දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි. දේශපාලනයේදී ඉතිහාසය මත පදනම් වීම නිරර්ථක ක්‍රියාවකි. විමුක්ති දේශපාලනය සඳහා නම් ඉතිහාසය මත පදනම් වීම කිසිසේත්ම අදාළ නොවේ. එබැවින් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් එරෙහි විය යුත්තේ ඓතිහාසික කතන්දර වලට අනුව භූමියේ අයිතිය තීරණය කිරීමේ දේශපාලන ප්‍රවේශයන් වෙතය. ජාතික රාජ්‍යයන් සහ ජාතික රාජ්‍යන්ට අදාළ භෞමික සීමාවන් තීරණය වී ඇත්තේ ඓතිහාසිකව සහ එම ඓතිහාසිකත්වයන්ට අදාළ ආඛ්‍යාන තුලයි. ඒවා ජාතික රාජ්‍යයයන් ලෙස පිළිගැනීමට ලක් වී ඇති අතර ආර්ථිකමය සමුර්ධිමත්භාවයේ වෙනස්කම් සහ සුවිශේෂිතා තුල, සහ අනෙකුත් විෂමතා අතර සම්බන්ධය තුල ඒ රාජ්‍යයන්හි සියලු වරප්‍රසාද හිමිවන්නේ එසේ ගොඩනැගී ඇති අදාළ ජාතික රාජ්‍යයේ පුරවැසියා හට පමණි. එනම් සමාජයේ පන්ති පරතරය මෙන්ම ජාතික රාජ්‍යයන් අතර ද පවතින්නේ විෂම ආර්ථික-සමාජමයමය පරතරයකි. ඒ තුල සමුර්ධිමත් (ධනවාදී නිර්ණායකයන්ට අනුව) රාජ්‍යයන් ඇති අතර අනුක්‍රමික වශයෙන් උපරිම සහ අවම ලෙස ඒවා එම පරතරයන් තුල කොල්ලකාරිභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන අතර ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලිය තුලින් තම රාජ්‍යයේ “සමුර්ධිය” සඳහා සහ අවම වශයෙන් පවතින තත්වය හෝ ආරක්ෂා කොට ගැනීම සඳහා ලොකු කොටසක් ඩැහැ ගැනීමේ උපාය-උපක්‍රම තුල සැම විටම සෑම රාජ්‍යයක්ම ක්‍රියාත්මක වේ. එහි උපරිමයේ පසුවන්නේ, එනම් රාජ්‍යයන් අතර ඉහලම, සුපිරිම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන් සැම විටම ක්‍රියා කරනුයේ එම සුපිරිභාවය ආරක්ෂා කොට ගැනීම සඳහාය. පසුගිය දිනක ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට තිබුනේ තමන් සිතනුයේ තම රටේ මිනිසුන් ගැන පමණක් බවත් තම රාජ්‍යයේ සමුර්ධිමත්භාවය, යහපත සහ උත්ක්රුෂ්ටත්වය ආරක්ෂා කොට ගැනීම සඳහා ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් බවත්ය. එනම් ඇමරිකානු “සමුර්ධිමත්භාවය” පහත වැටෙන්නේ නම් මජර ප්‍රාග්ධන ක්‍රියාවලිය තුල ඕනෑම අකාරයේ කොල්ලකාරීත්වයකට හෝ යුද්ධයකට ඔවුන් සූදානම් බවය. ඒ සියල්ල සිදු වන්නේ ඉතිහාසයට අදාළව භෞමිකත්වය පදනම් කොට ගත් ජාතික රාජ්‍ය සීමාව කොට ගනිමිනි. එවිට මේ ජාතිවාදය නොවේද?
පලස්තීන අර්බුධය තුල ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය හෝ වෙනත් ඕනෑම සංවිධානයක් විසින් ප්‍රකාශ කරනා ඓතිහාසික කතන්දර සහ වෙනත් කතන්දර තුල අර්බුධයට විසඳුම් නොමැත. ඉතිහාසයේ ලියවී ඇති දේවල් පරීක්ෂා කොට බලා තීන්දු තීරණ දීමට හැකි දෙවියෙකු ද නොමැත. එසේම ඉතිහාසය කෙසේ වුව ද සත්‍ය වශයෙන් පවතින්නේ මිනිසුන්ගේ විඳවීමයි. එසේ නම් මිනිසුන්ගේ විඳවීම ඉතිහාසයට අනුව, ඒ මත පදනම් ව භාර ගත යුතු ද? එබැවින් අදාළ වන්නේ වර්තමානයයි. එම පාර්ශවයන් එම පාර්ශවයන්ටම කියා ගන්නා කතන්දර සත්‍ය නොවන බව නොකිවමනාය. ඒවා රීතියක් ලෙස ඒ, ඒ, පාර්ශවයන් විසින් යථාර්ථයේ දී අන් අය වෙත සිදු කරන භීෂණය සාධාරණීකරණය කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද ප්‍රභන්ධයන්ය. සත්‍ය පවතින්නේ එම ප්‍රබන්ධයන්ගෙන් පිටත, ඒ, ඒ, පාර්ශවයන් යථාර්ථය තුල කරමින් සිටිනා දේවල් තුලය (ක්‍රියාකාරිත්වය තුල- “They Know Not What They Do”).
ගල්ෆ් කලාපයේ මුසොල්මානුවන් දීර්ග කාලයක් මුළුල්ලේ පීඩාවට පත්ව සිටින බව පැහැදිලි සත්‍යයක් වුව ද ලෝක ආධිපත්‍යධාරී බටහිර ලෝකය ඒ පිළිබඳව සාවදාන නොවේ. ඒ සඳහා ඔවුන්ගේ දීර්ගකාලීන විසඳුම මිලිටරිමය ආකෘතියක් තුල සිදු වේ. හිස්බුල්ලා, හමාස්, අල්කයිඩා, ISIS, තලේබාන්, බොකෝ හරාම්, අල් ශබාබ් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නාමකරණය වී ඇති සටන් ව්‍යාපාර බිහිව ඇත්තේ මෙම සන්ධර්භය තුලය. උදාහරණයකට මෙවර හමාස් ප්‍රහාරය එල්ල කල ප්‍රධාන සැලසුම්කරුවා උපත ලබා ඇත්තේ සරණාගත කඳවුරකය.
මනුෂ්‍යයා තමන් මත බාහිර අධිකාරීත්වයක් මගින් පටවා ඇති කොන්දේසි වලට කොන්දේසි විරහිතව විරෝධය පෑම සඳහා ඇති නැඹුරුව සෑම විටම දෘෂ්ටිවාදයේ ගොදුරක් බවට පත් වේ. මැදපෙරදිග සිදුව ඇත්තේ ද එයයි. එනම් පූර්ව නිශ්චිත පරිපූර්ණ විසඳුමක් සහිත, සදා නිම කල ආකෘතියක් සහිත, “විකල්පයක්” පොරොන්දු වී ඇති හෝ පොරොන්දු දේශයක් පිරිනමන දෘෂ්ටිවාදී ආකෘතියක් අරගලය මත අධිකරීත්වයක් දැරීමයි. ගල්ෆ් කලාපයේ අරගලයන්ට අදාලව එය මුස්ලිම් මූලධර්මවාදයේ විවිධ නිකාය ප්‍රභේධයන්ය. එම සටන් ව්‍යාපාර ම්ලේච්ඡ ස්වරූපයක් උසුලනුයේ එම මූලධ්රමවාදයන් සතු අනෙකුත් දෘෂ්ටිවාදයන් මර්ධනය කිරීමේ දේව නියමයන්ට අනුකූල වීම තුලය. එසේ නම් ත්‍රස්තවාදී නොවන ලෙස සුජාතකරණය වී ඇති, දියුණු, සංවර්ධිත, ශිෂ්ට-ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇණිය ක්‍රියාත්මක වන්නේ දෘෂ්ටිවාදය රහිත තත්වයක ද? කිසි සේත්ම නොමැත. එසේම එම දෘෂ්ටිවාදය සතුව ඉහත සඳහන් කල අකාරයේ පූර්ව නිශ්චිත පරිපූර්ණ විසඳුමක් සහිත, සදා නිම කල ආකෘතියක් සහිත, “විකල්පයක්” පොරොන්දු වී ඇති හෝ පොරොන්දු දේශයක් පිරිනමන තත්වයක් නොමැති ද? එසේම එහි ම්ලේච්ඡත්වය ඔවුන් විසින් ත්‍රස්තවාදී ලෙස හඳුන්වන කණ්ඩායම් වල ම්ලේච්ඡතත්වයෙන් වෙනස් ද? සත්තකින්ම වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සහජයෙන්ම අස්ථාවර සංස්ථාපිතයකි. එබැවින් එය ම්ලේච්ඡත්වය ඉස්මතු වීමට තුඩු දෙයි. ප්‍රජාතන්ත්‍රවාදය මූලික වශයෙන්ම පදනම් වන්නේ බහුතරය සහ සුළුතරය අතර පවතින ප්‍රතීඝතාවය (antagonism) මතය. ප්‍රජාතන්ත්‍රවාදය තුල තම බලය පවත්වා ගැනීමට නම් බහුතරය නිරන්තරයෙන් සුළුතරය බැහැර කොට මර්දනය කළ යුතුය. මේ නිසා යම් සිද්ධයක් තුල සුළුතරය අඩු මනුෂ්‍යත්වයක් ලෙස වඩා පහත් කොට සලකන තත්වයක් ඇති විය හැක. මෙමගින් ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය සඳහා තෝතැන්නක් නිර්මාණය වේ.
ධනවාදයේ ෆැන්ටසි වසංගතයේ ස්වභාවය තුල විශේෂ අවශ්‍යතා සහ ජන අන්දොලනයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියම දිගින් දිගටම අර්බුධයට ඇද දමයි (නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසිය වන්නේ ෆැන්ටසි වසංගතයේ ක්‍රියාකාරීත්වයට බදා නොකළ යුතුය යන්නයි). ඉන් පසුව උදා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතරයක් මගින් වන බහුතරයේ පීඩනය සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගන්නා තත්ත්වයක් ලෙසය. එවිට සැබවින්ම එය “බහුතරයේ කුරිරු පාලනයයි”.
ඒ සඳහා උදාහරණ දැක්විය හැකිය:
ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි පක්ෂයේ නැගීම ඉන් එකකි. හිට්ලර්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් බලයට පැමිණීමට හැකි වූ නමුත් ඔහු ඉක්මනින්ම තම බලය යොදා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම යටපත් කර ඒකාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කළේය. ඊට ජර්මානු බහුතරයේ එකඟතාවය ලැබුණි.
රුවන්ඩා ජන සංහාරය ගතහොත්, ටුට්සි සුළුතරයට එරෙහිව හුටු බහුතරය විසින් ජන සංහාරය සිදු කරන ලදී. හුටු රජය ටුට්සිවරුන් මානුෂික නොවන අව ජන කොට්ටාශයක් බවට පත්කිරීමට සහ ජන සංහාරය සාධාරණීකරණය කිරීමට ප්‍රචාරණ සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කරන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස සහ යුක්තිය සහතික කිරීමක් නොවන බව සෑම තැනින්ම පෙන්වා දිය හැකිය. “බහුතර කුරිරු පාලනයේ” සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ආවේනික, තුරන් කල නොහැකි දූෂිතභාවය යන දෙකෙහිම අනතුරුවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීම එහි ප්‍රධාන ලක්ෂණයයි. එබැවින් විෂමතාවය පිළිගැනීම සහ එම විෂමතාවය තුල නිදහස් තරඟකාරීත්වය පිළිගැනීම මූලික ලක්ෂණය වන ප්‍රජාතන්ත්‍රවාදය තුල යථමය වන්නේ පන්ති අරගලයයි.
නමුත් තත්වය එසේ තිබියදී සංවාදය බවට පත්ව ඇත්තේ ඉතිහාසය පදනම් කොට ගත් නිජබිම් අයිතිය තුල ප්‍රශ්නය විසඳිය යුතුය යන්නයි. යුවල් නොවා හාරාරි වැනි ඉතිහාසඥයින් ඇතුළු විද්වතුන් ඒ පිළිබඳව සංවාද පවත්වමින් සිටී.
පහතින් දක්වා ඇති ධම්මික වික්‍රමාරච්චි නමැත්තාගේ ෆේස්බුක් සටහන වෙතින් නියෝජනය වන්නේ දියුණු, ශිෂ්ට සම්පන්න, ප්‍රජාතන්ත්‍රවාදී විද්‍යාත්මක ලෝකය පිළිගත යුත්තේ ඇයි ද යන්නයි.
වර්තමාන බහුතර ලාංකිකයින් විසින් ලෝකය දකින ආකාරය මෙම ලිපිය තුලින් මැනවින් පෙනුම් කෙරී ඇත. ඊට අනුව උසස් සහ පහත් ජාතීන් ඇත (අචාර ධාර්මිකව ප්‍රතික්ෂේප කල ද සැබෑ විද්‍යාත්මක පිළිගැනීම එයයි). ගොඩනැගී ඇත්තේ එහි අනුක්‍රමිකතාවයකි. ඒ සියලු සමාජයන් තුල ඒවාට අයත් දක්ෂයින් සහ අදක්ෂයින් පවතිනා සේමය. උසස් ජාතීන් බලවත් වන විට අනෙකුත් ජාතීන් යටත් කොට ගැනීම සඳහා අවශ්‍ය වන අතර එය ස්වභාවිකය (‘පරිනාමවාදයට’ අනුව එම තත්වය විද්‍යාත්මකය). එම ලිපියට අනුව එම ආක්‍රමණයන් සඳහා ගොඩනැගුන දෘෂ්ටිවාද කෙසේ වෙතත් ලෝකයේ දිශානතිය සකස් වී ඇත්තේ එම රටවල ක්‍රියාකාරීත්වය තුලිනි. එය සැබෑවකි.
අදාළ ලිපියේ කියවෙන වර්තමානයට අදාළ වැදගත්ම කොටස මෙයයි:
“අපි පිලිගතයුතු සත්‍ය තමයි මේ මොහොතේ මේ ලෝකය හසුරවන්නේ ඇමරිකාව බව මේ කොටන ෆේස්බුක් එකේ ඉදං වෛද්‍ය විද්‍යාව තාක්ශනය ඔබ යන මෝටර් රථය ගුවන් යානයෙ ඉදන් ඒක එහෙමයි.(මෙතන ඇමරිකාව කියන්නෙ ඇමරිකානු කදවුරට) ඉතිං අපිට ඕනෙ ඕනෙ දේවල් කරන්න බෑ අපි කල යුත්තේ ඇමරිකාව කැමති දේ එහෙම නොකරනවනම් ඇමරිකානු කඳවුරට සටනක් දෙංඩ පුලුවන් ඊලග බල කදවුරට හේත්තුවෙංඩ ඕනෙ.”
ඒ කියමන සත්‍යකි. විද්‍යාවේ අග්‍රස්ථානය හොබවන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය. සරලව පවසන්නේ නම් ලෝකයට මග කියනුයේ, ලෝකය නියාමනය කරනුයේ, පාලනය කරනුයේ විද්‍යාවයි. යථාර්තය පිළිගනිමින්, යථාර්තවාදී වෙමින් ලියා ඇති එම ලිපිය පවසන පරිදි ඇමරිකාවට ගැතිකම් කරන්නේ නම් ඒ ඕනෑම රටකට දියුණු වීමේ අවස්තාවක් ද සලසා ගැනීමේ හැකියාවක් උදා කොට ගත හැකිය. යුගයේ මධ්‍යම පාන්තික නරුමවාදය මෙයයි.
ලිපියෙන් පවසන මුඛ්‍ය කාරණය මෙම ඡේදය තුල අන්තර්ගතය:
“කොටින්ම ලෝකෙ බැලන්ස් කරල තියාගෙන ඉන්නෙ ඇමරිකාව ඇමරිකාව නැති ලෝකයක් හරි ලස්සනයි කියල ඔබට හිතෙනවනම් ඒ ඔබට වැරදිලා. ඇමරිකාව නැති ලෝකයක උසාවි නැතිව මිනිසුන්ගේ බෙලි කැපෙන්නෙ මහ පාරේ. වෙඩි තියන්නෙ ප්‍රසිද්දියේ ඔබේ මානව අයිතිවාසිකම් ඔබේ ආගමික අයිතිවාසිකම් ඒ ලෝකෙදි ඔබට ලැබෙන එකක් නෑ.”
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනා සියලු දෙනාගේ අදහස ද එයයි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නම් ඇති වන තත්වය ඉහත අකාරට ද වඩා දරුණු වන බවය.
ප්‍රජාතන්ත්‍රවාදයේ අනීවාර්ය අවශ්‍යතාවයක් වන්නේ එම ව්‍යුහයට අදාළ බහිෂ්කරණයක් පවත්වා ගැනීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය තුල ප්‍රතීඝතාවය (antagonism) මුණගැසෙන්නේ, පැමිණෙන්නේ, බහිෂ්කරණයේ ප්‍රශ්නයක් ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුලින් බහිෂ්කරණය කරන්නේ කුමක්ද යන්න තීරණය වනුයේ පුද්ගලාරෝපනයක් ලෙස වන ව්‍යතිරේකය සහ ඊට අදාළ පුද්ගල ව්‍යුහය අතර සම්බන්ධය අනන්‍යතාවන් දෙකක් ලෙස විභේධනය වීම තුලය. එම බහිෂ්කරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ අනීවර්යතාවයක් සහ එය ඊට ඔබ්බවන ලද වේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යන්න අනාගතයට අදාලව විකසිත වන දෙයක් බවටත්, ඇත්තටම නොපවතින දෙයක් බවටත් පත්ව ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැක්කේ පුද්ගලත්වාරෝපනයක් ලෙස පමණි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම මූර්තිමත් වන්නේ පුද්ගලයෙක් තුලිනි (දූරාවලීන්ට අදාලව). එවිට එම ව්‍යතිරේකයට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අදාළ නොවේ. එම පුද්ගලරෝපනයට නීති කැඩිය හැකිය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ එම නීති කැඩීම තුලිනි. උදාහරණයකට රටක ප්‍රජාතන්ත්‍රවාදයේ තුල පුද්ගලාරෝපිත ව්‍යතිරේඛ වලට උදාහරණ ලෙස ජනාධිපති, අගමැති, නීතිපති, පොලිස්පති, හමුදාපති, අධිකරණ විනිසුරන් වැනි පුද්ගලාරෝපනයන් සැලකිය හැකිය. එවිට එම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලාරෝපිත නිල ව්‍යුක්ත ව්‍යුහය තුලින් ඒවා දරා සිටින පුද්ගල ව්‍යුහය අර්ථකතනීයව බහිශ්කරණය කෙරේ (උදාහරණයකට පොලිස්පතිවරයා යන නිල තනතුර සහ එය දරා සිටින පුද්ගලයා ලෙස ඔහුගේ පුද්ගලභාවය සහ ඊට අදාළ කරානා පොලිස්පතිවරයා යන තනතුරට අදාළ නොවන බව සලකන්නට වීම). එසේම ‘පුරවැසියා’ සැලකූ විට ද එය එසේමය. ප්‍රජාතන්ත්‍රවාදී නිල දූරාවලිය තුල පුද්ගලාරෝපිත ව්‍යතිරේඛ පරිපූර්ණ ලෙස නොපවතිනවා සේම පුරවැසියා යන්න ද සත්‍ය වශයෙන්ම මිහිපිට පරිපූර්ණ ලෙස නොපවතී. එවිට පුරවැසියා යන්න ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ප්‍රධානතම ව්‍යතිරේකි ව්‍යුක්තනය වන විට සැබෑවට සිටිනුයේ පුරවැසියා ලෙස අර්ථකථනය වූ මිහි පිට සැබෑ මිනිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ලිපි පෙළ කියවන්න:
ප්‍රජාතන්ත්‍රවාදය: (1 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලධර්මවාදයකි
ධම්මිකගේ ඉහත ලිපියට අදාලව පවසන්නේ නම්, ලෝකයට අදාළ එනම්, රාජ්‍යයන් අතර සබඳතා වලට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ක්‍රියාත්මක වීමේදී එම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අදාලව ඇමරිකාව යන්න බහිෂ්කරණයකි. එනම්, එම රාජ්‍යයේ අන්තර්ගතය ඇමරිකානු මැදිහත්වීමේදී අදාළ කාරණයක් නොවේ. එවිට ලෝක ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇමරිකානු නිල ව්‍යුක්ත ව්‍යුහයක් ක්‍රියාත්මකය. නමුත් ඒ තුලින් ඒවා දරා සිටින පුද්ගල ව්‍යුහය (රාජ්‍ය තන්ත්‍රය, ව්‍යාපාරික ප්‍රජාවන්, පුරවැසියන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් වැනි සියල්ල…), අර්ථකතනීයව බහිශ්කරණය කෙරේ. ඒවා අර්ථකතනීයව බහිශ්කරණය කල පසුව, ඇමරිකාව ක්‍රියාත්මක වනුයේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝකයේ යහපැවත්ම වෙනුවෙනි. ලෝකයට පාර කියන්නේ ඔවුන්ය. පිටසක්වල ආක්‍රමණ, උල්කාපාත වලින් විය හැකි ලෝක විනාශයන්, වෛරස්/බැක්ටීරියා වලින් සිදු විය හැකි ලෝක විනාශ, දේශගුණ විපර්යාස වලට විසඳුම් වැනි සකල විධ ව්‍යසනයන් තුලින් ලෝකය බේරාගැනීමට සිටිනා මහා බලවන්තයා ඇමරිකාවයි. සකල විධ, කොටින්ම විද්‍යාත්මක දැනුමේ කේන්ද්‍රස්ථානය එම රාජ්‍ය ප්‍රමුඛ බටහිර ලෝකයයි.
එම ලිපියේ අවසානයේ ඇති උත්ප්‍රාසත්මකම කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නම් හමාස් සංවිධානයට පක්ෂව උද්ඝෝෂණ කිරීමේ අවස්තාව හෝ හිමි වන්නේද යන්නයි. ඉන් හැඟවෙන්නේ කුමක්ද? මේ යථාර්තය පිළිගත යුතුය යන්න නොවේද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනා බුද්ධිමතුන් මීට වඩා වෙනස් දෙයක් පවසනවාද? ඔවුන් සැම විටම පවසන්නේ මෙසේ අදහස් ප්‍රකාශ කිරීමට හෝ පුළුවන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති බැවින්ය යන්නයි.
ප්‍රජාතන්ත්‍රවාදය මූලධර්මවාදයක් ලෙස කෙතරම් සංස්ථාපනය වී ඇත්දැයි කිවහොත් ඉතා සුළුතරයක් හැර සමස්ත සමාජයම (විශේෂයෙන්ම මධ්‍යම පන්තිය සහ ඊට ඉහල පන්තීන්) පසුවන්නේ ඉහත ලිපියේ සඳහන් ස්තාවරයේය. විශේෂයෙන්ම ගෝල්ෆේස් අරගලය සමයේ එම පිටිය පිරී ඉතරී ගියේ මෙම ස්ථාවරය දරන්නන්ගෙනි. එනම් ආගමික මුග්ධත්වයේ පාර්ශවය වෙනුවට ශිෂ්ට, දියුණු විද්‍යාත්මක පාර්ශවය නියෝජනය කිරීමයි. එම තත්වය 90 දශකයට පෙර මේ අකාරයෙන්ම පැවතියේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ 90 දශකය වනතුරු ද වාමාංශික කතිකාව බලවත් වී තිබීමයි. නමුත් එය සිදුව තිබුනේ ද විද්‍යාත්මක ආකාරයෙනි. විද්‍යාත්මක වාමාංශික කතිකාව බිඳ වැටෙන විට 90වෙන් පසුව වාමාංශික කතිකාවේ සිටි අය ද ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත පසු බසින ලදී. ඉන් පසුව ක්‍රමයෙන් උසස් වෙමින් සංස්ථාපනය වන්නේ පාසල්, විශ්ව විද්‍යාල, ජන මාධ්‍ය හරහා ස්ථාපිත කෙරනා ධනවාදී කතිකාවයි. අද වන විට සමාජවාදය, කොම්යුනිස්ට් යන වචන කතා කරන්නන් දෙස උගතුන් බලනුයේ උමතු රෝගීන් දෙස බලන්නාක් මෙනි.
එවන් තත්වයක් තුල මැදපෙරදිග පීඩාවට පත්වන ජන කොටස් නියෝජනය කරනුයේ අල්කයිඩා, ISIS, හිස්බුල්ලා, හමාස් වැනි සංවිධාන විසිනි. පුදුමය වන්නේ කෙසේ හෝ න්‍යෂ්ටික මිසයිල කිහිපයක් කොහෙන් හෝ මිලදී ගෙන ඇමරිකාව සමතලා කොට දැමීමට ඔවුන් උත්සාහ නොදරන්නේ නම්ය. හමාස් සංවිධානයට තමන් විසින් දොස් නොකියන බව යානිස් වෙරුෆාකිස් විසින් පවසන්නේ එම ස්ථාවරයේ සිටය.
Like this:
Like Loading...
Related