විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය (2-කොටස)

විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය (2-කොටස)

විද්‍යාවේ ආරම්භය     


 

නූතන විද්‍යාව ආරම්භ වන්නේ ‘සත්‍යය’ තවදුරටත් දැනුමෙන් සහතික නොවන විට හෝ වඩාත් නිවැරදිව කිවහොත්, සත්‍යය සහ දැනුම බෙදී ගිය විට බව ලැකාන් විසින් පැවසීය.

“නූතන විද්‍යාව ආරම්භ වන්නේ දැනුම විසින් තවදුරටත් සත්‍යය දරාගත යුතු නැති විටය.” 
පූර්ව-නූතන (සම්භාව්‍ය) චින්තනයේ (උදා: ඇරිස්ටෝටලියානු විද්‍යාව හෝ ශාස්ත්‍රීය දර්ශනය) දැනුම සහ සත්‍යය ඒකාබද්ධ විය – දැනුම සත්‍යය හෙළි කළේය. ‘ආත්මය’ යන්න අර්ථය, අරමුණ සහ පාරභෞතික විද්‍යාවට (metaphysics) බැඳී තිබුණි. නමුත්  නූතන විද්‍යාව (උදා: ගැලීලියෝ සහ ඩෙකාර්ට්ස්ගේ කාලයේ සිට…) තුල දැනුම විධිමත් කර ගණිතකරණයට ලක් වේ (භෞතික විද්‍යාව, වීජ ගණිතය, ආකෘති…). එසේම, සත්‍යය අවිනිශ්චිත බවට පත්වේ. එය හෙළි නොවූ, පරීක්ෂා කළ යුතු දෙයකි. ‘විද්‍යාවේ ආත්මය’ (‘subject of science’) තවදුරටත් පාරභෞතික “මම” නොව බෙදුණු ආත්මයකි. එනම්, එය නිරීක්ෂණය කරන, විධිමත් කරන, නමුත් එහිම ‘සත්තාවේ’ (being) සත්‍යය වෙතින් බහිශ්කරණය කරන ආත්මයයි. 
මෙම බිඳවැටීමේ ආරම්භය සලකුණු කිරීම සඳහා ලැකාන් විසින් බොහෝ විට ගැලීලියෝ විසින් සිදු කල ‘ස්වභාවය’ (‘nature’) ගණිතකරණයට ලක් කිරීම සහ ඩෙකාර්ට්ස්ගේ ‘කොගිටෝව’ (cogito) ගෙනහැර දක්වයි. එනම්, මිනිස් බුද්ධිය ආත්මීය දැනුමෙන් වෙන් කරමින්, ස්වභාවයේ නීති විස්තර කිරීමට ගැලීලියෝ ගණිතය භාවිතා කළේය. ඩෙකාර්ට්ස් විසින් චින්තනය සත්තාවෙන් වෙන් කර, “විද්‍යාවේ ආත්මය” (subject of science) පිරිසිදු නිරීක්ෂකයෙකු ලෙස – වියුක්ත, වෙන් වූ ලෙස තබයි.
නමුත්, විද්‍යාව පිළිබඳව ප්‍රචලිත සහ ජනප්‍රිය අදහසට අනුව “මිනිසා ගින්දර සොයාගත් දිනය” විද්‍යාවේ ආරම්භයයි. විද්‍යාව පිළිබඳව පොදු වාමාංශික අදහස වන්නේ ද එයයි. නමුත් ඊනියා “මිනිසා” (මෙම අර්ථකථනය දෘෂ්ටිවාදීය) ගින්දර “සොයාගත්” දිනයක් හෝ “සොයාගත්” ආකාරයක් හෝ කිසිවෙකුටත් දැනගත නොහැකිය. ඒ පිළිබඳව ඇත්තේ යම් යම් අතීත සාක්ෂි, සාධක මත පසු ආවර්තිතව ගොඩනගන ලද කතන්දර පමණි. එම කතන්දර, නැතිනම් අර්ථකතන ගොඩනැංවීමේදී ඒවාට නොගැලපෙන අතීත සාක්ෂි දෙපසට කර ගැලපෙන සාක්ෂි පෙළගස්වා සංයුක්ත ලෙස පෙනෙන ඉතිහාසයක් ගොඩනගනු ලබයි. 
එම ස්ථාවරයට අනුව මිනිසා ගින්දර සොයාගත් දිනයේ සිට විද්‍යාත්මක ආශ්චර්යන් අද පවතින තත්වයට ක්‍රමයෙන් වර්ධනය වී ඇත. ඉන් පැවසෙන්නේ විද්‍යාව ප්‍රාථමික අවස්ථාවකින් ආරම්භ වී ක්‍රමයෙන් සංකීර්ණ තත්වයක් දක්වා වර්ධනය වන බවය. එම ස්ථාවරයට අනුව මිනිස් අතීතයේ සියලු නිර්මාණ, ගොඩනැංවීම්, සහ වුර්ධීන් නූතන විද්‍යාවේම ප්‍රථමික අවස්ථාවන්ට අයත් ලෙස සලකමින් එම ගිණුමට බැර කිරීමේ දෘෂ්ටිවාදය තැවරු වී තිබේ.
මෙම සන්දර්භය තුළ, අර්ථකථනවල දෘෂ්ටිවාදීමය පදනම හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. නිදසුනක් වශයෙන්, ගින්දර “සොයා ගැනීම” විද්‍යාවේ “ආරම්භය” ලෙස රාමු කිරීමේ අවධාරණය විසින් පිළිබිඹු කරනුයේ බටහිර, ප්‍රගතිශීලී හෝ යටත් විජිත දෘෂ්ටිකෝණයක් පිළිබඳවයි. එනම්, එවැනි ආඛ්‍යානයක් හෝ දෘෂ්ටිවාදයක් ගින්දර භාවිතා කල වෙනත් බටහිරට යටත් වීමට පෙර ජන කොට්ටාශ වලට අදාළ නොවුනි. කෙසේ වෙතත්, නූතන විද්‍යාත්මක ආධිපත්‍ය ලොව පුරා තහවුරු වීමට පෙර අනෙකුත් සංස්කෘතීන් සහ ශිෂ්ටාචාරයන් තමන්ගේම අද්විතීය දැනුම සහ තාක්ෂණික දියුණුව වර්ධනය කර ගෙන තිබූ අතර, ඒවා එකම මූලධර්ම මත පදනම් වී නොතිබුන නමුත් ඒවාට ඇත්තේ අඩු වැදගත්කමක් හෝ ඒවා අඩු වටිනාකමින් යුතු වන බවට සැලකිය නොහැක.
“ජීවයේ සම්භවය සහ සත්ව පරිනාමය” තුල ද ප්‍රකාශ වන්නේ ද ඉහත සඳහන් කල රේඛීය වර්ධනය පිළිබඳව දෘෂ්ටිවාදයයි. එනම්, ඒක ශෛලික ජීවියාගෙන් ආරම්භ වී ජීවයේ සංකීර්ණ තත්වයන් ඇති වූ බවය. මිනිස් පරිනාමය පිළිබඳව විද්‍යාත්මක “සොයාගැනීම” ද ඒ හා සමාන වේ. ඩාවින්ගේ පරිනාමවාදය සඳහා තවත් කොටසක් එකතු කරමින් “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනයේ දී ශ්‍රමය ඉටු කල කාර්ය” නමින් ෆෙඩ්රික් එංගල්ස් විසින් ද පොතක් ලියා ඇත. ඒ මාක්ස්වාදයට අදාලව මිනිස් ශ්‍රමයේ වටිනාකමට අදාලව ර්ඛීය සමාජ සංවර්ධන දෘෂ්ටිවාදය තහවුරු කිරීම සඳහාය. මාක්ස්වාදී සාහිත්‍යයේ “ඓතිහාසික භෞතිකවාදය” යනු සමාජ පරිනාමය, නැතිනම් සමාජ සංවර්ධනය පිළිබඳව විද්‍යාත්මක සොයාගැනීම බව මාක්ස්වාදීන්ගේ පිළිගැනීමයි. ඊට අනුව සමාජය සරල අවස්ථාවක සිට සංකීර්ණ තත්වයක් කරා සරල රේඛීයව (සර්පිලය යනු ද වර්ධනයේ අවාසාන අර්ථයෙන් සරල රේඛීය වේ) ක්‍රමයෙන් ඉදිරියට වර්ධනය වේ.
මාක්ස්ට ද චාල්ස් ඩාවින්ගේ බලපෑම නැහැමින් තිබූ බව පෙනී යන්නේ ඔහුගේ “ප්‍රාග්ධනය” කෘතියේ පිටපතක් ඩාවින් වෙත යවමින් ලියා ඇති ලිපිය දෙස බැලීමේදීය.
ඉහත ස්ථාවර සියල්ලට අදාළ මහා පොදු දෘෂ්ටිවාදයක් තිබේ. එනම්, සරල තත්වයක සිට සංකීර්ණ තත්වයන් කරා සරල රේඛීයව ක්‍රමයෙන් වර්ධනය වීම පිළිබඳවය.
නමුත් නූතන විද්‍යාවට පැහැදිලි ආරම්භයක් ඇත. එම ආරම්භය පිළිබඳව සැලකූ විට ගින්දර සොයා ගත් දිනයේ සිට එය ආරම්භ වූ බව පවසන සමාජ සංවර්ධන දෘෂ්ටිවාදය අභියෝගයට ලක් වන අතර එම ස්ථාවරය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල හැකිය. ඒ නූතන විද්‍යාවට නිශ්චිත ආරම්භයක් (නිශ්චිත ආරම්භක කාලවකවානුවක්) පවතින බැවිනි.
 
නලින් ද සිල්වා මෙසේ පවසයි: 
“බටහිර විද්‍යාව පිළිබඳ මා දරණ ස්ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක් දැනුම් පද්ධතියක් පමණ ය. බටහිර විද්‍යාව එතෙක් තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී  විද්‍යාවන්ට වඩා වෙනස් වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියැවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක් (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක් විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස් වන්නේ එය පදනම්වන චින්තනයේ ඇති වෙනසක් නිසා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි.”
නලින්ට අනුව ද බටහිර විද්‍යාවට (අප නම් කරනුයේ නූතන විද්‍යාව ලෙසය) නිශ්චිත ආරම්භක කාලවකවානුවක් තිබේ. නමුත්, ඔහුට අනුව ඒ දක්වා පැවති අනෙකුත් විද්‍යාවන්ගෙන් එය වෙනස් වන්නේ චින්තනයේ ඇති වෙනසක් නිසා පමණි. නමුත් නලින්ම පිළිගන්නා කාරණය වන්නේ ඔහුම සඳහන් කරන චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී  විද්‍යාවන් ද එකිනෙකට වෙනස් බවය. ඔහුට අනුව එසේ වන්නේ ද චින්තනයේ වෙනස නිසාය. චින්තනය යනු යම් කිසි භාෂාවක් කතා කරන සමාජයක, එම සමාජයට අදාළ නීති-රීති, සමාජ සම්මතයන්-ප්‍රතිමාන ඇතුළු සංස්කෘතික සමාජ ව්‍යුහයන් (මනොවිශ්ලේෂණයට අනුව ‘සංකේත රටාව’ – ‘symbolic order’) තුල යම් ජන කොට්ටාශයක් සිතන ආකාරයයි. මනොවිශ්ලේෂණයට අනුව නම් එසේ වන්නේ අදාළ විද්‍යාවන් බිහි වී ඇත්තේ ඒ ඒ ‘සංකේත රටාවවන්’ (භාෂාව ඇතුළු නීති-රීති, සමාජ සම්මතයන්-ප්‍රතිමාන ඇතුළු සංස්කෘතික සමාජ ව්‍යුහයන්ගේ ක්ෂේස්ත්‍රය) තුල බැවිනි (මේ ආකෘතිය මගින් නලින්ගේ ස්ථාවරය ප්‍රතික්ෂේප නොකෙරේ). එසේම නලින් පෝල් ෆෙයිරාබෙන්ඩ් අනුව යමින් ප්‍රකාශ කරනුයේ “විද්‍යාත්මක විධි ක්‍රමය” (scientific method) යනුවෙන් සුවිශේෂී විධි ක්‍රමයක් විද්‍යාව සතුව නොමැති බවය.
ඊනියා “විද්‍යාත්මක විධි ක්‍රමයේ” දැනුම සැබෑ දැනුම නම් ඉන් පෙර දැනුම ප්‍රතික්ෂේප කල යුතුය. තවත් අකාරයකින් පවසන්නේ නම් 1500 වර්ෂයෙන් පමණ පසු නූතන විද්‍යාව ලෙස වර්ධනය වූ දැනුම සැබෑ දැනුම නම් ඉන් පෙර දැනුම මිත්‍යාවන් විය යුතුය. 
නලින් ද සිල්වා විසින් “බටහිර විද්‍යාව” ලෙස හැඳින්වීම තුල ඊට ගොඩනැගෙන අර්ථය වන්නේ තවත් විද්‍යාවන් අතර බටහිර විද්‍යාව ද තවත් එක් විද්‍යාවක් පමණක් බවය. නලින් එසේ පැවසුව ද පැවති දැනුම් පද්ධතීන් සහ නූතන විද්‍යාව අතර පැහැදිලි වෙනසක් තිබේ (ඒ පිළිබඳව මේ ලිපි පෙළෙ තුල ඉදිරියේදී සාකච්චා කරේ).  
14 වන සියවස තුල ලෝකය තේරුම් ගන්නා ආකාරයෙහි සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරයි. අද අප දකින, විඳින සහ ජීවත්වන ලෝකය කරා පදනම වැටීම ආරම්භ වනුයේ එම යුගයෙන් වන අතර 14 වන සියවස වන විට ද ‘පුනරුදය’ (‘Renaissance’) තුලින් බුද්ධි ‘ප්‍රබෝධි යුගය’ (‘Enlightenment’) සඳහා පදනම සකස් වී තිබුණි. යුරෝපය තුල චින්තනයේ මාරුව (shift) සහ විද්‍යාත්මක විප්ලවය සමඟ බොහෝ විට සම්බන්ධ වූ මෙම යුගයන්, ආනුභවික නිරීක්ෂණ, අත්හදා බැලීම් සහ ගණිතමය තර්කනය කෙරෙහි නව අවධාරණයක් හඳුන්වා දුන්නේය.
කොපර්නිකස්, ගැලීලියෝ, කෙප්ලර්, සහ පසුව නිව්ටන් වැනි පුද්ගලයින්ගේ දායකත්වය, සත්‍යාපනය කළ හැකි සාක්ෂි සහ ප්‍රතිනිෂ්පාදනය කළ හැකි ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කළ විද්‍යාත්මක ලෝක දැක්මක් නිර්වචනය කිරීමට උපකාරී විය. කල්පිතය, අත්හදා බැලීම සහ විශ්ලේෂණය ඇතුළත් එක්තරා ආකාරයක ක්‍රමානුකූල ප්‍රවේශයක් වන “විද්‍යාත්මක විධි ක්‍රමයේ” නැගීම – එහි ස්ථාවරය අනුව “සත්‍ය” හෝ “වාස්තවික” යැයි ප්‍රකාශ කළ හැකි “දැනුම” යන්න නිෂ්පාදනයේදී තීරණාත්මක වර්ධනයක් ලෙස සැලකේ.
මෙහිදී අවධාරණය කල යුතු වැදගත්ම කාරණය වන්නේ සත්‍යාපනය කළ හැකි සාක්ෂි සහ ප්‍රතිනිෂ්පාදනය කළ හැකි ප්‍රතිඵල යන්න පිළිබඳවයි. උදාහරණයක් සඳහා විද්‍යුතය සැලකුවහොත්, ඒ පිළිබඳව ගොඩනගා ඇති න්‍යායන් භාවිතා කරමින් ලබාගන්නා ප්‍රතිඵල නැවත නැවත ප්‍රතිනිෂ්පාදනය කල හැකිය (විදුලි මෝටරය, බල්බය, ආදීයේ සිට වර්තමානයේ ඇති නිෂ්පාදන දක්වා).  
මෙම සන්දර්භය තුළ, ‘දැනුම’ යන්න මැනිය හැකි සහ නිරීක්ෂණය කළ හැකි ද්‍රව්‍යමය සාක්ෂි මත පදනම් විය යුතු බව නූතන විද්‍යාව අවධාරණය කිරීමට පටන් ගත්තේය. මෙය දර්ශනය, ආගම හෝ වෙනත් ආත්මීය විශ්වාස පද්ධතිවල මුල් බැස ඇති පෙර දැනුමේ ආකාර වෙතින් තියුණු ලෙස වෙනස් තත්වයක් විය. විද්‍යාත්මක විප්ලවය නියෝජනය කරන ලද්දේ සාම්ප්‍රදායික අධිකාරිය (ආගමික මූලධර්මය හෝ පුරාණ ග්‍රන්ථ වැනි) මත රඳා පැවතීම වෙතින් ආනුභවිකව, නිරීක්ෂණය කළ හැකි සහ මැනිය හැකි දේවල් ඇතුළු කරුණු කෙරෙහි නව අවධානයක් යොමු කිරීමකට මාරුවීමකි.
 
විද්‍යාව පිළිබඳව ලකානියානු ස්ථාවරය වෙතට ප්‍රවේශ වීම සඳහා මුලින්ම විමසා බැලිය යුතුව ඇත්තේ මනෝ විශ්ලේෂණය සහ නූතන විද්‍යාව අතර සම්බන්ධය ගොඩනැගෙනුයේ කෙසේ ද යන්නයි. 
 
ලැකාන් සඳහා, නූතන විද්‍යාව අර්ථ දැක්වෙන්නේ අනුබද්ධ පෙරවරණයන් (foreclosure) දෙකකනි. ඒ ‘ආත්මයේ’ (subject) පෙරවරණය සහ සත්‍යය යනු ‘හේතුව’ ලෙස වීම (truth as cause) පෙරවරණයි. 
‘ආත්මය’ (‘subject’) යන්නෙන් සරලව අදහස් කරන්නේ බාහිර දෙයකට, එනම්, විශේෂයෙන් සමාජ-සංකේතාත්මක රටාවෙහි (symbolic order) නීතිවලට යටත් වීම පිළිබඳව අර්ථයයි. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව සම්පූර්ණ වශයෙන් යටපත් නොවී ඉතිරි වීමක් ආත්මය සතු වන අතර ආත්මය යනු පුද්ගලයා නොවනවා සේම එය ඉන් වෙනස් වන අතර, එම අර්ථය තුල එයින් අදහස් කරන්නේ ස්වයං-නිර්ණය සහ අනූපමත්වයයි. 
ලකානියානු ආත්මය නෛසර්ගිකවම සවිඥානික දැනුමේ පරාසය සහ ‘අවිඥානය’ (‘unconscious’) අතර බෙදී ඇත. සංකේතීය රටාව යනු ආත්මය ජීවත් වන සහ ක්‍රියාත්මක වන සමාජ ලෝකය නම් කිරීම සඳහා වන යෙදුමයි (මේ සම්බන්ධයෙන් ලිපි පෙළ විකාශනයේදී තවදුරටත් අර්ථ දැක්වේ). දැනට පවසන්නේ නම්, සංකේතීය රටාව යනු භාෂාව සහ එහි ශබ්දයේ නීති-රීති (ශබ්ද ආකාරය යනු ශබ්දයක් නොවන අතර ශබ්දයක් නම් එය අනීවාර්ය ලෙසම අර්ථවත්ය) ඇතුළු කොන්දේසීන් සහ ව්‍යාකරණ නීති, නීති, නීති – සමාජ ප්‍රතිමාන, සම්මතයන් සහ සමාජ ව්‍යුහයන්ගේ ක්ෂේත්‍රයයි. සාමාන්‍යයෙන් එය සමාජීය සහ ආත්මීය පැවැත්ම පාලනය කරන සියලුම නීති වලින් සමන්විත වේ. ආත්මයට සංකේතීය රටාවට උපත ලැබීම හැර වෙනත් විකල්පයක් නැත. ළදරුවෙකු මෙලොවට ඉපදෙන විට ඔහු හෝ ඇය උපත ලබනුයේ අර්ථකතනය වූ ලෝකයක් තුලටය. එනම්, ඔහු මෙලොවට ඇතුල්වන්නේ භාෂාව, නීති – සමාජ ප්‍රතිමාන, සම්මතයන් සහ සමාජ ව්‍යුහයන් වශයෙන් ගොඩනැගුන ලෝකයක් තුලටය. මෙම ක්ෂේත්‍රය තුල භාෂාව, සංස්කෘතිය සහ සමාජ ආයතන වැනි සංකේතාත්මක පද්ධති හරහා පුද්ගලයින් ලෝකයට සම්බන්ධ වන ආකාරය පාලනය කරයි. 
ඒ අනුව අප ජීවත් වන සමාජ අනුපිළිවෙල මගින් අපට ලබා දී ඇති ආත්මීය භූමිකාවන් අපි අල්ලා ගනිමු. එසේම සංකේත රටාව විසින් අපගේ ආශාව සහ ආශාවේ දිශානතිය අපට පවරා දෙනු ලැබේ. එබැවින් ආත්මය-ස්වයං සත්තාව යන අදහස ප්‍රතික්ෂේප වන අතර එම රටාවට යටත් ආත්මයක් මිස ස්වයං සත්තාවක් නොමැත. කෙසේ නමුත් කිසි ලෙසකින් යටත් කිරීමට භාජනය කල නොහැකි, සම්පූර්ණයෙන් අර්ථවත් කල නොහැකි, අර්ථයෙන් ඔබ්බට ඇති තත්වයක් ආත්මය සතුය (ලකානියානු අර්ථයෙන්). ආත්මය යටත් කිරීමට එරෙහිව විප්ලවීය ලෙස නැගී සිටිනුයේ එබැවිනි. 
ආත්මයේ සංස්ථාපනය තුළ භාෂාවේ වැදගත්කම ලැකාන් විසින් අවධාරණය කරයි. ඔහුට අනුව, ආත්මය සැමවිටම මැදිහත්වනු ලබන්නේ සංකේත රටාවෙහි කොටසක් වන භාෂාව මගිනි. අපගේ සිතුවිලි සැමවිටම අප උපතින්ම ලබා ඇති භාෂාව සහ සංස්කෘතික සම්මතයන් මගින් හැඩගස්වා ඇති බව එහි අර්ථයයි. ඒ අනුව අප සිතන අකාරය හෝ අපගේ අනන්‍යතාවය අපට කිසි විටෙකත් සම්පූර්ණයෙන් පාලනය කල නොහැකි වේ. එනම්, එය අපගේ සම්පූර්ණ පාලනයෙන් යුක්ත නොවේ. මන්ද ඒවා අප මෙලොවට ඉපදීමට පෙර සිටම පවතින සංකේත රටාව මගින් හැඩගැස්වේ. එනම්, අපගේ අත්දැකීම් ව්‍යුහගත කරන සංකේත රටාවක් මගින් හැඩගස්වා ඇති බැවිනි. වෙනත් වචන වලින් කිවහොත්, අප සිතන දේට සහ අප අපවම අත්විඳින ආකාරයට පවා බලපෑම් කරනුයේ භාෂාමය මැදිහත්වීම (භාෂාව සහ සමාජ ව්‍යුහයන්) මගිනි.  
ඉහත ස්ථාවරය විද්‍යාවට අදාලව පවසන්නේ නම්, ලකානියානු අර්ථයෙන් විද්‍යාත්මක දැනුම සැම විටම භාෂාවේ සහ අවිඥානයේ (unconscious) ව්‍යුහයන් මගින් සීමා වී ඇති අතර, එම නිසා “විද්‍යාව විසින් පවසන”, ඊට අදාළ ‘වාස්තවික යථාර්ථයට’ (‘objective reality’) සෘජු ප්‍රවේශයක් ලබා දිය නොහැකිය. විද්‍යාව සැමවිටම ඊට අදාළ සංකේත රටාව (symbolic order) තුළ රාමු කර ඇත. 
ලැකාන්ගේ ඉදිරිපත් කිරීම තුල “ආත්මයේ පෙරවරණය” යන්නෙන් අදහස් කරන්නේ ආත්මයේ සැලකිය යුතු අංගයක් සංකේත රටාව වෙතින් බැහැර කරන ක්‍රියාවලියක් වන අතර එමඟින් එම අංගය මනෝභාවයට සම්පූර්ණයෙන්ම නිරූපණය වීම හෝ ඒකාබද්ධ වීම වළක්වන බවයි (ලැකානියානු න්‍යායේ ‘පෙරවරණය’ සඳහා වඩාත් ප්‍රසිද්ධ උදාහරණය වන්නේ ‘පියාගේ නාමය’- ‘the name of the father’ පෙරවරණයයි ). මෙහිදී සයිකොසියවට (psychosis) හේතු විය හැකි නිසි සංකේතාත්මක මැදිහත්වීමක් නොමැතිකම ගැන සඳහන් කරයි. මෙම අර්ථයෙන් පෙරවරණය යනු අත්‍යවශ්‍ය සංකේතාත්මක අංගයක් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස තේරුම් ගත හැකි අතර එමඟින් ආත්මයට ඒවායේ සංකේතාත්මක ව්‍යුහය තුල පරතරයක් ඉතිරි වේ. තවදුරටත් පවසන්නේ නම්, ‘පෙරවරණය’ යනු සංකේත රටාව (භාෂාව, නීතිය සහ සමාජ ව්‍යුහයන්හි ක්ෂේත්‍රය) වෙතින් මූලික හැඟවුම්කාරකයක් (signifier) බැහැර කිරීමයි. එසේ හැඟවුම්කාරකයක් පෙරවරණය වූ විට, එය අවිඥානය තුලට අවරෝධනය නොකෙරේ (නියුරෝසියාවේ-neurosis දී මෙන්), නමුත් ආත්මයේ සංකේතාත්මක රාමුව වෙතින් සම්පූර්ණයෙන්ම අවිද්‍යාමාන වේ (absent). මෙම අප්‍රාප්තිය විසින් ව්‍යුහාත්මක හිස්බවක් නිර්මාණය කරන අතර ‘පෙරවරණය’ වූ එම මූලාවයවය යථ (the REAL) තුල (රෝග ලක්ෂනාත්මකව) ආපසු පැමිණෙන විට සයිකොටික (psychotic) සංසිද්ධීන් වලට තුඩු දිය හැකිය (උදා: මායාවන් හෝ මෝහයන්).  
විද්‍යාත්මක දැනුම පිළිබඳ ඔහුගේ විවේචනයේදී, ලැකාන් අවධාරනය කරන්නේ විද්‍යාවට මිනිස් ආත්මය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් හෝ එය සම්පූර්ණ අර්ථයකට ගෙන ඒමක් කළ නොහැකි බවයි. මන්ද එය ආත්මීයත්වයේ සංකීර්ණත්වය සහ ගැඹුර, අවිඥානික මනස සහ මිනිස් අත්දැකීම්වල චිත්තවේගීය හා අතාර්කික කොටස් නොසලකා හරින බැවිනි. ‘යථ’ යනු ‘සංකේතකරණය’ (භාෂාව) සහ නිරූපණය (‘පරිකල්පනය’) යන දෙකෙන්ම ගැලවී යන දෙය වන අතර, ලෝකය නිරීක්ෂණය කළ හැකි, තාර්කික සංසිද්ධි දක්වා ඌනනය කිරීමට උත්සාහ කරන විට විද්‍යාව බොහෝ විට එම ඌනනය කිරීම් තුල එය බැහැර කරයි. “විද්‍යාව යනු බැහැර කිරීමේ ක්‍රමය වන අතර එය අත්පත් කර ගැනීමේ මූලධර්මයක් හරහා ක්‍රියාත්මක වේ” (ලකාන්). 
නැවතත් පවසන්නේ නම්, ලැකාන්ට අනුව, නූතන විද්‍යාව යනු හුදෙක් විධි ක්‍රමයක් හෝ දැනුම් සම්භාරයක් නොවේ. එය ව්‍යුහාත්මකව කරුණු දෙකක් බැහැර කරන (1.The Subject (of the unconscious), and 2.Truth as Cause), එනම් පෙරවරණයට ලක් කරන (පූර්ව-වසා දමන) කතිකාවකි.
දැනුම නිෂ්පාදනයේ දී ‘සත්‍යය’ තීරණාත්මක හෝ හේතුඵල බලවේගයක්ය (causal force) යන අදහස නූතන විද්‍යාව ව්‍යුහාත්මකව බැහැර කරයි.

එවිට “සත්‍ය හේතුව ලෙස වීම පෙරවරණය” යනු කුමක්ද? 

පූර්ව-නූතන චින්තනයේ (උදා: ඇරිස්ටෝටල්, දේවධර්මය, පාරභෞතික විද්‍යාව) සත්‍යය යනු අත්හදා බැලීමකින් (පරීක්ෂණ හෝ සම්පරීක්‍ෂණ) පසුව සොයාගත් දෙයක් නොවේ. සත්‍යය යනු පැවැත්මට හේතු වන දේ, ලෝකය චලනය කරන දේ සහ දැනුම පදනම් කරන දේවල කොටසකි. එය සාධ්‍යතාමය (teleological) විය. එනම්, සත්‍යය සහ අරමුණ ‘ස්වභාවයේ’ (nature) සහ ආත්මීයත්වයේ හේතුකාරක බලවේග විය.

මනො විශ්ලේෂණයට අදාලව පවසන්නේ නම්, සත්‍යය යනු නියත කරුණක් නොව, ආත්මය අවිඥානයට දක්වන සම්බන්ධතාවය තුළින් මතුවන දෙයකි. එයට හේතුඵල බලයක් ඇත. ක්ෂිතියක, ආශාවක, මර්දනයක සත්‍යය විසින් ඔබේ මානසික යථාර්ථය ව්‍යුහගත කරයි. එබැවින් මනෝ විශ්ලේෂණයේ දී, ‘සත්‍යය’ යන්න බලපෑම් ඇතිකිරීමට හේතු වේ. එය මධ්‍යස්ථ නොවේ.

නමුත්, විද්‍යාව විසින් එවැනි අකාරයේ ‘සත්‍යය’ බහිශ්කරණය කරයි.

නූතන විද්‍යාවේදී ‘සත්‍යය’ මෙසේ වේ:

* සත්‍යාපනයේ සහසම්බන්ධය (නිරීක්ෂණය කළ හැකි දත්ත සමඟ ගැළපෙන්නේ නම් යම් සාධ්‍යයක් සත්‍ය වේ). 

* දැනුමේ නිෂ්පාදනය එහි ආරම්භය නොවේ. උපන්‍යාස, අත්හදා බැලීම් (පරීක්ෂණ හෝ සම්පරීක්‍ෂණ), ගණනය කිරීම් වලින් ආරම්භ කරයි. ඉන්පසු සත්‍යාපනය හෝ අසත්‍යකරණය කරයි. ප්‍රතිඵලය – “සත්‍යයක්” යනු (E=mc² හෝ පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වීම වැනි) – ඔබ ළඟා වන දෙයක් සහ විධි ක්‍රමයේ ප්‍රතිඵලයකි.

වෙනත් වචන වලින් කිවහොත්, විද්‍යාව සත්‍යයෙන් ආරම්භ නොවන මුත් එය සත්‍යයෙන් අවසන් වේ. එනම්, ඔබ ‘සත්‍යය’ කලින් දැන ගැනීමට පූර්වානුමේය නොකරයි. ඔබ දැනුම ගොඩනඟන අතර, දත්ත සහ ආකෘති තහවුරු කළහොත් සත්‍යය ඉස්මතු වේ.

ඊට ප්‍රතිවිරුද්ධව, පූර්ව-නූතන හෝ පාරභෞතික චින්තනය නූතන විද්‍යාවට පෙර (දේවධර්මයේ, පාරභෞතික විද්‍යාවේ හෝ සාම්ප්‍රදායික විශ්ව විද්‍යාවේ) සත්‍යය දැනටමත් එහි ඇති බවත්, අනාවරණය වීමට බලා සිටින බවත් පිළිගන්නා ලදී. එනම්, “දෙවියන් වහන්සේ සත්‍යයයි”; නැතහොත් “සත්‍යය පළමු හේතුවයි.” ‘දැනුම’ මෙම පූර්වයෙන් පවතින, හේතුකාරක සත්‍යය කරා යන මාර්ගයක් විය. එබැවින් එම පද්ධතිවල: සත්‍යය දැනුමේ ආරම්භයයි (Truth is the origin of knowledge).  එබැවින් නූතන විද්‍යාව විසින් සත්‍යය එහි මූලාරම්භය ලෙස නොව දැනුමේ නිෂ්පාදනයක් ලෙස සලකන බව ලැකාන් පවසන විට, ඔහු ඉස්මතු කරන්නේ: විද්‍යාව පාරභෞතික විද්‍යාවෙන් (සත්‍යය මඟ පෙන්වන හෝ හේතුඵල මූලධර්මයක් ලෙස දුටු) බිඳී යන ආකාරයයි. එසේ කිරීමෙන්, එය ආත්මය, ආශාව සහ අවිඥානය ද බැහැර කරයි. නමුත් ඒ සියල්ල මනෝ විශ්ලේෂණය විසින් කේන්ද්‍රීය ලෙස සලකයි. ඒ අනුව විද්‍යාත්මක සිද්ධාන්තයක සත්‍යතාව, ආත්මයේ අවිඥානය, ඉතිහාසය හෝ ආශාව මත රඳා නොපවතී.

මේ අනුව, අනෙක් අනුබද්ධ පෙරවරණය වන විද්‍යාව විසින් “සත්‍යය හේතුවක් ලෙස” යන්න පෙරවරණය කිරීම මේ අකාර වලින් සිදු වේ. 

     * සත්‍යය වෙතට නියෝජිතභාවයක් හෝ ආශාවක් ඇති බවට ඇති ඕනෑම අදහසක් එය ප්‍රතික්ෂේප කරයි.

     * එය ‘හේතුව’ සහ ‘බලපෑම’ ද්‍රව්‍යමය හෝ විධිමත් කොන්දේසීන් මගින් හුදකලා කිරීමට උත්සාහ කරයි. නමුත් ඒ කිසි විටෙකත් සංකේතාත්මක, අවිඥානික හෝ සදාචාරාත්මක කොන්දේසීන් මගින් නොවේ. 

නැවතත් කෙටියෙන් විස්තර කරන්නේ නම්, විද්‍යාව රඳා පවතින්නේ ආත්මයක් නොමැති (ආත්මහරණය වූ) දැනුම සහ අර්ථයක් නොමැති හේතුඵලවාදය මතය. ‘සත්‍යය’ හේතුව වීම යන්න පෙරවරණය කිරීමෙන්, සත්‍යයන් මතුවන සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳ සංකේතාත්මක, සදාචාරාත්මක සහ අවිඥානික මානය විද්‍යාව නොසලකා හරියි.

මනෝ විශ්ලේෂණය, ඊට වෙනස්ව, ‘සත්‍යය’ හේතුව වන බව අවධාරනය කරයි. නමුත් ඒ ආනුභවික හේතුව (empirical cause) නොව ආත්මයේ ආශාව, ක්ෂිතිය සහ අර්ථය ව්‍යුහගත කරන සංකේතාත්මක හේතුවකි.

ලකාන් මෙසේ පැවසීය:

“ප්‍රබන්ධයේ ව්‍යුහයෙන් තොරව සත්‍යයක් නොමැත.”

පෙරවරණය යන්න තේරම් ගැනීම සඳහා පරිනාමවාදයේ එන “තම වර්ගයා බෝ කිරීම” යන්න උදාහරණයට ගත හැකිය. ප්‍රාථමික මෙන්ම ද්විතීක අධ්‍යාපනයේදී ද උගන්වන ආකාරයට මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ තම වර්ගයා බෝ කිරීමයි. ඔවුන් ජීවත් වන්නේ ඒ සඳහාය.

උදාහරණයකට, ශ්‍රී ලාංකීය සමාජය සැලකුවහොත්, මෙම දෘෂ්ටිවාදය සංස්ථාපනය වීමට පෙර මිනිසුන්ගේ ජීවත් වීම “තම වර්ගයා බෝ කිරීම සඳහා” තීරණය වී ඇති බවට කතිකාවක් සමාජයේ පැවතියේ නැත. අප කුඩා කල හමු වූ පාසල් නොගිය මුතුන් මිත්තන් තුල එවැනි දැක්මක් නොතිබුණි. සියලු දෙනා තම දූ දරුවන් ඥාති මිත්‍රාදීන් හෝ තමාට හමු වන අනෙක් මිනිසුන් සමග සබඳකම් පැවැත්වීම එවැනි දෘෂ්ටිවාදයක් තුල තීරණය වී නොතිබුණි. නමුත් පාසල් අධ්‍යාපනය හෝ ලබා ඇති බහුතරය එම “විද්‍යාත්මක ඉදිරිපත් කිරීම” පිළිගැනීම තුල එතෙක් පැවති මිනිස් සබඳතා සහ ස්වභාවය විසංයෝජනය වී නව ආකාරයකින් ගොඩනැගීම සිදුව ඇත. එනම්, එම දැක්ම තුල, දරුවන්ට අනුව තම දෙමාපියන් යනු ස්වභාවය වෙතින් තමන්ට පැවැරී ඇති කාර්යභාරයක් ඉටුකරන දෙදෙනෙකු වේ. එසේම තමන් ද එසේය. තමන්ට හමුවන අනෙක් අය ද එසේය. ගහකොළ ඇතුළු සතුන් ද එසේය. ඒ අනුව සමාජයේ නීති රීති, සමාජ ප්‍රතිමාන, සංස්කෘතික අංගයන් සහ ව්‍යුහයන් වෙනස් වීමට භාජනය වීම සඳහා එම කතිකාව බලපා ඇත. ස්වභාවය සමග තිබූ පැරණි සම්බන්ධය වෙනස් වීම සඳහා ද එම පෙරවරණය වීම බලපා තිබේ (මේ පිළිබඳව ඉදිරි ලිපි තුල සවිස්තරාත්මකව පැහැදිලි කෙරේ).

ලකාන්ට අනුව විද්‍යාව යනු ‘යථ’ (REAL) සමඟ සම්බන්ධ වීමට වඩාත් පිරිපහදු කළ සහ ක්‍රමානුකූල මාධ්‍යයක් වේ. එනම් සාමාන්‍ය සමාජය වෙතින් වියුක්ත සහ ස්වායත්ත පුද්ගල සහ ආයතනික පද්ධති ධූරාවලියක් තුල විද්‍යාවටම සුවිශේෂීව ගොඩනැගී ඇති සංකේත රටාවක් මගින් එය සිදුවීමයි. නමුත් එයට කිසිවිටකත් යථට ඇති පරතරය පියවිය නොහැකි අතර එම පරතරය වඩාත් දුරස්ථ කරමින් තිබේ. කෙසේ වෙතත් එකිනෙකට අනුයාත ආරෝහණ පටිපාටිගත ධූරනුක්‍රමික ආයතන පද්ධතියක් සහ පුද්ගල ධූරනුක්‍රමිකතාවයන් හරහා හදාළ යුතු සහ එම හැදෑරීම තුල තේරී පත්වන අයට පමණක් ධූරවලිගතව ප්‍රවේශ විය හැකි එම සුවිශේෂී සංකේත රටාව තුල විද්‍යාව ක්‍රියාත්මක වන්නේ භාෂාව සහ නීති මගින් ව්‍යුහගත කර ඇති සංකේතීය රටාව තුළය (අපගේ ආත්මය ගොඩනැගෙන).

එක් අතකින්, විද්‍යාවේ “වාස්තවිකත්වය” (objectivity) ලුහුබැඳීම, යථ කරා ගමන් කිරීමේ ලැකානියානු සංකල්පයට සමපාත බවක් පෙනේ. විද්‍යාව පරිකල්පනීය (imaginary) සහ සංකේතීය (symbolic) විකෘති කිරීම් මඟ හැරීමට, එනම් විද්‍යාවට අදාලව එවැන්නක් සිදු නොවන බවට පෙන්වීමට උත්සාහ කරන්නේ මැදිහත් නොවූ යථට සමීප දෙයක් හෙළි කිරීම වෙනුවෙන්ය. 

උදාහරණයක් ලෙස, විද්‍යාවට සංජානනයෙන් ස්වාධීනව වස්තූන්ගේ ප්‍රාථමික ලක්ෂණ අනාවරණය කර ගත හැකි බවට වූ ජෝන් ලොක්ගේ ප්‍රකාශය මෙම අදහස සමඟ අනුනාද වේ.

කෙසේ වෙතත්, විද්‍යාත්මක වාස්තවිකත්වය ලකානියානු යථ සමඟම සමපාත නොවේ. ලැකානියානු චින්තනයේ යථ යන්න විද්‍යාවෙන් හෝ වෙනයම් අකාරයකින් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත හැකි හෝ නිරූපණය කළ හැකි දෙයක් නොවේ. කල හැක්කේ ඊට අදාළව යම් අසම්පූර්ණ ආකෘතියක් ගොඩනගා ගැනීම පමණි.

විද්‍යාව යථ දෙසට අභිනයන් කරන සංකේතාත්මක රාමුවක් ලෙස දැකිය හැකි නමුත් මූලික වශයෙන් මානව නිර්මිතයන්ගේ සහ භාෂාවේ ක්ෂේත්‍රය තුළ පවතී. විද්‍යාවට අනුව එය වාස්තවිකත්වය සඳහා වෙහෙසෙන අතර ලෝකය පිළිබඳ “සත්‍යයන් ක්‍රමයෙන් අනාවරණය” කර ගැනීමට උත්සාහ කරන අතරම, එය ඊටම අදාළ භාෂාවක් සහ සංකේතීය රටාවක් මගින් මැදිහත් වේ.  

පූර්ව-විද්‍යාත්මක සමාජවල සංකීර්ණ සංකේතීය පද්ධති තිබූ බව ලැකාන් සහ ශිෂැක් යන දෙදෙනාම පිළිගනිති. මෙම පද්ධතිවල පුරාවෘත්තයන් (Myths), ආගමික ආඛ්‍යාන, පාරභෞතික රාමු ඇතුළත් ව පැවතුනි. විද්‍යාව හෝ භෞතිකවාදය පවසන පරිදි මේවා හුදෙක් අවබෝධ කර ගැනීමේ ප්‍රාථමික උත්සාහයන් නොව, යථ සමඟ සම්බන්ධ වීමේ සංකීර්ණ ක්‍රම විය.

ලිපියේ ඉහතින් සඳහන් කල පරිදි විද්‍යාව යනු මිනිසා ගින්දර සොයාගත් දිනයේ සිට මේ දක්වා පැමිණීමක් ලෙස පිළිගන්නා ‘භෞතිකවාදයේ’ තර්කය පවසන පරිදි පූර්ව විද්‍යාත්මක දැනුමේ ආකාර හුදෙක් විද්‍යාත්මක අවබෝධයේ වැරදි හෝ ප්‍රාථමික අනුවාදයන් නොවේ. මනෝ විශ්ලේෂණයට අනුව ඒවා යථ සමඟ සම්බන්ධ වීම සඳහා වූ “මානව වර්ගයාගේ” අරගලය පිළිබිඹු කරන සංකීර්ණ සංකේතීය පද්ධති නියෝජනය කරයි (හොඳම උදාහරණය වන්නේ කන බොන නොකන නොබොන දේවල් වැනි අදටත් විද්‍යාත්මක දැනුමට අර්ථකථනය කල නොහැකි මිනිස් සත්තාවට අදාල මූලික අවශ්‍යතාමය දැනුම ගොඩනැගී ඇති ආකාරයයි. ඒවාට අදාළ දැනුම කෙසේ ගොඩනැගුණි ද යන්න කිසිවෙකුටත් පැවසිය නොහැක.). 

පූර්ව විද්‍යාත්මක දැනුම ක්‍රියාත්මක වූයේ සුවිශේෂී බවට පත්කරන ලද සංකේත පද්ධතියක් මගින් නොව සාමාන්‍ය සමාජයට අදාළ සංකේතීය සහ පරිකල්පනීය ක්ෂේත්‍ර තුළය. මෙම පද්ධති ආඛ්‍යාන සහ සංකේත හරහා යථ සමග මිඩංගු විය.

ඉහතින්ද සඳහන් කල පරිදි විද්‍යාව නියෝජනය කරන්නේ විශේෂිත ආකාරයේ සංකේතීය පද්ධතියකි. විද්‍යාවට අනුව එය ‘වාස්තවික යථාර්ථය’ (objective reality) නිර්මාණය නොකරන නමුත් එය තේරුම් ගැනීම සඳහා නව රාමු සපයයි. එනම්, ඊට අනුව යථාර්තය (reality) ගොඩනන්වන්නේ අප විසින් නොව, අපෙන් ස්වායත්ත යථාර්තයක් ඇති අතර (‘වාස්තවික යථාර්තය’) කල යුතුව ඇත්තේ එය සංජානනය කිරීමයි. නමුත් ලකානියානු ස්ථාවරයට අනුව විද්‍යාත්මක කතිකාව යථ සමග ගනුදෙනු කරමින් එය සංකේතනය කරනා (වටහා ගන්නා) ආකාරය සහ අන්තර් ක්‍රියා කරන ආකාරය පරිවර්තනය කරයි. ඒ අනුව විද්‍යාත්මක දැනුම ද ඊට පෙර පැවති දැනුම් පද්ධතීන් මෙන්ම ස්වභාවයෙන් දෘෂ්ටිවාදී වේ. වෙනස ඇත්තේ විද්‍යාවට අදාළ දෘෂ්ටිවාදය පෙර දැනුම් පද්ධතීන් වල මෙන් සමාජීය නොවීමයි. එනම්, එය ධූරවලිගත අධිකාරීත්ව ආයතන පද්ධතියක් හරහා ක්‍රියාත්මක වේ. එම අධිකාරීත්වය විසින් අවුල් සහගත යථ මත ව්‍යුහයක් පටවයි.

පූර්ව-විද්‍යාත්මක පද්ධති වලට මෙන්ම විද්‍යාවට ද යථ සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට හෝ නියෝජනය කිරීමට නොහැකිය. මේ අනුව, විද්‍යාව සංස්ථාපනය වීමට පෙර යථාර්ථයේ ආකාරයක් තිබූ නමුත් අද අප එය තේරුම් ගන්නා ආකාරයට එය “වාස්තවික” නොවීය. එය එකල පැවති සංකේතීය රාමු මගින් හැඩගස්වා ඇත. එනම්, අප “වාස්තවික” ලෙස සලකන දේ දෘෂ්ටිවාදීමය ව්‍යුහයන්ගෙන් දැඩි ලෙස බලපෑමට ලක්වන බවයි.

 

යථ පිළිබඳ අපගේ සංජානනය සැමවිටම අපගේ විශ්වාසයන්, ආශාවන් සහ සමාජ සන්දර්භයන් මගින් වර්ණවත් වේ. ඒ අනුව, පූර්ව විද්‍යාත්මක අවබෝධයන් යනු හුදෙක් ප්‍රාථමික අවබෝධයන් නොව, එම සමාජවල දෘෂ්ටිවාදාත්මක හා සංස්කෘතික සන්දර්භයන් පිළිබිඹු කරන සංකීර්ණ පද්ධතීන් විය. සංකේතකරණයට ප්‍රතිරෝධය දක්වන දෙය ලෙස ලැකාන් යථ (the Real)අවධාරණය කළද, ඔහු එය ‘වාස්තවික යථාර්ථය’ (objective reality) සමඟ සමාන නොකරයි (කිසි ලෙසකින් සමාන නොවේ). ඒ වෙනුවට, ඔහු යෝජනා කරන්නේ විද්‍යාව පවසන “වාස්තවික යථාර්ථය” යන්න සැමවිටම අපගේ සංජානන සහ අර්ථකථන හරහා පෙරහන් කර ඇති අතර ඒවා නෛසර්ගිකවම ආත්මීය බවය.

ලැකාන් තර්ක කරන්නේ, විද්‍යාව ක්‍රියාත්මක වන්නේ “වාස්තවිකව” ප්‍රමාණනය කළ නොහැකි හෝ ඔප්පු කළ නොහැකි ඕනෑම දෙයක් බැහැර කිරීමෙන් බවයි. ඔහු විසින් විද්‍යාව සැලකුවේ නිශ්චිත ආකාරයේ කතිකාවක් ලෙසයි – එය භාෂාවේ සහ දැනුමේ ව්‍යුහගත පද්ධතියකි. නූතන විද්‍යාව වාස්තවිකත්වය (objectivity), ප්‍රමාණකරණය සහ අනුභූතික නිරීක්ෂණයට (objectivity, quantification, and empirical observation) ප්‍රමුඛත්වය දෙන බවත්, ආශාව, අවිඥානය සහ ආත්මයේ අනූපම (unique) අත්දැකීම වැනි ආත්මීය අංග ක්‍රමානුකූලව බැහැර කරන බවත් ඔහු පෙන්වා දදුන්නේය. මෙම අර්ථයෙන් ගත් කල, විද්‍යාව විසින් ආත්මය “පෙරවරණය කරයි” (ආත්මයේ පෙරවරණය). එනම්, එය ආත්මීය සත්‍යයේ මානය එහි රාමුවෙන් බැහැර කරයි (“excludes the dimension of subjective truth”). එම බැහැරකිරීම් තුලට අවිඥානික ආශාව සහ යථ වැනි මිනිස් මනෝභාවයේ ආත්මීය මානයන් ඇතුළත් වේ (විද්‍යාව යම් ආකාරයක පෙරවරණයක් ඇතුළත් කරගන්නා බව ලැකාන් පවසන විට, ඔහු අදහස් කරන්නේ විද්‍යාව, එහි දැඩි ස්වභාවයෙන්ම, දැනුම සොයා යාමේදී ආත්මයේ සහ අවිඥානයේ භූමිකාව බැහැර කරන හෝ ප්‍රතික්ෂේප කරන බවයි). ලැකාන්ගේ දෘෂ්ටිකෝණයට අනුව, තාර්කික කොන්දේසීන්, මැනිය හැකි සහ තේරුම් ගත හැකි දේ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විද්‍යාව අතාර්කික, ආත්මීය සහ අවිඥානික දේ බැහැර කරයි. “විද්‍යාව විසින් අවිඥානය ප්‍රතික්ෂේප කරන ලදුව තිබීම, පෙරවරණයේ ආකෘතියකි” යනුවෙන් ලකාන් පවසයි.
 
නැවතත් වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, විද්‍යාව විශ්වීය නීති සහ “වාස්තවික සත්‍යයන්” කෙරෙහි නාභිගත වන අතර, මිනිස් අත්දැකීම්වල ආත්මීය, පුද්ගලික හෝ අවිඥානික මානයන් සඳහා ඉඩක් ඉතිරි නොකරයි.
මෙම බැහැර කිරීම විද්‍යාත්මක කතිකාව තුළ “හිඩැසක්” නිර්මාණය කරයි. එය ‘සයිකොසියාව’ (psychosis) තුල පෙරවරණය මගින් නිර්මාණය කරන පරතරයට සමානය වේ. කෙසේ වෙතත්, සයිකොටික ලක්ෂණ ලෙස ප්‍රකාශ මාන වීම වෙනුවට, විද්‍යාව තුල මෙම පරතරය “අන්ධ ලපයක්” (blind spot) ලෙස ප්‍රකාශ වේ. එනම්, දැනුම නිෂ්පාදනයේදී ආත්මයේ කාර්යභාරය පැහැදිලි කිරීමට ඇති නොහැකියාවයි. 
ලැකාන්ගේ විද්‍යාව පිළිබඳ විවේචනය ඔහුගේ පුළුල් දාර්ශනය පිළිබඳව විවේචනය සහ මනෝ විශ්ලේෂණ ව්‍යාපෘතිය සමඟ සමපාත වේ. ඔහු තනිකරම, ශුද්ධ ලෙසම වාස්තවික හෝ විශ්වීය යැයි කියා ගන්නා පද්ධතිවල (විද්‍යාව වැනි) සීමාවන් ඉස්මතු කිරීමට උත්සාහ කළේය. ආත්මය සහ අවිඥානය බැහැර කිරීමෙන්, විද්‍යාව විසින් මිනිස් හැසිරීම්, ආශාව සහ දැනුම නිෂ්පාදනය හැඩගස්වන බලවේග නොසලකා හැරීමේ දැඩි අවදානමක් ඇත. මනෝ විශ්ලේෂණය විද්‍යාවට ප්‍රතිවිරුද්ධ, එනම් ප්‍රතිසංවාදයක් ඉදිරිපත් කරන්නේ විද්‍යාව විසින් පෙරවරණය කරන සත්‍යයන් ගවේෂණය කරමින් එය ආත්මය සහ අවිඥානය පෙරට ගෙන එන බැවිනි. එබැවින් ලැකාන් ප්‍රකාශ කළේ “විද්‍යාව ආත්මය බැහැර කරන කතිකාවක් මෙන් ව්‍යුහගත වී ඇත” යනුවෙනි.
උදාහරණ සහිතව පැහැදිලි කරන්නේ නම්, මනෝ විද්‍යාවේදී (මනොවිශ්ලේෂණය පිහිටුවන්නේ මනෝ විද්‍යාවට එරෙහිවය), හැඟීම් හෝ අවිඥානික ආශාවන් වැනි ආත්මීය (subjective) සංසිද්ධි බොහෝ විට මොළයේ ක්‍රියාකාරිත්වය හෝ හෝමෝන මට්ටම් වැනි මැනිය හැකි විචල්‍යයන් දක්වා ඌනනය කරනු ලබන අතර, මිනිස් අත්දැකීම්වල ගැඹුරු ආත්මීය සහ සංකේතීය මානයන් නොසලකා හරිනු ලැබේ. ආත්මීයත්වය (subjectivity) මෙසේ පෙරවරණය වීම විසින් විද්‍යාත්මක කතිකාවන් විසින් පුද්ගල අත්දැකීම්වල පොහොසත්භාවය බැහැර කරන පරතරයක් නිර්මාණය කරයි. නූතන ස්නායු විද්‍යාව (neuroscience) සහ ඥානසම්බන්ධී විද්‍යාව (cognitive science) විසින් බොහෝ විට මිනිස් හැසිරීම් තනිකරම ජීව විද්‍යාත්මක හෝ පරිගණකමය ආකෘති හරහා පැහැදිලි කිරීමට උත්සාහ කරන අතර, අවිඥානයේ භූමිකාව නොසලකා හරියි. උදාහරණයක් ලෙස: මනෝ විශ්ලේෂණයේ කේන්ද්‍රීය සංකල්පයක් වන අවිඥානය, සෘජුව නිරීක්ෂණය කිරීමට හෝ ප්‍රමාණනය කිරීමට නොහැකි නිසා, බොහෝ විට විද්‍යාත්මක නොවන ලෙස බැහැර කරනු ලැබේ. මෙය මිනිස් යථාර්ථය පිළිබඳව ‘තර්ක බුද්ධියට’ (reason) එකඟ, සුජාත සහ නීත්‍යානුකූල මානයක් ලෙස විද්‍යාව විසින් අවිඥානය පිළිබඳව පෙරවරණය කිරීම පිළිබිඹු කරයි.

භෞතික විද්‍යාවේදී, මහා පිපිරුමේ ආරම්භය හෝ විඥානයේ ස්වභාවය වැනි විශ්වය පිළිබඳ ඇතැම් පදනම් ප්‍රශ්න බොහෝ විට විද්‍යාවේ විෂය පථයෙන් පිටත ලෙස සලකනු ලැබේ. උදාහරණයක් ලෙස: මහා පිපිරුම් න්‍යාය මගින් විශ්වයේ ආරම්භයේ දී, ශක්ති සංරක්ෂණය පිළිබඳ නීතිය අත්හිටුවීම උපකල්පනය කරන අතර, විද්‍යාවට සම්පූර්ණයෙන්ම ආමන්ත්‍රණය කළ නොහැකි ප්‍රතිවිරෝධතාවක් නිර්මාණය කරයි.

විද්‍යාව, එය විසින් ගොඩනගන අපෙන් ස්වායත්ත ‘වාස්තවික යථාර්තය’ පිළිබඳව නිරීක්ෂණය කළ හැකි ක්‍රියාවලීන් කෙරෙහි නාභිගත වන අතරම (ලකාන්ට අනුව විද්‍යාවේ ආත්මය වන්නේ කාටිසියානු ආත්මයයි), මෙම ප්‍රශ්නවල ආත්මීය මානය නොසලකා හරින බැවින්, එවැනි සංසිද්ධි වටා අර්ථයක් ගොඩනැගීමේදී ආත්මයේ භූමිකාව පෙරවරණය වීම මෙයින් පිළිබිඹු වේ.
විද්‍යාව බොහෝ විට සදාචාරාත්මක හෝ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී, තාක්ෂණික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරයි. උදාහරණයක් ලෙස: කෘත්‍රිම බුද්ධියේ සහ ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුව මානව අනන්‍යතාවය සහ නියෝජිතභාවය පිළිබඳ ගැඹුරු සදාචාරාත්මක සහ දාර්ශනික තලයේ ප්‍රශ්න ලෙස තහවුරු කරන ප්‍රශ්න මතු කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න බොහෝ විට තාක්ෂණික ප්‍රගතියට පක්ෂව පසෙකට දමනු ලබන අතර, මෙම ගැටළු වල ආත්මීය සහ සංකේතීය මානයන් අහෝසි කිරීමක් පිළිබිඹු කරයි. නිමක් නොමැතිව වර්ධනය වන එම දාර්ශනික (විද්‍යාව විසින් නිපදවන) සහ සදාචාරාත්මක ප්‍රශ්න වලට ඉදිරියේදී විද්‍යාව මගින් පිළිතුරු සොයාගත යුතුව ඇති බව ප්‍රකාශ වේ.
සමකාලීන සමාජය තුළ විද්‍යාව කෙරෙහි වැඩිවන අවිශ්වාසය, එය විසින් ආත්මීය සත්‍යය වසා දැමීමේ රෝග ලක්ෂණයක් ලෙස ද දැකිය හැකිය. උදාහරණයක් ලෙස: විද්‍යාත්මක සොයාගැනීම් (දේශගුණික විපර්යාස හෝ එන්නත්) ප්‍රතික්ෂේප කිරීමට මිනිසුන්ට හැකි වන්නේ විද්‍යාව ඔවුන්ගේ පුද්ගලික හෝ සංස්කෘතික ගැටළු විසඳීමට අපොහොසත් වන බව ඔවුන්ට හැඟෙන බැවිනි. මෙම අවිශ්වාසය විද්‍යාව විසින් ආත්මීය සහ සංකේතීය මානයන් බැහැර කිරීම මගින් නිර්මාණය කරන ලද පරතරය ඉස්මතු කරයි.
විද්‍යාව තුල පරවරණය (foreclosure) වීමේ ගැටලුව සහ ‘ස්වභාවයට’ (‘nature’) සහ සමාජයට එහි බලපෑම ක්‍රම ක්‍රමයෙන්, දැඩි තීර්වතාවයකින් ඉහල යමින් තිබේ.
ලැකාන්ට අනුව, විද්‍යාවේ සීමාවන්, ‘ස්වභාවය’ සහ සමාජය යන දෙකටම එහි බලපෑම් අවබෝධ කර ගැනීම සඳහා පෙරවරණය පිළිබඳව සංකල්පය කේන්ද්‍රීය වේ. නැවතත් පවසන්නේ නම්, ඒ “විද්‍යාව ව්‍යුහගත වී ඇත්තේ ආත්මය (subject) බැහැර කරන කතිකාවක් ලෙස” බැවිනි යනුවෙන් ලැකාන් ප්‍රකාශ කරන විට, ඔහු පෙන්වා දෙන්නේ විද්‍යාව විසින් ක්‍රමානුකූලව මානව අත්දැකීම්වල ආත්මීය, සංකේතීය සහ අවිඥානික මානයන් පෙරවරණයට ලක්කරන ආකාරයයි. මෙම පෙරවරණය වීම අප ස්වභාවයට, සමාජයට සහ අපටම සම්බන්ධය වන ආකාරය කෙරෙහි ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරයි (ඒ පිළිබඳව උදාහරණ සහිතව ඉදිරි ලිපි තුල දීර්ගව සාකච්චා කෙරේ).
විද්‍යාව තුළ ආත්මය පෙරවරණය වීම අප ස්වභාවයට (nature) සම්බන්ධ වන ආකාරය කෙරෙහි සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කරයි. විද්‍යාවේ මැදිහත්වීමට පෙර පැවති අකාරයේ සංකේතීය අර්ථය සහ ආත්මීය අත්දැකීම් බැහැර කිරීමෙන්, විද්‍යාව ‘ස්වභාවය’ (nature) පාලනය කළ යුතු සහ සූරාකෑමට ලක් කළ යුතු සම්පත් සමූහයකට ඌනනය කරයි. ස්වභාවය පිළිබඳ මෙම උපයෝගීතා දැක්ම පාරිසරික අවක්‍රමණය, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය නැතිවීම වැනි තත්වයන්ට දායක වී ඇත. 
ලැකාන්ගේ යථ (the REAL) පිළිබඳ සංකල්පය සලකන්නේ නම්, එනම් අවුල් සහගත, නිරූපණය කළ නොහැකි පැවැත්මේ මානය විද්‍යාත්මක කතිකාව තුළ පෙරවරණය කර ඇත. කෙසේ වෙතත්, විද්‍යාව සම්පූර්ණයෙන්ම පුරෝකථනය කිරීමට හෝ පාලනය කිරීමට අරගල කරන යථ බොහෝ විට ස්වාභාවික විපත්, වසංගත හෝ පාරිසරික බිඳවැටීම් වැනි ව්‍යසනකාරී ආකාරවලින් “ආපසු” පැමිණේ.
විද්‍යාත්මක ලෝක දැක්ම තුල සංකේතීය සහ ආත්මීය මානයන් බැහැර කිරීමෙන්, මිනිසුන් ‘ස්වභාවය’ වෙතින් පරාරෝපණයට ලක්කරයි. ඒ තුල විශාල, අන්තර් සම්බන්ධිත පද්ධතියක කොටසක් ලෙස අපව දැකීම වෙනුවට, ස්වභාවය යනු ආධිපත්‍යයට ලක්විය යුතු බාහිර දෙයක් ලෙස අප විසින් සලකයි. එනම් මා හට හමුවන “දේවල්” (‘අනෙකා’ යනු සතුන් ද ඇතුළුව දේවල් සහ අනෙකුත් මිනිසුන්ය) සමග මම තාර්කිකව මිස හැඟීම් වලින් කටයුතු කල යුතු නොවේ. මට හමුවන මිනිසුන් සමග ද මා කටයුතු කල යුත්තේ එසේය. 
සමාජය මත පෙරවරණය වීම පිළිබඳව සලකන්නේ නම්, විද්‍යාව තුල ආත්මයේ පෙරවරණය වීම සමාජයට ගැඹුරු ආකාරවලින් ද බලපායි. ‘වාස්තවිකත්වය’ (objectivity) සහ විශ්වීයත්වය (universality) කෙරෙහි නාභිගත වීමෙන් ආත්මීයත්වය, ආශාව සහ අවිඥානය යන සංකීර්ණතා නොසලකා හරිමින් විද්‍යාව බොහෝ විට මිනිස් සත්තාව අධ්‍යයන වස්තූන් බවට පත් කරයි. මෙය පුද්ගලයන් යනු දත්ත ලක්ෂ්‍යයන් ලෙස සැලකීම හෝ මානසික සෞඛ්‍යය තනිකරම ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් දක්වා ඌනනය කිරීම වැනි මානුෂීයහරනමය භාවිතයන්ට හේතු වී ඇත.
විද්‍යාත්මක ලෝක දැක්ම තාක්ෂණික ප්‍රගතියට ප්‍රමුඛත්වය දෙයි. බොහෝ විට එහි සදාචාරාත්මක හෝ සමාජීය ප්‍රතිවිපාක සලකා බලන්නේ නැත. මෙය සමාජ ව්‍යුහයන් කඩාකප්පල් කරන, අසමානතාවය උග්‍ර කරන හෝ පැවැත්මේ අවදානම් (උදා: න්‍යෂ්ටික අවි, කෘතිම බුද්ධිය හෝ ජෛව අවි…) ඇති කරන තාක්ෂණයන්හි සංවර්ධනයට හේතු වී ඇත.
 
සංකේතීය සහ ආත්මීය මානයන් බැහැර කිරීමෙන්, විද්‍යාව නූතන සමාජය තුළ පැවැත්මේ හිස්බව හෝ ‘පරාරෝපනය’ පිළිබඳ හැඟීමක් ඇති කිරීමට දායක වේ. ඒ අනුව, සංකේතීය අර්ථයට හෝ ආත්මීය සත්‍යයට සම්බන්ධයක් නොමැතිව, පුද්ගලයන්ට තම ජීවිතවල අරමුණක් හෝ සහජීවනයක් (සංසක්තියක්) සොයා ගැනීමට අරගල කළ හැකිය (නූතන ලිබරල් මිනිසා).
ඉහතින් ද සඳහන් කල පරිදි විද්‍යාව තුල ආත්මයේ පෙරවරණය විසින් එහි කතිකාව තුළ අන්ධ ස්ථානයක් නිර්මාණය කරයි (blind spot). විද්‍යාව ද්‍රව්‍යමය ලෝකය පැහැදිලි කිරීම සහ හැසිරවීමේදී කැපී පෙනෙන යම් කිසි සාර්ථකත්වයක් අත්කර ගත්තද, ඊට මිනිස් අත්දැකීම් සහ සමාජය හැඩගස්වන ගැඹුරු, ආත්මීය සත්‍යයන් ආමන්ත්‍රණය කළ නොහැක. 
මෙම අන්ධ ස්ථානය තුලින් පැනනගින ප්‍රතිවිපාක තිබේ. ඉහතින් ද සඳහන් කල පරිදි විද්‍යාත්මක දියුණුව මගින් පාරිසරික විනාශය, සමාජ අසමානතාවය, සමාජ අර්බුධ හෝ පැවැත්මේ අවදානම් වැනි අනපේක්ෂිත සහ විභව ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කරයි. මෙම ප්‍රතිවිපාක පැන නගින්නේ විද්‍යාව එහි කාර්යයේ සංකේතාත්මක සහ සදාචාරාත්මක මානයන් බැහැර කරන බැවින් බව ඉහතින් විශ්ලේෂණය කර ඇත.
පෙරවරණය වූ දේ අතුරුදහන් නොවන අතර නමුත් යථ තුල රෝග ලක්ෂණයක් ලෙසින් නැවත පැමිණේ. විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල, ආත්මීයත්වයේ සහ අවිඥානයේ පෙරවරණය වූ මානයන් සමාජ නොසන්සුන්තාව, පාරිසරික බිඳවැටීම, යුද්ධ හෝ පැවැත්මේ අර්බුද වැනි කඩාකප්පල්කාරී ආකාරවලින් නැවත පැමිණීම විසින් යුගයේ අර්බුධයන් තීර්ව කර ඇත.

දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ප්‍රශ්නය වී ඇත්තේ “සංකේතීය සහ ආත්මීය මානයන් බැහැර කිරීම නම් එය ඇතුලත් කරගැනීම තුල විද්‍යාව යම් ජාතික රාජ්‍යයක් තුලට “අවශෝෂණය” කරගත නොහැකිද යන්න (ඊට අදාළ සංකේතීය මානය තුල. උදාහරණයකට: ලංකාවට අදාලව නම් “සිංහල බෞද්ධ ජාතිකත්වයට” අවශෝෂණය කර ගැනීම) සහ කිරීමෙන් ඊට අදාළ ප්‍රශ්නය විසඳිය නොහැක්කේ ඇයිද යන්නයි. නලින් ද සිල්වා විසින් සිය විද්‍යා කතන්දර පොත එළිදක්වන්නේ ඒ සඳහාය. මේ උත්සාහය සමාන වන්නේ “විවෘත ආර්ථිකයට මානුෂීය මුහුන්වරක්” යන තේමාව යටතේ ජනාධිපතිවරණයට තරඟ කල චන්ද්‍රිකාගේ උත්සාහයටය. එහිදී විවෘත ආර්ථිකය යනු ලිබරල් ආර්ථිකයයි.

මතු සම්බන්ධයි…

Share this content:

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *