ට්‍රම්ප් පාලනය විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් කැළඹී ඇති ප්‍රධාන පිරිස වන්නේ ආර්ථික විද්‍යාඥයින්ය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය පිළිගැනීමට අකමැති ප්‍රධාන කොට්ටාශය වන්නේ ඔවුන්ය. ඔවුන්ට රැකගැනීමට අවශ්‍යව ඇත්තේ ප්‍රාග්ධනය ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියයි.
මේ වන විට ලෝකයේ නිෂ්පාදන වලින් 34%ක් චීනය අයත්කරගෙන සිටී. ඇමරිකාවේ කොටස 15%කි. නමුත් 1960 දශකය වන විට ලෝකයේ නිෂ්පාදන වලින් 50%ක් හිමිකරගෙන තිබූයේ ඇමරිකාවයි. ට්‍රම්ප් හට අවශ්‍ය වී ඇත්තේ නැවත එම තත්වය ගොඩනගා ගැනීමටය. මේ වන විට ඇමරිකාව විසින් ට්‍රිලියන 3.2ක ප්‍රමාණයක් අපනයනය කරන අතර ආනයනය ට්‍රිලියන 4.2ක් පමණ වේ. එවිට වෙළඳ ශේෂය ට්‍රිලියනයක් පමණ වේ. එය ඇමරිකාවේ සමස්ත ආරක්ෂක වියදමට සමාන වේ. ආරක්ෂක වියදම් සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපදය ඇත්ත වශයෙන්ම එහි ෆෙඩරල් අයවැයෙන් සැලකිය යුතු කොටසක් ආරක්ෂාව සඳහා වැය කරයි. 2024 මූල්‍ය වර්ෂය සඳහා, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික අයවැය ඩොලර් බිලියන 800 සිට ඩොලර් බිලියන 850 දක්වා වනු ඇතැයි පුරෝකථනය කර ඇත, නමුත් අදාළ ක්‍රියාකාරකම් සඳහා අමතර අරමුදල් (න්‍යෂ්ටික වැඩසටහන් සහ හමුදා මෙහෙයුම් වැනි) මුළු මුදල ඩොලර් ට්‍රිලියන 1 කට ආසන්න වේ. රටක් සඳහා මෙතරම් විශාල ආරක්ෂක වියදමක් අවශ්‍ය වන්නේ ඇයි?සේවා අපනයන හරහා ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 1.1 සිට 1.2 දක්වා උපයන අතර සේවා ආනයනය ඩොලර් බිලියන 800 ක් පමණ වන අතර එමඟින් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 300 සිට 400 දක්වා සේවා වෙළඳ අතිරික්තයක් නිර්මාණය වේ. මෙම අතිරික්තය භාණ්ඩ වෙළඳාමේ විශාල හිඟය අවම කිරීමට උපකාරී වේ.
මේ තත්වය තුල චීනය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ. ඒ අතර ආසියාවේ චීන හිතවාදී රටවල් චීන කඳවුර වටා ගොඩනැගෙමින් තිබේ. රුසියාව ද ඊට එකතු වී ඇති අතර BRIC සංවිධානය ගොඩනැගීම තුල ඇමරිකාවට එල්ල වන අභියෝගය සුළු පටු නොවේ.ප්‍රසිද්ධ කල බදු ප්‍රතිපත්තිය හැරුණු විට ට්‍රම්ප් පාලනය විසින් භාණ්ඩ සඳහා ද වෙනම ආනයනික බදු පනවා තිබේ. මෙහි අරමුණ වන්නේ ඇමරිකාව තුල උද්ධමනයක් ඇති කිරීම තුලින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම අධයිර්යමත් කිරීම තුලින් දේශීය නිෂ්පාදන වර්ධනය කිරීමයි.
ඇමරිකානු සමාජයේ පදනම සහ එහි විකාශනයේ සිටම (ඇමරිකානු සිහිනයේ විකාශනය-“ඇමරිකානු සිහිනය” යනු ඕනෑම කෙනෙකුට, ඔවුන්ගේ පසුබිම හෝ සමාජ තරාතිරම කුමක් වුවත්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ අධිෂ්ඨානයෙන් සාර්ථකත්වය සහ සමෘද්ධිය අත්කර ගත හැකිය යන අදහස) ගොඩනැගුන ඇමරිකානු සම්ප්‍රදාය දෙවනලෝක යුද්ධය අවසානයෙන් පසු ලෝක ව්‍යාප්ත කිරීම ආරම්භ විය. එතැන් සිට නිදහස් වෙළඳපොල, නිදහස් තරඟය, Bretton Woods Institutions (IMF & World Bank), WTO, GATT, FTAs, NAFTA, USMCA, CPTPP ඇතුළු අනෙකුත් සියලු නිදහස් වෙළඳ ගිවිසුම් ඔස්සේ ලෝකය ක්‍රියාත්මක වූ අතර 1990 වසරින් පසුව එතෙක් ඊට අනුගත නොවී පැවතුන සෝවියට් සංගමය සහ අනෙකුත් සමාජවාදී රටවල් ද බිඳවැටී ඊට ඈඳුනි. මේ දක්වා ඊට අනුගත නොවී ඇත්තේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියෙන් මිදුණු උතරු කොරියාව, කියුබාව, මියන්මාරය සහ තවමත් වෙනත් මගක ගමන් කරනා බූතානය වැනි රටවල් කිහිපයක් පමණි.
ගොඩනගාගෙන තිබූ ප්‍රාග්ධන (දැනුම, මූල්‍ය ඇතුළු ප්‍රාග්ධනයේ සියලු ආකාර), නිෂ්පාදන, යුධ ශක්තිය සහ විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරය ස්වාමි හැඟවුම්කාරකයක් (master signifier) බවට පත්කරගත හැකිවීම ඇතුළු සකල විධ ආධිපත්‍ය ඔවුනට හිමි තත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඔවුනට අභියෝග කල හැකි සතුරෙකු නිර්මාණය වනු ඇතැයි ඇමරිකාව නොසිතූ බව පෙනේ (පරමාණු බෝම්බ දෙකක් හෙලා සුපරි බලවතා ලෙස නැගී සිටීම). නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වෙළඳපොළ තරඟය තුල ඇමරිකාව බලාපොරොත්තු නොවූ, තමනට අභියෝග කල හැකි පැහැදිලි සතුරෙකු මේ වනවිට නිර්මාණය වී ඇත. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකෘතියක් තුල ක්‍රියාත්මක චීනයයි. චීනය ද ප්‍රජාතන්ත්‍රවාදය තුල කටයුතු කලේ නම් කිසි දිනක මෙම අභියෝගය ඇමරිකාවට එල්ලනොවුනු ඇත (ඉන් පෙර ඇමරිකාව වෙත එවැනි අභියෝගයක් ඉස්මතු වන බව දුටු වහාම ඒවා නිශේධ කිරීමට ඇමරිකාව සමත්විය). ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් ඇමරිකාව අභිබවමින් තිබේ. චීනය වේගෙන් සෑම අතින්ම ඉදිරියට යමින් තිබේ (මේ පිළිබඳව මීට පෙර අපගේ ලිපි තුලින් කරුණු දක්වා ඇත).
මේ තත්වය තුල ට්‍රම්ප්ගේ තීරණයත් සමගින් ප්‍රාග්ධනය ගෝලීයකරණය වීම ඇමරිකාව ප්‍රථම වරට ප්‍රතික්ෂේප කරමින් තිබේ. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ද අදහස් දක්වමින් කියා සිටියේ “ගෝලීයකරණය අවසන්” බවයි. ඒ අනුව එහි වර්තමාන උත්සාහය වන්නේ තම ප්‍රාග්ධනය හැකිතාක් රට තුල රඳවා ගනිමින් තම රට නිෂ්පාදන රාජ්‍යයක් බවට පත්කිරීමය. මේ පිළිබඳව අදහස් දක්වන සමහරුනට අනුව නම් මේ සඳහා ඇමරිකාවට ලාභ ශ්‍රමය අවශ්‍ය වන අතර නැතිනම් ඇමරිකාවේ නිෂ්පාදනය දියුණු කල නොහැකිය. නමුත් අවට රාජ්‍යයන් වෙතින් සහ පිටරටවලින් ඇමරිකාව තුලට පැමිණෙන සංක්‍රමණිකයින් මහා පරිමාණයෙන් පිටමන් කිරීම සහ තවදුරටත් රට තුලට පැමිණිය නොහැකි ලෙස නීති රීති දැඩි කිරීම ද ට්‍රම්ප් විසින් සිදු කරයි. එසේ නම් ට්‍රම්ප් පාලනය බලාපොරොත්තු වන්නේ එවැනි ලාභ ශ්‍රමය නොව ඇමරිකානු ශ්‍රමයයි. එවිට ප්‍රශ්නය වන්නේ වත්මන් ඇමරිකානුවන් කර්මාන්ත ශාලා තුල රැකියා කිරීමට කැමැත්තක් දක්වයි ද යන්නයි. නමුත්, රිපබ්ලිකන් පක්ෂය බලාපොරොත්තු වනුයේ නවීන තාක්ෂනය, කෘතීම බුද්ධිය සමගින් ශ්‍රමය ඒකාබද්ධ කර නවතම නිෂ්පාදන ආකෘතියකට පිවිසීමට නම් මේ ප්‍රශ්නය විසඳෙනු ඇත (චීනය මේ වන විට සම්පූර්ණ වශයෙන්ම ස්වයංක්‍රීය අඳුරු කර්මාන්තශාලා-dark factories පිහිටුවා ඇත).
එක්සත් ජනපදය විශාල ගෝලීය හමුදා කඳවුරු ප්‍රමාණයක් පවත්වාගෙන යන අතර, රටවල් 70 කට අධික සංඛ්‍යාවක කඳවුරු පිහිටා ඇත. ලොව පුරා විදේශයන්හි එක්සත් ජනපද හමුදා කඳවුරු 750 සිට 800 දක්වා ඇති බව සාමාන්‍යයෙන් පිළිගැනේ. රුසියාව සහ චීනය සතුවන්නේ හමුදා කඳවුරු කිහිපයකි. නමුත් මෑතක සිට චීනය ද තමන්ට හිතවාදී රටවල හමුදා කඳවුරු පිහිටු වීමේ සැලසුමක් අනාවරණය වෙමින් පවතී. අප්‍රිකානු කලාපය හැරුනුකොට පකිස්තානය සහ ලංකාව ද ඒ අතර සිටී. ඊට අමතරව පෙන්ටගනය මෙන් දස ගුණයකින් විශාල යුධ මධ්‍යස්ථානයක් චීනය විසින් පිහිටුවා තිබේ. එසේම චීනයේ “One Belt, One Road” (OBOR), ව්‍යාපෘතිය සහ BRICS ව්‍යාපෘතිය ද ඇමරිකාවේ මෙම තීරණයට බලපෑ ඇත.
ට්‍රම්ප් යනු නියම ඇමරිකානු “රිපබ්ලිකන් පුරුෂයෙකි”. ඔහුගේ හැසිරීම, සිතන පතන අයුරු සහ චරිත ස්වභාවය තුලින් විද්‍යාමාන වන්නේ එම ඇමරිකානු යැංකි පිරිමියාය. යුධ තර්ජන මගින් ඔහු මේ වනවිට ට්‍රිලියනයකට වැඩි ආයෝජන ඇදගැනීමට සමත්ව තිබේ. ඉන්දියාව කල්තියාම බදු අඩුකරගත් අතර මේ සියල්ල සිදු කරනුයේ යුධ ශක්තිය, ප්‍රාග්ධන ශක්තිය පෙන්වමිනි. ඊට අමතරව ඉරානයට පහරදීමේ සූදානමක් ද පවතී.
Gangs of New York (“America was born in the streets”) චිත්‍රපටය ඇමරිකාවේ පදනම් බවට පත්ව ඇති මිථ්‍යාවන් හෙළිදරව් කරන අතර, ජාතිය නිර්මාණය පිළිබඳ ප්‍රධාන ධාරාවේ ආඛ්‍යානවල බොහෝ විට නොසලකා හරින ප්‍රචණ්ඩත්වය සහ බැහැර කිරීම හෙළි කරයි. මුල් කාලීන නාගරික ඇමරිකාව හැඩගැස්වූ අවනීතිය, කෲරත්වය සහ සමාජ බෙදීම් මෙම චිත්‍රපටය නිවැරදිව ග්‍රහණය කර ගනී.
අපිරිසිදු වීදි, කුණුවන ගොඩනැගිලි සහ ගැටුම්කාරී ජනවාර්ගික කණ්ඩායම් ජීවීන් – නගරය නිර්මාණය වීමේ කොන්දේසීන්ය. නගරය ඝෝෂාකාරී, අනපේක්ෂිත සහ භයානකය. ඒ තුලින් චිත්‍රපටය ඇමරිකාවේ උපත පිළිබඳ පරමාදර්ශී, දේශප්‍රේමී අනුවාදය ප්‍රතික්ෂේප කරයි. නීතියට හෝ සදාචාරයට වඩා ප්‍රචණ්ඩත්වය සහ කල්ලි පාලනය විසින් සමාජය හැඩගස්වයි. එය නූතන ඇමරිකාව ගොඩනඟන ලද ගැටුම්කාරී බලවේග නියෝජනය කරයි. ඇමරිකානු ජාතිය යනු ගැටුමෙන් උපන් ජාතියකි. චිත්‍රපටය තුල පෙන්නුම්කරනුයේ නූතන ඇමරිකාව ප්‍රචණ්ඩ නාගරික ගැටුමකින්, විශේෂයෙන් අලුතින් පැමිණි සංක්‍රමණිකයන් (අයර්ලන්ත ජාතිකයන් වැනි) සහ ස්වදේශික ඇමරිකානුවන් අතර මතු වූ ආකාරයයි.
ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති ආඛ්‍යානය තුල ඇති ආරම්භක පියවරුන් හෝ ව්‍යවස්ථාමය පරමාදර්ශ අවධාරණය කරනවා වෙනුවට, චිත්‍රපටය තුල අසාමාන්‍ය අරගලවල සිටින සාමාන්‍ය ජනතාව කෙරෙහි අවධානය යොමු කරයි. එයින් ඇඟවෙන්නේ ඇමරිකාවේ සැබෑ උපත දෘෂ්ටිවාදයෙන් නොව, කුරිරු තරඟකාරිත්වයෙන් සහ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නය තුල සිදු වූ බවයි.
චිත්‍රපටයේ, ඇම්ස්ටර්ඩෑම් වොලන් (ලියනාඩෝ ඩි කැප්‍රියෝ) වැනි චරිත විසින් මෙහෙයවන ලද අයර්ලන්ත සංක්‍රමණිකයින් ඇමරිකාවේ ඔවුන්ගේ කොටස් හිමිකර ගැනීමට උත්සාහ කරන අතර, බිල් ද බුචර් (ඩැනියෙල් ඩේ ලුවිස්) වැනි “ස්වදේශික” ඇමරිකානුවන් විසින් ඔවුන්ට පහර දෙනු ලැබේ. ඇමරිකානුවෙකු වීම ලබා දී නැත – එය ලබාගෙන, වෙනත් ආකාරවලින්, නීතිමය නොවන අයුරින්, කැරලි සහ පුද්ගලික කැපකිරීම් වලින් උපයා ගන්නා ලදී. සංක්‍රමණිකයන් පිළිගනු ලැබුවේ නැත – ඔවුන්ට ඇතුළත් වීම සඳහා සටන් කිරීමට සිදු වූ අතර, එය ප්‍රතිරෝධයේ සහ ප්‍රතිනිර්මාණයේ මිශ්‍රණයක් ලෙස ඇමරිකානු අනන්‍යතාවය හැඩගස්වා ගත්තේය.
නීතිය හා සාමය ස්වභාවිකව පරිණාමය වූ බවට ඇති අදහස චිත්‍රපටය තුල විවේචනය කරයි – ඒ වෙනුවට, අවුල් සහගත තත්ත්වය සහ ප්‍රචණ්ඩත්වය හීලෑ වූයේ ලේ වැගිරීම් හරහා පමණක් බව එය තර්ක කරයි. ප්‍රජාතන්ත්‍රවාදය පිරිසිදු නොවීය. එය මතු වූයේ අල්ලස්, බියර් සමඟ මිලදී ගත් ඡන්ද සහ මතුපිට තලයට පසු පසින් ක්‍රියාත්මක වූ පිහි සටන් මගිනි. කල්ලි විසින් මැතිවරණ, නීතිය ක්‍රියාත්මක කිරීම සහ නගර සැලසුම් පවා පාලනය කළේය. බලය ලබා ගත්තා මිස, පවරා දෙනු ලැබුවේ නැත.
එක්සත් ජනපද සිවිල් යුද්ධ පසුබිම (විශේෂයෙන් 1863 කෙටුම්පත් සහ කැරලි) අවධාරණය කරන්නේ ඇමරිකාවේ එකමුතුකම සඳහා දැවැන්ත වියදමක් දරා ඇති බවත්, එය බොහෝ විට දුප්පතුන් සහ ආන්තිකකරණයට ලක් වූවන් මත පටවන ලද බවත්ය.
මෙයින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණය එකිනෙකට බැඳී ඇති බවත්, ඇමරිකාවේ අත්තිවාරම් සැක සහිත ගනුදෙනු සහ පසුබිම් සන්ධාන හරහා නැවතත්, “වීදියේ” බවත්ය. ඇමරිකාවේ අත්තිවාරම් රුධිරයෙන් හා ගැටුම්වලින් නිර්මාණය කර ඇති බව පෙන්වීමෙන්, ඉතිහාසයේ පිරිසිදු කළ අනුවාදය ප්‍රතික්ෂේප කරමින් එය නැවත සලකා බැලීමටත්, අරගලය සහ ඒ තුලින් වන පැවැත්ම ඇමරිකානු කතාන්දරයේ කේන්ද්‍රය බව හඳුනා ගැනීමටත් චිත්‍රපටය අපට ආරාධනා කරයි.
ඒ අනුව “ඇමරිකාව වීදියේ උපත ලැබුවා” යන්නෙන් අදහස් කරන්නේ ඇමරිකානු සමාජයේ සැබෑ ගොඩනැගීම පොත්වල හෝ නීතිවල නොව, සංක්‍රමණික අසල්වැසි ප්‍රදේශවල සහ බල අරගලවල අපිරිසිදුකම, ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වය තුළ සිදු වූ බවයි. එය ඇමරිකාවේ සම්භවය පිළිබඳ මිථ්‍යාව බිඳ දැමීමේ දෘෂ්ටියකි. එනම්, ඇමරිකානු අතීතය උතුම් නොවේ, නමුත් අමු, ලේ වැකි සහ පහළ සිට ඉහළට ගොඩනගා ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තුල ඉතාම පහල සමාජ පන්තික ඕනෑම අයෙකුට උපරිමය දක්වා ගමන් කල හැකිය යන තේමාව උපදින්නේ ඒ තුලිනි.
ඇමරිකානු ප්‍රචණ්ඩත්වය යනු ඓතිහාසික ගැටුමක අතුරු ඵලයක් පමණක් නොව, ජාතික සහ පෞද්ගලික අනන්‍යතා නිර්මාණය කිරීම සඳහා උත්ප්‍රේරකයකි.
ඒ අනුව පැවසිය හැක්කේ “ඇමරිකානු සිහිනය” පදනම් වී ඇත්තේ නිදහසේ පරමාදර්ශය මත නොව ලිබරල් පරමාදර්ශ මගින් ආවරණය කරන ලද බැහැර කිරීම, ප්‍රචණ්ඩත්වය සහ බල ගතිකත්වය මත බවය. “ඇමරිකානු සිහිනය”, විශේෂයෙන් එහි ඇති පහල සිට ඉහළට සංචලනතාවය සහ නිදහස පිළිබඳ පොරොන්දුව, ගැඹුරු ව්‍යුහාත්මක අසමානතාවයක් සඟවන අසමානතාව නඩත්තු කරන නව අකාරයක් ලෙස මායාවක් පමණි (ලොව පුරාම අද දවසේ පිළිගෙන ඇත්තේ මෙයයි. ලංකාවේ දී මෙය මේ වන විට උග්‍ර වී ඇත). ඒ අනුව ඇමරිකාව තුල සහ ලොවට ඇමරිකාව විසින් පෙන්වන පරමාදර්ශය සහ දෙසන සමානාත්මතාවය හෝ නිදහස යනු බලය සහ ප්‍රචණ්ඩත්වය හරහා පැවැත්මක් පමණි. රාජ්‍යය යනු හුදෙක් පිළිවෙල සහතික කරන මධ්‍යස්ථ ආයතනයක් පමණක් නොව, සමාජ අසමානතාවයන් සහ අක්‍රමිකතා පවත්වා ගැනීමට සහාය වන්නකි. දේශපාලන දූෂණය සහ ප්‍රචණ්ඩත්වය වෙන් නොවන නමුත් ධනේශ්වර ව්‍යුහයන් ආරක්ෂා කරන එකම පද්ධතියේ කොටසකි.
ඒ අනුව පැවසිය හැක්කේ එක්සත් ජනපදයේ ගෝලීය ධනවාදය යනු මුලින් ජාතිය ගොඩනැගූ එම ප්‍රචණ්ඩකාරී පද්ධතිවලම දිගුවක් මිස වෙන යමක් නොවේ යන්නයි. අද, එක්සත් ජනපදයේ දක්නට ලැබෙන ධන අසමානතාවය සහ ආර්ථික ස්ථරීකරණය යනු මුල් බැහැර කිරීමේ ක්‍රමයේ දෝංකාරයන් වේ (උදා: වහල්භාවයට පත් අප්‍රිකානුවන්ගේ ශ්‍රමය ඇමරිකාවේ ආර්ථිකයට ඉන්ධන සැපයීමට උපකාරී වූ ආකාරය). දේශපාලනඥයන් බොහෝ විට නිදහස සහ අවස්ථාව (opportunity) පිළිබඳ වාචාලකමෙන් ආර්ථික සූරාකෑම ආවරණය කරයි. නමුත් දේශපාලන බලයේ සැබෑ පදනම වන්නේ ධනවාදය දිගටම පවත්වාගෙන යන ව්‍යුහාත්මක අසමානතාවයයි.
ඇමරිකාව සඳහා, මෙය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගලවාදය වැනි එහි ආරම්භක පරමාදර්ශ, එනම් නීතිය, අධිකාරිය හෝ සංස්කෘතිය වැනි (‘මහ අනෙකා’ – අවසර ලත් දේ සහ අවසර නොලබන දේ පාලනය කරන අධිකාරිය එය වන අතර, සමාජ අන්තර්ක්‍රියා සහ අනන්‍යතාවයේ නීති සකස් කරයි) මෙම පරමාදර්ශ ඇමරිකානු අනන්‍යතාවය සහ ලෝකයට අයත් වීමේ හැඟීම සඳහා ප්‍රධාන හැඟවුම්කාරකයක් නියෝජනය කරයි. ඇමරිකානු සංකේත රටාව ගොඩනැගීම ජාතික මිථ්‍යාවක් එනම්, “ඇමරිකානු සිහිනය” තුළ මුල් බැස ඇති අතර එමඟින් ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ සම්භවය නොසලකා සාර්ථකත්වය අත්කර ගත හැකි බවට පොරොන්දු වේ. කෙසේ වෙතත්, මෙම සිහිනය සහජයෙන්ම දෝෂ සහිත වන්නේ එය රටේ ගොඩනැගීමේ ඓතිහාසික ප්‍රචණ්ඩත්වය (උදා: වහල්භාවය, යටත් විජිතවාදය සහ ආදිවාසී ජනතාව මර්ධනය සහ ඔවුන්ගේ අවතැන් වීම) වසන් කරන බැවිනි. ඒ අනුව ඇමරිකානු සංකේත රටාව මෙම පදනම් ප්‍රතිවිරෝධතා ආවරණය කරන පරමාදර්ශී ස්වයං ප්‍රතිරූප වටා ව්‍යුහගත කර ඇත. ඇමරිකානු සමාජය ගොඩනැංවීමේ පදනම යනු ඇමරිකාවේ සංකේත රටාව එහි ආවේණික අසමානතාවයන් නොතකා පුරවැසියන් රාජ්‍යයට බැඳ තබන සාමූහික අනන්‍යතාවයේ හැඟීමක් පෝෂණය කිරීමකි.
මෙතුවක් කල් ප්‍රාග්ධනය ගෝලීයකරණය, ඊට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වෙළඳපොල, මානව හිමිකම් වැනි ව්‍යාජ මානුෂීයවාදයන් නඩත්තු වූයේ ඇමරිකාව පෙන්වා දුන් මාර්ගය ඔස්සේය. කෙටියෙන් පවසන්නේ නම් ලෝකයට පාර කියා දුන්නේ ඇමරිකාවයි. රටවල් කිහිපයක් හැරුණු කොට මේ වන විට ලෝකයම එය පිළිගෙන ඇත (ලංකාව නම් එය හිස් මුදිනින් පිළිගන්නා ස්ථානයක පසු වේ).
ඉහත පැහැදිලි කිරීමට අනුව සලකන්නේ නම්, එනම්, ඇමරිකානු උපත සහ එහි විකාශනය තුල ලෝකයට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? ලෝකයම විනාශ කල හැකි ආයුධ නිෂ්පාදනය කරමින්, ඔත්තු බලමින් තම “ජාතික ආරක්ෂාව” තරඟකාරී ලෙස තර කරගනිමින්, පවතින ධනේශ්වර සදාචාරය තුල ජාතීන් අතර සහ ජාතික රාජ්‍යයන් අතර ව්යාජ මිත්රත්වයක් පෙන්වමින්, ඒ තුල විපතේ දී මානුෂීය ලෙස පිහිටවන බව පෙන්වමින් සහ එසේ කරමින්, ලෝක ප්රාග්ධන ක්රියාවලිය තුල විශාල කොටසක් ඩැහැගෙන තම ජාතික රාජ්ය හැකි උපරිමයෙන් සුඛිත මුදිත කරගැනීම (ඇත්තටම ව්යාකූලත්වය වර්ධනය කර ගැනීම) සඳහා වන මජර, කෘර පොරය හඳුන්වනු ලබන්නේ ආර්ථික ප්රජාතන්ත්රවාදී නිදහස් වෙළඳපොල ක්රමය ලෙසයි. ඒ සඳහා ඇති සමාජ ක්රමය වන්නේ ප්රජාතන්ත්රවාදයයි. එම ප්රජාතන්ත්රවාදය තුල ප්රාග්ධන ක්රියාවලියට සහභාගී වී කොටසක් ඩැහැ ගැනීමට අදාළ විද්යාව (විද්යාව යන වචනයෙන් කෙළවර වන සියලු විෂයන් අවශ්ය වන්නේ අර්බුධයක් තුලය) ආර්ථික විද්යාව ලෙස හැඳින්වේ (එයට අදාළව කළමනාකරණය වැනි තවත් ක්ෂේස්ත්ර තිබේ). මේ ක්රියාවලිය තුල නිෂ්පාදනයේ වර්ධනය සහ එහි අනාගත අපේක්ෂාවන් තීරණය වන්නේ ‘තර්ක බුද්ධිය’ මත පදනම් වූ, තර්ක බුද්ධිමය හේතුව සත්ය ලෙස පිළිගන්නා, නිරන්තර පෙරවරණයන් (foreclosure) මගින් ධාවනය වන, සියලු දෙනා උතුම්කොට සලක නූතන විද්යාව මගිනි.
නැවතත් ප්‍රස්තුත කාරණයට අදාලව සලකා බලන්නේ නම්, ඇඟලුම් ක්ෂේස්ත්‍රයේ අපනයන ආදායම ලෙස සාමාන්‍යයෙන් සැලකෙනුයේ ඩොලර් බිලියන 4.7ත් 5.2ත් අතර සංඛ්‍යාවකි (මෙය විචලනය වේ). රෙදි, බොත්තම්, නූල් ඇතුළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියල්ල ආනයනය කරනුයේ පිට රටවලිනි. ඒ සඳහා රුපියල් බිලියන 3කට අධික මුදලක් වැය වේ. අගය එකතු වීම සිදුවන්නේ ශ්‍රමයේ වටිනාකම සහ ප්‍රචාරණය ඇතුළු අනෙකුත් උපක්‍රම යටතේ අදාළ සන්නාමය ගොඩනගාගෙන ඇති තත්වය තුලය. ඒ සියල්ල ඇතුලත්ව ඩොලර් බිලියන 1.2ත් 1.4ත් අතර විචලනයකින් එපිට අදායමක් මින් උපයන්නේ නැත. නමුත් මෙම අපනයන ආදායමින් නැවත ලංකාවට රැගෙන එන්නේ දල වශයෙන් 24%ක් පමණි (ඩොලර් මිලියන 300ක් පමණ). ඒ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලෙස පමණක් විය හැකිය. නමුත් මේ නිෂ්පාදන සඳහා වැය වන විදුලිය ඇතුළු බලශක්තිය, ඉන්ධන, ප්‍රවාහනය, වාහන ඇතුළු අමතර කොටස් සඳහා ආනයන පිරිවැය, මාර්ග පතුලු අනෙකුත් සියලු යටිතල පහසුකම් ඉදිකිරීම් සහ නඩත්තුව, සේවක සේවිකාවන්ගේ ඇඳුම් පැළඳුම් ඇතුළු වියදම්, නැවත ඔවුන්ගේ වැටුපින් මිලදී ගන්න ආනයනික භාණ්ඩ වැනි දේ පිළිබඳව සැලකූ කල මින් ලාභයක් නොමැත. එසේ විමසා බලන්නේ නම් නැවතත් ගණනය කල යුතුව ඇත්තේ ඒ සියල්ලෙන් අනතුරුව අදාළ ඩොලර් බිලියන තුනෙන් ඉතිරි වන කොටස, එනම් ආහාර-පාන, ඖශධ, අධ්‍යාපනය (අධ්‍යාපනයේ අවශ්‍යතාවය ද නැවත අදාළ වන්නේ නිෂ්පාදනය සඳහාය. එසේම සෞඛ්‍ය වියදම් ඉතා ඉහල ගොස් ඇත්තේ ජීවන රටාව, පරිසර දූෂණය ඇතුළු තත්වයන් යටතේය) ඇතුළු අත්‍යවශ්‍ය යැපීම් සඳහා වැයවන මුදල කොපමණ ද යන්නයි. ඒ හැර අනෙක් සියල්ල වැයවන්නේ ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්, වාහන, රූප ලාවන්‍ය, තරඟකාරී ලෙස මිලදී ගන්නා ඇඳුම් පැළඳුම්, සහ තරඟකාරී ඉදිකිරීම් වලට සහ සේවා වලට අදාලවය. එසේම ඇඟලුම් නිෂ්පාදනය සහ අනෙකුත් පාරිභෝජනයන්ට අදාළ පරිසර විනාශය ගණනය කළහොත් ඇත්තේ ඉතිරියක් නොව වැය වීමක් බව පෙනෙනු ඇත.
සිදුවන පාරිසරික හානිය, සමාජ හානිය ඇතුළු මීට අදාළ සමස්තය සැලකූ විට ඇඟලුම් කර්මාන්තය යනු ව්‍යසනයක් මිස වාසියක් ඇති නිෂ්පාදනයක් නොවේ. මේවා මෙසේ හෝ පවත්වාගෙන යන ලද්දේ GSP (භාණ්ඩ 3500කට), GSP+ වැනි සහන බුක්ති විඳිමින්ය. නමුත් ඒවායේ ප්‍රතිලාභ ද නැවත ඒ රටවලටම ඇදී යයි. එනම්, ඔවුන් අපගේ බල ශක්තිය, ඉන්ධන, ශ්‍රමය, පරිසරය ඇතුළු සියල්ල පාවිච්චි කරමින් අපගේ රට ඔවුන්ගේ පාර්භෝජනය විසින් සෑම අයුරකින්ම දූෂණය කරමින් තිබේ. නමුත් අර්තිකවාදීන්ට අනුව වැළඳ ගත යුත්තේ එයයි.
දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ඔය සියල්ල සත්‍ය වුව ද ඇඟලුම් කර්මාන්තය තුලින් රැකියා 350000ක් හිමිව ඇති බවය. ආර්ථික විද්‍යාවට අනුව එය නිවැරදිය. නමුත් අප ආර්ථික විද්‍යාව පිළිගත යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයනය සිදු කරනුයේ ඇමරිකාවටය. ඒ තුල ලංකාවට අදාලව ඇමරිකාවට ඇත්තේ ඍන වෙළඳ ශේෂයකි. එනම් වෙළෙද ශේෂය ඩොලර් බිලියන -3ක් පමණ වේ (ලංකාව වාර්ෂිකව ඇමරිකාවෙන් ආනයනය කරනුයේ ඩොලර් මිලියන 300ක පමණ ප්‍රමාණයකි). ඇමරිකාව විසින් තීරු බදු පනවා ඇත්තේ ඒ අනුව සලකා බලමින්ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා කිසිවෙකුට මීට එරෙහි විය නොහැක.
ට්‍රම්ප් පාලනය විසින් ඉහල තීරු බදු ප්‍රතිශත පනවා ඇත්තේ තම රටෙහි අපනයන ආදායමෙන් ඉහල ප්‍රතිශතයක් ඇමරිකාව වෙත අපනයනයෙන් උපයා ගන්නා රටවල් කිහිපයක් සඳහා සහ ඒ රටවල් තුලට සිදු කරන ආනයන සඳහා විශාල තීරු බද්දක් අය කරන රටවල් සඳහාය (කාම්බෝජය: 49%-97%, ලාවෝස්: 48%- 95%, මැඩගස්කර්: 47%-93%, වියට්නාමය: 46%-90%, මියන්මාරය: 44%-88%, ශ්‍රී ලංකාව: 44%-88%, බංගලාදේශය 37%-74%, තායිලන්ත: 36%-72%, බොස්ට්වානා: 37%-74%, සර්බියා: 37%-74%, චීනය: 34%-67%,). මේ රටවලට අදාලව ඇමරිකාවට ඇත්තේ විශාල ඍන වෙළඳ ශේෂයකි. ඊට හේතුව ලෙස ට්‍රම්ප් පාලනය දකිනුයේ එම රටවල ආනයනික භාණ්ඩ සඳහා ඇති අධික බදු සහ ඇමරිකානු නිෂ්පාදන ආනයනයට ඇති බාදවන්ය.
ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ ට්‍ර්ම්ප් පාලනයේ නව බදු ප්‍රතිපත්තියේ අඩංගු වන පරිදි එක් එක් රටවල් පදනම් කරගනිමින් නොව භාණ්ඩ සහ සේවා මතය. උදාහරණයකට, ට්‍රම්ප් පාලනය පවසන්නේ ලංකාව තුල ටෙස්ලා වාහන, මිලදී ගැනීමට හැකි අය සිටිය ද අධික බදු (88%ක්) හේතුවෙන් සහ යම් සම්බාධක හේතුවෙන් එය ඇහිරී ගොස් ඇති බවය. ඒ අනුව කල යුතුව ඇත්තේ ශ්‍රී ලාංකීය ඇති හැකි “ජනතාවට” අධික මිල ගණන් වලට අලවි වන ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා එම භාණ්ඩ මත පනවා අතු බදු ඉවත් කිරීම කල යුතු බවය. ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ බහුතරයේ ස්ථාවරය මෙන්ම ජවිපෙට ඡන්දය දුන් බහුතරයේ ස්ථාවරය ද ඉන් වෙනස් නොවේ. තමන් හට ඇමරිකානු නිෂ්පාදන මිලදී ගත නොහැක්කේ හෝ අධික මිලක් ගෙවීමට සිදුව ඇත්තේ මෙම බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බව ඔවුන්ගේ අදහසයි.
මේ තත්වය තුල හද්ද අනාත වී ඇත්තේ ඇඩ්වොකාටා ඇතිලු ආර්ථික විද්‍යාඥයින්ය. ට්‍රම්ප් පාලනයේ බදු ප්‍රතිපත්තිය ඔවුන්ගේ නිදහස් වෙළඳ පතිපත්ති වලට එරෙහි ක්‍රියාවකි. එසේම එය විසින් ඉදිරියේදී අනුගමනය කිරීමට නියමිත ආර්ථික ක්‍රියාවලිය ද ඔවුනගේ ධර්ම දේශනා සමග නොගැලපේ. නමුත් ඇඩ්වොකාටා ඇතිලු ආර්ථික විද්‍යාඥයින්ට තවමත් කිව හැක්කේ ලංකාව විසින් කල යුතුව ඇත්තේ ආයනයන සඳහා වන බදු ඉතා අඩු කිරීම බවය (ඔවුන් මේ වන විට එසේ ප්‍රකාශ කරමින් සිටී). නමුත් ඔවුන් එසේ කියන විටම එක් පැත්තකින් ඇමරිකාවට යටත් විය යුතු බව පිළිගන්නා අතර අනෙක් අතට ඇමරිකාව ආනයනික බදු ඉහල දැමුව ද ලංකාව ආනයන සඳහා බදු අඩු කල යුතු බව පවසයි (සමහර ආර්ථික විද්‍යාඥයින්ට අනුව කල යුත්තේ බදු සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමයි). මෙය පරස්පර විරෝධී නොවන බව ඔවුන් පවසන්නේ ඇමරිකානු බලය පිළිගත යුතු බව පවසමිනි (රනිල් විසින් ද පවසා තිබුනේ අප ඇමරිකාවට දන නැමිය යුතු බවයි). එවිට ප්‍රශ්නය වන්නේ නොබෝ දිනකින් 2022 වර්ෂයේ ඇති වූවාටත් වඩා අර්බුධයකට ලංකාව පත්වීම නොවැලැක්විය හැකි වීමය. ඒ අනුව, ඔවුන්ගේ ආර්ථික විද්‍යා උපදෙස වනු ඇත්තේ එසේ බදු අඩු කර ලංකාවේ ඇති නීති ද වෙනස් කර, පරිසරය ගැන ද නොසිතා හැකිතාක් ආයෝජන රට තුලට ගෙන්වා ගත යුතු බවය. වර්තමාන තත්වය තුල කිසි ලෙසකින් ලංකාවට ආයෝජන පැමිණීම සිදු නොවේ. එසේ ආයෝජන පැමිණෙනවා නම් එවැනි ආයෝජන යනු වෙනත් රටවල භාරනොගන්නා පාරිසරික වශයෙන් දැඩි විනාශකාරී ආයෝජන හෝ මහා පරිමාන තාක්ෂණික වගාවන් සඳහා කෙටිකාලීනව නැවුම් භූමි බලාපොරොත්තුවෙන් පැමිණෙන ආයෝජන විය යුතුව ඇත. එබැවින් පාරිසරික බදු ද අඩු කර නීති ද වෙනස් කරන්නේ නම් එවැනි ආයෝජන කිහිපයක් පැමිණීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ඇඩ්වොකාටා ඇතුළු ආර්ථික විද්‍යා මුග්ධයින් හට කටඋත්තර නැතිවන්නේ මෙවැනි තත්වයකදීය.
ඇඩ්වොකාටා වැනි අමනයින් කුමක් ප්‍රකාශ කල ද ඇමරිකානු ආණ්ඩුව විසින් තීරු බදු ඉහල නැංවීමේ දී වඩාත් සැලකිලිමත්ව ඇත්තේ ඇමරිකානු නිෂ්පාදන ආනයනය නොකරන රටවල් සඳහා බදු වඩාත් ඉහල නැංවීමටය (වෙළඳ පරතරය). මෙහි අරමුණ වී ඇත්තේ එම රටවලින් සිදු කරන අපනයන දුර්වල කර ඇමරිකානු නිෂ්පාදන ආර්ථිකය ඉහල නැංවීමය.
මිනිස් සත්තාවට අදාලව අවශ්‍ය කෑම-බීම, නිවසක් (තරඟකාරී නිවාස ඉදිකිරීම් නොව), සරල ඇඳුමක්, වැනි දේට අමතරව අවශ්‍ය වන්නේ රෝග සඳහා පිළියම්ය. නමුත් ධනවාදය තුල රෝග යනු ධනවාදය හේතුවෙන්ම ඊට අදාළ නිෂ්පාදනයක් වන විට සෞඛ්‍ය සේවා සහ ඖශධ යනු ද ඒවාට පිළියම් ලෙස ඇති නිෂ්පාදන වේ (අප මෙසේ පවසන විට ඊට එරෙහිව ගෙන එන ප්‍රධාන තර්කය වන්නේ ආයු අපේක්ෂාව වැඩි වී ඇත යන ගොං තර්කයයි. එය විමසන අයෙකු සිටී නම් අප සමග සංවාදයකට පැමිණෙන්න).
මිනිස් සත්තාවට අත්‍යවශ්‍ය දේවල් නිෂ්පාදනය සහ ලබා ගැනීම සඳහා වර්තමානයේදී අති විශාල සංකීර්ණ ක්‍රියාවලියක හිරවීමට සිදුව ඇත. උදාහරණයක් සඳහා මෙම ක්‍රියාවලිය තුල සිටින “දිළිඳු” පවුලක් සලකන්නේ නම් එවැනි පවුලක ආර්ථිකයේ ක්‍රය ශක්තිය වන්නේ ආහාර-පාන, අඩු වියදම් ඇඳුම්, සහ සෞඛ්‍ය වියදම් හැරුණු කොට කුඩා නිවසක් සාදා ගැනීම ලෙස සැලකිය හැකිය (අනෙකුත් භාණ්ඩ සහ සේවා පරිභෝජනයට ඉඩක් නැති උපකල්පනය කරන්නෙ නම්). නමුත් එම පවුලට අවශ්‍ය එම දේවල් ලබා ගැනීම සඳහා පවුලේ මව සහ පියා හෝ පියා පමණක් කුමන හෝ කර්මාන්ත ශාලාවක වෙහෙස වී වැඩ කල යුතුය. ඒ සඳහා ඔහු දැඩි කායික සහ මානසික අපහසුතා යටතේ පොදු ප්‍රවාහනය හෝ භාවිතා කල යුතුව ඇත. ඒ සියල්ල තුල ඔහුට ඇති අපේක්ෂාව වන්නේ නිදහස් අධ්‍යාපනය තුලින් තම දරුවන් ඉහලට ගොස් තමන්ට අහිමි තත්වය (අධ්‍යාපනය තුලින් වන දූරවලිය තුල), භාණ්ඩ සහ සේවා පාරිභෝජනය අත්පත් කරගනු ඇතිය යන්නයි. ඒ අනුව ඔහු අමතර වශයෙන් වෙහෙසෙනු ඇත්තේ ඒ සඳහාය. එම උදාහරණය තුල පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ ඔහුගේ අපේක්ෂාවට සීමා වී ඇති අනෙකුත් සියල්ල නොමැතිව එම පවුලට ජීවත් විය හැකි බවත්, වර්තමානයේ ඔවුනගේ ජීවිතය අපහසු වී ඇත්තේ ධනවාදයේ සංකීර්ණ ක්‍රියාවලිය සහ ඒ තුලින් සිදුවන පරාරෝපනය හේතුවෙන් බවත්, එම පවුලේ උපයන්නා හට කුඹුරක් වගා කරගෙන, අල වර්ග සහ එළවුළු-පලතුරු ද වගා කරගත හැකි වූයේ නම් (අද දවසේ එය ද කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂනය මෙන්ම දේශගුණ විපර්යාස හමුවේ දැඩි අර්බුධයකට ගොස් ඇත) කර්මාන්ත ශාලාවක වෙහෙසෙනවාට වඩා පහසුවෙන් ජීවත්විය හැකි බවත්ය.
ඉහතින් විස්තර කරන ලද්දේ ඇමරිකාව වෙත අපනයනය කරන ඇඟලුම් වලට අදාළව පමණක් වුව ද සමස්ථ නිෂ්පාදන, සේවා සහ ආනයන ආර්ථිකයට අදාලව තත්වය ද එයයි. ඒ අනුව එම තත්වය පවත්වාගෙන යාම සඳහා විශාල යටිතල පහසුකම් පද්ධතියක් සහ ආයතනික පද්ධතියක් නඩත්තු කල යුතු වේ (උදා: අධ්‍යාපනය, රාජ්‍ය සේවා, ප්‍රවාහනය, මාර්ග, අන්තර්ජාලය ඇතුළු දුරකථන ජාල,…). මේ සියල්ල සිදු කිරීමේදී සිදු වන වාතය, ජලය සහ ආහාර වස වීමේ ක්‍රියාවලිය ඇතුළු නැවත හැරවිය නොහැකි පරිසර විනාශයට අදාළ හානි පූර්ණයන් නඩත්තු කිරීම සහ ඊට අවශ්‍ය විකල්ප සඳහා, එනම් පරිසර දූෂණය වෙනුවෙන් විශාල පිරිවැයක් සහ දායකත්වයක් ද දිය යුතුව ඇත. එසේ කලද එය වලකා ගත නොහැකිය.
ඕනෑම මිනිසෙකු ජීවිතයේ විශාල කාලයක් වැයකළ යුතුව ඇත්තේ මේ තත්වය තුල සැරිසැරීම සඳහාය (දියණු සහ දියුණු වෙමින් පවතින මිනිසාගේ ජීවිතය). මේ තත්වය තුල සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිරිහීම තුල ගෙවිය යුතු මිල ඉතා විශාලය. ලෝකයේ මේ වන විට පවතිනුයේ එන්න එන්නම මේ තත්වය සංකීර්ණ කරගත යුතු බව පිළිගන්නා සමාජයකි. එනම් මිනිසුන් මේ තත්වයට පත්ව ඇත්තේ ධනවාදයේ ෆැන්ටසි වසංගතය තුලය යන්න පිළිබඳව කතිකාවක් නොමැති තරම්ය.
ඉහතින් සඳහන් කල තත්වයට එරෙහිව රට තුල ගොඩනැගුන එකම කතිකාව වූයේ නලින් ද සිල්වාගේ “සිංහල බෞද්ධ ජාතිකත්වය”යි. එය කුජීතභාවයට පත්වූයේ “අපි මේ කියන්නේ අධිවේගී මාර්ග එපා කියල බරකරත්තෙන් අනුරාධපුරේ යන්න නෙවයි”, “බටහිර විද්‍යාව අපේ චින්තනයට අවශෝෂණය කරගත යුතුයි” වැනි කතා තුලින් රාජපක්ෂවාදයට ලඝු වීම තුලය.
අප මෙසේ පවසන විට අපෙන් බොහෝ දෙනෙකු අසනු ඇත්තේ “මිනිසාට” අවශ්‍ය වන්නේ කෑම-බීම, රමණයේ යෙදීම, සරල ඇඳුමක්, සරල නිවසක් පමණක් ද යන්නයි. එසේ පවසමින් අප වෙතින් ප්‍රශ්න ඇසූ නිර්මාල් දෙවසිරිට අප දීර්ග පිළිතුරක් ලබා දුනි. ඉන්පසුව ඔහු ඒ පිළිබඳව සංවාදයකට එකඟ වී සංවාද දිගහැරුම් 4ක් පවත්වා අදාළ තීරණාත්මක ස්ථානය මගහැර ගියේය.
මිනිස් ආශාව යනු සැමවිටම අනෙකාගේ ආශාව බවට පත් වී ඇති තත්වය තුල, ෆැන්ටසි වසංගතයේ එකිනෙකාට අදාළ සුවිශේෂී ෆැන්ටසීන් සාක්ෂාත් කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල, තම ෆැන්ටසිය කරා ධාවනය වන පැරනොයික මිනිසුන්ගේ ප්‍රමෝදය මගින් සිදුවන්නේ ධනවාදය අභාවයට නොගොස් ඉදිරියට වර්ධනය වීම බව පෙනෙන්නට තිබේ. යථාර්තය දරා සිටිනුයේ ෆැන්ටසිය මගිනි.
අවශ්‍ය වන්නේ මේ පිළිබඳව කතිකාවක් ගොඩනැගීම මිස පුද්ගල අනන්‍යතා වලට අදාළ අශාවේම තවත් ආකාරයක් විදහා දක්වන “ජන බලය” වැනි කල්ලි ගොඩනගා ගැනීම නොවේ.
Share this content:

