ආත්මය සිර ගතව ඇත (‘අධමයා’ හඳුනාගන්න)

ආත්මය සිර ගතව ඇත (‘අධමයා’ හඳුනාගන්න)

මේ ගතවෙමින් පවතිනුයේ විමුක්තිය පිළිබඳව අදහස යටපත්ව ඇති යුගයකි. එය විවිධ යුග වල විවිධාකාරයෙන් (ආගමික, දාර්ශනික, දේශපාලන ආදී ලෙස) ඉස්මතුව තිබූ බව පවා අද වැදගැම්මකට නැතුව ගොසිනි. අද ලිබරල් ධනවාදය තුළ පවතින්නේ “පශ්චාත් දේශපාලනයයි” (දේශපාලනය විශේෂඥ පරිපාලනික කළමනාකරණයක් බවට පත්වීම) එම තත්වය එන්න එන්නම වර්ධනය වේ. එහි ප්‍රතිඵලය ලෙස “විමුක්තිය” වැනි වචන පරණ/අප්‍රායෝගික ලෙස පෙනී යයි. එම අදහසම “අර්ථවත්” කතාබහෙන් ඉවත් වී තිබේ.

අධ්‍යාපනය සහ විද්‍යාව යන්න ‘විශ්වවිද්‍යාල කතිකාව’ (university discourse) සහ ‘ධනවාදී කතිකාව’ හරහා පැමිණෙන්නේ තාක්ෂණික කළමනාකරණයන් (technocratic management) මගින් සියලු ප්‍රශ්න විසඳන බවට වන අවධාරණය තුලය. සමාජ ප්‍රතීඝතා (social antagonisms) තාක්ෂණික ගැටලු ලෙස පරිවර්තනය කෙරෙන (එනම්: කුසලතා, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති, සහ උපරිම කාර්යක්ෂමතාවය වැනි දේ) අතර දේශපාලනය යනු හුදු පරිපාලනයක් බවට පත් වේ. ‘විමුක්තිය’ යන්න; පද්ධතියට ඇතුළත් කර ගැනීම, නිපුණතාවය, රැකියා නියුක්ත වීමේ හැකියාව, මානව ප්‍රාග්ධනය හෝ යහපැවැත්ම මැනීමේ දර්ශක වැනි දේ දක්වා ඌනනය කෙරේ. 

එම යථාර්තය තුල ‘දැනුම’ බලය ලෙස පැමිණේ (මෙහිදී ‘දැනුම’ ප්‍රධාන ස්වභාවය ගනී). නමුත් එම ‘දැනුම’ භාවිතා කරන්නේ ආත්මය (subject) නිදහස් කිරීමට නොව, “වාස්තවික” කරුණු සහ දත්ත ඉදිරිපත් කරමින් පවතින ක්‍රමය සාධාරණීකරණය කිරීම සඳහාය.

දේශපාලන ගැටලුවක් (පන්ති අසමානතාවය, දිළිඳු භාවය, පාරිසරික අර්බුධ ඇතුළු විවිධ ගැටළු) ඇති වූ විට, පද්ධතිය විසින් එය දකින්නේ දේශපාලන ප්‍රශ්නයක් ලෙස නොව, නිවැරදි “කළමනාකරණය” මගින් විසඳිය යුතු තාක්ෂණික දෝෂයක් ලෙසයි. මිනිසා යනු තවදුරටත් දේශපාලන ‘ආත්මයක්’ නොව, වෙළඳපොළට අවශ්‍ය පරිදි හැඩගැසිය යුතු “මානව ප්‍රාග්ධනයක්” (human Capital) ලෙස පමණක් සලකනු ලබයි.

ප්‍රමුඛ දැනුම් පද්ධතිය විසින් සමාජ පර්යාය සලකනු ලබන්නේ, පරිවර්තනය කළ යුතු ව්‍යුහයක් ලෙස නොව, හුදු වැඩිදියුණු කළ යුතු පද්ධතියක් ලෙසය. පසුකාලීන ධනවාදය තුළ, අධ්‍යාපනය සහ තාක්ෂණික-විද්‍යාව ක්‍රියා කරන්නේ විශේෂඥ දැනුම පිළිබඳ කතිකාවක් (discourse of expertise) ලෙසය. එමගින් විමුක්තිකාමී ඉල්ලීම් තාක්ෂණික ගැටලු බවට පරිවර්තනය කෙරේ. ඒ හරහා, විමුක්තිය යන්න දේශපාලන ක්‍රියාවක් ලෙස සිතීමට ඉඩ සලසන මූලික සමාජ ප්‍රතීඝතා (antagonism) ප්‍රතික්ෂේප කරනු ලබයි. 

විමුක්තිය වෙනුවෙන් ගොඩනගන ලද දේශපාලන පක්ෂයක් ලංකාවේ බලයට පැමිණ ඇති වුව ද, එය ද ක්‍රියාත්මක වන්නේ මෙම පශ්චාත් දේශපාලන තත්වය භාර ගැනීම තුලය.

විමුක්තිය යන්න නිෂ්ක්‍රීය කරනු ලැබුවද, එය අතුරුදහන් නොවේ. එය බොහෝ විට රෝග ලක්ෂණාත්මක ලෙස (symptomatically) නැවත මතු වීමට නැඹුරු වෙයි:

  • ‘සදාචාරාත්මක භීතිකා’ (moral panics) ලෙස,
  • අධිකාරීවාදී ෆැන්ටසීන් (authoritarian fantasies) ලෙස,
  • නැතහොත් තාක්ෂණික රාමුවට හසු නොවන හදිසි පිපිරීම් ලෙසය.

ලොව පුරාම තත්වය එසේය. ජවිපෙ, පෙසප හෝ දැනට වියැකී ගොස් නාම මාත්‍රිකව පවතින වාමාංශික පක්ෂ වල දේශපාලන ස්ථාවරය තුල සහ ක්‍රියාකාරීත්වය තුල කෙතරම් අඩුපාඩු තිබුනද ඒවා අනෙකුත් ප්‍රභූ දේශපාලන පක්ෂ සමග සැසඳිය නොහැක.

ඇලන් බදියු මෙසේ පවසයි: “මෙම නැවත ඒකාබද්ධ කර ගැනීම අප ‘පුනරුත්ථානය’ හෙවත් ‘මළවුන්ගෙන් නැගිටීම’ (resurrection) ලෙස හඳුන්වමු.” ඔහු මේ සඳහා ගෙන එන ඉතාමත් අලංකාර උදාහරණය වන්නේ ස්පාටකස් (Spartacus) පිළිබඳ උදාහරණයයි. නිල ඉතිහාසයෙන් මකා දමනු ලැබූ ඔහුගේ නාමය, මුලින්ම පුනර්ජීවනය ලැබුවේ හයිටි රාජ්‍යයේ කළු වහලුන්ගේ කැරැල්ල හරහාය (ප්‍රගතිශීලී ආණ්ඩුකාර ලැවෝක්ස් විසින් ටූසේන් ලූවර්චර්ව ‘කළු ස්පාටකස්’ ලෙස හැඳින්වීය). ඉන් සියවසකට පසුව, රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් යන ජර්මානු ස්පාටකස්වාදීන් දෙදෙනා හරහා එය නැවත පණ ලැබීය. කෙසේ වෙතත්, මෙහිදී වැදගත් වන්නේ බදියු මෙම පුනර්ජීවනය ‘පුනරාවර්තනයක්’ (repetition) ලෙස හැඳින්වීමෙන් වැළකී සිටීමයි...

ස්පාටකස්ගේ කැරැල්ල වැනි ඓතිහාසික “සිදුවීමක්” පද්ධතිය විසින් මකා දැමීමට උත්සාහ කළද, එහි “සත්‍යය” අතුරුදහන් නොවේ. එය ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී වෙනත් මුහුණුවරකින් මතු වේ. ටූසේන් ලූවර්චර් හෝ රෝසා ලක්සම්බර්ග් “ස්පාටකස්” යන නාමය භාවිතා කරන්නේ අතීතය අනුකරණය කිරීමට නොවේ. ඔවුන් කරන්නේ එම පැරණි කැරැල්ලේ වූ “විමුක්තිකාමී ආශාව” තම වර්තමාන දේශපාලන සන්දර්භය තුළට ගළපා ගැනීමයි. බදියු මෙය “පුනරාවර්තනයක්” ලෙස හැඳින්වීමට අකමැති වන්නේ, පුනරාවර්තනය යනු එකම දෙය නැවත සිදුවීමක් (මළ දෙයක්) ලෙස පෙනෙන නිසාය. ඒ වෙනුවට “පුනරුත්ථානය” යනු අතීතයේ වූ ජීවගුණය වර්තමානය තුළ අලුත් “නිර්මාණයක්” ලෙස ප්‍රකාශ වීමයි.

බදියුගේ අදහස ස්ලවෝය් ශිෂැක් විසින්ද මෙසේ කැටි කොට දක්වයි: “ස්පාටකස් (Spartacus) ‘නිල ඉතිහාසයෙන් මකා දමනු ලැබූ’ අතර, පසුව හයිටි රාජ්‍යය තුළ ඔහු නැවත පුනර්ජීවනය ලැබීය (ටූසේන් ලූවර්චර් සමඟ සම්බන්ධ වූ ‘කළු ස්පාටකස්’ ලෙස). පසුව නැවතත් ජර්මානු ස්පාටකස්වාදීන් (රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට්) හරහා ඔහු නැවත පණ ලැබීය.”

පාලක පන්තිය සැමවිටම උත්සාහ කරන්නේ පීඩිතයන්ගේ ජයග්‍රහණ සහ කැරලි පිළිබඳ මතකය ඉතිහාසයෙන් මකා දැමීමටයි. ස්පාටකස් යනු රෝම අධිරාජ්‍යයට එරෙහිව වහලුන් මෙහෙයවූ සංකේතයකි.

බදියුට අනුව, සැබෑ දේශපාලන “සිදුවීමක්” (event) කිසිදා සම්පූර්ණයෙන් මිය යන්නේ නැත. එය වෙනත් නමකින්, වෙනත් රටක, වෙනත් යුගයක නැවත මතු වේ. හයිටි විප්ලවයේදී සහ ජර්මානු සමාජවාදී අරගලයේදී “ස්පාටකස්” යන නාමය භාවිතා කිරීම හුදු උපමාවක් නොව, එම පැරණි විමුක්තිකාමී ආත්මය වර්තමානය තුළ ක්‍රියාවට නැංවීමකි.

ෆ්‍රොයිඩ්ගේ ‘මරණ ධාවකය’ (death drive) යනු මූලික වශයෙන් “අමරණීයභාවය” සඳහා වන යෙදුමකි. එය පොළවෙන් ඉපදී සාමකාමීව පොලවට පස් වීම පිළිබඳව කාරණාවක් නොවේ. ඒ වෙනුවට එය සාමාන්‍ය ජීවිතයෙන් ඔබ්බට යන ගුප්ත සහ භය උපදවන, අනිවාර්ය පුනරවර්තනයයි (repetition). ඒ අනුව ෆ්රෝයිඩියානු අර්ථයෙන් “අමරණීයභාවය” යනු “මම මගේ දරුවන් තුළ ජීවත් වෙමි” යන්න නොව, ඊට වඩා දෙයකි. මරණ ධාවනය’ යනු  නිමක් නැති පුනරාවර්තන චක්‍රයට හසු වීමේ භයානක ඉරණම සඳහා ‘මළවුන්ගේ’ සදාකාලික ජීවිතයටම නාමයකි”. එනම් මිනිසුන් මිය ගිය පසුව පවා, ක්ෂිතිමය සහගත ‘ධාවනයක්’ හෝ ‘හේතුවක්’ නැවත නැවතත් මතුවෙමින් පවතින ආකාරයයි. 

කොමියුනිස්ට්වාදීන් පමණක් නොව වෙනත් විප්ලවවාදීන් ද පමණක් නොව ෆැසිස්ට්වාදීන්, පවා සැලකිය හැක්කේ “ජීවත්වන මළවුන්” ලෙසය. එවැනි මිනිසුන්ගේ ‘දේශපාලන හේතුව’ (political cause) නිසා ජීවිතයත් මරණයත් අතර අමුතු අවකාශයක ඔවුන්ව තබයි. 

විප්ලවයක සාර්ථකත්වය මැනිය යුත්තේ ඊට අදාළ ප්‍රීතිමත් මොහොතෙන් නොව, ඉන් පසු එදිනෙදා ජීවිතයේ සිදුවන වෙනස්කම් වලිනි. එනම් මහා සිදුවීමෙන් පසු දින ඉතිරිව ඇති දේ අනුවය. අතීත අරගලවල සාක්ෂාත් නොවූ විමුක්ති විභවයට අප භක්තිමත් විය යුත්තේ එබැවිනි. – “යමෙකු භක්තිමත් විය යුතු අනාගතය යනු අතීතයේම අනාගතයයි” (අතීතයේ නිම නොවූ අරගල වර්තමානය හොල්මන් කරන ආකාරය සහ නව පරම්පරාවන් ඒවා ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය). 

වෝල්ටර් බෙන්ජමින් මෙසේ පැවසීය: “සතුරා දිනුවහොත් මළවුන් පවා ආරක්ෂිත නොවනු ඇත”. එනම්, අප දැන් ක්‍රියා කරන ආකාරය විසින් මළවුන් සටන් කළ දෙයෙහි අර්ථය පාරක්‍රියව (retroactively) වෙනස් කළ හැකිය.

 

ධනවාදය තුල ‘සංකේත රටාව’ (symbolic order) සංවිධානය වන්නේ එහි (පුද්ගලයින්) ආත්මයන් තම ජීවිතය යනු දේපළ රැස් කර එය තම දරුවන්ට ලබා දීමේ ව්‍යාපෘතියක් ලෙස සැලකීමට තල්ලු කරනු ලබන ආකාරයෙනි. සියලු දෙනා හට එකම අකාරයෙන් මෙය සිදු කල නොහැකි වුව ද මේ ආකාරයෙන්, උරුමය සහ තරඟකාරී සමුච්චනය ධනවාදය යටතේ ‘සාමාන්‍ය’ ජීවිතයේ කේන්ද්‍රීය පරමාදර්ශ ලෙස ක්‍රියා කරයි. ඒ තුල සියලු දෙනා හට සිදු වන්නේ එම යාන්ත්‍රණය ක්‍රියාකරවීම සඳහා උනන්දුවෙන් සහභාගී විය හැකි ශ්‍රමිකයෙක් බවට පත් වීම සඳහා ඉතා කුඩා කල සිට පුහුණු වීමට සිදු වීමයි (වර්තමානයේ මෙහි ප්‍රධාන සාධකය ක්‍රියාත්මක වන්නේ ‘දැනුමට’ අදාලවය). එවිට මිනිසුන් ජීවත් වන්නේ ධනවාදී යාන්ත්‍රනය ක්‍රියා කරවීම සඳහාය. ධනවාදය තුල එම ක්‍රියාකාරීත්වයෙන් තොරව මිනිසුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කල නොහැක. ධනවාදය තුල ජීවත් වන ඕනෑම අයෙකු කුමන හෝ තැනකින් එම අරමුණ හා බැඳේ. 

“මනුෂ්‍යාගේ ආශාව යනු අනෙකාගේ ආශාවයි” (“man’s desire is the desire of the Other”). මෙය වඩාත් නිවැරදිව පවසන්නේ නම්, ලකාන්ට අනුව “මගේ ආශාවේ ව්‍යුහය සෑදී ඇත්තේ ‘අනෙකාගේ’ ආශාවේ ක්ෂේත්‍රය තුළය”. එනම් ආශාව ව්‍යුහගත වන්නේ ‘සංකේතීය අනෙකා’ මගිනි (symbolic Other). ධනවාදය තුල සිදුවන්නේ මෙය ඊට අදාළ අතිශය විවිධාකාර විෂමතා තුල, ඊට අදාළව ඉතා සීග්‍රයෙන් ගුණනය වන විවිධාකාර සංකරන සහ සංයෝජන ආකාර තුල විපරීත අකාරයෙන් ගුණනය වීමයි. 

ආත්මයට වැදගත් වන්නේ අනෙකා (Other) මට කෙතරම් ආශා කරනවද යන ප්‍රශ්නයයි. මෙය දරුවා සහ මව අතර සම්බන්ධයේදී දරුවා මත පැටවෙන මුල් ෆැන්ටසියයි (Other/මව). එනම්, “මම මව්ගේ ‘ෆැල්ලසය’ (phallus), මව්ගේ ‘ආශාවේ වස්තුව’” (‘object of mother’s desire’) වීමයි. පසුව “කෙනෙක් ලොකු දේපලක් රැස් කර මවගේ අගය කිරීමට ලක්වීම/අනුමැතිය/ආශාව ඉටු කරගැනීමට බොහෝ වෙහෙසෙනුයේ මෙම ව්‍යුහය තුලය.

 

මේ තත්වය පැහැදිලි කිරීම සඳහා හොඳම උදාහරණයක් වන්නේ දිලිත් ජයවීරයි. දිලිත් යනු පෙරකදෝරුවෙකු වී මිය යාමට තිබූ කෙනෙකු වුව ද ඔහුට අහම්බෙන් මුණ ගැසෙන ප්‍රභූ තන්ත්‍රයේ කෙල්ලන් දෙදෙනෙකු නිසා ඔහුගේ ජීවිතය වෙනස් වේ. නමුත් ඔහු සිතනුයේ ඔහු සුවිශේෂී බවය (ego ideal). එම සුවිශේෂී බව ඔප්නංවා ගැනීම සඳහා (ඔහුගේ දේශපාලන අරමුණට එවැන්නක් අවශ්‍ය බැවින්) නලින් ද සිල්වාගේ දෘෂ්ටිවාදය ඔහුට අවශ්‍ය පරිදි සංස්කරණය කර ගනී. 

එවැනි තත්වයක් ආරෝපණය කරගැනීමෙන් පසු, කෙනෙකුට දරුවන් නොමැතිව වුවද, ‘මවගේ ආශාවේ අනූපම වස්තුව’ වීමේ ෆැන්ටසියක් පවත්වා ගැනීම යන්න කරගෙන යන ආත්මයක හැසිරීමට අදාළ ලක්ෂණ විය හැක්කේ: නොනවතින ධනය රැස් කිරීම, අධ්‍යාපන තරඟයේ නිමග්න වීම, යම් විද්‍යාත්මක නිර්මාණයක් කිරීම සඳහා වන නොපසුබට උත්සාහය වැනි තත්වයන්ය. ‘මවගේ ආශාවේ අනූපම වස්තුව’ වීමේ ෆැන්ටසිය යනු එම තත්වය පිටුපස ඇති විය හැකි එක් අවිඥානික අවස්ථාවක් වනු ඇත. 

මේ තත්වය තුල මේ යුගයේ උපරිමය සලකුණු කරන පුද්ගල උදාහරණය වන්නේ ඊලන් මස්ක්ක්ය. ඔහුට අවශ්‍යව ඇත්තේ ඔහු කැමති ආකාරයට මුළු ලෝකයම සහ එහි මිනිසුන් සකස් වීමයි. පසුකාලීන ධනවාදයේ දී, එවැනි ආත්මයක් විශේෂිත තාක්ෂණික හා ආර්ථික දැක්මකට අනුව ලෝකය සහ එහි ජනතාව නැවත හැඩගස්වා ගත හැකි කෙනෙකුගේ ස්ථානයේ දිස්වේ. ධනවාදය තුල සත්‍ය නම් එවැනි අයට ලෝකයටම අදාළව බලපෑම් සහගත විය හැකි තීන්දු තීරණ ගැනීමේ හැකියාව උදා වීමයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, තම ආශාවට අනුකූලව “මුළු ලෝකයම හැඩගස්වා ගැනීමට” කැමති ආත්මයක්, ‘මහා අනෙකාගේ’ (big Other) ස්ථානයේ (ලෝක රටාව ගොඩනැගෙන ස්ථානය) සිට ක්‍රියා කිරීමට උත්සාහ කරයි. ධනවාදය තුළ, ඇතැම් ආත්මයන් (බිලියන පතියන්, බලපෑම් කල හැකි වේදිකා, යටිතල පහසුකම් ආදිය හිමි කරුවන්) හට සැබවින්ම මුළු ග්‍රහලෝකයටම බලපාන තීරණ ගත හැකිය. මෙවැනි පුද්ගල චරිත ‘ධනවාදී කතිකාව’ මගින් නිපදවන ලද සම්පූර්ණ පාලනය පිළිබඳ ෆැන්ටසියක ප්‍රතිමූර්තීන් ලෙස මිස “ධනවත් පුද්ගලයින්” ලෙස පමණක් හැඳින් විය නොහැක.

මෙය හුදෙක් පුද්ගලයෙකු පිළිබඳව මනෝවිද්‍යාව තුලින් සිදු කරන ප්‍රකාශ පිළිගැනීමක් නොව, ‘සංකේත රටාවෙහි’ ව්‍යුහාත්මක ස්ථානයකි. එනම් ධනවාදය විසින් ‘මහා අනෙකාගේ’ ස්ථානයේ සිට ක්‍රියා කරන බව පෙනෙන ආත්මයන් නිෂ්පාදනය කරයි. මුළු ලෝකයටම ප්‍රතිවිපාක ඇති කරන තීරණ එවැනි අයට ගත හැකිය.

 

දිලිත්ට දරුවන් නොමැත. එසේ නම් ඔහු මෙතරම් ධනස්කන්දයක් රැස් කරනුයේ ඇයි ද යන්න සහ ඔහු ඉන් සෑහීමකට පත් නොවී ශ්‍රී ලංකාවේ තීරකයා බවට පත්වීමට දරන උත්සාහය ඉහත විස්තර කිරීම තුලින් තේරුම්ගත හැකිය.

දිලිත්ට අවශ්‍යව ඇත්තේ ලංකාවට අදාළව ‘මහා අනෙකාගේ’ ස්ථානයෙන් ක්‍රියා කිරීමටය. ඔහු මුලින්ම ඒ සඳහා යොදා ගත්තේ ගෝඨාභයයි. දිලිත් පිටුපසින් සිට එම කාර්ය කරවන්නා බව ඔහු රටට අඟවා සිටියේය. දැන් ඔහුම ඊට ඉදිරිපත් වී ඇත. ඒ නලින් ද සිල්වා විසින් ගොඩනගන ලද “සිංහල බෞද්ධ ජාතිකත්වය” නමැති දෘෂ්ටිවාදය පදනම් කරගනිමිනි (නලින් ද සිල්වා පවසා සිටියේ ඔහුගේ ප්‍රයත්නය ඉදිරියට ගෙනයනුයේ දිලිත් වැනි අය බවයි).

මනොවිශ්ලේෂණය මෙය හුදෙක් තාර්කික ආර්ථික ගණනය කිරීමකට සීමා නොකරයි. ඒ වෙනුවට, ආත්මය අනෙකාගේ ආශාවේ (උදාහරණයක් ලෙස, මවගේ ආශාවේ) වරප්‍රසාද ලත් වස්තුව බවට පත්වීමට උත්සාහ කරන ෆැන්ටසියක සීමාවන් තුළ ක්‍රියාත්මක වන බව යෝජනා කළ හැකිය. එවැනි අවස්ථාවක, ධනය යන්න ප්‍රමෝදය සඳහා සරල මාධ්‍යයක් ලෙස අඩුවෙන් ක්‍රියා කරන අතර අනෙකාගේ ආශාවට සාපේක්ෂව නිශ්චිත අවිඥානික ස්ථානයක් පවත්වා ගැනීමේ මාර්ගයක් ලෙස වැඩි වැඩියෙන් ක්‍රියා කරයි. දිලිත් වෙතින් දිස් වන්නේ එම ආත්මීය ආස්ථානයයි. ඔහු දැන් “සිංහල බෞද්ධ ව්‍යවසායක රාජ්‍ය” ගොඩනැගීම තම කර මතට ගත් ඓතිහාසික යුග පුරුෂයාය. 

“දෙරණ දිලිත් උඹේ අම්මා සනීපෙන්ද” යනුවෙන් ඇසුවේ සේපාල් අමරසිංහය. සැබවින්ම ඊට අර්ථයක් ඇත.

 

නලින් ද සිල්වා විසින් නියෝජනය කරන ලද්දේ “සමාජ ගොඩනැංවීම්වාදයකි” (ඒ පිළිබඳව අවශ්‍ය තරම් ලියා ඇත). එවැනි සමාජ ගොඩනැංවීම්වාදයක් තුල ඕනෑම අධමයෙකු හට කටයුතු කල හැකි බව සඳහා හොඳම උදාහරණය වන්නේ දිලිත්ය. එය, දිලිත් වැනි අවස්ථාවාදී අධමයින්ට තමන්ට අවශ්‍ය ආකාරයට එය සකස් කරගනිමින්, ඒ තුලින් තම ඉලක්ක සපුරාගත හැකි දෘෂ්ටිවාදයකි. නමුත් විමුක්ති දේශපාලන විභවයන් එවැනි අයට එසේ නිමග්න විය හැකි ආකාරයේ ක්‍රියාවන් සම්පාදනය නොකරයි.

“ග්‍රිම්සියානු චතුරශ්‍රය” ඇසුරෙන් මෙය පැහැදිලි කල හැකිය.

මෙම චතුරශ්‍රයේ සහජ ප්‍රතීඝතාවයක් (antagonism) ප්‍රකාශ වන්නේ තිරස් පිහිටීම් දෙක හරහාය. එනම්, වීරයා අසදාචාරාත්මකය, නමුත් ආචාර ධර්ම සහිතය. එනම්, ඔහු ජීවිතය පිළිබඳ උසස් ආචාර ධර්මයක්, “ඓතිහාසික අවශ්‍යතාවයක්” හෝ එවැනි දේවල නාමයෙන් පවතින පැහැදිලි සදාචාරාත්මක සම්මතයන් උල්ලංඝනය කරයි (හෝ වඩාත් නිවැරදිව කියතොත්, ඒවායේ වලංගුභාවය අත්හිටුවයි). ඒ සඳහා උදාහරණයක් ලෙස විප්ලවවාදී පක්ෂයක් සැලකිය හැකිය (ජවිපෙ 87-90 අරගලය).

ඊට ප්‍රතිවිරුද්ධව, ‘ සුපර් ඊගෝව’ (‘superego’) මගින් නිරූපණය වන්නේ වීරයාගේ ස්වභාවයට හාත්පසින්ම විරුද්ධ දෙයයි. එනම්, ආචාර ධර්ම විරෝධී සදාචාරාත්මක නීතියකි; සදාචාරාත්මක සම්මතයන්ට කීකරු වීම හා ඇලී පවතින අශ්ලීල ප්‍රමෝදයක් (obscene enjoyment) සහිත නීතියකි (උදාහරණයක් ලෙස, සිසුන්ගේම යහපත උදෙසා යැයි පවසමින් ඔවුන්ට වද දෙන, නමුත් එම වද දීම තුළ තමා ලබන හිංසාකාරී ආශ්වාදය පිළිගැනීමට සූදානම් නැති දරුණු ගුරුවරයෙකු මෙනි).

 

මෙම චතුරශ්‍රයට අදාලව දිලිත්ගේ ක්‍රියාකාරීත්වය සැලකුවහොත් ඔහු වරින් වර ස්ථානගත වන්නේ ‘සුපර් ඊගොවේ’ ස්ථානයේ සහ “අධමයාගේ” (scoundrel) ස්ථානයේය. 

‘සුපර් ඊගොව’ යනු හුදෙක් නීතිය නොවේ, එය ‘ප්‍රමෝදයෙන්’ (jouissance) ඇඹරුණු නීතියයි. ඒ තුල “විධිමත් ලෙස අවසර දීම සහ ඇත්තටම තහනම් කිරීම” එදිරිව පවතින්නෙ කෙසේද? එසේ නම් “විධිමත් ලෙස අවසර දී ඇති” දේ කුමක්ද?

නිල නීති/සම්මතයන් මට්ටමින් මෙසේ උදාහරණ දැක්විය හැකිය: ඔබට ඔබේ රැකියාව තෝරා ගැනීමට නිදහස තිබේ, ඔබට සති අන්තයේ විවේක ගත හැකිය, ඔබට ජීවිතය භුක්ති විඳීමට, විනෝද වීමට, විවේක ගැනීමට අවසර ඇත, එසේම අතිකාල ප්‍රතික්ෂේප කිරීම නීතියෙන් තහනම් නොවේ. එබැවින් විධිමත් ලෙස (සංකේතාත්මකව) තහනමක් නොමැත.
එසේ නම් ‘සුපර් ඊගොව’ විසින් එය තහනම් කරන්නේ කෙසේද? එනම්, සුපර් ඊගොව විසින් නොපෙනෙන අමතර රීතියක් ඊට එක් කරයි: ඔව්, ඔබට විවේක ගැනීමට අවසර ඇත… නමුත් ඔබ විවේක ගන්නේ නම්, ඔබ කම්මැලි සහ වටිනාකමක් නැති අයෙකි. එය ඔබගේ නිවස, වාහන තිබීම හෝ නොතිබීම මගින් මෙන්ම වාහනයේ වටිනාකමින් ද පෙන්නුම් කෙරේ (පාරිභෝජනවාදයේ සියලු අංගෝපාංග මගින්). ඔබට අතිකාල එපා කියන්න නිදහස තිබේ… නමුත් හොඳ සේවකයෙකු එසේ නොකරයි. ඔබට භුක්ති විඳීමට අවසර ඇත… නමුත් කිසි විටෙකත් ප්‍රමාණවත් නොවේ, කිසි විටෙකත් නිවැරදි ආකාරයෙන් නොවේ, ඒ මදි… කෙසේ හෝ ඔබට වරදකාරි හැඟීමක් ඇති විය යුතුය. එනම්, ඔබ කම්මැලි වුවහොත්, නිවැරදි නොවන අකාරයකින් හෝ උපයන්නේ නැත්තනම් ඔබේ ලිංගිකත්වය සීමා වනු ඇත. එවිට උඹට නීතිය උල්ලංඝනය කරමින් අනාගතයේ විනෝද වීමේ හැකියාව අහිමි වනු ඇත.

එනම්, ඒ නීතියේ අශ්ලීල යටි පැත්ත, සන්සුන් රීතිය නොව, කෲර, අධිකතර හඬ: “ඔබ කිසි විටෙකත් ප්‍රමාණවත් නොවේ” යනුවෙන් නිරන්තරයෙන් කියනු ලැබේ. ඒ සමඟම එම හඬ පවසන්නේ: “විනෝද වන්න! වැඩිපුර වැඩ කරන්න! වැඩිපුර කැප කරන්න!

‘සුපර් ඊගෝ නිරෝධාඥාව’ (superego injunction) එයයි… 

නමුත් එවැනි අයෙකු තවදුරටත් සදාචාරාත්මක හඬකින් කතා කරයි. ඔහු ගුණධර්ම ඉල්ලා සිටියි: විනය, ව්‍යවසායකත්වය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ණය මත ජීවත් වීම නවත්වන්න සහ යැපීම ප්‍රතික්ෂේප කරන්න, යනුවෙන් ඔහු පවසයි. ඔහු තව දුරටත් පවසනුයේ: “හාමුදුරුවරුන්ගේ උපදෙස් පිළිපදින්න, හාමුදුරුවරුන් රජාට තරවටු කල යුතුය… එය අපේ උරුමයකි,” “සන්තෝෂවත් ජාතියක් ලෙස එක්සත් වන්න, දූෂණය තුරන් කරන්න”, යනුවෙනි. නමුත් එය සාමාන්‍ය ජනතාව මත යම් ආකාරයක සදාචාරාත්මක පීඩනයක් බවට පත්වේ. 

මේ තත්වයේ අයිකනයක් (icon) බවට පත් වූ අයෙකු කටයුතු කරණයේ එහි උපරිමයෙනි.

අචාර ධර්ම විරෝධී (ලැකානියානු අර්ථයෙන්) අකාරයෙන් ඔහු ආමන්ත්‍රණය කරනුයේ ඔබ නිරන්තරයෙන් කැපකිරීම් කළ යුතු, කඩිසර විය යුතු, දේශප්‍රේමී විය යුතු, ව්‍යවසායක විය යුතු – ඔබ අසමත් වුවහොත් ඔබ වරදකරුවෙකි යන බවටය. මෙය ‘සුපර් ඊගොයික’ වේ. එනම්, මිනිසුන් එයට වැඩි වැඩියෙන් කීකරු වීමට උත්සාහ කරන තරමට, ඔවුන් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ට හැඟේ. ‘සුපර් ඊගොව’ යනු එය විසින් විධිමත් ලෙස අවසර දෙන දේ තහනම් කරන තාක් දුරට ‘උමතුවෙන් ක්‍රියාත්මක වන’ නීතියකි. ඉන් අදහස් වන්නේ නීතිය ‘සුපර් ඊගොව’ බවට පත්වන විට, නිල වශයෙන් අවසර දී ඇති දේවල් සඳහා පවා එය ඔබට දඬුවම් කිරීමට පටන් ගන්නා බවයි.

ඔහු සදාචාරාත්මක නායකයෙකු (moral leader) ලෙස පෙනී සිටියත්, පණිවිඩයේ ව්‍යුහය මෙයයි: “ජාතිය භුක්ති විඳින්න, ව්‍යවසායකත්වය භුක්ති විඳින්න, වැඩිපුර ඔබව යොදවන්න, වැඩිපුර වැඩ කරන්න” (සදාචාරාත්මක + අචාර ධර්ම විරෝධී). 

දිලිත් එම සීමාව ද ඉක්මවයි. ඔහු “අධමයා” බවට ද පත් වේ.

ජාතික වශයෙන් අවදානමට ලක්විය හැකි අවස්ථාවන්හිදී (කෝවිඩ් වසංගතය) ව්‍යාපාරික හා මාධ්‍ය බලය ප්‍රධාන වශයෙන් ස්වයං-පොහොසත්කම සහ දේශපාලන බලපෑම සඳහා භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ (සදාචාර විරෝධී). කොටස් වෙළඳපොළේ සිදුවන බවට චෝදනා එල්ල වන හැසිරීම් පිළිබඳ පරීක්ෂණ (වරදක් කර ඇති බව ඔප්පු නොවේ) යනාදී චෝදනා එල්ල වුනි.

කිසිදු “ඉහළ ආශාවකට” (යුක්තිය, සත්‍යය, සමානාත්මතාවය) සැබෑ විශ්වාසවන්තභාවයක් ඔහුට නැත. ඔහු අනුන් රැවටීම සඳහා ව්‍යාජ රඟපෑමක් කරන බව ඔහුම දැන දැන මුදල්, බලය සහ ප්‍රතිරූප කළමනාකරණයේ යෙදෙනවා පමණි (අචාර ධර්ම විරෝධී). සදාචාර විරෝධී + ආචාර ධර්ම විරෝධී වීම යනු එම තත්වයයි (ඉහත චතුරශ්‍රයේ “අධමයා”) උසස් අරමුණක් සඳහා පෙනී නොසිටීම, හුදෙක් අවස්ථාවාදය පමණි (දිලිත් යනු අහම්බෙන් උදා වූ වාසනාව තුල දේශපාලනයට පැමිණි අයෙකි). නමුත්, අරගලකාරී වාමාංශික දේශපාලනයේ ස්වභාවය එය නොවේ. ලිපියේ මුලින්ම සඳහන් කල ‘මරණ ධාවකය’ පිළිබඳව අදහස දැන් මෙතනට සබන්ධ කල හැකිය. එනම්, විමුක්තිය පිළිබඳව කාරණයේදී, වාමාංශික පක්ෂ ව්‍යුහයකට අදාළ එම උරුමය පැමිණෙන ආකාරයයි (මරණ ධාවනය යනු  නිමක් නැති පුනරාවර්තන චක්‍රයට හසු වීමේ භයානක ඉරණම සඳහා ‘මළවුන්ගේ’ සදාකාලික ජීවිතයටම නාමයකි”. එනම් මිනිසුන් මිය ගිය පසුව පවා, ක්ෂිතිමය සහගත ධාවනයක් හෝ හේතුවක් නැවත නැවතත් මතුවෙමින් පවතින ආකාරයයි). 

තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ඉහතින් සඳහන් කල පරිදි “අධමයා” සෑම විටම සදාචාරාත්මක විරෝධී (immoral) වේ (ඔහු සදාචාරාත්මක ප්‍රතිමාන සම්මතයන් උල්ලංඝනය කරයි) එමෙන්ම ආචාර ධර්ම විරෝධී (unethical) ද වේ යන්නෙහි තේරුම වන්නේ ඔහු ලුහුබඳින්නේ ආශාව නොව, සතුට හා ලාභය යන්න බවත්, එබැවින් ඔහුට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැතැයි යන්නයි. එසේම “කිසිදු ‘උසස් ආශාවක්’ (යුක්තිය, සත්‍යය, සමානත්වය) කෙරෙහි සැබෑ පක්ෂපාතීත්වයක් ඔහුට නොමැත – පවතින්නේ මුදල්, බලය සහ ප්‍රතිරූප කළමනාකරණය (image management) පමණි. 

යමෙකු තමාට පාඩුවක් සිදු වුවද අත්නොහැර බැඳී සිටින දේශපාලනික හෝ අචාරධාර්මීය අරමුණක් (cause) වන්නේ:

  • සමූහයක් සඳහා යුක්තිය,
  • අපරාධයක් පිළිබඳ සත්‍යය හෙළි කිරීම,
  • සමානත්වය, විමුක්තිය ආදිය.” වැනි ලෙස…

චතුරශ්‍රයේ “සාන්තුවරයාගේ” ස්ථානය යනු එය, පුද්ගලයෙකු (subject) හුදෙක් සැපපහසුව හෝ තමාගේම ආත්මාර්ථකාමී ලාභය (narcissistic gain) පසුපස හඹා නොගොස්, තමන්ගේ ආශාවට (desire) බැරෑරුම් ලෙස පක්ෂපාතී වන මොහොතයි.

එබැවින් මෙහි ‘උසස් ආශාව’ (higher desire) යනු හුදෙක් මාගේම සැපපහසුව, සාර්ථකත්වය හෝ ‘ප්‍රතිරූපය’ (image) දක්වා ලඝු කළ නොහැකි ආශාවකි — එය ගොඩනැගී ඇත්තේ මා පහසුවෙන් පාවා නොදෙන අරමුණක් (cause) වටාය.  

‘ආශාව’ (desire) යනු හුදු “අවශ්‍ය වීම” (‘අවශ්‍යතාවය’ / ‘ඉල්ලීම’) නොවේ. මනොවිශ්ලේෂණයේ අර්ථයෙන් එය මෙසේ පැහැදිලි කල හැකිය.

  • ‘අවශ්‍යතාවය’ (need) – “ජෛව විද්‍යාත්මකයි” (මෙය මෙසේ යොදන්නේ වෙනත් වචන නොමැති හෙයිනි. එසේ නොමැතිව විද්‍යාත්මක අර්ථයෙන් නොවේ): කුසගින්න, පිපාසය, නින්ද.
  • ‘ඉල්ලීම’ (demand) – අවශ්‍යතාවය + ඉල්ලීම + ආදරය: “මට කෑම දෙන්න” යන ඉල්ලීම මගින් “ඔබ මට සලකන බව පෙන්වන්න” යන්නද අදහස් වේ (දරුවා මවගෙන් කිරි හෝ වතුර ඉල්ලන විට එය දරුවාගේ අවශ්‍යතාවය පමණක් නොවේ, එම ඉල්ලීම තුල දරුවා ආදරය ද බලාපොරොත්තු වේ. එනම් අවශ්‍යතාවයේ වස්තුව ‘ඉලීල්ම’ තුල අඳුරේ හෙලයි. තවත් ආකාරයකින් පවසන්නේ නම් අවශ්‍යතාවයේ වස්තුව භාෂාවේ මානය මගින් සුනු විසුනු කරයි).
  • එනම් ‘ආශාව’ යනු ‘අවශ්‍යතා’ සපුරා ගත් පසු සහ ඉල්ලීම් කිසිවිටෙකත් සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන විට ඉතිරි වන දෙයයි.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, මට පිපාසය දැනී වතුර පානය කළහොත් → එය ‘අවශ්‍යතාවයකි’ (need). යමෙකු මා අතහැර යාවි යැයි බියෙන් මම ඔවුන්ට 20 වතාවක් කෙටි පණිවිඩ යැවුවහොත් → එය (ආදරය හෝ පිළිගැනීම සඳහා වන) ‘ඉල්ලීමකි’ (demand). සියලු අවශ්‍යතා සපුරා ගත් පසුවත් ඉතිරි වන, ‘මොකක් හෝ අඩුවක් තියෙනවා’ යනුවෙන් දැනෙන ඒ අමුතු, නොසන්සුන් හැඟීම → ‘ආශාවයි’ (desire).

ඒ අනුව ආශාව යනු හුදෙක් මාගේ සවිඥානික ඉලක්ක (“මට මෝටර් රථයක් අවශ්‍යයි”, “මට විභාගයට ඒ සාමාර්ථ අවශ්‍යයි”) වැනි දේ හෝ, සමාජය විසින් අගය කරනු ලබන දේවල් නොවේ.

එය ඊට වඩා ගැඹුරු, ව්‍යුහගත වූ නොසන්සුන් ස්වභාවයකි.

එසේ නම් “ආශාව යනු අනෙකාගේ ආශාවයි” (“desire is desire of the Other”) යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද? ලැකාන්ගේ මෙම සූත්‍රයට ස්ථර කිහිපයක් ඇත (මේ සියල්ල එකවර සත්‍ය වේ).

‘අනෙකා’ විසින් අපට ආශා කරනු ලැබීමට අප තුළ ඇති ආශාව, එනම් අපට අවශ්‍ය වන්නේ ‘අනෙකා’ (දෙමාපියන්, සහකරුවන්, සමාජය, දෙවියන්, “ඉතිහාසය”) විසින් අපව හඳුනා ගැනීම (recognize), අපව අගය කිරීම (value), අපට ආදරය කිරීම, “ඔබ වැදගත් කෙනෙක්” යැයි පැවසීමයි.

එබැවින් ‘ආශාවෙන්’ කොටසක් වන්නේ: “ඔවුන් මට ‘ආශා කිරීමට’ නම්, මා කුමන ආකාරයේ අයෙකු විය යුතුද?” යන ප්‍රශ්නයයි. “අප ආශා කරන්නේ අනෙකා ආශා කරන දේටමය” අපගේ ‘ආශාවන්’ බොහෝ විට අන් අයගෙන් ණයට ගත් ඒවා වේ:

  • සැවොම යම් නිශ්චිත ජීවන රටාවකට, වෙළඳ නාමයකට, උපාධියකට හෝ දේශපාලන ප්‍රතිරූපයකට ආශා කරන්නේ නම්, මම ද එයට ආශා කිරීමට පටන් ගනිමි.
  • මෙය ආශාවේ පවතින අනුකරණාත්මක (mimetic/copying) ස්වභාවයයි.

නමුත් ලැකාන් මෙයින් අදහස් කරන්නේ හුදෙක් “අප අන් අයව අනුකරණය කරනවා” යන්න පමණක් නොවේ — ඔහු පවසන්නේ මාගේ ආශාවේ මුළු ව්‍යුහයම හැඩගැසෙන්නේ ‘අනෙකාගේ ආශාව’ පවතින ක්ෂේත්‍රය තුළම බවයි.

“ආශාව ව්‍යුහගත වී ඇත්තේ සංකේතීය අනෙකා (symbolic Other) මගිනි” ‘අනෙකා’ යනු හුදෙක් පුද්ගලයන් පමණක් නොවේ; එය: භාෂාව, සංස්කෘතිය, නීති රීති, දෘෂ්ටිවාදය, සහ සමස්ත සංකේතීය ක්ෂේත්‍රයයි. එබැවින් “ආශාව යනු අනෙකාගේ ආශාවයි” යන්නෙන් අදහස් කරන්නේ මාගේ ආශාව කිසිවිටෙකත් හුදු “ස්වභාවික” (natural) දෙයක් නොවන බවයි; එය මෙම සංකේතීය ක්ෂේත්‍රය (පවුල, සංස්කෘතිය, කතිකාව) තුළ නිෂ්පාදනය වූ සහ හැඩගැසුණු දෙයකි.

එසේනම් දැන් පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. එනම් ‘මුදල්, බලය, සහ ප්‍රතිරූපය’ යනු ‘ආශාවන්’ ද නැද්ද? පිළිතුර නම් ඒවා ආශාවන්ගේ ප්‍රකාශනයන් විය හැකි නමුත් මනොවිශ්ලේෂණය තුල ඒවා සැලකෙනුයේ:

  • ආශාව සමඟ ඇති වන මුහුණ දීම මග හැරීමට ගන්නා උත්සාහයන් ලෙසයි.
  • අපට එම ආශාවට මුහුණ දීමට සිදු නොවන සේ අප තුළ පවතින ‘හිස්බව’ (lack) පුරවා ගැනීමට ගන්නා මංමාවත් ලෙසයි.

උදාහරණයක් ලෙස:

යමෙකුගේ මූලික ‘ආශාව’ සත්‍යය, යම් ආකාරයක යුක්තියක්, එවැනි දේට අදාළ කිසියම් ව්‍යාපෘතියක්, ලේඛනයක් හෝ අරමුණක් (cause) සමඟ බැඳී තිබිය හැකිය. එම ‘ආශාව’ සමඟ එන නොසන්සුන් භාවයට (anxiety) මුහුණ දෙනවා වෙනුවට, ඔවුන් පහත දෑ පසුපස හඹා යයි:

  • කීර්ති නාමය,
  • අනුගාමිකයන්,
  • මුදල්,
  • දරුවන් වෙනුවෙන් කැපවීම සහ හොඳ පියෙකු වීම,
  • දේශපාලන බලපෑම්…

මෙම ඉලක්ක ‘ධනවාදී කතිකාව’ තුල ස්වභාවයෙන්ම නරක දේවල් නොවේ. කුඩා කල සිට පවුල, ආගමික ආයතන, පාසල් සහ සමාජය තුලින් කතිකාවට ඇතුල් වී පුරුදු පුහුණු කරනුයේ “යහපත් පුරවැසියා” යනු ඉහත සඳහන් කල දේවල් හඹා ගොස් ඒවා සාක්ෂාත් කරගෙන තම අනුප්‍රාප්තික දුවා දරුවන් ද එවැනි යහපත් පුරවැසියන් බවට පත්කර තමන්ගේ උරුමය ද ඔවුන්ට උරුම කර දෙන්නා ලෙසය. නමුත්, මනෝවිශ්ලේෂණාත්මකව බලන කල, ඒවා ‘ආශාවට’ එරෙහිව ගොඩනගන ආරක්ෂක විධික්‍රම (defenses) ලෙස ක්‍රියා කළ හැකිය: “මම මගේ ප්‍රතිරූපය ගොඩනැගීමට නිරන්තරයෙන් කාර්යබහුල වන්නේ නම් (දිලිත් මෙන්), මට ඇත්තටම අවශ්‍ය කුමක්දැයි මට කිසිදාක ඇසීමට සිදු නොවේ.”

එනම් අපගේ ආත්මීයත්වය (subjectivity) භාෂාවෙන්/කතිකාවෙන් සංවිධානය වන සමාජ බැඳීම තුළ, සහ ධනවාදී කතිකාව විසින් අපගේ ආශාව හා ප්‍රමෝදය අල්ලාගෙන නැවත සකස් කරන අපේක්ෂාමය රටාව තුළ බොහෝවිට සිරව පවතී.
එනම්, ආත්මය ‘කතිකාව’ (discourse) තුළ හිරවී ඇත. එහි තේරුම වන්නේ, ආත්මය යනු ‘හැඟවුම්කාරකයේ’ හෝ ‘සංකේතීය පර්යායේ’ ප්‍රතිඵලයක් වේය යන්නයි. එය සදාකාලිකව ඛණ්ඩිත/බාධිත වන අතර තමා තුළම පවත්නා ස්වාධීන සාරයක් (essence) නොවේ. එසේම, මෙහිදී අදහස් එවන්නේ ශරීරය යනු හුදෙක් “ස්වාභාවික” දෙයක් පමණක් නොව, එය භාෂාව මගින් සලකුණු වූ කතිකාව හරහා සංවිධානය වූවකිය යන්නයි. එනම් ශරීරය භාෂාව මගින් ‘සිතියම්ගත’ කරනු ලබයි (ධාවකයන්, රෝග ලක්ෂණ, අනන්‍යතාවයන් සහ අර්ථයන් හරහා…) නමුත් ඉන් අදහස් වන්නේ අපගේ ශරීරය සම්පූර්ණයෙන්ම කතිකාව තුළ ගොඩනැගුණු දෙයක්ය යන්න නොවේ. එනම්, ශරීරයේ යථමය (the Real) ප්‍රමෝදය (jouissance) සංකේතීකරණයට සම්පූර්ණයෙන් අල්ලාගත නොහැකි දෙයකි. 
එය තවදුරටත් මෙසේ පැහැදිලි කල හැකිය: ආත්මය සතුව “ජෛව විද්‍යාත්මක ජීවියෙකු” (biological organismවෙන භාවිතා කල හැකි යෙදුමක් නොමැති බැවින්) සිටිය ද, අප අත්විඳින, ලිංගිකත්වයෙන් යුත්, ශෘන්ගාරාත්මක (erotic), අර්ථවත් ‘ශරීරය’ යනු භාෂාව සහ ෆැන්ටසිය (fantasy) මගින් සටහන් කරන ලද ව්‍යුහයකි. එසේම ධනවාදය යනු හුදු ‘අපේක්ෂාවන්’ සමූහයක් පමණක් නොව, එය අපගේ ‘ආශාවන්’ සහ ‘ප්‍රමෝදය’ සංවිධානය කරන සමාජ කතිකාවකි.
ඒ අනුව, ඉහතින් විස්තර කල පරිදි, අනෙකා විසින් අපට ආශා කරනු ලැබීමට අප තුළ ඇති ආශාව, එනම්, අපට අවශ්‍ය වන්නේ ‘අනෙකා’ (දෙමාපියන්, සහකරුවන්, සමාජය, දෙවියන්, “ඉතිහාසය”) විසින් අපව හඳුනා ගැනීම, අපව අගය කිරීම, අපට ආදරය කිරීම, “ඔබ වැදගත් කෙනෙක්” යැයි පැවසීමයි.
අපගේ ඊගොව (ego) නිසා අපි ලෝකයාගේ ප්රශංසාව බලාපොරොත්තු වන තුරාවට, අප සියල්ලන් හට පෙනෙන්නට දේවල්හි නිරත වනතුරු, අප සිටිනුයේ සිර කූඩුවකය. එනම්, පරිකල්පනික අනන්‍යතාවයක (imaginary identification) සහ පිළිගැනීම සඳහා වන ඉල්ලීමක (demand for recognition) හිරවී සිටීමයි. ඊගොව බැඳී පවතිනුයේ ප්‍රතිරූපය (image), පිළිගැනීම, ප්‍රතිවාදී තරඟකාරිත්වය (rivalry) සහ ‘අනෙකාගේ බද්ධ දෘෂ්ටිය’/අනුමැතිය (gaze/approval) මත යැපීම සමඟය (‘මහා අනෙකාගේ’ ඇස්” තුළ ජීවත් වීමයි).

අද දවසේ අපට හමුවන අති මහත් බහුතර එබඳුය. ඔවුන් අප පවසන දෑ දෙස, අප දෙස ඉතා අවඥා සහගතව බලමින් යටි සිතින් සිනා සෙන්නේ මේ මොන මෝඩයන්දැයි රහසේ පවසමිනි. එසේ නොමැති නම් ඔවුන් සිතනු ඇත්තේ මේ පිටුපසද යම් ප්‍රතිලාභ ලැබෙන ක්‍රියාවලියක් පවතින බවය. විමුක්ති දේශපාලනය විහිළුවක් බවට පත්ව ඇති තත්වය තුල ඒ සඳහා එකතුවන් පිරිස් පවා විසර යන්නේ එය දරා ගැනීම අපහසු බැවිනි. ඒ ‘ධනවාදී කතිකාව’ යනු සියල්ල උරා ගන්නා තත්වයක් බැවිනි.

මේ බාහිර ප්‍රශංසා අපේක්ෂාව සහ “ඊගොව” නඩත්තු වන තුරාවට තමන්ට ඉන් නිදහස් විය නොහැක.
එනම් රජෙක් වීමට යන පුද්ගලයා අපට කිසි ලෙසකින් නොවටී (දිලිත්, චම්පික, නාමල්, සජිත් වැනි අය). නමුත් ජවිපෙ වැනි පක්ෂයක අභ්‍යන්තර ව්‍යුහය තුල ක්‍රියා කරන්නන් ඊට වඩා බොහෝ සෙයින් වටී.

එබැවින්, “උසස් ආශාවකට පක්ෂපාතී නොවී – හුදෙක් මුදල්, බලය සහ ප්‍රතිරූපය පමණක්” යනුවෙන් අදහස් කරනුයේ ගණන් බලා කරන ලද පෞද්ගලික වාසි සහ නාසීස්මික ප්‍රමෝදය (narcissistic enjoyment) මත පදනම්ව ක්‍රියා කිරීම මිස, ලැකාන් “ආශාව” ලෙස හඳුන්වන එම වඩාත් නොසන්සුන් සහ ගැඹුරු මානයෙන් ක්‍රියා කිරීම නොවන බවයි.

ලැකාන්ගේ ආචාරධාර්මික පාඨය වන්නේ “ඔබේ ‘ආශාව’ පාවා නොදෙන්න” (“do not give up on your desire”) යන්නයි.

එයින් අදහස් කරනුයේ ඔබේ ‘ආත්මීයත්වය’ (subjectivity) ව්‍යුහගත කරන එම මූලික ආශාව පාවා නොදෙන්න, එය ඔබේ සැපපහසුව, සමාජ අනුමැතිය හෝ පොදු සදාචාරාත්මක සම්මතයන් සමඟ ගැටුණත් එය අත්නොහරින්න යන්නයි.

නමුත් ‘සුපර් ඊගොව’:

  • එය ඔබට ඉටු කළ නොහැකි ඉල්ලීම් (impossible demands) සඳහා බලකරයි.
  • ඔබ ඔබේ ආශාව අත්හැර, හුදෙක් පහත දේවල් සඳහා පමණක් ජීවත් වන විට ඔබ තුළ වරදකාරී හැඟීමක් ඇති කරයි:
    • “හොඳ” අයෙකු ලෙස පෙනී සිටීම,
    • සාර්ථක වීම,
    • ‘අනෙකාගේ’ (Other) අපේක්ෂාවන් හා සැසඳීම.

එබැවින්, යමෙකු ක්‍රියා කරන්නේ හුදෙක් තමාගේ ආරක්ෂාව, බලය, ප්‍රශංසාව හෝ ධනය වෙනුවෙන් පමණක් නම් — එය තමාට වැදගත් යැයි දන්නා දේ නැවත නැවතත් පාවා දීමක් වුවද සදාචාරාත්මකව එය “ආශාව පාවා දීමකි”.

යමෙකු තමාට පෞද්ගලික පාඩු සිදු වුවද, තමාට සැබවින්ම වැදගත් වන අරමුණක් (cause) හෝ සත්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය “ආශාවට පක්ෂපාතී වීම” යන අදහසට වඩාත් සමීප වේ.

එහෙත්, එම ආශාව සැමවිටම “අනෙකාගේ ආශාව” වේ — එය ගොඩනැගී ඇත්තේ භාෂාව, සංස්කෘතිය සහ “ඉතිහාසය” තුළය. නමුත් තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙයයි: මම එම ආශාවට මුහුණ දී එයට පක්ෂපාතීව සිටිනවාද? නැතහොත් මම සැපපහසුව, වෘත්තීය දියුණුව, ප්‍රතිරූපය සහ ‘සුපර් ඊගොව’ විසින් ඇති කරන වරදකාරී හැඟීම තුළට පලා යනවාද?

එබැවින් නිවැරදි ලැකානියානු පාරිභාෂිතයට අනුව ආශාව සැමවිටම ‘අනෙකාගේ ආශාව’ (desire of the Other) වේ, නමුත් එයින් අදහස් කරන්නේ ‘මා සවිඥානිකව බලාපොරොත්තු වන සියලු දේ සදාචාරාත්මකව සමාන වේ’ යන්න නොවේ. මනෝවිශ්ලේෂණාත්මක ආචාර ධර්ම (psychoanalytic ethics) විමසා සිටින්නේ මෙයයි:

  • (හුදු වුවමනාවන්ගෙන් ඔබ්බට ගිය) ඔබව මෙහෙයවන/සංවිධානය කරන ඒ මූලික ආශාව කුමක්ද?
  • ඔබ එයට පක්ෂපාතීද? නැතහොත් පහත දෑ සපුරාලීම සඳහා ඔබ එය නිරන්තරයෙන් පාවා දෙනවාද?:
    • ‘මහා අනෙකාගේ’ ඉල්ලීම්,
    • ‘සුපර් ඊගොවේ’ පීඩනය,
    • මුදල් / බලය / ප්‍රතිරූපය?

“යමෙකු සාන්තුවරයෙකු වන තරමට, ඔහු වැඩි වැඩියෙන් සිනාසෙයි; මගේ මූලධර්මය නම්, ධනවාදී කතිකාවෙන් මිදීමට ඇති මාර්ගය එයයි – එය සමහරුන්ට පමණක් සිදුවුවහොත් එය ප්‍රගතියක් ලෙස නොසැලකේ.”   (“The more one is a saint, the more one laughs; that’s my principle, to wit, the way out of capitalist discourse — which will not constitute progress, if it happens only for some.”) මෙහිදී ලැකාන් ‘සාන්තුවරයා’ (saint) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඉතා වැදගත්ය වේ.එයින් අදහස් වන්නේ ‘සදාචාරාත්මක පාරිශුද්ධත්වය’ හෝ ආගමික ගුණවත්කම නොවේ. මෙම සන්දර්භය තුළ, ‘සාන්තුවරයා’ යනු එක්තරා ආකාරයක ආත්මීය ස්ථාවරයකි (subjective position).

සංකේතාත්මක කීර්තියෙන්/අනන්‍යතාවයෙන් දුරස්ථභාවය, හුවමාරු/අන්‍යෝන්‍යභාවයේ සුපුරුදු ආර්ථිකය (තත්වය, පිළිගැනීම, ආපසු ගෙවීම) ප්‍රතික්ෂේප කිරීම, ආචාර ධර්ම දේශනා කරන්නෙකුට වඩා විශ්ලේෂකයාගේ ස්ථාවරයට (‘ආශාවේ වස්තු හේතුවට’ -‘object petit a’ අදාලව) සමීප වීමයි. එනම්, “යථෙහි ප්‍රතීඝතා තුල” (“antagonism in the REAL”) නිමග්න වීමයි. මින් ලකාන් යෝජනා කරනුයේ ‘ධනවාදී කතිකාවෙන්’ යම් ආකාරයක “පිටවීමක්” ආත්මීයත්වයේ මට්ටමින් කළ හැකි බවයි (ආශාව/ප්‍රමෝදය සහ සමාජ විධාන මගින් කෙනෙකු ‘ධනවාදී කතිකාව’ තුලට ග්‍රහණය කර ගන්නා ආකාරය-ඉහතින් සවිස්තරාත්මකව දක්වා ඇත).

මනෝවිශ්ලේෂණය මගින් ‘ආත්මයක්’ තම ‘ආශාව’ සහ ‘ප්‍රමෝදය’ සමඟ පවත්වන සබඳතාවය වෙනස් කළ හැකි වුවද, එය ස්වයංක්‍රීයව සමාජ පර්යාය පරිවර්තනය කරන්නේ නැත.

යම් හෙයකින් මෙම ‘පිටවීම’ (exit) විවෘත වන්නේ අතලොස්සකට පමණක් නම් (එනම් මනෝවිශ්ලේෂණයට යොමුවිය හැකි අයට හෝ එම ආත්මීය ස්ථාවරය පවත්වාගෙන යා හැකි අයට පමණක් නම්), එය සාමූහික විමුක්තියක් නොවේ—එය ව්‍යතිරේකයක්, එනම් හුදු පෞද්ගලික පලායාමක් වැනි දෙයකි. යමෙකුට මනෝවිශ්ලේෂණය හරහා “ආලෝකය” ලැබුණද, එය සමාජ පන්තියක් ලෙස හෝ සාමූහිකයක් ලෙස ක්‍රියාත්මක නොවන තාක් කල්, එය පද්ධතියට තර්ජනයක් නොවන ‘ව්‍යතිරේකයක්’ පමණක් ලෙස පවතී. සැබෑ විමුක්තිය යනු මෙම පුද්ගලික අවබෝධය සාමූහික දේශපාලන ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමයි. අතීත අරගලවල සාක්ෂාත් නොවූ විමුක්ති විභවයට අප භක්තිමත් විය යුත්තේ එබැවිනි. “යමෙකු භක්තිමත් විය යුතු අනාගතය යනු අතීතයේම අනාගතයයි” (අතීතයේ නිම නොවූ අරගල වර්තමානය හොල්මන් කරන ආකාරය සහ නව පරම්පරාවන් ඒවා ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය) යනුවෙන් පවසන විට එම අරගල යනු කුමන අඩු පාඩු තිබුන ද “ඉහළ ආශාවක්” (යුක්තිය, සත්‍යය, සමානාත්මතාවය) මූර්තිමත් වූ, ඒ සඳහා විභවයක් තිබූ අරගලයන්ය.

Share this content:

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *