වම, දකුණ, වම…. (2) කොටස)

මේ ලිපියේ පළමු කොටසින් අප පෙන්වා දුන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන ද්වි-පක්ෂ ක්‍රමය අවසන් වශයෙන් ගත් විට එක් පක්ෂයක, සහ ඉනුත් එහාට ගිය විට ජේ. ආර්. ජයවර්ධන නම් තනි මිනිසාගේ දේශපාලන-ආර්ථික වැඩ පිළිවෙළ ම දෙයාකාරයට ක්‍රියාත්මක වීම බව ය. එසේ ම අප එහි දී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ ලංකාවේ වාමාංශික සහ සුලු ජන පක්ෂ යනු මේ ඊනියා ද්වි-පක්ෂ ක්‍රමයේ දැති රෝදවලට වැඩි යමක් නො වන බව යි. අප එසේ සඳහන් කළේ මැතිවරණ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙනි. එහෙත් ඊට එපිටින් න්‍යායික තලයේ දී පවා වම ඊනියා සමාජ ප්‍රගමනය සහ දියුණුව පිළිබඳ තලයේ දී ජේ.ආර්.ගේ දැක්මට එතරම් වෙනස් දැක්මක නො සිටින බව ඉතා පැහැදිලි ය. දැන් රනිල් වික්‍රමසිංහ මෙන් ම ජ.වි.පෙ ද “නිෂ්පාදන ආර්ථිකයක්” ගොඩනැගීම පිළිබඳ කතා කරන්නේ එබැවිනි.
නිෂ්පාදන ආර්ථිකයක් වෙත රට ගෙන යා යුතු ය යන්න “මාක්ස්ගේ ආර්ථිකවිද්‍යා” (අපට අනුව මාක්ස්ගේ ආර්ථික විද්‍යාවක් නොමැත. පසුගිය දිනක සුමනසිරි ලියනගේ විසින් දැන්වීමක් දමා “මාක්ස්ගේ දේශපාලන ආර්ථිකවිද්‍යාව ඉගෙන ගැනීමට කැමති ද?” යනුවෙන් අසා තිබූ අතර මාක්ස් ආර්ථිකවිද්‍යාවක් ගැන කියා ඇත්තේ කොතන දැයි අප අසු ප්‍රශ්නයට ඔහු තවමත් ප්‍රමාණවත් පිළිතුරක් ලබා දී නොමැත.) න්‍යායට අනුව ප්‍රකාශ කළ ප්‍රබලතම ප්‍රකාශකයා එස්. බී. ඩී. ද සිල්වා වන අතර ලංකාවේ වාමාංශිකයන්ගේ පරමාදර්ශි මාක්ස්වාදී ආර්ථික න්‍යායධරයා වන්නේ ද ඔහු ය. එස් බී ඩි ද සිල්වාගේ මූලික ස්ථාවර මෙසේ සාරාංශගත කළ හැකි ය:
* ලංකාවේ පවතින්නේ මූලික වශයෙන් වෙළඳ සහ මුල්‍ය ප්‍රාග්ධනයක් පමණ ය. නිෂ්පාදන ප්‍රාග්ධනයක් නොමැත.
* “සංවර්ධනය” යන්න මනිනු ලබන්නේ භාවිත වන ඉන්ධන සහ වාහන ප්‍රමාණය, මාර්ග පද්ධතිය සහ අධිවේගී මාර්ග ප්‍රරමාණය ඇතුළු අනෙකුත් එවැනි සාධක සහ ප්‍රධාන වශයෙන් ම පාරිභෝජනය යන්න මත ය (ඒ අනුව එස්. බී. ඩී. ද සිල්වා යනු “සංවර්ධනය” යන්න එලෙසින්ම පිළිගන්නා අයෙකි). ඒ අනුව ලංකාව යනු “ඌන සංවර්ධිත” රටකී. එම තත්වය ජය ගැනීම සඳහා සමාජ-ආර්ථික ක්‍රමවේදයන් ගොඩ නැගීම සදහා වන න්‍යායික වැඩ පිළිවෙලක් අවශ්‍ය ය.
* මුළු ලංකාව ම ගොවිබිමක් බවට පත් වූවද ඉන් සංවර්ධන ඉලක්ක ජයගත නො හැකි ය. සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා කෘෂි කර්මාන්තය අතහැර කාර්මික භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයක් වෙත රට ගෙන යා යුතුය.
* පරිසරය යනු ප්‍රධාන වශයෙන් ම අලංකාරයට අදාළ දෙයක් පමණි.
* කර්මාන්තයක් ලෙස පවතින තේ වගාව පවා පවතින්නේ සාම්ප්‍රදායික තත්වයක බැවින් එවැනි කර්මාන්ත නවීන තාක්‍ෂණය යොදා දියුණු කළ යුතු ය.
* යැපුම් කෘෂිකර්මය වෙනුවට ප්‍රධාන ව්‍යාපාරිකයින් විසින් මෙහෙයවන නවීන තාක්‍ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘෂිකර්මාන්තයක් පවත්වා ගැනීම මගින් පූර්ණ කාලීන සේවා නියුක්තියක් පවත්වා ගැනීම. කෘෂි කර්මාන්තයේ අතිරික්ත ශ්‍රමය කාර්මික භාණ්ඩ ක්ෂේත්‍රයට විතැන් කිරීම.
* කෘෂිකර්මාන්තය වෙත ආධාර උපකාර නො කොට ගොවියා හැකි තාක් පීඩනයට පත් කොට ඔහු නාගරික කාර්මික භාණ්ඩ නිෂ්පාදන ක්‍ෂේත්‍රයට යොමු කරවීම.
* දිළිඳුද නැද්ද යන්න තීරණය වන්නේ ධනවාදය විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තිබේද නැද්ද යන සාධයක මත ය. එනම් යැපුම් ආර්ථිකයකින් රටේ ආර්ථික දියුණුවට පලක් නොමැත යන්න.
* ශ්‍රමයේ මිල ඉහළ යාම වළක්වාලිය යුතු ය. නමුත් ශ්‍රම කාලය වැඩි කිරීම මගින් උපයා ගැනීම ශ්‍රම කාලය මත තීන්දු වීමට ඉඩ හැරීම. එනම් වැඩ කරන පැය ගණන වැඩි වීමට ඉඩහැරීම.
* කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සොබාදහමෙන් සාපේක්ෂ වශයෙන් ස්වායත්ත වන බැවින් සොබාදහමේ සිදු වන වෙනස් කම් නිසා කෘෂිකර්මයට සිදුවන බලපෑම මෙන් බලපෑම් කාර්මික නිෂ්පාදන සඳහා නොමැත.
* ආර්ථිකය ගොඩනැගීමට නම් දැඩි අධිකාරීත්වයකින් සහ මර්දනයකින් යුතු ආණ්ඩුකරණයක් අවශ්‍ය බව අවධාරණය කිරීම.
* ගම සහ ග්‍රාමීය යැපුම් ආර්ථිකය සහ යාන්ත්‍රණ විනාශ කොට දමා නගර දියුණු කොට කාර්මික නගර ගොඩනැගිය යුතු ය. එම නගර කර්කශ වූවාට කමක් නැත.
එස්. බී. ඩී. ද සිල්වාගේ ප්‍රධානතම අරමුණ වර්ෂය පුරා වැඩ කරන ශ්‍රමිකයින් බිහි කිරීම ය. ඔහු විසින් ඇඟලුම් කර්මාන්තය විවේචනය කරනුයේ එය සියලු අමුද්‍රව්‍ය පිර රටින් ගෙන්වා ඇඳුම් මැසීම පමණක් ම කරන බැවින් ඊට අදාළ ව පොකුරු නුෂ්පාදන බිහි නො වන නිසා ය. තේ වතුවල වැඩ කරන කම්කරුවන්ට මුලු වර්ෂයේ දී ම වැඩ ලැබෙන්නේ නැත. නමුත් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගත්තොත් වර්ෂය පුරා ශ්‍රමිකයන්ට වැඩ කිරීමට සිදුවේ. ඒ අනුව එස්. බී. ඩී. ද සිල්වා විසින් කියා සිටින්නේ ගම විනාශ කොට දමා කාර්මික නිෂ්පාදන නගර බිහි කළ යුතු ය යන්න යි.
අවසන් වශයෙන් ගත් විට එස්. බී . ඩී ද සිල්වාගේ අදහස වන්නේ සමාජ විමුක්තිය කරා වන මාවත ආර්ථික සංවර්ධනය හරහා වැටී ඇති බව ය. වෙනත් ලෙසකින් කිවහොත් එස්. බී . ඩී ගේ ඊනියා “මාක්ස්වාදී ආර්ථික විද්‍යාව” මගින් අනු දත් විමුක්ති දේශපාලනය ආර්ථිකය මත පරායත්ත වූ විමුක්ති දේශපාලනයකි. පසු කළ යුතු නියත ආර්ථික සංවර්ධන අවධි පසු නො කර සමාජ විමුක්තිය අත්පත් කරගත නො හැකි ය යන්න එහි පදනම් අදහස යි.
දැන් ප්‍රශ්නය වන්නේ ජේ. ආර්. ජයවර්ධන සැලසුම් කොට ක්‍රියාත්මක කළේත්, ඔහුගෙන් පසු එ . ජා. ප. සහ ශ්‍රී. ල. නි. ප. රජයවල් විසින් වෙනස් වෙනස් ආකාරවලින් ක්‍රියාත්මක කළේත්, රනිල් වික්‍රමසිංහ ඇතුළු UNPය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ ත් එස්. බී. ඩී. ද සිල්වා විසින් යෝජනා කරන මේ වැඩපිළිවෙළ ම නොවේ ද? යන්නයි. යමෙකුට මෙහි දී එස්. බී. ඩී. ඉදිරිපත් කළේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳ අදහස බවත්, එනමුත් පැවති රජයවල් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමට කටයුතු නො කළ බවත් අපගේ අදහසට ප්‍රතිවිරුද්ධ ව ප්‍රකාශ කළ හැකි ය. එහෙත් මැද පෙරදිග රැකියා, විදේශිකයන්ට ඉඩම් විකිණීම, සහ වෙනත් එවැනි දේ අප විසින් වටහා ගත යුත්තේ න්‍යාය සහ ප්‍රායෝගිකත්වය අතර හිඩැසෙහි ප්‍රතිඵල ලෙස විනා නිෂ්පාදන ආර්ථිකයෙහි ප්‍රතිපක්ෂය ලෙස නො වේ. න්‍යායික ව ගත් කල එස්. බී. ඩී. පූර්ණ ධනේෂ්වර සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටි බව ඉතා පැහැදිලි ය.
ලංකාවේ එකී, මෙ කී, නො කී, පැරණි, නව, “අලුත් දැනුම” නැති, “අලුත් දැනුම” ඇති, සකල සියලු වාමාංශිකයන්ගේ පරමාදර්ශී අර්ථ ශාස්ත්‍රඥයා මේ එස්. බී. ඩී. ද සිල්වා නො වන්නේ ද? ඒ අනුව වාමාංශිකයින් සහ දක්ෂිණාංශිකයන් අතර වෙනස අප සලකුණු කළ යුත්තේ කොතැන ද?
එස්. බී. ඩී. ද සිල්වා වඩාත් ම උත්කර්ෂයට නංවනු ලැබූයේ 90 දශකයෙන් පසු ව බිහි වූ පැරණි වමෙන් වෙනස් වූ “දියුණු දැනුමක්” ඉදිරපත් කරානවා යැයි පාරම්බානා දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයින් ය. එම පුද්ගලයින් සහ කණ්ඩායම් වල සුවිශේෂතාවය නම් ඔවුන් බොහෝ දුරට සංස්කෘතික දේශපාලනය තුළ නියැලෙන්නන් වීම ය (එම කණ්ඩායම් තුළ කටයුතු කරන්නන් පැරණි වමෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණයක් නම් පැරණි වමේ තිබූ සාමූහික දේශපාලන ක්‍රියාකාරීත්වය වෙනුවට ඒවායේ කටයුතු කරන අය එකිනෙකා පරයා පුද්ගල චරිත ලෙස ඉස්මතු වීම සඳහා ද අරගලයක නිරත වී සිටීම ය). ඒ අනුව බලන කල පැරණි වමට ද වඩා විමුක්ති දේශපාලනය ආර්ථිකය මත පරායත්ත බව ප්‍රකාශ කරන දේශපාලන ධාර වන්නේ මේ නව වාම-සංස්කෘතික කණ්ඩායම් ය.

1 thought on “වම, දකුණ, වම…. (2) කොටස)

Leave a Comment

%d bloggers like this: