ලිබරල්වාදයේ මූලික පදනම වන්නේ කිසිවෙකුගේ ආශාව සඳහා සීමා පැනවීම නොකළ යුතුය යන්නයි. නමුත් සත්තකින්ම එය එසේ නොවේ. ඕනෑම අයකුගේ ඕනෑම අශාවකට ඉඩ දෙන සමාජයක් ලොව කොතනකවත් නොපවතී. එසේම සීමා කර නොමැති, මුදුන් පමුණුවා ගත හැකි ආශාවන් සඳහා ද විවිධාකාරයේ බදාවන් පවතී.
ලිබරල් චින්තනය, විශේෂයෙන්ම එහි සම්භාව්‍ය මූලයන් වෙතින් සැලකුවහොත්, ඊට අනුව පුද්ගල ආශාව සහ ආත්මාර්ථකාමිත්වය මිනිස් ‘ස්වභාවයට’ මූලික වන අතර ‘නිදහස’, ‘ස්වාධීනත්වය’ සහ ‘අයිතිවාසිකම්’ පිළිබඳ න්‍යායන්හි කේන්ද්‍රය එය ලෙස සැලකීමට නැඹුරු වේ.
ජෝන් ලොක්, ජීන් ජාක් රූසෝ සහ ඇඩම් ස්මිත් වැනි සම්භාව්‍ය ලිබරල් චින්තකයින් බොහෝ විට මිනිස් ස්වභාවය යන්න පිළිබඳව සාකච්ඡා කරන ලද්දේ ආත්මාර්ථකාමිත්වය එසේ නොමැති නම් ස්වයං-කැමැත්ත (self-interest) සොයන (උන්නතිකාමීත්වය) පුද්ගලයා (individual) යන කොන්දේසිය තුලය. මෙම සන්දර්භයන් තුළ ආශාව පුද්ගල නිදහසේ සහ තාර්කික නියෝජ්‍යත්වයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකේ.
“දිනන දකුණ” බොහෝ දුරට ජෝන් ලොක් ගුරුකොට සලකන බවක් පෙනෙන්ට තිබේ. ලොක් සහ අනෙකුත් සම්භාව්‍ය ලිබරල්වාදීන්ට අනුව, පුද්ගල අයිතිවාසිකම් (දේපල අයිතිවාසිකම් ඇතුළුව) ස්වභාවික නීතිය වෙතින් පැන නගින අතර, පුද්ගලයන් තමන්ගේම ආත්මාර්ථකාමිත්වය සඳහා ක්‍රියා කරයි. ලොක්ගේ දෘෂ්ටිකෝණයට අනුව, මිනිසුන් ‘ජීවිතය’, ‘නිදහස’ සහ ‘දේපළ’ සඳහා ස්වභාවික ආශාවන් මගින් මෙහෙයවනු ලබන අතර, මෙම ආශාවන් සමාජයේ පුද්ගලයන්ගේ ක්‍රියාවන් සහ තීරණ හැඩගස්වයි. නමුත් ලොක් යෝජනා කරන්නේ මෙම ආශාවන් සමාජ ගිවිසුම සහ අන් අයගේ අයිතිවාසිකම් සඳහා අන්‍යෝන්‍ය ගෞරවය මගින් සංයමයට පත් කළ යුතු බවයි. එබැවින්, ආශාව අන්ධ, පාලනය කළ නොහැකි බලවේගයක් ලෙස නොසැලකෙන මුත් ඔවුන්ගේ “ස්වභාවයේ” කොටසක් ලෙස සහ සතුට ලුහුබැඳීමේ අයිතිය ලෙස පුද්ගලයන් තුළ පවතින දෙයක් ලෙස සැලකේ. මෙය එක් අතකින් පරස්පර විරෝධී ස්ථාවරයක් වන අතර පාලනය හෝ සීමා පැනවීම් සිදු කරන්නේ කෙසේද සහ කවුද යන්න මූලික ප්‍රශ්නයකි (ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය).
ලිබරල්වාදය පිළිබඳව තවදුරටත් කරුණු දැක්විය හැකි මුත් එය අනවශ්‍ය වන්නේ එහි මූලික ස්ථාවරය ඉහත විස්තරය තුල අඩංගු බැවිනි.
මනෝවිශ්ලේෂණයට අනුව ආශාව යනු ජීව විද්‍යාත්මක පෙළඹුමක් හෝ “අවශ්‍යතාවයක්” (“need”) නොවේ. එය මිනිස් ආත්මීයත්වයේ (subjectivity) මූලික ව්‍යුහයකි. ආත්මය ‘සංකේත රටාව’ (symbolic order) තුලට ඇතුල් වීම හරහා ආශාව ඉස්මතු වේ. එබැවින් ආශාව යන්න භාෂාව, සමාජ සම්බන්ධතා සහ අවිඥානික ක්‍රියාවලීන් මගින් හැඩගැසී ඇත.
හුස්ම ගැනීම, වතුර තිබහ, බඩගින්න වැනි මිනිස් “අවශ්‍යතා” (“need”) ඇත (අවශ්‍ය නම් ඒවා “ජීව විද්‍යාත්මක” ලෙස ජනප්‍රිය භාෂාවෙන් හැඳින්විය හැකිය). ළදරුවෙකු නම්, ඔහුගේ මෙම “අවශ්‍යතා” ප්‍රකාශ කල හැක්කේ හැන්ඩීම මගින්, භාෂාමය නොවන උච්චාරණ හෝ අංග චලනයන් මගිනි. නමුත් භාෂාව තුලින් සංකේත රටාවට ඇතුල් වූ දරුවෙකුට නම් එම “අවශ්‍යතාවය” පවසා ඒ සඳහා “ඉල්ලීම” (“Demand”) සිදු කල හැකිය. නමුත් මේ “ඉල්ලා සිටීම” “අවශ්‍යතාවය” සංතෘප්ත කර ගැනීම සඳහා පමණක් නොවිය හැකි මෙන්ම කිසි සේත්ම ඒ සඳහාම ද නොවිය හැකිය. එනම්, “ඉල්ලීම” වන්නේ “අනෙකා” (“Other”) වෙතින් හඳුනා ගැනීමට ලක්වීම සඳහාය. මෙහිදී “අනෙකා” යනු සංකේතීය අනෙකා, එනම්, සමාජය හෝ ළදරුවෙකුට සහ දරුවෙකුට අදාලව නම් මව හෝ ඔහුව රැක බලා ගන්නා අයයි.
කෙසේ වෙතත්, ආශාව යනු “අවශ්‍යතාවයට” හා “ඉල්ලුමට” වඩා ඔබ්බට ඇති පොරොත්තු දෙයයි. ආශාව යනු මිනිසුන්ට සැමවිටම අත්පත් කරගත නොහැකි වස්තුවක් (“objet petit a”, “ආශාවේ වස්තු හේතුව”) දෙසට ධාවනය කරවන අතෘප්තිමත්, අවිඥානික බලවේගයකි. ඉන් නියෝජනය වන්නේ ආත්මයේ අත්දැකීම තුල “අඩුවකි” (lack). ආත්මය සංස්ථාපනය වන්නේ අඩුව මගිනි.
ආශාව යන්න “අඩුව” සහ “අප්‍රාප්තිය” (absence) සමඟ නෛසර්ගිකවම සම්බන්ධ වේ. එය ව්‍යුහගත වී ඇත්තේ අතුරුදහන් වූ හෝ අත් කරගත නොහැකි දෙයකින් වන අතර එමඟින් ආත්මය නිමක් නැති ගවේෂණයක් (සොයාගැනීමක්) කරා දුවවයි. ධනවාදය තුල මිනිස් ආශාව තෘප්තිමත් කළ නොහැකි සහ සංකීර්ණ වන්නේ එබැවිනි (උදා: විද්‍යාත්මක “සොයාගැනීම්” සඳහා විද්‍යාඥයා ධාවනය වීම). එය ස්වභාවික, එසේ නොමැති නම් “ජීව විද්‍යාත්මක” නොවන අතර සංකේතාත්මක හා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි දෙයක් ලුහුබැඳීම පිළිබඳව වේ.
ආශාව සඳහා මිනිසා තුළ ඇති වන පෙළඹුම ඇති වන්නේ ආත්මය සංකේත රටාවට (භාෂාව සහ සංස්කෘතිය) ඇතුළු වූ පසු පමණි. ආශාව මැදිහත් වන්නේ හැඟවුම්කාරක (වචන, සංකේත) හරහා වන අතර එමඟින් ආත්මය සහ ඒවායේ “අවශ්‍යතා” (“needs”) අතර පරතරයක් ඇති වන අතර එමඟින් ආශාව අවිඥානය තුළ කොටා ඇති “අඩුවක්” (lack) බවට පත් වේ. විද්‍යාව සහ තාක්ෂනය මගින් ධනවාදය තුල සිදුවන්නේ මෙම පරතරය අති විශාල ලෙස පුළුල් වීමයි. ධනවාදය වර්ධනය වන්නේ මෙම පුළුල් වීම සමගිනි.
ලැකාන් විසින් ආශාව ෆ්‍රොයිඩ්ගේ අවිඥානයට සහ ‘මරණ ධාවකය’ (death drive) වෙතට සම්බන්ධ කරයි. ආශාව යනු හුදෙක් ජීවිතය තහවුරු කරන දෙයක් පමණක් නොවන අතර ඊට තාර්කික පැහැදිලි කිරීම ඉක්මවා යන පුනරාවර්තන රටා, විරුද්ධාභාස සහ ප්‍රතිවිරෝධතා ද ඇතුළත් වේ.
ආශාව යන්න “ස්වභාවික” බවත්, එය සැමදා, සෑම සමාජයකම, අතීතයේදී ද එකම අයුරින් තිබූ බවත්, පවතින සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් එය එසේ නොවේ.
බ්‍රිතාන්‍ය ජෛව රසායන විද්‍යාඥයෙකු සහ විද්‍යාව පිළිබඳ ඉතිහාසඥයෙකු වන ජෝසප් නීඩ්ම් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ “චීනයේ විද්‍යාව සහ ශිෂ්ටාචාරය” නම් අතිවිශිෂ්ට කෘතිය සඳහාය. එම කෘතියේ ඔහු විසින් මෙසේ විමසයි (“නීඩ්ම් ප්‍රශ්නය”): “අප දන්නා පරිදි, නවීන විද්‍යාව චීනයේ නොව බටහිර යුරෝපයේ වර්ධනය වූයේ ඇයි?” මෙය ඔහුගේ කෘතියේ කේන්ද්‍රීය තේමාවක් වූ අතර, බටහිරට වඩා ඉතා බොහෝ කලකට පෙර බොහෝ දියුණු තාක්ෂණයන් තිබියදීත්, චීනය තුල නවීන විද්‍යාව සහ කාර්මිකකරණය යුරෝපයේ වර්ධනය වූ ආකාරයකින් සංවර්ධනය නොවූයේ මන්දැයි ඔහු තේරුම් ගැනීමට උත්සාහ කළේය.
වෙඩි බෙහෙත් (9වන සියවස), මාලිමා යන්ත්‍රය (ක්‍රිස්තු පූර්ව සහ පසුව බහුල ලෙස 9වන සියවස-12වන සියවස යන කාල වලදී භාවිතය වර්ධනය විය), මුද්‍රණ තාක්ෂණය (9වන සියවස) සහ කඩදාසි (ක්‍රිස්තු පූර්වයේදී) යන නිපැයුම් චීනයේ යුරෝපයට පෙර භාවිතා විය. නමුත් යෝරෝපය තුල මෙම “මහා නව නිපැයුම් හතර” (ඒවා මහා නිපැයුම් හතර වූයේ යුරෝපයට අදාලවය) ගෝලීය ශිෂ්ටාචාරයේ වර්ධනය සඳහා තීරණාත්මක විය. කෙසේ වෙතත්, චීනය මෙම තාක්ෂණයන් යුරෝපයට වඩා ඉතා පෙර අවධි වලදී සංවර්ධනය කළද, බටහිර රටවල සිදු වූ නවීන විද්‍යාත්මක විමර්ශනය සහ කාර්මිකකරණයේ නැගීම චීනය තුල සිදු නොවූ බව සහ එවැනි තත්වයකට ගමන් කිරීම සඳහා දැක්මක් නොතිබූ බව නීඩ්ම් නිරීක්ෂණය කළේය.
ධනවාදයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා ලෙස සැලකිය හැකි ෆ්‍රැන්සිස් බේකන්ට අනුව ඒවා ධනවාදය වර්ධනය වීම සඳහා බලපෑ ප්‍රධාන සාධක හතර වේ.
චීන ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදවල චීන විද්‍යාත්මක චින්තනයේ සහ තාක්ෂණික නවෝත්පාදනයේ දියුණු ස්වභාවය නීඩ්ම් අවධාරණය කළේය. ඔහු ඔහුගේම ප්‍රශ්නයට (“නීඩ්ම් ප්‍රශ්නයට”) පිළිතුරු දෙමින්, චීන සංස්කෘතියේ සමාජ, දාර්ශනික සහ දේශපාලනික සාධක ඊට දායක වූ බව ඔහු පැවසීය. එනම්, බටහිරට වඩා වෙනස් ලෙස චීනයට අදාළ විද්‍යාව සඳහා වඩා ප්‍රායෝගික, බටහිර අකාරයේ පර්යේෂණාත්මක නොවන (ගැලීලියෝගේ ප්‍රවේශයෙන් වෙනස්ව) ප්‍රවේශයක් සඳහා චීන සංස්කෘතිය දායක වූ බව ඔහු යෝජනා කළේය. නිදසුනක් වශයෙන්, සමාජ පිළිවෙල සහ සම්ප්‍රදාය අවධාරණය කළ කොන්ෆියුෂියානුවාදය, යුරෝපය තුල විද්‍යාවේ වර්ධනය සංලක්ෂිත ස්වාධීන, පර්යේෂණාත්මක විමර්ශන අකාරය ඉස්මතු නොවීමට හේතු විය. එනම් ගණිතය සමග පැටලැවූ ව්‍යුක්ත සංකල්ප චීනය තුල වර්ධනය වූයේ නැත.
දේශපාලන ස්ථාවරත්වය සහ නිලධාරිවාදී සහ සිවිල් පරිපාලනය කෙරෙහි අවධානය යොමු කිරීම සමඟ ඒකාබද්ධ වූ චීන බුද්ධිමය සංස්කෘතියේ විද්‍යාත්මක විමර්ශන සම්ප්‍රදායක් නොමැතිකම, පශ්චාත් පුනරුද යුගයේ යුරෝපය තුල මෙන් චීනය විද්‍යාවට එකම අකාරයේ පර්යේෂණාත්මක සහ “තාර්ක බුද්ධිමය” (rational) ප්‍රවේශය සඳහා ප්‍රමුඛත්වය නොදුන් බව හෝ වර්ධනය නොකළ බව නීඩ්ම් පෙන්වා දුන්නේය (විද්‍යාවට අනුව දැනුමට ඇති එකම ප්‍රවේශය “තර්ක බුද්ධිය” පමණි). එනම් චීනයේ මේ නිපැයුම් ව්‍යවහාරික වූයේ සහ වර්ධනය වූයේ සමාජීයවය.
බටහිර රටවලට සාපේක්ෂව චීනයේ මුල් කාලීන විද්‍යාත්මක ජයග්‍රහණ සහ ඊට සමගාමීව බටහිර සිදු වූ ආකාරයේ විද්‍යාත්මක සංවර්ධනය සිදු නොවීම අතර පෙනෙන විරුද්ධාභාසය විස්තර කිරීමට ඔහු විසින් “නීඩ්ම් විරුද්ධාභාසය” (“Needham Paradox”) යන යෙදුම නිර්මාණය කළේය.
කෘෂිකර්මාන්තය, වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල දියුණුව වැනි සැලකිය යුතු මුල් කාලීන නිර්මානාත්මක වර්ධනය වීම් චීනය සතුව තිබුණද, ඒවා යුරෝපයේ සිදු වූ ආකාරයේ විද්‍යාත්මක විප්ලවවලට මඟ පෑදුවේ නැත. චීනයේ අද්විතීය බුද්ධිමය සම්ප්‍රදායන් සහ ඓතිහාසික තත්වයන් යන දෙකෙහිම සන්දර්භය තුළ මෙම විරුද්ධාභාසය තේරුම් ගැනීමට නීඩ්ම් උත්සාහ කළේය.
චීනයේ තාක්ෂණික නවෝත්පාදනය බොහෝ විට න්‍යායිකව (theoretical) නොව ප්‍රායෝගිකව ව්‍යවහාරය තුලින් මෙහෙයවනු ලැබ ඇති බව ජෝසප් නීඩ්ම් පෙන්වා දෙන ලදී. ඊට වෙනස්ව, බටහිර විද්‍යාව න්‍යායික රාමු සහ පර්යේෂණාත්මක (සම්පරීක්‍ෂණ ද ඇතුළුව) ක්‍රම හරහා ලෝකයේ ස්වභාවය ක්‍රමානුකූලව “ගවේෂණය” කිරීමට (සැබවින්ම නිර්මාණය කිරීමට) පටන් ගත්තේය. ප්‍රායෝගික-ව්‍යවහාරික සහ න්‍යායික ප්‍රවේශයන් අතර මෙම වෙනස, නීඩ්ම්ට අනුව, බටහිර විද්‍යාත්මක විප්ලව සහ චීනයේ විද්‍යාත්මක ජයග්‍රහණ අතර ප්‍රධාන වෙනස්කම් වලින් එකකි.
සංකේත රටාවට ඇතුළු වීමෙන් පසුව පමණක් පැන නගින අඩුව සහ ආශාව මගින් ආත්මය සංස්ථාපනය වී ඇති බව මනොවිශ්ලේෂණයේ ස්ථාවරයයි. කොන්ෆියුෂියානු, තාඕවාදී සහ බෞද්ධ සංකේත පද්ධති තුළට කාවැදී ඇති මින්ග් (චීනයේ මින්ග් රජ සමය) ආත්මයට ද එකල ප්‍රමුඛ කතිකාවන් හරහා මැදිහත් වූ ඒ හා සමානව ව්‍යුහගත ආශාවක් පැවතුනි.
ආශාව සැමවිටම සංස්කෘතීන් හරහා සංකේත රටා මගින් මැදිහත් වේ. මින්ග් රාජවංශයේ කොන්ෆියුෂියානු සමාජ සංග්‍රහයන්, චාරිත්‍ර වාරිත්‍ර සහ දේශපාලන ව්‍යුහයන් බටහිර ධනවාදී හෝ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආත්මයන්ට වඩා වෙනස් ලෙස එහි ආත්මීයත්වයන්ගේ ආශාවන් සහ අනන්‍යතා හැඩගස්වා තිබුණි.
මින්ග් සහ ක්විං රාජ්‍ය සමයේ චීන සංස්කෘතිය හැඩගැස්වීම කෙරෙහි බලපෑ ප්‍රමුඛ දෘෂ්ටිවාදයන් වූයේ කොන්ෆියුසියානුවාදය, තාඕවාදය සහ බුද්ධාගමයි. එකල චීනය තුල කොන්ෆියුෂියානු ආචාර ධර්ම (ප්‍රමුඛතම දෘෂ්ටිවාදය) තුළ මුල් බැසගත් චීන ආත්මයේ ආශාව දිශානත වී තිබුනේ පවුල් සහ සමාජීය බැඳීම් ඉටු කිරීම කෙරෙහි දැඩි ලෙස නැඹුරුතාවයක් වෙතය. පවුල, සමාජය සහ විශ්වීය පිළිවෙල තුළ සමගිය පවත්වා ගැනීම, දාරක භක්තිය (දෙමව්පියන් සහ මුතුන් මිත්තන් කෙරෙහි ගෞරවය සහ යුතුකම), පක්ෂපාතිත්වය සහ චාරිත්‍රානුකූල යෝග්‍යතාවය වැනි පරමාදර්ශ මූර්තිමත් කිරීම කෙරෙහි එකල චීන මිනිස් ආශාවන් යොමුව තිබුණි. ඒ ස්වයං-පුහුණුව සහ සදාචාරාත්මක පරිපූර්ණත්වය පිළිබඳ කොන්ෆියුෂියානු පරමාදර්ශය, අධ්‍යාපනය, සදාචාරාත්මක හැසිරීම් සහ සමාජ භූමිකාවන් තුළින් “ජුන්සි” (ආදර්ශමත් පුද්ගලයන්) බවට පත්වීම සඳහා වන පුද්ගල උත්සාහයන් තුලය.
මෙම ආශාව පුද්ගල පරිතෘෂ්ටිය කරා යොමු වීම ඉතාමත්ම අඩු වූ අතර සමාජීය හා විශ්වීය භූමිකාවන් ඉටු කිරීම ගැන ඉතා වැඩි නම්බුරුතාවයකින් යුතුව ක්‍රියාත්මක විය. එනම්, බටහිර සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය, විද්‍යාවේ ආත්මය සංස්ථාපනය වීම සඳහා දායක වූ නීති රීති, සමාජ ප්‍රතිමාන සහ සංස්කෘතික ක්ෂේස්ත්‍රය චීන සමාජයේ නොපැවතුනි.
එසේම ආගමික රාමූන් විසින් විකල්ප ආශාවන් ඉදිරිපත් කෙරී තිබුනේ කොන්ෆියුෂියානු ලෞකික ආශාවන්ට වෙනස්ව, අධ්‍යාත්මික විමුක්තිය, ලෞකික බැඳීම් ඉක්මවා යාම සහ සොබාදහම සමඟ සමගිය වැනි උත්කෘෂ්ට අභිප්‍රායන් දෙසටය.
මෙම කාල පරිච්ඡේදවල කොන්ෆියුසියානු සහ රාජ්‍ය දෘෂ්ටිවාදයන් ආත්මයේ අවිඥානික ආශාවන් හැඩගස්වන “මහා අනෙකා” (big Other) ලෙස ක්‍රියා කරමින් තිබුණි.
වර්තමාන අර්ථයේ “තර්ක බුද්ධිය” (reason) කේන්ද්‍රීය චින්තන මාදිලිය එකල නොතිබූ අතර මූලික වශයෙන් සදාචාරාත්මක විචාර බුද්ධිය සහ ප්‍රායෝගික ප්‍රඥාව ලෙස වටහා ගන්නා ලද අතර එය සමාජ සමගිය, දාරක භක්තිය පවත්වා ගැනීම සහ පවුල සහ සමාජය තුළ තම භූමිකාවන් ඉටු කිරීම කෙරෙහි නැඹුරු විය.
තාඕවාදී බලපෑම් මගින් තාඕ මාර්ගය සමඟ පෙළගැස්වීමට උත්සාහ කළ තර්කානුකූල සංකල්ප හැඩගස්වා ගත් අතර, ඒ තුල දැඩි විශ්ලේෂණාත්මක තර්කනයට වඩා “ස්වභාවිකත්වය”, ස්වයංසිද්ධතාවය සහ සමබරතාවය අවධාරණය කළේය. බෞද්ධ දර්ශනය, සාමාන්‍ය සංකල්පීය චින්තනයේ අනිත්‍යතාවය, හිස්බව සහ අතික්‍රමණය අවධාරණය කරමින්, කල්පවත්නා අපෝහක තර්කනය හඳුන්වා දී තිබුණි. මේ අනුව, එකල චීනය තුල “තර්කනය” සඳහා තනිකරම ලෞකික උත්සුකතාවන්ට වඩා අධ්‍යාත්මික හා පාරභෞතික මානයක් ද තිබුණි.
කොන්ෆියුසියානු ආචාර ධර්ම සහ ප්‍රායෝගික ප්‍රඥාව මත පදනම් වූ තර්ක බුද්ධිය වියුක්ත, අශරීර තර්කනයක් නොවූ නමුත් ආත්මීයත්වය සහ සමාජ සමගිය මැදිහත් වූ සදාචාරාත්මක සහ සමාජ කේතවල ගැඹුරින් අන්තර්ගත විය.
රෙනේ ඩෙකාර්ට්ස්, එම්මානුවෙල් කාන්ට් සහ ජෝන් ලොක් වැනි බුද්ධිවාදී චින්තකයින් ‘තර්ක බුද්ධිය’ (reason) යන්න පිළිබඳව අවධාරණය කරන ලද්දේ එය මිනිසාගේ නිර්වචන හැකියාව ලෙසයි. එනම්, එය විශ්වීය සත්‍යයන් සොයා ගැනීමට සහ සදාචාරාත්මක ක්‍රියාවන්ට මඟ පෙන්වීමට ඇති හැකියාව ලෙසය. “තර්ක බුද්ධිමය හේතුව” යන්න තාර්කික, වාස්තවික සහ ස්වායත්ත ලෙස සලකනු ලැබූ අතර, එමඟින් පුද්ගලයන්ට මිථ්‍යා විශ්වාස, සම්ප්‍රදාය සහ චිත්තවේගීය අතාර්කිකත්වයෙන් ගැලවීමේ මග බවට අවධාරණය වුනි.
හැඟීම් (emotion) පිළිබඳව බොහෝ විට සැකයෙන් සලකනු ලැබූ අතර, හැඟීම් යනු විභව අතාර්කික, කඩාකප්පල්කාරී හෝ තර්කයට යටත් විය යුතු ලෙස සලකනු ලැබීය. සදාචාරය පදනම් වී ඇත්තේ පිරිසිදු ප්‍රායෝගික හේතුවක නිෂ්පාදනයක් වන වර්ගීකරණ අත්‍යවශ්‍යතාවය මත බව කාන්ට් දැඩිව ප්‍රකාශ කළේය. එනම්, සදාචාරාත්මක ක්‍රියාවකට අවශ්‍ය වන්නේ නැඹුරුව හෝ හැඟීම් නොව රාජකාරියෙන් සහ සබුද්ධිකමය තාර්කික මූලධර්මයෙන් ක්‍රියා කිරීමයි. ඊට අනුව හැඟීම්වලට පෙළඹවිය හැකි නමුත් ඒ මතින් සදාචාරාත්මක විනිශ්චයන් තීරණය නොකළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය යනු මට මුණ ගැසෙන අනෙක් මිනිසා මම විසින් භාරගත යුත්තේ, ඇසුරු කල යුත්තේ සහ ඔහු/ඇය සමග ගනු දෙනු කල යුත්තේ තාර්කිකව (තර්ක බුද්ධිය) බව තහවුරු වූ තත්වයයි. මට එසේ කිරීම සඳහා අවශ්‍ය දැනුම, නිර්ණායක, නීති රීති වල ක්ෂේස්ත්‍රයන්ට අදාළ රාමූන් සහ ඒවාට අදාළ ආයතන පද්ධතියක් සහ ඒවාට අදාළ ධූරාවලීන් ගොඩනැගී ඇත. එසේම විද්‍යාවේ ආත්මය යනු මට හමුවන දේවල් (ගහකොළ සතා සිව්පාවා, ඇතුළු දේවල් ලෙස ගැනෙන සියල්ල) සමග මා ගනුදෙනු කල යුතු වන්නේ තර්ක බුද්ධිය තුලින් පමණක්ය යන්න තහවුරු වී ඇති තත්වයයි. ඉහතින් සඳහන් කල ලෙසම මට එසේ කිරීම සඳහා අවශ්‍ය දැනුම, නිර්ණායක, නීති රීති වල ක්ෂේස්ත්‍රයන්ට අදාළ රාමූන් සහ ඒවාට අදාළ ආයතන පද්ධතියක් සහ ඒවාට අදාළ ධූරාවලීන් ගොඩනැගී ඇත.
මනස සහ ශරීරය වෙන් කල, හැඟීම් යටපත් කර ඒ මත තර්ක බුද්ධිය ආදේශ කල බුද්ධි ප්‍රබෝධි යුගය (enlightenment) මතින් ආරම්භ වූ වර්තමාන ශිෂ්ටාචාරය කෙතරම් විනාශයක් කොට අවසන්ද?
Share this content:

