වම දකුණ භේදය අවසන්ව ඇත

හුදු ආණ්ඩු විරෝධය නැවතත් සක්‍රිය වෙමින් තිබේ. මෙම ආණ්ඩු විරෝධය ඇති වන්නේ මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන්ගේ අනුග්‍රහයෙනි. ඒ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙනි. නමුත් “මර්ධනයට එරෙහි වීම” යන සටන් පාඨය ඉදිරියට දමා උද්ගෝෂණය පැවැත්වෙනු ඇත. එයට අවශ්‍ය ජවය සපයනුයේ වාමාංශිකයින්ය. රනිල් බලයට පත්වීමත් සමග දිය වී ගිය ඊනියා අරගලය නැවත සක්‍රිය වීමට ආසන්නතම හේතුව මධ්‍යම පන්තිය වෙතින් බදු අය කිරීමට තීරණය වීමයි. එසේම ලබන අප්‍රේල් මාසයේ සිට මධ්‍යම පන්තියට ඉහල පන්තීන්ට අදාලව ද බදු සංශෝධනය කිරීමට තීරණය වී ඇත.

මාක්ස් අර්ථකථනය කල ආකාරයේ නිර්ධනයෙකු හෝ නිර්ධන පන්තියක් අද නොමැත. නමුත් නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසන පක්ෂ නම් ඇත. ඉන් ප්‍රධානතම පක්ෂ දෙක වන්නේ එකම නිරුක්තියක් සහිත ජ.වි.පෙ. සහ පෙ.ස.ප. යන පක්ෂ දෙකයි. ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති බදු සංශෝධන සඳහා ඔවුන් විසින් දැඩි විරෝධයක් පල කොට ඇත. නමුත් ආණ්ඩුව මේ කාර්යය සිදු කොට ඇත්තේ මේ වන විට මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින මධ්‍යම පන්තියට පහල පන්තීන් වෙනුවෙනි.

මේ වන විට පහල ආදායම් ලබන, එදිනෙදා ජීවිකාව සරි කරගත් මිනිසුන් ආහාර පාන අහේනිය නිසා දුක් විඳිති. එසේම ඖෂධ හිඟ වීම සහ මිල ඉහළයාම ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම කල නොහැකි තත්වයක් උදා වී ඇත. එය ඉදිරියේදී තවත් උත්සන්න වීමට නියමිතය. විශේෂයෙන්ම පසුගිය දශක 5ක පමණ කාලය තුළ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල තුළ භූමිය වෙතින් උදුරා දමනු ලැබ ආර්ථික බුබුළු තුළ සංස්ථාපනය කොට ඇති, එදිනෙදා රැකියා මත ජීවත් වූ බොහෝ දෙනෙකු අද අන්ත අසරණභාවයට පත්ව ඇත (බහුතරය ස්ථානගත වී තිබුනේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මතය). දැන් මාස කිහිපයක් තිස්සේ හිඟමන් යදින්නන් වැඩි වෙමින් පවතී. හාල්, පොල්, ඉල්ලමින් නන්නාදුනන පුද්ගලයින් නිවාස වලට පැමිණීමට පටන්ගෙන ඇත. ඉදිරියේදී මේ තත්වය තවත් වැඩි වනු ඇත.

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා පාලනය බලයේ සිටින, පාලන බලය පොරොත්තු වන, සහ අතිමහත් බහුතර ජනයාගේ කැමැත්ත හිමි මාවත වී ඇත්තේ UNPය විසින් ආරම්භ කොට, රාජපක්ෂවරුන් විසින් වර්ධනය කරන ලද නිදහස් ලිබරල් ධනවාදී මාවතමය (ජ.වි.පෙ. සහ පෙ.ස.ප. වැනි පක්ෂ වල ක්‍රියාකාරීත්වය වන්නේ එයම තහවුරු කිරීමකි). අතීත අරගලවල තිබූ වාමාංශික ස්වභාවය යට ගොස් න්‍යායිකවම එම මාවත ඉල්ලා සිටින පිරිස් මේ වන විට වැඩි වී ඇත. (ලංකාවේ පවතින ආකාරයේ නිදහස් ආර්ථිකයක් ලොව කොතනකවත් නොමැත). එම මාවත සඳහා උපදෙස් ලබා දෙනුයේ Advocata වැනි ආර්ථික විද්‍යා පරීක්ෂණ ආයතන මගිනි. එවැනි ආයතන වලට අනුව කල යුතුව ඇත්තේ මෙතෙක් කල් පැමිණි මාවත නව ආරකින් නැවත සවි බල ගැන්වීමයි.

May be an image of 3 people, people standing and text that says 'Asia Liberty Award 2022 LAS ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සිදුකරනු ලබන නායකත්වය සහ සේවය වෙනුවෙන් 2022 වසරේ ආසියාවේම විශිෂ්ඨතම ආර්ථික පර්යේෂණ ආයතනය (Think Tank) වෙනුවෙන් ලැබෙන Asia Liberty Award දිනා ගන්නට Advocata Institute එකට පුලුවන් වුණා. අපිත් එක්ක හිටපු ඔබට ගොඩක් ස්තූතියි! å'

Advocata ප්‍රධානියා වන ධනනාත් ප්‍රනාන්දු පසුගිය දිනක දේශනයක් කරමින් අපූරු කතාවක් කීවේය. ඒ තමන් විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සමයේ ඉතා දුකසේ අධ්‍යාපනය ලැබූ සිසුන් සිටි බවත්, බොහෝ දින වලදී ඔවුනට නිසි ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වූ බවත්, විශ්ව විද්‍යාල ආපන ශාලාව වෙත ඉඳුල් පිගානක් රැගෙන ගිය පසු බත් සහ එළවලු ස්වල්පයක් දෙන ක්‍රමයක් ආපනශාලාවේ තිබූ බවත්, එසේ ආහාර ස්වල්පයක් ලැබෙනුයේ ඉඳුල් පිගානකට පමණක් බවත්, ඒ අනුව එවැනි මුදල් නොමැති දුප්පත් සිසුන් වෙනත් අයෙකු කා අවසන් වූ ඉඳුල් පිඟාන රැගෙන ගොස් සුළු ආහාර වේලක් නොමිලේ ලබාගෙන තම අධ්‍යාපන කටයුතු කල බවත්ය. එය “ඉතුරු කෑම” ලෙස නම් කෙරී තිබූ බවද ඔහු විසින් ප්‍රකාශ කළේය. ඒ අනුව වත්මන් ආර්ථික වැඩපිළිවෙල සකස් විය යුත්තේ මෙවැනි “ඉතුරු කන්නන්” නොමැති සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් පවසා සිටියේ ආර්ථික විද්‍යාව යනු විද්‍යාවක් බවත්, විද්‍යාවේ මෙන්ම ආර්ථික විද්‍යාවේ ද නියාමයන් පවතින බවත්ය. එනම් ඔහු ප්‍රකාශ කොට සිටින්නේ ලෝකය නියාම පාලිත බවත්, ආර්ථික ක්ෂේත්‍රයට අදාළ විද්‍යා නියාම වලට අනුව වැඩ කල යුතු බවත්ය. ලෝකය නියාම පාලිත බව පිළිගන්නා, “ඓතිහාසික භෞතිකවාදය” පිළිගන්නා ජවිපෙ සහ පෙසප හෝ වෙනත් කිසිඳු වාමාංශිකයෙකුට ධනනාත්ගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කල හැක්කේ, ලෝකයට අදාළ නියාමයන් ධනනාත්ලා වැරදියට තේරුම් ගෙන ඇති බවට පමණි. ඔවුනට අනුව නියම නියාමයන් “සොයාගෙන” ඇත්තේ මාක්ස් සහ එංගල්ස් විසිනි. ඒ චාල්ස් ඩාවින් පරිණාමවාදය “සොයාගත්” පරිදිය. ඒ අනුව ජවිපෙ සහ පෙසප (මාස්ක්වාදීන්) මෙන්ම Advocata ලිබරල්වාදීන් යන දෙකොට්ඨාශයම ලෝකය නියාම පාලිත බව පිළිගන්නා මුත් වෙනස පවතින්නේ නියාමයන්ට අදාලවය. එය හරියටම දෙවිවරු දෙදෙනෙකු පිළිගන්නා ආගම් දෙකක් වැනිය.  

Advocata හෝ වෙනත් ඕනෑම ලිබරල් ආර්ථිකවේදියෙකුට අනුව සමාජයේ සියලු දෙනා හට සම්පත් බෙදී යන්නේ ආර්ථික විද්‍යාවට අදාළ නියාමයන් නිසි අවබෝධයකින් යුතුව භාවිතා කරන්නේ නම් පමණිය යන්නයි. එනම්, ඔවුනට අනුව බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සමයේ උදාකොට දුන් තත්වය හෝ ලඟා කොට ගත හැක්කේ එම මාවතේ ගමන් කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා ගැනීමට නම් රනිල් හට මේ මොහොතේ ඇති එකම විසඳුම වන්නේ දැනට ක්‍රියාත්මක කිරීමට නියමිත ආකාරයේ බදු ක්‍රමයක් ක්‍රියාත්මක කොට ආහාර-පාන ඇතුළු මූලික අවශ්‍යතා වල මිල පහල දමා සහන සැලසීම සහ අවශ්‍ය රාජ්‍ය පිරිවැය සොයා ගැනීමයි. එසේ නොකොට මේ වන විට අන්ත අසරණභාවයට පත්ව ඇති ජන කොටස් වෙත සහන සැලසීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමට සහ රජයේ ආයතන පවත්වාගෙන යාම ද කල නොහැකි වනු ඇත. ඒ අනුව විශාල මධ්‍යම පන්තියක් බිහි කිරීම තම ප්‍රතිපත්තිය වන UNP රනිල්ට ඉතාම අකමැත්තෙන් වුවද මධ්‍යම පන්තිය තරහා කර ගැනීමට සිදුව තිබේ (ජවිපෙ, පෙසප වැනි පක්ෂ බදු අය කිරීමට එරෙහි වීම තුල එහි වාසියද නැවතත් ඉදිරි අනාගතයේදී රාජපක්ෂලා සතු වනු ඇත).

මේ වන විටත් ජවිපෙ සහ පෙසප ප්‍රකාශ කොට ඇත්තේ බදු නොගෙවන බවත්, බදු වලට එරෙහිව මාරාන්තික උද්ඝෝෂණ සංවිධානය කරන බවත්ය. ඉන් ජවිපෙ සහ පෙසප අදහස් කරනුයේ 141000ට වඩා උපයන පුද්ගලයෙකුගෙන් බදු අය කිරීම නොකළ යුතු බවය.

බැසිල් විසින් ගොඩනගන ලද ආර්ථිකය කඩා වැටීම තුල කාංසා සහගතව අසහනකාරී ලෙස අර්බුධයට ගොස් ඇති ප්‍රධානතම සමාජ කොට්ඨාශය වන්නේ මධ්‍යම පන්තියයි (මූලික අවශ්‍යතා පිළිබඳව ප්‍රශ්නයක් ඔවුනට නොමැත. ඔවුනට එවැනි ප්‍රශ්න පවතින්නේ නම් පවතින්නේ මූලික අවශ්‍යතා නොවන දේ සඳහා දරා ඇති වියදම් සහ ණය හේතුවෙනි) මෙම මධ්‍යම පාන්තිකයින් පසුගිය සමයේ කල ප්‍රධාන දේවල් වන්නේ, කෝටි ගණන් වටිනා සුවිසල් නිවාස ඉදි කිරීම සහ ගෙවතු අලංකරණය, වාහන මිලදී ගැනීම සහ භාවිතය, තම දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කෝටි ගණන් වියදම් කිරීම, තම වෙහෙස සහ මානසික ආතතිය දරා ගත නොහැකිව විනෝද ගමන් යාම සහ හෝටල් වල නතර වීම, විදේශ සංචාර වල නිරත වීම, අති විශාල මංගල උත්සව පැවැත්වීම සහ මධු සමය සඳහා විදේශ ගත වීම, තම කටයුතු සඳහා කාලය අවම කරගැනීම සඳහා හැකිතාක් එලෙක්ට්‍රොනික සහ එලෙක්ට්‍රිකල් භාණ්ඩ මිලදී ගැනීම වැනි දෑය. ඔවුන් කෑමට බීමට වියදම් කරනු ලබන මුදල අනෙකුත් වියදම් වලට සාපේක්ෂව සුළු මුදලකි. මෙම මධ්‍යම පාන්තිකයින් තම ආදායමට ද එහා ගොස් වැඩ කටයුතු කරන පිරිසක් බැවින් ඔවුන් හට නිරන්තර ණය, ලීසිං වාරික, අධ්‍යාපන වාරිකරක්ෂණ වාරික වැනි මූල්‍ය ආයතන සමග ගනු දෙනු පවතී. පසුගිය කාලයේ සමාජයේ ඉහලම පන්තීන් සහ මධ්‍යම පන්තීන් මේ කටයුතු කරන විට ගොඩනැගුන ආර්ථිකය තුල ඊට පහල පන්තීන් යැපුණි. ලංකා ඉතිහාසයේ මේ ආර්ථිකය උපරිමයෙන් ක්‍රියාත්මක කල ආර්ථික නියමුවා වූයේ බැසිල් රාජපක්ෂය. ඔහු විසින් “ජනතාවට” දුන් ආතල් එක පෙර අතීතයේ කිසිවෙකුත් එසේ ලබා දී නොමැත. නමුත් දැන් එහි ප්‍රතිඵල ලැබෙමින් පවතී. තවමත් එහි ප්‍රතිඵල මිනිසුන්ට දැනෙනුයේ ආර්ථික ක්ෂේත්‍රය තුල පමණි. ඒ තත්වය තුල ඇති වී ඇති සහ ඉදිරියේදී තීර්ව වීමට නියමිත පාරිසරික අර්බුධ, සෞඛ්‍ය අර්බුධ, සමාජ අර්බුධ පිළිබඳව සාමාන්‍ය මිනිසුන්ට හෝ ඒ මිනිසුන් හට බැසිල් විසින් ලබාදුන්නට වඩා ආතල් එකක් දීමට කැසකන ජවිපෙට හෝ “ජනතාවට” ආතල් මදි නිසා තම වල්ගය විකා ගන්නා පෙසපට හෝ ඒවාට ආවඩන අනෙක් අයට කිසිඳු හාන්කවිසියක් නොමැත.

Advocata වැනි ආයතන සහ ආර්ථික විද්‍යාඥයින් දිගින් දිගටම යෝජනා කරනුයේ මෙතෙක් පැමිණි ලිබරල් මාවතේ දිගට ගමන් කරනා ආකාර සහ උපක්‍රම ගැනයි. ඔවුන්ගේ මාදිලි, විධික්‍රම සහ උපක්‍රම යනු ගෝලීය ආර්ථිකයේ නිෂ්පාදන හෝ සේවා පංගුවක් ලංකාව සතුකොට ගන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්තා ඇති ක්ෂේත්‍ර මොනවා ද, ඒවාට රිංගන්නේ කෙසේ ද, නව ක්ෂේත්‍ර තිබේ ද යනුවෙන් සොයමින්, කාල්ගාමින් ඔවුන් ඒ සඳහා පර්යේෂණ කරමින් වෙහෙසෙයි. එසේ සිදු කරන පර්යේෂණ අනුසාරයෙන් වාර්තා සකස්කොට මේ ආකාරයේ මාදිලි, විධික්‍රම සහ උපක්‍රම භාවිතා කළහොත් මෙතරම් ආර්ථික වාසියක් ලබාගත හැකිය යන වාර්තා සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම රටවලට ඒවා විකුණා දමා මුදල් උපයා ගැනීම Advocata වැනි කුපාඩීන්ගේ ප්‍රධාන කටයුත්තයි. ඒවාට සම්මාන දෙන ආයතන යනු ද Advocata වැනි තවත් සංවිධාන එකතුව අටවාගෙන ඇති ආයතන වේ.

ලංකාවේ පත් වූ ආණ්ඩු විසින් පසුගිය දශක පහක පමණ කාලය තුල උත්සාහ දැරූයේ ගෝලීය ආර්ථිකයේ කොටස් ඩැහැ ගැනීම සඳහා ඔට්ටු ඇල්ලීමටය. එහිදී ආර්ථිකවේදීන්ගේ ලංකාවට අදාළ පරමාදර්ශීය රාජ්‍යයන් ලෙස පෙන්වූයේ සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල්ය. ඒ රටවලට “දියුණු” විය හැකි නම් ලංකාවට බැරි මොකද යන ප්‍රශ්නය ඔවුන් විසින් දිගින් දිගටම මතු කරනුයේ දක්ෂ ළමයින් පෙන්වා ඒ ළමයින්ට හැකි නම් බොට බැරි මොකදැයි අසනා දෙමාපියන් මෙනි. නමුත් ළමයෙකුගේ දක්ෂතාවය තීරණය වන සන්ධර්භය සහ සාධක රැසක් තිබුන ද එසේ අසනා අයට ඒවා අනදාළ වනවා සේම එකී රටවල “දියුණුවට” අදාළ සන්ධර්භයන්, භාහිර බලපෑම් (බලවත් රටවල), ආචරණයන්, සහ ආර්ථික වාසි ලබා ගැනීමට හැකි වීමේ අහඹු තත්වයන් එසේ ප්‍රශ්න අසන කිසිවෙකුටත් අදාළ නැති අතර ආර්ථික විද්‍යාවට ද ඒවා අදාළ නොවේ. ආර්ථික විද්‍යාවට අනුව වැඩ කටයුතු කරන්නේ නම්, එම න්‍යායන් නිසි ලෙස භාවිතා කරන්නේ නම්, දියුණු විය හැකි බව ඔවුන් පවසයි. එම ස්ථාවරයට අනුව එවිට ප්‍රශ්නය වන්නේ නිසි දේශපාලන අධිකාරීත්වයක් නොමැති කමය. ඒ අනුව එයම පුන පුනා පවසන නිසි ආන්ඩුකරණය ගැන නන්දොඩවන ජ.වි.පෙ., පෙ.ස.ප. වැනි පක්ෂ නියැලී සිටින්නේද එම ආර්ථික විද්‍යා සම්භාෂණයේමය. 

දියුණු” යැයි සම්මත රටවල් සැමදා එම තත්වය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න ඔය ආර්ථිකවේදීන් කිසිවෙකුටත් අදාළ නොමැති කාරණාවන්ය. ප්‍රාග්ධනය (මාක්ස්ගේ කාලයේ මෙන් නොව මේ වන විට ප්‍රාග්ධනයේ විවිධ ස්වභාවයන් පවතී)විද්‍යාත්මක දැනුමේ නොනවතින වර්ධනය, තාක්ෂණයේ දියුණුව, සියලු නිපැයුම්, ඒවායේ වෘද්ධීන් සහ නව නිපැයුම්, සහ ඒ සියල්ලේ ආධිපත්‍ය සැමදා හිමිව පවතින්නේ එකම රටවල් කිහිපයකටය. දියුණුවේ අනුක්‍රමිකත්වය තුළ අනෙකුත් බලවත් රටවල් යනු එම රටවල බලපෑම පිළිගනිමින් ඒවාට අනුයාතව ක්‍රියා කරන රටවල්ය (නේටෝ සංවිධානය වැනි සංවිධාන පවතින්නේ එබැවිනි). පසුගිය සියවස තුළ සහ මේ සියවස තුළ මෙතරම් කුරිරු යුද්ධ සංඛ්‍යාවක් ඇතිවීමට හේතු වූයේ එම බලවත් රටවල තත්වය එසේම ආරක්ෂා කරගැනීමේ උවමනාව මතය. මාරාන්තික අවි ආයුධ ඇතුළු ලොව ක්ෂණයකින් විනාශ කල හැකි න්‍යෂ්ටික අවි වැනි නොතිත් අවි ආයුධ නිෂ්පාදනයක් සහ දියුණු කිරීම් පවත්වා ගන්නේ ද මේ සඳහාය. ජාතික ආරක්ෂාව යනුවෙන් දෙයක් පවතින්නේම එබැවිනි. එහි තවත් පියවරක් මේ වන විට යුක්‍රේන රුසියා යුද්ධය ලෙසින් යුරෝපය තුළ දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන්ම එම කේන්ද්‍රීය රට වල සමෘද්ධියේ තෝතැන්න වී ඇත්තේ අප්‍රිකානු කලාපය සහ මැදපෙරදිග කලාපයයි. ඉතියෝපියාව වැනි ව්‍යතිරේකී තත්වයන් පෙන්වා අන්න දැන් ඉතියෝපියාවේ හැටි දැන් බලන්න යයි පවසන අය සොයා බැලිය යුත්තේ ඒ සිදු වී ඇත්තේ කුමක්ද යන්න සහ එය එසේ වීම අවශ්‍ය වන්නේ කිනම් රටකට හෝ රටවලටද යන්නයි. නොනවතින යුධ ශක්තියක් ගොඩනගා ගන්නා පංච මහා බලවතුන් මෙන්ම එම පංච මහා බලවතුන් සමග නොයෙක් ආකාරයේ මිත්‍ර කම් පවතින රටවල් ලෙස බෙදීමක් පවතින්නේ ප්‍රාග්ධන තර්කනයට අදාලව ඒ, , රටවල පවතින තත්වය ආරක්ෂා කොට ගැනීම සඳහා සහ වර්ධනය කොට ගැනීම සඳහාය. ඇත්තටම මේ තත්වය යනු මාන්නකාරී, ආඩම්බරකාරී, සුපිරිසිදු, යුක්තිගරුක, ශිෂ්ට සම්පන්න, සැදැහැවත් ප්‍රජාතන්ත්‍රවාදයට (සදාචාරය) යටින් ඇති සැබෑ පාතාල ක්‍රියාකාරීත්වයයි. එබැවින් රටවල් අතර සබඳතා තුලදී ප්‍රජාතන්ත්‍රවාදී ආචාරධර්ම ක්‍රියාත්මක වන සැබෑ ස්ථානය වන්නේ එම පාතාල ක්‍රියාකාරීත්වයට අදාළ ස්ථානයයි. ආර්ථික විද්‍යාව සියලු ප්‍රතිපත්ති සකස් කරනුයේ ඉහත විස්තර කරන ලද තත්වයන්ගෙන් වියුක්තව හෝ ඒවා කළමනාකරණය කොට ගැනීමට දේශපාලන අධිකාරීත්වය සමත් විය යුතුය යන පූර්ව නිගමනයේ එළැඹ ගෙනය.

මේ කොල්ලකාරී පොරයට බැස කොටසක් ඩැහැ ගත හැකිද යන උත්සාහය දැන් වසර 50ක පමණ කාලයක සිට ක්‍රියාත්මකය. නමුත් එහිදී මේ දක්වා ලංකාවට සහභාගීත්වය දැක්වීමට හැකිව ඇත්තේ තේ, රබර් සහ රබර් නිෂ්පාදන (පොල් ගැලවී ගොස් ඇත) සහ කුළු බඩුමැණික්වැනි සම්ප්‍රදායික අපනයනයන් (ඉංග්‍රීසීන් විසින් දැමූ පදනම), ඇඟලුම්මාළු සහ මුහුදු ආහාර, වැනි නිෂ්පාදන කිහිපයක් තුළ පමණි. එසේම සේවා ක්ෂේත්‍රයේ, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණයවිදේශ රැකියා, සහ තවත් සුළු ක්ෂේත්‍ර කිහිපයකි. එකී සියල්ලේ අති විශාල කොටසක් විදේශ ආයෝජනයන්ය. එබැවින් 2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව සිදු වූ මහා සංවර්ධන ප්‍රාතිහාර්යය පිටුපස ඇත්තේ විදේශ ණය සහ චීන භූමි මංකොල්ලයන්ය. පසුගිය දශකයේ පැවති සමෘද්ධිය බිහි වූයේ එම තත්වය යටතේය.  

ඊට අදාළ සංඛ්‍යාන දත්ත සඳහා පහත ලිපි දෙක කියවන්න.

උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද ?

මේ මද්‍යපානේ තියන ජොලිය

බදු අය කිරීම සඳහා මාරාන්තිකව විරුද්ධ වීමෙන් පෙනී යන කාරණය නම් මෙවර නම් කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ යයි සිතා සිටින ජවිපෙ බලයට පැමිණි පසුව මෙවැනි බදු අය කිරීමක් නොකරන බවය. ඒ අනුව ඔවුන් විසින් මේ ප්‍රකාශ කරනුයේ මධ්‍යම පන්තිය විසින් 2009 වසරින් පසුව පවත්වාගෙන ආ ජීවන රටාව ඊටත් වඩා හොඳට ලබා දෙන බවය. ප්‍රශ්නය වන්නේ එය කරන්නේ කෙසේද යන්නයි. එසේම ඉන් පෙනී යන අනෙක් කාරණය වන්නේ කෝටි ගණන් වටිනා සුවිසල් නිවාස ඉදි කිරීම සහ ගෙවතු අලංකරණය, වාහන මිලදී ගැනීම සහ භාවිතය, තම දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කෝටි ගණන් වියදම් කිරීම, තම වෙහෙස සහ මානසික ආතතිය දරා ගත නොහැකිව විනෝද ගමන් යාම සහ හෝටල් වල නතර වීම, විදේශ සංචාර වල නිරත වීම, අති විශාල මංගල උත්සව පැවැත්වීම සහ මධුසමය සඳහා විදේශ ගත වීම, තම කටයුතු සඳහා කාලය අවම කරගැනීම සඳහා හැකිතාක් ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් භාණ්ඩ මිලදී ගැනීම වැනි දෑ වලට ඔවුන් පක්ෂ බවය.

Advocata වැනි ලිබරල්වාදීන්ට අනුව ධනවාදයේ කොල්ලකාරී පොරය ස්වභාවිකය. ඔවුනට අනුව එය “මානවයාගේ” ස්වභාවයට අදාළ තත්වයකි. ඒ අනුව එය වෙනස් කල නොහැකිය. කල හැකි දෙය වන්නේ ඊට අදාළ නියාමයන්ට අනුව වැඩ කටයුතු කොට සාර්ථක රටක්, සාර්ථක පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමයි. නමුත් එම ස්ථාවරයේ ඇති විරුද්ධභාශය ඔවුනට අදාළ නැත.

මානවයා, මානව වර්ගයා, මානව සංහතිය, ජනතාව වැනි ස්ථාවර මත පදනම් වන දේශපාලනය ප්‍රතික්ෂේප කරණ දේශපාලනයක් අවශ්‍යව ඇත. කෙනෙකු එම යෙදුම් පාවිච්චි කරමින් ඒ මත පදනම් වන්නේ නම් එම පුද්ගලයා දෘෂ්ටිවාදයේ ඍජු ගොදුරකි.

1 thought on “වම දකුණ භේදය අවසන්ව ඇත

Leave a Comment

%d bloggers like this: