උත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි, පශ්චාත් මනුෂ්‍ය යුගය

පහතින් දක්වා ඇත්තේ 2022/12/14 දින කෘතීම ගර්භාෂයක් තුල මානව ප්‍රතිනිෂ්පාදනය සිදු කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ වීම පිළිබඳව පුවතට අදාළ ශීර්ෂ පාඨයයි.

“Man claims to solve fertility issues and genetic disorders with artificial womb facility called Ectolife. Here is what we know so far”

එම ශීර්ෂ පාඨයේ සුවිශේෂී දෘෂ්ටිවාදී එළැඹුමක් ඇත. එනම්, “මිනිසා” යන්නයි. එම පුවතට අනුව කියවෙන්නේ ‘Ectolife’ නම් කෘත්‍රිම ගර්භාෂ පහසුකම මගින් මිනිස් ජීවියා පිළිබඳව සශ්‍රීකත්වයේ ගැටළු සහ ජානමය ආබාධ විසඳන බව “මිනිසා” අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරන බවයි. නූතන විද්‍යාවේ එක් සන්ධිස්ථානයක් වූ, ලොව සෑම රටකම පාහේ අවධානය යොමු වූ, “මිනිසා” සඳ මත පා තැබීම පිළිබඳව වාර්තා වූයේ ද මේ අයුරිනි.

මිනිසා, මානවයා, මානව වර්ගයා, මානව සංහතිය, වැනි භාෂිතයන් තුලින් ප්‍රකාශ නිකුත් වන විටම ඒවා තුලින් නිතැතින්ම ලිබරල්වාදය (දෘෂ්ටිවාදය) නියෝජනය වීම නොවැලැක්විය හැකිය.

ලිබරල්වාදයේ ප්‍රධාන පූර්වජයින් දෙදෙනෙකු වූයේ රූසෝ සහ කාන්ට්ය. මිනිසාගේ උදාරත්වය (dignity of man) පිළිබඳ අදහස කාන්ට් වෙත ලැබී ඇත්තේ රූසෝගේ දර්ශනයෙන් බව පෙනී යයි.

රූසෝ සහ කාන්ට් යන ලිබරල් මානවවාදීන්ට අනුව “තර්ක බුද්ධියේ” (reason) විශ්වීය නීතිය ඕනෑම ආකාරයක ප්‍රජා පීඩනයන් වෙතින් සම්පූර්ණ විමුක්තිය කරා මග පෙන්වනු ඇත (කෙසේ නමුත් කාන්ට් දෙවියන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකළේය).

නූතන විද්‍යාවේ ආරම්භකයින් ඇතුළු නූතනත්වයේ ප්‍රමුඛයින් සියලු දෙනා ක්‍රිස්තියානින් විය.

දේවධර්මවාදයට අනුව, එනම් උප්පත්ති කතාවට අනුව පාපයෙන් දූෂණය වීමට පෙර දේව මැවීම පරිපූර්ණත්වයක් විය. සමස්ත ස්වභාවයම (nature) මුලදී (දේව මැවීමේදී), පරිපූර්ණව පැවතුනි.

ආදම් සහ ඒවා දෙවියන් වහන්සේ සමඟ ඊඩන් උයනේ ජීවත් වූ නමුත්, දෙවියන් වහන්සේ තහනම් කළ යහපත හා අයහපත පිළිබඳ දැනුම පිළිබඳව වෘක්ෂයේ ගෙඩි අනුභව කිරීමට සර්පයා ඔවුන්ව පොළඹවා ගනු ලැබූ බැවින්එසේ කිරීමෙන් පසු, ඔවුන් ඔවුන්ගේ නිරුවත ගැන ලැජ්ජාවට පත් වූ අතර, ඔවුන් ජීවන වෘක්ෂයෙන් අනුභව කර අමරණීය වීම වැළැක්වීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන්ව උයනෙන් නෙරපා හරින ලදී.

ක්‍රිස්තියානි ධර්මය තුළ, “ඇදවැටීම” (“Fall”) පිළිබඳ මූලධර්මය “මුල් පාපය” හෝ “ආදිකල්පික පාපය” (“original sin”) සමඟ සමීපව සම්බන්ධ වේ. “ඇදවැටීමවිසින් ලෝකයට පාපය ගෙනා බවත්, මිනිස් ස්වභාවය (human nature) ඇතුළුව සමස්ත ස්වාභාවික ලෝකයම දූෂණය කර, සියලු මිනිසුන්ට, මුල් පාපය උපත ලබා දුන් බවත්, දෙවියන් වහන්සේගේ කරුණාව (grace of God) නොමැතිව ඔවුන්ට සදාකාල ජීවනය (අමරණීයත්වය) ලබා ගත නොහැකි තත්වයක් ඇති වූ බවත්, ක්‍රිස්තියානින් විසින් විශ්වාස කරති. එසේම ස්වර්ගය යනු ක්‍රිස්තියානින්ට අනුව සදාකාලික පරිපූර්ණත්වයකි. 

ප්‍රාග්-නූතන මිනිසුන්ට ප්‍රථම වරට නූතන විද්‍යාවේ උපකරණ හමු වූ විට, ඔවුන් මනුෂ්‍යත්වයේ “ඇදවැටීම” දූෂණයට වන්දි ගෙවීම සඳහා නිපදවෙන මෙවලම් ලෙස ඒවා තේරුම් ගත්හ. මාර්ටින් ලූතර් වැනි අය දුටුවේ පරිපූර්ණ සංජානනය ඇති බවට උපකල්පනය කළ ආදම්ට වෙනස්ව සියලු මිනිස් සංවේදනයන් විකෘති වී ඇති බවයි. දාර්ශනිකයෙකු වන ජෝසෆ් ග්ලැන්විල්, ආදම්ට තිබිය හැකි වූ හැකියාවන් සඳහා වන්දි ගෙවීමේ උපකරණ පහක් ගැන ලිවීය. ඒවා නම් දුරේක්ෂය, අන්වීක්ෂය, බැරෝමීටරය, උෂ්ණත්වමානය සහ වායු පොම්පයයි. ගැලීලියෝ, රොබට් හූක්, බ්ලේස් පැස්කල් සහ රොබට් බොයිල් විසින් එම තර්ක කිරීම එසේම ඉදිරිපත් කරන ලදී.

ඉහත පුවත් ශීර්ෂ පාඨය දැන් නැවතත් අර්ථවත් කල හැකිය. එනම්, පරිපූර්ණත්වය අහිමි වීමේ, දේව උදහසේ හෝ, දේව මැවීමේ අඩුපාඩු සකස් කොට ගැනීමට මිනිසා ක්‍රම ක්‍රමයෙන් සමත් වනු ඇත. මේ දක්වා මිනිස් ඉතිහාසය යනු එම ක්‍රම විකාෂණයයි (වාමාංශිකයින්ගේ මෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්රවාදීන්ගේ ද ප්‍රශ්නය වන්නේ ලොව සියලු රාජ්‍යයන් හරියාකාරව එම ක්‍රම විකාශනයට අනුගත නොවීමයි). එනම්, වර්තමානය යනු අතීතයට අදාළ නිශ්චිත අනාගතයක් වෙනුවෙන් වෙහෙසීමකි. ධනවාදයේ, ධනවාදය තුල මිනිස් ජීවිත කාලයේ, අර්ථය පවතින්නේ එතනය (ලංකාව තුල මෙතරම් උන්නතිකාමී මිනිසුන් බිහිවීම අධ්‍යාපනයේ ප්‍රතිපලයකි). ඒ අනුව ස්වභාවික මිනිස් ප්‍රවේනියේ (දේවවාදය) ඇති අඩුපාඩු, ඉහත ශීර්ෂ පාඨයට අනුව නම් සශ්‍රීකත්වයේ ගැටළු සහ ජානමය ආබාධ ජයගනිමින් “මානව සංහතිය” “ඉදිරියට” යමින් සිටී (පරිපූර්ණත්වය අහිමි වීමේ, දේව උදහසේ හෝ, දේව මැවීමේ අඩුපාඩු සකස් කොට ගැනීම). ඒ අනුව කිව හැක්කේ “මානවවාදය” යනු දෙවියන් වහන්සේගේ තීරණය පිළිගත්, ඒ තුල ගොඩනැගුන තවත් ලෝක දැක්මක් බවයි.  

තරුණ කාල් මාක්ස්ගේ විවේචක අක්ෂය යොමු වුයේ “මානවවාදයට” එරෙහි වය. මාක්ස්ගේ විවේචනයට ලක් වූ එම මානවවාදී ලිබරල් චින්තනයෙහි මූලිකම පදනම වන්නේ කාන්ටියානු දර්ශනයයි. මානවවාදයේ කේන්ද්‍රය වන්නේ “මිනිස් ස්වභාවය” යනුවෙන් සාරයක් මත පදනම් වීම වන අතර එය “මනුෂ්‍යත්වය”සහ “මනුෂ්‍ය වර්ගයා” පිළිබඳ වියුක්තනයකි.

වසරක් තුළ ළදරුවන් 30,000ක් වර්ධනය කළ හැකි පළමු ආකාරයේ පහසුකම ඉහත පුවතේ සඳහන් විද්‍යාගාරය සතු බව එහි ඇති වීඩියෝවේ සඳහන් වේ. මෙම පහසුකම සූර්ය හා සුළං වලින් සමන්විත පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ (පරිසරවාදී එළඹුම).

මෙය “සුපිරි මානවයා” (superhuman) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ එක් එළැඹුමක් පමණි. ධනවාදය ඉදිරියට වර්ධනය වීමට නම් පරිසර දූෂණයට, ඒ නිසා ඇති වන ලෙඩ රෝග වලට, එසේම මිනිස් සත්තාව අහිමි වීම තුල ඇති වන ලෙඩ රෝග,මානසික රෝග, ආතතීන් ඇතුළු අනෙකුත් සියලු ව්‍යාධීන්ට ඔරොත්තු දෙන මිනිසෙකු නිර්මාණය විය යුතුය. ඒ අනාගතයේ මිහිපිට උදා කොට ගත හැකි පරිපූර්ණ “ස්වර්ග රාජ්‍යය” වෙනුවෙනි. ඒ අනුව සියලු දෙනා හට, සියලු අපහසුතා, දුක්, කම්කටොලු දරාගෙන එම පොරොන්දු දේශය වෙනුවෙන් වැඩ කිරීමට සහ ඒ සඳහා වැඩ කිරීම වෙනුවෙන් තම දරුවන් නිපදවිය යුතුව ඇත. ඒ අනුව දැන් “ස්වභාවික” මානව උපත නවතා දමා ඒ සඳහා වඩාත් ප්‍රතිඵල දායක යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය වෙත මාරු විය යුතුව ඇත (විද්‍යාවේ ක්‍රියාකාරීත්වය). එහි ඉදිරි වුර්ධීන් වනු ඇත්තේ ළදරුවාගේ සිට ළමයා අවුරුදු 16-18 පමණ වන තෙක් සුවිශේෂී ව්‍යුහයක් තුල (අධ්‍යාපනය ඇතුළු) ඇති දැඩි වීමය. වර්තමානයේ ද එම අනාගත තත්වයට අදාළ ගුණාංග සහිතව, අනාගතයට අදාළ පදනම ක්‍රියාත්මක වුවද එය අති මහත් බහුතරයකට නොපෙනෙනවා සේම එය පිළිගැනීමට ද අකමැතිය. එනම් පාසැල් ලෙස ආරම්භ වූ එම තත්වය මේ වන විට මාස හතරක ළදරුවා දමා යා හැකි kindergarten ඇති තත්වයකට වර්ධනය වී ඇත. ඒ අනුව තව ඉටු කරගත යුතුව ඇත්තේ සුළු දෙයකි. මන්ද දැනුදු ළදරු වියේ සිටම ළමයා ආයතන ගත වීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බැවිනි.

ඉදිරියේදී දෙමාපියන් හට තම කටයුතු වල “නිදහසේ” (නිදහස යනු සමුද්දේශ රාමුවක් තුල අනීවාර්යතාවයන්ය. අනීවාර්ය ලෙස තමන්ට ලැබෙන රැකියාවල් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී සිදු කල යුතුව ඇත) නිරත විය හැකි අතර ළදරුවන්, දරුවන් රැකබලා ගැනීම, ඇති දැඩි වීම, හික්මවීම, නිසි විද්‍යාත්මක පරිධියක් තුල අදාළ ව්‍යුහයන්හි සිදු වනු ඇත. එවැනි ව්‍යුහයක් තුලින් ගොඩනැගෙන සුපිරි දක්ෂයින් කිහිප දෙනෙකු විසින් ඊලන් මස්ක්ගේ අනාගත සැලසුම වන Neuralink (මෙය ඊලන් මස්ක් තුලින් ප්‍රකාශ වුවද අනාගතය ගමන් කරමින් ඇත්තේ එතැනටය), තුලින් සමස්ත මිනිසුන් පාලනය කරන ව්‍යුහයෙන් පිට කිහිප දෙනා වනු ඇත. ඉතුරු අය තම දක්ෂතාවය අනුව ධූරාවලි ගත වනු ඇත.

Richard Dawkins හෝ Steven Pinker වැනි නව විද්‍යාත්මක ලෝකයේ ජනප්‍රිය ශූරයන් පවා නිදහස් කැමැත්ත සහ තේරීමේ නිදහස පිළිබඳව බොරුව හෙළිදරව් කරන පිටු සිය ගණනක් ලිවීමෙන් පසු ද ඔවුන් විසින් දේශපාලනිකව සහාය දක්වනුයේ ලිබරල්වාදයටමය. කෙසේ වෙතත් අද ලිබරල්වාදය තර්ජනයට ලක් වී ඇත්තේ නිදහස් පුද්ගලිකත්වයන් නොමැති බවට වන දේශපාලන හෝ දාර්ශනික අදහස් මගින් නොව සංයුක්ත තාක්ෂණයන් මගිනි. ඒ අනුව පුද්ගල මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්තට කිසිදු ඉඩක් නොදෙන අතිශය ප්‍රයෝජනවත්, මගහැරිය නොහැකි, උපාංග, මෙවලම් සහ ව්‍යුහයන් රැසකට අපි මුහුණ දීමට සූදානම් වෙමින් සිටී (මෙම උපකරණ සහ ව්‍යුහයන් අත්‍යවශ්‍ය වනු ඇත). ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, නිදහස් වෙළඳපොළට සහ මානව හිමිකම් වලට මේ “මහා ගංවතුරෙන්” බේරීම සඳහා හැකියාව තිබේද?” එසේ නම්, සංවර්ධනය විසින් ගෙනහැර දක්වනුයේ “හෝමෝ සේපියන්ස්” යල් පීනු බව නම්, ඉන් පසුව කුමක් සිදුවේදපශ්චාත්-මිනිස් හෝමෝ “ඩියුස්” (“deus”) (සාම්ප්‍රදායිකව දිව්‍යමය ලෙස හඳුනාගෙන ඇති හැකියාවන් සහිත) හෝ අර්ධ සර්වබලධාරී ඩිජිටල් යන්ත්‍රයක්දඑසේ නොමැති නම්, සාවධානභාවයකින් තොරව අන්ධ බුද්ධිය ද?

ප්‍රකට පරිගණක විද්යාඥයෙකු වන Raymond Kurzweil පවසන පරිදි, අප දැන්අපූර්වතාව” (“Singularity”) ආසන්නයට පැමිණ ඇත. ඔහු මෙසේ පවසයි: අපගේ ශිෂ්ටාචාරය පිටතට විහිදෙනු ඇත. අපට හමුවන සියලුම ගොළු ද්‍රව්‍ය හා ශක්තිය උත්කෘෂ්ට බුද්ධිමත් දේ බවට පත් කෙරෙයි. ඒ සියල්ල අතික්‍රමණය කෙරෙනු ඇත. එබැවින් එක් අර්ථයකින්, “අපූර්වතාව” විසින් අවසානයේ විශ්වීය ආත්මයෙ (spirit) විහිදුවාලනු ඇත. 

සරලවඅපූර්වතාව”නැතහොත් තාක්‍ෂණික අපූර්වතාව, යනු තාක්‍ෂණික වර්ධනය පාලනය කළ නොහැකි සහ ආපසු හැරවිය නොහැකි කාල පරිච්ඡේදයක් පිළිබඳව උපකල්පිත අනාගත ලක්ෂ්‍යයකි. ඉන් අදහස් වන්නේ කෘත්‍රිම බුද්ධිය සහ වෙනත් තාක්‍ෂණයන් කෙතරම් දියුණු වී ඇත්ද යත් “මානව වර්ගයා” නාටකාකාර හා ආපසු හැරවිය නොහැකි වෙනසකට භාජනය වන කාලයක් පිළිබඳව උපකල්පනය කිරීමකි. ඊට අදාළ කර්තෘන් ඇත (උදා: ඊලන් මස්ක්).

එහි ප්‍රතිඵලයක් ලෙස මානව ශිෂ්ටාචාරයේ අනපේක්ෂිත වෙනස්කම් ඇති වේ (ගෝලීය සවිඥානය).

ඊලන් මස්ක්ගේ නරුම තීක්ෂ්ණ දෘෂ්ටියේ උත්තරීතර ප්‍රතිමුර්තිය, “let’s try to catch up with the machines so that we will not become apes in a zoo” යනු පශ්චාත්-මනුෂ්‍යත්වයේ නව අවධිය පමණක් නොව ප්‍රධාන විශ්වීය සිදුවීමක් ලෙස, එසේම දිව්‍යමය ස්වයං-සත්‍යකරණයේ සාක්ෂාත් කර ගැනීම, එනම්, “අපූර්වතාව” පිළිබඳ ඥානවාදී (gnostic) “නව යුගය” (New Age) කියවීමයි. 

ඓතිහාසිකව ගත් කල “gnostic” යන්නෙන් ක්‍රිස්තියානියට අදාළව දෙවියන්ගෙන් ලද උසස්තම දැනුම ඇති බව ප්‍රකාශ කළ මුල් ක්‍රිස්තියානීන් අතර යම් නිකායක සාමාජිකයෙකු හැඟවෙන අතර දෙවියන් වහන්සේගෙන් නිකුත් වන බලතල හෝ දෙවියන්ගේ නියෝජ්‍යතත්වය මගින් දෙවියන් විසින් නිර්මාණය කරන ලද ලෝකය ඔවුන් විසින් පැහැදිලි කළේය. ඊලන් මස්ක් හෝ මහාචාර්යවරුන්විද්‍යාඥයින් වැනි අය අද දවසේ ඒ අයට සමාන කටයුත්තක නිරත වේ. එනම්, “අපූර්වතාව” තුළ, අප, මිනිසුන් පමණක් නොව, දිව්‍යමය බවට ද පත් වේ. වඩා අර්ථවත්ව පවසන්නේ නම් දෙවියන් වහන්සේම සම්පූර්ණයෙන්ම දිව්‍යමය වේ. එනම් දෙවියන් පිළිබඳව අදහස වඩාත් තහවුරු වේ. “අපූර්වතාව” යන්නෙන් යම් ආකාරයක මනස් එකට සම්බන්ධ කිරීමක් ද ගම්‍ය වන බැවින්, එය පරමවිඥාර්ථමය සමපේක්ෂනයන් සඳහා ඇමතීම පුදුමයක් නොවේ. 

මේවා මෙසේ පවසන විට බොහෝ දෙනෙකු අප දෙස උපහාසාත්මකව සිනාසෙනු ඇත. නමුත් ඔවුන් ඉතා සතුටින්, ඉත සිතින් භාරගෙන ඇති වර්තමානය තුල මේ අනාගත තත්වයට අදාළ පදනම නොමැත්තේද? ප්‍රජාතන්ත්‍රවාදය යනු එම පදනම නොවේද (අපගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලිපි පෙළ කියවන්න)?

කෙසේ වෙතත්, අප දැනටමත් දැක ඇති පරිදි, මෙය සම්පූර්ණ කතාව නොවේ. ඊලන් මස්ක් විසින් දැඩිව ප්‍රකාශ කොට සිටිනුයේ, අපි නව කෘත්‍රිම බුද්ධියේ “සුපිරි මනසට” (supermind) සම්බන්ධ නොවන්නේ නම්, අපි – මිනිසුන් – ඉක්මනින්ම සත්වෝද්‍යානයක වඳුරන් මෙන් වනු ඇත යන්නයි. ඔහු පවසන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් ඊට අදාළ ඉදිරි විද්‍යා-තාක්ෂණ පියවර කරා යා යුතු බවය.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානයේ වර නගන අයට, ඊලන් මස්ක්ට සහ ප්‍රගතිශීලීත්වය, ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය පිළිගන්නා සියලු දෙනාට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟ පියවර තිබිය යුත්තේ Neuralink, Starlink, SpaceX වැනි තත්වයන් තුලය. එසේ නොමැති නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අර්බුධයට යාමට නියමිතය.

නව නිර්මාණ කරුවන් (හෙට දවසේ ඉංජිනේරුවා යනු යකදුරෙකුගේ අභ්‍යාසලාභී ගෝලයෙක් වැන්නෙකු නොවන්නේ ඔහුගේ ඉගෙනීම පිළිබඳව අනවධානය හෝ මුග්ධත්වය නිසා නොව, ඔහුගේම තේරීමෙනි. එනම් එම ඉංජිනේරුවා තවදුරටත් ආයතනික හික්මීම, පාලනය හෝ අධිකාරීත්වය තුල කටයුතු නොකරනු ඇත. ඔහු සංකීර්ණ ව්‍යුහයන් හෝ කාර්යමන්ඩලයන් තමන් විසින් තමාටම දීගන්නා අතර ඒවායේ ක්‍රියාකාරී ගුණාංග ගවේෂණය කිරීමෙන් ඒවාට කල හැකි දේ ඉගෙන ගැනීමට ඔහු උත්සාහ කරනු ඇත. එය ආරෝහණ, පහළ සිට ඉහළට යන ප්‍රවේශයකිඔහු අවම වශයෙන් ගවේෂකයෙකු සහ අත්හදා බැලීම් කරන්නෙකු වන තරමටම ක්‍රියාත්මක කරන්නෙකු, එනම්, පොල්මක්කාරයෙකු ද වනු ඇත. එවැන්නෙකු කුමන දේ නිපදවන්නේ දැයි කිසි වෙකුට කිව නොහැකිය) පාලනය කිරීමපේටන් අයිතිය සහ ඊට අදාළ ලිහා ගත නොහැකි ලෙස පැටලෙන දැඩි සංකීර්ණතාවයකින් යුතු නීතිමය තත්වයන්වඩ වඩාත් විපරීතකරණය වන මිනිස් ස්වභාවයන්, ඒ තුල ලිංගිකත්වයන් (ඒ සියල්ලට අදාළ නීතිමය තත්වයන්), ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර අර්බුධයට යාමට නියමිත වන්නේ පුරෝකතනය කල නොහැකි ආකාරයෙනි. ඊලන් මස්ක් විසින් ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ තම Neuralink, Starlink, SpaceX, ව්‍යපෘති ඊට ඇති විසඳුම් ලෙස යෝජනාකරන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා හට ඒවා ප්‍රතික්ෂේප කල නොහැකිය.

“Superhuman” සහ “Supermind” ව්‍යාපෘතීන් තුල මේ වන විට පශ්චාත් මනුෂ්‍ය යුගය ඇරැඹී ඇත. ඒවා සාර්ථක වුවහොත් තවදුරටත් මනුෂ්‍යයා නොපවතිනු ඇත. මෙය ආරම්භ වූයේ හැඟීම් (emotions) වලට එරෙහිව තර්ක බුද්ධිය (reason) සංස්ථාපනය කිරීමෙනි (ප්‍රජාතන්ත්‍රවාදය සහ නූතන විද්‍යාව). දැන් එය සම්පූර්ණ තාර්කිකත්වය සහිත යාන්ත්‍රණමය තත්වයක් වෙතට සම්ප්‍රාප්ත වෙමින් පවතී. 

ඒ අනුව ඊඩන් උයනේ දෙවියන්ගේ කාර්ය  Neuralink, Starlink, SpaceX වැනි ඩිජිටල් යන්ත්‍ර විසින් භාරගනු ඇත (මහා අනෙකාගේ කාර්යභාරය)

“I don’t trust machines. Technology is not neutral.” යනුවෙන් 2017 වර්ෂයේදී මැඩ්රිඩ්හි දී Slavoj Zizek විසින් ප්‍රකාශ කළේය. නිසැකවම ඔහු සඳහන් කළේ කෘත්‍රිම බුද්ධිය මිනිසා විසින් “ඉදිරියට” රැගෙන යන බවත්, ඒ තත්වය වර්ධනය වීම තුල සෑම මිනිසෙක්ම යම් සංවිධානයකට හෝ ආයතනයකට හෝ සමාගමකට අයත් වන බවත්ය.

ලෝක දැක්මවල් (දර්ශනයන්), මතවාද, ආගම් පවා යම් ආකාරයකින් මේ තත්වය ඉදිරියට ගෙනයාම සඳහා බලපායි. 

උදාහරණයකට කෘත්‍රිම බුද්ධිය ගතහොත් ඒ තුල ගොඩනැගෙන තත්වය තුල සියලු මනුෂ්‍ය වර්ගයාට හැකි උපරිම ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කළ හැකිදආත්මාර්ථකාමීත්වයට වඩා පොදු යහපතක් දෙස බැලීමට මිනිසුන්ට ඒ තුලින් හැකි වේද?

ඒ අනුව මානවයාමානව වර්ගයාමානව සංහතියජනතාව, වැනි ස්ථාවර මත පදනම් වන දේශපාලනය ප්‍රතික්ෂේප කරණ දේශපාලනයක් අවශ්‍යව ඇත. කෙනෙකු එම යෙදුම් පාවිච්චි කරමින් ඒ මත පදනම් වන්නේ නම් එම පුද්ගලයා දෘෂ්ටිවාදයේ ඍජු ගොදුරකි.

1 thought on “උත්පත්තිය වෙනුවට නිෂ්පාදනය ඇරඹෙයි, පශ්චාත් මනුෂ්‍ය යුගය

Leave a Comment