දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (2) කොටස

මේ ලිපි මාලාවෙහි පළමු ලිපිය අවසන් කෙරුනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය ලෙස හඳුනාගත හැකි බටහිර දර්ශනයෙහි මූලික ධාරා දෙක පිළිබඳ පැහැදිලි කිරීමකිනි.
මෙහි දී එමානුවෙල් කාන්ට් පිළිබඳ ව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහු ඉහත සම්ප්‍රදායන් දෙක එකතු කළ පුද්ගලයා ලෙස සැලකෙන නිසා ය (එසේ වුවත් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඔහු වඩාත් නැඹුරුතාවක් දැක්වුයේ බුද්ධිවාදය වෙතට වන බව ය). මෙහි දී කාන්ට්ගේ අභිප්‍රාය වන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම සහතික කිරීම ය.
ඔහු ප්‍රධාන වශයෙන්ම තර්ක කොට සිටියේ මිනිස් සංජානන ස්වභාවික නීතීවලින් ව්‍යුහගත වී ඇති බවත් සදාචාරයේ හේතුව එය බවත් ය. ඔහුගේ චින්තනය සමකාලීන ලිබරල් සහ මාක්ස්වාදී යයි කියන චින්තකයින් වෙත ද බරපතල ලෙස බලපෑම් සහගත වන්නේ මේ හේතුවෙනි. විශේෂයන් ම විඥානවාදය, ඥානවිභාගය, දේශපාලන දර්ශනය, සහ සෞන්දර්යවේදය කෙරෙහි ඔහුගේ අදහස් ප්‍රබල ලෙස බලපා තිබේ. කාන්ට් ඔහුගේ ඥානවිභාගාත්මක ක්‍ෂෙත්‍රය හැඳින්වුයේ අනුභූති-උත්තර විඥානවාදය (Transcendental Idealism) ලෙසිනි. කාන්ට්ගේ විශ්ලේෂක දර්ශනය සඳහා ප්‍රධාන වශයෙන් ම බලපෑම් සහගත වන්නේ ඔහු ජීවත් වූ රටෙහි සංස්කෘතිය, ආචාරධර්ම සහ සදාචාරය බව පැහැදිලි ව දැකිය හැකි ය. ඔහු ජීවත් වූ ප්‍රශියාව යනු “හික්මීම” සහ “යුතුකම” යන වැදගත් කොට සැලකූ රාජ්‍යයකි. කාන්ටියානු සදාචාරමය දර්ශනයෙහි ද මේ අංග පැහැදිලි ව දැකගත හැකි ය. නීතිය, නීතිගත සමාජ සංස්ථා, නීතියට අවනත වීම යන කරුණු පිළිබඳ ව ප්‍රශියානු රාජ්‍යයෙහි පිළිඹිඹු වූ ගෞරවය ඉතා ම පැහැදිලි ලෙස කාන්ට්ගේ සදාචාර දර්ශනයෙහි ද දැකිය හැකි ය. එසේ ම රූසෝ නමැති ලිබරල් චින්තකයාගේ අදහස් ද කාන්ට් වෙත බලපෑම් සගහත වී ඇත. මිනිසාගේ උදාරත්වය (dignity of man) පිළිබඳ අදහස කාන්ට් වෙත ලැබී ඇත්තේ රූසෝගේ දර්ශනයෙන් බව පෙනී යයි. කාන්ට්ගේ සදාචාර දර්ශනය සාමාන්‍ය නියමයන්ට අවනත වීම (conformity to law in general) නමැති මූලධර්මය මත රඳා පවතී. මේ මූලධර්මය රූසෝගේ “සාමාන්‍ය අභිමතය” (the notion of the general will) නමැති සංකල්පය පදනම් කොටගෙන බිහිකරන ලද්දකි. සදාචාර නියමයක ඇති සාමාන්‍යතාවය (the generality of a law) යන කාරණය ඔහුගේ “සමාජ සම්මුතිය” නමැති කෘතියෙහි දක්නට ලැබේ.
එසේම කාන්ට් වෙත ප්‍රබල ව බලපෑ ඇති තවත් දාර්ශනිකෙයෙකු වන්නේ ඩේවිඩ් හියුම් ය. ඔහු අනුභූතිවාදියෙකි. කාන්ට් ම සඳහන් කොට ඇති පරිදි ඔහුගේ අධානග්‍රාහී නින්ද්‍රාව පලවා හරින ලදදේ ඩේවිඩ් හියුම් විසිනි. හියුම්ගේ හේතු ඵල විශ්ලේෂණය කාන්ට් වෙත තදින්ම බලපා ඇත. හේතු ඵල සංකල්පය ඔහු වෙතින් ඉතා සියුම් විශ්ලේෂණයකට පාත්‍ර වී ඇත්තේ ඒ නිසා ය. “සංවේදන ආකෘති ” දෙකක් සහ “අවබෝධ පදාර්ථ දොළහක්” ඔස්සේ අපට දැනීම ඇතිවන බව කාන්ටියානු දර්ශනය පවසයි. එසේම ආත්මය, දෙවියන් වැනි කාරනා තර්කයෙන් ඔප්පු කළ නො හැකි බව කාන්ටියානු දර්ශනය පවසයි. මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙය වන්නේ කාන්ට්ගේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබුනේ කුමක්ද යන්න යි . එම ප්‍රශ්නය නම් “මට දැනගත හැක්කේ කුමක්ද ?” යන් නයි. ඔහු විසින් සිදු කරන ලද්දේ එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ය.
අප මෙහිදී කාන්ට් පිලිබඳ සැකවින් විස්තර කොට දැක්වුයේ සමකාලීන මාක්ස්වාදී දේශපාලනය කාන්ටියානු ලිබරල්වාදය විසින් ගිලගෙන ඇති අකාරය මේ ලිපි පෙළෙහි ඉදිරි ලිපිවල දී සාකච්ඡාවට ලක් කෙරෙන බැවිනි. කාන්ට්ට පසුව සිටි මාක්ස් වෙත අතිශය බලපෑම් සහගත වූ දාර්ශනිකයින් දෙදෙනා වූ හේගල් සහ ෆොයාබාක් පිළිබඳ ව මෙහිදී විස්තරාත්මකව සඳහන් නො කරන්නේ සෘජු ව ම මෙම සටහනෙහි අරමුණ වෙත පිවිසීම සඳහා ය. නමුත් මෙහිදී නැවතත් මතක් කළ යුත්තේ කාන්ට් යනු බටහිර දර්ශනයේ ප්‍රධානතම සන්ධිස්ථානයක් බව ය. හෙගලියානු දර්ශනය ද ඇතුළු කාන්ට්ගෙන් පසු බටහිර දර්ශනය පශ්චාත් කාන්ටියානු දර්ශනය ලෙස නම් කෙරී ඇත්තේ එබැවිනි.
තරුණ කාල් මාක්ස් තම අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කරනුයේ ඉහත මුලින් සඳහන් කරන ලද ලිබරල් චින්තනය (වර්තමානයෙහි පවතින වැනිම තත්වයක්) පැවති යුගයක ය. හේගල්ගේ දර්ශනය කොතරම් බලවත් වුව ද සමාජ වෙනසක් සඳහා අවශ්‍ය කරුණු එය වෙතින් සම්පූර්ණ කෙරී නො තිබිණි.
එම නිසා මාක්ස් දර්ශනය යනු චින්තනයට ගෙන ආ චින්තනය මගින් වර්ධනය කළ ආගමට වඩා වැඩි දෙයක් නො වේ යයි පවසමින් දර්ශනයේ ඇති ගර්හිත බව පිළිබඳ ව කියා සිටින්නේ දර්ශනයත් මිනිසාගේ “ස්වභාවයෙන්” පරාරෝපණය කෙරුණු “පැවැත්මේ” ප්‍රකාරයක් ලෙස ගර්හිත බව පෙන්වා දෙමිනි.
ඉහත මුලින් සඳහන් කළ බට්‍රම් රසල් සහ ෆ්‍රැන්සිස් ෆුකුයාම වැනි ලිබරල් දාර්ශනිකයින්ගේ ප්‍රධානතම පූර්වජයා ලෙස සැලකිය හැකි, ස්වභාව විද්‍යාව පිළිබඳ ව දැඩි උනන්දුවක් දැක්වූ එමානුවෙල් කාන්ට් නිව්ටෝනියානු භෞතික විද්‍යාව දෙසට දැඩි නැඹුරුතාවයක් දැක්වූවෙකි. ප්‍රැන්සිස් ෆුකුයාමා මෙකල ප්‍රකාශ කලාක් මෙන්ම කාන්ට් ද එකල ප්‍රකාශ කොට සිටියේ “බුද්ධිප්‍රබෝදය” ( Enlightenment ) යනු මිනිස් වර්ගයා හට අත් කොට ගත හැකි ඉහළ ම සහ අවසන් අදියර ලෙසය. එනම් මුග්ධත්වයේ නොමේරු ස්වභාවයක් වෙතින් මිනිස් සවිඥානකත්වයේ විමුක්තිය ලෙසය (අද දවසේ ද බොහෝ මාක්ස්වාදීන් සිතා සිටි නුයේ ද “සවිඥානක විමුක්තියක්” පිළීබඳ ව ය. ඔවුන් හට “හැදෑරීම” එතරම් ම වැදගත් වී ඇත්තේ එබැවිනි ).
තරුණ කාල් මාක්ස්ගේ විවේචක අක්ෂය යොමු වුයේ මානවවාදයට එරෙහි ව ය. එම මානවවාදී ලිබරල් චින්තනයෙහි මූලික ම පදනම වන්නේ කාන්ටියානු දර්ශනයයි.
මානවවාදයේ කේන්ද්‍රය වන්නේ “මිනිස් ස්වභාවය” යනුවෙන් සාරයක් මත පදනම්වීම වන අතර එය “මනුෂ්‍යත්වය”සහ “මනුෂ්‍ය වර්ගයා” පිළිබඳ වියුක්තනයකි. මෙනයින් මානවවාදය යනු ද දේවවාදයේ ම තවත් ස්වරුපයක් ලෙස සැලකිය හැකි ය. එනම් දෙවියන් වෙනුවට එවැනි ම තවත් ආකෘතියක් තෝරා ගැනීමකි. නීට්ස්ශේ ප්‍රකාශ කළ පරිදි 19 වන සියවසේ දී දෙවියන්ගේ මරණය ප්‍රකාශයට පත් වූ අතර 20 වන සියවසේ දී ප්‍රති-මානවවාදය විසින් “මිනිසාගේ” මරණය ප්‍රකාශයට පත් කරන ලදී. නිට්ශ්ශේට අනුව මානවවාදය යනු දෙවවාදයේ ම ලෞකික ස්වරූපය වේ. ඒ අනුව 18වන සියවසෙහි අග භාගෙහි සහ 19 වන සියවසෙහි මුල් භාගයෙහි මානවවාදය පිළිබඳ දර්ශනය බුද්ධිප්‍රබෝධී යුගයේ මුල් ගලක් විය. එසේ වුවත් මේ සඳහා පදනම සකස් වනුයේ පුනුරුදයෙනි. මානවවාදයෙහි විශ්වාසය වුයේ මනුෂ්‍යත්වය යනුවෙන් සර්වව්‍යාපී සදාචාර මධ්‍යක් ඇති ඇති බව සහ එනයින් සියලු ම මිනිසුන් නිසර්ගයෙන් ම නිදහස් සහ සමාන වේ යන්නයි. ලිබරල් මානවවාදීන්ගේ පදනම වූයේ එයයි. රූසෝ සහ කාන්ට් යන ලිබරල් මානවවාදීන්ට අනුව “තර්ක බුද්ධියේ” ( reason ) විශ්වීය නීතිය ඕනෑම ආකාරයක ප්‍රජා පීඩනයන් වෙතින් සම්පූර්ණ විමුක්තිය කරා මග පෙන්වනු ඇත (කෙසේ නමුත් කාන්ට් දෙවියන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නො කළේ ය).
මෙම ලිබරල්-මානවවාදී අදහස් අභියෝගයට ලක්වන්නේ තරුණ කාල් මාක්ස් වෙතින් ය. විමුක්තිය පිළිබඳ “මානව අයිතීන්” මූර්තිමත් වන මෙම දේශපාලන ව්‍යාපෘතිය ඔහු විසින් අභියෝගයට ලක් කරන ලදී (මාක්ස්ගේ ආරම්භය ම අයිතීන්ට එරෙහි වීම වුවද අද දවසේ “මාක්ස්වාදීන්ගේ” ප්‍රධානතම කාර්ය වී ඇත්තේ මානව අයිතවාසිකම් වෙනුවෙන් “පෙනී සිටීමය”). ලිබරල් මානවවාදය මගින් මූර්තිමත් වන්නේ පුද්ගලභාවය අහෝසිවීමට එරෙහිවීමක් බව මාක්ස් සිතයි. මාක්ස් මේ පිළිබඳ ව සඳහන් කළ ආකාරයට, ධනවාදය යටතේ ආත්මාර්ථකාමී තනි පුද්ගලයෝ නිරන්තරයෙන් එකිනෙකා සමග ගැටුමක වෙති. එම නිසා අයිතීන් හෝ නීතීන් අවශ්‍යය වන්නේ මොවුන් එකිනෙකාගෙන් ආරක්ෂා කිරීම සඳහා ය. එම නිසා මාක්ස්ට අනුව නියම මානව විමුක්තිය ලඟා කරගත හැකි වන්නේ කොම්යුනිස්ට් සමාජයක් කරා ගමන් කිරීමෙනි. එනම් පුද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමෙනි. මාක්ස්ට අනුව මනුෂ්‍යත්වය යනු යථාමය නොවන (සැබවින් නො පවතින) වියුක්තනයකි (දෙවියන් මෙන්). ගැඹුරින් සලකා බැලුවහොත් හේගල්ද යම් ආකාරයක මානවවාදියෙකි. මාක්ස් පවසන පරිදි තරුණ හේගල්වාදීන් විසින් සිදු කරනු ලැබුයේ දේව කේන්ද්‍රීය විඥානය වෙනුවට මිනිස් කේන්ද්‍රීය විඥානය නිර්දේශ කිරීම ය. මාක්ස් තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ, සවිඥානකත්වය විසින් ජීවිතය නීර්ණය නොකරන මුත්, වඩා වැඩියෙන් ජීවිතය විසින් සවිඥානකත්වය නීර්ණය කරන බව ය. එනම් යතාර්ථය නිර්මාණය වනුයේ ව්‍යවහාරය තුළ ය යන්න යි.
මාක්ස් විසින් යෝජනා කර සිටින්නේ කුමක්ද යන්න සහ මාක්ස්ගේ ස්‌ථාවරය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා, මාක්ස්ගේ දර්ශනයේ සාරය වන ෆොයාබාක් තිසීස කියවීම ඉතා වැදගත් වේ.
මතු සම්බන්ධ යි………..

Leave a Comment