දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ. 
එටියන් බාලිබාර්ගේ “The Philosophy of Marx” නමැති කෘතිය තුලින් ඔහු විසින් පෙන්වා දීමට උත්සාහ දරනුයේ මාක්ස්ගේ දේශපාලන ප්‍රවේශය මෙන්ම මූලික ස්තාවරයම දර්ශනයට එරෙහි වූවක් බවය.
“මාක්ස්වාදී දර්ශනය ද මාක්ස්ගේ දර්ශනය ද?” යන පරිච්චේදය ආරම්භ කරමින් බලිබාර් විසින් විමසා සිටිනුයේ විසිඑක්වන සියවසේදීත් මාක්ස් තවමත් කියවනු ලබන්නේ මන්ද යන්න තේරුම් ගැනීම සහ පැහැදිලි කිරීම කල යුතුය යන්නයි. එනම් අතීතයට අයත් ස්මාරකයක් ලෙස පමණක් නොව, මාක්ස් සමකාලීනව ද වැදගත් වන්නේ ඔහු දර්ශනය වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න නිසා සහ ඔහු එය සඳහා ඉදිරිපත් කරන සංකල්ප නිසාය යන්නයි.
 
බලිබර් විසින් මෙසේ ප්‍රකාශ කරයි.

“අතීතයේ කුමක් සිතුව ද මාක්ස්වාදී දර්ශනයක් නොමැති අතර කිසි විටෙකත්සේ නොවනු ඇත. අනෙක් අතට, මාක්ස් වෙන කවරදාටත් වඩා දර්ශනයට වැදගත්ය.”

එනම් බලිබර් විසින් පැහැදිලිව සලකුණු කරනුයේ දර්ශනය සහ මාක්ස්ගේ ස්ථාවරය අතර පැහැදිලි බෙදුම් රේඛාවකි.
 
බලිබාර් විසින් තව දුරටත් මෙසේ පවසයි.
“මාක්ස්වාදී දර්ශනය” යන්න අදාලව පවතින්නේ දහනව වන ශතවර්ෂයේ අවසානයේ දී වර්ධනය වූ සමාජවාදී රාජ්‍යය විසින් ආයතනිකකරණය කරන ලද සම්භාව්‍ය මාක්ස්වාදයේ සම්ප්‍රදායට අදාලවය. එසේම “ඓතිහාසික භෞතිකවාදය” (මෙම යෙදුම ප්ලේකනොව්ගේ නිර්මාණයකි) ලෙස මාක්ස්ගේ නමින් බෞතීස්ම කොට ඇති, සැබවින්ම මාක්ස්ගේ අර්ථයෙන් නම් පන්ති අරගලයන්ගේ ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී දැක්ම, සමාජවාදී රාජ්‍යයන්ගේ “ලෝක දැක්ම” (දර්ශනයෙන් ප්‍රති දර්ශනයට ලිපි මාලාවේ මීට පෙර ලිපි වල “ලෝක දැක්ම” සහ විමුක්ති දේශපාලනයට ඇති එහි අනදාලතාවය පිළිබඳව සාකච්චා කොට ඇත) බවට පත් වී තිබුණි.
එසේ වුවද “මාක්ස්වාදී දර්ශනය” යනුවෙන් තහවරු වී ඇති අර්ථය පිළිබඳව මුලින් යම් අවබෝධයකට පැමිණිය යුතුය. “ඓතිහාසික භෞතිකවාදය” ඇතුළු මාක්ස්ගේ කටයුතු වලට අදාලව දාර්ශනික අන්තර්ගතයන් ලෙස ප්‍රකාශ කිරීම සඳහා විවිධ නියමයන් නිෂ්පාදනය විය. මාක්ස්ගේ කටයුතු හා ඔහුගේ නමින් ක්‍රියා කළ දේශපාලන හා සමාජ ව්‍යාපාරයන්ට පොදු දාර්ශනික අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම සඳහා එම විවිධ යෙදුම් නිපදවා ඇත. “ඓතිහාසික භෞතිකවාදය” හැරුණු කොට මේවායින් වඩාත් ප්‍රචලිත වන්නේ අනෙක් යෙදුම වන්නේ ”අපෝහක භෞතිකවාදය”යි. සාපේක්ෂව එය පසු කාලීනව පැමිණි යෙදුමක් වන අතර මාක්ස්ගේ විවිධාකාර සූත්‍රගත කිරීම් වෙතින් ගෙන එංගල්ස් විසින් සකස් කොට භාවිතා කරන ලද අදහස් වලින් තත්භව වන්නකි.
තවත් සමහරු තරයේ කියා සිටින්නේ මාක්ස්ගේ දර්ශනය මාක්ස්ගේ ලේඛනවල සොයාගත නොහැකි බවත්, ඔහුගේ කාර්යන්ගේ අර්ථය, මූලධර්ම සහ විශ්වීය වැදගත්කම පිළිබඳ වඩාත් පොදු හා වඩා වියුක්ත පිළිබිඹුවක් ලෙස නැවත සලකා බැලිය යුතු බව හෝ එසේ නැති නම්, ඇත්ත වශයෙන්ම, එය ක්‍රමානුකූලව සැකසීමට හෝ සකස් කිරීම කල යුතු බවය. අනෙක් අතට, මාක්ස්ගේ ග්‍රන්ථවල අන්තර්ගතය සහ ඒවායේ පසුකාලීන ”මාක්ස්වාදී” ඉරණම අතර දුරස්ථභාවය අවධාරණය කිරීමේදී පෙන්වා දිය හැක්කේ මාක්ස් තුල (මාක්ස්ගේ කෘති වල අන්තර්ගතයන් තුල) දර්ශනයක පැවැත්ම, එනම් කිසිදු ආකාරයකින් මාක්ස්වාදී දර්ශනයක් පිළිබඳව පසුකාලීන පැවැත්ම හැඟවුම්කරණය නොවන බවයි.
මෙම විවාදය රැඩිකල් ලෙස සරල ආකාරයකින් විසඳා ගත හැකිය. මාක්ස්වාදය සංවිධානාත්මක මූලධර්මයක් ලෙස (1890-1990) ක්‍රියාත්මක වූ මහා චක්‍රයේ අවසානය සනිටුහන් කළ සිදුවීම්, සංවාදයටම අලුත් දෙයක් එකතු කර නැත. නමුත්, එය විවෘත කිරීමට එරෙහි වෙමින් ඒ සඳහා තිබූ අභිලාෂයන් අතුගා දමා ඇත. සැමදා එවැනි විවෘත කිරීම් සඳහා වල කපනු ලැබූයේ වාමාංශිකයින් විසින්මය (ලෝක පරිමාණයෙන්).
යථාර්ථයේදී, සමාජ ව්‍යාපාරයක ලෝක දෘෂ්ටිය (දර්ශනය හැම විටම ක්‍රියාත්මක වන්නේ ලෝක දැක්මක් ලෙසය) ලෙස හෝ මාක්ස් නම් කතුවරයකුගේ ධර්මය ලෙස හෝ ක්‍රමය ලෙස මාක්ස්වාදී දර්ශනයක් නොමැත. කෙසේ නමුත්, පරස්පර විරෝධි ලෙස, මෙම නිශේධනාත්මක නිගමනය, දර්ශනය සඳහා මාක්ස්ගේ වැදගත්කම අහෝසි කිරීමට හෝ අඩු කිරීමට වඩා බොහෝ සෙයින් එය වැඩි කරයි. ඒ අනුව එසේ මායාවකින් හා වංචාවෙන් නිදහස් වූ විට න්‍යායාත්මක ප්‍රවේශයක් ලබා ගත හැකිය. නමුත් මෙහි නව දුෂ්කරතාවයක් ඇත.
බලිබාර් ද ප්‍රකාශ කරන පරිදි මාක්ස්ගේ න්‍යායාත්මක චින්තනය විවිධ අවස්ථා වලදී දර්ශනයක් ලෙස නොව දර්ශනයට විකල්පයක් ලෙස, දර්ශනයක් නොවන හෝ දර්ශන විරෝධී ලෙස ඉදිරිපත් වී ඇත. එය නූතන යුගයේ ශ්‍රේෂ්ඨතම දාර්ශනික විරෝධී දර්ශනය විය හැකිය. මාක්ස් සම්බන්ධයෙන් ගත් කල, දර්ශනය යනු ඔහු හදාළ පරිදි, ප්ලේටෝ සිට හේගල් දක්වා දිවෙන සම්ප්‍රදායේ සිට එපිකුරස් හෝ ෆොයර්බාක් වැනි විසංවාදී භෞතිකවාදීන් ද ඇතුළුව, ඇත්ත වශයෙන්ම ලෝකය අර්ථ නිරූපණය කිරීම අරමුණු කරගත් තනි පුද්ගල කටයුත්තකි (අවධාරණය: මාක්ස් මූලික වශයෙන්ම එරෙහි වන්නේ මෙන්න මේ ඊගො ක්‍රියාකාරීත්වයටය. ෆ්‍රොයිඩ්, ලකාන් විසින් තව දුරටත් තහවරු කොට සිටි ප්‍රධානතම කාරණය වූයේ එයයි. දර්ශනය එහි හොඳම තත්වයේදී, එය ලෝකය එය තිබූ පරිදිම පවත්වාගැනීම සඳහා කටයුතු කරන ලදී. එසේම නරකම තත්වය තුල දී නම් එහි කාර්ය වන්නේ ලෝකය පරිවර්තනය කිරීමට අවශ්‍ය කාර්ය සිදුවීමයි. නමුත් මාක්ස් බලාපොරොත්තු වූයේ ලෝකය පරිවර්ථනය කිරීම නොවේ). කෙසේ වෙතත්, මාක්ස් සාම්ප්‍රදායික ස්වරූපයට හා දාර්ශනික කතිකාවේ භාවිතයන්ට විරුද්ධ වූ හෙයින්, ඔහු විසින්ම ඔහුගේ ඓතිහාසික-සමාජ විශ්ලේෂණයන් හා දේශපාලන ක්‍රියාකාරිත්වය සඳහා වූ යෝජනා දාර්ශනික ප්‍රකාශ සමඟ සම්බන්ධ කර ඇති බවට යම් සැකයක් පැවතිය හැක. මෙය සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව යථානුභූතිවාදය (positivism) විසින් ප්‍රමාණවත් ලෙස විවේචනය කර ඇත.
එසේ නම්, අප විසින් තහවුරු කළ යුතු දෙය නම්, මෙම ප්‍රකාශයන් පැමිණෙන්නේ සංගත සමස්තයක් වෙතින් ද නැද්ද යන්නයි. අඩු තරමින් සංගතභාවය පිළිබඳ අදහස වෙතට ක්‍රමයක් පිළිබඳ අදහස මගින් අකණ්ඩව දැනුවත් වීමට අදාලව පවත්වා ගැනීමක් නම්, මෙය කිසිසේත්ම එසේ නොවේ. නිශ්චිත ලෙස දර්ශනයෙන් බිඳී ගිය මාක්ස්, ඔහුගේ න්‍යායාත්මක ක්‍රියාකාරකම් මගින් එකාකෘත ක්‍රමයක් කරා මෙහෙයවනු ලැබුවේ නැති මුත් අවම වශයෙන් විභාව්‍ය බහුවිධ භාෂිතයන් වෙත යොමු වූ අතර එමඟින් ඔහුගේ පාඨකයන් සහ අනුප්‍රාප්තිකයන් යම් කිසි දෙගෙඩියාවකට තල්ලු කොට ඇත. ඒ හා සමානව, එය ඔහුව ඒකාකාරී කතිකාවකට යොමු කළේ නැති නමුත් ”බැහැර වීම” සහ “දර්ශනය ඉක්මවා යාම” අතර ස්ථිර දෝලනයකට ගමන් කළේය.
ඉන් අදහස් වන්නේ, දර්ශනයෙන් බැහැරවීමෙන් පූර්ව නිගමන වලින් තොරව ‘තීරණ’ සාධ්‍යයන් ලෙස සැලකූයේ ස්පිනෝසා සහ අල්තුෂර් කල ලෙසමය යන්නයි. එක් උදාහරණයක් නම්, ලුවී බොනපාට්ගේ දහඅටවන බ්රූමයර්යේ සුප්‍රසිද්ධ සූත්‍රය, සාත්‍රේ ඇතුළු අය විසින් “ඓතිහාසික භෞතිකවාදයේ” කේන්ද්‍රීය නිබන්ධය ලෙස සැලකීමයි. එනම්, “මිනිසුන් ඔවුන්ගේ ඉතිහාසය සාදන මුත් එය සිදුවන්නේ ඔවුන්ගේ නිදහස් කැමැත්තෙන් නොවේ. එසේ වන්නේ ඔවුන් විසින්ම තෝරාගෙන ඇති තත්වයන් යටතේ නොව, ඔවුන්ට ඍජුව මුහුණ දීමට සිදුවන ලබා දී ඇති සහ උරුම වූ තත්වයන් යටතේය.”
එය මාක්ස්ගේ ස්ථාවරය ඉතා හොඳින් ප්‍රකාශ වන අවස්ථාවකි. එම ස්ථාවරයේ සිට අද්‍යතන සමාජය පිලිබඳ විමසා බලන්නේ නම්, අද්‍යතන සමාජය තුල අප මතට පටවන නිෂ්පාදන, සේවා, අප ජීවත්විය යුතු ආකාරය, වාතය, ජලය, ආහාර-පාන, පිළිබඳව තත්වය සහ අප ඒවා ලබා ගත යුතු ආකාරය සහ කුමන ආහාර-පාන ලබා ගත යුතුද යන්න, අපගේ ලිංගිකත්වය, රුචි අරුචි කම් ඇතුළු අනෙකුත් සියල්ල පිළිබඳව අපට තීරණය කල නොහැක. කොටින්ම අපගේ ‘කැමැත්ත’ යනු ද අප වෙත පටවන ලද්දකි (මේ තත්වය පිළිබඳව අපගේ මීට පෙර ලිපි වල දීර්ග වශයෙන් සාකච්චා කොට ඇත). එපමණක් නොව ගහ-කොළ, සතා සිව්පාවා ඇතුළු ලෝකයේ සියලු දේ පිළිබඳව තීරණ ගැනෙනුයේ අපගේ ඊනියා කැමැත්තට අනුව හෝ නොවේ.
මාක්ස්ගේ කතිකාව දර්ශනයෙන් ඔබ්බට යාමෙන්, අනෙක් අතට, දර්ශනය යනු ස්වාධීන ක්‍රියාවක් නොවන බව පෙන්වන කතිකාවක් වන නමුත් එය සමාජ ගැටුම් ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන්ම සමාජ ක්ෂේස්ත්‍රයේ පන්ති අරගලය තුල එය දරන ස්ථාවරය අනුව තීරණය වේ.
එහෙත් මෙම ප්‍රතිවිරෝධතා, මෙම දෝලනයන් කිසිසේත් මාක්ස්ගේ පාර්ශවයේ දුර්වලතාවයක් නියෝජනය නොකරන බව නැවත කියන්නෙමු. මාක්ස්ගේ කතිකාව තුල දාර්ශනික ක්‍රියාකාරකම්වල දැඩි සාරයම ප්‍රශ්න කරයි. එනම් එහි අන්තර්ගතය, ශෛලිය, ක්‍රමවේදය, බුද්ධිමය හා දේශපාලන කාර්යයන් ප්‍රශ්න කොට සිටී. මෙය මාක්ස්ගේ කාලයේ සත්‍ය වූ අතර අදටත් එය සත්‍යයකි. එබැවින් මාක්ස්ගෙන් පසුව දර්ශනය පෙර පැවති ආකාරයටම තව දුරටත් නොපවතින බවට තර්ක කළ හැකිය. ආපසු හැරවිය නොහැකි සිදුවීමක් සිදුවී ඇති අතර, එය නව දාර්ශනික දෘෂ්ටි කෝණයක මතුවීම සමග තුල්‍ය කල නොහැකිය. මන්ද එය අපගේ අදහස් හෝ ක්‍රමවේදයන් වෙනස් කිරීමට පමණක් නොව දර්ශනවාදයේ භාවිතාව පරිවර්තනය කිරීමට ද බැඳී සිටින බැවිනි.
නූතනත්වයෙන් පසු මේ ආකාරයේ බලපෑම් ඇති කළ ඉතිහාසයේ එකම ලේඛකයා මාක්ස් නොවේ. ෆ්‍රොයිඩ් ගැන ද සඳහන් කළ යුතුය. ඔහු වෙනත් ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වූවත් වෙනත් අරමුණු තිබුනා වුව ද ඔහු ද දර්ශනය සහ බුද්ධිමය සංවාදය ප්‍රතික්ෂේප කල අයෙකි. කෙසේ වෙතත්, සැසඳිය හැකි උදාහරණ ඇත්ත වශයෙන්ම ඉතා දුර්ලභය.
මාක්ස් විසින් ක්‍රියාවට නංවන ලද මෙම කණ්ඩනය වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් පැහැදිලිව පිළිගෙන ඇත. වැඩි වශයෙන් හෝ අඩු වශයෙන් කැමැත්තෙන් පිළිගනු ලැබේ. එය ප්‍රචණ්ඩකාරී ප්‍රතික්ෂේප කිරීම් සහ උදාසීන කිරීමේ දැඩි උත්සාහයන් පවා ඇති කර තිබේ. නමුත් මෙය හේතු වී ඇත්තේ සමකාලීන දාර්ශනික කතිකාවේ සමස්තයම හොල්මන් කිරීමටත්, වැඩි වැඩියෙන් එම කතිකාව ඇතුළත සිට ක්‍රියාත්මක කිරීමටත්ය. මාක්ස්ගේ චින්තනය තුල අන්තර්ගත මෙම ප්‍රතිදර්ශනය, එනම්, දර්ශනයක් නොවන එය නිසැකයෙන්ම පවතින ව්‍යවහාරය සමග සංසන්දනය කිරීමෙන් එමඟින් එය අරමුණු කළ දෙයට සංවාද බලපෑමක් ඇති කළේය. මේ වන විට ස්ථිරවශයෙන්ම විවෘත වී ඇති ප්‍රශ්නයක් වෙතට උත්පාදනය ලබා දුන්නේ ඒ තුලින්ය.
ඇත්ත වශයෙන්ම සැමවිටම එයටම අනන්‍ය ‘සදාකාලික දර්ශනයක්’ වැනි දෙයක් නොමැත. එනම් දර්ශනය තුල හැරවුම් ලක්ෂ්‍යයන්, පර්යන්තයන් ඇති අතර ඉන් ඔබ්බට ආපසු හැරීමක් නොමැත. මාක්ස්ගේ ආගමනයත් සමඟ සිදුවූ දෙය හරියටම දර්ශනයේ භූමි භාගය විස්ථාපනය කිරීමක් සේම “දර්ශනයේ ප්‍රශ්න හා වාස්තවික අරමුණු” පිළිබඳව විස්තාපනයකි. එය යමෙකු පිළිගත හැකි හෝ ප්‍රතික්ෂේප කළ හැකි නමුත් එය නොසලකා හැරිය නොහැකි තරමට බලවත්ය. මෙයින් පසු, අපට අවසානයේ මාක්ස් වෙත ආපසු යා හැකි අතර, ඔහුව හීන කිරීමකින් හෝ පාවාදීමකින් තොරව, අවශ්‍ය නම් ඔහු දර්ශනයට එරෙහි දාර්ශනිකයෙකු ලෙස කියවිය හැකිය.
මෙම තත්වයන් තුළ මාක්ස්ගේ දර්ශනයන් පිළිබඳව ස්ථාවරය වෙත අප ප්‍රවේශ විය යුත්තේ කොතැනින්ද? පිළිතුර සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැත. එනම් පිළිතුර වන්නේ ඔහුගේ ලේඛන වල විවෘත එකතුවෙන් සහ ඒවා තුල පමණක් යන්නයි. ‘දාර්ශනික’ සහ ‘ඓතිහාසික’ හෝ ‘ආර්ථික’ කෘති අතර වෙනසක් නොතිබිය යුතු වනවා පමණක් නොව, නමුත් එම විභජනය නිසැකම මාර්ගය විය හැක්කේ මාක්ස් සමස්ත දාර්ශනික සම්ප්‍රදාය වෙත දක්වන විවේචනාත්මක සම්බන්ධතාවයේ කිසිවක් තේරුම් ගැනීම අසමත් වීමට සහ සම්ප්‍රදාය සහ ඔහු එය මත ඇති කළ විප්ලවීය බලපෑම තේරුම් ගැනීමට අසමත් වීම සඳහාය (එසේ බෙදා වෙනකොට තිබීම තුලින් සිදුව ඇත්තේ මාක්ස් යනු යම් ක්ෂේස්ත්‍ර කිහිපයක් පිළිබඳව අදහස් දක්වන්නෙකු ලෙස පෙනීයාමත් ඔහුගේ සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු නොවීමත්ය).
“ප්‍රාග්ධනය” කෘතිය තුල වඩාත්ම තාක්ෂණික විවාදයන් වන්නේ ‘න්‍යාය’ (logic) හා ‘සත්භාවවේදය’ (ontology) යන කාණ්ඩ, පුද්ගලයාගේ නියෝජනයන් සහ සමාජ බැඳීම, ඒවා පිලිබඳ සාම්ප්‍රදායික නිර්වචනවලින් උදුරාගෙන තිබීම සහ ඓතිහාසික විශ්ලේෂණයේ අවශ්‍යතාවයන්ගේ කොන්දේසීන් තුල නැවත සිතා බැලීමට යොමු වී තිබීමයි. 1848 හා 1871 විප්ලවවාදී අත්දැකීම් සමයේ හෝ  “International Working Men’s Association” තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් සඳහා ලියන ලද වඩාත්ම සංක්ෂිප්ත ලිපි සමාජය හා රාජ්‍යය අතර සාම්ප්‍රදායික සම්බන්ධතාවය පෙරලා දැමිය යුතු බව පිළිබඳ අදහස වර්ධනය කිරීමේ මාධ්‍යයක් විය. 1843 දී ඔහුගේ විවේචනාත්මක සටහන් වලින් මාක්ස් විසින් මුලින්ම එය සංක්ෂිප්ත කොට ගෙන ඇති අතර එය හේගල්ගේ දර්ශනයට මායිම් කර ඇත.
ප්‍රරුඩොන්, බකුනින් හෝ ලසාලේට එරෙහිව ඔහු ලියූ ලියවිලිවල වඩාත්ම විචක්ෂණශීලී වන්නේ ධනේශ්වර ආර්ථික සංවර්ධනයේ චින්තනය පිළිබඳව න්‍යායාත්මක ක්‍රමෝපාය පිළිබඳවය. එසේම ඒවා තුල බුර්ෂුවා සමාජයේ සැබෑ ඉතිහාසය අතර විෂමතාවය පෙනෙන්නට ඇති අතර මුල් දයලෙක්තික, ගෝලීය ප්‍රගතිය පිළිබඳ හේගල්ගේ අදහස හුදෙක් ප්‍රතිලෝමව සටහන් කිරීමට මාක්ස් වෙත එය බල කර සිටී. ඒ අර්ථයෙන් ඇත්ත වශයෙන්ම, මාක්ස්ගේ සෑම කෘතියක්ම එකවර දාර්ශනික ශ්‍රමයෙන් (දර්ශනය පිලිබඳ) බැඳී ඇති අතර සම්ප්‍රදාය විසින් හුදකලා කල හා මායිම් කරන ලද දර්ශනයේ (විඥානවාදයේ ගාමක බලවේගයන්ගෙන් එකක් වන) මාවතට එරෙහිව ගැටුම්කාරී වේ. නමුත් මෙය අවසාන විෂමතාවයක් ඇති කරයි. එක් අතකින්, එය ඔහු තමා තුළම අත්දැක ඇත.
‘ප්‍රැක්සිස්’ (‘Praxis’) සිට නිෂ්පාදනය දක්වා ෆොයාබර්ක් පිළිබඳ එකොළොස්වන හා අවසාන තිසීසය මෙසේය. ”දාර්ශනිකයන් ලෝකය විවිධාකාරයෙන් අර්ථකථනය කිරීම පමණක් සිදු කොට ඇත; කාරණය වන්නේ එය වෙනස් කිරීමයි.” මෙම පරිච්ඡේදයේ පරමාර්ථය නම්, මාක්ස් එතැනින් නොනැවතී සිටීමට හේතුව තේරුම් ගැනීම ආරම්භ කිරීමයි. එසේ වුවත් එක් අර්ථයකින් ගත් කල, ඔහු විසින් ලියන ලද කිසිවක් ඒවා පරිශීලකයින් අතර මෙම සූත්‍රගත කිරීම මගින් මතු වූ ගැටලුවල සීමාවෙන් ඔබ්බට ගියේ නැත.
තිසීස යනු මොනවාද? එනම්, විවේචනාත්මක වාදයක් ගෙනහැර දක්වන ආප්ත මාලාවක්, කෙටි කොට ගත් ඉදිරයට යන සාධ්‍යමය ඉදිරිපත් කිරීමක් ලෙස ඒවා සැලකිය හැකි අතර ඇතැම් විට එය සටන් පාඨයකි. ඔවුන්ගේ ශෛලිය ජර්මානු දර්ශනයේ පාරිභාෂිතය (සමහර විට අද කියවීමට අපහසු වේ) සෘජු පොලාපැනීමක් සමඟ ඒකාබද්ධ කරයි. යම් ආකාරයකින් විමුක්තියක් අනුකරණය කරන අධිෂ්ඨානශීලී ආවේගයක්, එනම් විප්ලවවාදී ක්‍රියාකාරිත්වයේ දිශාවට න්‍යායෙන් නැවත නැවත පිටවීමය (හෝ පුහුණුවීම්). ඒවා ලියා ඇත්තේ 1845 මාර්තු මාසයේදී බ්‍රසල්ස් හි පදිංචිව සිටියදීය. මාක්ස් විසින් මෙම දල සටහන් ප්‍රකාශනයක් ලෙස එළිදැක්වීම සඳහා කිසි විටෙකත් අදහස් කළ බවක් නොපෙනේ. ඒවා ඔහුගේ ‘මතක සටහන්’ අනුපිළිවෙලය
මෙම අවස්ථාවෙහිදී, මාක්ස් ඉතා පැහැදිලිව නිරූපණය කළ හැකි ව්‍යාපෘතියක නිරත වූ අතර, 1932 දී ප්‍රකාශයට පත් කරන ලද දළ කෙටුම්පත් වල සිට එය 1844 අත් පිටපත් ඇතුළුව, වැටුප් ශ්‍රමයේ ආකෘතිය තුල මිනිස් ශ්‍රමයේ පරාරෝපනය පිළිබඳව ප්‍රපංච විද්‍යාත්මක විශ්ලේෂණයක් දක්වා පැමිණියේය. කොමියුනිස්ට්වාදය පිළිබඳ මානවවාදී, ස්වාභාවාත්මක සංකල්පයක් බිහි කිරීම සඳහා ප්‍රතිසන්ධානීය ලෙස සංකල්පනය කරන ලද ආර්ථික විද්යාඥයින් (ඇඩම් ස්මිත්, ජීන්-බැප්ටිස්ට් සයි, රිකාඩෝ, සිස්මොන්ඩි) පිළිබඳව ඔහුගේ පළමු කියවීම සමඟ රූසෝ, ෆොයාබාර්ක්, ප්‍රරුඩොන් සහ හේගල්ගේ බලපෑම් මෙම ලේඛනවල සමීපව සංයුක්ත වන්නේ, පෞද්ගලික දේපළ ක්‍රමය විසින් අහෝසි කර ඇති, එනම්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව ‘තමාගෙන්ම ඈත් වී’ ඇති මිනිසා ස්වකීය ශ්‍රමය හා ස්වභාවය (nature) සමඟ සංහිඳියාව ඇති කර ගැනීමත්, එම නිසා අහිමි වී ඇති ඔහුගේ ‘වාර්ගික සත්තාව’ අත්කොට ගැනීමත් පිලිබඳවය.
ඉන් පසුව මාක්ස්ගේ මෙම කාර්යයට බාධා පැමිණියේය (ඔහු එය බොහෝ සෙයින් වෙනත් පදනම් මත නැවත බොහෝ කලකට පසුව ආරම්භ කරනු ඇත). ඉන් පසු ඔහු එංගල්ස් සමඟ ජර්මානු දෘෂ්ටිවාදය ලිවීම භාර ගන්නා ලදී. එය ප්‍රධාන වශයෙන් විශ්ව විද්‍යාලය තුළ සහ ඉන් පිටත ‘තරුණ හේගල්වාදී’ දර්ශනයේ විවිධ රූපක වලට එරෙහිව විවාදයක ස්වරූපය ගනී (ලුඩ්විග් ෆොයාබාර්ක්, බ්රූනෝ බවර් සහ මැක්ස් ස්ටර්නර් යන සියල්ලන්ම ප්‍රතිස්ථාපනයන්ට එරෙහි ව්‍යාපාරයට යම් දුරකට සම්බන්ධ වී ඇති අතර එය ආභාෂය ලබාගත්තේ “Phenomenology and Philosophy of Right” හි කතුවරයා පිළිබඳව ‘වාම’ කියවීමක් තුලිනි). තිසීසයේ සංයුතිය මෙම බාදාව සමඟ සමපාත වේ. තවද ඒ සඳහා න්‍යායාත්මක හේතු කිහිපයක් පාඨයෙන් සොයා ගැනීමට හැකිය. නමුත් ජර්මානු දෘෂ්ටිවාදයෙහි නිබන්ධයන් සහ තර්ක අතර නිශ්චිත සම්බන්ධතාවය හඳුනා ගැනීම ද ඉතා වැදගත්ය.
ෆොයබාක් විසින් උත්සාහ කළේ ‘ආගමික පරාරෝපනය’ පැහැදිලි කිරීමටය. එනම් සැබෑ කාරණය, ඉන්ද්‍රිය මූලික මිනිසුන් තමන් සඳහාම මෝක්ෂය නියෝජනය කරයි යන්න සහ වෙනත් සුපිරි ඉන්ද්‍රිය මූලික ලෝකයක් තුලට පරිපූර්ණත්වය නියෝජනය කරන බැවින්ය යන්නයි (ඔවුන්ගේම ‘අත්‍යවශ්‍ය ගුණාංග’, පරිකල්පනීය සත්තාවන් හා තත්වයන් වෙතට ප්‍රක්ෂේපණයක් ලෙස – විශේෂයෙන් , ‘මනුෂ්‍ය වර්ගයා’ එක්සත් කරන ප්‍රජාවේ හෝ ප්‍රේමයේ බැඳීම). මෙම වැරැද්ද පිළිබඳව දැනුවත්ව සිටීමෙන්, දෙවියන් වහන්සේ තුල පරාරෝපනය වී ඇති ඔවුන්ගේ සාරයන් නැවත අත්කොට ගැනීමට මිනිස් සත්තාවන් සමත් බවට පත් වෙනවා සේම එතැන් සිට, සැබවින්ම මිහිපිට සහෝදරත්වයෙන් ජීවත්වීමට හැකි වේ යන්න ෆොයාබාක්ගේ ස්ථාවරයයි. ෆොයාබාක්ගෙන් පසුව, දාර්ශනයේ විවේචකයින් (මාක්ස් ඇතුළුව) එකම ක්‍රමෝපාය මානව පැවැත්මේ වියුක්තකරණය හා ‘බැහැර කිරීමේ’ වෙනත් සංසිද්ධීන් වෙත ව්‍යාප්ත කිරීමට උත්සාහ කළහ. ඔවුන් විශේෂයෙන් උත්සාහ කළේ එය, සමාජයෙන් හුදෙකලා වූ, නිදහස් හා සමාන යැයි කියනු ලබන පරමාදර්ශී ප්‍රජාවක් ලෙස දේශපාලන තලයේ සංස්ථාපනය දක්වා එය ව්‍යාප්ත කිරීමට ය. කෙසේ වෙතත්, තිසීසයේ මාක්ස් විසින් පවසන්නේ, මෙම ප්‍රක්ෂේපණයට සැබෑ හේතුව සවිඥානයේ මායාවක් හෝ පුද්ගල පරිකල්පනයේ බලපෑමක් නොවේ යන්නයි. එම නිසා එය සමාජය තුළ බලපවත්වන භේදය හෝ බෙදීමයි. මිනිසුන් එකිනෙකාට එරෙහිව සටන් කරවන ප්‍රායෝගික ගැටුම්කාරීත්වය එයයි. එයට ආගමේ ස්වර්ගය හෝ දේශපාලනය – ආශ්චර්යමත් විසඳුමක් ඉදිරිපත් කරයි. නිශ්චිත වශයෙන් මිනිසුන් අන් අය මත යැපීම අහෝසි කරන ප්‍රායෝගිකව පරිවර්තනයකින් තොරව ලෝකය වෙනස් කිරීම පිටුපස ඇති මෙම බෙදීම් ඔවුන්ට අත්හැර දැමිය නොහැක. එබැවින් ඉදිරිපත්ව ඇත්තේ දර්ශනය විසින් පරාරෝපනය වෙතට අවසානයක් රැගෙන ඒම සඳහාය (දර්ශනය කිසිදා කිසි විටෙකත් කිසිවක් නොවී තිබෙන හෙයින්, නමුත් දේශපාලනය තුළ සංහිඳියාවේ පරමාදර්ශ ගැන විවරණය හෝ එහි පරිවර්තනය පිළිබඳවය). පුද්ගලයන්ගේ භෞතික පැවැත්ම වැතිර පවතින සහ ඔවුන්ගේ සමාජ සම්බන්ධතා තුළ පවතින කොන්දේසි වෙනුවෙන් එය විප්ලවය සඳහා වන කර්තව්‍යයකි. එබැවින් සෑම විටම එහි උතුම්ම අභිලාෂය වී ඇති දෙය වන විමුක්තිය, නිදහස සාක්ෂාත් කරගත හැකි එකම මාධ්‍යය දර්ශනය ලෙස පවතින බැවින්, “ෆොයාබාක් පිළිබඳ තිසීස” දර්ශනවාදයෙන් නිශ්චිත පිටවීමක් ඉල්ලා සිටියි. දුෂ්කරතා හරියටම ආරම්භ වන්නේ මේ අවස්ථාවේදීය. මාක්ස් කිසි විටෙකත් එවැනි පිටවීමක් සඳහා කැඳවීමක් ප්‍රකාශයට පත් කිරීමට ධෛර්යක් උපදවා නොගත් බවට හෝ එසේ කිරීමට අවස්ථාවක් සොයා ගැනීමට නොහැකි වූ බවට සැකයක් නැත. එහෙත් ඔහු එය ලියා ඇති අතර, ‘purloined letter’ (“The Purloined Letter” යනු ඇමරිකානු කතුවරයෙකු වන එඩ්ගර් ඇලන් පෝගේ කෙටි කතාවකි) මෙන් එය අප වෙත පැමිණ ඇත. මාක්ස් එසේ ලිවීමට හේතුවන්නේ, ‘දාර්ශනිකයන් ලෝකය අර්ථකථනය කර ඇත්තේ විවිධාකාරයෙන් පමණි; කාරණය වන්නේ එය වෙනස් කිරීමයි’, යන්න ඵලදායී වීමට, ඒ පිළිබඳව නිහතමානී වීමට හෝ ලෞකික වීමට කැමති සියලු චින්තනයට ආපසු නොපැමිණීමේ ලක්ෂ්‍යයක් ඉදිරිපත් කිරීම සඳහාය. එනම් එය ප්‍රතිගාමී වීම, දර්ශනය වෙත ආපසු යාම තහනම් කිරීමයි. නැතහොත් යමෙකු කැමති නම්, දර්ශනය හා විප්ලවය අතර තුන්වන මාර්ගයක් නොමැති හෙයින්, ලෝකය නැවත අර්ථ නිරූපණය කිරීම ආරම්භ කිරීමට යමෙකුට යම් අවස්ථාවක් තිබේ නම් – විශේෂයෙන්ම සමාජ ලෝකය – දර්ශනවාදයේ විෂය සීමාව තුලට ආපසු යාම යනු තමා විසින් තමාම හෙළා දැකීමයි. එබැවින් පිටතින් බැලීමේදී, එයින් අදහස් කරනුයේ නිරුත්තරභාවය වෙතට එය තමා විසින් තමාම හෙළා දැකීම යන්නයි.
             මතු සම්බන්ධයි…

1 thought on “දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස

Leave a Comment