තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

ලතින් ඇමරිකාව තුල 90 දශකයේ මතු වූ විකල්ප වාම රැල්ල හා සලකා බැලීමේදී සැපටිස්ටා ව්‍යාපාරය ඒවායින් වෙනස් වන මූලික ස්ථානයක් වන්නේ ඔවුන් බලය ලබාගැනීමේ අරමුණක නොවන බව මුල සිටම පැවසීමයි (නමුත් පසුව එය වෙනස් වේ). සැපටිස්ටාහි ඒ ගුණයට වෙනස්ව රාජ්‍ය බලය කේන්ද්‍ර කර ගත් හියුගෝ චාවේස්, එවෝ මොරාලෙස්, ලූලා ද සිල්වා වැනි වාමාංශික විකල්පයන් විසින් නියෝජනය කරන ලද්දේ ධනවාදය විසින් ගොඩනගන ලද ජන-සමූහයන්ගේ( multitude ) අයිතිවාසිකම්, රුචිකත්වයන්, සහ ඔනෑ එපාකම්ය. එවිට එම විකල්ප රැගෙන එන නායකයා අසම සම නායකයෙකි. ඒ අනුව එවැනි නායකයෙකු ක්‍රියාත්මක වන්නේ ඔහු නියෝජනය කරනා සමූහයන්ගේ එකිනෙකට ගැටුම්කාරී රුචිකත්වයන් ඉන්ද්‍රජාලික ලෙස විසඳන්නෙකු ලෙසිනි. ඒ අනුව එම රාජ්‍ය බලය තුල සිටිනා සමූහයන් විසින් ඒවාම අනීවාර්ය ලෙසම පුබුදුවන්නේ අධිකාරික නායකයෙකුගේ වේශය තුලය. එම නායකයාගේ කැරිස්මාව සේවය කරනුයේ “හිස් හැඟවුම්කාරකයක්” ( empty signifier”) ලෙස සමූහයන්ගේ රුචිකත්වයන් අඩන්ගුකොට ගත හැකි පරිදිය. මෙවැනි අය වාමාංශික නායකයින්ම විය යුතුම නැත. මේ වන විට ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේද මෙවැනි අයයි. එනම් මිල්ටරික දේශප්‍රේමී ගොඨාභය, අවංක බෞද්ධ සහ දුප්පතාගේ හිතවතා සජිත් වැඩකරන සහ දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනා අනුර කුමාර යන්නන්ද එසේමය.

සැපාටිස්ටා ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය වන නියෝසැපටිස්මෝ(නව සපැටිස්ටාවාදය ) මායා සම්ප්‍රදාය තුලින් පැමිනෙන්නක් බව ඔවුන් පවසයි. නමුත් එය නැවතත් ඔවුන්ගේ පූර්වකල්පනයකි. ඒ කෙසේ වෙතත් එය හා බැඳී ඇත්තේ ලිබරල් සමාජවාදය, අරාජිකවාදය, සහ මාක්ස්වාදයේ ඇතැම් අංග සමඟ සන්ස්ලෙෂණයකි. මෙක්සිකානු අරාජිකවාදීන්ගේ සහ විවිධ ලතින් ඇමරිකානු සමාජවාදීන්ගේ ගැටුම්කාරී ඓතිහාසික බලපෑම නියෝසැපතිස්මෝහි දක්නට ලැබේ. උප කොමාන්ඩන්ට් මාකෝස්ගේ ස්ථානය විසින් ව්‍යාපාරයට මාක්ස්වාදී අංගයක් එක් කරයි. සැපාටිස්ටා සටන් පාඨයක් වන්නේ “අන්‍යෝන්‍ය ආධාර සංකල්පයට අනුකූල වූ සුසන්වාදයයි “සියල්ලන් සඳහාසෑම දෙයම, අපට කිසිවක් නැත” යන්නයි. EZLN (Zapatista Army of National Liberation ) ආර්ථික ගෝලීයකරණයට විරුද්ධ වන අතර, එය ස්වදේශික ආධාරක කඳවුරේ ගොවි ජීවිතයට දැඩි ලෙස සෘණාත්මක ලෙස බලපාන බවත්, ලොව පුරා ජනතාව පීඩාවට පත් කරන බවත් තර්ක කරයි. ඒ අනුව NAFTA ගිවිසුමට ඔවුන් එරෙහි වන්නේ මෙක්සිකෝව පුරා ආදිවාසී කණ්ඩායම් වලට ඉඩම් වන්දි ගෙවීම සහතික කළ මෙක්සිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 27 වන වගන්තිය ඉවත් කිරීමට ද නැෆ්ටා අත්සන් කිරීම හේතු විය යන්න පාදක කොට ගනිමිනි. සැපාටිස්ටා ව්‍යාපාරයේ දෘෂ්ටිවාදයේ තවත් ප්‍රධාන අංගයක් වන්නේ “ඉහළ සිට පහළට” වෙනුවට “පහළ සිට”ඉහළ දක්වා නව, සහභාගීත්ව ආකාරයකින් දේශපාලනය කිරීමට ඔවුන්ගේ අභිලාෂයයි( මෙය ඇත්තටම පවතින දෘෂ්ටිවාදයේ “ඉල්ලීම්” ස්වරූපය තහවරු කරන්නකි ). මෙක්සිකෝවේ සමකාලීන දේශපාලන ක්‍රමය සහජයෙන්ම දෝෂ සහිත බව සැපාටිස්ටා ව්‍යාපාරය සලකන්නේ එහි තනිකරම නියෝජිත ස්වභාවය සහ ජනතාවගෙන් විසන්ධි වීම සහ ඔවුන්ගේ අවශ්‍යතා නිසා ය. ඊට හාත්පසින්ම වෙනස්ව, EZLN අරමුණු කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ කාල සීමාවන් සති දෙකකට පමණක් සීමා කිරීම, දෘශ්‍යමාන සංවිධාන නායකයින් භාවිතා නොකිරීම සහ ප්‍රධාන තීරණ, උපායමාර්ග සහ සංකල්පීය කරුණු සඳහා ඔවුන් පාලනය කරන ජනතාව වෙත නිරන්තරයෙන් යොමු කිරීම මගින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය හෝ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ශක්තිමත් කිරීමයි. මාකෝස් විසින් පුනුරුච්ඡාරණය කරනුයේ “මගේ සැබෑ අණ දෙන නිලධාරියා ජනතාවයි” බවය. මෙම මූලධර්මයට අනුකූලව, සැපාටිස්ටා දේශපාලන පක්ෂයක් නොවේ. එනම් ඔවුන් පාලන ප්‍රදේශය පුරා බලතල සොයන්නේ නැත, මන්ද යත්, එය දේශපාලන තන්ත්‍රය තුළ, තම බලය තුළ බලය රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් එය සදාකාලික වනු ඇත යන ස්ථාවරයේ සිටය. ඒ වෙනුවට, ඔවුන් අපේක්ෂා කරන්නේ සමස්ත පද්ධතියම ප්‍රතිවිකල්පල්පකරණය කිරීමට ය. වසර 10 ක සපාටිස්ටා ස්වයං පාලනයක් 2013 අගෝස්තු මාසයේදී චියාපාස්හි කැරකල් තුළ සැමරීම සඳහා සපාටිස්ටාස් දින තුනක උත්සවයකට ලොවට ආරාධනා කළේය. එය ලිට්ල් ස්කූල් ඔෆ් ලිබර්ටි නම් විය.

ඒ අනුව බලන කල සැපටිස්ටා ව්‍යාපාරය යනු වාමාංශික විකල්පයන්ගේ නවතම ස්වරූපයේ අත්හදා බැලීමකි. ඒ තුල අන්තර්ගත සටන් පාඨ වූයේ, යුක්තිය, සාධාරණත්වය, අධ්‍යාපනය, තාක්ෂනය, ප්‍රවාහනය, කෘෂිකර්මය වැනි දෑ මෙන්ම මානව අයිතිවාසිකම්, විරුද්ධ ක්ෂේත්‍රයන් තුළ ප්‍රතිවිරෝධී නොවන සහජීවනය, දෘෂ්ටිවාදාත්මක-දේශපාලන ප්‍රවනතාවන් රාශියක්, ලිබරල් මානව හිමිකම් කණ්ඩායම්වල සිට “ලිබරල්” ව්‍යාපාරික අරමුණු සහිත කණ්ඩායම්, ගතානුගතික ආගමික කණ්ඩායම් සහ වාමාංශික කම්කරුවන්ගේ ඉල්ලීම් යනාදියයි. එවැනි විසිරුන ජන-සමූහයන්ගේ පවතින ආණ්ඩුවට එරෙහි ප්‍රතිවිරුද්ධ- බලයක් පවත්වාගැනීමේ අලුත් සහ ජනප්‍රිය උදාහරණය එයෙයි. ගෝලීය ධනවාදී ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම වෙන් නොවී දේශීය ස්වයං කළමනාකරණයට හා ප්‍රජා පාලනයට ඉඩක් ලබා දී ඇති, විශාල වශයෙන් ස්වයං විශ්වාසී ආර්ථිකයක් සැපටිස්ටා විසින් ගොඩනගා ඇත.

ඔවුන්ගේ ආර්ථිකයේ අපේක්ෂාවන් අන්‍යෝන්‍යවාදය සහ සාමූහිකත්වය අතර කොතැනක හෝ විස්තර කළ හැකිය, සහභාගීත්ව ප්‍රජාවන්, වාර්ගික වෙළඳසැල්, සේවක සාමූහික සහ පවුල් ගොවීන්ගේ සම්බන්ධීකරණ ජාලයක් ඇත. ඔවුන්ගේ ස්වායත්ත රජය අඩු පොලී ණය, නොමිලේ අධ්‍යාපනය සහ අඩු වියදම් සෞඛ්‍ය සේවා සපයයි. මෙක්සිකානු රජයේ කිසිදු ආධාරයක් නොමැතිව, සැපටිස්ටා 1994 සිට 2000 දක්වා කාලය තුල රෝහල් දෙකක්, සෞඛ්‍ය සායන 18 ක් සහ ප්‍රජා සෞඛ්‍ය නිවාස 800 ක් ඉදිකර ඇත. ඔවුන් පාසල් 300 ක් පවත්වාගෙන යනු ලබන අතර ගුරුවරුන් 1,000 ක් සහ ද්විතීයික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ද ඇත (මේ වන විට ඒ තත්වය වැඩි දියුණු කොට ඇත ).
සැපටිස්ටා පිලිබඳ ජනප්‍රියවාදයට අනුව එහි නායක මාකෝස් යනු අණදෙන්නා නොවේ. ඔහු ඔහුවම හඳුන්වාගන්නේ සහ සැපටිස්ටා ව්‍යාපාරය ඔහුව හඳුන්වන්නේ උප කොමාන්ඩන්ට් ලෙසය ( දෙවන අණදෙන නිලධාරීයා ) එනම් දෙවන අණදෙන නිලධාරියා යනු විධායක සභා වල අභිමතාර්ථය ප්‍රකාශ වන්නා වූ මාර්ගයයි. ඒ අනුව මාකෝස් තුලින් ප්‍රකාශ වන්නේ සමූහයන්ගේ අභිරුචීන්ය. ඔහු දෙවන අණදෙන නිලධාරීය වන්නේ එබැවිනි. එවිට පළමු අණ නිකුත්වන්නේ ජන-සමූහයන් ( ජනතාව ) වෙතිනි. එවිට ප්‍රශ්නය වන්න එම ජන-රාශීන් (Multitude) ගොඩනැගී ඇත්තේ කෙසේද යන්න සහ ඒවායේ අභිරුචීන් යනු මොනවාද යන්නයි. මාකොස්ගේ මෙම නව පෞරුෂය තුළ ප්‍රකාශ වන්නේ සැපටිස්ටා ජාතික හමුදාවේ “කැමැත්තයි” ( කැමැත්ත දේශපාලන අරමුණ වී ඇති ව්‍යාපාරයකි ). එනම් ඔහු තුලින් පිටවන වචන යනු සමූහයන්ගේ “කැමැත්තයි”. තමා විසින් තමාම තවදුරටත් යටපත්කර ගනිමින් ඔහුව අවශ්‍ය අයට මාකෝස් පවසන්නේ තමා නායකයෙකු නොවන බවය. නමුත් ඔහුගේ කළු වෙස් මුහුණ කැඩපතක් වන අතර එය ඔවුන්ගේ එක් එක් අරගලය(Multitude ) ඉන් පිළිබිඹු කරයි;  සැපටිස්ටා යනු අයුක්තියට එරෙහිව සටන් කරන ඕනෑම අයෙකු වන අතර, ඒ අර්ථයෙන් සියල්ලන් ඔවුන්ය. වඩාත් ප්‍රසිද්ධියේ ඔහු වරක් වාර්තාකරුවෙකුට පැවසුවේ ‘මාකෝස් සැන් ෆ්‍රැන්සිස්කෝ හි සමලිංගිකයෙක්, දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයෙක්, යුරෝපයේ ආසියානුවෙක්, සැන්-යසිඩ්‍රෝහි චිකානෝ කෙනෙක්, ස්පාඤ්ඤයේ අරාජිකවාදියෙක්, ඊශ්‍රායලයේ පලස්තීන ජාතිකයෙක්….රාත්‍රී 10 ට මෙට්‍රෝවේ හුදකලා කාන්තාවක්, ඉඩම් නොමැති ගොවියෙක්, මුඩුක්කු නිවාසවල කල්ලි සාමාජිකයෙක්….මේ අතර, මාකෝස් විසින්ම ස්වයං-නොවන යැයි කියනු ලබන, එම ප්‍රනාලිය, කැඩපත පෞද්ගලික හා කාව්‍යමය ස්වරයකින් ලියයි. ඒ නිසා ඒවා මුළුමනින්ම හා නිසැකවම ඔහුගේමය.
ඉහත විස්තර කිරීම තුල සැපටිස්ටා යනු එක්තරා පශ්චාත් මාක්ස්වාදී ව්‍යාපාරයකි. ඔවුන් පිළිගන්නේ බහුවිධ ප්‍රජාතාන්ත්‍රික අරගලයයි ( පශ්චාත් මාක්ස්වාදය පිළිබඳව මෙහි විස්තර විභාග දැක්වීමකට නොයයි ).

එවැනි ව්‍යුහයක් ක්‍රියාත්මක විය හැක්කේ පවත්නා ධනාත්මක රාජ්‍ය බල ව්‍යුහයේ ආචාර ධර්මීය-කාව්‍යමය සෙවනැලි ද්විත්වය ලෙස පමණක් බව පැහැදිලිය. එනම් පවතින රාජ්‍ය බල ව්‍යුහයම අනෙකා කොට ගත් පරිකල්පනීය විකල්පයකි. මාකෝස් කවියෙකු වන්නේ එබැවිනි. ඔහුගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම් තුල ඇත්තේ පවතින රාජ්‍ය ව්‍යුහය අනෙකා කොට ගත් සයිකෝසික රචනාවන්ය.

ස්ලවෝය් ෂිශැක් 2007 වර්ෂයේදී ඒ පිළිබඳව මෙසේ සටහන් කොට ඇත.

මාකෝස්ට තම මුහුණ පෙන්වීමට නොහැකි වීම පුදුමයක් නොවේ. ඔහුගේ අදහස වන්නේ ව්‍යාපාරය එහි අරමුණු කරා ළඟා වූ විට ඔහුගේ වෙස්මුහුණ විසි කර නැවත නිර්නාමිකභාවයට පත්වීමයි. සැපටිස්ටා ඵලදායී ලෙස බලය ලබා ගැනීමට වී තිබුණි නම්, “මා තුළින් සැපටිස්ටා ජාතික හමුදාවේ කැමැත්ත ප්‍රකාශ වේ…”වැනි ප්‍රකාශයන් වහාම වඩාත් අශුභ මානයක් අත්කර ගනු ඇත – ඔවුන්ගේ පෙනෙන නිහතමානිකමම අතිශයින්ම අහංකාරතත්වයක් ලෙස හෙළි වනු ඇත. එක්තරා සුවිශේෂ පුද්ගලයකුගේ පූර්වකල්පනය ලෙස එම ආත්මීයත්වය විශ්වීය කැමැත්ත සඳහා ඍජු ප්‍රකාශන මාධ්‍යයක් ලෙස සේවය කරයි. “මා තුල මම කිසිවක් නොවේ”, “මාගේ සමස්ත ශක්තිය ඔබය”, “මම හුදෙක් ඔබගේ කැමැත්තෙ ප්‍රකාශනය පමණි” වැනි ප්‍රකාශ ඔවුන්ගේ අඳුරු ගම්‍යමානය හැසිරවිය යුතු ආකාරය හොඳින් දැන සිටි ඒකාධිපතිවාදීන්ගේ සුලභ ප්‍රකාශන විය. “එසේ නම් කිසිවෙකුත් මා වෙත පහර දෙන්නේ නම් එය ඔබ සියල්ලන්ට එල්ල කරන ප්‍රහාරයකි”. එය සමස්ත ජනතාවටම සහ ඔවුන්ගේ නිදහසට හා යුක්තියට ඇති ආදරය සඳහා බලපෑම් සහගත ලෙස පහර දීමකි. ඒ අනුව අථත්‍ය විරෝධතාවයේ විවේචනාත්මක හඬක් ලෙස ප්‍රතිවිරුද්ධතත්වය තුල සිටින මාකෝස්ගේ කාව්‍යමය ශාක්‍යතාවය වැඩි වන තරමට, තත්‍ය නායකයෙකු ලෙස මාකෝස්ගේ භීෂණය වැඩි වනු ඇත.

කාව්‍යමයත්වය අවශ්‍ය වන්නේ යථ වෙතින් පැන යාමටය. ඒ අනුව සැපටිස්ටා දේශාපාලනය යනු යථ මගහරිමින් පරිකල්පනීය විකල්ප කරා යන දේශපාලනයකි. ධනවාදයට එරෙහිව රැගෙන ආ විශාලතම විකල්ප දෙකෙන් එකක් නියෝජනය කල හිට්ලර්ද කවියෙකි. පශ්චාත් යෝගොස්ලාවියානු තත්වය තුල ජාතිකානුරාගය වැඩවූයේ කවිය තුලිනි. සර්බියාව තුල ජනවාර්ගික පිරිසිදු කිරීම සකස් කළේ කවීන්ගේ භයානක සිහින විසිනි. ස්ලොබොඩන් මිලොසෙවික්( Slobodan Milošević) විසින් ජාතිකවාදී අභිලාෂයන් “හසුරුවනු” ලැබීය යන්න සත්‍ය වුවත් එම  හැසිරවීමට ඔහුට භාර දුන් දේවල් ඔහුට භාර දුන්නේ කවීන් විසින්ය. රඩෝවන් කරඩෙයික්(Radovan Karadžić) කුරිරු දේශපාලන හා හමුදා නායකයෙකු පමණක් නොව කවියෙකි. භාෂාවේ වධ-හිංසනයට පමුණුවන මූලිකම ආකෘතිය කවිය ලෙස නම් කල හැකිය.

ලංකාවේ පශ්චාත් මාක්ස්වාදී පොල්මක්කාරයින්ද කවීන්ය. එසේම ඔවුන් සකල කළා විචාරකයින්ය. ඇත්තටම සිදුව ඇත්තේ ඔවුන් පශ්චාත් මාක්ස්වාදය වැළඳ ගැනීම නොව ඔවුන්ගේ පැවැත්මට පශ්චාත් මාක්ස්වාදය කදිමට ගැලපී තිබීමය. එම සකල කළා වල්ලභ පශ්චාත් මාක්ස්වාදීන් කවුරු මොන විවේචනය ගෙන ආවද තම පොල්මක්කාරී උරුමය රැකගෙන ඉදිරියටද පවතිනු ඇත.

නමුත් අප හට කවීත්වය අවශ්‍ය නොවේ. අපට සැබෑ පීඩාව වසා අලන්කාවරවත් කොට නැවත එය විඳිමින් කල්ගත කිරීමට අවශ්‍ය නැත.

ස්ලවෝය් ෂිශැක් තර්ක කරන්නේ සමාජ ප්‍රතීඝතාවය බොහෝ විට අර්ථවත් වන්නේ එය ප්‍රතිවිරුද්ධ අනුපූරක යුගලයක් ලෙස අර්ථ නිරූපණය කිරීමෙනි යන්නයි. ඔහු විසින් වර්තමාන සූර්ය කේන්ද්‍රවාදය යනු දෘෂ්ටිවාදී මිත්යාකරණයකි යනුවෙන් පවසන්නේ එබැවිනි. නමුත් ෂිශැක් එසේ පවසන්නේ යථාර්ථයේ ස්ථානයක් තුල සිට නොවේ. යථාර්තය සංස්ථාපනය වී ඇත්තේ සංකේතනය මගින් සහ සංකේතනය යනු සත්‍යයේ වේශයෙන් ප්‍රභන්ධය භාරගන්නා ස්ථානයයි යන්න තුලය. ඇත්ත වශයෙන්ම දෘෂ්ටිවාදී නොවන ස්ථානය පවතින්නේ යථ තුල පමණි. එනම් ප්‍රතීඝතාවයහි යථය(the Real of the antagonism). නමුත් මෙය සැබවින්ම අපට නිමග්න වීමට හැකි ස්ථානයක් නොවේ. නමුත් එය අනෙක් අතට අපගේ අව්‍යවහිත(immediate ) අත්දැකීමේ අඩංගුව “දෘෂ්ටිවාදාත්මක” යයි ප්‍රතික්ෂේප කිරීමට අපට බලය පවරන අතිරේක-දෘෂ්ටිවාදාත්මක සමුද්දේශයේ ස්ථානයයි. වෙනත් වචන වලින් කියන්නේ නම් යථෙහි ප්‍රතීඝතාවය( antagonism of the Real ) යනු සමාජ යථාර්ථයේ(සංකේත රටාව) දෙනලද පැවැත්ම විසින් භාරගත යුතු නියතයකි. මෙම ප්‍රතීඝතාවය යථෙහි අංගයක්( Part of the REAL ) බැවින් එය දෘෂ්ටිවාදී මිත්‍යාකරණයට යටත් නොවේ. නමුත් අනෙක් අතට දෘෂ්ටිවාදාත්මක මිත්‍යාකරණය තුල එහි බලපෑම දැකිය හැකිය. අප එක්තරා සුවිශේෂී දෘෂ්ටිවාදී විශ්ලේෂණයක් මත එකඟ වන්නේද නැද්ද යන්න පිළිබඳව නොසලකා, එහෙයින් පවතින බවට පූර්වකල්පනය කල යුතුම දෙය වන්නේ දෘෂ්ටිවාදයේම ආකෘතියයි.

 ඉන් පෙනී යන්නේ දේවල්හි “වාස්තවික” සත්‍ය ( “objective” truth) වෙත කිසියම් වූ ප්‍රවේශයක් ලබාගත නොහැකි මුත් යථාර්තය ව්‍යුහගතව ඇත්තේ සංස්ථාපිත ප්‍රතීඝතාවයක් මතය යන්න අප අනුමත කරන්නේ නම් ඊට අදාළ දෘෂ්ටිවාදය පවතින බව භාරගත යුතුමය යන්නයි. එසේම, දෘෂ්ටිවාදය පවතින්නේ නම් අප හට හැකි විය යුතුම වන්නේ එය විවේචනයට යටත් කිරීමටය.
සංකේත නිෂ්පාදිතයන් තුල ස්ථානගත විය නොහැකි දෙය යනු මූලිකම ප්‍රතීඝතාවයකි. අවතාරාමය ඌනපූරණයක වේශයෙන් යථාර්තය හොල්මන් කරන්නට නැවත පැමිණෙන යථෙහි අංගය මෙයයි.

ඒ අනුව අපට තත්‍ය දේශපාලනයේ නිමග්න විය හැකි ස්ථානය පවතින්නේ එතනය. එය කිසිසේත්ම පවතින යථාර්තයේ සිට ඊට පරිකල්පනීය විකල්ප යෝජනා කරනා හෝ ඒවා ක්‍රියාවෙහි යොදනා ( සාමුහික යයි පෙන්වන අධිකාරීත්ව ක්‍රියාකාරීත්වය ) දේශපාලන ව්‍යාපෘතියක් නොවේ.

නලින් ද සිල්වා ඇතුළු ජාතික චින්තන නඩය කියන්නේද සැපටිස්ටා හා සමාන කතාවකි. නමුත් නලින්ද සිල්වා විසින් සම්පාදිත “සංස්කෘතික අවශෝෂණය” නමැති න්‍යායික ප්‍රවේශය තුලින් ඔහු කීමට උත්සාහ දරන්නේ ජාතික චින්තනය යනු ධනවාදය සඳහා වන විකල්පයක් නොව එය චිරාත් කාලයක් පැවත ආ “සිංහල බෞද්ධ සම්ප්‍රදාය” ( නලින් පවසන පරිදි මෙය කිසි සේත්ම බෞද්ධ දර්ශනයට අදාළ කාරණයක් නොවේ ) කරා නැවත යාමක් බවය. එනම් එය සිංහල බෞද්ධ “පුරුද්ද” තුලට නැවත යා යුතු බවක්ද යන්න පැහැදිලි නැත. ඔහු එහිදී “බටහිර විද්‍යාව” සිංහල බෞද්ධ සම්ප්‍රදාය වෙත “අවශෝෂණය” කරගත යුතු බව පවසයි. එනම් ඔහු පවසන්නේ ඔවුන් එරෙහි වන්නේ බටහිර විද්‍යාවට නොව බටහිර විද්‍යා අධිපත්‍යට බවය. මෙය එක් අතකින් ඔහුගේම න්‍යායික ස්ථාවරයන් තුල සාරසංග්‍රහවාදී ප්‍රවේශයකි. එනම් බටහිර විද්‍යාවට( ගැලීලියානු විද්‍යාව ) අදාළ චින්තනයම විනාශකාරී බව න්‍යායිකව පෙන්වා දෙමින් එම විද්‍යාව සිංහල බෞද්ධ සම්ප්‍රදායට “අවශෝෂණය” කර ගත හැකි බව පැවසීමයි. එසේම ඔහු පෙර සිංහල බෞද්ධ උරුමය තුල පැවති, කෘෂිකර්මය, වාරි කර්මාන්තය, සිංහල වෛද්‍ය ක්‍රමය, ගෘහ නිර්මාණ, වැනි දේවල් ගැන කතා කරමින් පවසා සිටින්නේ එම පැරණි සම්ප්‍රදාය කරා නැවත ගමන් කල යුතු බවය( එම දේවල් වල පැවැත්ම අප විසින් ප්‍රතික්ෂේප කිරීම මෙහිදී සිදුවන්නේ නැත ). එවිට ප්‍රශ්නය වන්නේ එය කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා නැවතත් විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතරම විකල්ප දෘෂ්ටිවාදයක්ද අවශ්‍ය වේ( විකල්ප “පූර්වකල්පනයක්” ) . සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය නලින්ද සිල්වා අතින් ගොඩනැගෙන්නේ එබැවිනි.

එසේ නම් යථෙහි ප්‍රතීඝතා මත පදනම් වන දේශපාලන ව්‍යාපෘතියකදී ආපහු හැරෙනවාද ඉදිරියට(ප්‍රගතිශීලීත්වය ) යනවාද යන කාරනා අදාළ නොවේ. අදාළ වන්නේ දෘෂ්ටිවාදී විචාරය සහ අධිකාරීත්වයට එරෙහි අරගලය පමණි. පරාරෝපනයෙන් මිදිය හැක්කේ ඒ තුල පමණි. එම අරගලයේදී වස විස නැති ගොවි තැන, විකල්ප කෘෂි කර්මය, වන වගාව, විකල්ප බලශක්ති ක්‍රම, විකල්ප අධ්‍යාපන ක්‍රම, විකල්ප සෞක්‍ය ක්‍රම හෝ ඉතා කෙටියෙන් කියන්නේ නම් පරිකල්පනීයව ගොඩනගන විකල්ප වැඩපිළිවෙලවල් කිසිවක් අදාළ නොවේ. එවැනි දෑ එසේ අදාළ වෙනවා නම් අදාළ වන්නේ අරගලයේ පැවැත්ම සඳහාම පමණි ( එම තත්වයට කොම්ම්යුනිස්ට් තත්වයේ පහල අවධිය වන සමාජවාදය යයි කිව නොහැකිය. එසේම ඒ තුල පූර්වකල්පනයක්ද නොමැත (පූර්ව නිශ්චිත විකල්ප වැඩපිළිවෙලක් )ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා “ස්ලවෝය් ෂිශැක් ගැන” නම් ලිපිය කියවන්න ). එවිට ඒවා කිසි සේත්ම පූර්ව නිශ්චිත විකල්ප නොවේ ( පූර්වකල්පනය සිදුවන්නේ දෘෂ්ටිවාදයේම ආකෘතිය තුලය ).

නලින් ද ස්ලිවාගේ “සිංහල බෞද්ධ චිනතනයේ” සහ සැපටිස්ටා ව්‍යාපාරයේ ඇති මූලිකම සමාන කම් නම් ඔවුන්ගේ වැඩපිළිවෙල පූර්ව නිශ්චිතව පැවතීමය(පූර්වකල්පනය ). නමුත් මෙය පැරණි වාමාංශික පූර්ව නිශ්චිත න්‍යායික ස්ථාවරයෙන් වෙනස් තත්වයකි. එනම් වාමාංශයට අනුව “ඓතිහාසික භෞතිකවාදය”( මෙම යෙදුම ප්ලේකනොව් විසින් නිර්මාණය කරන ලද්දකි ) යනු “සමාජ සංවර්ධනය” සිදුවන්නා වූ අකාරය පිලිබඳ විද්‍යාවය. වාමාංශිකයින්ට අනුව ජීව විද්‍යාත්මක පරිනාමයට අදාළ විද්‍යාව වන පරිනාමවාදය චාල්ස් ඩාවින්  විසින් “සොයාගත්තා” මෙන් සමාජ පරිනාමයට අදාළ විද්‍යාව මාස්ක් විසින් “සොයාගෙන” ඇත. ඒ අනුව වහල්, වැඩවසම්, ධනවාදී යන අනීවාර්ය ඓතිහාසික (ප්‍රගතිශීලී ) සමාජ සංවර්ධනයේ ධනවාදී අනීවර්යතාවය තුල අප දැන් පසු වන අතර එහි ඊළඟ අනීවාර්ය සමාජ පියවර සමාජවාදයයි. ඊට අනුව එය අනීවර්යතාවයකි. එනම් අනීවාර්යෙන්ම සිදුවේ. ඒ අනුව එම වාමාංශික න්‍යායික ස්ථාවරය යථාවාදයකි ( realism ).

ඒනස්ටෝ ලක්ලාව් මෙන්ම නලින් ද සිල්වා ( නලින්ද සිල්වා එම විද්‍යාත්මක අනීවර්යතාවය පිළිගත් නව සම සමාජ පාක්ෂිකයෙකුව සිටියේය ) ප්‍රවේශය ලබා ගන්නේ සමාජවාදයට නව අර්ථකතනයක් අවශ්‍ය බව පවසමිනි( සමාජවාදයට නව අර්ථකතනයක් අවශ්‍යයි යනුවෙන් දිවයින පුවත්පතේ නලින්ගේ ලිපි මාලාවක් පලවිය ). ඉන්පසුව ඔහු මාක්ස්වාදයේ දරිද්‍රතාවය යනුවෙන් පොතක් ලියමින් මාක්ස්වාදය දරුණු ලෙස ප්‍රශ්න කරනුයේ ඉහත සඳහන් කල ඓතිහාසික අනීවර්යතාවය යන්න කුඩුපට්ටම් වන ප්‍රශ්න අසමිනි (එම මාක්ස්වාදයේ දරිද්‍රතාවය කෘතිය සඳහා එකම තකතීරු වාමංශිකයෙකු හෝ මේ දක්වා පිළිතුරු සපයා නොමැත ). එසේ ප්‍රවේශය ලබාගත් නලින් ද සිල්වා “සිංහල බෞද්ධ චිනතනය” සම්පාදනය කරමින් දෙමල ජාතික අරගලය පදනම් කරගනිමින් ජනප්‍රිය දේශපාලනය තුලින් විකල්ප දේශපාලනයට පිවිසෙයි. මෙහිදී මතකතබා ගත යුත්තේ “සිංහල බෞද්ධ චින්තනය” යනුවෙන් අංග සම්පූර්ණ ( විකල්ප ) වැඩපිළිවෙලක්( පූර්වකල්පිත ) සහිත න්‍යායික ඉදිරිපත් කිරීමක් ඔහු සහ එම නඩය සතු බවය ( මේ වන විට නලින් ද සිල්වා තමන්ට ඇති එකම විකල්පය මහින්ද රාජපක්ෂ ලෙස දකිමින් වැඩ කරගෙන යයි ).
විද්‍යාත්මක මාක්ස්වාදී න්‍යාය තුලින් පැමිණි සමාජවාදය යනු ධනවාදයට එරෙහිව විකල්පයක් ලෙස ක්‍රියාත්මක වුවද එය පැමිණියේ යථාවාදයක්( Realism ) ලෙසය. ඒ කෙසේ වෙතත් පසුව මේවා ලෝක පරිමාණයෙන් “ක්‍රම විරෝධී අරගලයන්” බවටම පත්විය. එනම් එක්කෝ ඒවා දේශපාලන ක්‍රමය තුලම සංවිධානය වන ක්‍රමයටම අදාළ දේශපාලන හෝ වෙනත් ව්‍යාපාර ලෙස හෝ ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපෘතීන් ලෙසය.

එවිට එවැනි දේශපාලන ව්‍යාපෘතීන් දයලෙක්තික වන්නේ ක්‍රමය සමග හෝ ක්‍රම විරෝධය සමගය. කෙසේ නමුත් අවසාන අර්ථයෙන් ගත් කල ඉහත දේශපාලන ව්‍යාපෘතීන් දෙක වන ක්‍රම විරෝධය සහ ක්‍රමය තුලම දේශපාලනය යනු දෙකක් නොව එකකි. එනම් ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපෘතීන් ගොඩනැගෙන්නේ පවතිනා ක්‍රමය අනෙකා කොට ගිනිමින් බැවිනි. ක්‍රම විරෝධය ගොඩනැගෙන්නේ පවතිනා ක්‍රමයට පරිකල්පනීය( imaginary ) විකල්පයක් යෝජනා කරමිනි. උදාහරණ ලෙස, ක්‍රමය ධනවාදය ලෙස හැඟවුම්කරණය කරගත් විට පරිකල්පනීය විකල්පය වන්නේ සමාජවාදයයි. එසේම ක්‍රමය බටහිර ආක්‍රමණයක්, විජාතික ආධිපත්‍යක් ලෙස හැඟවුම්කරණය කරගත් අයට විකල්පය ලෙස අතීතයේ පැවතියි කියනා සිංහල බෞද්ධ සමාජය වෙත ආපසු යාම නමැති පරිකල්පනීය විකල්පය මුණගැසී ඇත. එසේ නොමැති නම් ප්‍රති-සංස්කෘතික ( counter culture ) ජීවන විලාශයක් ( හිපි ව්‍යාපාරය වැනි ) වෙත යොමු වීම හෝ ධනවාදයෙන් පලා යා හැකි විකල්ප ජීවන ශෛලීන් යෝජනා කොට ඒවා ව්‍යවහාරයේ යෙදවීමට උත්සාහ දැරීම වැනි දෑ සඳහන් කල හැකිය. එවිට එම සියලු දෑ අයත් වන්නේ පරිකල්පනීය තලයටයි. ධනවාදයේ තුල හිඳිමින් සමාජවාදය ( පරාරෝපිත ආත්මයේ තවත් අකාරයක් ) නම් පරිකල්පනීය සමාජය ගොඩනැගීමට ගොස් ලෝක පරිමාණයෙන් සිදු වූ දෑ නිසා විශාලතම හානිය සිදුවූයේ මාක්ස්වදයටය.

මෙම යුගයේ ලෝකයේ පවතිනා සියලු ලිබරල් දේශපාලන ව්‍යාපෘතීන් ක්‍රමයේ ගුනාත්මක භාවය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටි. ලංකාවේදී නම් එහි ප්‍රධාන තැන ගන්නේ UNP සහ SLFPය. මේ වන විට JVPයද ප්‍රධාන ධාරාවට අවතීර්ණ වී ඇත ( නමුත් අනෙකුත් සියල්ලන්මද අඩු වැඩි වශයෙන් මේ මොහොතේ කරමින් සිටින්නේ එයයි ). මේ වෙන විට වම දේශපාලන නිරවද්‍යතාවය( political correctness ) වැනි තත්වයන් දක්වාද ගමන්කොට ඇත්තේ ඓතිවාසිකම්, ඉල්ලීම් සහ ජාතිවාදය වැනි කාරනා වලට අදාළ දේශාපාලනය තුලය.

වම ක්‍රමයෙන් එවැනි තත්වයකට යාම ආරම්භ වනවාත් සමගම විද්‍යාත්මක මාක්ස්වාදී න්‍යායට ( යථාවාදය ) පහරදෙමින් නලින් පැමිණියේ පරිකල්පනීය විකල්පයක් තුලටය. මෙහිදී අවධාරණයෙන් සඳහන් කල යුත්තේ අප ඉහත සඳහන් කල ස්ථාවර දෙකම ප්‍රතික්ෂේප කලද අපගේ ස්ථාවරයද එක්තරා යථාවාදයකි (realism) යන්නයි. ඉහත සඳහන් කල “ඓතිහාසික භෞතිකවාදය’ දක්වා විකරණය වී ඇත්තේ මාක්ස්ගේ ඉදිරිපත්වීම් තුල ඇති එම යථාවාදයයි. ලකානියානු මනොවිශ්ලේෂණය(ලකානියානු මනොවිශ්ලේෂණය යථාවාදයකි ) පිළිබඳව ඌනිත කියවීමක් වන පශ්චාත් මාක්ස්වාදයට අප එරෙහි වන්නේ එබැවිනි. එනම් විකල්ප යෝජනා කරනවා( අප මූලිකවම එරෙහි වන්නේ පරිකල්පනීය දනුමටය (Imaginary Knowledge ) වෙනුවට අපගේ අරගලය පවතින්නේ අධිකාරීත්වයට එරෙහි වීම තුලය-අධිකාරීත්වයෙන් මිදීම දෙසටය. අපගේ වාර්ගික සත්තාව අත්කොට ගත හැක්කේ එලෙසය(පරරෝපනයෙන් මිදීමෙන් ).
වර්තමානයේ පශ්චාත් මාක්ස්වාදීන්( ලංකාවේ නොවේ ) විසින්ද සාර්ථක දේශපාලන ව්‍යාපාරයක් සේ දකින සැපටිස්ටා යනු නලින් ද සිල්වාගේ ව්‍යාපාරයෙන් වෙනස් ලෙස පෙනුනද සැපටිස්ටා යනු ඉන් ඉඳුරාම වෙනස් දේශපාලන ආකෘතියක් නොවේ.

2016 දී ජාතික ආදිවාසී සම්මේලනය සහ EZLN විසින් එළඹෙන 2018 මෙක්සිකානු මහ මැතිවරණය සඳහා ඔවුන් නියෝජනය කිරීම සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එකඟ විය. මෙම තීරණය මෙක්සිකානු මැතිවරණ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමේ සැපටිස්ටාගේ(EZLN) දශක දෙකක සම්ප්‍රදාය බිඳ දැමීය. 2017 මැයි මාසයේදී මාරියා ඩි ජෙසෙස් පැට්‍රිෂියෝ මාර්ටිනෙස් ඒ සඳහා ඉදිරිපත් වීම සඳහා තෝරා ගන්නා ලදී. ඇය මෙක්සිකානු සහ නහුවා ය. උප කොමාන්ඩන්ට් කැරලිකාර මාකෝස් මේ වන විට වෙස් මුහුණ ගලවා ඔහුගේ නියම නම වන ගැලියානෝ නමින් පෙනී සිටිමින් EZLN නව කලාප 11 ක් දක්වා ව්‍යාප්ත කරන බව නිවේදනය කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ලෝපෙස් ඔබ්‍රඩෝර් කියා සිටියේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මෙය සිදු කළ හොත් මෙම ව්‍යාප්තිය සාදරයෙන් පිළිගන්නා බවයි. ඒ අනුව ශිෂැක් විසින් 2007 වසරේදී කියා සිටි දෙය මේ වන විට සැපටිස්ටා ව්‍යාපාරයට සිදුව ඇත.

සැපටිස්ටා ව්‍යාපාරයේ දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අවසාන උත්ප්‍රාසය වන්නේ, එනම් සැපටිස්ටා ව්‍යාපාරය නිසා සිදු වූ දේශපාලන බලපෑම් ජයග්‍රහණ ලෙස ලැයිස්තු ගත කරනා අයට නොපෙනෙන ඊට අදාළ ඉහලම උත්ප්‍රාසය වන්නේ එම ව්‍යාපාරයේ ප්‍රධානතම ජයග්‍රහණය ලෙස සැලකෙන “ආයතනික විප්ලවවාදී පක්ෂයේ දූෂිත වසර හැත්තෑ එකක පාලනය පෙරළා දැමීමට උපකාරී විය” යනුවෙන් වාමන්ශිකයින් විසින් කියනා කාරණයයි. මෙය සලකනු ලැබිය හැකි වන්නේ, සැපටිස්ටා උදව්වෙන් මෙක්සිකෝව සඳහා පළමු පශ්චාත්-විප්ලවවාදී ආණ්ඩුව පිහිටවනු ලැබීම ලෙසයි. එය “සපාටා” හි ඓතිහාසික උරුමය( මයා ශිෂ්ටාචාරයේ උරුමය ) සමඟ අවසන් සම්බන්ධතාද කපා දැමූ සහ නව ලිබරල් නව ලෝක පිළිවෙලට මෙක්සිකෝව ඒකාබද්ධ වීම මුළුමනින්ම අනුමත කළ රජයකි (පුදුමයක් නොවේ, ජනාධිපතිවරුන් දෙදෙනා වන කොකාකෝලා හි මෙක්සිකානු ශාඛාවේ හිටපු ලොක්කා වන ෆොක්ස් සහ බුෂ් පුද්ගලික මිතුරන් ය).

නලින් ද සිල්වලාද කරමින් සිටින දෙය ඊට සමානය. සිංහල බෞද්ධ සම්ප්‍රදාය රැක ගැනීමට යයි පවසමින් එහි අවසාන උරුමයද අවසන් කරනා දේශපාලන ව්‍යාපෘතියකට ඔවුන් සහාය දෙමින් සිටී.

ඒ කෙසේ වෙතත් සැපටිස්ටා ව්‍යාපාරය අවම වශයෙන් දේශීය ස්වයං නිර්ණය, රාජ්‍ය බලය අසාර්ථක වූ තැනකට ගමන් කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදයේ නව අවකාශයන් ඇති කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීම යන අවම, ධනාත්මක දේශපාලනික ව්‍යාපෘතියක් හෝ ස්ථාපිත කොට නැද්ද යන්න සලකා බැලීමේදී පෙනී යන්නේ සම්ප්‍රදායික මාක්ස්වාදී ගරිල්ලා කැරලි කරුවන්ගෙන් ඔවුන් වෙනස් වන්නේ ඔවුන්ගේ ඉලක්කය වන පාලන බලය දිනා ගැනීම නොවීම වුවත් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහ යුක්තිය ශක්තිමත් කල හැකි ස්වාධීන අවකාශයන් අත්පත් කර ගැනීම සහ ගොඩනැගීම ය යන්න තුල ඔව්න් සමාන වේ. මාකෝස් වටහාගෙන ඇති පරිදි ඉඩම් පිලිසැකසුම, පොදු කෘෂිකර්මය, පුද්ගලීකරණයට එරෙහි වීම යන්න ආදියෙහි උප්පත්තිය වන මෙම නිදහස් අවකාශ, විකල්පයන් ලෙස පැවතීම මගින් අවසානයේදී සරලමය ලෙස රාජ්‍ය වෙතට ප්‍රති-බලවේගයන් නිර්මාණය කරයි. එහෙත් මෙහිදී මුණගැසෙන්නේ ධනවාදයේම ඇති බහු අර්ථතාවයයි. එනම් මෙම ස්වාධිපත්‍ය අවකාශයන් යනු සමස්ත සමාජය බවට පත්වන්නට නියමිත සමාජ සංවිධානයේ ජනකයන් (germs)( දාම ක්‍රියාවලික් ලෙස මුළු රට පුරාම හෝ ලෝකය පුරාම මෙම ආදර්ශයන් ව්‍යාප්ත වේ යයි සැලකීම ) හෝ සමාජ රටාවෙහි පැලුම් සහ හිදැස් තුල මතුවන සංසිද්ධීන් ද? මාකෝස් සූත්රණය කරනා ආකාරයට සැපටිස්ටා ව්‍යාපාරය විප්ලවය පිළිබඳව කැමැත්තක් නොමැති මුත් ඊට විරුද්ධ ලෙස “විප්ලවයක් තුල නිමග්න වීම විසින් විප්ලවය භාව්‍යත්වයට පත්කරයි” යන්න අතිශය සත්‍ය වේ. නමුත් ඒ කෙසේ වෙතත් විචක්ෂනමය වශයෙන් බහු අරුත් ගෙන දේ. එනම් මින් අදහස් වන්නේ සැපටිස්ටා සැබෑ දේශපාලන විප්ලවය සඳහා අඩිතාලමක් ලෙස සංස්කෘතික විප්ලවයක් අතුරමින් සිටින්නේද යන්න( 1960 ගණන්වලදී හර්බට් මාකුසේ විසින් ස්වාධීනත්වය යනු විමුක්තියේ අවස්තාවක් ලෙස සැලකීය ) හෝ නැතහොත් එයින් අදහස් කරන්නේ ඒවා හුදෙක් “ප්‍රතිරෝධී ස්ථානයක්” ලෙස, පවතින රාජ්‍ය බලය වෙතට වන ප්‍රතිකාරයකයක් ලෙස පැවතිය යුතු බව ද (එය ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණකින් පමණක් නොව, මෙම බලය අතුරුදහන් වන කොන්දේසි සංවිධානය කිරීමේ අරමුණකින් තොරව) ?

සැපටිස්ටා ව්‍යාපාරයට අප කැමති වුවද “කැමැත්ත” සහ දේශපාලන අරමුණ අතර වෙනස තේරුම් ගත යුතුය. උදාහරණයකට කියන්නේ නම් මෛත්‍රීපාල විසින් අවසන් වශයෙන් කල විශාලතම රාජකාරියක් වන්නේ සංරක්ෂිත වන ප්‍රදේශ 68ක් එකවර ගැසට් කිරීමය. අප එයට කැමතිය. නමුත් එය අපගේ දේශපාලන කාර්ය නොවේ.

ඒ කෙසේ නමුත් මේ වන විට සැපටිස්ටා නැති වී ගොස් ඇත. එය ආරම්භ වූයේ අවිනිශ්චිතතාවයකින් ය. එය දේශපාලන ව්‍යාපාරයක් ද නැතිනම් විවේචනාත්මක ව්‍යාපාරයක් ද යන්න මේ වන විට අපැහැදිලිය. එවිට ඔවුන් යම් ආකාරයක සදාචාරාත්මක අධිකාරියක් බවට පරිවර්තනය වන ක්‍රමයක් සොයා ගත්තේය. දැන් එය තවදුරටත් කිසිවෙකුට තර්ජනයක් නොවන බැවින්, සෑම කෙනෙකුම එයට ආදරය කරයි. සියලුම දේශපාලනඥයන් පවසන්නේ “මේ අවංක මිනිසුන් අපට කුමක් කළ යුතු දැයි පැවසීම සතුටක්, නමුත් අපි ජීවත් වන්නේ සැබෑ ලෝකයේ, එබැවින් යමෙකු අපිරිසිදු වැඩ කළ යුතුයි.” යනුවෙනි (UNP කාරයින්ද ජවිපෙ පිළිබඳව මෙවැනි කතා කියයි ).

 සබ්කොමන්ඩාන්ට් මාකෝස් දැන් බොහෝ මෙක්සිකානු වාමාංශිකයින් උපසභාපති මාකෝස් ලෙස  හඳුන්වනුයේ ඔවුන් ඔහුට ආදරය කරන නිසා, සෑම කෙනෙකුම සවන් දෙන ආකාරයේ දේශකයෙකු වන බැවිනි. මෙක්සිකානු ආණ්ඩුව පවා දැන් එම ව්‍යාපාරයට ආදරය කරයි, මන්ද එය කිසිවෙකුට තර්ජනයක් නොවන බැවිනි. සංචාරකයෝ එහි යති. නමුත් ගැටලුවක් තිබේ, සැපටිස්ටාස් සදාචාර සම්පන්න වීමට අවශ්‍ය වන අතර ක්‍රීඩාවක්, ගණිකා වෘත්තියක් හෝ මත්පැන් නොමැත. නමුත් සංචාරකයින්ට ඒ දේවල් අවශ්‍යයි. එබැවින් සැපටිස්ටාස්වරු රාත්‍රීන් සඳහා යමක් සංවිධානය කරන අතර, සංචාරකයින්ට අවශ්‍ය නම්, ගණිකා නිවාස, ගණිකා වෘත්තිය සහ මත්පැන් ආදිය ඇති නිදහස් ප්‍රදේශයෙන් පිටතබස් රථයකින් ඔවුන්ව රැගෙන යයි. එබැවින් ඔවුනට ධනවාදී උපක්‍රමයට ගොස් නැවත සමාජවාදයට පිවිසෙන්නට හැකිය. අද, සපැටිස්ටා යනු සුන්දර සංචාරක ආකර්ෂණයකි.

ධනවාදය වෙනුවට දේශපාලන ආකෘතිය කුමක්දැයි අපි නොදනිමු. නිරපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස සහ මිනිස් “රාශිගත වීම්” පරරෝපනයෙන් මිදීමේ ආකෘතියක් ලෙස ක්‍රියා නොකරයි. එය විශ්වීය කළ නොහැකිය. සැපටිස්ටා විසින් මේ වන විට එය ඔප්පු කොට තිබේ.

ලාංකීය පශ්චාත් මාක්ස්වාදීන්ගේ කවි කිහිපයක් පහතින්. 

දිගට වැහි එන අස්සේ
සැපත පැටලී පස්සේ
දෙන්න එක්කම ගැස්සේ
වතුර නැහැ තව බැස්සේ

ආපු දෙන් නෙක පිරිපත
ගලවන්න නම් නැහැ හිත
තවත් බර වී අප මත
සුර සැපත විද මළත් කම් නැත

විදර්ශන කන්නන්ගර

අවසන් මිනිසුන්

මන්දාකිණියේ
දිදුලන තරු යායේ
නිමක් නොමැති සක්වළෙහී
ඈතින් ඇසෙනා ඉකි බිඳුමයි මේ
අවසන් මිනිසුන්ගේ

හැඟුම් ගිලී දුර අතීතයේ
කාලය නම් වූ කාන්තාරයේ
සිහින නිමා වූ රාත්‍රියේ
තනි වී ගයනා ළසෝ ගීතයයි මේ
අවසන් මිනිසුන්ගේ

අවන්හලේ මීවිත ඉතිරී
වියැකී යන මේ නිමේෂයේ
ජීවිතයේ අරුතක් නොහැඟේ
තනිවී ගයනා ළසෝ ගීතයයි මේ
අවසන් මිනිසුන්ගේ

සිහිනය සීසීකඩ විසිරී
ප්‍රාර්ථනා වියලී මියැදේ
උනුනුන් නොතකන තරඟ බිමේ
තනි වී ගයනා ළසෝ ගීතයයි මේ
අවසන් මිනිසුන්ගේ

-සුමිත් චාමින්ද
අගෝස්තු 2019.

1 thought on “තවත් වාම ආශ්වාදයක් වූ සැපටිස්ටාස්

Leave a Comment

%d bloggers like this: