අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් බලාපොරොත්තු වන අර්චන වස්තුව – “පිරිසිදු අධ්‍යාපනය”


ජාතිකවාදීන්ට අදාලව ගතහොත්, ‘අපේ සංස්කෘතිය’ යන්න ස්වාමි හැඟවුම්කාරකයක් (master signifier) ලෙස ක්‍රියා කරන අතර, ‘තීරකයා’ කතා කරන්නේ ‘මහා අනෙකා’ (big Other) වෙනුවෙන්ය.
යමෙකු ‘මෙය අපේ සංස්කෘතියට නොගැලපේ’ යැයි පවසන විට, එහි ඇත්තේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ‘ස්වාමි හැඟවුම්කාරකයෙකි’. එනම්, එම වචනය එය විසින්ම පැහැදිලිව අර්ථකථනය නොවී පවතින අතරම, සමස්ත අර්ථ පද්ධතියක්ම (field of meaning) සංවිධානය කිරීමට එය සමත් වෙයි. මෙම ප්‍රකාශය මගින් දේශපාලන කතිකාවක බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක සත්‍යයක් හෙළි කරයි. ‘ස්වාමි හැඟවුම්කාරකය’ යනු මෙහිදී කිසිදු නිශ්චිත අර්ථයක් නැති, නමුත් අනෙකුත් සියලු වචනවලට අර්ථය ලබා දෙන හැඟවුම්කාරකයකි (වචනයකි). “සංස්කෘතිය” යනු කුමක්දැයි කිසිවෙකුට නිශ්චිතව කිව නොහැකි වුවද, එම වචනය භාවිතා කර ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කිරීමට හෝ පිළිගැනීමට හැකිය. එය සියල්ල දරාසිටින පතුලක් හෝ හෝ අමුණා තබන බොත්තමක් (Quilting Point) වැනිය. “අපේ සංස්කෘතිය/ජාතිය” නමැති ‘ස්වාමි හැඟවුම්කාරකය’ මගින්, අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම්, ආහාර, සුවඳවල්, සංගීතය, භූ දර්ශනය, ගෘහ නිර්මාණය, සහ ඇඳුම් පැළඳුම්, ඇවතුම් පැවතුම් සහ හැසිරීම් වැනි විවිධ ක්ෂේත්‍රවලට “ගැලපෙන” සහ “නොගැලපෙන” ලෙස සදාචාරාත්මක බෙදීමක් ලබා දෙයි (අපගේ ප්‍රමෝදය සංවිධානයවීමේ ආකාරය ද එයයි). වෙනත් වචන වලින් ප්‍රකාශ කරන්නේ නම් එය සාමුහික ෆැන්ටසියකි.
“අපේ සංස්කෘතිය” ලෙස කරනු ලබන ආයාචනා, ‘මහා අනෙකා’ වෙනුවෙන් තමා විසින්ම පත්කරගත් ප්‍රකාශකයෙකුට බලය ලබාදෙන ‘ස්වාමි හැඟවුම්කාරක‘ ලෙස ක්‍රියා කරයි (මෙම ස්ථානය ඩැහැ ගැනීම සඳහා දේශපාලන නායකයින් කිහිප දෙනෙකුම පොරකයි). සංස්කෘතික පරිපූර්ණත්වය පිළිබඳ ෆැන්ටසියට බාධා පමුණුවන ඒ “ක්ෂිතිමය සහගත ඉතිරිවීම්” ඉවත් කරමින් නූතනකරණය වීමට වෙර දැරීම දෘෂ්ටිවාදී මෙහෙයුමකි (නලින් ද සිල්වාගේ ගෝලයින් හට අවශ්‍ය කරනුයේ එයයි). එමගින් සිදු කරන්නේ සමාජ ප්‍රතීඝතා (social antagonism) මකා දමා, ඒ වෙනුවට විෂය මාලාවන් තුළ ඇති ‘අපවිත්‍ර කාරක’ පිළිබඳ අරගලයකට එම ගැටුම විතැන් කිරීමයි. අපගේ ස්ථාවරය මත සිට අප එරෙහි වන්නේ ධනවාදයම ඉදිරියට ගෙන යාම සඳහා මහෝපකාරී වන මේ අදේශපාලනික ස්ථානයටය. නමුත්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ හෝ චම්පික රණවක ජනාධිපති කරවීමට දත කන ජඩයින්ට අප පෙන්වන මේ ස්ථානය නොපෙනේ. ඔවුනට මේවා පෙනෙනුයේ ආණ්ඩුව රැකගැනීමේ ඩෝබි ක්‍රියා ලෙසය.
එබැවින් නැවතත් ඇසිය යුත්තේ ‘මේ තීරකයන්’ කවුද? යන්නයි. එම ප්‍රශ්නය මූලික වශයෙන් යොමුවන්නේ ‘මහා අනෙකාගේ’ නාමයෙන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ කවුරුද යන්න පිළිබඳවයි (එනම් ‘සංස්කෘතිය’, ‘සම්ප්‍රදාය’, ‘ජාතිය’ හෝ ‘ජනතාව’ වැනි සම්මත අධිකාරීන්ගේ නාමයෙන්). ‘මහා අනෙකා’ යනු සැබෑ පැවැත්මක් ඇති වස්තුවක් නොවේ; එය අප පවතිනවා සේ සලකා ක්‍රියා කරන සංකේතීය අධිකාරියේ (symbolic authority) ස්ථානයයි. එබැවින් “අපේ සංස්කෘතිය” යන්න බොහෝ විට යමෙකු නියෝජනය කරනවා යැයි මවාපාන ‘ෆැන්ටසිමය අධිකාරියක්’ හැඳින්වීමට යොදාගන්නා නමකි.
මෙහිදී වැදගත් වන්නේ තීරණය කරන්නේ කවුද යන්න පමණක් නොව, සංස්කෘතිය නියෝජනය කිරීමේ මෙම ප්‍රකාශය පිටුපස ඇති ‘ප්‍රමෝදය’ (jouissance) කුමක්ද යන්නයි. එනම්, ඔවුනගේ ‘ඇඟ හිරිවැටෙන’ අංග පාලනය කිරීම/තහනම් කිරීම හරහා එම මිනිසුන් ලබන ලිංගිකමය හෙවත් ලුබ්දිමය ලාභය (libidinal payoff) කුමක්ද යන්නයි (මේ සඳහා හොඳම උදාහරණය වන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව හෝ වෙනත් යුරෝපා රටවල සිටින නලින් ද සිල්වාගේ ගෝලයින්ය). කිසිවෙකුට සැබෑ ලෙසම ‘සංස්කෘතිය’ නියෝජනය කළ නොහැක්කේ ‘සංස්කෘතිය’ යනු නිරන්තරයෙන් වෙනස් වන ක්‍රියාවලියක් බැවිනි. නමුත් යමෙකු “මම සංස්කෘතිය වෙනුවෙන් කතා කරමි” යැයි පවසන විට, ඔහු කරන්නේ එම හිස් ස්ථානය තමාගේ බලය තහවුරු කර ගැනීමට භාවිතා කිරීමයි.
ජාතිකවාදීන් ඇතැම් දේවල් තහනම් කිරීමට උත්සාහ කරන්නේ එම තහනම් කිරීම තුළින් ඔවුන් එක්තරා ආකාරයක අශ්ලීල ප්‍රමෝදයක් ලබන බැවිනි. එනම්, “අපිරිසිදු” යැයි සම්මත දේවල් පාලනය කිරීම හරහා තමන් “පිරිසිදු” බවට වන හැඟීම ඔවුන්ගේ ලුබ්දිමය ලාභයයි.
නූතන අධ්‍යාපනය සමාජ ප්‍රත්‍යුත්පාදනයක් (social reproduction) ලෙස තේරුම් ගැනීම කල හැක්කේ ‘විශ්ව විද්‍යාල කතිකාව’ (university discourse) යනු කුමක්ද යන්න වටහා ගැනීම තුලය.
මනොවිශ්ලේෂණය තුළ, ‘විශ්ව විද්‍යාල කතිකාව’ මගින් ‘දැනුම’ යන්න ‘නියෝජිතයා’ හෙවත් ක්‍රියාකාරී බලවේගයේ (agent) ස්ථානයේ පිහිටුවයි. ඊට අනුව එහිදී ‘දැනුම’ විසින් විවිධ වස්තූන් සහ ජන ප්‍රජාවන් ආමන්ත්‍රණය කරමින් හසුරුවනු ලබයි. එය මධ්‍යස්ථ සහ තාක්ෂණික ප්‍රවීණත්වයකින් (technocratic) යුක්ත බවක් මවාපායි. නමුත් ඇත්ත වශයෙන්ම එය සේවය කරන්නේ ‘ස්වාමි හැඟවුම්කාරක’ සහ බලය වෙනුවෙනි. ‘විශේෂඥ දැනුම’, ආයතනික පාසල් අධ්‍යාපනය සහ සහතිකකරණය (credentialing) වැනි දේ, එයම “වටිනාකම්වලින් තොර” බව පෙන්වමින් පවතින සමාජ පර්යාය නැවත නිෂ්පාදනය කරන ‘දෘෂ්ටිවාදී යන්ත්‍රණයක්’ ලෙස ක්‍රියා කරයි.
එබැවින්, අධ්‍යාපනය යනු සංස්කෘතිකමය වශයෙන් ‘අහිංසක’ වූ හුදු දේශීය භාවිතාවක් නොව, බලය සමඟ බද්ධ වූ ව්‍යුහගත කතිකාවක් (structured discourse) බවට වන අවබෝධය නොමැති සහ අදේශපාලනික වම්මුන් සහ ජාතිකවාදීන් සුපුරුදු ආණ්ඩු විරෝධය (පවතින ආණ්ඩුවට එරෙහි වීම) කුළුගැන්වීම තුලින් සිදුවන්නේ ක්‍රමයම පවත්වාගෙන යාමට උපකාරී වීම සහ ඊට අදාළ ද්විපක්ෂ යාන්ත්‍රනයට (විපක්ෂය බලයට ගෙන ඒමට) ඉන්ධන සැපයීමයි.
මින් දිස්වන්නේ යම් පද්ධතියක ඇති පරස්පර විරෝධයන් (contradictions) රහිතව එහි වාසි පමණක් ලබා ගැනීමේ ෆැන්ටසියයි (එහි උපරිමය සලකුණු වන්නේ ජාතිකවාදය තුලය).
එනම්, සංස්කෘතික පවිත්‍රතාවය පිළිබඳ ජාතිකවාදී ෆැන්ටසියට, වාමාංශිකයින්ට අනුව නම් ඔවුන්ගේ ෆැන්ටසිය වන සමාජවාදයට සහ උගතුන්ට අනුව නම් ඔවුනගේ ෆැන්ටසිය වන නිර්මල ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන කොටස් රහිත වූ නූතන අධ්‍යාපනයයි (‘කැෆේන් රහිත කෝපි’, ‘ඇල්කොහොල් නොමැති බියර්’, ‘විරෝධතා රහිත දේශපාලනය’). ‘දෘෂ්ටිවාදය’ ක්‍රියා කරන්නේ හරියටම මෙලෙසය — එනම්, ක්ෂිතිය (trauma) යනු ඉවත් කළ හැකි බාහිර පැල්ලමක් ලෙස සලකමින්, සංකේත රටාව ස්ථාවරව/සංගතව පවත්වා ගැනීමට උත්සාහ කිරීමයි.
‘අනිවාර්යය වීම’ යනු මධ්‍යස්ථ කරුණක් ලෙස වෙස්ගන්වන ලද දේශපාලන ප්‍රකාශයකි. ප්‍රතිසංස්කරණ අනිවාර්ය බව ප්‍රකාශ කිරීම යන්නද ඉහත සඳහන් කල අනෙකුත් දේශපාලන ස්ථාවර මෙන්ම සමාජයේ පවතින සැබෑ ප්‍රතීඝතා (antagonism) වසා දමන ෆැන්ටසියක් ලෙස ක්‍රියා කරයි (“වෙළඳපොළ ඉල්ලන්නේ මෙයයි”, “ගෝලීය යථාර්ථයට මෙය අවශ්‍යයි”, “ප්‍රගතිශීලීත්වය ඉල්ලා සිටින තත්වය” ආදී ලෙසින්…). එනම්, එය මහා අනෙකෙකුගේ නාමයෙන් කතා කිරීමේ තවත් එක් ආකාරයකි (“යථාර්ථය විසින් මෙය කිරීමට බල කොට ඇත” යන්න පැවසෙන විට එය ‘මහ අනෙකා’ වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම අකාරය බවට පත් වේ). යම් ප්‍රතිපත්තියක් “අනිවාර්යයි” (විකල්පයක් හෝ නොමැත) ලෙස හැඳින්වූ විට, ඒ පිළිබඳව විවාද කිරීමට ඇති අවකාශය අහිමි වේ. එවිට එය හුදු දේශපාලන තේරීමක් නොව, ස්වභාවික නීතියක් ලෙස පෙනෙන්නට ගනී (වෙස්ගැන්වූ දේශපාලනය). ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා අවසාන අර්ථයෙන් එම ගොඩට වැටීම නොවැලැක්විය හැකිය.
එවිට ප්‍රතිසංස්කරණවාදී හෝ තාක්ෂණික ප්‍රවීණත්වයේ (technocratic) පාර්ශවය පවත්වාගෙන යන්නේ කුමන ෆැන්ටසිය විසින්ද? බොහෝ විට එය ‘මධ්‍යස්ථ නූතනකරණය’, ‘කුසලතාධිපත්‍යය’ (meritocracy), ‘ගෝලීය තරඟකාරීත්වය’ හෝ ‘මානව ප්‍රාග්ධනය’ වැනි හෝ ඒ සියල්ල එකට එකතු වූ ෆැන්ටසියක් විය හැකිය — මේ සියල්ල ද දෘෂ්ටිවාදී වේ.
‘යථ’ (The Real) යනු හරියටම සංකේතකරණයට (symbolization) ප්‍රතිරෝධය දක්වන සහ කිසිසේත් ‘අවශෝෂණය’ කළ නොහැකි මානයයි.
ධනවාදය විසින් සැමවිටම අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කරනු ලබයි (දයලෙක්තිකව එහි ප්‍රතිලෝමය ද ඇතුලත්ව). නමුත් එය පිරිසිදු ‘ප්‍රතිපෝෂණ චක්‍රයක්’ ලෙස සිදු නොවේ. එහි බිඳ වැටීම්, අසාර්ථක වීම්, ‘රෝග ලක්ෂණ’ සහ දේශපාලනමය විවරයන් පවතී. එනම්, ‘ප්‍රතීඝතා’ එලෙස සුමට ලෙස ඒකාබද්ධ නොවන බවයි; ඒවා සැමවිටම යම් ඉතිරි වීමක් ඉතිරි කරයි. පරස්පර විරෝධයන් යනු හුදෙක් එකඟතාවයකට පත්වන දේවල් නොවේ; ඒවා විසින් රෝග ලක්ෂණ (symptoms), අර්බුද සහ විතැන්වීම් ජනිත කරනු ලබයි.
‘සංකේත රටාව’ යනු සැමවිටම භාෂාව (දේශීය), හැඟවුම්කාරකයන්, දේශීය ඉතිහාසයන් සහ නිශ්චිත ආයතනික සැකසුම් හරහා මැදිහත් වන්නකි. විශ්වීයත්වය පවතින නමුත් එය පවතින්නේ එම නිශ්චිත සංකේතීය භාවිතාවන් හරහා පමණි.
එවිට නූතන පාසල් අධ්‍යාපනය යනු ගෝලීය නූතනත්වය සහ ධනවාදී/රාජ්‍යමය ස්වරූපයන් සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින්නකි. කෙටියෙන් පවසන්නේ නම්, ධනවාදයේ හෝ නූතනත්වයේ ‘විශ්වීය ස්වරූපය’ යනු සැබෑවක් වන නමුත් එය සැමවිටම දේශීයව ප්‍රකාශයට පත්වන්නේ නිශ්චිත ‘රෝග ලක්ෂණාත්මක’ (symptomatic) ආකාරයන්ගෙනි.
විශ්වීය ස්වරූපය යනු ප්‍රාග්ධන තර්කනය, වෙළඳපොළ සබඳතා සහ තාක්ෂණික නූතනත්වය ලෝකය පුරාම එකම පොදු ව්‍යුහයක් (Global structure) ලෙස ක්‍රියාත්මක වීමයි. විශ්වීය බලවේගය ලංකාව වැනි නිශ්චිත රටකට පැමිණි විට, එය එම රටේ පවතින පැරණි සංස්කෘතික ගැටුම්, ජාතිකවාදී ෆැන්ටසීන් සහ දේශපාලන ඉතිහාසය සමඟ මිශ්‍ර වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවන අධ්‍යාපන ක්‍රමය හෝ දේශපාලනය හුදු ධනවාදයේ පිටපතක් නොව, එම පද්ධතියේ පවතින පරස්පරතා මතු කරන ‘රෝග ලක්ෂණයක්’ වැනිය (රෝග ලක්ෂණාත්මක සුසන්ධීකරණය). එම තත්වය තුල විශේෂයෙන්ම ජාතික්වාදීන්ට පිනුම් ගැසීමට හැකි වන්නේ එබැවිනි.
එබැවින් “මුග්ධ ජාතිකවාදය” යනු ද මෙවැනි ගෝලීය නූතනත්වයට මුහුණ දීමේදී දේශීයව මතු වූ එක් රෝග ලක්ෂණයකි. මිනිසුන් බොහෝ විට හුදෙක් නොදන්නාකම (අඥානකම) නිසා එසේ නොවේ; ඔවුන් කිසියම් ෆැන්ටසියක් වෙනුවෙන් තමන්වම කැප කර සිටින්නේ එමගින් ඔවුන්ගේ ‘ප්‍රමෝදය’ සංවිධානය කරන බැවිනි.
සංස්කෘතීන් යනු ඓතිහාසිකව මිශ්‍ර වූ සහ නිරන්තරයෙන් වෙනස් වන්නක් බව මිනිසුන් ‘දැන’ (‘දැනුම’) සිටියද, සංස්කෘතික පවිත්‍රතාවය පිළිබඳ ජාතිකවාදී ෆැන්ටසීන් දිගින් දිගටම පවතී. මෙම ෆැන්ටසීන් ක්‍රියා කරන්නේ කාංසාව (anxiety), සමාජ ප්‍රතීඝතා සහ සමාජ පර්යායේ පවතින අස්ථාවරත්වයට එරෙහි ආරක්ෂක පද්ධතියක් ලෙසයි.
‘දැනුම’ සහ ‘විශ්වාසය’ අතර පරතරයක් පවතී. “මම හොඳින්ම දනිමි, නමුත් එසේ වුවද…” යන තර්කය මෙහිදී මැනවින් පෙනේ. මිනිසුන් හට සංස්කෘතියේ පරිණාමය ගැන ‘දැනුම’ තිබියදීත්, “පිරිසිදු සංස්කෘතියක්” ඇතැයි යන ෆැන්ටසිය අත්හැරීමට බිය වෙති. මෙහිදී ආරක්ෂක පද්ධතියක් ලෙස ෆැන්ටසිය ක්‍රියා කරයි.
ලෝකය යනු අවුල් සහගත, පාලනය කළ නොහැකි සහ පරස්පර විරෝධී තැනකි. “පිරිසිදු සංස්කෘතිය” නමැති ෆැන්ටසිය මගින් එම අවුල් සහගත බව වසා දමා, ලෝකය අර්ථවත් සහ පිළිවෙළක් ඇති තැනක් ලෙස පෙන්වයි. එය බිඳ වැටෙන විට පුද්ගලයා දැඩි කාංසාවකට පත් වේ (ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ ඇමරිකාවේ සිටිනා නලින්ගේ උගත් ගෝලයින්ට ඇති ප්‍රශ්නය).
සමාජයක ඇති විවිධ පන්ති, ව්‍යසනයන්, දෘෂ්ටිවාද සහ ගැටුම් මගින් ඇති කරන අස්ථාවරත්වය සමනය කිරීමට “අප සියල්ලන්ම එකම සංස්කෘතියකට අයත්” යන මිථ්‍යාව උපකාරී වේ.
මතු සම්බන්ධයි…
Share this content:

