ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

සමන් වික්‍රමාරච්චි මනොවිශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ භාෂය හරහාය. එබැවින් ඔහු X කණ්ඩායම සහ X කණ්ඩායමේ සිට ඉවත්ව විකාර දොඩවන අයට වඩා වැඩි දෙයක් නොකියයි. පහතින දක්වා ඇති වීඩියෝවේ සංවාදය තුල වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය පිළිබඳව අදහස් දක්වයි.

එමී සිද්ධිය යනු ලකාන් වෙත මූලික වශයෙන්ම දැඩි ලෙස බලපෑම් සහගත වූ සිද්ධියයි. ඔහුගේ සියලු ඉදිරිපත් කිරීම් සඳහා මෙම සිද්ධියේ බලපෑම පැවතුනි.

එමී යනු තිස් අට හැවිරිදි දුම්රිය ලිපිකාරිණියකි. එසේම ඇය සාහිත්‍ය කරණයේ යෙදෙයි. ලකාන් හට එමී මුනගැසෙනුයේ ඔහු ශාන්ත ඈන් රෝහලෙහි වෛද්‍යවරයෙකු ලෙස සේවය කල සමයෙහිය. ඇයගේ ප්‍රකාශනය නොකළ නවකතාවක එන වීරවරියගේ නමින් ලකාන් විසින් එමී නම් කරන ලදී.

එමී විසින් Huguette Duflos නමැති ඉතා ප්‍රසිද්ධ පැරීසියේ නිළියකට පිහියෙන් ඇන මරා දැමීමට උත්සාහ කරන ලදී. ඇය පැරිසියේ සුප්‍රසිද්ධ නිළියකට එසේ කලේ ඇයි ද යන්න පැහැදිලි කළ නොහැකි තත්වයක් ලෙස සලකුණු විය. ඇය දිනක් සවස රංග ශාලාවකට ඇතුළු වී පිහියකින් නිලියට පහර දී තුවාල කළාය. එම සිදු වීමට පෙර සිටම නිළිය සහ වෙනත් අය විසින් ඇය ගැන අපවාද පතුරුවා හරිමින් සිටි බව එමී විසින් නිරන්තරයෙන්ම කියා සිටියාය. නමුත් ඇයට පීඩා කරන්නන් යැයි කියනු ලබන අය ඇය හට කිසි දිනක හමු වී නොතිබුණි. එමීට සාහිත්‍යමය අභිලාෂයන් තිබූ නමුත් ඇගේ නවකතා සහ කවි එකින් එක ඒ වන විට ප්‍රකාශකයින් විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබුණි.

 

නිලියට කල පහරදීමේ සිද්ධිය පුවත්පත් හරහා එකල දැඩි ප්‍රසිද්ධියට ලක්විය. පෙනී යන ආකාරයෙන් අහේතුක ක්‍රියාවක් වන මෙම සිද්ධිය පිටුපස ඇති තර්කය විමසා බැලීමට ලකාන් උනන්දු විය. ලැකාන් ඇගේ සිද්ධිය ගැන උනන්දු වීමට මුලින්ම හේතු වූයේ ඇයගේ ලේඛනවල තිබූ අසාමාන්‍ය ස්වභාවය නිසාය. ලකාන්ගේ මතය අනුව, එමී සාහිත්‍ය වෘත්තියක් ලෙස කරගෙන යාමෙන්, ඇය වීමට බලාපොරොත්තු වූ හොඳම ආකාරයේ ස්ත්‍රියක වන, සමාජ නිදහස සහ බලය භුක්ති විඳින කාන්තාවකගේ පරමාදර්ශී ප්‍රතිරූපයකට ඇය විසින් පහර දුන්නේය. ලකාන් විසින් මනෝවිශ්ලේෂණය සඳහා “self punishment paranoia” (ස්වයං දඬුවම් පැරනොයාව) නමින් නව සංකල්පයක් හඳුන්වා දෙනු ලබන්නේ මෙම එමී සිද්ධියට අනුගාමීවය. ඊට අදාලව ලකාන් විසින් පැහැදිලිව ප්‍රකාශ කරන කාරණාව වන්නේ එමී විසින් නිළිය වෙත පිහියෙන් ඇනීම යනු ඇත්ත වශයෙන්ම එමී විසින් තමන්ටම පිහියෙන් ඇනගැනීමක් බවය.

එමී ඊර්ෂ්‍යා කළ සහ ඇයට පීඩා කරන්නා වූ, ආධිපත්‍යය දැරූ, කාන්තාව මුලින් ඇගේ සහෝදරිය විසින් මූර්තිමත් කරන ලද අතර (ලකාන් විසින් සිදු කල විමසා බැලීම් තුල එය හෙළි විය) පසුව එමී වරක් පිළිගත් සමීප කාන්තා මිතුරියක විසින් මූර්තිමත් කර තිබුණි. තමන් පිරිමියෙකු බව තමන්ට හැඟෙන බව එමී විසින් වරක් පිළිගෙන තිබුණි. එසේ නම්, එමීගේ තත්වය, අනන්‍යතාවය පිළිබඳව ගැටලුවක් තුළ, තමා සහ අනෙකා අතර ව්‍යාකූලත්වය තුල මුල් බැස ඇත.

එමී විසින් පිහියකින් පහර දී තුවාල සිදු කල හියුගෙට් ඩුෆ්ලොස් විසින් නියෝජනය කරන ලද්දේ සමාජ ගෞරවය ද, බලය ද, හිමි නිදහස් ගැහැණියයි. එමීගේ අපේක්ෂාව වූයේ ද හරියටම එවැනි ස්ත්‍රියක් බවට පත්වීමයි. ඇය ධනවත්, බලගතු, සමාජ ගෞරවය හිමි සාහිත්‍යවේධිනියක වීමට ප්‍රාර්ථනා කළ අතර, ඇය විසින් පහරදුන්නේ ඇයගේ අභිලාෂයේ මූර්තියටය. එනම්, ඇය විසින් පහරදෙනු ලැබූයේ ඇයගේ ‘ඊගෝ-පරමාදර්ශය’ (‘ego-ideal’) නියෝජනය කරන නිළියටය.

ලැකාන්ගේ අදහසට අනුව එමී පැහැදිලිවම පීඩා විඳීමේ මුලාවෙන් (මෝහයෙන්) පෙළුණි. එමීගේ මුලාවන්හි කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඇය නීතිය ඉදිරියේ වැරදිකාරිය වී සිරගත වූ විට එම මුලාවන් අතුරුදහන් වීමයි.

ඇගේ මුලාවන් පිටුපස ඇති ප්‍රාර්ථනය අවිඥානික ස්වයං-දඬුවමක් විය. පෙනෙන ආකාරයට එසේ වූයේ ඇගේ වරදකාරී හැඟීම් සමඟ කටයුතු කිරීමට විය හැකිය. ඇගේ සයිකෝසික (psychosis) තත්වය වූයේ ‘ස්වයං දඬුවම් පැරනොයාවයි’. මෙය ෆ්‍රොයිඩ්ගේ එක් සංකල්පයක් වූ අතර වරදකාරී හැඟීමකින් අපරාධකරුවන් වන අය වෙත ඔහු එය අදාළ කරයි. අපරාධයට පෙර පීඩාකාරී හැඟීමෙන් පෙළෙන ආත්මයන් හට ඇතැම් අපරාධ ක්‍රියාවන් සහනයක් ලබා දෙන ආකාරය ෆ්‍රොයිඩ් විස්තර කළේය. දඬුවම් ඇවිලවීමට දරුවන් බොහෝ විට චේතනාන්විතව අශෝභන ලෙස හැසිරෙන ආකාරය ද, දඬුවම් කිරීමෙන් පසු නිහඬව සහ සන්සුන් වන ආකාරය ගැන ද ඔහු ලිවීය.

“සරතුස්ත්‍රාගේ දේශන” නීට්ෂේගේ කෘතියෙන් සුදුමැලි අපරාධකරුගේ (The pale criminal) චරිතය පිළිබඳව ෆ්‍රොයිඩ් සඳහන් කරයි. ෆ්‍රොයිඩ් විසින් පෙන්වා දෙන්නේ “සුදුමැලි අපරාධකරුවාගේ” ක්‍රියාව වන්නේ ඒ සමග එකට යන අවිඥානික වරදකාරීතිවයේ බහිශ්කරණය සහ දඬුවම සඳහා වන ආශාව බවයි. ෆ්‍රොයිඩ් පවසන්නේ මෙම වරදකාරීත්වය ව්‍යුත්පන්න වන්නේ ඊඩිපස් සංකීර්ණය (Oedipus complex) වෙතින් බවත්, එය පියා ඝාතනය කිරීම සහ මව සමග ලිංගික සම්බන්ධතා කරා යාමේ මහා සාපරාධි අභිප්‍රායන් දෙක වෙතට වූ ප්‍රතික්‍රියාවක් වන බවත්ය. මේ අර්ථයේ වරදකාරි හැඟීම ව්‍යුත්පන්න වී ඇත්තේ කර්කශ ‘සුපර් ඊගෝව’ (super ego) සහ එයට යටත් වන ‘ඊගෝව’ (ego) සහ ‘ඊගොව’ එය විසින්ම දඬුවමට ලක්වීම සඳහා වන අවශ්‍යතාවයක් ප්‍රකාශ කිරීම තුලය. අපරාධ කොමිසම විසින් ප්‍රධානය කරනුයේ දෙමාපිය බලයක් මගින් වන දඬුවම හරහා වරදකාරී හැඟීම වෙතින් නිදහස් වීමකි (පුනුරුත්තාපන ක්‍රියාවලිය /මම/). වරදකාරී හැඟීම ඇතිවන්නේ ගර්හනීය ක්‍රියාව පිළිබඳව කොමිසම නිසා නොව එම පුද්ගලයා එය කිරීමට තමන් තුලම වූ අභිප්‍රාය මගිනි.

පහත ආකාරයේ කතා සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබේ.

“මම උඹ මරලා හිරේ යනවා…” “මම තෝත් මරාගෙන මැරෙනවා…” “මම මරනවා තමයි…මරලා රිමාන්ඩ් වෙනවා සාක්කි නැති නිසා ආපහු එනවා ආපහු මරනවා”.

වරදකාරී හැඟීම සහ දඬුවම සඳහා හේතු වන්නේ අපරාධය නොවේ (එනම් වරදකාරී හැඟීම හෝ දඬුවම ඇතිකරනුයේ අපරාධය විසින් නොවේ). අපරාධය යනු දඬුවම් ලැබීම සඳහා වන අවශ්‍යතාවයි (එනම් දඬුවම් පමුණුවන ආයතන බලා සිටින්නේ අපරාධයක් වන තෙක්ය). ඒ අනුව දඬුවම් ලැබීම සඳහා වන අවශ්‍යතාවය විසින් වරදකාරී හැඟීම සහ අපරාධයට උපත ලබා දේ.

අපරාධ සහ වරදකාරී හැඟීම් පවත්වාගන්නේ දඬුවම් විසිනි. ඒ, ඒ, අපරාධයට හෝ වරදට අදාළ දඬුවම් තිබේ. එම දඬුවම් පනවන්නේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවය. සාමාන්‍යයෙන් අපරාධ වලින් උපරිම අපරාධය “මිනී මැරීම” ලෙස සැලකේ. දඬුවම උපරිම වන්නේද එම වරදටය. අදාළ මිනී මැරුමේ ස්වභාවය අනුව දඬුවම තීරණය වේ. දඬුවම් යනු හිංසනයයි.

ෆ්‍රොයිඩ් විසින් 1916දී සාපරාධි වැරදි සිදු කල රෝගීන් සමග කතා කිරීමේදී වැරදිකාරීත්වය (guilt) පිළිබඳව දැඩි පීඩාකාරී හැඟීම් වලින් ඔවුන් පෙලන බව ඔහුට අවබෝධ විය. ඔවුන්ගේ මෙම දැඩි පීඩාකාරී වරදකාරීත්වයේ මූලාරම්භය (origin) අඥාත වූ මුත්, එය සහනයක් බවට පත්කරන ලද්දේ අපරාධ විනිශ්චය කොමිෂන් සභාව මගිනි. එනම් අපරාධකරුවා ද නොදන්නා ඔහුගේ ක්‍රියාවක් වෙනුවෙන් ඔහුම පත්වන වැරදිකාරීත්වය සඳහා දඬුවම් ලැබුණාය යන සාධාරණත්වය හිමිකර දෙනුයේ අධිකරණය හෝ අපරාධ විනිශ්චය කොමිෂන් සභාවයි (වින්ධිත පාර්ශවය සඳහා යුක්තිය ඉටුවීම යනු එයයි). ඒ අනුව ෆ්‍රොයිඩ් විසින් යෝජනා කොට සිටින්නේ ඇත්ත වශයෙන්ම වරදකාරීත්වය යනු අපරාධ විනිෂ්‍ය කොමිෂන් සභාවේ ප්‍රාථමික දක්කන්නා බවය (primary driver of the commission of the crime). එනම් අපරාධ විනිශ්චය කොම්ෂන් සභාව නොමැති නම් ඔවුන් සඳහා එම සාධාරණතත්වය හිමි නොවේ.

මින් අදහස් වන දෙය වන්නේ කෙනෙකු තුල ඊඩිපල් වරදකාරීත්වය (oedipal guilt) පැවතීම සඳහා එම කෙනා විසින් තම පියා මරා තම මව සමග ලිංගික සම්බන්ධතා පවත්වා තිබීම අවශ්‍ය නොවන බවය. නමුත් එම අභිප්‍රාය පැවතීම හෝ එසේ කිරීම සඳහා වන ආශාව මුල් මනෝලිංගික සංවර්ධනය තුල හටගැනීම ප්‍රමාණවත් බවය. ෆ්රෝයිඩ්ගේ “ශිෂ්ටාචාරය සහ එහි අසහනය”(“Civilization and its Discontents”) කෘතිය තුල ප්‍රධාන තේමාව වන්නේ සහජාශයේ (instinct) ඉල්ලීම් (demands) සහ ශිෂ්ටාචාරයේ සීමා අතර ආපසු නොගෙවිය හැකි ප්‍රතීඝතාවය පිළිබඳවයි. ඊඩිපස් සංකීරණයේ සාර්ථක විසඳුම පවතිනුයේ ශිෂ්ටාචාරයේ අසහනය ඇතුලත ජීවත් වීමට අපට කුමක් විසින් අවසර දෙනවාද යන්න තුලයි. ඒ අනුව පියාගේ මැදිහත්වීම වෙතින් ඉගෙනගන්නා පාඩම උපකාර කරනුයේ ජීවිතය මුළුල්ලේ අපගේ මාවත සුසර කොට ගැනීමටය. ෆ්‍රොයිඩ්ට අනුව අපට පියා වෙතින් වන දඬුවමේ තර්ජනය අවශ්‍ය වන්නේ අපගේ ආශාවන්ට ලංසු තැබීමට වසඟවීම වලක්වා ගැනීමටය. ඕනෑම මනෝ ව්‍යාධියකින් හෝ නියුරෝසියාවකින් (neurosis) තොර ආකාරයකින් සමාජයට අන්තර්කරණය කිරීමට අපට ඉඩ සලසන තේරීම් කිරීමට (සමාජය තුල තමනට අදාළ ස්ථානයක් තීරණය වීමට) එය අපට උපකාරී වේ.

මේ පිළිබඳව ක්ලෝඩ් ලෙවිස්ට්‍රවුස්ගේ ආභාෂය ලබන ලකාන් දකින දෙය වන්නේ පුද්ගලයා සංඛේත රටාව (symbolic order), භාෂාව, සංස්කෘතික පුරුදු සහ මිත්‍යාවන් ඇතුලත ස්ථානගතව ඇති බවය. ලෙවිස්ට්‍රවුස් විසින් හඳුනාගන්නේ ව්‍යභීචාරි තහනම යනු ඔහු විසින් අධ්‍යයනය කරන ලද සියලු කණ්ඩායම්හි ඥාතිත්වයේ ව්‍යුහය තුල යම් කිසි කාවැදුණු තත්වයක් බවය. ඔහු ප්‍රකාශ කොට සිටියේ ව්‍යභිචාරි තහනම යන්න සාර්වයක් (universal) බවය. එබැවින් ආත්මය (subject) වටකරගන්නා සංඛේත රටාව සැකසෙන්නේ එසේය.

ලකාන්ට අනුව ව්‍යාභිචාරි තහනම යනු ඊඩිපස් සංකීර්ණය තුල පියාගේ භූමිකාවේ සංස්කෘතික බලාත්මක කිරීමයි. ෆ්‍රොයිඩ්ගේ ජීව විද්‍යාත්මක ප්‍රවේශය වෙතින් වෙනස්ව සහ ඊට එරෙහිව ලැකාන් ඊඩිපස් සංකීර්ණය මූලික වශයෙන් සංකේතාත්මක හා භාෂාමය සංසිද්ධියක් ලෙස දකී. ආශාවන් සහ තහනම් කිරීම් අතර ආතතිය ඇති කරන්නේ ව්‍ය්වච්ඡේදක විද්‍යාත්මක වෙනස්කම් නොව සංකේත රටාවට ඇතුළු වීම බව ඔහු තර්ක කරයි (එබැවින් ලකානියානු ප්‍රවේශය පවතින සම්ප්‍රදායට එරෙහිව විමුක්ති දේශපාලන දිශානතිය සලකුණු කරයි). ලකාන් එයට කියනු ලබන්නේ ‘පියා පිලිබඳ ප්‍රඥාප්තිය’ (‘The name of the father’) යනුවෙනි (“පියාගේ නාමකරණය” යන්න අර්ථ විරහිත පරිවර්තනයකි). ඒ තහනම රැගෙන එන්නේ සැබෑ පියා විසින් නොව සංකේතීය පියෙකු (symbolic father) විසිනි. ‘පියා පිලිබඳ ප්‍රඥාප්තිය’ යනු සංඛේත රටාව වෙතට අනන්‍යතාවයක් ලබා දෙන සහ ආත්මය සංඛේත රටාව සහ ඊඩිපල් තහනම තුල ස්ථානගත කරන හැඟවුම්කාරකයකි. ලකාන් සහ ෆ්‍රොයිඩ් යන දෙදෙනාම මානසික සංවර්ධනය සඳහා ඊඩිපස් සංකීර්ණයේ ඇති කේන්ද්‍රීයත්වය පිළිබඳව සාර්ථක සංවාදයක නියැලෙයි. නමුත් ආත්මය අපරාදයක් සිදුකිරීම දක්වා වන විස්තාරය වෙතට වන කල්කිරියාව සඳහා මෙය බලපාන්නේ කෙසේද? එය එසේ වන්නේ (සංකේතීය) පියාගේ නීතිය ආත්මය විසින් පුරුදු කොට නැති බැවින් සහ එම ආත්මය දඬුවම මගින් පමණක් සහනය ලබනා කාංසා තත්වය තුල හැර දමා ගොස් ඇති බැවිනි. ඊඩිපස් සංකීර්ණය සමග ගනුදෙනුවේදී දඬුවම පිළිබඳව තර්ජනය එවැන්නන් කිසි විටකත් ලබාගෙන නොමැත. පියාට එරෙහි එවැනි ළමා කැරලිකරුවා බලාපොරොත්තු වන්නේ පියාගේ අනුමැතිය වන විට අපරාධාකරුවා අපරාධය සිදු කරනුයේ පොලිස් නිලධාරියාගේ ආකෘතියෙන් සංඛේත පියාගේ අනුමැතිය සෙවීම තුලය. ඔවුන් මෙසේ සංඛේත රටාව තුල ඔවුන්ගේ ස්ථානය සොයයි. ෆ්‍රොයිඩ් විසින් ඊඩිපල් වරදකාරිත්වය, අපරාධකරුවන්ගේ සාපරාධීත්වය සමඟ වරදකාරී හැඟීමක් වෙතින් සම්බන්ධ කරයි (ෆ්‍රොයිඩ්, 1916). එනම්, මෙහිදී ෆ්‍රොයිඩ් විසින් සාපරාධී ක්‍රියාව සිදු කිරීමට පෙර දරාගත නොහැකි වරදකාරී හැඟීමක් සමඟ අපරාධ හැසිරීම සම්බන්ධ කරයි. මෙම වරදකාරී හැඟීම සඳහා සහනය සලසා දෙන්නේ අපරාධ ක්‍රියාව සඳහා වන කොමිෂන් සභාව (අධිකරණය) මගිනි. එබැවින් වරදකකාරිත්වය අපරාධ ක්‍රියාවට පසුවට වඩා පෙර දැනෙන බව ෆ්‍රොයිඩ් වෙත පෙනී යනුයේ එය ඊඩිපස් සංකීර්ණයේ බේරුම් නොකිරීම තුල මුල් බැසගෙන ඇති බැවිනි. ෆ්‍රොයිඩ්ට අනුව ඊඩිපස් සංකීර්ණය යනු ප්‍රගුණ කල යුතුම (පුරුද්දක් වන්නේ ප්‍රගුණ කිරීමකි) සහ එහි මේ සම්බන්ධයෙන් අසමත් වීම රැගෙන යන්නේ නියුරෝසියාව වෙතය. මෙම සංකීර්ණ ත්‍රිත්ව සම්බන්ධයන් වෙතට යාත්‍රා කිරීමට අප හට නොහැකි නම් පවුලෙන් එපිට ලෝකය තුල අප සඳහා සූදානම්ව සිටින සංකීර්ණ සම්බන්ධතාවන්හි ශතසහස්‍ර සංඛ්‍යාත (ගණන් කල නොහැකි) සංකරණ හා සංයෝජන අතරින් සැරිසැරීමේදී කුමන සම්භාවිතාවක් අපට අත්විය හැකි දෙවල්හි අප සතු කරගත විය හැකි ද? මේ අන්තයෙන්, පියා විසින් පියවර තබනුයේ ළමයා කප්පාදු (castrate) කිරීමට සහ මව ඔහු සඳහාම යන්න බව බේරාගැනීමටය. මෙම ක්‍රියාවේ දර්ශනයේදී ළමයා භීතියට පත්වන අතර මෙම කාංසාව රැගෙන යන්නේ ඔහුගේ මව සඳහා වන ඔහුගේ ආශාවේ අවරෝධනය වෙතටය. එසේම ඔහුගේ පියා කෙරෙහි ඔහු දක්වන ආක්‍රමණය ද අවරෝධනයට ලක් කොට පියා සමග අනන්‍යකරණය ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කරයි. මෙම මනෝලිංගික සංවර්ධන අවධියේ සාර්ථකව බේරාගැනීමට අසමත් වීමක් හේතුවෙන් ළමයා වෙත ඉතිරිකරනුයේ ඔහුගේ ඊඩිපල් අභිරුචීන් වෙතට සම්බන්ධ වන, මව සමග නිදා ගැනීම සඳහා පියා මරාදැමීම නැමැති වරදකාරීත්වයේ විභව්‍ය, දරාගත නොහැකි, කරදරයකි. ඊඩිපස් සංකීර්ණය මිනිස් සංහතියේ ප්‍රවේනිගත (සංකේතීය වශයෙන් අධ්‍යාහාර වූ) හර්දසාක්ෂිය වෙතට කේන්ද්‍රීය වේ. මිනිසාට තම පියා කෙරෙහි ඇති හැඟීම් සැමවිටම අභිලාෂකාමී හා දෙගිඩියාවෙන් යුක්ත වන අතර එය ප්‍රේමයේ සහ වෛරයේ සංයෝගයකි.

බටහිර ඊඩිපල් සම්ප්‍රදායට (western “oedpal” tradition) අදාළව, මනොවිශ්ලේෂණයේ ඉහත පදනම තුල නැවත නැවතත් මතක් කල යුතු කාරණය වන්නේ ධනවාදය යනු සංකේතීය නීතිය ක්‍රියාත්මක නොවන සමාජයක් බවය.

නැවතත් එමී සිද්ධිය වෙත යොමු වන්නේ නම්, ඇයගේ හිංසා කිරීමේ අභිලාශය තුල ඇයට සහ අයගේ කුඩා පුතනුවන් වෙත තර්ජනය පැමිණීමේ ප්‍රභවය ලෙස ඇය දුටුවේ චිරාත් ප්‍රසිද්ධ කීර්තිමත් චරිතය වූ පැරිස් නිළියයි. ඒ අනුව ‘පරමාදර්ශී ප්‍රතිරූපය’ වූයේ එක විටම ඇගේ වෛරයට පාත්‍ර වූ වස්තුව සහ ඇගේ අපේක්ෂාව බවට පත් වූ වස්තුව යන දෙකමය. ලකාන් මෙහිදී විශේෂයෙන් උනන්දුවක් දැක්වූයේ ප්‍රතිරූපයන් වෙත ඇති මෙම සංකීර්ණ සම්බන්ධය සහ පැරනොයාව තුල සොයා ගත හැකි අනන්‍යතාවය පිලිබඳ අදහස් කෙරෙහිය. ඇගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිරගත වීමට සිදු වීම තුල ඇය විසින් සොයා ගත් දඬුවම යනු ඇයගේ ක්‍රියාවෙහිම සැබෑ ප්‍රභවය විය. එක්තරා මට්ටමකදී ඇය තේරුම්ගන්නේ, ඇයම දඬුවමේ වස්තුව වී ඇති බවය.

ලැකාන්ගේ මෙම නිරීක්ෂණ ඔහුව තම නිගමනය වෙත රැගෙන ගිය අතර ලකාන්ගේ තීරණය වූයේ එමී විසින් නිළියට පහර දීම යනු, එනම්, ඇයගේ පරමාදර්ශයට පහර දීම යනු, ඇත්ත වශයෙන්ම තමාටම දඬුවම් කිරීමේ මාධ්‍යයක් බවයි [ලැකාන්ගේ අදහස් ප්‍රොයිඩ්ගේ තර්කය මත දැඩි ලෙස රඳා පවතින්නේ, පැරනොයාව සමලිංගිකත්වයට එරෙහිව ආරක්ෂාවක් වන බැවින් වන අතර එය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලියක් (පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමකි), එය හිංසා කිරීමේ මුළාවකට සහ ආදරය කරන තැනැත්තා පීඩා කරන්නා සමඟ හඳුනා ගැනීමට හේතු වේ යන පදනමිනි].

එමී සිද්ධිය ලකාන් සඳහා දැඩිව බලපෑම් සහගත වූ අතර ඒ පිළිබඳව ඔහුගේ විශ්ලේෂණය, ඔහුගේ බොහෝ පසුකාලීන ඉදිරිපත් කිරීම්වල බොහෝ අංගයන් සඳහා කේන්ද්‍රීය විය. එනම්, මූලික වශයෙන්, ‘Narcissism’, ‘The image’, ‘The ideal’, සහ පෞරුෂය ශරීර සීමාවන්ගෙන් ඔබ්බට විස්තීරණ විය හැක්කේ කෙසේද යන්න සහ සංකීර්ණ සමාජ ජාලයක් ඇතුලත එය සංස්ථාපනය වන්නේ කෙසේද යන අංගයන්ය.

නිළිය විසින් නියෝජනය කරන ලද්දේ ඇමීගේම කොටසක් වීම තුල, ඒ තුලින් මනුෂ්‍ය ජීවියෙකුගේ අනන්‍යතාවය ශරීරයේ ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් පිටත මූලිකාංග ඇතුළත් විය හැකි ආකාරය ඉතා හොඳින් පෙන්නුම් කරයි. එක් අර්ථයකින්, ඇමීගේ අනන්‍යතාවය සාහිත්‍යමය වශයෙන් ඇයම වෙතින් පිටතය.

ඊගොව සතුවන්නේ පැරනොයික ව්‍යුහයක් වන්නේ එය පැරනොයික පරාරෝපනයේ භූමි භාගය බැවිනි.  

‘පරමාදර්ශී ඊගොව’ (ideal ego) යනු කෙනෙකු භාරගන්නා ප්‍රතිරූපය වන අතර ‘ඊගෝ පරමාදර්ශය’ (ego ideal) යනු එසේ භාරගන්න එම කෙනා හට ස්ථානයක් ලබා දෙන සහ එම කෙනා දෙස බලන ලක්ෂ්‍යය සපයන සංකේතීය ස්ථානය වේ. යම් කෙනෙකු දාර්ශනිකයෙකු වීමට පෙරුම්පුරමින් දිගින් දිගටම දාර්ශනිකයින්ගේ පොත් කියවන්නේ නම්, එසේ නොමැති නම්, යම් කෙනෙකු සාහිත්‍යධරයෙකු වීමේ ආශාවෙන් නවකතා ලියන්නේ නම්, එය එසේ වියහැකි වන්නේ එම කෙනා යම් දාර්ශනිකයෙකුගේ හෝ සාහිත්‍යධරයෙකුගේ ප්‍රතිරූපය භාරගන්න බැවිනි. එම කෙනා ඔහු සමග අනන්‍ය වන අතර එය පරමාදර්ශී ඊගොව සමග වෙලෙයි. නමුත් එවිට සැබෑ ප්‍රශ්නය වන්නේ, එම කෙනා දාර්ශනිකයෙකු හෝ සාහිත්‍යධරයෙකු සමග අනන්‍ය වෙමින් පවතින්නේ කා වෙනුවෙන්ද යන්නයි. එනම් එකී පුද්ගලයා දාර්ශනිකයෙකු ලෙස අදහස් දක්වන විට හෝ සාහිත්‍යකරණයේ යෙදෙන විට ඔහු දෙස බලා සිටින්නේ කවුරුන් ලෙස ඔහු සිතන්නෙහි ද? ‘ඊගෝ පරමාදර්ශයේ’ මානය මෙයයි.

විද්යාඥයෙකු, වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු වැනි ලෙස පමණක් නොව පාතාල සාමාජිකයෙකු, පාතාල නායකයෙකු ලෙස හෝ වෙනත් ඕනෑම අකාරයකින් ද මේවා පවතී.

‘ඊගෝ-පරමාදර්ශය’ සහ ‘සුපිරි ඊගෝව’ (super ego) යන දෙකම ඊඩිපස් සංකීර්ණයේ අවනතිය සමඟ බැඳී ඇතත්, දෙකම පියා සමඟ හඳුනාගැනීමේ නිෂ්පාදන වුව ද, ලැකාන් තර්ක කරන්නේ ඒවා පියාගේ ද්විත්ව භූමිකාවේ විවිධ පැතිකඩ නියෝජනය කරන බවයි.

ෆ්‍රොයිඩ්ට අනුව උත්කර්ශණය (sublimation) යනු කලාත්මක නිර්මාණ සහ බුද්ධිමය කටයුතු වැනි ලිංගික නොවන ක්‍රියාකාරකම්වලට ලිබිඩෝව (libido) යොමු කරන ක්‍රියාවලියකි. මෙසේ යොමු කිරීම තුලින්, සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික ශක්තිය (ලිංගිකත්වයේ විවිධාකාර විපරීතභාවයන් සමගින්) සඳහා සමාජීය වශයෙන් පිළිගත හැකි ගැලවීමේ කපාටයක් ලෙස එය ක්‍රියා කරයි. එවැනි මතයක තාර්කික නිගමනය නම්, සම්පූර්ණ පිරිසිදු බවට පැමිණවීම යනු සියලු විකෘති හා සියලු ස්නායු රෝගවල අවසානය බවයි. කෙසේ වෙතත්, ෆ්‍රොයිඩ්ගේ උත්කර්ශණය (sublimation) පිළිබඳ සටහනේ බොහෝ කරුණු අපැහැදිලිව පවතී.

ෆ්‍රොයිඩ්ගේ වාර්තාවෙන් ගම්‍ය වන්නේ ධාවකය (drive) සෘජු තෘප්තිමත් කිරීමේ ක්‍රමයක් ලෙස විපරීත ලිංගිකත්වය ඇති විය හැකි බවත්, උත්කර්ශණය අවශ්‍ය වන්නේ මෙම සෘජු ස්වරූපය සමාජය විසින් තහනම් කර ඇති නිසා පමණක් බවත්ය.

කෙසේ වෙතත් ලැකාන් තෘප්තිමත්භාවයේ ශුන්‍ය මාත්‍රයක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කරයි. විපරීතභාවය යනු හුදෙක් ලිබිඩෝව මුදා හැරීමේ තිරිසන් ස්වභාවික මාධ්‍යයක් නොව, ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා දැනටමත් තමන් තුළම පවතින ධාවකවලට ඇති දැඩි ව්‍යුහගත සම්බන්ධයක් බව තර්ක කරයි. එනම් ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා එය භාෂාමය බවය.

ෆ්‍රොයිඩ් විශ්වාස කළේ පරිපූර්ණ උත්කර්ශණය සමහර සුවිශේෂී ශෝධිත හෝ සංස්කෘතික මිනිසුන් සඳහා ශඛ්‍ය විය හැකි බවයි. නමුත් ලැකාන් තර්ක කරන්නේ “පුද්ගලයා සඳහා පරිපූර්ණ උත්කර්ශණය අශඛ්‍ය බවයි.”

ෆ්‍රොයිඩ්ගේ ගොඩනැංවීම තුල උත්කර්ශණය යනු වෙනත් (ලිංගික නොවන) වස්තුවකට ධාවකය නැවත යොමු කිරීමයි. කෙසේ වෙතත්, ලැකාන්ට අනුව වෙනස් වන්නේ වස්තුව නොව ෆැන්ටසියේ ව්‍යුහය තුළ එහි පිහිටීමයි.

එනම් ඉහත සඳහන් කල ආකාරයට දාර්ශනිකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින්, විද්යාඥයින්, වෛද්‍යවරයින්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින්, වැනි ලෙස පමණක් නොව පාතාල සාමාජිකයින්, පාතාල නායකයින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් මෙම චරිත ස්වභාවයන් පවතිනුයේ ලිංගික නොවන වෙනත් වස්තුවක් වෙතට ධාවකය යොමු වීම තුල නොව ෆැන්ටසි ව්‍යුහය තුල එහි පිහිටීම වෙනස් වීම තුලයි. ධනවාදය තුල ෆැන්ටසිකරණයේ පන්ති විවිධත්වයක් සහ අති විශාල විවිධාංගිකරණයක් පවත්වාගෙන යයි. ධනවාදය තුල පවතිනුයේ ෆැන්ටසි වසංගතයකි. එම වසංගතය භාණ්ඩ සහ සේවා වෙළඳපොලකරණය තුලින් පමණක් නොව අධ්‍යාපනය, දැනුම, සහ ඒ සියල්ලටම අදාලව සහ ඒවා සන්ධානකරණයන් තුලින් ඉස්මතු වන පුද්ගල සුවිශේෂීතාවයන් (දාර්ශනිකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින්, විද්යාඥයින්, වෛද්‍යවරයින්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින්… වැනි අනන්‍යතාවය තම ශරීරයට ඔබ්බෙහි දිගේලි වන) සමග ක්‍රියාත්මක වේ. අධ්‍යතන පුද්ගල අනන්‍යතා සලකුණු වන්නේ එසේය.

ඒ අනුව වෙනත් වචන වලින් කිවහොත්, උත්කර්ශණය යනු ධාවකය වෙනත් වස්තුවකට යොමු කිරීම අදාල කර ගැනීම නොවේ. ඒ වෙනුවට ධාවකය වෙතට දැනටමත් යොමු කර තිබුනා වූ වස්තුවේ ස්වභාවය වෙනස් කිරීම, “එයම තුළම වස්තුව වෙනස් කිරීම”, කළ හැකි දෙයක් වන්නේ ධාවකය “දැනටමත් හැඟවුම්කාරකයේ සන්ධානකරණය මගින් ගැඹුරින් සලකුණු කර ඇති බැවිනි (මාක්ස් විසින් පුරෝකථනය කල බිඳ වැටීමක් සිදු නොවී ධනවාදී වෙළඳපොල සාර්ථකව වර්ධනය වන්නේ ඒ තුලිනි).

මේ අනුව වස්තුවක උත්කෘෂ්ට ගුණාංගය වස්තුවේ කිසියම් ආවේණික ගුණාංගයක් නිසා නොව, හුදෙක් ෆැන්ටසියේ සංකේත ව්‍යුහය තුළ වස්තුවේ පිහිටීමෙහි බලපෑමකි.

‘සුපර් ඊගොව’ (super ego) යනු අවිඥානික ආයතනයක් වන අතර එහි කාර්යය වන්නේ මව සඳහා වන ලිංගික ආශාව මර්දනය කිරීමයි. නමුත් ‘ඊගෝ – පරමාදර්ශය’ උත්කර්ශණය වෙත සවිඥානක පීඩනයක් ඇති කරන අතර ආත්මයට පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ලෙස ලිංගික ආස්ථානයක් ලබා ගැනීමට හැකි ඛණ්ඩාංක සපයයි. ‘ඊගෝ පරමාදර්ශය’ සහ ‘පරමාදර්ශී ඊගොව’ පිළිබඳව ඔහුගේ පශ්චාත්-යුද ලේඛන තුළ ලැකාන් වැඩි අවධානයක් යොමු කරන්නේ ‘ඊගෝ පරමාදර්ශය’ ‘පරමාදර්ශී ඊගෝවෙන්’ වෙන්කර හඳුනා ගැනීමටය. මේ අනුව 1953-4 සම්මන්ත්‍රණයේදී ඔහු මෙම සංයුතීන් දෙක අතර වෙනස හඳුනාගැනීම සඳහා වන දෘශ්‍ය ආකෘතිය වර්ධනය කරයි.

එහිදී ඔහු තර්ක කරන්නේ ‘ඊගෝ-පරමාදර්ශය’ යනු සංකේතීය අන්තර් ප්‍රක්ෂේපනයක් වන බවත්, ‘පරමාදර්ශී ඊගෝව’ යනු පරිකල්පනීය ප්‍රක්ෂේපණයක ප්‍රභවය වන බවත්ය.

‘ඊගෝ පරමාදර්ශය’ (ego ideal) යනු පරමාදර්ශී ලෙස ක්‍රියාත්මක වන හැඟවුම්කාරකය, නීතියේ අභ්‍යන්තර සැලැස්මක් මෙන්ම සංකේත රටාව තුල ආත්මයේ පිහිටීම පාලනය කරන මාර්ගෝපදේශකය, සහ එතැන් සිට ද්විතියික (ඊඩිපල්) අනන්‍යකරණය අපේක්ෂා කරනවා යන්න හෝ එම අනන්‍යකරණයේ නිෂ්පාදනයකි.

අනෙක් අතට ‘පරමාදර්ශී ඊගෝව’ (ideal ego) ‘කැටපත් අවස්ථාවේ’ සමපේක්ෂන ප්‍රතිරූපයෙන් ආරම්භ වේ. එය අනාගත සංශ්ලේෂණයේ පොරොන්දුවක් වන අතර එය ‘ඊගෝව’ නැඹුරු වන, ‘ඊගෝව’ ගොඩනගා ඇති එකමුතුවේ මායාවයි. ‘පරමාදර්ශී ඊගෝව’ සෑම විටම ‘ඊගොව’ සමඟින්, පූර්ව ඊඩිපල් ද්විත්ව සම්බන්ධතාවයේ සර්වබලධාරිත්වය නැවත ලබා ගැනීමට සදාකාලික උත්සාහයක් ලෙස පවතී. ප්‍රාථමික අනන්‍යකරණයේදී ගොඩනැගුණ ද, සියලු ද්විතියික අනන්‍යකරණයන් වල මූලාශ්‍රය ලෙස පරමාදර්ශී ඊගොව දිගටම භූමිකාවක් ඉටු කරයි.

ශරීරයේ සහ ස්නායු පද්ධතියේ මුලික සම්පූර්ණත්වය නොමැතිකම මත පදනම් වූ පරාරෝපිත අනන්‍යකරණයක් මගින් ඊගොව සංස්ථාපනය වේ.

කුඩා දරුවෙකු මනුෂ්‍ය ලෝක අවකාශය වෙත පිවිසීමේදී සහ ඔහුගේ චාලක කෘත්‍ය සාක්ෂාත් කර ගැනීමේදී මූලික පරාරෝපනයක මිලක් ගෙවීමට සිදුවේ. මෙය ඕනෑම සමාජයක සිදු වන දෙයකි. නමුත් පන්ති සහිත සමාජයේදී මෙය අති විශාල අසමානත්වයක්, එනම්, පරතරයන් තුල සහ අති විශාල විවිධත්වයක් තුල ක්‍රියාත්මක වේ. ඒ අනුව මූලික පරාරෝපනයට අදාළ විවිධත්වය සඳහා පන්ති අසමානතාවය බලපායි. එසේම එම පන්ති අසමානතාවයට අදාළ හැඟවුම්කාරක සුසන්ධීකරණයන් අභිමුඛ වීම සඳහා විවිධාකාර මාධ්‍යයන් (රූපවාහිනී, සිනමා, අන්තර්ජාලය වැනි… ලෙස) සහ විවිධාකාර අසමානත්වයන් (පන්ති විෂමතාවය තුල දැනුම, භාණ්ඩ සහ සේවා විවිධත්වයට අදාලව) පවතී. ඒ අනුව කුඩා දරුවන් පරරෝපනයට ලක්වීමේ විවිධත්වය සඳහා පන්ති විවිධත්වය බලපායි.

‘කැටපත් අවස්ථාවේ’ සමපේක්ෂන ප්‍රතිරූපයෙන් ආරම්භ වන ‘පරමාදර්ශී ඊගෝව’ අනාගත සංශ්ලේෂණයේ පොරොන්දුවක් (සියලු ද්විතියික අනන්‍යකරණයන් ගොඩනගා ගැනීමට අදාළව) වීමේ ආරම්භය එසේ සලකුණු වේ. ඒ අනුව ජීවිතයේ ආරම්භයේදී දක්නට නොලැබෙන ‘නාසීස්මයේ’ (narcissism) ආසනය වන්නේ ඊගොවයි (ඊගොව යනු ආත්මය විසින් තමන්වම වස්තුකරණය කරගැනීමයි).

පෞරුෂය ශරීර සීමාවන්ගෙන් ඔබ්බට විස්තීරණ වීම සහ සංකීර්ණ සමාජ ජාලයක් ඇතුලත එය සංස්ථාපනය කරගැනීම යනු කෙනෙකුගේ අනන්‍යතාවය සඳහා, එනම් ‘ඊගෝ පරමාදර්ශය’ සඳහා එය එසේ භාරගන්න එම කෙනා හට ස්ථානයක් ලැබීම සහ එම කෙනා දෙස බලන ලක්ෂ්‍යය සපයන සංකේතීය ස්ථානයට ඇති අදාලත්වයයි. එනම්, “මම” මාගේ පරමාදර්ශී ඊගෝව නඩත්තු කල යුත්තේ ඒ දෙස බලා සිටින්නන් වෙනුවෙනි. “මම” ශාරීරිකව සහ මානසිකව වෙහෙසෙමින් සහ එම දෙයාකාරයෙන්ම රෝගාතුර වෙමින්, ඒ සඳහා විශාල වෙහෙසක් දැරිය යුතුව ඇත.

වන සතෙකුගේ අනන්‍යතාවය එම සතාගේ ජීව විද්‍යාත්මක ශරීර සීමාවෙන් ඔබ්බට නොයයි (යම් හෙයකින් එවැනි අර්ථයක් යම් සතෙකුට පවතී නම් ඒ මිනිස් මැදිහත් වීම තුල පමණි). වල් ඌරා උදාහරණයට ගන්නේ නම්, එම සතාගේ අනන්‍යතාවය ඌටම අදාළ ශරීර සහ ගති ලක්ෂණ තුල පමණක් පිහිටයි. එසේ නමැතිව උගේ ශරීර සීමාවෙන් ඔබ්බෙහි වන සංකේතීය ගොඩනැංවීමක් තුල දිගේලි වන පරිදි උගේ අනන්‍යතාවය කිසිවිටකත් සංස්ථාපනය වන්නේ නැත. නමුත් මනුෂ්‍ය ජීවියෙකුගේ අනන්‍යතාවය එසේ නොවේ. උදාහරණයකට විද්යාඥයෙකු ගතහොත් ඔහුගේ අනන්‍යතාවය සඳහා ශරීරයේ ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් පිටත මූලිකාංග ඇතුළත් වන්නේ මූලික වශයෙන්ම දැනුම කේන්ද්‍රීය කරගනිමින් ඊට අදාළ නිල ආයතනයන් අතර අන්තර් සම්බන්ධය තුලය (පාසල්, විශ්ව විද්‍යාල, නාසා ආයතනය වැනි ආයතන, පිළිගත් විද්‍යා සඟරා හෝ ජර්නල්, ජන මාධ්‍ය, අන්තර්ජාලය,… වැනි ලෙස දිගේලි වේ). ඊට අමතරව විවාහය තුලින් ඇති වන සම්බන්ධය, ඔහු ධනවාදී පාරිභෝජන ලෝකයට ඇති සම්බන්ධය, රාජ්‍යයට ඇති සම්බන්ධය, ලෝකයට කල හැකි බලපෑම, වැනි තවත් බොහෝ තත්වයන් තුල ඔහුගේ පෞරුෂය ශරීර සීමාවන්ගෙන් ඔබ්බට විස්තීර්ණ වීම සහ සංකීර්ණ සමාජ ජාලයක් ඇතුලත එය සංස්ථාපනය වීම සිදු වේ. සියලු දෙනා හට අවශ්‍ය අනන්‍යතාවය ශරීර සීමාවෙන් ඔබ්බට විස්තීර්ණ කර ගැනීමටය. එසේ නොවන අය ලෙස තවමත් ලාංකීය සමාජයේ පැහැදිලිව හඳුනා ගත හැකි සමාජ කොට්ටාශයක් වන්නේ පොල් කඩන මිනිසුන් පමණි. ඔවුන් එදිනෙදා ජීවත් වන අතර උපයන සියල්ල දවස තුල වියදම් කරයි. ඉන් පසු දිනය සඳහා උපයා ගන්නේ එදින ඉර පෑයූ පසුය. හරියට සතෙකු වැනිය.
දැන් කෙනෙකුට පැවසිය හැක්කේ, මිනිසුන් සතුන්ට සමාන කිරීම වැරදි බවත්, මෙසේ මිනිස් ජීවියාගේ අනන්‍යතාවය තම ශරීර සීමාවෙන් ඔබ්බට විස්තීර්ණ වීම මිනිස් ස්වභාවය (ස්වභාවික) බවත්, එසේ නොමැතිව මනුෂ්‍ය ලෝකය නොපවතින බවත්ය. නමුත් මෙහිදී ප්‍රශ්නය වන්නේ මෙසේ ගොඩනැගෙන, එනම් විස්තීර්ණ වන, මිනිස් සුවිශේෂිත්වයන් සතු දූරාවාලිගත ආධිපත්‍යධාරීත්වයන් (සමාජයට/ලෝකයට බලපෑම් සහගතවිය හැකි බව), අදාළ මිනිස් සුවිශේශීත්වයන්ගේ ප්‍රමාණයට අදාළව, ඒ, ඒ, සුවිශේශීත්වයන්ගේ පන්ති ස්වභායන් (අධ්‍යතන පන්තිය යනු ආර්ථිකමය කාරනාවක් පමණක් නොව දැනුමට ද අදාළ තත්වයකි) තුල ඒවා සතු නිදහසේ මාත්‍රාවන්-භාණ්ඩ හා සේවා පාරිභෝජන මාත්‍රාවන්, වැනි සකල කාරනා ද පිළිගැනීමට සිදුවීමයි. එසේම පාරිසරික අර්බුධ, වෛරස්,… වැනි යථ භයානක ස්වරූපයෙන් ඉස්මතුවීමේ අසහනකාරීත්වය එන්න එන්නම තීර්ව වෙමින් අර්බුධකාරීත්වය උග්‍ර වීමයි (අධිකරීත්ව දූරවලිය විසින් සියල්ල තීරණය කිරීමේ ප්‍රථිපල ලෙසින්). ඒ සමගම පැරනොයාවට අදාළ තත්වය ද (සියලු මානසික රෝග සමගින්) පිළිගත යුතු වේ. එනම්, පැරනොයාව ක්‍රියාත්මක වීමට නම් අවශ්‍ය විය යුතුම වන්නේ එක් කොනක ආශාවත් අනෙක් කොනෙහි ඊට අදාළ ෆැන්ටසියත් පිහිටීමයි. පරනොයාව ක්‍රියාත්මක වන්නේ, ධාවනය (drive) පවතින්නේ ඒ අතර වන විටය (ෆැන්ටසිය කරා).
 
නැවතත් එමී සිද්ධිය දෙස බැලූ විට පෙනීයන්නේ, නිළිය විසින් නියෝජනය කරන ලද්දේ එමීගේම කොටසක් බවය. එමී සිද්ධිය තුල මනුෂ්‍ය ජීවියෙකුගේ අනන්‍යතාවය ශරීරයේ ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් පිටත මූලිකාංග ඇතුළත් විය හැකි ආකාරය ඉතා හොඳින් පෙන්නුම් කරයි. එක් අර්ථයකින්, එමීගේ අනන්‍යතාවය සාහිත්‍යමය වශයෙන් ඇයම වෙතින් පිටතය. එමී සඳහා අදාළ අනන්‍යතාවය අත්පත්කොට ගැනීම සඳහා (සමාජයේ ගරු බුහුමන් ලබන, කීර්තිමත් සාහිත්‍යධරියක් වීම මෙන්ම ප්‍රසිද්ධ, නිදහස්, බලය හිමි ගැහැනියක් බවට පත්වීමට) ඇයට ඉතාම දුෂ්කර මාවතක වෙහෙස මහන්සි වී ගමන් කිරීමට සිදුව තිබුණි. ඇයට කුඩා පුතෙකු ද සිටීම තුල එය ඉතාමත්ම වෙහෙසකර විය. 
අධ්‍යතන සමාජයේ සියලු දෙනා ඉතා වෙහෙස මහන්සි වී, ශාරීරිකව සහ මානසිකව රෝගාතුර වෙමින්, මිනිස් සම්බන්ධකම් දැඩිව සීමා කරමින්, පරමාදර්ශ හඹා යයි. එසේම තම දූ දරුවන් ද එසේ කිරීමට යොමු කරනුයේ තමන් හට අත්පත් කොට ගැනීමට නොහැකි වූ තත්වයන් කරා ඔවුන්ව දැක්කවීම සඳහාය. මෙහි කෙළවරක් නොමැත.
 
එමීට එක් මොහොතකදී හැඟී යන්නේ තමන්ට සහ තමන්ගේ දරුවාට ඇති තර්ජනයේ ප්‍රභවය හියුගෙට් ඩුෆ්ලොස් බවය. ඒ ඇය වීමට බලාපොරොත්තු වූ පරමාදර්ශය එම නිළිය බැවිනි. එනම් එම චිරාත් ප්‍රසිද්ධ නිළිය නොපවතී නම් එමී තම අසහනයෙන් මිදෙනු ඇත. මෙහිදී පැහැදිලිව පෙනන කාරණය වන්නේ පන්තීන් තුල නියෝජනය වන සමාජ විෂමතාවයන් තිබීම සහ සමාජයට බලපෑම් සහගත සුවිශේෂී මිනිසුන්ගේ පැවැත්ම නොමැති නම් පැරනොයක තත්වය ඇති විය නොහැකි බවයි (ආශාව එක් කොනකත් ෆැන්ටසිය අනෙක් කොනෙහිත් පිහිටිය යුතු අතර ධාවනය සිදු වන්නේ ෆැන්ටසිය කරාය).
 
මනෝවිශ්ලේෂණයෙන් ආලෝකයට ගෙන එන යථෙහි වැලැක්වීමේ ප්‍රකාරයන් හතරට අනුකූලව, පන්ති අරගලය යන්න සාමූහික තලයේ වන විට ලිංගික වෙනස කුමක් ද යන්න පවතිනුයේ පුද්ගල මට්ටමේ වේ. එම දෙකම පැමිණෙන්නේ යථ (The REAL) වෙතිනින් වන අතර මෙම “යථ” යන යෙදුම එහි ලැකානියානු අර්ථයෙන් තේරුම් ගත යුතුය. එනම්, ඊට ඇති මධ්‍යස්ථ දුරක් නිරීක්ෂණය කිරීම සඳහා යථ වෙතින් අපව උකහා ගත නොහැකි අතර අපි සෑම විටම තාර්කිකව එහි කොටස්කරුවන් වන්නෙමු (එනම් symbolic, real, imaginary යන ත්‍රිත්ව සම්බන්ධය ඊට අදාළ අර්ථකථනය තුල වෙන්කළ නොහැකිය). එසේම යථ එහි ක්ෂේත්‍රය ඇතුලත පූර්වයෙන් පිහිටා ඇත. නිවැරදිව කතා කරන දේශපාලනයේ යථෙහි නිෂේධනයේ බොහෝ ප්‍රකාරතාවන් ලෙස සමස්ත “නව දේශපාලන සුසමාදර්ශ” වර්ග කිරීමට අධ්‍යයන ධනවාදය තුල පෙළඹෙන්නේ එබැවිනි (විකල්ප සහ සුසමාදර්ශ පිළිබඳව බුද්ධිමය සංවාදයේ තෝතැන්න). පශ්චාත් මාක්ස්වාදය විසින් යෝජනාකොට සිටින අනන්‍යතා අරගල මාදිලි පැමිණෙන්නේ ද යථ නිශේධනයේ, නැතිනම් යථ මගහැරයාමේ බොහෝ ප්‍රකාරතාවන් ලෙසය. එනම්, බහු විධ අනන්‍යතා අරගල දේශපාලනයයි.
පන්ති අරගලය යනු මාක්ස්ගේ වඩාත්ම වරදවා වටහාගත් සංකල්පවලින් එකකි. මාක්ස් විසින් Grundrisse කෘතියෙහි පවසන්නේ පූර්වයක් ලෙස පන්තියක් ඇත්තේ ධනේශ්වර පංතිය පමණක් බවත්, පන්ති අරගලය අහෝසි කිරීමේ අදහසින් නිර්ධනයා හට සමාජ පන්තියක් ලෙස පමණක් ආලෝකයට පැමිණිය හැකි බවත්ය. මනෝවිශ්ලේෂණයට අනුව පූර්වයක් ලෙස පවතිනුයේ එක ලිංගයක් (ස්ත්‍රී-පුරුෂභාවය යන අර්ථයෙන්) පමණි. එනම් ඒ ෆැල්ලසයයි (the phallus). ලිංගිකකරණය සලකුණු වන්නේ න්‍යායික කොන්දේසීන් තුල පමණක් (භාෂාමය) වන්නේ ලිංගික ඉන්ද්‍රියයන්ගෙන් (genital organs) ස්වාධීනව, ෆැල්ලසයට පමණක් ආත්මයේ ඇති සම්බන්ධය අනුව (ශීශ්නය සමඟ පටලවා නොගත යුතුය!), සහ එබැවින් භාෂාව වෙතට, ෆැල්ලසය ප්‍රමෝදයේ හැඟවුම්කාරකය (the signifier of jouissance) වීම තුල සහ කප්පාදුව (castration) තුලයි. එබැවින්, අවධාරණය කල යුතුම කාරණය වන්නේ පවතින්නේ ධනේශ්වර පන්තිය පමණක් බවත්, එය අප තේරුම් නොගන්නා තාක් කල් පන්ති අරගලය අහෝසි කිරීමේ ප්‍රවේශය ලබාගත නොහැකි බවත්ය. පන්ති අරගලය යනු පන්ති අරගලයම අහෝසි කිරීම සඳහා වන අවශ්‍යතාවයයි. එම අර්ථයෙන්ම, එනම් ලකානියානු අර්ථයෙන් සැබෑ ස්ත්‍රීවාදය පවතින්නේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර වන සංකේතීයව ගොඩනැගී ඇති අරගලය අවසන් කිරීම වෙනුවෙන් වන අවශ්‍යතාවය තුල මිස පුරුෂරූපී ගොඩනැංවීමක් තුල වන පුරුෂාර්ථයන් අත්පත්කොට ගැනීමට උත්සාහ දැරීම තුල නොවේ.

ලකාන්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන ස්ත්‍රිය නොපවතී (Woman does not exist) යන්නෙහි අර්ථය වන්නේ සංකේත රටාව නිර්මාණය වී ඇත්තේ සංයුක්ත වශයෙන් පුරුෂ ලෙසය යන්නයි. එවිට ව්‍යුක්ත පුරුෂයා පවතින අතර ස්ත්‍රිය පවතින්නේ සංයුක්ත ලෙස පමණි. ස්ත්‍රියගේ සහ ස්ත්‍රිය සතු සියලු අර්ථයන් පුරුෂරූපී වේ.

ලකාන් විසින් පීතෘමූලික භාෂා පද්ධතිය තුළ සංකේතාත්මක ගොඩනැංවීමක් නියෝජනය කිරීම සඳහා කැපිටල් “W” සහිත “Woman” යන යෙදුම භාවිතා කරයි. මෙම “කාන්තාව” සැබෑ ගැහැනියක් නොව මාතෘත්වය, සම්පූර්ණත්වය වැනි ඇතැම් පරමාදර්ශී, නමුත් ළඟා කරගත නොහැකි ගුණාංග මූර්තිමත් කරන හැඟවුම්කාරකයකි.
ලකාන් විසින් තවදුරටත් පෙන්වා දෙනු ලබන්නේ, මෙම සංකේතීය “කාන්තාව” අත්‍යන්ත වශයෙන් පුරුෂාකාර (පුරුෂරූපී) වන්නේ එය ෆැලික සංකේතවාදය (බලය, අධිකාරය, න්‍යාය) මත පදනම් වූ ආධිපත්‍යක සංකේත රටාව සමඟ පෙළගැසෙන බැවින්ය යන්නයි. මෙම ව්‍යුහය තුළ, කාන්තාවන් තනි පුද්ගලයන් වශයෙන් ස්ථානගත කර ඇත්තේ “සියල්ල නොවේ” වන ලෙස, පරමාදර්ශයෙන් පිටත ලෙස, සහ ෆැල්ලසය නොමැති වීම ලෙසයි. එනම් සංයුක්තව ස්ත්‍රිය සිටී. නොපවතින්නේ ව්‍යුක්ත ස්ත්‍රියයි.
 
“ස්ත්‍රිය (Woman) සංකේතීය ගොඩනැංවීමක් ලෙස සහ ස්ත්‍රිය යන්නට අදාළ සියලු අර්ථයන් පුරුෂරූපී” යැයි පවසන විට, එය සංකේත රටාව වෙත බොහෝ දුරට අදාළ කරනුයේ එහිම ෆැලික පද්ධතිය (phallic system) තුළ ස්ත්‍රීත්වය රාමු කර නිර්වචනය කරන ආකාරයටයි. මින් අදහස් කරන්නේ එක් එක් කාන්තාවන් වචනානුසාරයෙන් පිරිමි බව නොවන නමුත් මෙම ව්‍යුහය තුළ ඔවුන් මුහුණ දෙන සීමාවන් සහ අභියෝග ඉස්මතු කරයි.

ලකාන්ට අනුව ස්ත්‍රීන් විසින් ඔවුන්ව සාමාන්‍යකරණයට ලක්වීමට ඉඩ නොදේ. ‘ෆැලෝ කේද්‍රීය’ (phallocentric) සාමාන්‍යකරණය වීමට පවා ඉඩ නොදේ. ස්ත්‍රිය යනු ‘රෝග ලක්ෂණයක්’ (“woman is a symptom of man) “වන්නේ එබැවිනි. එනම් ස්ත්‍රියකට පුරුෂ මානසික ආර්ථිකය වෙත සැමවිටම ඇතුල් විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි (පුරුෂ “ආශාවේ වස්තු හේතුව”- object petit a)

ලකාන්ගේ ඉදිරිපත් කිරීම් තුල වඩාත්ම තීරණාත්මක ඉදිරිපත් කිරීමක් වූ ‘ස්ත්‍රී ප්‍රමෝදය’ (Feminine Jouissance) යනු ෆැල්ලසයට ඔබ්බෙන් යන්නකි (“beyond the phallus”). එනම් එම ප්‍රමෝදය ගූඩ ප්‍රීතිමත් බවකි (ecstasy). එය අපරිමිත පිළිවෙලකට අයත්ය. එසේම එය අර්ථවත් නොවේ. ස්ත්‍රීන් ඒ පිළිබඳව කිසිවක් නොදනී.

 

එනම්, හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන තත්වයක් ස්ත්‍රිය සතුය. මෙම විග්‍රහය පුරුෂාධිපත්‍ය සංකේත රටාවට අභියෝගයක් ලෙස දැකිය හැක්කේ, යථ සමඟ සහභාග වූ ස්ත්‍රීත්වය, එහි පුරුෂ/ගැහැණු, විෂය/වස්තුව වැනි සුපිරිසිදු ‘සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ’ (‘ද්විමය ප්‍රවර්ග’) වලට බාධා කරන බැවිනි.
 
ස්ත්‍රීන් පුරුෂයන් හා සමව ක්‍රියා කිරීමට උත්සාහ දැරීම ආරම්භ වීමට පෙර ස්ත්‍රිය ගෘහස්ථව හෝ ගෘහ ආසන්නව කටයුතු කිරීමේදී පුරුෂයා ආර්ථිකමය කටයුතු වල නිරත වූයේ ස්ත්‍රියට දරුවන් සිටින බැවිනි. ළදරුවෙකු සිටී නම් ඇය දරුවන්ට අනීවාර්යයෙන්ම කිරි දිය යුතු අතර ළදරුවාගේ සියලු අවශ්‍යතා සැපිරිය යුතුය (අනෙක් දරුවන් පෝෂණය කරමින් රැක බලාගත යුතුය). ළදරුවාට මව සමග ඇත්තේ යථමය සම්බන්ධයකි. භාෂාවෙන් සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට හෝ එහි ‘සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ’ තුළ (පිරිමි/ගැහැණු, ආත්මය/වස්තුව වැනි) වර්ගීකරණය කළ නොහැකි නිසා “මාතෘ අනෙකා” (“maternal Other“) සංකේතීය රටාවෙන් පිටත පවතින බව ලැකාන් යෝජනා කරයි (උදාහරණයකට ඉපුදුන ගමන් ළදරුවෙකු මවගේ තනයෙන් කිරි උරාබීම යනු යථමය වේ).

මෙම “ඔබ්බට වීම” (“beyond-ness”) සංකේත රටාවෙහි හුවමාරු පදනම් න්‍යායට පටහැනිව (හුවමාරු පදනම් න්‍යාය යම් අකාරයකින් තර්ජනයට ලක් වේ), පිළිගැනීමක් හෝ  අන්නෝන්‍ය වශයෙන් ආපහු ගෙවීමක් බලාපොරොත්තු නොවෙමින් (ළදරුවා සමග මවගේ සම්බන්ධය යනු ඇය තම දරුවා වෙතින් පසුකාලීනව යම් යම් දේ බලාපොරොත්තුවෙන් ඇතිවන්නක් නොවේ), කොන්දේසි විරහිතව, දරුවාගේ අවශ්‍යතා සැපයීමේ මවගේ භූමිකාවට ආරෝපණය වී ඇත.

එය තවදුරටත් විස්තර කරන්නේ නම්, දරුවන් සමග ස්ත්‍රියට ඇති සම්බන්ධය පුරුෂයාගෙන් පැහැදිලි ලෙසම වෙනස් වන්නේ, ලේ පෙරාගෙන, වේදනාවෙන් ආරම්භ වන දරුවන් වැදීමේ සිට, කිරි දීම, දරුවන්ගේ අසූචි, මුත්‍ර, ඇතුළු සියල්ල සමග තම දරුවන්ට ඇති සම්බන්ධ තුලයි. දරුවන් වෙතට එවැනි සම්බන්ධයක් පිරිමියාගේ නොමැත. ඒ අනුව නැවතත් ප්‍රකාශ කල හැක්කේ එය හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන බවය. ස්ත්‍රියගේ දරුවන්ට ඇති ආදරය යනු දරුවන්ට ඇති එම සම්බන්ධය තුල ඇති අනීවාර්ය කොන්දේසියකි. එසේම එය කොන්දේසි විරහිත සම්බන්ධයකි (එමීට පුතෙකු සිටීම, ඇය අත්කොට ගැනීමට බලාපොරොත්තු වූ අනන්‍යතාවය කරා ධාවනය වීම කඩාකපල්ල් වීමට හේතු විය). 

ධනවාදය තුල එය කෙතරම් පරාරෝපනයට ලක්වුව ද, එම අර්ථයන් තුල සම්පූර්ණ විය නොහැකි, අර්ථවත් විය නොහැකි, සම්බන්ධයක් එහි ඇත. නමුත් පුරුෂයා සහ තම දරුවා අතර සම්බන්ධය මේ වනවිට සම්පූර්ණ වශයෙන්ම ධනවාදී වටිනාකම් සහ දේපල සබඳතා තුල සංකේතීය ගොඩනැංවීමකි. ස්ත්‍රිය මෙම ගොඩනැන්වීම තුල නොමැත යන්න මින් අදහස් නොවේ. ස්ත්‍රිය ද සිටිනුයේ ඒ තුලය. නමුත් එහි ක්‍රියාකාරීත්වයට (ධනවාදයේ), අර්ථයන්ට බාධා පමුණුවන, අර්ථයකට ගෙන ආ නොහැකි, කොස්සක් ස්ත්‍රිය තුල පවතී.

දැන් කෙනෙකුට විමසිය හැක්කේ එසේනම් “ස්ත්‍රිය නොපවතී” (“Woman does not exist”) යන ලකාන්ගේ සුප්‍රකට ප්‍රකාශයේ අර්ථය කුමක්ද යන්නයි. හොඳින් විමසා බැලුවහොත් ඉහත විස්තර කිරීම තුල ඇත්තේ එම ප්‍රකාශය තහවරු කිරීමයි. එනම් ස්ත්‍රිය පුරුෂ ගොඩනැංවීමක් තුල අර්ථවත් වී ඇති අතර එම ගොඩනැංවීම තුල වියුක්ත ස්ත්‍රිය නොපවතී. එනම් පුරුෂභාවය මෙන්, එම අර්ථයෙන් විශ්වීය ක්‍රියාකාරීත්වයක් ස්ත්‍රීත්වය සතු නොවේ. ස්ත්‍රීවාදීන්, වම්මුන්, ලිබරල්වාදීන්, දිගින් දිගටම උත්සාහ දරනුයේ ධනවාදය තුල එම වියුක්ත ස්ත්‍රිය සොයා ගැනීමට සහ පුරුෂරූපීත්වයෙන් ගොඩනංවා ගැනීමටය.

ලකානියානු ස්ථාවරය ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය හෝ ඒ තුලින් ගොඩනැගුන පශ්චාත් නූතනවාදය සමග සමපාත නොවේ. ඒවායින් වෙනස්ව එය යථාවාදයකි (realism).

ඒ අනුව සැබෑ ස්ත්‍රීවාදය වන්නේ සියල්ලට ප්‍රථමයෙන් ස්ත්‍රිය යනු පුරුෂයා නොවේ යන්න පිළිගැනීමයි. එසේම එය කිසි දිනක සමනය කල නොහැකි ප්‍රතීඝතාවයක් (antagonism) ලෙස පිළිගැනීමයි (antagonism යන්න පශ්චාත් මාක්ස්වාදීන් විසින් සිංහලට පරිවර්තනය කොට ඇත්තේ “පසමිතුරුතාවය” ලෙසය. නමුත් ලකානියානු අර්ථයෙන් එය පසමිතුරුතාවය ලෙස හැඳින්විය නොහැකිය). 
 
පුරුෂයා හා සමාන වීමට ප්‍රයත්න දරනා බටහිර ස්ත්‍රීවාදයට ලිබරල්, සහ වාම යන ස්ථාවර දෙක තුලම එක විට කටයුතු කල හැකිය.
 
පුරවැසියා (citizen) මිස පුරවැසිනිය නොමැත. president, prime minister, judge, magistrate, inspector general, army commander, lawyer, doctor, scientist, philosopher, writer, professor, lecturer, teacher,…  ලැයිස්තුව අවශ්‍ය නම් තවත් දිගු කල හැකිය… එම ආධිපත්‍යධාරී ස්ථාන වල ඇත්තේ පුරුෂාර්ථ පමණි. නමුත් පසුකාලීනව ස්ත්‍රීන් මෙම ස්ථාන වලට අවතීර්ණ වීමත් සමග lady යන පදය මුලට යෙදීම සිදුවිය.
සමාජය ව්‍යුහගත කරන භාෂා පද්ධතිය සහ අර්ථ පද්ධතිය වන්නේ සංකේත රටාවයි. මෙම රටාව සාම්ප්‍රදායිකව තර්ක-බුද්ධිමත්භාවය, න්‍යාය සහ අධිකාරීත්වය වැනි පුරුෂරූපී ලක්ෂණ සමඟ සම්බන්ධිත වේ. බලය සහ කීර්තිය ආවේනික වශයෙන්ම පුරුෂ ලෙස පවතී.

ඉහතින් ඉංග්‍රීසියෙන් සඳහන් කල යෙදුම් වලට සිංහල ස්ත්‍රී ලිංගික යෙදීම් නිර්මාණය කරන ලද්දේ කුමාරතුංග මුනිදාසගේ ප්‍රධානත්වයෙනි. එනම්, ජනාධිපතිනිය, අගමැතිනිය, විනිසුරුවරිය, වෛද්‍යවරිය වැනි ලෙසය. එසේ කිරීමෙන් මුනිදාස බටහිර ගැත්තෙකු බවට පත්වූයේ ද නැතහොත් එසේ කිරීම “අවශෝෂණය” කරගැනීමක් ද යන්න නලින් ද සිල්වා විසින් පැවසිය යුතුය. කෙසේ වෙතත් මුනිදාසගේ ප්‍රවේශය බටහිර ස්ත්‍රීවාදය සිංහල සමාජයට අවශෝෂණය කරගැනීම සඳහා පිටුවහලකි.

බටහිර ස්ත්‍රීවාදයට අනුව කල යුතුව ඇත්තේ පුරුෂරූපී සංකේත රටාවට අදාළ ආස්ථානයන් ස්ත්‍රීන් විසින් ද ආක්‍රමණශීලී ලෙස අත්පත් කොට ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එවැනි තවත් සංවිධාන එසේ කිරීම සඳහා රාජ්‍යයන් උනන්දු කරයි (එමී විසින් ද උත්සාහ දැරූයේ එවැනි තත්වයකට පත්වීමටයි). ස්ත්‍රීවාදීන්, වාමාංශිකයින්, පශ්චාත් මාක්ස්වාදීන්, ලිබරල්වාදීන් යන සියලු දේශපාලන දෘෂ්ටිවාදී ආස්ථානයන්ගේ ස්ථාවරය වී ඇත්තේ ස්ත්‍රීන් පුරුෂයන් හා සම විය යුතු බවයි. එනම් පුරුෂරූපාකර වෙතට ඇතුල් වීමයි. ඔවුනට අනුව අනාගතයේ ඔලිම්පික් මීටර් 100 වැනි ධාවන තරඟ වලට පවා ස්ත්‍රී/පුරුෂ බේද තිබිය නොහැකිය. එසේම අනෙකුත් ක්‍රීඩා සඳහා ද එසේය. මේ වන විට ආරම්භ වී ඇති ‘සුපර්-හියුමන්’ ව්‍යාපෘතිය සාර්ථක වීමත් සමග ඒ තත්වය ඇති වනු ඇති බවට ඔවුනට බලාපොරොත්තු තබා ගත හැකිය. ඒ අනුව වම්මුන්, ස්ත්‍රීවාදීන් සහ ලිබරල්වාදීන් යන සියල්ලන් අවසාන වශයෙන් විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වන්නේ විද්‍යාව සහ තාක්ෂනය තුලිනි. ආගම වෙනුවට “scientology” වැනි දෘෂ්ටිවාදයක් ලොවපුරා තහවරු වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
 
ලැකාන්ගේ අවධානය යොමු වන්නේ පුද්ගලයන් තම පන්ති ආස්ථානයන් සමඟ සම්බන්ධ වන ආත්මීය අත්දැකීම් සහ අවිඥානික ක්‍රියාවලීන් වෙතය. එම අර්ථයෙන්, “ස්ත්‍රිය නොපවතිනවා” සේම නිර්ධනයා ද නොපවතී. පවතින්නේ බුර්ෂුවා පන්තිය පමණි. අනෙකුත් සියලු සමාජ කොටස් විසින් සිදුකරනුයේ බුර්ෂුවා අර්ථ හඹා යාමයි.
පාලක පන්තිය විසින් ක්‍රියාත්මක කරන ලද සංකේතීය බලය සහ “ජනතාවගේ” ආශාවන් සහ කාංසාවන් හැඩගැස්වීම කෙරෙහි එහි බලපෑම මූලික වශයෙන්ම සිදුවන්නේ ‘විශ්ව විද්‍යාල කතිකාව’ (discourse of the university) හරහාය. ‘ධනවාදී කතිකාව’ (capitalist discourse) යනු ‘ස්වාමි කතිකාවේ’ (discourse of the master) සහ ‘විශ්ව විද්‍යාල කතිකාවේ’ විපරීත සම්බෝගයේ ප්‍රතිඵලයකි.
“Any order, any discourse that resembles capitalism leaves aside what we will simply call the things of love, my friends.”
Lacan
මාක්ස් ජීවත්ව සිටි සමයේ මාක්ස් විසින් අර්ථවත් කල නිර්ධනයා හට කිසිසේත්ම තම පන්තිය අභිබැවිය හැකි බවට අපේක්ෂාවක් හෝ තබා ගත නොහැකි විය. එනම්, ඔහුගේ දරු මුනපුරන්ට හෝ තමන්ට අදාළ ආර්ථිකමය පන්තියෙන් පිටමන්ව ඊට ඉහල පන්තිමය තත්වයකට යාම පිළිබඳව ඔහුට අපේක්ෂාවක් තබා ගැනීමේ තත්වයක් නොතිබුණු. නමුත් අද තත්වය එසේ නොවේ. සමාජයේ ඕනෑම අයෙකුට තමන් දැනට සිටිනා පන්ති තත්වයෙන් ඉහලට යාමේ අපේක්ෂාව සැම විටම දැල්වෙමින් පවතී. තමන්ට අත්පත්කොට ගත නොහැකි තත්වයක් තම දරුවන් හට අත්පත් කොට දීම සෑම දෙමාපිය යුවලකගේම අපේක්ෂාව වී ඇත. ඔවුන් අරගල කරනුයේ, දැඩි ලෙස වෙහෙසෙනුයේ දැනට තමන් සිටින තත්වයෙන් ඊළඟ පඩියට නගින අතරතුර තම දරුවන් කෙසේ හෝ තමන් සිටි තත්වයට වඩා ඉහල තත්වයකට ඔසවා තැබීමටයි (මෙම තත්වයන් යනු ධනවාදී සමාජය විසින් නිර්මාණය කොට ඇති දැනුම, ආධිපත්‍ය, භාණ්ඩ හා සේවා වෙළඳපොල සහ දේපල පිළිබඳව සම්බන්ධයකි. අනෙකුත් සියලු මිනිස් සම්බඳතා තීරණය වන්නේ ඒවාට අදාළ ව්‍යුහාත්මක සම්බන්ධය තුල පමණි). මූලික වශයෙන්ම අධ්‍යාපනය තුලින්, ව්‍යාපාර සිදු කිරීමෙන්, විදෙස්ගතවීමෙන්, නීති විරෝධී කටයුතු කිරීමෙන්, වැනි ඕනෑම ආකාරයකින් තම පන්තිය වෙනස්කොට ගත හැකි අවස්තාව නිදහස්-ප්‍රජාතන්ත්‍රවාදය තුල සංස්ථාපනය වී ඇත. අද සියලු දෙනා දැඩි ලෙස වෙහෙසෙමින්, ශාරීරිකව සහ මානසිකව යන දෙයාකාරයෙන්ම රෝගාතුර වෙමින්, මිනිස් සබඳකම් වලින් තොරවෙමින්, පරිසරය ද වනසමින්, “පන්ති අරගලයේ” යෙදී සිටී. ධනවාදය තුල අධ්‍යතන පන්ති අරගලය යනු බුර්ෂුවා අර්ථ හඹා ගොස් ඒවා අත්පත්කොට ගැනීම බවට පත්ව ඇත (මේ තත්වය දැරිය නොහැකි තරම් අසහනකාරීය. නමුත් ප්‍රමෝදය එයයි).
 
එබැවින් සැබවින්ම පවතින්නේ එක් පන්තියක් පමණි. ඒ බුර්ෂුවා පන්තියයි. සමාජය ව්‍යුහගත කරන භාෂා පද්ධතිය සහ අර්ථ පද්ධතිය ලෙස ඇති  සංකේත රටාව සාම්ප්‍රදායිකව තර්ක-බුද්ධිමත්භාවය, න්‍යාය සහ අධිකාරීත්වය වැනි පුරුෂරූපී ලක්ෂණ සමඟ සම්බන්ධිත වීම නිර්මාණය වන්නේ බුර්ෂුවා අර්ථ තුලිනි. එනම්, සමාජයේ සියලු දෙනාගේ ජීවිත අර්ථවත් වන්නේ ‘ධනවාදී කතිකාව’ තුලය. ඒ අනුව අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ ‘ධනවාදී කතිකාවෙන්’ ඉවත්වීමයි. එනම්, පවතින්නේ එක් පන්තියක් බව තීරුම්ගත යුතුව ඇත. ‘ධනවාදී කතිකාවෙන්’ ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ “counter culture” වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ (‘කතිකාව’ සහ ‘දෘෂ්ටිවාදය’ අතර වෙනස හඳුනා නොගත් අය). ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය.

“The more saints, the more laughter; that’s my principle. That is to say, the way out of capitalist discourse-which will not constitute progress. if it happens only for some”  Lacan

පවතින්නේ එක් පන්තියක් බව තේරුම් නොගනිමින්, නිර්ධන පන්තියක් ඇතැයි සිතමින්, සමාජයේ පහල ආර්ථික තත්වයන්හි පසුවන්නන් වෙනුවෙන් දේශපාලනය කරන පෙ.ස.ප. වැනි වාමාංශික පක්ෂ විසින් නියෝජනය කරනුයේ එම සමාජ කොටස් සඳහා ද සමාන ආර්ථික තත්වයන්, සමාන අයිතිවාසිකම්, වැනි දෑ හිමිවිය යුතු බව පවසමින් ඒවා අත්කොට දීමට වෙහෙසීමේ කාර්යභාරයයි. එනම් ඉහතින් විස්තර කල ස්ත්‍රිය පිළිබඳව තත්වයට හා බටහිර ස්ත්රීවාදයට සදෘශ තත්වයකි.

පවතින්නේ බුර්ෂුවා පන්තිය පමණිය යන්න මෙසේ කෙටියෙන් අර්ථවත් කල හැකිය: එනම්, තම තමන් ආශා කරන ෆැන්ටසීන් කරා හඹා යාමට ධාවනය වීම තුල සමාජයේ සියලු දෙනා පසු වන්නේ යම් යම් මට්ටම් වල පැරනොයික තත්වයන් තුලය (එමී මෙන්ම). ධනේශ්වර ව්‍යුහයන් යම් යම් කාංසාවන්ට සහ තරඟකාරී මානසිකත්වයකට දායක වන අතර, සෑම කෙනෙකුම නිසඟයෙන්ම ව්‍යාකූලත්වයන් තුල පසු වේ.

වර්තමානයේ පන්ති අරගලය යටපත් වී ඇත්තේ පහත දක්වා ඇති ප්‍රකාර හතර තුලිනි:

මර්දනය (නියුරෝටික මර්දනය): මර්දනය කරන ලද පන්ති අරගලය “නව පසමිතුරුතා (පශ්චාත් මාක්ස්වාදී අර්ථයෙන් සමාජයේ පවතිනුයේ පසමිතුරුතා මිස ප්‍රතීඝතාවයන් නොවේ) වල බහුවිධතාවයේ” ස්වරූපය යටතේ නැවත පැමිණේ. එනම්, ප්‍රජාවවාදය (අනන්‍යතා දේශපාලනය), ඇතුළු අනෙකුත් සියලු-වාදයන්.
 
නිෂේධනය (ප්‍රතික්ෂේප කිරීම මගින් පිළිගැනීම): “මගේ සිහිනයේ සිටින කාන්තාව කවුරු වුවත්, ඇය මගේ මව නොවේ” යන අකාරයේ අනුවාදයක්. එබැවින් නව ප්‍රතීඝතා කුමක් වුවත්, එය පන්ති අරගලය නොවේ…
 
පෙරවරණය (සයිකෝසික පෙරවරණය – the psychotic foreclosure): පැරනොයා මානසික තත්ත්වයෙන් සංලක්ෂිත වීමේ හෝ දුක් විඳීමේ ස්වරූපය යටතේ, පෙරවරණය වූ පන්ති අරගලය යථමය ලෙසින් නැවත පැමිණෙනුයේ අදෘශ්‍යමාන සහ සර්ව බලගතු සතුරෙකුගේ ස්වරූපයෙනි: වෛරස, දේශගුණය, “කුමන්ත්‍රණ න්‍යායන්”… එනම්, එසේ වන්නේ අධිකාරීත්ව දූරවලිය විසින් සියල්ල තීරණය කිරීමේ කොන්දේසීන් තුලය (මේ පිළිබඳව අපගේ වෙනත් ලිපි තුලින් දීර්ගව සාකච්චා කොට ඇත).
 
ප්‍රතික්ෂේප කිරීම (අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම): පන්ති අරගලයේ සංස්ථාපක ප්‍රතීඝතාවයට මුහුන දීමට පෙර “අපට දැකිය හැකි අවසාන දෙය” ලෙස පන්ති අරගලයේ ආදේශක අර්චනකයකයන් ප්‍රධාන හේතුව වෙතට ඔසවා තැබීම: “ලෝක අවසානය”… පිළිබඳ පරිසරවාදය … වැනි කාරනා.
 
පන්ති අරගලය සැබවින්ම පෙනෙනවාට වඩා සංකීර්ණ සංකල්පයකි. එය දැනටමත් පෙන්නුම් කරන්නේ (අපි ඒ ගැන නොසිතා හඳුන්වන දෙය) “සමාජය” සෑම විටම බෙදී ඇති බවත්, සමජාතීය නොවන බවත්, කිසි විටෙකත් එයටම අනුරූප විය නොහැකි බවත්, ඉරුමක් විසින් එය පැත්තෙන් පැත්තට හරස් කරන බවත්ය. ගෝත්‍රික ගම්මානයක් පිළිබඳව සඳහන් කරමින් ලෙවි ස්ට්‍රවුස් විසින් පවසනුයේ සෑම විටම ඔවුන් අතර ගෝත්‍රික සංවිධානය නියෝජනය කිරීමේ ක්‍රම දෙකක් ඇති බවයි (මෙම නිරූපණ පරස්පර විරෝධී වේ): එක් අතකින්, තම ගම මධ්‍ය ලක්ෂ්‍යයක් වටා තම සංවිධානය වීම විහිදෙන ඒකකයක් ලෙස දකින අය ද, මධ්‍ය අක්ෂයක් වටා ඇති අවකාශයන් දෙකක ගැටුමක් සහිත රේඛාවක සෑම පැත්තකින්ම සංවිධානය වී ඇති බව දකින අය ද ලෙස එය බෙදී ඇත. මෙම දර්ශන දෙක එකිනෙකට වෙනස් ය. තමන්ගේ ගෝත්‍රය එක විදියකට දකින අයට අනිත් අය දකින විදිහ ගැන සිතිය නොහැක. ලෙවි-ස්ට්‍රවුස්ගේ මෙම උදාහරණයේ කැපී පෙනෙන දෙය නම්, ප්‍රතීඝතාවය (හෝ ව්‍යුහාත්මක අපැහැදිලිභාවය) යථාර්ථය තුළම කොටා ඇති බවයි.
පන්ති අරගලය පිළිබඳ මෙම පැරණි සංකල්පය පිළිබඳව අප සැම විටම (අඩුම තරමින් පළමු ස්ථානයේ) මතක තබා ගත යුතු දෙය මෙයයි. එනම්, ප්‍රතීඝතාවයක් යනු සමාජ යථාර්ථයේම කොටසක් බවය (හෝ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක්) … පන්ති අරගලයට හේතුව (තර්කයනය) ලැකාන් ඔහුගේ Imaginary-Symbolic-Real යන ත්‍රිත්වය තුල Real” යන පදයට දෙන අර්ථයෙන් “යථ” ලෙස ග්‍රහණය කර ගත හැක. යථ මෙහි ඇත්තේ, යථාර්ථයේ ඇති “යම් දෙයක්” ලෙස පමණක් නොව, එය යථාර්ථයේම සීමාවකි… සමාජ ප්‍රතීඝතාවය (antagonism) එතැන් සිට සමාජය තුළ සංස්ථාපිත ලෙස පෙනී යන්නේ හරියටම පිරිමියා සහ ස්ත්‍රිය අතර ඇති ප්‍රතීඝතාවය අපගේ මනුෂ්‍යත්වයේ සංස්ථාපක ලෙස පෙනී යන පරිදිය (ලිංගික සබඳතා නොපවතින බව ලකාන් ප්‍රකාශ කරන ලදී). එනම්, ලිංගික වෙනස විසින් තත්වාරෝපනය (conditioning) කරනුයේ “ලිංගික සම්බන්ධයේ” අශක්‍යතාවය වන අතර අනෙකා (Other) අනෙක් ලිංගය වීම, කප්පාදු (castration) බිත්තියේ අනෙක් පැත්තයි. 
ලිපියේ මුලින් දක්වා ඇති වීඩියෝවේ සමන් වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය විස්තර කරන විට සහ එයට අර්ථකතන සපයන විට ඔහු එය රැගෙන යන්නේ “ඊගෝ මනෝවිද්‍යාව” (ego psychology) දෙසටය . “X කණ්ඩායමේ” උරුමය මෙයයි. මානසික රෝග නම් කිරීම, එවැනි මානසික රෝග ඇතිවීමට හේතු සහ එසේ ඇති නොවන පරිදි ජීවිතය හැඩගස්වා ගත හැකි ආකාරය (ශික්ෂණය), “දැනුම” (අධ්‍යාපනය), විද්‍යාත්මක අන්වේෂණය (විද්‍යාව තුලින්), මනොවිශ්ලේෂණය කරා යන විදග්ධ ඉදිරිපත් කිරීමක් ලෙසය (ගත්කතුවරයෙකු ලෙස ඔහුගේ කෘතීන් තුලින් ද ගම්‍යමාන වන්නේ එම අර්ථයයි). නමුත් ෆ්‍රොයිඩ් අනුව යමින් ලකාන් විසින් කියා සිටිනුයේ Governing, Education, Science, Psychoanalysis යනු ආශක්‍යතා හතරක් බවය.  
 
සමන්ගේ කෘතීන් සිනමාවට රැගෙන අවේ අශෝක හඳගම විසිනි. ඔහුගේ කාර්යන්හි ද අන්තර්ගත අඛ්යානය සමන් වෙතින් වෙනස් නොවේ. 
 
X කණ්ඩායමේ සම්ප්‍රදාය තුල සහ ඉන් ඉවත්ව එයම නියෝජනය කරන්නන් තුල නොමැත්තේ සැබෑ ලකානියානු ප්‍රවේශයයි. 

 

1 thought on “ස්ත්‍රිය නොපවතිනවා සේම නිර්ධනයා ද නොපවතී

Leave a Comment