වාස්තවික යථාර්තයේ ආරම්භය
විද්‍යාත්මක පඨිතයක් ප්‍රකාශයට පත් වන්නේ ආත්මහරණය වූ “හිස්” ස්ථානයකින් (from a desubjectivized “empty” location) ලෙස සැලකේ. එනම්, එවැන්නක් එහි ‘උච්චාරණයේ ආත්මයට’ (subject of enunciation) අදාළ කිරීම් සඳහා එම හිස් ස්ථානය ඉඩ නොදීම, එය නැවත නැවතත් නිරූපණය කළ හැකි අපුද්ගල සත්‍යය ඉදිරිපත් කළ යුතු යැයි කියනු ලැබීම, “ඕනෑම කෙනෙකුට එය දැක ගත හැකි බව සහ කිව හැකි බව,” යන ස්ථාවර තුලින් ‘සත්‍යය’ එහි උච්චාරණයේ ස්ථානය වෙතින් කිසිම අකාරයකින් බලපෑම් නොවිය යුතුය යන්නයි. නමුත් එය එසේ ද?
නූතන විද්‍යාවේ ආරම්භක අභිනය ලෙස සැලකෙනුයේ ගැලීලියෝගේ ක්‍රියාවයි.
ගැලීලියෝගේ සුප්‍රසිද්ධ පීසාහි ඇලවෙන කුළුණ මත නැගී සිදුකල “සම්පරීක්ෂණය” (ඔහු ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදු කළත් නැතත්) විසින් බරින් වැඩි වස්තූන් සැහැල්ලු ඒවාට වඩා වේගයෙන් පොලවට වැටෙන බව උපකල්පනය කළ ආධිපත්‍යික ඇරිස්ටෝටලියානු භෞතික විද්‍යාවට අභියෝග කළේය. අදාළ පුරාවෘත්තයට අනුව, ඔහු විසින් විවිධ ස්කන්ධ සහිත වස්තූන් දෙකක් පීසා කුලුන මත සිට බිම දැමූ විට ඒවා එකවර බිමට වැටුන අතර ගුරුත්වාකර්ෂණ ත්වරණය ස්කන්ධයෙන් ස්වාධීන බව ඉන් පෙන්නුම් කරන ලදී.
අත්හදා බැලීම “ආකර්ෂණීය නොවන්නේ” ඔබ එය දැනටමත් පිළිගෙන ඇත්නම් පමණි යන ගැලීලියෝගේම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, පසු විපරමේදී මෙය අපට පැහැදිලිව පෙනෙන බවයි. නමුත් ඔහුගේ කාලය සඳහා, එය ගැඹුරින් ප්‍රතිවිරුද්ධ විය. ඇරිස්ටෝටලියානු භෞතික විද්‍යාව සියවස් ගණනාවක් තිස්සේ ආධිපත්‍යය දැරූ අතර, එය “සාමාන්‍ය බුද්ධියට” (common sense) අනුකූල විය. එනම්, බර දේවල් වඩාත් වේගයෙන් පහත වැටිය යුතු යැයි ඕනෑම පුද්ගලයෙකුට හැඟේ. එය සියලු දෙනාගේ ඓන්ද්‍රීය අත්දැකීමයි. එනම්, ප්‍රත්‍යක්ෂයකි.
ලකාන්ට මෙන්ම ශිෂැක්ට අනුව ද ගැලීලියෝගේ සැබෑ දායකත්වය වනුයේ පරීක්ෂණය පමණක් නොව ඒ තුලින් යථාර්ථය සංකල්පනය කිරීමේ රැඩිකල් බිඳීමක් සලකුණු වීමයි (කොයිරේ (Koyré), ෆොයරබන්ඩ් සහ කූන් වැනි චින්තකයින් ද එම ස්ථාවරයේ පසුවිය). එනම්, එය ඇරිස්ටෝටල්ගේ න්‍යාය අසත්‍ය බව ඔප්පු කිරීම පමණක් නොව, එය ගණිතය සහ පාලනය කරන ලද තත්වයන් තුල අත්හදා බැලීම් (සම්පරීක්‍ෂණ) හරහා ලෝකය තේරුම් ගැනීමේ නව ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳව බවයි. ඒ අනුව එය හුදෙක් අත්හදා බැලීමක් පමණක් නොව චින්තනයේ සිදු වූ මාරුවකි (shift).
නූතන විද්‍යාවේ “ආරම්භක අභිනය” (The “Founding Gesture” of Science) ලෙස සැලකිය හැකි ගැලීලියෝගේ ප්‍රවේශය විසින් “පොදු බුද්ධිමය” ලෝකය ගණිතමය ලෝකයක් මගින් ප්‍රතිස්ථාපනය කළේය.
ඇරිස්ටෝටලියානු භෞතික විද්‍යාව පදනම් වූයේ ප්‍රතිභානමය (intuitive), ගුණාත්මක (qualitative) නිරීක්ෂණ මතය. උදාහරණයක් ලෙස, බරින් වැඩි වස්තූන් වේගයෙන් පහළට වැටිය යුතු බව “හැඟුණි”. නමුත් ගැලීලියෝගේ ප්‍රවේශය ගණිතමය මෙන්ම වියුක්ත ද විය – ඔහු සූත්‍ර සහ පරමාදර්ශී තත්වයන් (වායු ප්‍රතිරෝධය නොසලකා හැරීම වැනි) හඳුන්වා දුන් අතර එය එදිනෙදා සාමාන්‍ය අත්දැකීම් න්‍යායික ආකෘති මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ ආරම්භය විය. ඉන් පෙර එවැනි තත්වයක් නොපැවතුනි.
ගැලීලියෝගේ අභිනය යනු නූතන විද්‍යාවේ ක්‍රමවේදයේ ආරම්භය ලෙස සැලකේ. එනම්, “ස්වභාවය” (nature) ගණිතකරණය කිරීම සහ ශුද්ධ හේතුව හෝ පුරාණ අධිකාරියට (ඇරිස්ටෝටල් වැනි) ගරු කිරීම වෙනුවට පර්යේෂණාත්මක සත්‍යාපනයට ප්‍රමුඛත්වය දීමයි.
ගැලීලියෝට පෙර බර වස්තූන් වේගයෙන් වැටීම වැනි සංසිද්ධීන් පිළිබඳව ප්‍රත්‍යක්ෂය ගුණාත්මක විය. “ස්වභාවයේ පොත ගණිතයේ භාෂාවෙන් ලියා ඇති” බව ගැලීලියෝ අවධාරනය කළේය. ඔහු නැඹුරු තල මත බෝල පහළට පෙරළා, කාලය සහ දුර මනින ලද අතර ගණිතමය නීතියක් (s ∝ t²) ලබා ගත්තේය. ඔහු දුරේක්ෂයක් හරහා බැලූ විට ස්ථාපිත භූ කේන්ද්‍රීය ආකෘතියට පටහැනි සාක්ෂි (බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්, සිකුරුගේ අවධීන්) දුටුවේය. මෙය “ආරම්භක අභිනය” වන තවත් හේතුවක් වන්නේ මෙය නවීන විද්‍යාවේ මූලික මෙවලම් ස්ථාපිත කළ බැවිනි.
ගණිතයේ ප්‍රමුඛතාවය: භෞතික විද්‍යාවේ නීති ගණිතමය සම්බන්ධතා වේ.
පාලිත අත්හදා බැලීම: මැනිය හැකි, ප්‍රතිනිෂ්පාදනය කළ හැකි යථාර්ථයකට එරෙහිව න්‍යායන් පරීක්ෂා කළ යුතුය.
පැරණි චින්තනයට එරෙහි වීම: ප්‍රකාශයක් සත්‍ය වන්නේ අත්හදා බැලීම් සහ නිරීක්ෂණයන් එය සනාථ කරන බැවිනි.
ගැලීලියෝගේ අත්හදා බැලීම වැනි අවස්ථාවන් විද්‍යාව සහ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උදාහරණ ලෙස සැලකිය හැකිය. නූතන විද්‍යාත්මක විප්ලවය නව කරුණු එකතු කළා පමණක් නොව – එය අප යථාර්ථය වටහා ගන්නා ආකාරය වෙනස් කළේය. විද්‍යාව අප දකින දේ විස්තර කරනවා පමණක් නොව; එය අපට වෙනස් ලෙස දැකීමට බල කරයි. ඒ අනුව නූතන විද්‍යාව සංකේතීය විප්ලවයක් (symbolic revaluation) ලෙස සැලකිය හැකිය.
විද්‍යාත්මක උද්‍යෝගය සඳහා දාර්ශනික හා සමාජීය සැලැස්ම ගැලීලියෝගේ සමකාලීනයෙකු වූ ෆ්‍රැන්සිස් බේකන් විසින් සපයන ලදී. ඔහුගේ කාර්ය වූයේ මානව උපයෝගීතාව සහ සොබාදහම කෙරෙහි ආධිපත්‍ය (ප්‍රවීණතාව) සඳහා දැනුම ක්‍රමානුකූලව, සාමූහිකව සහ අරමුණු සහිතව සංවිධානය කිරීමයි.
බේකන්ගේ දැනුම හා ප්‍රගතිය පිළිබඳ දර්ශනය ධනවාදයේ නැගීම සඳහා ප්‍රබල බුද්ධිමය තල්ලුවක් ලබා දුන්නේය.
බේකන් තර්ක කළේ විද්‍යාව ප්‍රායෝගික අරමුණු සඳහා සේවය කළ යුතු බවයි. එනම්, මිනිස් ප්‍රයෝජනය සඳහා සොබාදහම මත ආධිපත්‍ය ප්‍රගුණ කිරීමයි. මෙම “ව්‍යවහාරික දැනුම” පිළිබඳව අදහස තාක්‍ෂණික නවෝත්පාදනය සහ නිෂ්පාදනය සඳහා ධනවාදයේ තල්ලුව සමඟ සමපාත වේ. වෙනත් අකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් “දැනුම යනු බලය වේ”.
භෞතිකමය ප්‍රගතිය, සමෘද්ධිය සහ සම්පත් පාලනය කිරීම සඳහා දැනුම මඟ පෙන්වන බව ඔහු සිතුවේය.
බේකන්ගේ “New Atlantis” නමැති යුතෝපියානු කෘතිය පර්යේෂණ, නව නිපැයුම් සහ වැඩි දියුණු කිරීම වටා සංවිධානය වූ සමාජයක් පිළිබඳව විස්තර කරයි. එය හරියටම “පර්යේෂණ මෙහෙයවන” ධනවාදී ආර්ථිකයේ මුල් දැක්මක් වැනිය. බේකන් යනු ධනවාදය තුල පසුකාලීනව සමෘද්ධිමත් වන බුද්ධිමය වාතාවරණය (විද්‍යාව, ප්‍රගතිය, සොබාදහම මත ආධිපත්‍ය) සපයන පූර්වගාමියාය. මාලිමා යන්ත්‍රය, වෙඩි බෙහෙත් සහ මුද්‍රණ යන්ත්‍රය ලෝකය මූලික වශයෙන් පරිවර්තනය කළ නව නිපැයුම් තුනක් ලෙස සඳහන් කරමින් ෆ්‍රැන්සිස් බේකන් විසින් උදම් අනුවේය.
මේ තත්වයට පෙර, එනම් විද්‍යාත්මක විප්ලවයට පෙර දැනුම යනු පුද්ගලික, කල්පනාකාරී හෝ අසංවිධානාත්මක ලුහුබැඳීමක් විය.
නමුත් පසු තත්වය වූයේ දත්ත රැස් කිරීම, අත්හදා බැලීම් මෙහෙයවීම සහ ක්‍රමානුකූලව දෝෂ ඉවත් කිරීම පිළිබඳව වේ. ඒ සඳහා රාජ්‍ය සහාය ඇතිව සහයෝගී ව්‍යාපෘතියක් පිළිබඳව බේකන් සිතුවේය. ඉලක්කය වූයේ දැන ගැනීම පමණක් නොව, ක්‍රියා කිරීම – මිනිස් තත්වය සොයා ගැනීම, වැඩිදියුණු කිරීම සහ සහනයක් ලබා දීමයි.
එය විසින් විද්‍යාවේ ආචාර ධර්ම සහ සමාජ ව්‍යුහය ස්ථාපිත කළේය.
මෙම විප්ලවයේ සුවිශේෂීම සන්ධිස්ථානය සලකුණු වන්නේ අයිසැක් නිව්ටන්ගේ ආගමනය මගිනි. 1687 වසරේ ප්‍රකාශයට පත් කරන ලද “Mathematical Principles of Natural Philosophy” කෘතියේ නිව්ටන්, ගැලීලියෝ (භෞමික යාන්ත්‍ර විද්‍යාව) සහ කෙප්ලර්ගේ (ආකාශ යාන්ත්‍ර විද්‍යාව) කෘතීන් තනි, විශ්වීය රාමුවකට සංස්ලේෂණය කළේය.
මෙම විප්ලවය ගැන කතා කිරීම තවමත් වැදගත් වන්නේ ඇයිද යන්න කෙනෙකුට නැගිය හැකි මූලික ප්‍රශ්නයකි. සරලව පැවසිය හැක්කේ අද පවා, “සාමාන්‍ය බුද්ධියට” පටහැනි සත්‍යයන් පිළිගැනීමට මිනිසුන් අරගල කරන බවයි (උදා: ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව, සාපේක්ෂතාවාදය, දේශගුණ විද්‍යාව වැනි ලෙස…). ගැලීලියෝගේ අත්හදා බැලීම තුලින් වන ඥානවිභාගාත්මක කණ්ඩනය (epistemological break) විසින් “සත්‍යය” යනු සැමවිටම පැහැදිලිව පෙනෙන දේ නොවේ යන ස්ථාවරය කරා ක්‍රමයෙන් සමාජය රැගෙන ගියේය. “පෙනෙන දේ සත්‍ය නම් විද්‍යාවක් කුමට ද” යන වාමාංශික ස්ථාවරයට පදනම වැටුනේ ද එම ස්ථානයෙනි.
ඇරිස්ටෝටලියානු භෞතික විද්‍යාවට ගැලිලියෝ විසින් කළ අභියෝගය සහ චලිතය සහ ගුරුත්වාකර්ෂණය පිළිබඳ අවබෝධය ඔහු විප්ලවීය ලෙස වෙනස් කළ ආකාරය භෞතික විද්‍යාවේ සරල අත්හදා බැලීමක් පමණක් නොව, විද්‍යාවේ දර්ශනයේ සහ දෘෂ්ටිවාදයේ ස්වභාවය පිළිබඳව වැදගත් මොහොතකි. ඒ අනුව දෘෂ්ටිවාදයේම අකාරයක් වන දර්ශනයේ (ආගමේ ලෞකික ස්වරූපය) වෙනසක් ඇතිවීම ඉන් පසුව සිදු වේ. ගැලීලියෝ විසින් සිදු කල චින්තනයේ මාරුව (shift) භෞතික ඉදිරි ගමනක් පමණක් නොව, චින්තනය පිළිබඳව, දෘෂ්ටිවාදාත්මක සහ ඥානවිද්‍යාත්මක බිඳීමක් ලෙස විවිධ අයුරින් අර්ථකථනය වී ඇත.
නමුත් ඒ සියල්ල එසේ වර්ධනය වී තිබියදී ලකානියානු මනොවිශ්ලේෂණය ඒ සියල්ලෙන් වෙනස් වන්නේ ඇයි ද යන්න, විමුක්ති දේශපාලනයට අදාලව මෙන්ම සමකාලීන කාංසාවට එරෙහි එකම බලකොටුව මනොවිශ්ලේෂණය වී ඇත්තේ කෙසේද යන්න විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය තුලින් හෙළිදරව් කල හැකිය.
ලැකාන් විසින් මෙහිදී ඔහුගේ න්‍යාය ගත කිරීමට අදාලව තීරණාත්මක සලකුණු කිරීමක් සිදු කරයි. ඔහුට අනුව සාමාන්‍ය බුද්ධියේ, එසේ නොමැති නම් පොදු හැඟීමේ (common sense) සහ එදිනෙදා සංජානන ක්ෂේත්‍රයේ (උදා: බර වස්තූන් වේගයෙන් වැටෙන බවට ඇති විශ්වාසය) ගැලීලියෝගේ අත්හදා බැලීම වැදගත් වන්නේ එය පරිකල්පනයේ (imaginary) බිඳීමක් සනිටුහන් කරන බැවිනි (විද්‍යාව විකාශනය වන්නේ පරිකල්පනයේ බිඳීමක් ලෙසය). බර වස්තූන් වේගයෙන් වැටෙන බවට ඇති විශ්වාසය අත්දැකීමේ “සැබෑ” ව වූ අතර ප්‍රතිභානමය (intuitively – සහජයෙන්ම) ලෙස සත්‍ය යැයි හැඟුණු නමුත් එය වැරදි බව ඔප්පු විය (ගැලීලියෝගේ අත්හදා බැලීම විසින්). එම අර්ථයෙන් ගැලීලියෝ භෞතික යථාර්ථයකට අභියෝග කළා පමණක් නොව; “ඔහු මිනිස් සංජානනයේ සීමාවන්ම නිරාවරණය කළේය”.
නූතන විද්‍යාවේ ආරම්භක අභිනය, එනම් පීසා හි ඇලවෙන කුළුණේ ගැලීලියෝගේ අත්හදා බැලීම භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයකට වඩා වැඩි දෙයකි. එය අප ලෝකය තේරුම් ගන්නා ආකාරය නැවත සකස් කරන ආරම්භක සංකේතීය සිදුවීමකි. එනම්, ‘සංකේත රටාව’ (symbolic order) සුවිශේෂී වශයෙන් නැවත වින්‍යාසගත කිරීමක ආරම්භයයි.
ගැලිලියෝ විසින් පවතින ‘සංකේත රටාව’ කඩාකප්පල් කරමින්, ලෝකය පිළිබඳව ඇරිස්ටෝටලියානු ආකෘතිය ගණිතමය හා යාන්ත්‍රික දෘෂ්ටියකින් ප්‍රතිස්ථාපනය කළේය. ලැකානියානු වචන වලින් කිවහොත්, ගැලීලියෝගේ මාරුව (shift) නියෝජනය කරනුයේ ක්ෂණික සංජානනය පිළිබඳව “පරිකල්පනීය ලෝකයේ බිඳවැටීම සහ සංකේතීය වශයෙන් ගණිතය, න්‍යායන් සහ නව අර්ථ පද්ධතියක් පැනවීමයි.”
ලකානියානු අර්ථයෙන්, යථ (The Real) විසින් නියෝජනය කරනුයේ නිරූපණයෙන් ඔබ්බට ලෝකය, එනම්, සම්පූර්ණයෙන්ම සංකේතවත් කළ නොහැකි (ඕනෑම සංකේත රටාවකට අදාලව, එනම්, ඕනෑම භාෂා – සංස්කෘතික තත්වයක් යටතේ හෝ විද්‍යාව වැනි සාමාන්‍ය සමාජ ව්‍යවහාරයෙන් පරිභාහිර සුවිශේෂී සංකේත රටාවකට අදාලව වුව ද හෝ මොනයම් ආකෘතියකින් සංකේතවත් කල ද) රෝග ලක්ෂණයක් ලෙස – ක්ෂිතිමය හෝ අනවබෝධ්‍ය, තේරුම්ගත නොහැකි අංගයයි. තවදුරටත් පවසන්නේ නම් යථ යනු භෞතික ලෝකය යන අර්ථයෙන් “යථාර්ථය” වත් එය හුදෙක් සියලු ප්‍රපංච සහ සංසිද්ධිවල එකතුව වත් නොවේ. ඒ වෙනුවට, එය සංකේතකරණයෙන් වැළකී සිටින, සංකේතනයෙන් ඔබ්බට වන සහ මිනිස් අවබෝධයේ ක්ෂේත්‍රයෙන් පිටතය. එනම්, භාෂාව, ආකෘති හෝ ලෝකය තේරුම් ගැනීමට අප භාවිතා කරන පරිකල්පනීය රූප (imaginary) මගින් පවා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි දේට වඩා ඔබ්බටය.
සරලව පවසන්නේ නම්, ලැකාන් විසින් විද්‍යාව දකිනුයේ යථ සමඟ කටයුතු කිරීමේ ක්‍රමයක් ලෙසයි. ඉහත කෙටියෙන් සඳහන් කල පරිදි යථ යනු සංකේතවත් කළ නොහැකි, සංකේතනය වෙතින් ගිලිහී යන හෝ කිසි විටක සම්පූර්ණයෙන් දැනගත නොහැක්ක වන අතර එම අර්ථය තුල ගැලීලියෝගේ ‘විද්‍යාත්මක ක්‍රමය’ යනු යථ අපට කටයුතු කළ හැකි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමයකි (විද්‍යාව දෘෂ්ටිවාදයේ යථ ලෙස).
මෙහිදී සඳහන් කල යුතු කාරණය වන්නේ නලින් ද සිල්වාගේ ඉදිරිපත් කිරීම් තුල නූතන විද්‍යාව මේ අර්ථයෙන් නොසලකන බවය. ඔහුට අනුව “බටහිර විද්‍යාව” යනු අනෙකුත් විද්‍යාවන් අතර තවත් එක් විද්‍යාවක් පමණි. එවිට ඔහුට අදාළ ප්‍රශ්නය වන්නේ බටහිර විද්‍යාව විසින් අනෙකුත් විද්‍යාවන් යටපත් කරමින්, එහි ආධිපත්‍ය පතුරවමින් ‘සත්‍යට’ අදාළ එකම විද්‍යාව එය ලෙස ඉදිරිපත් වීමයි. ඒ අතරම නලින් විසින් නිතර පවසන කාරණයක් වන්නේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳව දැනුම භාරතයේ තිබූ බවත්, භාරතයෙන් එය බටහිරට ගොස් ඇති බවත්ය (විඩියෝව නරඹන්න:
). මෙය ඔහුගේම ස්ථාවරයන් සමගම පරස්පර වේ.
නූතන විද්‍යාත්මක අභිනය තුල සිදු වූයේ නව සංකේතීය ව්‍යුහයක් නිර්මාණය කිරීමයි. එය සංජානනයේ සෘජු දර්පනය මත රඳා නොපවතින, නමුත් ක්ෂණික, සංවේදී ඓන්ද්‍රීය යථාර්ථයෙන් අපව ඈත් කරන අර්ථ පද්ධති (systems of meaning) මත රඳා පවතී (හැදෑරිය යුතු න්‍යායන්, ගණිතමය ආකෘති – සමීකරණ, සූත්‍ර වැනි…). ආත්මීය යථාර්ථය (subjective reality) වෙතින් (අපට සත්‍ය යැයි හැඟෙන දේ, බර වස්තූන් වේගයෙන් වැටීම වැනි…) අපෙන් ස්වායත්ත සහ ගණිතමය නීති මගින් පාලනය වන විශ්වීය, “වාස්තවික යථාර්ථයකට” (“objective reality”) මාරුවීම ගැලීලියෝ විසින් ආදර්ශනය කරයි (වාස්තවික යථාර්ථයේ ආරම්භය). එනම්, ගැලිලියෝ විසින් තම ආත්මීය අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත්කරයි. ඒ අනුව නැවතත් අවධාරණය කල යුත්තේ, ගැලීලියෝගේ ඉදිරිපත් කිරීම හුදෙක් විද්‍යාත්මක නිරීක්ෂණයෙන් ඔබ්බට යන සංකේතීය අභිනයකිය යන්නයි. පොදු බුද්ධිය, නැතිනම් පොදු හැඟීම (Common Sense) කඩා බිඳ දැමීම (පරිකල්පනය) – එනම්, එය දෘෂ්ටිවාදයේ පුළුල් මාරුවක සහ අප ලෝකය දකින ආකාරයෙහි රැඩිකල් කන්ඩනයක කොටසකි.
එහිදී විශ්වය තවදුරටත් මානව කේන්ද්‍රීය සංජානනයේ (එනම්, ඇරිස්ටෝටලියානු දැක්ම) කාචය හරහා නොපෙනේ. නමුත් වාස්තවික නීති ක්ෂේත්‍රයක් ලෙස පෙනේ. මෙම අර්ථයෙන් ගත් කල, එනම් විද්‍යාවට අනුව මානව ආත්මය තවදුරටත් සත්‍යයේ කේන්ද්‍රීය මිනුම නොවන අතර, ලෝකය මිනිස් ආශාවෙන් හෝ සංජානනයෙන් ස්වාධීනව පවතින බව එහි ස්ථාවරයයි.
ගැලීලියෝගේ මෙම මාරුව ඇත්ත වශයෙන්ම අප අද “වාස්තවික යථාර්ථය” (objective reality) ලෙස හඳුන්වන දෙය දෙසට තල්ලු වීමේ ආරම්භයයි. එනම්, භෞතික සංසිද්ධි පුද්ගල සංජානනයෙන් ස්වාධීන වන විශ්වීය නීති මගින් පාලනය වන බවට වූ අදහස දෙසට වූ චලනයකි. මෙම ප්‍රවේශය විද්‍යාත්මක විප්ලවයේ ප්‍රමුද්‍රාවක් වන අතර, එය අපගේ ආත්මීය අත්දැකීම්වලට යටින් වාස්තවික, ගණිතමය යථාර්ථයක් ඇති බව තහවුරු කිරීමට උත්සාහ කිරීමකි.
වෙනත් වචන වලින් කිවහොත්, යථාර්ථය ගොඩනැංවීමේ ආත්මීය අර්ථකථනවලින් (දේවල් පොලවට වැටෙන ආකාරය වැනි) ගැලීලියෝ ඉවත් වී පුද්ගල සංජානනය ඉක්මවා යන විශ්වීය නීති (“ගුරුත්වාකර්ෂණ” නියමය වැනි) දෙසට ගමන් කළේය. මෙම විශ්වීය නීති සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය නොහැකි වීම විද්‍යාවට අදාළ විශේෂ ලක්ෂණයයි. එනම්, ඒවා විශ්වීය වේ.
නැවතත් අවධාරණය කල යුත්තේ, ඔහුගේ කාර්යය තර්කනය – න්‍යාය සහ ගණිතමය තර්ක-බුද්ධිය මගින් පාලනය වන, සංජානනය කල හැකි අපෙන් ස්වායත්ත වාස්තවික යථාර්ථය පිළිබඳ විද්‍යාත්මක දැක්මක් කරා සංක්‍රමණය සනිටුහන් කල බවය. ඇරිස්ටෝටලියානු ලෝක දෘෂ්ටියෙන් බිඳීම, එනම් පොදු බුද්ධියෙන් බිඳීම (පරිකල්පනය) යනු අප යථාර්ථය තේරුම් ගන්නා ආකාරය හැඩගස්වා ඇති ප්‍රතිභානමය (intuitive), සංජානන විශ්වාසයන් පිළිබඳව පරිකල්පනයේ කඩාබිඳ වැටීමක් බවයි. බර වස්තූන් වේගයෙන් වැටෙන බවට ඇරිස්ටෝටල්ගේ දැක්ම හුදෙක් න්‍යායක් පමණක් නොවේ. එය මිනිසුන්ගේ ජීවමාන අත්දැකීම් සමඟ බැඳී තිබුණි – එය “පොදු බුද්ධිය” (“common sense”) ලෙස හැඟෙන දෙයකි.
තවත් සරලව පවසන්නේ නම්, ස්කන්ධය නොතකා වස්තූන් එකම වේගයකින් වැටෙන බව ඔප්පු කිරීමෙන් ගැලීලියෝ ඇරිස්ටෝටල්ගේ අදහස අසත්‍ය කිරීමට වඩා වැඩි යමක් කරයි. ඔහු යථාර්ථය පිළිබඳ නව අවබෝධයක් බලහත්කාරයෙන් බලාත්මක කරන අතර එය තවදුරටත් අව්‍යවහිත ඉන්ද්‍රිය සම්බන්ධී අත්දැකීම් (immediate sensory experience) මත රඳා නොපවතී. ගැලිලියෝගේ කාලයට අදාලව දෘෂ්ටිවාදය ගොඩනැගී තිබුනේ සාමාන්‍ය බුද්ධිය (common sense) මත වන බැවින් මෙය දෘෂ්ටිවාදීමය කොන්දේසීන්ගෙන් විප්ලවීය බිඳීමකි. එනම්, අපි ප්‍රතිභානයෙන්ම (intuitively), “ස්වාභාවික” රටාව ලෙස පිළිගන්නා දෙය වෙතින් වන කන්ඩනයකි (සියල්ල වෙනස් වීමේ සන්ධිස්ථානය එයයි).
මතු සම්බන්ධයි…
Like this:
Like Loading...
Related