අර්ථයෙන්). එයට ස්ථිර (solid), අවසාන අර්ථයක් නොමැත; එය ක්‍රියා කරන්නේ අනෙකුත් අර්ථයන් වටා කැරකෙන යොමු ලක්ෂ්‍යයක් ලෙස පමණි. හිස්ටීරික කතිකාවට මග පාදනුයේ ස්වාමියාගේ කතිකාවයි. එය කාංසාව සහ ප්‍රශ්න කිරීම (හිස්ටීරිකයාගේ කතිකාව) ඇති කරයි, මන්ද එය නිර්මාණය කරන පද්ධතියට කිසි විටෙකත් ස්වාමි හැඟවුම්කාරකයට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට හෝ  සාධාරණීකරණය කිරීමට නොහැකි බැවිනි. සෑම විටම පරතරයක්, ඉතිරිවීමක්, අසාර්ථකත්වයක් ඇත (ලැකන් ‘objet petit a’ ලෙස හඳුන්වන දෙය, ‘ආශාවේ වස්තු-හේතුව’). 

 

ස්වාමියා යනු ‘මහා අනෙකාගේ’ (Big Other) රූපකායකි. මහා අනෙකා යනු සංකේත රටාවම (symbolic order) වන අතර එය ස්ථාවර, දන්නා ආයතනයක් ලෙස සැලකේ. ස්වාමියා මහා අනෙකා ලෙස පෙනී සිටින අතර හෝ ඒ වෙනුවෙන් කතා කරන අතර එහි අධිකාරිය සහ දැනුම ඇති බව කියා සිටී. 
මහා අනෙකා නොපවතී. අර්ථය පිළිබඳ අවසාන සහතිකයක් නැත, පරීක්ෂාවෙන් බලා සිටීමට සහ විනිශ්චය කිරීම සඳහා අවසාන අධිකාරියක් නොමැත. ස්වාමි හැඟවුම්කාරකය යනු ලෝකය සැරිසැරීමට අප භාවිතා කරන අත්‍යවශ්‍ය නමුත් ප්‍රබන්ධ ඉදිකිරීමක් පමණි (නලින් ද සිල්වා අපේ ප්‍රවාද තුලින් උත්සාහ දැරුවේ සිංහල බෞද්ධ ස්වාමි හැඟවුම්කාරක ජනනය කොට “අපේ ප්‍රබන්ධ ඉදිකිරීමක් වෙනුවෙනි). 

 

විමුක්ති දේශපාලනයේදී එහි ගාමක බලවේගය අවබෝධ කරගත යුතු දෙය වන්නේ අත්‍යන්ත ඉටුවීම, එනම් පරිපූර්ණත්වය ගෙන දෙන ගුරුවරයෙකු (දෙවියෙකු, දේශපාලන නායකයෙකු, පරිපූර්ණ පරමාදර්ශයක්) නොමැති බවය. එනම්, සිටින බවට වන “ෆැන්ටසිය හරහා ගමන් කළ යුතුය”(traversing the fantasy). ඔවුන් ‘අනෙකා තුළ ඇති අඩුවට’ ( lack in the Other) මුහුණ දිය යුතු අතර ඔවුන්ගේ ආශාව සඳහා ඔවුන්ගේම වගකීම භාර ගත යුතුය. විශ්ලේෂකයාගේ කතිකාව ස්වාමියාගේ කතිකාවට සෘජුවම ප්‍රතිවිරුද්ධ වන්නේ මෙහිදීය. මනොවිශ්ලේෂණදී විශ්ලේෂකයා තමන් සත්‍යය දන්නා ගුරුවරයෙකු ලෙස ස්ථානගත නොකරයි. 

අපගේ දේශපාලන දෘෂ්ටිවාද සහ පද්ධති, පුද්ගලයෙකුගේ මනෝභාවය මෙන්ම ස්වාමි හැඟවුම්කාරක වටා ව්‍යුහගත වී ඇත. උදාහරණ: “විද්‍යාත්මක” (scientific), “නිදහස,” “ප්‍රජාතන්ත්‍රවාදය,” “වෙළඳපොළ,” “ජනතාව,” “විප්ලවය.” මෙම පද දේශපාලන කතිකාවේ සමස්ත ක්ෂේත්‍රයක්ම සංවිධානය කරන ස්වාමි හැඟවුම්කාරක ලෙස ක්‍රියා කරයි (S2). සායනික විශ්ලේෂණ ක්‍රියාවලිය හරහා ආත්මයේ මනෝභාවය තුළ ස්වාමියා අහෝසි කරනු ලබන අතර, අනෙකාගේ අඩුව පිළිගන්නා ආත්මීය අසරණභාවයකට මග පාදයි. නමුත් සායනය තුලින් සමාජීයව පවතින තත්වය විසඳිය නොහැක. “ෆැන්ටසිය හරහා ගමන් කල” ද ඊට සමගාමී දේශපාලන ගැටුමකින් තොරව විමුක්තිය සාක්ෂාත් කරගත නොහැක. දේශපාලන ස්වාමියා මානසික ස්වාමියා නිර්මාණය කර නඩත්තු කරයි. එබැවින්, පද්ධතිය කඩාකප්පල් කරන දේශපාලන ක්‍රියාවක් සැබෑ ආත්මීය නිදහස සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. 
එබැවින් විමුක්ති දේශපාලන ව්‍යාපාරය (විශ්ලේෂකයා) සත්‍යය දන්නා සහ සත්‍ය නියෝජනය කරනා නියෝජිතයා (ගුරුවරයෙකු) ලෙස එය ස්ථානගත නොකල යුතුය. ඒ වෙනුවට, එය හිස් තිරයක් ලෙස ක්‍රියා කල යුතුය. මනොවිශ්ලේෂණයේදී විශ්ලේෂකයාගේ ඉලක්කය වන්නේ විශ්ලේෂිතයාගේ ස්වාමි හැඟවුම්කාරක අඩපණ කිරීමට, ඒවායේ හිස්බව හෙළි කිරීමට සහ විශ්ලේෂිතයාට තමන්ගේම බෙදී ගිය ආත්මීයත්වය අභ්‍යුපගමනය කිරීමට ඉඩ දීමයි. එලෙසින්ම දේශපාලන ව්‍යාපාරය ද විශ්ලේෂී කතිකාව තුල ස්ථානගත වෙමින් දෘෂ්ටිවාදය විචාරය තුලින් කල යුතු වන්නේ එයයි (නලින් ද සිල්වා විසින් එය සිදු කරන ලදී. නමුත් ඔහු ඒ සමගින් ගොඩනැංවීමක් ද සිදු කළේය. ඒ “සිංහල බෞද්ධ ජාතිකත්වය” නමැති ගොඩනැංවීමයි).  

“සන්තෝෂයේ රහස මා සතුව ඇත. මගේ ඉගැන්වීම් අනුගමනය කරන්න, එවිට ඔබ පරිපූර්ණ වනු ඇත” යනුවෙන් ගුරුවරයෙක් (ස්වාමියෙක්) පවසනු ඇත. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ස්වාමි හැඟවුම්කාරකයක් (“බුද්ධි ප්‍රබෝධය”) සහ දැනුම් පද්ධතියක් (S2) ලබා දෙයි. ඔවුන් තමන් දන්නා තැනැත්තා ලෙස ස්ථානගත කරයි. සෝවියට් සමාජවාදය ක්‍රියාත්මක වූයේ එසේය. පක්ෂය “ගුරු” ආස්ථානයේ ස්ථානගත විය. ප්ලේකනොව් විසින් සම්පාදනය කල “ඓතිහාසික භෞතිකවාදය” තුලින් සමාජ සංවර්ධනයේ අනීවාර්ය අවධීන් මොනවාද යන්න ඔවුන් “දැනගෙන” තිබුණි. එසේම එංගල්ස්ගේ “දයලෙක්තික භෞතිකවාදය” ඔවුනට මගපෙන්වූයේ විද්‍යාව තුලින් පරම සත්‍ය සොයා ගත හැකි බවටය. නලින් තම ඉදිරිපත් කිරීම් අරඹන්නේ එම දේශපාලනයට එරෙහි වෙමිනි (“මාක්ස්වාදයේ දරිද්‍රතාවය”, “ආපොහකයේ රූපිකය”, “සමාජවාදයට නව අර්ථකතනයක් අවශ්‍යයි”, “මගේ ලෝකය”).
ලැකානියානු මනොවිශ්ලේෂණයේදී විශ්ලේෂකයෙක් තමන්ව දන්නා තැනැත්තා ලෙස ස්ථානගතවීම වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ දේ කරයි. විශ්ලේෂිතයෙකු “මට කළ යුතු දේ කියන්න! ඔබ විශේෂඥයා” යැයි පවසන විට, විශ්ලේෂකයා එම ස්ථාවරය ගැනීම ප්‍රතික්ෂේප කරයි. ඔවුන් “ඔබ සිතන්නේ කුමක්ද?” යනුවෙන් ප්‍රතිචාර දැක්විය හැකිය. නැතහොත් නිහඬව සිටිය හැකිය. මෙම ස්වාමියා වීම ප්‍රතික්ෂේප කිරීම විශ්ලේශිතයාට කිසිවෙකුට තමන්ට එම අවසාන පිළිතුර ලබා දිය නොහැකි බවට මුහුණ දීමට බල කරයි. අධිකාරිය සහ වගකීම රෝගියාටම පැවරේ. විමුක්ති දේශපාලනයේ ස්ථාවරය විය යුත්තේ ද එයයි. නමුත් නලින්ගේ “සිංහල බෞද්ධ ජාතිකත්වය” ඔහු නොදැනුවත්වම ස්වාමි හැඟවුම්කාරකයක් ලෙස ක්‍රියා කරයි. 

ලැකාන්ට අනුව “දැනුම” කිසි විටක උදාසීන නොවේ; එය කතිකාවට සහ අධිකාරිත්වයට බැඳී ඇත (දැනුම බලයට බැඳී ඇත).

ඔහුගේ කතිකාවන් හතරෙන් එකක් වන ‘විශ්ව විද්‍යාල කතිකාව’ තුළ, ආයතනික දැනුම අධිකාරීත්වය නීත්‍යානුකූල කරන අතර නව ආකාරයේ ආධිපත්‍යයක් පවත්වාගෙන යන ආකාරය ලැකාන් පෙන්වා දෙයි (මේ පිලිබඳ ලිපි රැසක් අපගේ වෙබ් අඩවියේ සහ Facebook පිටුවෙහි ඇත). සමාජවාදී හෝ සමානාත්මතා ආර්ථිකයක පවා, විශේෂඥතාවය නව ධූරාවලියක් බවට පත්වේ: පිළිගැනීමට ලක් වූ නිල ආයතනගත දැනුම ඔවුන් සතුව ඇති බැවින් අධිකාරීත්ව ධූරාවලියේ ස්ථානගත වෙමින් ඒ තුලින් කතා කරන අතර අනෙක් අය කීකරු විය යුතු හෝ ඉගෙන ගත යුතු අය ලෙස ස්ථානගත කර ඇත. නැවත නැවතත් අධිකාරීත්ව ධූරාවලිය නඩත්තු වන්නේ ඒ තුලිනි (නලින් ද සිල්වාගේ මුල් ඉදිරිපත් කිරීම් තුල ඔහු දැඩිව මීට එරෙහි වේ).

 

සෝවියට් සංගමය තුළ, ආර්ථික ස්වාමිවරුන් (ධනපතියන්) අහෝසි කරන ලද නමුත්, දේශපාලනික සහ දැනුමේ ස්වාමිවරුන් (පක්ෂ නායකයින්, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, බුද්ධිමය බලධාරීන්) එම භූමිකාව පුරවන ලදී. දැනුම කෙරෙහි අධිකාරීත්වය ධූරාවලිය පවත්වා ගැනීමේ මාර්ගයක් බවට පත්වේ.

ඉහතින් දැක්වූ උපුටනයේ පළමු ඡේදය තුල නලින් ද සිල්වා වෙතින් ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුල විශාල බුද්ධිමය පරතරයන් නිර්මාණය නොවන බවය.
එමන්ම ඔහු එහි දෙවැනි ඡේදය තුල පවසන්නේ අසමාන කම් සම්පූර්ණයෙන්ම අහෝසි කල නොහැකි බවත්, කල හැක්කේ අසමානකම් අවම කිරීම පමණක් බවත්ය. ඔහු එහි පවසන ඉතාම වැදගත් කරුණ වන්නේ ඔහු වසර 30-35ක් තිස්සේ උත්සාහ දැරුවේ අසමානකම් අවම කිරීමට බව පැවසීමයි. ඔහු මෙසේ පවසයි”: “මං අවුරුදු 30-35ක් තිස්සේ යම් දෙයක් කෙරුවා නම් කෙරුවේ මේ අසමානකම් අවම කිරීමේ සහ අනිත් මිනිස්සුන්ට සැලකීමට කටයුතු කිරීමට.”
නලින් මාක්ස්ට දොස් පවරනුයේ අසමානකම් සම්පූර්ණයෙන් අහෝසි කල හැකි බවක් මාක්ස් විසින් පැවසූ බව කියමිනි. නමුත් මෙහිදී මතක් කල යුතු ප්‍රධාන කාරණය වන්නේ මාක්ස් කොමුයුනිස්ට් සමාජය පිළිබඳව අදහස ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නේ ආදී කල්පික ඝන ගෝත්‍ර සමාජය බවය (“ප්‍රථමික සමාජය”). එහිදී සියලු දෙනා සියලු ආකාර වලින් සමාන බවක් මාක්ස් විසින් අදහස් නොකරයි. නමුත් නලින් අමතක කරන කාරණය වන්නේ අසමානකම් අවම සමාජයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නලින්ට ද පැරණි සිංහල සමාජය ගෙනහැර දැක්වීමට සිදුව ඇති බවය (මාක්ස් ද පැරණි සිංහල සමාජය ගැන තමන් අවසාන වශයෙන් ලියු කෘතියක සඳහන් කර ඇත්තේ කොම්යුනිස්ට් සමාජයක ආකෘතිය එහි තිබූ බව පවසමිනි).

 

නලින්ගේ ප්‍රශ්නය ඇත්තේ එහි නොවේ. ඔහු “සිංහල බෞද්ධ ජාතිකත්වය” නමින් සිදු කරන ගොඩනැංවීමේය (එය ඔහුගේ දේශපාලන අරමුණ සාක්ෂාත් කරගන්නා උපක්‍රමික මාවතයි. මහින්ද රාජපක්ෂ ඔහුට වැදගත් වන්නේ ඒ සඳහාය). නමුත් අවසානයේ සිදු වී ඇත්තේ අරමුණ නිශේධ වී පවතින දේශපාලන ඛණ්ඩාංක තුල සිර වීමය. ඔහුගේ “ගෝලයින්” දොහොත් මුදුන් දී භාරගෙන ඇත්තේ එම ගොඩනැංවීමේ ඇති හැඟවුම්කාරක වලට අදාළ ඔවුන්ගේ ආත්මීය හැඟවුම් මිස නලින්ගේ දේශපාලන අරමුණ නොවේ. එසේම නලින්ට එරෙහි වාමාංශික මුග්ධයින් ද නලින් භාරගෙන ඇත්තේ එම ස්ථානයෙනි. එම දෙපාර්ශවය තකට තක ගැලපෙන්නේ එබැවිනි. නලින්ගේ ගෝලයින් හට රාජපක්ෂ පවුලෙන් ගැලවීගත නොහැකිය. ඔවුන්ට එය හැඟවුම්කරණය වී ඇත්තේ නව සිංහල බෞද්ධ රජ පවුල ලෙසය. ඒ අනුව මහින්ද පිය රජුගෙන් පසුව රාජ උරුමය ඇත්තේ නාමල් කුමරුන් හටය. 

සැබෑ විමුක්ති දේශපාලන ක්‍රියාවක් යනු පවතින ක්‍රමයේ ඛණ්ඩාංක තුළ ක්‍රියාත්මක වන දේශපාලනයක් නොවේ (ඡන්දය දීම, විරෝධතා දැක්වීම). එය ඛණ්ඩාංකම වෙනස් කරන අභිනයකි. එය ක්‍රීඩාව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි.

Share this content:

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *